Tuesday, February 22, 2011

ඒ කාලේ..........

පහුගිය සති අන්තයේ මම ගෙදර ගිහින් එන්න ගියානෙ. දවස් තුන හතරක නිවාඩුවක් තිබුන නිසා පොඩ්ඩක් ගාලු හුළං ටිකක් වැදිලා එන්න කියලා ගියා. ඒ ගිය වෙලේ මම අපේ නැන්දලයි දිහාත් ගියා. මගේ බ්ලොග් එක කියවපු අය දන්නවනෙ මගේ ලමා කාලයේ සුන්දර මතකයන් තියෙන්නෙ මේ නැන්දලයි ගෙදර කියලා. එහේ ගියපු ගොඩක් වෙලාවට මම කරන්නෙ මම එකතු කරන් ඉන්න පරණ චිත්‍ර කතා පත්තර ටික දිග ඇරගෙන කියෝන එක තමා. ඒවා අපේ නැන්දලා ඒ කාලේ ගත්තු පත්තර. සමහර ඒවට මටත් වඩා වයසයි. ඒත් මේ සැරේ ගියාම මන් ඊට වඩා ටිකක් වෙනස් වැඩක් කලා. කබඩ් එකේ මගේ ලාච්චුව පොඩ්ඩක් අස් කලා. ඒ කාලේ මන් පෙරේත කමට එකතු කරපු කුණු ගොඩවක් වල ඉඳන් සබ්බ සකල මනාවම ඒක ඇතුලේ. මගේ හිත ආයෙමත් ලමා කාලෙට ගියා.
                   ඒ කාලේ හැම උපන් දිනේකටම මාමගෙන් මොකක් හරි තෑග්ගක් ලැබෙනවා. මුලදි සේරම ලැබුනේ සෙල්ලම් බඩු. ඒත් පස්සෙ මම කියලා ඒක පොත් වලට වෙනස් කරවගත්තා. සමහර සෙල්ලම් බඩුනම් දැන් කාලයේ නියමයට අහු වෙලා. ඒවෙ කෑලි හොයාගන්නත් නෑ. ඒත් විශේෂම සෙල්ලම් බඩු තාමත් සුරක්ශිතව තියෙනවා.
 
ඔය තියෙන්න දැනට ඉතිරිව පවතින මගේ සෙල්ලම් බඩු එකතුව තමා. කවදා හරි මගේ ඉදිරි පරම්පරාවටත් පරිහරනය කරන්න කියලා මන් ඒවා බොහොම ආරක්ශිතව අරන් තියාගෙන ඉන්නවා.

                      දැන් මම ඉතාම අකමැති දෙයක් තමයි ක්‍රිකට් කියන්නෙ. මන් ටීවී එකේ බලන්න අකමැතිම දේ ක්‍රිකට් මැච්. ඒත් මාත් ඒ කාලේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පින්තූර එහෙම එකතු කලා. දැන්නම් එහෙම කලා හිතෙන කොටත් නිකම් මොකද්ද වගේ. ක්‍රිකටර්ස්ලගේ රූප තියෙන ඩේකාඩ් එහෙම මගේ ලාච්චුව ඇතුලේ තිබිලා මට හම්බ උනා. ඒත් එක්කම හම්බ උන අනිත් දේ තමයි ස්ටිකර්ස්. එඩ්නා චොක්ලට් ස්ටිකර්ස්. ඔයාලටත් මතක ඇති ඒ කාලේ එඩ්නා චොක්ලට් වල තිබ්බේ ක්‍රිකටර්ස්ලගේ පින්තූර තියෙන ස්ටිකර්ස්. ඒවා එකතු කරලා දුන්නම තෑගි පවා දුන්නා. ඒ කාලේ හෙන රැල්ලක් ගියානෙ ඒවා එකතු කරන්න. මාත් ඉතින් ඒ රැල්ලට අහු වෙලා හිටපු කෙනෙක් තමයි. මමනම් ස්ටිකර්ස් එකතු කරලා තෑගි ගත්තේ නෑ. එකතු කරපු සේරම ලෝබ කමට ලඟ තියන් හිටියා. අනිත් ඒක මට ඒ සේරම අංක ටික පිලිවෙලටම එකතු කර ගන්නත් බැරුව ගියා.
 
                          ඔය තියෙන්නෙ මන් එකතු කරපු ස්ටිකර්ස් ටික තමා. ඔක්කොම ටික විසුරවල ෆොටෝ එක ගන්න කම්මැලි හිතුනා. කොහොමත් 150කට එහා පැත්තේ ස්ටිකර්ස් තියෙනවා ඔතන. හොඳම වැඩේ ඉතින් ඔය සේරම මන් කාපු චොක්ලට් වල ස්ටිකර්ස්. මන් ඉතින් වැඩිය චොක්ලට් කාලම නෑ.......
                            ටිපි ටිප් කාපු නැති කෙනෙක් කවුද ඉන්නෙ. මන් හිතන්නෙ කවුරුත් නැතුව ඇති. ඒ කාලේ මගේ එක ප්‍රියතම කෑමක් තමයි ටිපි ටිප්. ලොකු නැන්දට කියලා කොහොම හරි ගන්නවා. ඒ කාලේ සෙනසුරාදා හවස 6ට අයි ටී එන්  එකේ ඉන්ග්ල්ශ් කතා යනවා. ඒක බලන්න මට ටිපි ටිප් එකක් ඕනමයි. මන් සෑහෙන ආස උන ටිපි ටිප් ජාතියක්  තමයි Mr. POP කියන්නෙ. මතකද කාලයක් ඒවත් එක්ක මැජික් බෝල, පොඩි පොඩි සෙල්ලම් බඩු කෑලි හම්බ උනා. අමතකනම් මේක බලන්නකො. මතක් වෙයි.
මගේ ටිපි ටිප් කෑම ගැන ඔයාලට දළ අදහසක් ගනන් පුලුවන් වෙයි ඕකෙන්. ඔය මැජික් බෝල ෆොටෝ එකේ තියෙන ප්‍රමාණයට සමාන තවත් ප්‍රමානයක් සෙල්ලම් කරන්න ගිහින් නැති වෙලා. ඒ වගේම අමතක කරන්න එපා. හැම Mr. POP එකක් එක්කම ඕවා හම්බ උනේ නෑ. අනිත් එක මන් කෑව එකම ටිපි ටිප් ජාතිය Mr. POP විතරක් නෙවෙයි... :D
                         බලන්නකො පොඩ්ඩක් මේ මොකද්ද කියලා අඳුනගන්න පුලුවන්ද කියලා.
යා යා.. ඔයලා හිතුවා හරි. සෙනෙහෙ ලියුම් කඩදහි තමා. ඒත් දැක්කනේ ඒවට වෙලා තියෙන සන්තෑසිය. ඕක මන් දන්න කාලෙ ඉඳලම( මයේ හිතේ 6,7 වසරේ වගේ ඉඳන්) අරන් තියන් උන්නේ ලවු කරන කාලේක කෙල්ලට ලියුම් ලියලා දෙන්න. ඒත් පේනවනේ. එක කොලයවක්වත් අඩු නැතුව මුලු පොතම තියෙනවා තාමත්. ඒත් ඉතින් දැන් ඉතුරු ටිකත් දෙන්න වෙන්නෙ කාවන්ටම තමයි. කොහේද මේ SMS යුගයක් ආවෙන් සෙනෙහෙ කොල කාවන්ටම ගියානෙ...... 
                       මන් ඒ කාලේ ඉඳලම කොම්පියුටර් පිස්සා. කොම්පියුටර් වලට මාරම ආසයි. ඒත් මන් හරියකට කම්පියුටර් එකක වඩ කරන්න ඉගෙන ගත්තේ 11 වසරේදි වගේ. ඒකත් හෙනම සුන්දර දිග කතාවක්. වෙලාවක් තිබ්බොත් මන් දවසක ඒ කතාව කියන්නම්. දැනට සරලව කියන්නම්. ඉස්කෝලේ කම්පියුටර් ලැබ් එකේ දොරේ වීදුරුවට ඇහැ ලන් කරන්, ඇතුලේ තියෙන කම්පියුටර් ටික දිහා බලලා සැනසුන කාලෙකුත් තිබ්බා. ඊට පස්සෙ අර මන් කිව්ව දිග කතාවේ මුල් අධියර වලදි මට ලැබ් එක ඇතුලට යන්න අවස්තාවක් හම්බ උනා. හම්බේ දැනුන සතුටක්. මන් ඉතින් කම්පියුටරේ බාහිර ස්වරූපය හොඳ හැටි බලාගත්තා. ගෙදර ඇවිත් හැදුවා මාත් කම්පියුටර් එකක්. වෙන මොනවෙන්ද ඉතින්. කාඩ්බෝඩ් වලින් තමයි. මොනිටර් එක, සීපීයූ එක, මවුස් එක, කී බෝඩ් එක විතරක් නෙවෙයි, යූපීඑස් එක පවා හැදුවා. හදලා බොහොම ආඩම්බරයෙන් මේසෙ උඩ තියන් හිටියා. අවාසනාවකට අද ඒකෙන් ඉතිරි වෙලා තියෙන්නෙ මොනිටර් එක විතරයි. ඔය තියෙන්නෙ ඒක. 
අනිත් කෑලි ටික ජරා වෙලා තිබිලා විසි කලා කියලා පොඩි නැන්දා කිව්වා. ඕකත් විසි කරන්න ගිහින් ආයෙත් ඔන්න ඔහේ කමක් නෑ මේක තියමු කියලා ඕක විතරක් ඉතුරු කලාලු. අල්මාරිය උඩ තමයි පහු ගිය ටිකේ ඒක තියලා තිබ්බෙ. උලුකැටයක් බිඳිලා වතුර වැටිලා ඒ ටික පෙඟිලා තිබ්බලු. මොනා කරන්නද ඉතින් ඔය කෑල්ල හරි ඉතුරු වෙලා තිබ්බ එක ලොකු දෙයක්. මන් කියලා ආවා අතින් ඇල්ලුවම කඩා හැලෙන තරම් ජරා ජීර්ණ උනත් ඕකනම් විසිකරන්න එපා කියලා. :D
                           ඔන්න ඔහොම තමයි මගේ අතීත සැමරුම් වලින් කිහිපයක් පෙල ගැහෙන්නෙ. ඒ කාලේ කලේ මොනවද. දැන් කරන්නෙ මොනවද. ඔහොම තමයි. කාලෙත් එක්ක කොයි තරම් දේවල් වෙනස් වෙනවද. ජීවීතේක හැටි. ඔන්න අන්තිමට මේ ඉන්නෙ ඔය කලින් පෙන්නපු සේරම සෙල්ලම් කරපු මම. ඒ කාලේ.............

Thursday, February 17, 2011

ඉතුරු භාගේ........???

අපේ අක්කන්ඩි මේ දවස් වල තැන තැන කිය කිය යනවා භාග සීන් එකක්.... නෑ...නෑ...... බොලලා ඔය හිතන භාගයක් ගැන නෙවෙයි. මොකද අපේ හීනියට අනුමත වෙන උදවියට භාගේ කිව්ව ගමන් මතක් වෙන්නෙ වෙන දේවල්නෙ...... තනි මිනිසෙක් කියන්නෙ භාගයක්ය. අපේ ඉතුරු භාගෙත් ඔය කොහේ හරි ඇතිය. ඒ භාගේ හොයාගන්න ඕනය කියලා තමයි එයානම් කියන්නෙ. මන් කියන්නෙ බොරු කියලා හිතෙනවනම් මෙන්න මේක කියවලා බලන්නකො. ඔය ඒයාම එයාගෙ කී බෝඩ් අකුරෙන් කොටපුවා..... මොකද්දෝ ග්‍රීක කතාවකුත් උදාහරණෙකට අරගෙන එයා ඒක බොහොම විද්‍යානුකූලව(ද මන්දා) ඔප්පු කරන්න සෑහෙන උත්සහයක යෙදිලා තියෙනවා. දැන් ඕක කියවලා අපේ කෙල්ලො කොල්ලො තම තමුන්ගේ ඉතුරු භාගේ හොයාගෙන මහා මෙහෙයුමක් ක්‍රියාත්මක කොරලද දන්නෙ නෑ මේ ඩිංගටම. අනේ ඉතින් හැමෝටම ඔය විදියට තමුන්ගේ ඉතුරු භාගේ හම්බ වෙනවනම් කොයි තරම් දෙයක්ද.
          මන් මේ කල්පනා කලේ ඔය කියන කතාව ඇත්තක්ම නම් මන් දැන්නෙ ඉන්නෙ මෙන්න මේ විදියට.

 හත්වලාමයි. එත්කොට කෝ මගේ ඉතුරු භාගේ.  කොහේද ඒක. කවුරු හරි දන්නවද ඒක කෝ කියලා. හලේ..... දැන් ඉතින් මාත් මගේ ඉතුරු භාගේ හොයමින් ආරම්භ කරන්න ඕන මහා මෙහෙයුමක්.
       මොනාද හලෝ!!!!! මේ වගේ වැඩකට නැති දහ ජරා තුප්පහි බ්ලොග් පෝස්ට් එකක් කියව කියව ඉන්න වෙලාවෙ, දෙනවකො මගේ ඉතුරු භාගෙ හොයාගන්න පොඩි සප් එකක්...... :D


 සාරාංශය :  දෙනවකො මගේ ඉතුරු භාගෙ හොයාගන්න පොඩි සප් එකක්

Monday, February 7, 2011

පොලිතින් උරයෙන් වැසුනු ලැජ්ජාව

හැමෝම දැන් දන්න දෙයක්නෙ මම මඩ වලට බය නැති මිනිහෙක් විත්තිය. ඔන්න ඒක නිසා මටම මඩ වදින පට්ට සීන් එකක් තමයි මන් මේ දැන් කියන්න යන්නෙ. පරන සිදුවීමක් නෙවෙයි. උණු උණු බඩු. හරියටම පහුගිය සිකුරාදා තමයි මේක උනේ. සමහරු මේ සිදුවීම විකෘති කරලා මිනිස්සුන්ව නොමග යවයි කියන බය, මට මුල ඉදන්ම තිබ්බා. ඔන්න ඒක නිසා තමයි ඇත්ත ඇති සැටියෙන්ම, කිසිම හොර බොරුවක් වංචාවක් නැතුව මන් දැන් මේ ඔයාලට කියන්න යන්නෙ. වෙනත් අය කියන බොරු බේගල් වලට අහු වෙන්න එපා. මෙන්න තියෙනවා සම්පූර්ණ සත්‍යය.

Tuesday, February 1, 2011

හදිස්සියෙම, ආයෙත්, අතීතෙට ?

නිවාඩුවට ගමට එන්නෙ නුඹව බලන්න
නුඹේ සිනාවෙන් මගෙ නෙතු පුරවාගන්න
හිතේ පිරුණු ආදරේ මගේ තව වැඩි වෙන්න
ඩිංගක් හරි හිනා වෙලා මදෙස බලන්න

පුංචි පුංචි නිල් තරු කැට අහස පුරාම
මුමුණන්නෙ නුඹ ගැනමයි හිරු එනතුරුම
නුඹේ මතකයන් වැඩි කර දෙන හින්දාම
පහන් කරන්නම් මුලු රැය නිදි නොලබාම

ඔබ දකින්න ආසාවෙන් දවස් ගෙව ගෙව
නිවාඩුවක් එනතුරු මගෙ ඇඟිලි ගැන ගැන
ආවත් නුඹේ මුහුණ ටිකක් බලාන යන්න
ඇයි ආපහු එන්න වෙන්නෙ කඳුලු අරගෙන

දිලිසෙන ඔය නිල් නෙතු යුග පහස ලබන්න
දෙනවද එය මට ඇති දිවියෙම සැනසෙන්න
හිතේ තියෙන ආදරේ මගේ කියලා දෙන්න
සොඳුරියෙ එක මොහොතක් මා වෙනුවෙන් ඉන්න

(මෙය අද ඉතා හදිසියේ මගේ  ඇස ගැටුනු, 2008 මාර්තු මස 25 වන දින ලියැවුනු කවි පෙලකි. )