Wednesday, December 29, 2010

ලප

රතු ලපය
හොය හොය
සුදු වත පීරන
හිත් වල හැංගුනු
කලු ලප
අනේ....
මුන්ගේ පිරිසිඳුකම

Friday, December 24, 2010

ගෙදර බුදුන් නැන්දා...........!

"ගෙදර බුදුන් අම්මා" කියන කියමන මන් පොඩි කාලෙ ඉඳන්ම අහලා තිබ්බා. ඒත් ඒ කියමනට අමතරව තවත් කියමනක් තියෙන්න ඕන කියලා මන් ඒ කාලෙ හිතන් උන්නා. ඒ තමයි "ගෙදර බුදුන් නැන්දා" කියලා. මොකද මගේ ලමා කාලයෙන් වැඩි කොටසක් ගෙවුනේ මගේ ලොකු නැන්දා ගාව නිසා. ලොකු නැන්දා එහෙමත් නැත්නම් අපේ තාත්තගේ අක්කා, ළමයි 5 දෙනෙක්ගෙන් යුතු පවුලක වැඩිමලා. අපේ තාත්තා පවුලෙ 4 වෙනියා. ලොකු තාත්තා බැඳලා වෙනම පදිංචි වෙලා හිටියේ. අපේ තාත්තලාගෙ මහ ගෙදර ජීවත් උනේ අපේ තාත්තා ඇතුලු පවුලේ ඉතුරු 4 දෙනායි අපේ ලොකු නැන්දා විවාහ වෙලා හිටිය මාමායි විතරයි. කොහොම හරි අපේ තාත්තා අපේ අම්මව විවාහ කර ගත්තයින් පස්සෙ තත්තත් මහ ගෙදරින් වෙන් උනා. ඒ කාලෙ අපේ අම්මලාට එතරම් ආර්ථික අතින් සරු කාලයක් වෙලා නෑ. කුලියට ගත්තු තැනක තමයි අම්මලා ජීවත් උනේ. කොහොමින් කොහොම හරි මාත් ඉපදුනා කියමුකො. මන් ඉපදුනාට පස්සෙ අම්මලා ගෙවල් කීපයක්ම මාරු කරලා තියෙනවා. වැඩි හරියක් ඉඳලා තියෙන්නෙ අම්මගෙ යාලුවන්ගෙ ගෙවල් වල. පස්සෙ වෙනම තැනක් කුලියට අරගෙන ඇවිල්ල තියෙනවා මට අවුරුදු 2 ,3ක් විතර වෙද්දි. ඒවා හෙන දිග ස්ටෝරි. ඒ කාලෙ අම්මලාට හුඟක් දුෂ්කර වෙලා තිබුනට දැන් අපේ තාත්තා එහෙම ඒ කතා කියන්නෙ බොහොම සැහැල්ලුවෙන්. ඒ කාලෙ දිහෑ බලපුවාම එයාලට සියුම් ආඩම්බරයක් දැනෙනවා ඇති අපි නැගිට්ටෙ පල්ලෙහාම තැන ඉඳන් නේද කියලා.

Tuesday, December 7, 2010

නමක් නැති කවි 11


අපේ ගෙදර
අඳුර
මේ තරම් 
කලුවරයි
කියලා පෙනුනේ
අල්ලපු ගෙදර
ලයිට් දාලා
තියෙනවා දැක්ක 
වෙලාවෙ.....

Thursday, December 2, 2010

සුභ මංගලම්.....!

සෙනෙහස් ගඩොලින් තැනූ කලක සිට
ආදර මන්දිරයේ
කිරි උතුරා සුභ මොහොතින් මංගල
ගෙවදුන දිනයයි මේ

මහමෙර පරදන ආදර සෙනෙහස
ඇති දෙදෙනා අතරේ
දිනෙන් දිනම තව තව වැඩි වේවා
පැතුමයි මේ සසරේ

තබන තබන පය ජය මල් පීදී
දිනුමයි නිති ගමනේ
සදාකල්ම සාමය වැජඹේවා
තැනු ආදර විමනේ

සිඟිති සිනා මුව මල් පීදෙනදා
මතු දින ඔබ සෙවනේ
ඒ සුරතල් ලඟ හද සැනසේවා
සැමදා ඔබ අරණේ

පතමි සිත තුල නැගෙන අපමණ
සතුට සෙනෙහස පොදි බැදන්
සසර පුරාවට දිවිය තුරාවට
මංගලම් සුභ මංගලම්

අද දින සුභ මොහොතින් යුග දිවියට පත්, මා මිත්‍ර කාර්‍යාලීය සගයා ලබැඳි සොහොයුරා දයාබර හිතවතා වන සන්ජය ගුණවර්ධන හා ඔහුගේ දයාබර බිරිඳ නිශාදරී ද සිල්වා යන දෙපලට සුභම සුභ වූ අනාගතයකට ආසිරි..................

Tuesday, November 16, 2010

[හි]ලක්

අද එයි
හෙට එයි
කිය කිය
බලන් ඉන්නවා
හැමදාම
වාසනාව
ගෙයි දොරකඩට
ඇවිත්
පිරෙනකන්
ගෝනි ගනනින්
ම්හු....
ඒත් නෑ...
බලන් ගියාම
කරලා තියෙන්න
බලන් හිටපු
එක විතරයි
මන් හිතන්නෙ
මගේ
ලක් එකේ
හිලක්....

Wednesday, November 3, 2010

වැරදුන දඩයම

ගිය අවුරුද්දේ හරියටම මේ දවස් වල මම කරාපිටියෙ ඉස්පිරිතාලේ ඇඳක් උඩ දපලා ඉන්නවා. ඔක්තෝඹර් 31 වෙනිදා ඉඳන් නොවෙම්බර් 7 වෙනිදා වෙනකම් දවස් 8ක්ම බෙහෙත්, ඉන්ජෙක්ශන්, සේලයින්, නර්ස්ලා, දොස්තරලා අතරේ හිර වෙලා ජීවත් වෙන්න උනා. මාව ඇතුල් කරගත්තේ ඩෙංගු කියලා. පස්සෙ කිව්වා මී උණ කියලා. ඊට පස්සෙ කිව්වා මුත්‍රා මාර්ගෙට විශබීජයක් ගිහින් කියලා. ඊට පස්සෙ තවත් මොකද්දෝ ලෙඩක් කිව්වා. හප්පා ඒක නිකන් මහ භයානක නමක්. නමේ බර වැඩි කමට මට දැන් ඒක මතකත් නෑ. මම එහෙම නමක් තියෙන ලෙඩක් ඇහුවෙ එදාමයි. ඒ වෙලාවෙනම් මන් හිතුවා මන් මැරේවිමයි කියලා. එච්චර භයානක නමක් තිබ්බේ ඒ ලෙඩේට. කොහොම හරි අන්තිමේ ලේ වලට විශබීජයක් ගිහින් කියලා අවසන් නිගමනයකට ඇවිත් මාව ටිකට් කපලා ගෙදර එව්වා. ඇත්තටම තිබ්බ ලෙඩේ මොකද්ද කියනන් දන්නෙ දෙයියෝ තමයි. ඒකෙන් මේකෙන් උනේ මදුරුවන්ටත් හපන් විදියට පැයෙන් පැයට ඉන්ජක්සන් කට්ටක් උස්සන් එන නර්ස් ඇන්ටිලාට ලේ පූජා කරන්නයි, පෙනිසිලීන් විදින කොට තියෙන ෆුල් ආතල් 1 විඳගැනීමයි විතරයි. හප්පා ඒකනම් ෆුල්ම ආතල් එකක් තමයි. පැය 6න් 6ට ඒක විදිනවා. විදින්න පැයකට දෙකකට කලින් ඉඳන්ම හූල්ල හූල්ල ඉන්නවා 'අයියෝ තව ටිකකින් අර මගුල විදියි' කිය කිය. විද්දිදි  තියෙන්නෙ අමුතුම සැපක්. මැනික් කටුව ගාවින් බෙහෙත ඇඟට ඇතුල් වෙද්දි උරහිස ගාවට යනකම්ම ඒ සැප දැනෙනවා. ඊට පස්සෙ ඉතින් ආයෙත් පැයක් විතර යනකම් අතම අත ගගා ඉන්නවා. ඒ අස්සේ වැලමිට හරියේ ඇතුල් පැත්තේ තනිකර හිල් විමානයක් ලේ අරන්ම. මදුරුවො තව හොදයි අප්පා.

Tuesday, October 12, 2010

නමක් නැති කවි - 10

දොර ඇරුණු
වෙලාවල් වල
පවා
එලියට එන්න
බය වෙච්ච
මම
අද
කූඩුවේ දොර
කඩාගෙන
එලියට පියෑඹුවා 
බොහොම සැහැල්ලුවෙන්

Monday, September 13, 2010

නමක් නැති කවි - 9


ගමේ
එලවලුයි බතුයි
අමතක කරලා
සිදාදියේ
රයිස් ඇන්ඩ් කරී
කන්න ආපු
මම
අන්තිමේ
නතර උනේ
හැමදාම
ශෝටීස් කන්න
පුරුදු වෙලා.

Wednesday, August 25, 2010

යුනිකෝඩ් නැති විට කවි.........


□□□□
□□□□□□
□□□□□ □□□□
□□□□□□□□ □□□□
□□□□□□□ □□□□
□□□□□□ □□□
□□□□□□□□□□
□□□

Saturday, August 21, 2010

නමක් නැති කවි - 8


හැමදාම
මාලු අල්ලන්න
දියඹට යන
මම
අද තමයි
හරියටම දැක්කේ
මාලුන්ට 
ලස්සන පාට 
තියෙනවා කියලා

Thursday, August 19, 2010

නමක් නැති කවි - 7


යතුර
දෑස් ඉදිරිපිට
පෙනි පෙනී
තියෙද්දිත්
මේ 
ගිනියම්
කරුම කුටියේ
තවම
සිරගත වෙලා
මං

Tuesday, August 17, 2010

නමක් නැති කවි - 6


මගේ
ඉස්සරහ ශීට්
එකෙන්
වාඩි උන
උඹෙන් විහිදුන
කොලෝන් සුවඳ
මගේ
අක්මාවටම
ඇදිලා යද්දි
උඹ
එහා ශීට් එකේ
කොල්ල එක්ක
හිනා උනා

Wednesday, August 11, 2010

අක්කේ මේ ඔබටයි...

එක මව් කුසකින් මෙලොවට නාවත්
සසරේ බන්දන ඇති හින්දා
නන්නාදුනනා අප දෙදෙනා
මේ ලෙස ලන් වූයෙද මන්දා

එක රුහිරෙන් නොව ජීවය ලැබුවේ
එනමුත් ඇයි ඒ වග නොදැනෙන්නේ
නුඹ මගේම වැඩිමල් සොහොයුරියයි
කියා පමණි මා සිතට දනෙන්නේ

සිතේ තිබුනු මහා අඩුව කලක සිට
නුඹ ලැබුමෙන් පිරවුනු හටි පුදුමයි
මගේම අක්කා විලසින් මා හට
දෙන රැකවරණය සෙනෙහස අරුමයි

සහෝදරත්වය නාමෙන් දිවුරමි
සැමදා නුඹගේ ලඟින් සිටින්නම්
යලි උපදින  මතු  භවයක් ගානේ
ඔබේම මල්ලී වී උපදින්නම්

එක බඩ වැල කඩාගෙන මෙලොව එලිය දැකීමට තරම් වාසනාවන්ත නොවූවත්, අහම්බයකින් මගේ ජීවිතයට පැමිණ, මගේ ජීවිතයට අඩුවක්ව තිබූ අක්කා කෙනෙකුගේ ආදරය, රැකවරණය නොඅඩුව ලබා දෙමින්, කුඩා කල පටන්ම මගේ සිතට වද දුන් එම අඩුව පිරවූ ආදරණීය අක්කේ..........
මේ පැදි පෙල ඔබ වෙනුවෙන්මයි.......
ඔබේ ඒ අප්‍රමාණ වූ සහෝදරකම වෙනුවෙනමයි......
ස්තූතියි මගේ ජීවිතයට පැමිණියාට......
ඒ වගෙම මේ මහ මෙරක් තරම් වූ සහෝදරකමට.....

Monday, August 2, 2010

උණ විකාරේ කෙලින පිස්සු.....

ආරෝග්‍ය පරමා ලාබා ..... උදේ පාන්දරම වැපා එහෙම කිව්වා. ඇත්ත . ඒ කතාව සහතික ඇත්ත. ඒක හොඳටම තේරෙන්නෙ ලෙඩ උනාම. පෙරේදා රෑ ඉඳලම පොඩ්ඩ පොඩ්ඩ පෙනේ පුප්ප පුප්ප ඉඳලා අද උදේ දෂ්ට කරලම දැම්මා. ඇඟට පණ නෑ හොඳටම. ඔෆ්ස් ගියෙත් නෑ. දවල් ඒ පාර ගිහින් බෙහෙත් ටිකක් අරගෙන ආවා. ඔලුවත් පුපුරන්න වගේ. එහෙන් මම මේ තට්ට තනියම පට්ට පාලුවේ. එයාවත් හිටියනම්......  මේ උණ වැඩි වෙලා අමාරු වෙලා අසාධ්‍ය වෙලා මම මැරිලා යයිද. ඒක් අතකින් මරණය කියන්නේ සියලුම දුක් වේදනා වල අන්තය නේද? ඒ කියන්නෙ මරණය කියන්නෙ සැපතක්ද? මංදා..... අඩුම ගාන මම මැරිච්ච දවසකවත් එයා මාව බලනන් එයිද? මගේ ලඟින් මගේ තනියට ඉඳියිද... කරුනාරත්න දුවුල්ගනේ මහත්මයගේ සින්දුවක් මගේ හිතට ඇදිලා ආවේ ඒත් එක්කම. මම හෙමින් හෙමින් ඒ සින්දුව මුමුණන්න ගත්තා. මටත් පිස්සු.....
                   සින්දුවේ පද පෙල අයේ මම අමුතුවෙන් දාන්න දෙයක් නෑ. මගේ මිත්‍ර, ආදර කතාව ලියන සහෝදරයා මීට ටික කාලෙකට උඩින් ඔය ගීතයේ පද පෙල ලියලා තිබුනා. මේනන් ඒකෙ සබැඳිය. ඕනනම් සින්දුව අහන්නත් ඒකෙ ලින්ක් එකක් දාලා තියෙනවා.
                                               මම ඔයාලට දෙන්න යන්නේ වෙනම දෙයක්. මතකද අර මරීනා සින්දුව කියපු අර සුවිශේෂි පුද්ගලයා. මන් ඔන්න එයාටම කියලා මේ සින්දුවත් කියවගත්තා. මන් ඔයාලට දෙන්න යන්නේ ඒක. හැබැයි එකක් කියන්නම්. ඒක අහලා ඔරිජිනල් සින්දුවක් එපා විමේ පොඩි ප්‍රවනතාවක් තියෙනවා. සොරි සොරි... වරදුනා.... පොඩි නෙවෙයි... සෑහෙන්න ලොකු ප්‍රවනතාවයක් තියෙනවා. ඒක නිසා බොහොම කල්පනාවෙන් සවන් දෙන්නකො.



උණ විකාරෙ මමත් කරන දේවල්. අනේ අනිච්චං.....

Tuesday, July 27, 2010

ම‍රීනා........ ම‍රීනා........

දෙවැනි ලෝකයේ මහා යුද්දයට බැඳී මැක්සිකෝ රටට ගිය ලංකාවේ තරුණයෙක් එහිදී මරීනා නැමති තරුණියක් සමඟ ආදරයෙන් සිට, යුද්දය අවසානයේදී ඇගෙන් වෙන්වී එන දින වෙරළට ආසනන්ව යාත්‍රා කරන නැවේ සිට මෙම ගීතය ගායනා කරයි. ඈ වෙරළේ සිට මේ ගීතයට සවන් දෙයි.

ම‍රීනා........ ම‍රීනා........
ඔබව අමතක වෙන්නෙ නෑ
ම‍රීනා........ ම‍රීනා........
ආයෙ මම මෙහෙ එන්නෙ නෑ
ඔබ දකින්නට වෙන්නෙ නෑ

ඔබෙ රට මේ මැක්ස්කෝවයි හරිම අලංකාරයි
මගේ රට සිරි ලංකාදීපය මට හරිම ආසයි
බැඳිලා යුද්දෙට  මගේ රට හැර ආවෙ ඔබෙ රටටයි
ඒ සුන්දර මරිනා මගේ ආදරේ ඔබටයි.

දැන් යුද්දෙ අවසාන උනා
මට ඔබ හැර යන්න උනා
ම‍රීනා........ ම‍රීනා........

මුහුදු වෙරලෙදි සවස් කාලෙට
ගලක් උඩට වෙලා
අනාගතෙ ගන කතා කල හැටි
දුකයි මතක් වෙලා
ඔබේ මවුපියො ඔබෙ රට හැර
එන්න බැහැ කියලා
කිව් නිසයි මගෙ ආදරියෙ
මම යන්නෙ ඔබ දාලා

දැන් යුද්දෙ අවසාන උනා
මට ඔබ හැර යන්න උනා
ම‍රීනා........ ම‍රීනා........

ඔබ වගේ මම මගේ මව්පියො
දෙගුරුන් සලකනවා
ඔබ වගේ මම මගේ රටටත්
ජීවිතේ දෙනවා
ඔබ වගේ මම  මමත් ඔබ ගැන
කඳුලු වගුරනවා
ගඟට කැපු ඉනි දිහා බලලා
පසුතැවිලි වෙනවා

දැන් යුද්දෙ අවසාන උනා
මට ඔබ හැර යන්න උනා
ම‍රීනා........ ම‍රීනා........
ම‍රීනා........ ම‍රීනා........

මේක M.S ප්‍රනාන්දු මහත්මයා විසින් ගායනා කරන ලද ගීතයක් කියන දේ විතරයි මේ ගිතය සම්බන්දයෙන් මම කියන්න දන්නේ. කොහොම උනත් මේක මම හුඟක් ආස කරන ගීතයක්.  වචන, අදහස, තනුව වගේම මේ ගීතයේ කියවෙන නම මගේ ජීවිතයට හුඟක්ම සම්බන්ද වීමත් මේ ගීතයට මම හුඟක් ප්‍රිය කරන්න හේතු වෙන්න ඇති. මීට දෙවසරකට කලින් ඒ නම මගේ ජීවිතේ ලොකු පෙරලියක් ඇති කලා. හරියටම වසර දෙකකට පසුව මේ දින වලත් ඒ නම මගේ ජීවිතේ ලොකු පෙරලියක් සිදුකර යමින් පවතිනවා. ඒ නිසාම වෙන්න ඇති මේ සින්දුව අහන්න මම මේ තරම් ආසවක් දක්වන්නේ.
                සින්දුව අහන්න ඕනෙනම් http://www.infolanka.com/miyuru_gee/ කියන සයිට් එකට ගිහිල්ලා M.S ප්‍රනාන්දු කියන නම යටතේ තියෙන කියන Mareena සින්දුව සිලෙක්ට් කරලා ප්ලේ කරන්නකො. හැබැයි මේ සයිට් එකෙන් සින්දු අහන්න නම් Real player 1 කම්පියුටර් එකේ තියෙන්න ඕනේ.සින්දුව බාගන්න තැනක් මන් හෙව්ව හෙව්වා හොයාගන්න බැරි උනා. මගෙ ෆෝන් එකේනම් සින්දුව තියෙනවා. ඒත් ඒකෙ Sound අප්සට්. ඒක නිසා ඒක දාලා වැඩක් නෑ. කොහොම උනත් මෙන්න විශේෂ පුද්ගලයෙක් මේ සින්දුව කියද්දි හොරෙන් පටිගත කරගත් හඬ පටයක් තියෙනවා. හුදී ජන පහන් සන්වේගය උදෙසා මන් ඒක දාන්නම්. අහලා බලන්නකො කියන කෙනා අඳුරගන්න පුලුවන්ද කියලා.

Thursday, July 22, 2010

දුක නැති කිරීමේ මාර්ගය.....

මුලු හදවතම මුලු හිතම දුකෙන් වේදනාවෙන් පිරිලා ගිහිල්ලා. අතීතය අමතක කරලා සාමාන්‍ය විදියට ඉන්න මොන තරම් උත්සහ කරත් ඒක හරි යන පාටක් නෑ. මේ මුලු ශරීරය පුරාම වේගයෙන් පැතිරීගෙන යන වේදනාව, මහා ගිනි කඳක් වගේ දිගින් දිගටම ඇවිලෙන මේ දුක නැති කරගන්න ක්‍රමයක් තියෙනවද? මම මගේ හිතෙන්ම ප්‍රශ්ණ කලා.
ඔව්... ගොඩක් ක්‍රම තියෙනවා....
මගේ හිත උත්තර දුන්නා.
අනේ ඒවා මට කියන්නකො. මම මගේ දුක නැති කරගන්න ඕනා.
මම මගේ හිත ඉස්සරහ දනින් වැටුනා.
හොදයි මම කියන්නම්.
මගෙ හිත බොහොම සන්සුන්ව උත්තර දුන්නා.
උඹේ හිතේ තියෙන සේරම දුක එකතු කරලා ලොකු කලු ගලක බැඳලා මුහුද  මැදට ගෙනිහින් අත ඇරලා දාපන්.
අපෝ බෑ... මහ මුහුද කැලඹේවි.
උඹේ හිතේ තියෙන සේරම දුක වේදනාව ටික පෙට්ටගමක දාලා වහලා ඉබ්බෙක් දාපන්. මතක ඇතුව යතුර විසි කරලා දාපන් ආපහු හොයාගනන් බැරි වෙන්නම.
එච්චර ලොකු පෙට්ටගමක් කොහෙන්ද හොයාගන්නේ.
සේරම දුක වේදනාව හුලඟෙ පා කරලා යවපන්.
එහෙම කලොත් මහා කුණාටුවක් ඇති වේවි.
එහෙනම් හිතේ තියෙන සේරම දුක සරුංගලේක ගැට ගහලා උඩ ඇරපන්. පස්සෙ ඒක උඩ යද්දි නූල අත ඇරපන්.
මගේ දුක ගැට ගැහුවට පස්සෙ ඒ සරුංගලේ උඩ යයිද?
අඩි 25ක් විතර ගැඹුර වලක් කපලා දුක සේරම ඒ වල ඇතුලට දාලා අයෙත් පස් වලින් වහපන්.
මගේ දුක පිරෙව්වට පස්සෙ අයෙත් පස් වලින් පුරවන්න දෙයක් නෑ.
රුහුණු කුමාරි යන වෙලාවක් බලල රේල් පීල්ලට තියපන්.
අපොයි.... කෝච්චිය පීලි පැන්නොත් ජීවිත කීයක්ද?
සේරම දුක එකතු කරන් ගිහින් කොමඩ් එකට දාලා ෆ්ලෂ් කරපන්.
හි... හි...වලත් උතුරල තමයි නතර වෙන්නේ.
එහෙනම් ඔය සේරම දුකවල් අමතක වෙලා යන්න කන පැලෙන්න බීපන්.
ඒ මොන පිස්සු වැඩක්ද... බිලා පුලුවන්ද ප්‍රශ්ණ විසඳන්න.
එහෙනම් ගිහින් දුකට පුන් ගහපන්.
අන්තිමේ මගේ හිතට මල පැනලා කියලා දැම්මා.
දුකට පුන් ගහන්නේ මදුරුවො එලවන්නද?
ඒකටත් උත්තරයක් මන් ගාව තිබුනා.
එහෙනම් ගිහින් මැරියන්. වෙන කරන්න දෙයක් නෑ.
දැන්නම් හිතට මලම පැනලා.
හරි හරි...තරහා ගන්න එපා. මගේ හොන්ඳ හිතනේ. ඔය එකක්වත් හරීයන ක්‍රම නෙවෙයි.
මට කොහොම හරි මේ දුක නැති කරගන්න ඕන. අනේ තරහ නැතුව හරියන ක්‍රමයක් කියන්න.
ම්...ම්...ම් හිත කල්පනා කරනවා....
හරි... තව එක ක්‍රමයක් තියෙනවා...
ටිකක් වෙල කල්පනා කරලා හිත පිලිතුරු දුනා.
ආ... ඒ මොකද්ද. අනේ ඉක්මනට කියන්නකො.
මට ඉවසිල්ලක් නෑ.
ඔය හිතේ තියෙන දුක හිර කරන් ඉන්නෙ නැතිව කාට හරි කියන්න. එතකොට උඹේ හිතේ තියෙන දුක අඩු වේවි.
ශා... අන්න ඒ අදහසනම් මරු. ඒත් කාටද මන් මේ දුක කියන්නේ. කව්ද මගේ දුක අහන්නේ.
ආයෙමත් මට ලොකු ප්‍රශ්ණයක් ඉතිරි උනා.
කට හරි. ඔයාට හිතවත් කාට හරි.
මගේ ප්‍රශ්ණ අහලා ඒ අයටත් හෙන කරදරයක් වෙයි. ඒ අයටත් මව එපා වෙයි. නොදන්න අයට දුක කියන්න යන්නත් බෑනේ.
අද ලොකේ දුකේදි ඉන්න අය හොයාගන්න හරි අමාරුයි.
හ්ම්ම්.. ඒකත් ඇත්ත.... මගේ හිතත් මාත් එක්ක එකඟ උනා.
එහෙනම් මෙහෙම කරන්න. ඔයගේ හිතේ දුක කිසිම මිනිහෙක්ට කියනන් එපා. උඹට හම්බ වෙන මනුශ්‍ය නොවන හැම දේකටම උඹ උඹේ දුක කියපන්.
ඒ කිව්වෙ.....
ඒ කිව්වෙ මෙකයි... ගහකොල, සතා සිව්පාවා, ගල් මුල්, මේස පුටු..... ඔය ඕන දෙකට උඹේ දුක කියපන්. එතකොට කවුරුත් උඹට හිනා වෙන්නෙ නෑනේ.
ඔව් ඒක හරි.. මම එහෙම කරනවා. මම මගෙ හිතට නොසෑහෙන්න ස්තූති කරා.
කල් ඇරියෙ නෑ. මන් එ වෙලාවෙම ක්‍රියත්මක උනා. මම දකිනා හැම දෙකටම මගේ දුක කිව්වා. ගහකොල, සතා සිව්පාවා, ලයිට් කනු, ගල්, බොරලු කැට පවා මගේ දුක අහන්න ඇති. අඩුම ගානේ එක වැලි කැටයක්වත් මම මග ඇරියෙ නෑ. පුංචි කූඹියෙක්වවත් අමතක කලේ නෑ. හැමෝටම මගේ දුක කිව්ව.
අම්මෝ දැනුන නිදහස. ලොකූ බරක් හිතෙන් නිදහස් උන වගේ. ලොකු සැහැල්ලුවක් දනුනා. ඒ ක්‍රමේනම් හොඳයි තමයි. මම මටම කියගත්තා. සැහැල්ලුව වැඩිකමට මට ටිකක් නින්ද ගියා. මම කොච්චර වෙලා නිදාගත්තද කියල මට  මතක නෑ. ඒත් ඇහැරිලා බල්ද්දි ලොකු වෙනසක්. මුලු පරිසරයම වෙනස් වෙලා.
හොයලා බැලුවා මොකද කියලා. බලද්දි මෙන්න ටිකකට කලින් මම දුකකියපු අය හැමෝම කඳුලු පෙර පෙර අඬනවා. හැමෝගෙම ඇස් රතු පාට වෙලා.
ඇයි මේ? මම ඇහුවා.
අනේ... ඔයාගෙ දුක අහලා අපිට දුක හිතුනා. ඒකයි අපි මේ අඬන්නේ. හැමෝම කඳුලු පිහදදා උත්තර දුන්නා.
ම්..ම්..ම්...
මගේ දුක අහලා එයාලත් අඬනවනම්, මම අඬන්නෙ නැතුව ඉන්නෙ කොහොමද?
මමත් එයාලටම එක්කහු උනා.

Tuesday, July 20, 2010

සිතිවිලි අද්දර හිරවී......

ඈත මුහුදේ ඉඳන් එන ලොකු රැලි,  අපේ කකුල් ගාවටම ඇවිත් ආයෙත් හැරිලා යනවා.
ලොකූ රැලි එද්දි ඔයා හෙමිහිට කකුල් උස්සගන්නවා කලිසම තෙමෙයි කියලා බයේ.
සමහර රැලි ඇවිත් ඔයාගේ කකුල් වල වැදිල, සුදු පාට පෙන පිඩු නගාගෙන ආපහු යද්දි මට ටිකක් ඉරිසියයි.
රැලි වලට කොයින්ද මගේ කෙල්ලගේ කකුල් ඉඹින්න තරම් හයියක්.
මගේ හිත එහෙම කියනවා.
ඔයා මගේ උරහිසේ ඔලුව තියගෙන තෙරක් නොපෙනෙන මුහුද දිහා බලාගෙන.
ඈත ක්ෂිතිජය එක්ක ඔයා ලොකු භාවනාවක.
හෙමි හෙමින් මුහුද ඇතුලට ගිලෙන ඉරේ කාන්තිමත් රතු පාට ඔයාගේ මුහුණට වැටිලා.
ඔයාගෙ මූනත් රතු පාටින් දිලිහෙනවා.
ඉර බැහැගෙන යද්දි ක්ෂිතිජය හුඟක් ලස්සනයි තමයි.
ඒත් මට ඒ දිහා බලන් ඉන්න තරම් වෙලාවක් නෑ.
ආසාවක් නෑ.
මගේ ඇස් දෙක නතර වෙලා තියෙන්නෙ ඔයාගෙ මුහුණ මත.
එක මොහොතකට මගේ ඇස් දෙක වෙන පැත්තකට හරවන්න මට හිත දෙන්නෙ නෑ.
මම ඔයා දිහාම බලන් ඉන්න බව තේරිලාද මන්දා, ඔයා ඔලුව උස්සල මන් දිහ බලනවා.
අපේ ඇස් එකිනෙක හා වෙනවා.
මට ඇහි පිල්ලමක් ගහන්නත් ලෝබයි.
ඒ මොහොතත් අපරාදයක් කියලා හිතෙන්නේ.
ඇයි?
ඔයා අහනවා.
මම හිනාවෙලා ඔලුව දෙපැත්තට වනනවා මුකුත් නෑ කියන අදහසින්.
ඔහොම බලන් ඉන්නෙ?
ඔයා ආයෙමත් අහනවා.
ලස්සනයි.
මම ඔයගෙ කනට කරලා රහසින් වගේ කියනවා.
කව්ද?
ඔයා....
බොරු...
ඔයා ලැජ්ජවෙන් ඇඹරෙනවා.
ඇත්ත.... සත්තයි....
මම හෙමිහිට ලන් වෙලා ඔයාගෙ නලලට හාදුවක් දෙනවා.
ඔයා ඇස් දෙක පියාගෙන හිනාවෙනවා.
ඒ හිනාවට මන් හැමදාම ආසයි.
ඇස් දෙක වහගෙන ඔයා ලාවට හිනාවෙද්දි මගේ හිත ලෝබ කමකින් පිරිලා යනවා.
ඔයා මගේ විතරමයි.
ඔය හිනාව මගේ විතරමයි.
මගේ හිත කෑ ගහනවා.
මන් ඔයාට ආදරෙයි සුදූ.....
ඔයාගේ කම්බුලට මගේ කම්බුල තෙරපෙගෙන මම කියනවා.
මමත් ඔයාට ආදරෙයි....
ඔයාගේ ඒ වචන හුලඟත් එක්ක පාවෙලා ඇවිත් මගේ කන් පෙති සිප ගන්නවා.
දරාගන්න බැරි ආදරේකින් මගේ හිත පිරෙනවා.
මන් එහෙමම මගෙ තොල් පෙති ඔයාගේ තොල් පෙති අතර හිර කරනවා.
ඔයාගේ සුසුම් වල උනුසුම් සුවඳ මගෙ නහයට දැනෙනවා.
ඒ අතරින් ඔයාගේ තොල් පෙති වල හීතල මගේ මුලු ඇඟම කිති කවනවා.
මගේ මුලු ආත්මයම ඔයාගේ ආදරේ පහසින් නැහැවෙනවා.
පුංචි තොල් පෙති රිදුනද මන්දා.
ඉර සම්පූර්ණයෙන්ම මුහුදේ ගිලිලා හාත්පසම අඳුරෙන් වැහෙන්න ගන්නවා.
තව ඉන්න අසයි.
ඒත් කාලය අපිටත් හොරෙන් ගලාගෙන ගිහිල්ලනේ.
අපි යමුද.....
ඔයා අහනවා.
යමු කියලා කියන්න ලෝබයි.
හැමදාම මෙහෙම ඉන්නමයි හිත.
ඒත් තාම ඒකට කාලය නෙවෙයිනෙ.
මම හා කියල ඔලුව වනනවා.
පුංචි තරු කැට එකින් එක නිල් පාට දිලිහෙන්න පටන් ගනිද්දි අපි ගල් පරයෙන් නැගිටිනවා.
අපිට අත වනන්න වගේ රැලි වේගයෙන් ඇවිත් වෙරලේ හැපිලා සුදු පෙන වගුරනවා.
මේ ආදරෙත් මෙහෙමම අරගෙන අපි ආයෙත් එන්නම්.
මුහුදෙන් සමු අරගෙන අපි එන්න එනවා.
රැලි එනවා යනවා ඉවරයක් නෑ.
අදත් එදා වගේම රැලි එනවා.
වෙරලෙ හැපිලා සුදු පාටට පෙන යායක් හදලා ආයෙමත් මුහුදටම ඇදෙනවා
ඒත් ඒ වෙරලේ අද....
ඔයත් නෑ.
මමත් නෑ.
අපේ දෛවය අපිව වෙන කොහේදෝ තැනක අතරමං කරලා.
ඒත් ඒ රැලි තව කාලාන්තරයක් යනකම් අපි වගේම තවත් පෙම්වතුන්ට අත වනාවි.

Monday, July 19, 2010

හිත රැඳුනු ගීයක්....

සාමාන්‍යයෙන් මගේ දවස ගෙවෙන්නෙ සිංදුත් එක්ක. සිංදු නැතුව මගේ දවස ගෙවෙනෙන් නැති තරම්. 5GBටත් වඩා පිරවිලා තියෙන සිංදු ලොට් එකයි අන්තර්ජාලයෙන් හොයාගන්න සිංදුයි තමයි හැමදාමත් හොඳම මිතුරෙක් වගේ මගේ ලඟින් ඉන්නේ. ඒත් පහුගිය 13 වෙනිදා ඉඳන් ඊයෙ මධ්‍යම රාත්‍රිය වෙනකම් මම කිසිම සිංදුවක් ඇහුවෙ නෑ. කොටින්ම සිංදුවක්වත් අහන්න හිත ඉඩ දුන්නෙ නෑ කිව්වොත් නිවැරදියි. ඒත් හදිස්සියෙම ඊයේ රෑ එක්තරා කෙනෙක් මට එක් සිංදුවක් මතක් කලා. ඒ වෙලවෙම මට ඒ සින්දුව ඇහීමේ අසාවක් ආවා. ඒත් මගේ ගීත එකතුවෙ ඒ ගීතය අඩංගු වෙලා තිබ්බෙ නෑ. එහෙමයි කියලා මම සැලෙනවද? පටස් ගාලා ගියා http://www.infolanka.com/miyuru_gee සයිට් එකට. සිංදුව හොයාගත්තා ඇහුවා. එතනින් නැවතුනේ නෑ. ගූගල් අය්යගෙන් පාර අහගෙන ගිහිල්ලා සිංදුව බාගතත් කරගත්තා. දවස් ගානකට පස්සෙ අහපු නිසාද දන්නෙත් නෑ. ඒ සිංදුව මාර විදියට වැදුනා. අද දවස තිස්සෙම මම ඇහුවෙ ඒ සිංදුවමයි. වැඩේ කියන්නෙ කොච්චර ඇහුවත් එපා උනේ නෑනේ. ඒකට කොච්චර හිත ගියාද කිව්වොත් ඔන්න ඒ ගැන පෝස්ට් එකක් දාන තරමටම ඒක දුර දිග ගියා. මේක මහ ලොකු අමුතු සින්දුවක් නෙවෙයි. ඒත් වෙනද ඒ සිංදුව අහද්දි දැනුනෙ නැති පුදුමාකාර අපූර්වත්වයක් මම ඊයේ ඒ සිංදුව තුල දැක්කා. වැඩි බයිලා ඕනෙ නෑ. මෙන්න සිංදුව. මේක ගායනා කරන්නෙ මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා.



ගමනේ ගිම් නිවූ එදා
සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ
හද සෝ සුසුම් හෙලා


ඔබ මං මුලා වෙලා ගියා
පෙම් පහන් නිවා
අහිතක් හිතන්නෙ නෑ ප්‍රියේ
සිහිනෙකින් පවා
අද ඔබගේ ජීවිතේ
කතරකී වාලුකා
හිනහෙන්න යලි දිලෙයි
දෛවයේ තාරුකා

මතකේ තිබේද ඒ යුගේ
මාගේ චේතනා
වැටහෙන්නෙ දැන්ද ආදරේ
ශෝක වේදනා
ඝන අන්ධකාරයේ
පාලුවේ කිමිදුනා
හිනහෙන්න යලි දිලෙයි
දෛවයේ තාරුකා

ඔන්න සින්දුව බාගන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඒකට සබැඳිය. මෙන්න මෙතන ඔබලා ගිහින් ඒක බාගත කරගන්න.
බාගත කරගන්න කම්මැලි කෙනෙක් ඉන්නවනම් ඔන්න ඔන්ලයින්ම අහන්නකො.


Thursday, July 15, 2010

ජය පැරදුම

දෑවසක් තිස්සේ
පැවතුනු සීතල යුද්ධය
බුදුන් එක් පසක
ජේසු අනෙක් පස
අතරමැද හිර වුනු
අපේ ආදරය
අවසානයේ....
යුද්ධය නිමාවිණි
අප සියලු දෙනා
පැරදිනි
කුරිරු සමාජ සම්මතය
පමණක්
ජය ලදිනි

Wednesday, July 14, 2010

නුඹ නොමැති ලෝකයේ පළමු දිනය

හිරු නොමැත පෑයුවේ
මල් නොමැත පිබිදුනේ
අන්ධකාරය පමණි
මා වටා පැතිරුනේ

කාලයත් නැවතිලා
හද ගැස්ම හිර වෙලා
නුඹේ සේයාරූ බලා
දෙනෙත් පොඩි ඉදිමිලා

කල්පයක් ලෙස දැනී
තත්පරය ගත වෙනා
නුඹ නොමැති ලෝකයේ
පළමු දින නිම උනා

Tuesday, July 13, 2010

වසන්තය නිමා විය

වසන්තය නිමා විය
මල් පොකුරු මිලින විය
ඔබ නමින් මැව් හීන
දෑස් අග කඳුලු විය

දෑවසක් මුලුල්ලේ
ඔබගේම තුරුල්ලේ
තිබූ මෘදු
උණුහුමෙන් සැනහී
ගෙවූ කාලය
අදින් පසු නෑ
ආයෙමත් මා
සොයා එන්නේ

හීනි මල් වැස්සේ
එක කුඩය අස්සේ
නුඹේ බඳ වට
සුරත ලාගෙන
ගියපු එදවස්
අදින් පසු නෑ
ආයෙමත් මා
ලඟට එන්නේ

වසන්තය නිමා වූ
ඉරි තැලුන හදවතේ
කිසිත් නොමැතිව
අදින් පසු යලි
කඳුල පමණයි
ඉතිරි වන්නේ

Wednesday, July 7, 2010

නමක් නැති කවි - 5

                                            
මට ඔයාව ලැබුනොත්
අපේ ළමයි
හුඟක් වාසනාවන්ත වේවි
ආගම් දෙකක
රැකවරණය ලබන්න තරම්
ඒත්....
මට ඔයාව නැති උනොත්....
මට හිතාගන්න බැරි
මන් තරහා වෙන්නෙ
ජේසු එක්කද?
බුදු හාමුදුරුවො එක්කද?

Friday, July 2, 2010

නමක් නැති කවි - 4

ආදරය
රෝස මලක්
වගේ 
පෙනුන නිසා
මන්
තද කරලා
අල්ලගත්තා
කව්ද දන්නෙ
නටුවෙ කටු
තියෙනවා කියලා

Tuesday, June 29, 2010

බල්ලන්ගෙන් ප්‍රවේසම්වන්න

නුබ ගැබට පිවිසි
සඳ එලිය පරයමින්
දැල්වෙයි උජාරුවෙන්
දෑස් නිලංකාර කරවන
විදුලි පහන් කැට
මොර දෙයි
ස්ටීරියෝ ක්‍රමයට
මොඩ්න් සෙටප් එක
මමි ඩැඩී ඇවිත් කරලියට
අම්මා තාත්තා විසිවෙලා කැලේට
නිල් කොල මිටිය සිනාසෙයි
සේප්පුව අද්දර ආඩම්බරයෙන්
රුපියලක් වැටී සිහිසුන්ව
වරද කොතනැකද විමසයි
සාලෙ මැද පුටු සෙටියෙ
මහත්තයා පාරමිතාවක
පැතලි තිර රූපවාහිනිය සමඟින්
රුවා සිගරට්ටුව කටේ
ඒත් කලු දුම් ගුලිය හිතේ
අහස තෙක් නැගි තාප්පයේ
කෙලවර යකඩ වැටේ
වැජඹෙයි
ධනවත් බවේ සංකේතය
පුවරුවක ලියා එල්ලෙමින්
"බල්ලන්ගෙන් ප්‍රවේසම්වන්න"

Friday, June 25, 2010

මානසික පීඩනය

මේ දවස් වල මමත් ඉන්නේ පොඩි මානසික පීඩනයකින්. මොකද එකක් ඉවර වෙන්න තව එකක් ප්‍රශ්ණ. මගේ ප්‍රශ්ණ අහල ඔයලා කියයි " අපෝ ඕවත් ප්‍රශ්ණද" කියලා. එත් ඉතින් තමන්ගේ මට්ටම් තන්මැට්ටම් කියල කතවක් තියෙනව්නේ.  ඒක නිසා මගේ ප්‍රශ්ණ මට ලොකුයි.  නෑ නෑ... බය වෙන්න එපා. මන් මේක ලියන්නේ මට තියෙන ප්‍රශ්ණ ටික කියො කියො අඬන්න නෙවෙයි. මට හම්බ  උනා මනසික පිඩනය ගැන කියවෙන පොඩි කතවක්. මනසික පිඩනයකින් ඉන්න අයට තම තමන්ගෙ පීඩනේ තරම මැනගන්න මේ කතාව හොඳයි. මාත් මගේ තියෙන පීඩනේ මැන ගත්තා. ඔයාලත් කියවල බලන්නකො මැනගනන් පුලුවන් වෙයිද කියලා. මුලින්ම කියන්න ඕනෙ මේක මට විද්‍යුත් තැපෑලෙන් ආපු එකක්. මන් ඉතින් හුදී ජන පහන් සංවේගය උදෙසා ඒක සිංහලට පරිවර්තනය කොරනවා වීතරයි.

Sunday, June 13, 2010

ඔබේ අවධානය පිණිසයි...........

                             පහුගිය දිනක එක්තරා ඉංග්‍රීසි පුවත්පතක පලවී තිබූ ලිපියකි ඒ ඔබ දුටුවේ. එය කියවූ වහාම මගේ හිස මහත් වූ විමතියකින් පිරී යන්නට විය. මා පාසල් යන අවදියේද ගාල්ල නගරය තුල මෙවැනිම සිදුවීම් සිදුවූ බව මට අසන්නට ලැබී තිබිනි. එයට ප්‍රධාන හේතුව වූයේ ගාලු කොටු පවුර එදා සිටම පෙම්වතුන්ගේ පාරාදීසයක් වී තිබූ බැවිනි. කොටු පවුර වෙත ගිය දිනෙක කුඩවලින් සිය පෞද්ගලිකතවය ආවරණය කරගනිමින් නිදහසේ පෙම්සුව විඳින පෙම් යුවලක් දැකගත නොහැකි වුවහොත් එය පුදුමයට කරුණක් වනු ඇත. කලකට පෙරනම් මෙය ඉතාමත් කතාබහට තුඩු දුන් මාතෘකාවත් වුවමුත් අද වන විට එය ඉතාමත් සාමාන්‍ය දසුනක් වී ඇති බැවින් ඒ ගැන විචාරයන් අල්ප වී තිබේ. නමුත් ඉහත ලිපිය කියවන විට මට වැටහී ගිය දෙයනම් පෙම්වතුන්ට තිබූ එම අවදානම තවමත් පහව ගොස් නොමැති බවයි. කෙසේ වෙතත් එම ලිපිය කියවීමෙන් අනතුරුව මේ පිලිබඳව මට හැඟෙන දේ ගැන යම් සටහනක් කලොත් මනා යැයි හැඟී ගිය බැවින් මේ ලිපිය මෙසේ අකුරු කරන්නෙමි. මා සියයට සියයක් නිවැරදියැයි මා නොපවසමි. මේ මට හැඟෙන හැටිය. වැරැද්දක් ඇතිනම් පෙන්වා දෙන මෙන් මා පලමුවෙන්ම ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. මෙය සංවාදයට විවෘත කරුණක් බව සිහි තබාගන්න.
                                  පෙම්වතුන් හා පොලීසිය අතර සිදුවන මෙම ගට්ටනය අද ඊයේ පටන් ගත්තක් නොව, බොහො කලක පෙර සිට පැවත එන්නකි. මා පලමුව කිවාක් මෙන් මම කුඩා කලද මෙවැනි සිදුවීම් අනේකවාරයක් අසා ඇත්තෙමි. ආදරය කිරීම හා ආදරය ලැබීම යනු මිනිසෙකු සතු අයිතිවාසිකමකි. එය වැලැක්වීම සඳහා කිසිවෙකුටත් අනිසි බලපෑම් කල නොහැක. නමුත් පොලීසිය විසින් කරන්නාවූ මෙවැනි ක්‍රියාවන් එම අනිසි බලපෑම් ගොන්නට වැටෙන බව ඔබටද වැටහෙනු ඇත. "ප්‍රසිද්ධ ස්ථාන වල අනාචාරයේ හැසිරීම". පොලීසිය විසින් ඔවුනට එල්ල කරන චෝදනාව එයයි. ඇත්තෙන්ම ප්‍රසිද්ධ ස්ථානයක එසේ අනාචාරයේ හැසිරුනේනම් එය බලවත් වරදකි. මක් නිසාද යත් අපේ සංස්කෘතිය විසින් එවැනි ක්‍රියාවන් අසම්මතයන් ලෙස වර්ග කොට ඒවැනි ක්‍රියාවන් වලට් වැට බැඳීමට සංස්කෘතික නීති රීති වලින් යුතු රාමුවක් නිර්මාණය කොට ඇති බැවිනි. අප ශ්‍රී ලාංකිකයන් වශයෙන් එම රාමුව තුල සිටිමින් ක්‍රියා කල යුතුය. මන්ද සියල්ලන්ම අප දෙස බලනුයේ එම රාමුව තුලම සිටිමිනි. එම රාමුවට බාහිරින් වන දෙයක් අප විසින් කලහොත් එය අසම්මතයක් බවට පත් වේ. අසම්මතයක් සිදු කරන තැනත්තා විවිධ නම් වලින් වර්ග කරමින් ඔහුට චරිත සහතික ලබා දෙමින් එතැන් සිට සමාජය තුල ඔහුට හිමි තැන තීරණය කිරීමට තරම් කාරුණික සමාජයක් අප වටා සිටින බව ඔබ සැම දන්නා කරුණකි. අපේ සන්ස්කෘතිය තුල අසම්මතයක් ලෙස වර්ග කල ඇති දේවල් වෙනත් සංස්කෘති වලදී සම්මතයක් විය හැක. බොහො බටහිර රටවල සිදුවන ඇතැම් ක්‍රියාකාරකම් දෙස අප සමාජය වපර ඇසින් බලනුයේ එබැවිනි. ඇත්තෙන්ම මෙම වෙනස වටහා ගැනීමට තරම් දැනුමක් හෝ උවමනාවක් අප බහුතරයකට නොමැති වීම අප ලබන මහත් පරාජයක් බව මාගේ පෞද්ගලික හැඟීමයි.
                               නැවතත් ප්‍රධාන කරුණ වෙත යොමු වෙනවානම්, එසේ අසම්මත හැසිරීමක යෙදීම ලාංකිකයෙකු වශයෙන් ලංකාව තුලදී අපේ සංස්කෘතිය අනුව වැරදි දෙයකි. එබැවින් අප සියලු දෙනා එය හැසීරීම් වලින් මිදී සිටිනවානම් එය යහපත් කාරණයකි. නමුත් ගැටලුව වනුයේ පොලීසිය  විසින් මෙම අත් අඩංගුවට ගන්නා සෑම යුවලක්ම එසේ සත්‍ය වශයෙන්ම ප්‍රසිද්ධ ස්ථාන වල අනාචාරයේ හැසිරුනු අයමද යන  වගයි. උක්ත ලිපියෙහි සඳහන් වන අන්දමට නිකම් අත් අල්ලාගෙන සිටීමත් පොලිසියට ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට තරම් බරපතල කාරණයක් වේ. අවට සමාජයටද එම කරුණ පවා තම තමන්ගේ ගෞරවයටද හානි වන, දැකීමටත් ජුගුප්සාජනක මහත් අප්‍රිය දර්ශණයක් වේ. මෙය සාධාරණද අසාධාරණද යන වග වියත් ඔබට වැටහෙනු ඇතැයි මා තදින් විශ්වාස කරමි. නිදහසේ පෙම් සුව විඳීමට අප කවුරුත් කැමතිය. කොහේ හෝ සුන්දර නිස්කලංක පරිසරයක තනි වී තම ආදරය කරන තැනැත්තා සමඟ දොඩමලු වෙමින් කාලය ගෙවීමට අකමැති අයෙක් සිටීයැයි මා නොසිතමි. ඇත්තෙන්ම එය අප මිනිසෙකු වශයෙන් ලබන අයිතිවාසිකමක්ද වේ. එයට අකුල් හෙලන අයෙක් සිටීනම් එම පුද්ගලයාගේ මානසික මට්ටම ගැන වටහාගැනීමට මට මෙන්ම ඔබටද හැකිවනු ඇතැයි මා සිතමි.


                           ගාලු කොටු පවුර, ගෝල් ෆෙස්, විහාර මහා දේවී උද්‍යානය, ගල්කිස්ස මුහුදු වෙරල පෙම්වතුන්ගේ පාරාදීස බවට පත් වූ ප්‍රධන ස්ථාන කිහිපයකි. මේ ඇරුනු කොට එවැනි ස්ථාන කොතෙකුත් ඇතත් ඒ සියල්ලම එකින් එක නම් වශයෙන් සඳහන් කිරීමට මා අදහස් නොකරන්නේ මා මේ ලිපිය ලියනුයේ අතදරුවන් පිරිසකට නොවන බැවිනි. එම බොහෝ ස්තානයන්හීදී කුඩ වලින් ආවරණය කරගනිමින් පෙම් සුව විඳින ආදරවන්තයින් කොතෙකුත් දැක ගත හැක. මිනිසුන් කියනවා තරම් ජුගුප්සාජනක දෑ එම කුඩ යට සිදුවෙතයි මා විශ්වාස නොකරමි. තුරුලු වී සිටීම හෝ හාදුවක් දීම එතරම් ජුගුප්සාජනක ක්‍රියාවක් නොවන බව මාගේ හැඟීමයි.  ඊට එහා ගිය දෑ ඇත්තෙන්ම සිදුවේදැයී කීමට මා දන්නෙ නැත. එසේ සිදුවනවානම් එය වරදකි. එය එසේ වේනම් ඔවුනට යම් අවවාදයක් දීම වරදක් නොවේ. නමුත් එලිමහන් ස්ථානයක තමන් ආදරය කරන තැනැත්තා ලැජ්ජාවට පත්  විය හැකි යමක් කිරීමට තරම් වර්ථමාන තරුණ පරම්පරාව අනුවණ නැතැයි මා විශ්වාස කරමි.  එකෙකු දෙන්නෙකු එසේ හැසිරුනද සියලු ආදරවන්තයින් හට ඇඟිල්ල දික් කිරීම කොයි තරම් සාධාරනද යන්න සිතීමට මා ඔබට බාර කරමි.
                        සැබැවින්ම ආදරවන්තයන් හට නිදහසේ කතා බහ කිරීමට තැනක් තිබිය යුතුය. ඒ සඳහා වැට බැඳීමෙන් සිදුවනුයේ තානායම් කාමර පෙම්වතුන්ගෙන් පිරී යාමය. එය කෙතරම් සංස්කෘතික හිතකර කාරණයක් වනු ඇත්දැයි අප සමාජය වටහාගනු ඇතැයි යන්න මාගේ තදබල විශ්වාසයයි. පෙම්වතුන් කුඩයකින් අපේක්ශා කරනුයේ තම ජුගුප්සාජනක ක්‍රියා සඟවා ගැනීමකට වඩා තම පෞද්ගලිකතවය හා අනන්න්‍යතාවය සඟවා ගැනීමක් විය හැක. මන්ද සෑම පෙම්වතුන් යුවලක්ම දෙමාපිය අනුදැනුම මත ආදරය කරන්නන්නම නොවන බැවිනි. කෙසේ වෙතත් ගැටලුව වන්නේ මෙම කුඩ තුලට එබී බලමින් ඔවුන් සඟවන්නට උත්සහ කරන දෑම බලෙන් සොයා බලන්නට මිනිසුන් උත්සහ කිරීමයි. කුඩයකින් ආවරණය වී සිටින එවැනි පෙම්වතුන් යුවලක් දුටු සැනින් ඔවුන් දෙස වැරදි ඇසකින් බලමින් ඔවුන්ට නිග්‍රහ කරමින් කතා කිරීමට අපේ බොහෝ දෙනා පුරුදු වී සිටිති. එය ඇත්තෙන්ම මහත් ඛෙදජනක තත්වයකි. මට වැටහෙන අන්දමට එතැනින් පිලිබුඹු වන්නේ පෙම්වතුන්ගේ නොව ඔවුන් දෙස වපර ඇසින් බලනා අයගේ පහත් මානසික මට්ටමයි.
                   ලංකාව යනු අන් සියලුම දේ අංග සම්පූර්නව තිබෙන මෙම පෙම්වතුන්ගේ ගැටලුවට පමණක් මුහුණ දී සිටින රටක් නොවේ. එසේ තිබියදීත් මෙය මහත් වූ ගැටලුවක් කරගනිමින් අහිංසක ආදරවන්තයින්ගේ නිදහසට වැට බැඳීම මෙතරම් විශාල අන්දමින් සිදු කරන්නෙ ඇයිද යන වග මටනම් ගැටලුවකි. අපේ සංස්කෘතිය සදාචාරය විනාස කරන අව්ලම් පිරිසක් ලෙස ආදරවන්තයින්ට නිර්දය අන්දමින් බැන වදින අයගෙන් මා එක ඉල්ලිමක්  කරමි. එක් වරක් සමාජ ශාලාවකට ගොස් බලන්න. සම්බාහන ආයතන ලෙස පෙනී සිටිමින් ලිංගික සේවා සපයන ස්ථානයකට ගොස් බලන්න. අපෙ රටේ සංස්කෘතිය සදාචාරය තිබෙන තැන ගැන වැටහීමක් එවිට ඔබටම ලබා ගත හැකි වනු ඇත. මෙම ආදරවන්තයින් නිසා කුඩා දරුවෙක්වත් නිසි ලෙස හදා ගැනීමට නොහැකියැයි සමහරු අවලාද නගති. එසේනම් එය ආදරවන්තයින්ගේ වරදක් නොව දෙමාපියන්ගේ වරදකි. තම දරුවන් දකින හා අසන දේවල් ගැන හොඳ නරක කියා දීමට දෙමපියන්ට හැකිවිය යුතුය. තම දරුවන් හට සමාජය ගැන යහපත් නිවැරදි අවබෝදයක් ලබා දෙමින් ඔවුන්ව හරි මගට ගැනීමට දෙමාපියන්ට හැකි විය යුතුය. දරුවන් යහපත් හදා ගැනීමට නොහැකී වීමේ වරද පෙම්වතුන් වෙත පවරා අත පිහිදා ගැනීමට තරම් බහුතරයක් දෙමාපියන් පුරුදු වී සිටීම කණගටුවට කරුණකි.  එසේනම් පලමුව දරුවාගෙන් ඈත් කල යුත්තේ රූපවාහිනියයි. මක්  නිසාද යත් අද ලමුන්ගේ මනසට තදබල බලපෑමක් ඇති කරන්නේ මාධ්‍ය වන නිසාවෙනි.
                     කෙසේ වෙතත් අවසාන වශයෙන් තවත් දෙයක් කිව යුතුව ඇත. මුහුදු වෙරලේ හෝ උද්‍යානයක හෝ කුඩ යටට වී සිටින පෙම් යුවලවල් හා පුංචි තානායම් කාමර වලට පනිමින් එහි සිටින යුවලවල් අත් අඩංගුවට ගත් සිද්ධි කොතෙකුත් අප අසා ඇති මුත් තරු පහේ හෝටල් කාමරයකට පැන එහි අනාචාරයේ හැසිරෙමින් සිටිනා යුවලක් අත් අඩංගුවට ගත් පුවතක් ඇසුනොත් එය ඉතාමත් කලාතුරකින් බව මා වැවසුවහොත් ඔබ මා සමඟ එකඟ වනු ඇත. මන්ද යත් ලංකාව තුල බොහෝ නීති වලංගු වන්නේ තුන්වන පංතියේ සාමාන්‍ය ජනතාවට පමණක් වන බැවිනි. එක්තරා පැරණි කියමනක් මගෙ සිහියට නැගේ. "ලිඛිත නීතිය යනු මකුණු දැලක් බඳුය. දුබලයා එහි පැටලේ. බලවතා දැල කඩාගෙන පලා යයි." කෙසේ නමුත් හැංගී වරද සිදු වන තුරු බලා සිට දඩ කොලය ලියනා පොලිස් නිලදාරින් සිටින රටක මේවා එතරම් ලොකු දේවල්  නොවන බවද කිව යුතුය. ( මා සඳහන් කලේ මුලු මහත් පොලිස් දෙපාර්තමෙන්තුව ගැනම නොව නීච පහත් ක්‍රියා සිදු කරමින් මුලු මහත් පොලිස් දෙපාර්තමේන්තුවටම නිග්‍රයක් ගෙන දෙන පොලිස් නිලධාරීන් ගැන පමණි. තොප්පිය ගැලපෙන අය දා ගනිත්වා)
                මෙ මා සැම දෙනාටම කරන විවෘත ආරාධනයයි. මදක් සිත බලන්න. පෙම්වතුන් යනු සමාජයට පිලිලයක්ද. සමාජයට කැලලක්ද. සියල්ල තීරණය වන්නේ ඔබේ අදහස මතයි. ඔබ මා සමඟ එකඟනම් මේ අසාධරණ තත්වයට එරෙහිව පෙල ගැසෙන්නට එක් වන්න. අපි හැකි අන්දමින් සටන් කරමු. පොලිස් උවදුරින් පෙම්වතුන් බේරාගනිමු.
              

Monday, June 7, 2010

වෙනසක් නැති වෙනසක්.......

ගමේ පිටිසර
අඳුරු ලැහැබක
එකා දෙන්නා
ඇවිත් හෙමිහිට
හොරෙන් වටපිට
බලා සැකයෙන
ගිල දමයි
ගිනි වතුර හනිකට
නගරේ පොහොසත්
මැදුරෙ සුවිසල්
එකතු වී
වට මේසේ මිතුරන්
බොනවා රහමෙර
කරපු ලේබල්
රජය අනුමත
කරපු බෝතල්
බිරිඳ හැදු
කටගැස්ම සමඟින්
කොහොම බිව්වත්
එක නමම නොවුනත්
මරුවා එනවා
නොගොස් වැඩිකල්......

Sunday, May 30, 2010

පතමි සැමදා නුඹේ සිත් මල.....

සිහින් බෝපත් මැදින් වෑහෙන
සිසිල් සඳ දිය වැටී දිදුලන
නුඹේ මුව මල රැගෙන දෝතට
සිපගනිමි නුඹෙ නීල දෙනයන

බෝපතේ සිලි සිලිය මැද්දෙන්
ගන්ඨා නාදය දසත පැතිරෙයි
එහඬ පරදා නැගෙන මිහිරැති
නුඹේ වදනින් මහද සැනසෙයි

සුවඳ දුම් නැහැවෙනා මළුවේ
පහන් එලි සිත පහන් කරවයි
එමැද දිදුලන ඔබේ දෙනයන
කාන්තිය මා හදට කොඳුරයි

වෙසක් සඳ නැග දිදුලනා රෑ
අරලියා මල් පුදා හිමි හට
වැඳ වටී හිමි දෙපාමුල මත
පතමි සැමදා නුඹේ සිත් මල

Friday, May 21, 2010

කවි මඩුවේ මගේ කවි - අංක 8 (අවසන් කොටස)

දවස් කිහිපයක් මඩුවේ ගත කරලා
යන්නට දුක නිසා අද ඔබ තනි කරලා
කරන්න හිතන් හිටි වැඩ කැන්සල් කරලා
පමා වෙලා හෝ ආවා වෙත ඔහෙලා

තේරුනෙ නෑනේ මටනම් තාමත් හෙඩිම
FM නාලිකානම් ඇත අද බොහොම
අලුත් ගීත ලෝකෙට ආවත් කොහොම
පැරණි ගීත රැව් දෙයි දස අත තවම

FM නාලිකා හොඳයිද නරකයිද
යන්නේ මේ වාදේ ඒ ගැන කියලාද
නැතිනම් අලුත් හා පැරණී ගී ගැනද
ඒ ගැන පුංචි ඉඟියක් මට දෙනවාද

එල එල එහෙමනම් එල කිරි එල කොල්ලා
එනවා කියන්නට කවි, මඩුවම හොල්ලා
දිවුරා කියන්නම් මම දෙවියන් පල්ලා
දෙන්නේ මූනටයි මඩ බෙල්ලෙන් අල්ලා

අපේ ඇඟේ මඩ ගෑවුනේ කෙතේ බැතේ දුව පැනලයි
උඹලානම් මඩ නෑවේ පරගැත්තන් උන හන්දයි
ඕකට සිංහලෙන් කිව්වේ විහින් නානවා කියලයි
අපේ සීයා හිටියානම් උඹව කරත්තෙක බන්දයි

වැපා හිටියා වැටිලා කුණු කානුවක
ඉදිරියේ තිබූ හන්දියේ ලොකු බාර් එක
යන කොට මන් පැදගෙන මගේ කාර් එක
දැකලා ඔහුව දුන්නා මන් හෙල්ප් එක

කුණු කානුවෙන් අරගෙන ඒකව ගොඩට
අමාරුවෙන් දැම්මා කාර් එක තුලට
නහයත් හැකිලුනා ඌ ලඟ තිබු ගඳට
ගෙනිහින් බැස්සුවා අන්තිමේ ගේ ලඟට

නොකිව්ව නිසා උඹ නැවතී ඉන්න තැන
අහලම උඹෙන් ඒ ගැන මට ගියා පණ
වැඩක් නැති නිසා බේබද්දෙකුට බැන
එක්කන් ඇවිත් දුන්නා මගේ ඇඳේ කොන

එක්කන් අවිත් ආයෙත් උඹ නාවාලා
සුවඳ ගහන්නට සෙන්ට් පවුඩර් දාලා
උදේ බලන විට මම නෙත් දෙක ඇරලා
බලු කූඩුවේ උඹ හිටියනේ සැතපීලා


කුඩෑල්ලාව තැබුවත් අපි මෙට්ටයක
ඉඳියිද වැඩි වෙලා, පැනයනවා මිසක
නිදා පුරුදු නැති උඹ කිසිදා ඇඳක
පැන ගොස් නැවත බැහැලයි කුනු කානුවක

එක්කන් අවිත් ආයෙත් උඹ නාවාලා
සුවඳ ගහන්නට සෙන්ට් පවුඩර් දාලා
උදේ බලන විට මම නෙත් දෙක ඇරලා
බලු කූඩුවේ උඹ හිටියනේ සැතපීලා

දෙකක් නෙවෙයි මම කවි සීයක් ලිව්වත්
නිම කරන්න බෑ කියලා දේ මම දත්
අහලා බැලුවොතින් කාගෙන් හරි හිතවත්
දැන ගත හැකියි මැටි වැඩ උඹ කල කවදත්

ගුණ කල නමුදු දුදනට නොම වේ යහපත්
බොරුවක් නෙවෙයි ඒ වැකි තිබු තුල පොත් පත්
උණු වන නිසා දුක දුටු කල අපේ හදවත්
කරාට උදව් වැපා වැපාමයි කවදත්

මම කොල්ලෙක්ය යකෙකුටවත් බය නොවන
කියන්න තියෙන දේ සැම මූණට කියන
මැටි වැඩ මෝඩ වැඩ ගොන් වැඩ හැම පරණ
කියන්න හැකිද පද හතරෙන් මූ කරන

කර කර හිටපු වාදය මග නවතාලා
කොහොමද එන්නෙ කවි ටික මගෙ එහෙ දාලා
දාන්නෙ නැතුව ලාබෙට ලැබුනා කියලා
හදපන් මඩුව නොකැඩෙන හොඳ ලී දාලා

කෙල්ලත් එක්ක යන්නට පොඩි සවාරියක්
එනතුරු හිටියෙ නිදහස් ඉරිදා දිනයක්
ලැබුනා වැඩ වලින් අද මට පොඩි නිවනක්
ඒත් ඉතින් දාලනෙ මෙහෙ කවි මඩුවක්

අපි දුන් මුදල් හෙමිහිට යටි මඩි ගහලා
හොර ගෙඩි වගේ දැන් ඉන්නවා හැංගීලා
අපිවත් අහිංසක ඕවට ගාවාල
පලයක් තිබේදෝ මේ හැටි බොරු කියලා

වැපෝ මන් උඹට කිව්වා එක සැරයක්
නැහැ මම කියන්නේ ඒ දේ තව සැරයක්
බොරු මඩ ගැහුවොතින් මා හට තව සැරයක්
යන්නට වෙන්නේ සමඟින් කකුලේ කොරයක්

තද වෙන් නැද්ද මේවා අහුනට පස්සේ
කියවයි වැපා හැංගී ඉඳගෙන අස්සේ
හිත ඇතුලේ කෝපය එලියට ඉස්සේ
හිතෙන්නෙ ගාන්නටමයි මඩ තලි හොස්සේ

පුරා දින හයක් තිස්සේ කවි කියලා
දැන්නම් අමාරුයි කට හොඳටම රිදිලා
ඔප වූ කවි සිතෙන් තව තව පද ගොතලා
ඉන්නට හිතෙයි හැමදා සමඟින් ඔහෙලා

එක් වීමක් ඇතොත් වෙන් වීමත් උරුමයි
ඒ ලෝ දහම අපි කොයි කාටත් එකමයි
මේ කවි මඩුව අද දවසින් අවසානයි
එනමුත් ඉතිරි වූ මතකය අපිරිමිතයි

දමමින් බොහෝ අය ආවා බොරු සද්ද
තෙත් උනි මඩ වලින් උන් ඇඳ සිටි රෙද්ද
දුනු දිය හොඳින් ඇදලා අඳුරේ විද්ද
වැදුනා නියම තැන් වලටම මගේ ඉද්ද

මතුවිය නොයෙක් රස අදහස් සැවොම වෙතින්
එහෙ මෙහෙ විසි උනා මඩ අපෙ ඔලුව ලඟින්
කෙරුවේ වාද නොව කිසිදා ක්‍රොධ සිතින්
ඉන්නෙ මඩුව හින්දා අපි සැවොම තොසින්

කෙරුවත් වාද එක එක පැත්තට බෙදිලා
ගැහුවත් මඩ ඉතින් අපි හොඳ හැටි අනලා
දිව්වත් සමහරුන් හට ඒ මඩ වැදිලා
තරඟෙට පමණි නැත කිසි තරහක් රැඳිලා

මඩුවේ තිබෙන කවි හෙට වෙන කොට පරණයි
එනමුත් දොසක් නෑ කවි සැමදා තරුණයි
කීමට ඇත්තේ දැන් මා හට එක කරුණයි
පතනෙමි බැති සිතින් සැමටම බුදු සරණයි

කොටස් අටකින් සමන්විත වූ, දින ගණනාවක් පුරා ඔබ වෙත ගෙන ආ කවි මඩුවේ මගේ කවි මෙතකින් නිමා වන වගයි. කියවූ, අදහස් පල කල හා කවි මඩුවේදී මෙම කවි ලිවීමට මට ශක්තියක් වූ යන සියලු දෙනාටමද, එමෙන්ම මෙවැනි කවි මඩුවක් අති සාර්ථකව සංවිධානය කල ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ කාර්‍ය මණ්ඩලයටද  බෙහෙවින්ම ස්තූතියි.

කවි මඩුවේ මගේ කවි - අංක 7

මෙකත් ටිකක් අපි මඤ්ඤං වෙන හෙඩිමක්
නැද්දෝ නිකන් සූකිරි වගෙ රස හෙඩිමක්
දුන්නොත් මෙවන් සංකීර්ණ නැති හෙඩිමක්
ගෙනවිත් කවන්නම් උඹ හට ලොකු පුඩිමක්

අනේ බන් මොකද්ද
උඹත් ගන්නේ ඒ පැත්තද
දැන් මන් ගන්නේ මොකද්ද
මේකෙත් අපි එක පැත්තෙද

අපිට ඉන්න මේ මැති සභයත් එක්කා
හැකිදෝ කරන්නට දියුණුව මේ ලංකා
ක්‍රමයක් තිබේ කවුරුන් කීවත් මක්කා
ගෙන යා යුතුයි උන් මස් කඩයට දක්කා

ඔය ටික කියන්නේ දැන් බෝ කලක ඉඳන්
අහලා බොරු අපිත් හොඳටම වෙලා පදන්
දියුණුවකට අපෙ සිරි ලංකාව අරන්
යා හැකි කෙනෙක් නැහැ බිහිවී තවම මචන්

නිදහස ලැබී බොහො වසරක් ගෙවී ගොසින්
එනමුත් නොමැත ගොස් පරගැති ගතිය හිසින්
ඉන්නේ අනිත් අය කොටවන කුහක ලෙසින්
දියුණු කරන්නේ කොහොමද මෙලක ඉතින්

දියුණු වෙන්න නොදෙමින් සිරි ලංකාව
තර කරගනියි තම නිවසේ ගබඩාව
රවටාලමින් මිනිසුන් චන්දය දෑව
උන් ටික තමයි තක්කඩි මේ රට කෑව

හිටියට තියාගෙන උන් මහ ලොකු පට්ටම්
දිව දික් කලා පමණයි පෙන්නා මට්ටම්
ආවොත් දමන්නට උඹ මේ ලෙස සත්තම්
දෙනවා දෙකක් රතු වී යන්නට තට්ටම්

හිට ගන්නට ගියොත් දිගුකරමින් අන්ඩ
වෙන්නේ බස්ස ගන්නයි රත් වූ උණ්ඩ
අකමැති කවුරුන්ද ජීවත් වී ඉන්ඩ
ඒකයි ඉන්නෙ පෙරලුනු විලසින් කෙන්ඩ

මෙන්න පබලු ඇවිදින් කලකට පස්සේ
මෙපමණ කලක් හිටියද හැංගිලා අස්සේ
තෙමෙන්න ආපු එක සතුටුයි කවි වැස්සේ
මොන පැත්තෙන්ද ඔබ මේ වාදෙට බැස්සේ

මම ගොස් ආවා බත් ජුන්ඩක් කා එන්න
එබැවින් උනා කවි මඩුවෙන් බැස යන්න
මඩුවේ දැන් තිබෙන තත්වය ගැන දන්න
කෙනෙකු ඇවිත් මට ඒ ගැන පවසන්න

වැඩක් නොමැති අයනේ මැති ඇමති කැල
දමමින් හිඳියි අපහට හැමදාම දැල
අහුවෙන අපියි එක අතකින් හරක් රැල
මේවා දැකලා හැමදා අපි වෙනවා මැල

ඇත්තම ඇත්තමයි ඔබ ඔය කියන්නේ
හොරු තක්කඩින්ගෙන් රට ගොඩ ගැහෙන්නේ
පැත්තක ඉඳන් අපි කරදර විඳින්නේ
කොහොමද ඉතින් අපි දියුණුව ලබන්නේ

මොන දියුණුවක් ගැනදෝ ඔය කතාව
නවතාගන්න නොහැකියි මට සිනාව
දමමින් කිව්වමුත් ලොක්කන් ලතාව
නැහැනේ කාගෙවත් වැඩ, මිස කතාව

කිසිදා නොමැත අපහට ඔබගෙන් බාදා
වෙලුනොත් මිසක් පාලුවකින් ඔබ නාදා
මුතු මෙන් අගේ ඇති රස කවි පද සාදා
දෙන්නකො ඇවිත් මුන්ගේ මොලගෙඩි පාදා

නැව් පිට නැව් ඇවිත් වරායේ රැඳවූවත්
පාලම් ගොලනැගිලි වැඩිපුර ඉදිවූවත්
තිබෙනා ජඩ පුරුදු හැංගී තුල හදවත්
හරීද කෝව තුල දමලා මැකවූවත්

උන් ගෙන යනවනම් මේ රට ඉදිරියට
දෙනවා අපේ සහයෝගය හැම කලට
එනමුත් බලය පත් උන විට තම අතට
සිය දරු පවුල මිස රට යයිදෝ පෙරට

කොහෙදෝ තියෙන්නේ තියලා මතට තිත
බැලුවොත් නගරයක් පාසා බාර් ඇත
කියනවා තවත් උන් ඒ ගැන නැතුව කැත
හිතෙන්නෙ දෙන්න බොක්කට යන්නටයි දත

මටත් තවම බෑනේ අරගන්න හිතා
කියනවා සමහරුන් මහ මැටි මෝඩ කතා
ඒවා කියව කියවා මන් රසට ගොතා
කියනවා කවි උන් හට යන්නටම ඔතා

කවුරුත් නැහැ මඩුවෙ එය දැන් හරි නිසලයි
රට ගැන කතා කල අය යහනට බැහැලයි
හෙට මට මඩුව වෙත එනු හැකි වේද සැකයි
යන්නම් මෙමා ඔබ සැමටම බුදු සරණයි

Thursday, May 20, 2010

කවි මඩුවේ මගේ කවි - අංක 6

මොකද්ද අප්පා මේ පාරත් දුන් හෙඩිම
මේකට ඉතින් උත්තර දෙන්නේ කොහොම
ඔලුවෙන් හිටන් මේ ගැන හිතුවත් බොහොම
නැහැනේ එන්නේ උත්තරයක් මට කිසිම

ගැහැනුන් ලස්සනයි සුපිපුණු කැකුලක් මෙන්
එනමුත් කඩවසම්නම් නැත පිරිමින් මෙන්
ලස්සන කඩවසම් දෙක පටලා ගැනුමෙන්
තිබේද පලක් ඉඳිමුකො හැමදා සාමෙන්

හැඩ වැඩ නොමැතිනම් ගැහැනුන් ලස්සනට
යයිදෝ කොල්ලො ගැහැනුන් වෙත මේ ලෙසට
හැඩි දැඩි කඩවසම් කොල්ලෙක් දුටු කලට
කෙල්ලන් ඇදෙයි දමමින් මායම් ඔහුට

තනිකඩ ජීවිතෙත් ඇත අමුතුම ආතල්
සමහරු විඳගනියි සමඟින් එය බෝතල්
එනමුත් දුශ්කරයි එලෙසින් ඉනු හැමකල්
යන්නට වෙනවා දීගෙක නොගොසින් බෝකල්

කොහොමද මචන් ඒකට උත්තර දෙන්නේ
තාමත් අනේ මම තනිකඩවනෙ ඉන්නේ
තාමත් නොමැත කෙල්ලෙකු හට හිත දුන්නේ
කොහොමද ඉතින් විවාහයක රස දන්නේ

එහෙනම් අපි දෙන්නම එක බෝට්ටුවේ
පැත්තක් ගන්න බැරුවයි මේ තෝන්තුවේ
හවසට සෙට් වෙමුද හන්දියේ බෝක්කුවේ
කීයක් තියෙනවද උඹගේ සාක්කුවේ

එහෙනම් මචන් උඹ උඹෙ පැත්තට පලයන්
මමත් හෙමින් මගේ පැත්තට ගාටන්නන්
කසාදයද තනිකඩයද හොඳ කියපන්
උඹට විරුද්දව මම වාදෙට එන්නම්

කියනවානම් උඹ ඔහොම
මම විරුද්ධ වෙන්නෙ කොහොම
තීරණයක් ගත්තහම
කියාපන් මචෝ වහම

මොකද්ද කියලා දැනගන්නට අඩු පැත්ත
එවන්න කවුරුහරි විගසින් මට දත්ත
විමසා එම දත්ත පවසමි මම ඇත්ත
එතකන් ගිහින් එන්නකො ගහලා පෙත්ත

අනේ මන්දා මටනම් නැහැ තේරෙන්නේ
තාමත් මෙමා පොඩි කිරි සප්පයා වන්නේ
අම්මානම් නිතරම මට පවසන්නේ
කවදද පුතේ ලේලිය මගේ ගෙන එන්නේ

සිටියත් සමහරක් බැඳලා දුක් විඳින
කොපමණ පවුල් සිටීද සතුටින් සිටින
දෙමව්පියෝ මගේ සිටිනා බොහො තුටින
යන්නම හිතෙන්නේ දීගෙක විට දකින

දැනුයි ඔන්න ඔබ හරි පැත්තට ආවේ
මෙපමණ වෙලා ඇයි ඉල්ලාගෙන නෑවේ
විවාහේ අගය ඇයි ඔබ බල්ලට දෑවේ
ආදරේ නැති තැනයි කසාදේ කෙල වූවේ

යමක් කමක් හිපෝට දැන් තේරෙනවා
වටිනා කියන දේ ටික ටික පවසනවා
එක අතකින් කුමටද පුදුමය වෙනවා
පොල් ගෙඩියක් උනත් ටික ටික මෝරනවා

මේ හෙඩිමේදි ඔබ කියනා කාරණය
පිලිගන්නෙමි මමත් නොදමා වාරණය
කරගත්තොත් ඔය දේ අපි ධාරණය
හැකි වෙයි කරන්නට යහපත ප්‍රේරණය

ගන්නට ජීවිතේ වැදගත් තීරණය
බැහැනේ අනේ වන සිතකින් දොලනය
ගැටලුව වෙන්නේ ඔබව කරපු පෝශණය
දෙමාපියන්ගෙන් ආවොත් වාරණය

තාම නැද්ද කට්ටිය පැත්තක් ගත්තේ
ඇයිදෝ තාම හරි තීරණයක් නැත්තේ
පාට එපා මටනම් මම දැන් ඇත්තේ
විවාහ ජීවිතේ හොද කියනා පැත්තේ

පාටක් හෙම නිසා නොව මා මේ පැත්තේ
හොඳින් හිතා බලලයි තීරණෙ ගත්තෙ
උඹත් ඉන්න හින්දා දැන් මගේ අත්තේ
බය නෑ හිතට සවියක් හිත තුල ඇත්තේ

සතුටුයි බොහොම සතුටුයි මට අහන්නටත්
මමත් එනවා සහයෝගෙට වී සවිමත්
විවාහ ජීවිතේ වටිනා කම සිහිපත්
කරදෙමු තනිකඩුන් හට දිග හැර පොත් පත්

පීටර් කොලුවා පැනලා ගොස් හොර පාරේ
දිල් අක්කා තාමත් ඉන්නේ දාරේ
සසීන්ද්‍රයා තනීවී ඇත මහ පාරේ
නිතරඟයෙන් දිනුම අපිට මේ වාරේ

මමනම් ගත්තේ පැත්තක් පාටකට නෙවෙයි
විවාහ තියෙන වටිනාකම හිතට දැනෙයි
පැත්තක් නැතුව ඔබ තාමත් ඔතන තැවෙයි
පැත්ත කුමක් වූව අපි ඔබ සමඟ සිටියි

මතකද ඔබට මා පලමුව ලියුව කවී
ආසා හිතෙන බව පිලිඹඳ විවා දිවී
එතකොට නැහැනේ පාටක් කරලියට මැවී
වැටහෙන්නෙද මා නැති බව බයට නැවී

නෑ නෑ උඹ ඔහේ හිටහන්
මෙහෙන් අය ඔහෙට දෙන්නන්
හැබැයි ඔන්න මන්නන්
නැහැ දැන් පනින්නේනන්

අනේ මන්දා මම දන්නෑ කිසිම දෙයක්
විවාහේ හොඳයි කිය කිය දැන් හිටියා පැයක්
නැහැනේ තවම වාදය අවිලෙනා සෙයක්
කියන්න ඉතින් දැන්වත් හිත කියන දෙයක්

Tuesday, May 18, 2010

මට විශේෂ ලිපිය

පහු ගිය ටිකේම දදා හිටියේ කවි මඩුවෙදි මම ලියපු කවි ටිකනේ. දැන් කොටස් 5ක් දාල තියෙනවා. තව කොටස් දෙකක් විතර වගේ තමයි දාන්න තියෙන්නෙ. මන් ඉතින් වැඩිය කවි ලිව්වෙ නෑනෙ. ඔක්කොම එකසිය හැට ගානයිද කොහේද ලියලා තියෙන්නෙ. අදත් හරිනම් ඒකෙ හය වෙනි කොටස තමයි දාන්න ඕන. ඒත් අද ඒක නොදා මන් මේ වෙනම ලිපියක් ලියන්න ගත්තේ විශේෂ කාරණාවක් හිංදා. ඒක ඔයාලටනම් එතරම් විශේෂ කාරණාවක් නෙවෙයි. නමුත් මටනම් ඒක අති විශේෂ කාරණාවක්. අන්න ඒ කාරණාව ගැන පොඩි සඳහනක් කරන්න ඕන නිසා තමයි අද දාන්න තිබ්බ "කවි මඩුවේ මගේ කවි - අංක 6" පල කරන එක පොඩ්ඩ්ඩකට කල් දාලා මේක ලියන්න ගත්තේ. දැන් ඔයලා ඇඟිලි කටේ ගහගෙන, ඔලුව කහ කහ, නියපොතු හප හප කල්පනා කරනවා ඇති මොක්ද්ද බොල මේ විශේෂ කාරණාව කියලා. හරි හරි. ඒක කල්පනා කරන්න ඔච්චර මහන්සි වෙන්න ඕනෙ නෑ. ඔයාලව වෙහෙස කරවන්නෙ නැතුව මන්ම කියන්නම්කො ඒ ගැන. මෙන්න මේකයි.

Monday, May 17, 2010

කවි මඩුවේ මගේ කවි - අංක 5

අම්මපා යකෝ මොකද්ද බොල මේ හෙඩිම
කටත් ඇරන් බැලුවා මම වී පුදුම
අමුඩෙද කලිසමද මම දන්නෑ හොඳම
මමනම් අඳින්නේ තාමත් පට සරම

මගේ පට සරම මට දෙවියෙක් සමානයි
සරම නැතොත් මම හෙලුවෙන් අනාථයි
සරමට මේ අපහසයක් උනාමයි
මට තද උනොත් මාරයා හා සමානයි

සරමට යටින් කලිසම අපි ඇන්දාට
කලිසම අඳිනවද අපි සරමක් උඩට
කලිසම ලොකු උනත් පරගැති උඹලාට
තේරෙයි ශිපර් එක කැඩිලා ගිය දාට

කිව්වම යමක් පෙන්නා හොඳ උපහැරන
ඒ කිව් දෙයෙහි හරයක් සිහියට නොගෙන
මතුපිට පෙනෙන දේ පමණක් සිතට ගෙන
ලොකු කම් කියන මුන් මෝඩයො සේ පෙනෙන

අනුරාධයා කවදත් හොඳ සිංහලයා
වීර පුතුන් අතරන් මේ සිව් හෙලයා
සුද්දට කත් අදින අපගේ වැප් මලයා
වාගෙම ඔබත් පෙන්නයි ඔබේ විශ දලයා

ආයුධ බලය ඉදිරියෙ ගෙරි සුද්දාගේ
අසරණ උන නමුත් රජවරු ඒ වාගේ
රට ජාතියට ලැදි අය මේ මන් වාගේ
හිටියා එදත් සිඳිමින් ඔලු සුද්දාගේ

ඇවිලෙන අතරෙ දලු ලාගෙන කවි ගින්න
සෑහෙන කාලෙකින් ආවා මම ඔන්න
ඩ්‍රයි ක්ලීන් කරන්නට ලොන්ඩරියට දුන්න
යන්නට උනා මගේ අමුඩය ගෙන එන්න

සතුරාගෙන් වුවත් හොඳ දේ ගත යුතුය
මිතුරා වුවත් නරකයි නම් බැහැරටය
ඔලු ගෙඩියක් ඇතුලෙ මොල ගෙඩියක් ඇතිය
ඒ ඇති මොලේ වෙහෙසවීම ඔබ සතුය

මමනම් මොනවා වූවත් හෙලයගෙ පැත්තේ
කිසිදා නැහෙන් නෑ පර සුද්දගේ මත්තේ
එල්ලී කෑ ගහන ගෙරි සුද්දගෙ අත්තේ
දැනගෙන හිටියොතින් නරකද උඹෙ තත්තේ

පෙන්නා උඹත් පර සුද්දගේ ජඩ ගතිය
පහර දෙන්න සැරසෙයි මට හැර බැතිය
අපිනම් කිසිමදා ඔය වගෙ වෙන් නැතිය
ඒකයි අපේ උදාර සිංහල ගතිය

දියුණුයි කියාගන්නා දැන් තාක්සනේ
හින්දා නේද අප හට වෙන්නේම විනේ
සුද්දා පවා දැක්කම බය වෙන්න අනේ
හැදුවේ බිසෝ කොටු ඒ කල කව්ද පනේ

සොබාදහම් මෑණිය හට වින කරලා
කුමටද තාක්ශණයෙන් දියුනුව පතලා
ලැජ්ජයි අනේ කරනා වැඩනම් ඔහෙලා
මමනම් ඉන්නෙ දැන් හොඳටම කල කිරිලා

විදුලොව දියුණුව ටික ටික වැඩි වෙද්දී
සොබා දහම යයි මරු තුරුලට පැද්දී
අරගෙන බලාපන් ඉතිහාසෙන් සිද්දී
වැටහෙයි දිනක ලොව සුනුවිසුණුව යද්දී

උදයට හමුවෙලා පවසා ගුඩ් මෝනින්
රෑට නිදා ගනිද්දි ගුඩ් නයිට් කියමින්
ඉන්නා පරගැතින් බොරු සෝබන මුහුණින්
දනීද දෙන අරුත "ආයිබොවන්" වදනින්

උදයට හමුවෙලා පවසා ආයුබොවන්
හවසට හමු වුවත් පවසමි ආයුබොවන්
දවල්ට උනත් වෙනසක් නෑ ආයුබොවන්
පතමින් ආයු වැඩි වන ලෙස ආයුබොවන්

ඒක ඉතින් උඹලගේ පර ගතියෙ හැටී
මොලයත් තියෙන්නේ පිරිලා වලින් මැටී
සුද්දා සිටින පහත්ම තත්වයට වැටී
අල්ලලා බලාපන් ඇති උඹලාට නැටී

උදයට පවසන්නේ හමු වී ගුඩ් මෝනින්
දවල්ට හෙන ගැහී පලයන් සිතා හිතින්
නිදහස ලැබී බොහො කල් ගත උනත් ඉතින්
තාමත් ඉන්නේ සුද්දගේ ජඩ ගතිය පිටින්

සුද්දා අනිත් අය පහතට නොදැමු බව
මෙපමණ දේ වෙලත් පවසනවානේ තව
යටතට අරන් අන් රටවල් තිබෙන ලොව
පෙන්නුවෙ මහත්මා ගතියද මට කියව

ලියන්න අක්කේ ලියන්න බය වෙන්න එපා
අපිත් ඉන්නවා මඩුවේ තවම දපා
පණ නැති වෙන්න සුද්දට ගැති අයගෙ දෙපා
ලිව්වොත් මමත් සහයට එමි සෙනෙහෙ පපා

පරගැති අයටනම් ඒවා ලොකු දේවල්
නිවනක් නැතුව කියවනවා රෑ දහවල්
සිංහල කමට ඇයිදෝ මේ හැටි කේවල්
නැහැ ඉවසන්නේ මම මේ වගේ වංචාවල්

සිංගප්පූරුවේ ඇති දියුණුවට මෙදා
වැඩි දියුණුවක් ලක්දිව තිබුනා පෙරදා
සුද්දන් හිටියනම් අපෙ මව්බිම හැරදා
අද මෙන් වෙන්නේ නෑ මේ දෙරණට කිසිදා

වැප් සැඟවිලා උගේ කාමරෙ ඇඳ අස්සේ
හරිහැටි නොදැනගෙන ඌ වාදෙට බැස්සේ
සුද්දන් හොඳයි කියමින් මේ හැටි කැස්සේ
පරගැතියන්ට ඕකයි වෙන්නේ පස්සේ

නොපතමි හිපෝ ඔබහට සුබ රාත්‍රියක්
එහෙම කලොත් සිංහල කමටත් කැලලක්
ලබා ගන්න ඔබහට දිගුකල් දිවියක්
පවසා ආයුබෝවන් යැයි දෙමි රුකුලක්

ඕකයි ඔන්න ඔබලට වැරදිච්ච තැන
ඔබලා සැවොම හැමදාමත් ගන්න ඇන
අරගෙන හැමදේම සුද්දා නිකන් දෙන
තිබු හොඳ පුරුදු ගිහිල්ලා ඇතටම පැන

පෙනුමෙන්නම් හැමෝම දැන් නිදි පාටයි
ජය පැරදුමක් හෙම කාටත් නැති පාටයි
සැබෑ දිනුම සිංහලකම රැකි දාටයි
එකා මෙන් හිඳිමු ජය මතු පරපුරටයි

Sunday, May 16, 2010

කවි මඩුවේ මගේ කවි - අංක 4

අනේ මංදා මේ ගැනනම් මන් දන් නෑ
කිසිම අදහසක් මගෙ ඔලුවට එන් නෑ
ආදරේ විවාහේ ගැන්නම් මන් දන්න් නෑ
මෙ වගේ හෙඩින් මේ වාදේට ගැලපෙන් නෑ

හුදකලාව විටකදි හොඳ කලාවක්
විටකදි එපා වෙනවා ලෙස ජරාවක්
ආදරෙ කියන්නෙත් ලස්සන කලාවක්
නැහැනේ මට ඕවට වැඩි වෙලාවක්

ආදරේ කියන්නේ සුවිසල් වගකීමක්
විවාහේ කියන්නේ ඊටත් වැඩි ගේමක්
මේ දෙක තුලදි උනොතින් හෙම රැවටීමක්
ඇත්තේ දෙදෙනගෙන් කෙනෙකුට වහ බීමක්

මහ හඬ නන්වමින් හෙන ගෙඩි පිපුරු නිසා
ඉන්නට උනා මෙපමණ වේලා අලසා
දෑවදි ගන්න එක හොඳ නැති බව පවසා
සබයට එනවා කවි පද අරගෙන මෙලෙසා

අතපය හොඳට තිබේනන්
වැඩපලක් කරගත හැකිනන්
නිවටයෙක් නෙවෙයිනන්
දෑවද්ද ගන්නේ මොකටද බන්

එන්නට වෙන්න මට දහසක් වැඩ මැද්දේ
ඒකයි එක දිගට දාන්න බැරි සද්දේ
ඉපදුන විටදි අත පය හොඳ හැටි ලද්දේ
ගන්නද ලබා රන් මසුරන් දෑවැද්දේ

වලිය පටන් ගෙන ඇයි බොල පැන යන්නේ
හිටියොත් උඹට මාගේ හැටි පෙන්නන්නේ
කවිපද ඉගෙන ගෙන එන්නද සැරසෙන්නේ
පැය තුනකට පස්සේ බොට කෙලවෙන්නේ

පලමුව හිත යන්නේ කෙල්ලගේ ලස්සනටයි
ඉන්පසු බලයි සිතිවිලි හෙම ගැලපේදැයි
දැනුනොත් වගේ අදහස් අහසයි පොලවයි
රූ රැජිනක් උනත් මමනම් ගන්නෑමයි


තිබෙනා දෑත දෙපයින් වැඩ කරලා තම
සලකන එකයි බිරිඳට හරි පිරිමි කම
කට බලියාන දෑවැද්දට හලන සෙම
ඒකට කියන්නේ උඹගේ ..............කම

අනේ නාකි සොරෝ දැන් මේ අහපන්
දෑවදි ගන්නේ පිට කොඳු පණ නැති අය බන්
ඩින්ගක් හරි මොලේ පොඩ්ඩක් පෑදෙනකන්
කෙලින් කර කඩුව ඒ මත වාඩි වෙයන්

අන්තිමේ සෝරො උඹ හරි තැනටම ආවා
මෙපමණ වෙලා හිටි අඳුරෙන් ගොඩ ආවා
දෑවැදි ගැන තිබූ මත බැහැරට ලෑවා
අතපය හයිය ඇත්නම් කුමටද ඕවා

අහලා හිතෙනවද මුස්ලිම් අයගෙ සිරිත්
දෙන්නේ පිරිමියයි දෑවැදි අරන් ඇවිත්
අහනා සිංහලයා හැමදා උදේ පිරිත්
ඇයි හැසිරෙන්නේ මිනිසුන් ලෙස නැති හිත් පිත්

කෙල්ලෙක් ගන්න දෑවද්දක් ඕනෙමද
අත පය තියෙන්නේ පිටවල් කහන්නද
දුප්පත් කෙල්ලො මේ ලොව කොපමණ ඇද්ද
ඔවුනට යන්න දීගෙක අවසර නැද්ද

ගති ගුණ හොඳ පිරිමි මේ ලොව ඕන තරම්
ඕනේ ඉතින් ලැබ ගන්නට ඔවුන් වරම්
දෑවැදි ඉල්ලන්නේ පිරිමින් ඇති ජඩකම්
හොඳ අය පතා දැන්වත් කරපන් පින්කම්

කෙල්ලෙකු වෙලත් නුඹ දැන් ඔය කියන කතා
බැලුවොත් හොඳයි නැවතත් තව වරක් හිතා
ඔබෙ පෙම්වතා අවොත් දෑවැද්ද පතා
තෙරෙයි අගය කවි වල මා කිව්ව ගොතා

දෑවැදි ඉල්ලමින් අඩි පොලවේ හප්පා
කෙල්ලගේ දෙමව්පියනට විශ පෙන පුප්පා
කරනා විනාසය දැක පණ යයි අප්පා
නැහැ තේරෙන්නේ නුඹ තවමත් කිරි සප්පා

දෑවැද්ද හින්දා
ඔබෙ අත ගන්න උන්දා
දෑවැද්ද ඉවර උනුදා
දාලා යාවිද අනේ මන්දා

රස කවි ලියන්නට නම් තවමත් හැකිය
එනමුත් ඔපීසියෙ වැඩ හරහට ඇතිය
කොපමණ හැඩ දමා ලිව්වත් මම කවිය
නුවණැස ඔබට දෙන්නට බලයක් නැතිය

දෑවැදි ගන්න නොගන්න එක තොපගේ වැඩක්
එය දෙන නොදෙන එකනම් කෙල්ලගේ වැඩක්
මිනිසුන් වාගේ කරන්න බැරි වඩක් පලක්
මට දුක පතන එක දෑවැදි ලෙසින් හරක්


තරහා යන්නේ මැටි මෝලුන් දැක්කාමයි
බත් කන හරක් ඉන්නා බව දුටුවාමයි
මැට්ටන් වටේ සිටිනා බව හැඟුනාමයි
රටට කෙල උනේ උඹලා හින්දාමයි

තරුණිය නුඹේ පණ වගේ ආදරෙ කරන
ගන්නා දිනට නුඹ ඇය පාවා සරන
දෑවැදි ඉල්ලමින් මහ විගඩම් නටන
නුඹ ගැන ඇගේ පැහැදුම හෙම වෙයි කොහොම

මග බල බලා දෑවැද්දෙන් යැපෙන්නට
අලසව ඉන්න පිරිමි කමෙන් පල කුමට
දැන්වත් හිතට අරගෙන මේ ගැන හොඳට
හැදියන් පිරිමියෙකු ලෙස හැරදා කම් නිවට

කවි මඩුවේ මගේ කවි - අංක 3

හැම සිත් සතන් තුල මතු කරමින් සවිය
බිහි වේ නැවුම් අදහස් සමගින් කවිය
අරඹන්නට ඉතින් මේ ලෙස කවි කෙලිය
දල්වමි පහන් සිලුවක් කරමින් එලිය

කවි පද වලින් මේ ලෙස කෙරුවත් වාද
නෑ කිසි කලෙක අප අතරේ මත භේද
සැමදා හොඳින් මිතුරන් ලෙස වී හාද
ඉන්නයි ඕනේ ඔබ මට එකඟයි නේද

පුටුනම් දෙන්න පුලුවනි එකකට දහයක්
ඒ ගැනනම් එපා තියන්න කිසි සැකයක්
පමා උනත් ආ එකනම් ලොකු හයියක්
මෙන්න පුටුව දැන් ගලපමු තව කවියක්

ඔබේ තෙල් වලින් පහන තවත් එලිය උනා
ඔබ ආ එකෙන් තිබු ලොකු අඩුවක් පිරුනා
එලියට දමා සිතිවිලි හිරවී තිබෙනා
යන් ඉදිරියට තව කවි පද ගලපමිනා

ආපු එකනම් මහත් දෙයකී
මඩුවේ රස තව වැඩිවු සෙයකී
යන්න කලියෙන් එලිය වියැකී
තවත් කවියක් කියනු යෙහෙකී

දැල්වූ පහන් මෙන් කවි සිත් බැබලේවා
රස පිරි අරුත් පිරි කවි පද බිහි වේවා
රස කවි බෙලෙන් සැම ජන හද පිබිදේවා
ආසිරි පතමි කවි මඩුවට ජය වේවා

නිවමින් සිතේ සැඟ වී ඇති කවි පවස
ඉන්නට සිතා සිටියත් වනතුරු සවස
වැඩ බොහොමයක් ඇත කලයුතු අද දවස
නැත්නම් බලා යන්නට වෙනවා නිවස

ප්‍රශ්ණේ තියෙන්නේ නගරේ ගමේ වත්
නොව එය තිබෙන්නේ අපගේ තුලයි සිත්
වෛරය ද්වෙෂයෙන් කිසිදා නොවී මත්
හිටියොත් ගමයි නගරෙයි එකසේ ගුණවත්

ආරාධනය පිලිගෙන මට කල පබලූ
ආවත් කරන්නට කවි මඩුවම එකලූ
පැණයක් නැගෙයි රත් කරගෙන ඇට මිදුලූ
ගන්නේ කුමන පැත්තද මම මින් යාලූ

නගරය හොඳයිදෝ ඇත්තට ගමට වඩා
නැතිනම් හොඳයිදෝ ගම නගරයට වඩා
ඇයි අපි හිතන්නේ මේ ලෙස දෙකට කඩා
හිතුවොත් හොඳ නැද්ද ඒ ගැන මීට වඩා

පැත්තක් නොගෙන තව දුරටත් මට ඉන්නට බැරි හින්දා
අමාරුවෙන් හිතලා හිතලා තීරනයක් ගත්තා මෙදා
ගමයි නගරයයි වෙන් කොට බැලුවොත් හොඳ නරක බෙදා
ගම ඉන්නවා ඉස්සරහින් නගරෙට වැඩියෙන් සැමදා

නගරේ අය හිතන් ඉන්නේ ලොකු සුරපුරයක් කියලා
මටනම් දැන් එපා වෙලා නගරේ අපා දුක විඳලා
වරිච්චි මැටි බිත්ති තියෙන පොඩි පැල් කොටයක් හදලා
මමනම් දැන් හිතන් ඉන්නෙ ගමකට යන්නට කියලා

තියෙනා තරම් අදමිටු කම් වල යෙදිලා
ඉන්නේ වගෙයි කට්ටිය සිල් ගත් බළලා
කම් සැප සොයන් එක එක තැන් වල ලැගලා
නගරේ අයගේ සිරුරර මැක්කො නැගලා

හොඳ ගුණ පුරුදු සාරධර්ම පිරිහීලා
ආගම දහම යයි දැන් ඈතට අදිලා
කැසිනෝ කැරොකේ වල අස්සට වැදිලා
සිල්පද කඩයි පස් පව් වල එල්ලීලා


හොරකම් කරන තත්වෙට අපි නොමැත වැටී
මුන්ගේ මොලේ තියෙන්නෙ වේලිච්ච මැටී
මා ලිව් කවියෙ පද තුනකට විද්ද හැටී
ඔය පෙන්නන්නෙ නගරේ කොල්ලන්ගෙ හැටී

අසිරිය කුමක්දෝ උස ගොඩනැගිලි වල
කඩාන වැටේ පොඩ්ඩක් සිදු උනොත් හෙල
ඇත්තේ ගම් වලයි විහිදී පුරා වෙල
අපගේ ඇස් පිනන සුන්දර පාට කොල

දැක ඇත ඇති පදම් නගරේ ගොඩනැගිලී
ගෑවෙන තරම් උස අහසේ වැහි පිහිලී
එනමුත් කිමද ඔය තරමට උඩ පැනිලී
මිනිසත් කමට නැහැනේ සැලකුම් ලැබිලී

ගත්තොත් පුවත් පත ඉරිදා උදෑසන
දැක ගත හැකිය මිනිසත්කම ඔබ කියන
නගරේ වෙසෙන ජීවිත වල හිස බමන
පිරිලා තිබේ කල කී දෑයින් අමන

ගඟෙන් වතුර බී මුහුදට ආවඩනා
මිනිසුන් බොහෝ ඇත නගරයෙ සැරිසරනා
ගමකට ඇවිත් බැලුවොත් එහි ඇති වරුනා
වැටහෙයි නුඹට ගම තුල ඇති කම අගනා

කොල පාටින් දිදුලනවා වෙල මැද්දේ
ඔන්චිල්ලාව කවි ගී තාලෙට පැද්දේ
රත් වූ රබානෙන් එන මිහිරැති සද්දේ
සිරිය අගෙයි ගම්මානයේ අවුරුද්දේ

සැපනම් තිබේ ගම්මනයේ ඕන තරම්
එනමුත් දුකක් නැත ඒ හැටි නගරේ තරම්
විඳින්න ගමක ඇති සැනසුම ඕන පදම්
මොනවා කරන්නද නැතිනම් ඔබට වරම්

කායික මානසික සුවයක් ඕනේනම්
බරකින් මහා හිස වෙලිලා ඇත්තේනම්
සැනසුම සතුට සොය සොය සිත ලතවේනම්
බෙහෙතක් වෙන තියෙද ගමකට යනවා තරම්

කෑම බීම නම් ගම්මැද අඩු නොමැතී
වී ටික කපා අවුරුද්දට ගෙට ගනිතී
අල කොස් බතල හොඳ රස කෑමකි ගුණැතී
නගරේ එවුන් ටික වස විස කා නහිතී

නගරෙට වෙලා රස්සාවක් කෙරුවාට
නැහැනේ තවම මගේ ගැමි කම ගොස් දුරට
එක එක නමින් කෑම ජාති කෑවාට
වඳිනවා තවම අපි බත් දෙන ගොවියාට

නගරයේ පිට ඔපය ඔබගේ සිතට වැදී
ගැමිකම ගිහින් බොහො දුර ඈතටම ඇදී
නැහැ මගේ ඔලුව නගරයේ පන්නයට හැදී
තාමත් මගේ හිත ගැමි සුවඳටයි ලැදී


බැර බලය පෙන්නා
දිනන්නට මග බලනා
නගරෙ උන් නොමනා
කසල ගොඩ මෙන් දුඟද හමනා


සෑහෙන වෙලාවක් සබයෙන් පිටට ගොසින්
ඉඳලා නැවත ආවෙමි කවි රැගෙන තොසින්
නගරයෙ ඉන්න හොර තක්කඩි බමුණු වෙසින්
දැන් ඇති හිටිය කාලය ඔය උඩුඟු හිසින්

දැකුමත් බොහොම සතුටුයි දිල් අක්කෙ ඔබ
කවුරුත් නෑනෙ කවියෙන් කරගන්න හබ
ලස්සන කෙරෙහි ගම්මානයෙ බැඳිලා ලොබ
ගියාද දන්නේ නෑ ඒ සුව ගන්න ලැබ

නගරේ උන් කෙරුවත් ඔය නරි වාදේ
ගමේ නිල් ගොයම වෙනදා මෙන් පීදේ
ගම වටිනවා නැහැ ඒ ගැන සංවාදේ
දිනුම අපෙයි දානවා අපි හෙට සාදේ

කරනා ලඳුන් ලොව පැරණිම රැකියාව
ඇත මංසන්දි වල ඉඳන්ම හැන්දෑව
ගම් වල සියලු දෙන සිය මුල් තැන පෑව
සංස්කෘතිය නගරෙදි බල්ලට ලෑව

Saturday, May 15, 2010

කවි මඩුවේ මගේ කවි - අංක 2

එන්නත් හිතයි කවි පද වැල් ගොතන්නට
එනමුත් වැඩත් ඇත මහ මෙර මෙන් උසට
අරගෙන පුංචි කවි මී පැණි මෙන් රසට
එන්නම් විටින් විට ඔබ දැකගෙන යන්ට

ලුණු රස දැනෙන්නටනම් දිව ඕන වගේ
කවි රස දැනෙන්නට කවි සිත ඕන නගේ
නුඹ හට එය නැති එක වරදක්ද මගේ
දන්නෝ දනිති මගෙ කවි වල තියෙන අගේ

පද ගලපන්න නොවුනත් මම හරි රුසියා
වැඩ කිඩ වලින් කොලඹම හොල්ලන් හිටියා
සත්තයි අනුරාධ නුඹනම් හරි දසයා
කිව්වා එහා බෝඩිමේ ඉන්නා සොපියා

සොපියා සමඟ මගෙ තිබෙනා සබඳකම
කියන්න හැකිද මේ පොඩි උන් ඉදිරියෙම
වැඩිහිටියන්ට පමණයි කියලා උඩම
දැම්මොත් කියමි හොඳ හැටි හොයලා පදම

දැන්නම් කේන්තිය උතුරයි නහර කපා
අරින්න හිතයි සෙම හක්කේ තියලා හපා
ඉන්නා මගේ ලඟ මා හට කොමල පපා
මගේ සුදු සොපියා මේවට ඇදගන්න එපා

සොපියයි මමයි එක නැකතෙයි උපන්නේ
සොපියට වඩා මම වැඩිමල් කියන්නේ
සොපියයි මමයි යහතින් කල් ගෙවන්නේ
ඇයි අපෙ කූඩුවට ගල් කැට ගහන්නේ

සොපියා සුදුයි නෑ සැකයක් උපතේ ඉඳන්
මම නෑ සැලෙන්නේ ඇසුනට උඹේ වදන්
උඹලා වගේ හොර රහසේ තනිව හදන්
අපි නෑ බිව්වෙ වද කහ සුදි අඳුරෙ ඉඳන්

ඕවා තමයි ජෙලස් එකට කියන කතා
සුදු වෙන්නටත් සසරෙන් ආ යුතුයි පතා
පතන් ආපු හැටියටනේ යන්නෙ ඔතා
කියලා දුන්නේ මට ඔය ගැන ප්‍රේමලතා

සොපියා සුමනගේ වැඩිමල් අක්කාය
සුමනයි කාන්තියි එක් වගෙ මිතුරන්ය
කාන්තිගේ නංගි මැණිකා හරි හුරතල්ය
ප්‍රේමලතා මැණිකගෙ දුර නෑයෙක්ය

අනේ වැපෝ උඹ හට මොලයක් නැද්ද
උඹ ඔය කියන පොර උඹගේ හතුරෙක්ද
දුන්නත් මුතු මැණික් අබරණ දෑවද්ද
පබලු වගේ කෙල්ලෙක් ගන්නේ කව්ද

අනිවා ඩෙපා මම එනවා ඒ පැත්තේ
උඹේ සතුරා වැනසෙන දවසට මත්තේ
කියන්න එපා ඌ හට පබලුගේ තත්තේ
ගිහිල්ල කපමු උගේ වල උන්ගේ වත්තේ

සතුරා උනත් වනසන්නට හිතන එක
සිරිතක් නොවේ මිනිසුන් ලෙස වෙසෙන ලක
දන්නවා නෙද උඹ පින් පව් කියන දෙක
විඳින්න වෙන්න අවසානෙදි අපා දුක

අල පැල කලොත් අස්වැන්නත් දේවි අල
කරනා දෙයෙහි දැන් පසුවට දේවි පල
උඹ කල පාපයන් පස්සෙන් පැමිණි කල
දුවන්න වෙන්නෙ නොදැනිම පිට කරන් මල

උපදෙස් පිලිගන්නේ බුද්ධිය තියෙන අයයි
කට මැත දොඩන්නේ බියගුලු නිවට අයයි
අදමිටු කම් වලින් ලෝකයෙ බලය සොයයි
උඹටත් වැපෝ අපායේ දොරගුලු විවරයි

මසුරන් වටිනවා උඹේ ඒ කතාවනම්
බැහැ විස්වාස කෙරුමට උන් මලු කේලම්
කෙල්ලන් ඉන්න දාගෙන හොඳ හැටි මායම්
වැඩිකල් නොගොස් හේදිලා යනවා සායම්

මොකද්ද වෙච්ච දේ අක්කේ උගුඩුවට
දන්නේ නෑනේ ඒ ගැන පවසන්න මට
අවුස්ස ගත්තොතින්නම් දැන් මගේ කට
වෙන්නේ ඔබට දුවන්න හැර දාල රට

නැත මට වචන පැටලී මේ වන තුරුම
කවදත් නියම වැඩ කිසිවිට නෑ නරුම
කොපමණ කලත් මා හට අපහස කෙරුම
සඳ නෑ ගනන් ගන්නේ බල්ලගේ බිරුම

පිලිතුරු දුන්න මුත් දිල් හට පද බැඳලා
නෑ කිසි සද්දයක් දැන් ඈ හැංගීලා
හැප්පෙන්නට ඇවිත් මා ඉන්නවා දැකලා
වැටිලා ඉන්නවා පස්සත් බිම ඇනිලා

ඔයනම් හදන්නේ වැඩ වරදාගන්ටයි
දිල් අක්කා දැන් තරමට වැඩි පාටයි
සැරයක් දෙකක් සමාව දුන්නම මෙහෙමයි
දැන්නම් ඉතින් ගේම දෙන්න වෙනවාමයි

කවි මඩුවේ මගේ කවි - අංක 1

සෙට් උනි මමත් මේ ලෙස කවි කියන්නට
කවියෙන් වාද කරනා සැටි බලන්නට
විසඳා ගත නොහැක නැගි පැනයක් සිතට
දෙන්නේ පිලිතුරක් මම පලමුව කාට
දුවලා පුරුදු නැත මටනම් කවදාවත්
නොබියව ඇදේයි ඉදිරියටම හැමදමත්
ජය පැරදුම කොයි ලෙසකින් හිමි වූවත්
සුවිසල් ජයකි තරඟෙට පය තබන එකත්
කවිපද ලියයි දැන් කට්ටිය තකට තකේ
කෙල්ලෝ සොයන් ඇවිදියි සමහරුන් ලකේ
වාගෙයි කරන වැඩ පන්තියේ ලමයි දෙකේ
මම ආවිට ඉවරයි ඔය සැමගේ ටකේ 
 කවිනම් ලියත හැක පද වැල් අමුනාලා
එනමුදු මෙහේ වැඩ ඇත අහසට නැගලා
දුන්නේ නැතොත් දවසෙ වැඩ නිම කරලා
ඔපීසියෙන් දායිනෙ මා පන්නලා
බොසාට නෙවෙයි බය මගේ රස්සාව ගැනයි
අනාථ වෙන මාගේ දරු පවුල ගැනයි
වෙන්නේ නැතොත් ජොබ් එක පවුලටයි මටයි
රෙද්දක් එලා හිඟමන් ඉල්ලිම තමයි
ඉල්ලන් කැම සිංහල අපගේ ගතිය
ජම්මෙට වඩා පුරුද්ද අපගේ ලොකුය
ඉල්ලන් කන්න යන්නෙ කවුදැයි හරිය
තව ඉවසුවොත් ඔබ හට දැක ගත හැකිය
 තොප දෙදෙනාගේ රන්ඩුව
අරගෙන ගියොත් දුර තව
නොසලකා පින් පව
ගන්ට වෙනවා මෙමට හෙන්ඩුව
ගියොතින් කියන්නට කවි දවසම ඉවරයි
මෙය කවි මඩුව නොව පෙරහුරුවක් පමණයි
රාජකාරිනම් අද මා හට එමටයි
යන්නම් මෙමා ඔබ සැමටම බුදු සරණයි.
කෙල්ලෙකු සෙව්වමුත් පෙරදින විරිය යොදා
ගන්නට නොවේ කරකාරෙට යම් මතුදා
හිටියොත් හොඳට හැසිරී මට සෙනෙහෙ පුදා
අන්තක්පුරෙන් කොටසක් දෙමි ඇයට බෙදා 
ජීවිතෙ මල් ඇවිත් මහ රෑ කරලියට
ඉල්ලා උදව් මර හඬ දෙයි පෙරලිකොට
නොකලොත් උදව් මේ මිනිසත් කම කුමට
දෙන්නම් රුකුල් ඔබ යනතුරු ඉදිරියට
හිපො දිල් වැපා මඩුවේ දඟලනවා
හොඳවෙන් පාඩමක් තුන් දෙනා ඉල්ලනවා
අත්පොලසන් නද මැදින් මම සබයට එනවා
හැමෝම බයේ පිලිකන්නේ හැංගෙනවා
ඇඟේ පතේ ඇති ෆුල් ශක්තියම දමා
යන්තම් කවි ටිකක් පද බැඳ ගත්තා මෙමා
යන්නට දුක උනත් ඔබ සැම අතැර දමා
යන්නම උනා කට්ටිය මට වෙන්න සමා

කවි සිතුවිලි දෝර ගලා කවි මඩුවම අද එලියයි
කවි මඩුවට පැමිණි සැමට දළදා හිමි රැකවරණයි
දහතුන් වෙනිදා වෙනතුරු ඉවසිල්ලක් නැති ගානයි
ලාංකීය සිතුවිලි ඔබේ ඉදිරි ගමන ජය නියතයි


 

Monday, May 10, 2010

ඔසවාගැනීම

පහුගිය ටිකේම ඒ තරම් වැදගත් දෙයක් ලියන්න ලැබුනේ නැති නිසාත්, කාලෙකින් කතාවක් කියන්න ලැබුනේ නැති නිසාත් අද මන් හිතුවා පුංචි කතාවක් කියන්න. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේකනම් පුංචි කතාවක් තමයි. නමුත් මේකෙන් දෙන පණිවිඩයනම් පුංචි නෑ කියලයි මගේ පුංචි මොලේට වැටහෙන්නෙ. මේ කතාව මට අහන්න ලැබුනෙ කොහෙන්ද කොයි කාලෙද කියලනම් ඒ හැටි නිච්චියක් නෑ. කොහොමත් කතාවෙ හරයට ඒක වැදගත් වෙන්නෙත් නෑනෙ. ඒක නිසා ඒ වැල් බයිලා නැතුව මන් කෙලින්ම කතාවට බහින්නම්කෝ. මෙන්න මේකයි කතාව.

Friday, May 7, 2010

නම වෙනස් කලෝ...............

මන් ඔන්න මගේ බ්ලොග් එකේ නමට පොඩි ගේමක් දුන්නා. මගේ බ්ලොග් එකේ නම  තිබ්බෙ www.ananthayata.blogspot.com කියලනේ. මන් ඔන්න ඒක කෙටි කලා.
 www.ananthaya.tk
දැන් කියවන්න එහෙම ලේසිනෙ නම. මොකද කාට හරි මගෙ බ්ලොග් 1 ගැන කියද්දි, බ්ලොග් එකෙ නම මොකද්ද කියල ඇහුවම, අනන්තයට ඩොට් බ්ලොග්ස්පොට් ඩොට් කොම් කියල කියද්දි මට දිවත් පැටලෙනවා. මට ඕක කීප සැරයක්ම උනා. අනික අන්තිමේ ඒ අහන් හිටපු එකාට ඊලඟ මොහොතෙ ඒක මතක නෑ. ඇයි ඉතින් පට්ට දිගයිනේ. බ්ලොග් ගැන දන්න එකෙක්නම් අනන්තයට කෑල්ල මතක තියාගත්තත් ඇති. ඒත් එහෙම දන්නෙ නැති කෙනෙක්නම්.......... එයා බලනව මේ මොන අන්ඩර දෙමලයක්ද කියලා. අන්න ඒ හෙතුව නිසා දැන් මේ වගේ කෙටි නමක් තියෙන එක හුඟක් පහසු වෙයි කියලා මට හිතෙනවා. නමුත් මේකෙ පොඩි පොඩි කේස් වගේකුත් තියෙනවා.
                                ආ...... ඊට කලින් කෙනෙක්ට ස්තූති කරන්න ඕන. මන් මේ නම කෙටි කරගන්න වඩේ කරගත්තේ www.dot.tk කියන සයිට් එකෙන්. මන් මේ සයිට් එක ගැන දැනගත්තෙ මැක්ස්ගේ අඩවියේ පල වෙලා තිබුනු ලිපියකින්. ඒක නිසා මන් මැක්ස්ගේ අඩවිය පවත්වාගෙන යන කසුන් සොහොයුරාට මගේ හදපිරි ස්තූතිය මේ අවස්තාවේ පුද කරනවා. ඒ වගේම ඔහුට තවත් මේ වගේ වැදගත් කරුණු කාරණා වලින් අපිව තව තවත් පොෂණය කරන්න ලැබේවා කියලත් මන් මේ වෙලාවෙ ප්‍රර්ථනා කරනවා.
                            හැබැයි වැඩි ලේසියට නම කොට කරගත්තා වගෙ නෙවෙයි. පොඩි පොඩි කේස් වගේකුත් තියෙනවා. දැන් හෙමින් සැරේ හොයන්න ඕන ඒවා ටික් නිරාකරණය කරගන්න ක්‍රමයක්. තියෙන එක ලොකු ප්‍රස්ණයක් තමයි www.ananthaya.tk  ලින්ක් එකෙන් බ්ලොග් එකට ගියාට පස්සේ බ්ලොග් එකෙ මොන ලින්ක් එකකට ගියත් වෙබ් ලිපිනය වෙනස් වෙන්නෙ නැති එක. හරිනම් ඒ ඒ ලින්ක් එකට අදාලව වෙබ් ලිපිනයේ නමත් වෙනස් වෙන්න ඕනනෙ. නමුත් මේක වෙනස් වෙන්නෙ නැතුව www.ananthaya.tk කියලම තියෙනවා. පරන පොස්ට් වල ලින්ක් ක්ලික් කරලා ඒවට ගියත් උඩ වෙබ් ලිපිනය අරකමයි. 
                                  අනිත් ප්‍රශ්ණේ තමයි බ්ලොග් එකේ ලෝගො එක. අර බ්ලොග් එක ඕපන් වෙන ටැබ් එකේ බ්ලොග් එකේ නමට ඉස්සරහින් තියෙන්නෙ පොඩි ලෝගො එකක්. ඒකට කියන හරි නමනම් මොකද්ද මන්දා. අන්න ඒ ලෝගෝ එක තමයි අනිත් ප්‍රශ්ණේ. එතනට මන් දාලා තියෙන්නෙ ලා කොල පාට කොටුවක් ඇතුලේ කලු පාට "අ" අකුර තියෙන එකක්නේ. ඒත් www.ananthaya.tk ලිපිනයෙන් බ්ලොග් එකට ගියාම එතන පෙන්නන්නෙ www.dot.tk කියන සයිට් එකේ ලෝගො එකක්. එතනට ආපහු මගේ එකම එන්න වෙනස් කරගන්න පුලුවන් ක්‍රමයක් තියෙනව්ද දන්නෙ නෑ.
                             දැනටනම් ඔච්චරයි ප්‍රශ්ණ තියෙන්නේ. හැබැයි මම තාම දැකපු නැති තව මොන මොන ප්‍රශ්ණ තියේවිද දන්නෙ නෑ. ඔයාලා කියයි ඕවා ඉතින් ප්‍රශ්ණද. ඔය එකක්වත් මට ලියන්නවත් ඔයාලට කියවන්නවත් බාදාවක් වෙන්නෙ නෑනෙ කියල. ඔව් ඒකත් ඇත්ත ඉතින්. ඒත් ඉතින් දන්නවනේ............ ඔක්කොම හරියට පොඩ්ඩක්වත් දෝස නැති වෙන්න තියාගන්න පුලුවන්නම් හිතට මාර ෆිට් එකක්නේ. හැබැයි අලුතෙන් නම වෙනස් කරා කියලා පරන වෙබ් ලිපිනයට මොකුත් වෙලත් නෑ. www.ananthayata.blogspot.com කියන ලින්ක් එකත් වැඩ. ඒකෙන් ගියාම අර කිසිම ප්‍රශ්ණයක් එන්නෙ නෑ. www.ananthaya.tk කියන වෙබ් ලිපිනය ටයිප් කරලා එන්ටර් කරාම ඉබේම www.ananthayata.blogspot.com කියන ලිපිනයට මාරු වෙන්න හදන්න පුලුවන් ක්‍රමයක් තියෙනවනම් හරි. අනේ මේ ගැන දන්න කෙනෙක් එහෙම ඉන්නවනම් තරහා නැතුව මට කියන්නකො.
                                   හැබැයි වෙලාවකට මට හිතෙනවා මන් මේ කරන්නෙ අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනෝ කනෝ ගානවා වගේ වැඩක්ද කියලත්. මොනවා කරන්නද පොඩි එකාගේ ආසාවනේ.
                          

Thursday, May 6, 2010

බිඟුවාට බයිසිකලයක්??????

අපේ බිඟු අයියන්ඩියා අමුතු ජතියේ බයිසිකල් දෙකක්ම හඳුන්වලා දුන්නනේ. අද මටත් හම්බ උනා ඒ වගේම අමුතු ජතියේ බයිසිකලයක්. පාරේ තොටේදි නෙවෙයි හැබැයි හම්බ උනේ. අන්තර්ජාලේ ඇතුලෙදි. බිඟු අයියට එයාගේ බයිසිකල් කලෙක්ශන් එකට එකතු කරගන්නත් එක්ක ඔන්න මන් ඒක දානවා. හැබැයි ඔන්න මන් මේ හැමෝටමයි කියන්නෙ හරිද. මේක දැකලා ආස හිතිලා, මේ වගේ එකක් හදාගෙන පදින්න ගිහිල්ලා, වැටිල බෙල්ල කඩාගෙන එහෙම මන් ගාවට එන්න එපා.

Tuesday, May 4, 2010

අයෙමත් මට ලෙඩේ බෝවෙලා...........

මට පේන්නෙ මට අයෙමත් පුරුදු ලෙඩේ බෝ වෙලා වගේ. මාර කේස් එක. අනේ මන්දා දැන් මොනවා කරන්නද කියලා. මේ ලෙඩේ උත්සන්න උනොත්නම් ඉතින් බඩුම තමයි. ඊට කලින් මොකක් හරි පිලියමක් කරන්නම වෙනවා. ඒත් ඉතින් මොකද්ද මේකට කරන්න තියෙන පිලියම. අනේ මන්දා මේ ජරා ලෙඩේ නවත්තගන්න බෑනෙ මොනවා කරලවත්. මේකනම් මහ කරුමක්කාර ලෙඩක්. මේ හොඳට ඉන්නවා. ඔන්න හිටිගමන් මේ ජරා ලෙඩේ මගේ ඔලුව පුරා පැතිරෙනවා. සැරෙන් සරේ මේ කරුමක්කාර ලෙඩේ මට වද දෙනවනෙ. මේ ලෙඩේ නිට්ටාවටාම සුව කරගන්න තුරු මට කවදාවත් සැනසීමක්නම් ලැබෙන්නෙ නෑ.
                                       ඇත්තටම කම්මැලි කම කියන්නෙ කොච්චර ජරා ලෙඩක්ද කියලා තේරෙන්නෙ කම්මැලි කම ඔලුව පුරා පැතිරුනාට පස්සෙ. ඒත් වැඩේ කියන්නෙ ඒක හැදුනට පස්සෙ කම්මැලිකම  නැති කරගන්න මොකවත් කරන්න හිතෙන්නෙත් නෑ. මොකද ඒකටත් කම්මැලියි. ඇත්තටම මන් ආයෙ කම්මැලි වෙලා. ලියන්න හිතෙන්නෙ නෑ. අලුත් දෙයක් හිතන්න හිතෙන්නෙ නෑ. අය්යෝ.... මාර වැඩේ. ශික්.... මට මේ ජරා පුරුද්ද අත ඇරගන්න බෑනෙ. මොකක් කරන්න පටන් ගත්තත් ටික කාලෙකින් හෙන කම්මැලි කමක් ගහනවා. ඒ පාර ඉතින් ඔක්කොම වැඩ කොට උඩ. මගේ පරණ ෆයිල්, පොත් එහෙම අවුස්සලා බැලුවොත් ලියන්න පටන් අරගෙන, ,ඒත් ඉවර කරලා නැති කතා කෑලි ඕන තරම් හොයාගන්න පුලුවන්. මුලින්ම හිත ගියේ රහස් පරීක්ශක කතා ලියන්න. ඔන්න පටන් ගත්තා. කොහේද බාගයක් ලියද්දි කම්මැලිකම කියන රාක්ශයා මගේ ඔලුව අරක් ගත්තා. ඊට පස්සෙ විද්‍යා ප්‍රබන්ද. ඒකටත් අර ආනිසන්සෙම තමයි. ලියලා ඉවර කරන්න ලැබුනේ කතා දෙකයි. වැඩේ කියන්නෙ ඒ දෙකම තමයි මන් ලඟ දැන් නැත්තෙත්. මන් හිතන්නෙ ගෙදර අස් පස් කරද්දි තාත්තා කොහේ හරි දාලද කොහේද. අන්තිමට ආදර කතා වලට බැස්සා. ඔන්න ඒ ලියන්න ගත්ත එකත් තියෙනව මගින් නැවතිලා. අනේ මන්දා වෙලාවකට මට මන් ගැනම ලැජ්ජයි.
                                              දැන් ඔන්න මේ බ්ලොග් ලියන එකටත් මේ ජරා ලෙඩේ බෝ වේගෙන එනවද කොහෙද. කම්මැලි වැඩේ මේක කොටන එක. මන් කියවද්දි වෙන කවුරු හරි ඉන්නවනම් කොටන්න වැඩේ ශේප්. හරි යන්නෙ නෑ. පෞද්ගලික ලේකම්වරියක් ගන්න වෙයි වගේ. නැද්ද ඔයාලා දන්න කියන කෙනෙක් එහෙම. හොඳ සුදුසුකම් තියෙන කෙනෙක්. ලස්සන, හොඳ පෙනුමක් තියෙන, හැඩකාර විසේකාර තරුණ ලමිස්සියෙක් එහෙම. ( ඉන්නවනම් මට රහසින් කියන්න. නැත්නම් අපේ පවුලට ඇහෙයි )
              ඇත්තටම අනේ ඔයලා එහෙම දන්නෙ නැද්ද මේ කම්මැලි කමට හොඳ බෙහෙතක්. දන්නවනම් කියන්නකො. නැත්නම් මේ ජරා ලෙඩේ දවසින් දවස මාව මහම මහා කම්මැලියෙක්ගේ තැනට ගේනවා.

Thursday, April 29, 2010

දවාලෙ පායන චන්ද්‍රයා.........

     චන්ඩ හිරු රැස්
රෞද්‍රව පොලව සිප ගනිද්දි
පවා
සෞම්‍ය කහ එලිය
විහිදුවමින්
චන්ද්‍රයා
බැබලෙන
        අපූරුව.........


පිස්සුද?
ඔය හඳ නෙවෙයි
      වීදි ලාම්පුවක්........

විකාරද?
ඒ හඳ තමයි
මොන මෝඩයද
දවල්ට පාරෙ
        ලයිට් දාන්නෙ........


(මේ ජායාරූප දෙකම මා ගනු ලැබුවේ අද දහවල්, බම්බලපිටියේ අතුරු වීදී දෙකකදීය)



Tuesday, April 27, 2010

නමක් නැති කවි - 3


දවසක්
මම
ඇස් පියන් ඉඳිද්දි
උඹ
හීනෙන් ඇවිත්
කනට කොඳුරපු
ඒ ලස්සන
වචන තුන
හැබැහිනුත් කියාවි
කියල
බලන් ඉඳල
බලන් ඉඳල
අන්තිමේ
බැරිම තැන
මම
තීරණය කරා
සදහටම
ඇස් පියාගන්න

Sunday, April 25, 2010

මෙවන් විපත් සතුරෙකුටවත් නොවේයා

බ්ලොග් ලියන එකයි කියවන එකයි පටලුනාම වෙලාවකට එකක්වත් කරගන්න වෙන්නෙ නෑ. බ්ලොග් කියවන්න කියල පටන් ගත්තොත් කියවගෙන කියවගෙන යනව මිසක් ලියනන් වෙන්නෙ නෑ. ලියන්න ගත්තොත් ඉතින් කියවන්න වෙන්නෙත් නෑ. චුට්ටක් යන්තම් කියවනවා කියල හිතගෙන ගියත් කට්ටිය ලියල තියෙන දේවල් දැක්කම මගින් දාල යන්න හිතෙන්නෙත් නෑ. කියවන් යද්දි ඒවට හිත ගියාම ලියන්න අලුත් දෙයක්  හිතට එන්නෙත් නෑ. එහෙමයි කියල ඉතින් කියවන්නෙ නැතුව ඉන්නත් බෑ. ලියන්නෙ නැතුව ඉන්නත් බෑ. අදත් විවේක වෙලාවෙ කියව කියව හිටියා මිසක් ලියන්න දෙයක් කල්පනා කලේ නෑ. හදිස්සියට කතාවක් මතක් වෙන්නෙත් නෑ.
                            බැරිම තැන මන් යන යන තැන අරගෙන යන මගේ උසස් පෙල කාලෙ ලියපු ස්පෝකන් ඉන්ග්ලිශ් පොත ගත්තා අතට. ඕක මන් කොයි වෙලෙත් ලඟ තියාගන්නෙ විවේක වෙලාවල් වලට  පොඩ්ඩක් කියවන්න කියල හිතාගෙන. විවේක වෙලාවල්නම් ඕන තරම් ආවා. ඒත් පොතනම් කවදාවත් දිග ඇරුනෙ නෑ. ඒත් ඉඳල හිටලා පොත දිග නොඇරුනාමත් නෙවෙයි. හැබැයි අවාසනාවකට ඒ පොතේ අන්තර්ගතය කියවන්නනම් නෙවෙයි. පොතේ පිටු අතරෙ පරිස්සමට අන්තර්ගත කරල තියෙන එක එක ඒවා ලියපු කොල කෑලි, එක එක තැන් වලින් උස්සන් ආපු පත්තර පිටු කෑලි එහෙම එලියට ගන්න. මොකද මන් ඔය එක එක තැන් වලින් අහුලගෙන ආපු පත්තර පිටු කෑලි, ගෙදර තිබිලා හම්බ වෙන ඉස්සර කාලෙ ලියපු තියන්න වෙන තැනක් නැති කවි තියෙන කොල කෑලි, එක එක සින්දු කෑලි එහෙම ලියපු කොල කෑලි, තව ඔය එක එක වල් පල් ලියපු කොල කෑලි එහෙම පරිස්සමට දාල තියන්න භාවිතා කරන්නෙත් ඔය පොතම තමයි. එහෙම හරි ඒ පොත භාවිතා වෙන එක ලොකු දෙයක් ඉතින්.

Thursday, April 22, 2010

දුක්බර අවුරුදු........

එරබදු මල් පෙති පරවී වැටුනා
කොවුලා දුක් බර ගීයක් ගැයුවා
කඳුලු වලින් මගෙ නුවනඟ තෙමුනා
නුඹ නොමැතිව අවුරුද්දත් ගෙවුනා

පිපුනු මලින් නෑ සුවඳක් හැමුවේ
ගහ කොල නෑ කොල පාටින් දිලුනේ
කොවුල් නදට නෑ හිත වහ වැටුනේ
නුඹ නෑ තනියට මා ලඟ හිටියේ

අවුරුදු සිරියෙන් රටම සැනසුනත්
මගෙ දෙතොලට නෑ සිනහව දැනුනේ
නුඹ නැති පාලුව විඳගන්නට මට
කඳුලු බිඳක් විතරයි ලඟ හිටියේ

Tuesday, April 20, 2010

තෑගිත් අරගෙන මන් ආවා.........

 ඔන්න මන් අයෙත් ආවා. ආවෙනම් ඊයෙ. ඒත් මද අසනීප තත්වයකින් පෙලුන නිසා ඊයේ මොකුත් ලියන්න බැරි උනා. අදත් ඒ තරම්ම ගුණයක් නෑ. වැඩිය නිදි වරන්න අමාරුයි. ඒත් අදනම් මැරෙන්න තරම් අමාරු උනත් ලියනවමයි කියලා හිතා ගත්තා. අනිත් එක පරක්කු නොකර ගෙනාපු තෑගි දීලා හිටින්න එපැයි. මොකද එදා යද්දි දිල් අක්ක මට මරණීය තර්ජන එල්ල කරා තෑගි නැතුව මේ පැත්ත පලාතෙ එන්න එපාය කියලා. මයෙ අම්මෝ...... මන් සෑහෙන්න බය උනා. ඒක නිසා ඔන්න මන් මිල කල නොහැකි වටිනා තෑග්ගක් අරන් ආවා කට්ටියට දෙන්න.

Monday, April 12, 2010

ගාල්ලේ සිට ලියමි......

ඔන්න මන් අද පළවෙනි වතාවට ගාල්ලෙ ඉඳන් බ්ලොග් 1 ලියනවා. මන් කියලා ගියේ අයේ 19 වෙනිදා වෙනකම් මට මේ පැත්තෙ එන්න බැරි වෙයි කියලනේ. මොන. ඉන්න බෑ. ඇඟ වෙව්ලන්න ගත්තා. ඔලුව කකියන්න ගත්තා. බඩ රිදෙන්න ගත්තා. අත පය වරු නැතුව ගියා. කෑමක් කට ලඟට ගන්න බෑ අප්පිරියයි. මන් බැලුවා මේ මොකද මේ මට උනේ කියලා. ගහක් ගලක් වගේ උන්නු මට මේ වෙච්ච විපරියාසෙ මොකද්ද කියලා. අද ඉන්නම බැරි තැන සල්ලි සල්ලි කියලා බැලුවෙ නෑ ආවා කැෆේ 1කට. මෙන්න බොලේ තිබ්බ ලෙඩ රෝග සේරම ඉවරයි. බලද්දි මේකයි මේ ඔක්කොම ලෙඩ තිබිල තියෙන්න්නෙ. අර චැප් කියන්නා වගේ මේකනම් රකින්න පුලුවන් සීලයක් නෙවෙයි. මොනව කරන්නද ඉතින්. 19 වෙනිද වෙනකම් එන්නෙ නෑ කිව්ව මම 19 වෙනකම් ඉවසගන්න බැරුව දනි පිනියේ දුවගෙන ආවා. හැබැයි ඉතින් ආවට මොකද ලියන්න කියල එච්චර වැදගත් දෙයක්නම් මතකෙට ආවෙ නෑ. ඒත් ඉතින් මෙච්චර ආව එකෙ මුකුත් නොලියා යන්නත් හිත දෙන්නෙ නෑ. ඒක නිසා පුංචි කවියක් ලියලා යන්ට යන්නම්. අයෙනම් එන්න වෙන්නෙ ඉතින් 19 තමයි. එහෙනම් මන් ගොහින් එන්නම්. කලිනුත් සුභ පතුවානේ. කමක් නෑ. වැඩිපුර සුභ පැතුව කියලා වැඩි වෙන එකක්යැ. ඔයාල හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.

  බක් මාසේ මල් පිපිච්ච
ගහකොල සනහාගෙන එන
සිහිලැල් පොද වැස්සක් වී 
ඔබ මාගේ හිතට එන්න
කාහල නද අසා පිපුණ 
රතු පාටින් සිත්තම් කල
එරබදු මල් ගහට උඩින් 
හැන්දෑවට අත වනන්න
අතු අග පිපි මල් සොලවන 
කවි ගී තාලෙට පැද්දෙන
ඔංචිල්ලාවේ ඉඳගෙන 
හෙමි හෙමිහිට ඉඟි පාන්න
තෑගි බෝග කදමලු බැඳ 
අවුරුදු කුමරෙකු විලසින්
මම එනවා ඔබත් එක්ක 
වසන්තයේ ගී ගයන්න.

Wednesday, April 7, 2010

අවසරයි සමුගෙන යන්නට...... ( බායි )

ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකයි කියලා අපේ බුදු දහමේ සඳහන් වෙනවා. ඒක කොයි කාලෙටත් කොයි කෙනාටත් පොදු දෙයක්. හමු වීමක් තියෙන තැන වෙන් වීමක් තියෙනවාමයි. දුක උනත් කරන්න දෙයක් නෑ. ඒක තමයි ලෝක ධර්මතාවය. ඒ කුරිරු යථාර්තයට මටත් මුහුණ දෙන්න වෙලා. හිත ගලක්නම් දුක කියන දේ ගානකට නොගෙන ඉන්න තිබ්බ. ඒත් ඇයි දෙයියනේ මගේ හිත මේ තරම් මොලොක්  කලේ. වෙන් වීම අපි කාටත් පොදු දෙයක්, ඒක නිසා දුක් වෙන්න එපා, හිත ශක්තිමත් කර්ගන්න කියලා හැමෝටම බණ කිව්ව මම, අද මේ බ්ලොග් අවකාශය අත්හැරල යන්න වෙන දුකට වැලපෙනවා.
                           ඔව් යාලුවනේ. මට යන්න වෙලා. බ්ලොග් අවකාශය අත ඇරල  යන්න වෙලා. මුහුණෙන් නොදුටුවත් හිත් වලින් ලඟ ඉන්න යලුවො ටික දාල යන්න වෙලා. බ්ලොග් ලියන්න අරගෙන මාස 3ක් තරම් කෙටි කාලයක් උනත්, බ්ලොග් අවකාශය මොන තරම් මගේ ජීවිතේ ආක්‍රමණය කරලද කියලා තෙරෙන්නෙ මේ වෙන් වීම දරාගන්න බැරුව හදවත වැලපෙන හැටි දැක්කම. මොනවා කරන්නද දෛවය ඒකනම් අපිට ඒකට මුහුණ දෙන්න වෙනවා.

Tuesday, April 6, 2010

රජකමේ හඬ - පසු විපරම

රජකමේ හඬ නමින් ඊයේ ලියා පල කරපු ලිපිය සම්බන්දයෙන් නොයෙකුත් මත පල වෙලා තිබ්බා. ප්‍රතිචාර දක්වපු හැමෝටම මන් මගේ ස්තූතිය මේ මොහොතෙදි පිරිනමනවා. ඒ කතාවෙන් මා ලබපු ආදර්ශ වෙන්ම ලිපියකින් ලියන්න ඕන කියලා හිතුනා. මේ ටික එතනම් කමෙන්ට් එකක් විදියට දාන්න කියල තමයි මුලින්ම හැදුවෙ. ඒත් පස්සෙ හිතුනා වෙනම ලිපියක් විදියට ලියන එක හොදයි කියලා.  කතාව කියවපු නැති කෙනෙක් එහෙම ඉන්නවනම් මෙතනට ගිහින් ඒක කියවල එන්න. කම්මැලියි වගේනම් ඕනේ නෑ. දැන් ඔන්න ඔහේ මේක කියවන්නකො.

Monday, April 5, 2010

රජකමේ හඬ......

ඉස්සිල්ල කතාවට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබ්බ නිසා ඔන්න මන් අදත් කතාවක් කියන්න කියලා හිතා ගත්තා. මේකනම් හැබැයි කොලම්බස්ගේ කතාව වගේ ප්‍රහසනයක් ගැබ් වෙච්ච කතාවක් නෙවෙයි. නමුත් මේ කතාවෙන් ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා මට හිතෙනවා. මේ කතාව මට අහන්න ලැබුනේ නායකත්වය පිලිඹඳව පැවැත්වුන වැඩමුලුවකදි. හරි හරි වැඩි කතා ඔනේ නෑ. අපි කෙලින්ම කතාවට බහිමුකො.

Sunday, April 4, 2010

කොලම්බස්ගේ බිත්තරේ.......

ඔන්න මන් අයෙත් පොඩි කතාවක් කියන්න කියල ලක ලෑස්ති වෙන්නෙ. මේකනම් කෑලි වලට කඩන්නෙ නෑ ඔන්න. සත්තයි. ආයෙ කිව්වොත් කිව්වා. ඒක නිසා හරි බැරි ගැහිල බය නැතුව කියවන්න ගන්න. මේක ඇවිල්ල ඔයාලා හැමෝම දන්න කෙනෙක් ගැන පුංචි කතාවක්. කිස්ටෝපර් කොලම්බස්ව දන්නව නේද. කොලඹ හොයාගත්තෙ ඒ උන්නාස්සෙනෙ. සොරි සොරි. ජුන්ඩක් වැරදුනා. කට්ටිය සමාව භාජනේක දාන්න ඕනෙ. කොලඹ නෙවෙයි ඇමරිකාව. ඔන්න වරද නිවැරදි කොලා. කට්ටිය නැත්නම් කියයි මන් ඉතිහාසෙ විකුර්ති කොරලා උගන්වනවාය කියලා. හැබැයි දැන්නම් හිතෙනවා මොන මල මගුලකට ඇමරිකාව හොයාගත්තද කියලා. ඕක නැති වෙලාම තියෙන්න දුන්නනම් එකක්. කව්ද දන්නේ නෑ ඕක නැති කලෙ. කවුරු උනත් මසුරන් වටින මිනිහෙක්. අද කාලෙ ගැන දැනගෙනමද කොහේදෝ ඕක නැති කරන්න ඇත්තෙ. කෙහේද වෙන වැඩක් නැතුවද මන්දා මේ කොලම්බස් ගිහින් අයේ ඒක හොයාගත්තනේ.
                            හරි හරි ඒවයින් වැඩක් නෑ. කියන්න ආව කතාව කියන්නම්කො. නැත්නම් ඒක අමතක වෙනවා. මේක ඇත්තම කතාවක්ද නැත්නම් ගොතපු කතාවක්ද කියන්න මන් දන්නේ නෑ. මොකද ඒ කාලෙ මන් උන්නෙ නෑනෙ. හැබැයි මේ කතාවෙ පොඩි ගත යුත්තක් තියෙනව කියලා මට හිතෙනවා. ඒක නිසා ඇත්තක් උනත් බොරුවක් උනත් කමක් නෑ. ඇත්තක් කියලා හිතාගෙන කියවන්නකො.

නමක් නැති කවි - 2

ආදරේ සුන්දරයි
කිය කියා
කවි ලියන්න
මගේ හිතට
බල කරපු
උඹම
අද
අදරේ කටුකයි
කියලා
කවි ලියන්න
මගේ හිතට
බලකරන
හැටි

Friday, April 2, 2010

නමක් නැති කවි....


උඹ 
ටොකු ඇන ඇන 
උගන්නන්න හදාපු
ආදරේ 
කියන්නේ මොකද්ද කියල 
ඉගෙනගන්න හදද්දි 
උඹ
අතුරුදහන් වෙලා

Tuesday, March 30, 2010

මේන් උත්තරේ......

සමාවෙන්න ඕනා. කතාව කියලා දවස් ගානක් යනකම් උත්තරේ කියන්න බැරි උනා. කොහොම නමුත් කතාව කොටස් 3කට කඩපු එකට කට්ටිය මාත් එක්ක අමනාප වෙලාද මන්දා, උත්තරෙ දෙන්නවත් ඉදිරිපත් වෙලා තිබ්බෙ නෑ වැඩි දෙනක්. ඒ ගැනනම් හිතට ටිකක් කණගාටුයි. තරඟයකදි ක්‍රීඩකයො දිරිමත් වෙන්නෙ ප්‍රේක්ශකයන්ගේ ඔල්වරසන් හඬින්. ගායකයෙක් කථිකයෙක් දිරිමත් වෙන්නේ අනිත් අයගේ අත්පොලසන් නාදයෙන්. ඒ වගේම තමයි බ්ලොග් ලියන අපි දිරිමත් වෙන්නේ කියවන ඔයාලගේ අදහස් උදහස් වලින්. ඔයාලගේ කමෙන්ට් වලින්. ලියන හැමෝම ඒ බව හොඳින්ම දන්නව ඇතිනේ. හොඳ කියල හරි බැනල හරි දාන වචන 10කින් 15කින් හිතට දැනෙන්නේ පුදුමාකාර ශක්තියක්. බලයක්. තව තව ලියන්න අශාවක්. ඒක නිසා පුංචි දුකක් හිතට දැනුනා කට්ටිය වැඩි දෙනක් කිසි කතා බහක් නැති එක ගැන. කතාව කඩන්න උනේනම් ඉතින් දිග වැඩි නිසා. එකටම දැම්මනම් කොච්චර දිග වෙයිද කියලා හිතාගන්න පුලුවන්නේ. එකෙන් ඔයාලට යම් අපහසුතාවයක් උනානම් මන් සමාව ඉල්ලනවා.
                                      කතාවත් එච්චර රසවත් මදි ඇති. ඒක මන් පිලිගන්නවා. මන් කිව්වෙ ඒකනෙ. මන් කතන්දර කියන්න ඒ හැටි දක්ශ නෑ. පොඩි ට්‍රයි එකක් දීලා බැලුවෙ ගැටගහගන්න පුලුවන් වෙයිද කියලා. වැඩේ මුලුමනින්ම අසාර්ථකයි. "බැරි වැඩ නොකරන් අඹරෝ" කියලා පැරැන්නො කියල තියෙන්නෙ කට කහනවටද.
                          හරි හරි දැන් ඒවෙන් වැඩක් නෑ. පටන් ගත්ත වැඩේ ඉවරයක් කොරන්න එපැයි මොකක් උනත්. කතාව කිව්ව. ප්‍රශ්ණෙ ඇහුවා. උත්තරේ කිව්වෙ නැත්නම් මන් බොරු කාරයෙක් වෙනවනේ. මේන් මේකයි උත්තරේ.

කෙල්ලව හිමි උනේ තුන් වෙනි කුමාරයාට. ඒ කියන්නේ රන් කර්මාන්තය ඉගෙන ගත්තු කුමාරයට. මොකද එයා තමයි කෙල්ලට මුද්ද දැම්මෙ.

චානක අරුණ මුනසිංහ සහෝදරයා නිවැරදි පිලිතුර ලබා දුන්නා. ඒක නිසා මන් පොරොන්දු උන අගනා වටිනා ත්‍යාගයේ සාඩම්බර හිමිකරුවා බවට චානක පත් වෙනවා. රජතුමා මට ඇතෙක් බරට වස්තුව දුන්නනේ. එවෙන් බාගයක්ම දැන් සමජ සේවා කටයුතු වලට වැය කරල ඉවරයි. ඉතුරු වස්තුවෙන් අඩු නැතුව හරියටම බාගයක් මන් චානක සොයුරාට මේ මොහොතෙදි පිලිගන්වනවා. අන්තපුරෙන් බාගයක් මට දුන්නට මන් ඒක බාර ගත්තෙ නෑනෙ. නැත්නම් එක දෙන්න තිබ්බ. කමක් නෑ. මන් හිතනවා චානක මේ තැග්ගෙන් සෑහීමකට පත් වෙයි කියලා. මන් ඕනෙනම් රජතුමත් එක්ක පොඩි ටෝකක් දාල බලන්නම් අන්තපුරෙන් පොඩි කෑල්ලක් ලියවල දෙන්න. බාග වෙලාවට බැරි වෙන එකකුත් නෑ. රජාටත් දැන් තනියම හැන්ඩ්ල් කරගන්න අමරුයි. ලෙඩා දුකානේ. \
             ඔන්න එහෙනම් තව තවත් ඔබව වෙහෙසට පත් කරන්නෙ නැතුව ඒ අගනා වටිනා ත්‍යාගය ඔබට පිරිනැමීමටයි මේ සූදානම් වෙන්නේ......ඔබගේ අත්පොලසන් නදින් පිලිගන්න චානක අරුණ මුනසිංහ....

Thursday, March 25, 2010

අද එතැන් සිට........

ආයු බොහෝ වේවා කියලා පිලිගන්නවා ඔක්කොලන්වම. අදත් මේ පැත්තෙ ආවට ගොඩක් ස්තූතියි. මන් හිතුවේ කට්ටිය මාත් එක්ක තරහ වෙලාද දන්නෙ නෑ කියලා. ඔන්න හිතේ කහටක් එහෙම තියාගන්න එපා හොඳේ. කොහේද ඊයේ මාර නිදි මතක් ආවනේ. එකයි කතාව මග නවත්තල ගියේ. ඔන්න අදනම් ඉවර කරන එක කරනවාමයි. අයෙ වචන දෙකක් නෑ.
                      කට්ටියටම මතක ඇතිනේ අන්තිමට වෙච්ච ටික. මතක නැත්නම් මතක් කරන්නම්. වැඩිමල්ම කුමාරයා ලී කොටේකින්  නිර්මාණය කරපු තරුණියකගෙ පිලිමයට දෙවෙනි කුමරය අඳුම් අන්දනවා. තුන් වෙනියා තමන් සාදපු රත්තරන් බඩු වලින් පිලිමය සරසනවා. බාලම කුමාරයා පිලිමෙට පණ ගන්නවා. නෑ නෑ. වැරදුනා. තාම පණ ගත්තෙ නෑනෙ. මන්තරෙ ජප කලා විතරයි. එහෙම ලේසියෙන් පිලිමෙකට පණ ගන්න බෑ. පිලිමෙට පණ එනකම් බලා හිටපු කුමාරයට දන්නෙම නැතුව නින්ද යනවා. ඔන්න එහෙනම් අද එතැන් සිට.

Tuesday, March 23, 2010

කතාවෙ තවත් කොටහක්.......

ඔන්න ඔබ මෙතෙක් වේලා පුල පුලා බලාසිටි මහා කතා රජයාගේ ඉතුරු කොටසත් අරගෙන මන් ඔයාලගෙ මොනිටරයට ගොඩ වැදුනා. දැන් එහෙනම් කට්ටිය හරි බැරි ගැහිලා එහෙම ඉඳගෙන කියවන්න පටන් ගන්නකෝ. කතාව කොටස් දෙකකට කැඩුවට සමාවෙන්න ඕනා. එකට ලිව්වොත් දිග වැඩි වෙන නිසයි කොටස් දෙකට ලියන්න තීරණය කලේ. රායිට් ඕකේ එහෙනම්. ඔන්න මන් පටාන් ගත්තා.

මන් කතාවක් කියන්නද?

කතන්දරකාරයගේ කතන්දර දැකල මටත් හිතුනා පොඩි කතාවක් කියන්න. හැබැයි ආයුබෝවන්ඩ මන් ඔය කතන්දරකාරයා වගේ කතන්දර කියන්න ඒ හැටි දක්ශයෙක් නෙවෙයි. කමක් නෑ පුලු පුලුවන් විදියට ගැට ගහගෙන කතාව කියන්නම්කො. මේක ඇවිල්ල මන් පොඩි කාලේ අහපු කතාවක්. ඔයාලා ගොඩ දෙනෙකුත් බොහො විට මේක අහලා ඇති. මගේ සමිපතම මිත්‍රයෙක් ලගදි අයේ ඒ කතාව මට මතක් කරලා දුන්න. කාලයේ වැලිතලාවෙන් වැහිලා ගිහින් තිබ්බ ඒ කතාව මට අයේ මතක් කරලා දීපු එකට මන් එයාට මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන.  කතාව අන්තිමට මන් ඔයාලගෙන් පුංචි ප්‍රශ්ණයක් අහනවා. ප්‍රශ්නේ පුංචි උනාට මේ මුලු කතාවම රැඳිල තියෙන්නෙ ඒ ප්‍රශ්ණෙ මත. ඒ නිසා අවදානෙන් කියවන්න. හරි උත්තරේ දෙන කෙනාට මන් දෙනව ලොකූ තැග්ගක්.......ඕන් එහෙනන් මේකයි කතාව.......

Friday, March 19, 2010

දුකට කියන කවි....

ආදරේ කඳුලක්ද මෙතරම්
පසු පසම විත් රිදවනා
සතුට පතමින් සොයාගිය මුත්
කඳුල පමණක් හිමිවෙනා

බොළඳ කවි පද පිටුව පුරවයි
නුඹව සිහිවන රෑ දිවා
නුඹේ රුව නෑ සොයාගන්නට
රැයේ සිහිනයකින් පවා

ජීවිතේ තනිකමට සින්නව
පාලුවෙන් සිත මිරිකිලා
තවත් බෑ දුක දරාගන්නට
සිතයි යන්නට මියැදිලා

Thursday, March 4, 2010

කලණ මිතුරා

මට පොඩි ප්‍රශ්ණයක්. කව්ද අපෙ කලණ මිතුරා. සිනහවද? එහෙමත් නැත්නම් කඳුලද? කලණ මිතුරා කියන්නේ අපෙ දුකේදි සැපේදි දෙකේදිම අපි ලඟ ඉන්න කෙනාට නේද? සිනහව අපි ලඟ ඉන්නේ සැපෙදි, සතුටෙදි විතරයි. ඒත් කඳුල.....

Tuesday, March 2, 2010

අහස් වියන යට.....

අය්යෝ....මේ දවස් වල මාර busy. ලියන්න තියා හරියට කන්න බොන්නවත් වෙලාවක් නෑ. අනිත් 1 මේ වැඩ වැඩිකම නිසාමද මංදා ලියන්න මොකවත් ඔලුවට එන්නෙත් නෑ. අදහස් ඉල්ලේ. අදහස් ඔක්කොම පෙට්ටගමක ඔබලා වහලා දාලා වගේ. ඔලුව අවුල් ජංජාලයක්. දවස් දෙකක්ම ලියන්න කියල පටන් ගත්තා. මොන...පේලි 2ක් හරියට ලියාගන්න හම්බ උනේ නෑ. හිතුවට මොකුත්ම හිතෙන්නෙ නෑ. මොනවා කරන්නද ඉතින්. වැඩේ අත් ඇරලා දාල නිකා හිටියා. සිතිවිලි අවදි කරවන කෙනත් මේ දවස් වල නිදි. එකෙන් තවත් අප්සෙට්. මොනවා කරන්නද ජීවිතේ හැටි ඔහොම තමයි.  
                       ඔන්න බොලේ අද නිකමට වගේ පර්ස් එක අවුස්සද්දි හතරට පහට නවපු කොලයක් හම්බ උනා. දිග ඇරල බැලින්නම් කවියක්. මීට අවුරුදු 5කට කලින් ඒ කියන්නේ 2005දි ලයිබ්‍රියේ බොක්ස් එකක් ඇතුලෙ තනි වෙච්ච වෙලවක ලියවුන කවියක්. වෙලාවෙ හැටියට ඒකත් මසුරන් වටිනවා. උන්න හැටියට මලා මැදැයි. ඔන්න ඉතින් ලියන්න මෙලො අදහසක් ඔලුවට එන්නෙ නැති වෙලාවක හද්ද පරණ කවියක් ආයෙ ලියනවා. වෙන කරන්න දෙයක් නැති නිසා.

Tuesday, February 23, 2010

යනවානම් මරු මා කැන්දා.......

ලෝකයට එපාවී
ලොවම එපාවී
හුදකලාව දවසක් ගෙවුනා
දෙනුවන් අග
තෙත් කරමින් හෙමිහිට
උණු කඳුලක් බේරී වැටුනා

පුංචි පුංචි වදනකට පවා
සිතුවිලි කැලතී සිත සසල උනා
දහසක් සිතුවිලි එකිනෙක සුන්වී
මොහොතින් සුවබර හද බිඳුනා

හීන සයුර පතුලටම සිඳී
ගිනියම් අව්වට ඉරි තැලුනා
කලක් පුරා මැව් සිහින මාලිගා
කැඩී බිඳී විසිරෙනු පෙනුනා

මොහොතක් පාසා වෙන් වෙන හදවත්
කවදා එක් වේවිද මංදා
හිතට සැපැයි මේ කඳුලෙන් මුදවා
යනවානම් මරු මා කැන්දා.......

Tuesday, February 16, 2010

කාන්තාවට හිමි තැන කුමක්ද?

හුඟ දවසකින් මොකුත් ලියන්න බැරි උනා. මේ දවස් වල සෑහෙන්න කාර්‍යබහුලයි. වැඩ කියන්නේ හුස්මක් කටක් ගන්නවත් බැරි තරමට වැඩ. ඔන්න දැන් තමයි අද දවසේ වැඩ ඉවර උනේ. පේනවා ඇතිනෙ වෙලාව. මේ දවස් ටිකේම මේ වගේ තමයි. නිදිමතනම් ඇස් දෙක කඩාගෙන පහලට බේරෙනවා. ඒත් නිදිමතයි කියලා බෑ. ලැබුනු වෙලාවෙ මොනව හරි ලියන්න ඕන. අනික මන් පොරොන්දුවකුත් උනානෙ කාන්තාව ගැන ලියනවා කියලා. එදා ලියන්න උනේ ආගම ගැන විතරයිනෙ. ඒක නිසා  ඔන්න මම නිදිමත බේරෙන ඇස් ආයාසයෙන්  ඇරගෙන කාන්තාව ගැන ලියන්න පටන් ගන්නවා.

Monday, February 8, 2010

ආගම නම් බෙදුම්වාදය...?

ත‍රිඳු රොෂාන්ත සහොදරයා ලිපියක් ලියල තිබ්බා ත්‍රිපිකටය හා කාන්තාව ගැන. මෙන්න එකේ සබැඳිය. ඔයලටත් කියවලාම බලන්න පුලුවන්. කියවන්න වටින ලිපියක්. මේ ලිපිය ගොඩ දෙනෙක්ගේ කතා බහට, විචාරයට ලක් වෙලා තිබ්බා. ලිපියේ කියෙවෙන දේට එකාඟව හා විරුද්ධව බොහෝ මත පල වෙලා තිබ්බා. කොහොමත් ආගම හා කාන්තාව කියන්නේ සෑහෙන්න විචාරයට තුඩු දෙන මාතෘකා 2ක්නේ. මගේ අදහස එතන ප්‍රතිචාරයකින් ලියන්න තරම් පොඩියට ගොණු කරගන්න අපහසු නිසා ඒ ගැන පුලුල්ව විස්තර කරලා ලිපියක් ලියන්න ඕන කියල හිතුනා. සමහර විට මන් වැරදි වෙන්නත් පුලුවන්. නමුත් මේ මට දැනෙන, මට හැඟෙන, මට තේරෙන විදිය. මේක කියවලා ඔයලගේ අදහස් මොනවද කියලත් කියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.