Thursday, January 27, 2011

පුංචි කතාවක් විත‍රයි!

"මොකද බලන් ඉන්නෙ ලමයෝ. ඕක බොන්න" මම සුප් හැන්ද සීරුවෙන් කටට ලන් කරගන්න ගමන් අහනවා. ඇය තාමත් සුප් ටික දිහා බලාගෙන කල්පනාවක.
"තාම රස්ණෙයි අනේ" ඇගේ හුරතල් කටහඬ මට හොදට හුරුපුරුදුයි.
"ටිකක් රස්නෙට තමයි සුප් බොන්න ඕන. හෙමිහිට බොන්න පටන් ගන්න. ටික ටික නිවෙයි" ඇය හෙමින් සැරේ සුප් හැන්ද සුරතින් අල්ලගන්නවා.
"අපෝ මේ කෙල්ලට පොඩි ලමයට වගේ කියන්න ඕන" මම බොරු නෝක්කාඩුවක් මවාගෙන කියනවා.
ඇය ඇස් පුන්චි කරලා හිනාවෙන්නෙ හරියට පුංචි කෙල්ලෙක් වගේම තමයි.
"දැන් කොහොමද ඔයාගෙ වැඩ කටයුතු" ඈ කතා කරන්නෙ වටේ ඉන්න අයට ඇහෙයි කියලා බයේ වගේ බොහෝම හෙමින්.
"වරදක් නෑ කෙල්ලෙ. හොදින් කෙරීගෙන යනවා"
ඇය සුප් හැන්ද මුවට ලන් කරද්දි මම ඇගේ දෙතොල් දිහා බලන් ඉන්නවා. ඇයට හොරෙන් ඈ දිහා බලන්න තාමත් මට බෑ.
"කොහේද බලන් ඉන්නෙ"
"නෑ මට ඉස්සර මතක් උනා" මම ලැජ්ජාවෙන් කියනවා.
"මොනාද මතක් උනේ"
"අපෝ ඒවා මෙතන කියන්න බෑ"
"මොනා හරි වල් දෙයක් වෙන්න ඇති මම නොදන්නවයි මේකා ගැන" මේසය මත තිබෙන මගේ වම් අතේ පිලි අල්ලට ඇය ඇගේ වමතින් පහරක් ගසනවා. ඇගේ අත සීතලයි.
"අම්මෝ ඔයාගේ අතේ සීතල" මම ඇගේ අතල අල්ලාගෙන හෙමිහිට පිරිමදිනවා.
"හොරා මගේ අත අල්ලන්න බොරු කියනවා නේද?" ඇය තරහක් මවාගෙන කිව්වට ඇගේ දෙනෙත් වල තියෙන්නෙ සිනාවක්.
"වැඩේමයි මට. අනිත් එක ඔයා හිතුවද මන් තාම ඉන්නෙ මුල් ස්ටේජස් වල කියලා. ඒ කාලේ පහු කරලා හුඟාක් කල්....." මම හෙමිහිට ඇගේ සුරත මිරිකනවා.
එකිනෙකාට තුරුළු වීගෙන එන තරුණ ජෝඩුවක් අපෙ පසෙකින් තියෙන මේසයකින් ඉඳ ගන්නවා. වාඩි උනත් කොල්ලා කෙල්ලව බදාගෙන. බොහොම සතුටින් ඉන්න ජෝඩුවක් වගේ..... ඒත් පිටින් ඔහොම පෙනුනට ඒ දෙන්නට මොන තරම් ප්‍රශ්ණ තියෙනවද කියලා කවුද දන්නෙ. නමුත් කොයි තරම් ප්‍රශ්ණ තිබුනත් ඔහොම හිනාවෙලා සතුටින් ඉන්න එකම ලොකු දෙයක්නේ. මගේ හිත කල්පනා ලොකේක දුරට යනවා.
"හනේ හනේ මොනාද ඒ පාර බලන් ඉන්නේ." ඇගේ දෙනෙතට මගේ ක්‍රියාව අසුවෙලා.
මම මුකුත් නොකියා හිනාවක් විතරක් මවා ගන්නවා.
විනාඩියක් විතර අපි දෙන්නම නිශ්ෂබ්දයි.
"අපි මේ කරන්නෙ වැරදි වැඩක් නේද" මම සුප්  භාජනය දිහා බලාගෙනම අහනවා.
ඇගෙන් උත්තරයක් නෑ.
මම ඔලුව උස්සලා ඇය දිහා බලනවා.
"අපි අද මෙහෙම හම්බ නොවෙන්නයි තිබුනේ" මම ආයෙත් කියනවා ඇගේ දෙනෙත් දිහා බලාගෙනම.
ඇය කිසිත් නොකියලා සුප් එකේ චිකන් කෑලි තෝරනවා. ඇගේ දෙනෙත් බිමට බර වෙලා.
"ඒ උනාට ඒ වැරද්දට මම ආසයි." කතා කරන්නෙ මමම විතරයි. ඇය තාමත් නිශ්ශබ්ධයි.
"අනූ....." ඇය අන්තිමේදි කතා කරනවා.
"හ්ම්ම්ම්....."
"මට ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙනවා. මන් අද ඔයාට හම්බවෙමු කිව්වෙ ඒ දේ කියන්න." ඇය මගේ දෙනෙත් දිහා බලන්න බයයි වගේ.
"කියන්න ඕනම දෙයක් කියන්න. ඕනම දෙයක් අහනන් දැන් මගේ හිත හයියයි" මුවින් එහෙම කිව්වට ඇතුලින් මගේ හිත අඬන බව මන් දන්නවා.
ඇය මගේ දෙනෙත් දිහා බලනවා. අපේ දෙනෙත් එකිනෙකට යාවෙනවා. ඒ දෙනෙත් ලොකූ කතන්දරයක් කියන්න හදන බව මට හැඟෙනවා. පුංචි කඳුලු බින්දුවක් ඒ ඇස් වලින් බිමට හැලෙන්න ලොකූ සටනක් දෙනවා. ඒත් ඇය ආයාසයෙන් එය වලක්වගෙන.
"අනූ.... ලබන දෙසැම්බර් මම මැරි කරනවා. එයාලගෙ ගෙදරින් වෙඩීන් එක ඉක්මනට ගන්න ඕන කියනවා. අනේ මට සමාවෙන්න" ඇය අමාරුවෙන් තද කරගෙන හිටිය කදුලු බින්දුව කදුලු රෑනක් වෙලා ඇගේ දෙනෙතින් කඩාගෙන වැටෙනවා.
"මම ඔයා එක්ක තරහා නෑ රත්තරන්. මේ දේ වෙන බව අපි දැනගෙන ගොඩක් කල්නෙ. ඔයා සතුටින් ඉන්න කෙල්ලෙ" මම මෙතෙක් වෙලා අල්ලගෙන හිතපු ඇගේ අත හෙමිහිට අත අරිනවා.

(මෙහි එන නම් ගම් සියල්ල මනකල්පිත බව කරුණාවෙන් සලකන්න.)

Wednesday, January 26, 2011

තරුණයා සහ මගේ නෝන්ඩි ඉතිහාසය

ඔන්න ඉතින් කතන්දර ප්‍රිය කරන අපේ පාඨක පාඨිකාවියන් උදෙසා තමයි මන් අද මේ ලිපිය ලියන්නෙ. විශේෂයෙන්ම කාට හරි සිදු උන නෝන්ඩි සීන් එකක් කියවලා හිනා වෙන්න බලන් ඉන්න අය වෙනුවෙන් තමයි මේ කතාව පිදෙන්නෙ. හැබැයි මන් ඔය අනිත් අය වගේ අනිත් උන්ට මඩ ගහන්නෙ නෑ.....  :D:D:D මන් මේ ක‍රන්න යන්නේ බ්ලොග් ඉතිහාසයේ කවුරුත්ම මෙතෙක් නොකරපු වැඩක්. කොටින්ම කිව්වොත් තමුන් විහින්ම තමුන්ගේ ඇඟේ මඩ ගා ගැනීමක්. ඒත් අපේ බ්ලොග් යාලුවෝ දන්නවා මන් ඔය මඩ වලට බය මිනිහෙක් නෙවෙයි කියලා. මට මඩ ගහලා කෙනෙක් සියුම් වින්දනයක් ලබනවනම් බලෙන්ම ගිහින් ඒ මඩට ඔලුව අල්ලන මිනිහෙක් මන්. අපේ කස්ටියට මන් ඒ ගැන අමුතුවෙන් කියා දෙන්න ඕන නෑනෙ. හරි එහෙනම්. මන් මගේ කතාව කියන්නම්. මඩ ගහන්න කැමති අයට ඕනෑ හැටියකට මඩ ගහන්න පුලුවන්. මගේ ජීවිතය තුලදි මන් වැඩියෙන්ම නෝන්ඩි උන දවස් කීපයෙන් එකක් නොහොත්  "තරුණයා" ගේ ඉතිහාස කතාව මෙලෙස දිගහරින්නම්.

Tuesday, January 25, 2011

ලෝකයේ ලස්සන වැඩිම කවිය........?

ලෝකයේ  ලස්සන වැඩිම කවිය අහලා තියෙනවද කියලා මන් ඇහුවොත් මන් දනන්වා ඔයාලගේ උත්තරේ "නෑ" කියලා ලැබෙනවා කියලා. මන් දන්නවා ඔයාලා කවුරුත්ම ලෝකයේ ලස්සන වැඩිම කවිය කියවලා නෑ. ඒ ගැන කිසිම අයිඩියා ඒකකුත් ඔයලාට නෑ... ආන්න ඒ නිසා තමයි මන් අද ඒ ගැන ඔයාලට කියන්න හිතුවේ. මන් අද මේ හදන්නෙ ඔයාලට ආන්න ඒ කවිය පෙන්නන්න. මේක ඔයාලටත් ආඩම්බර වෙන්න පුලුවන් සිදුවීමක්. ඔයාලට මුලු ලොකෙටම ඇහෙන්න බොහොම ආඩම්බරයෙන් කෑ ගහලා කියනන් පුලුවන් දෙයක්. මොකද ඔයාලගේ සහෝදර බ්ලොග් ලියන්නෙක්ම තමයි මේ කවිය රචනා කරලා තියෙන්නෙ. වෙන කවුරුත් නෙවෙයි _ණුවා යන සුරතල් නාමයෙන් හඳුන්වන මමම තමයි මේ ලස්සන වැඩිම කවිය රචනා කලේ.  ඔයාලට කොච්චර ගවුරවයක්ද ඒක, නේද?
                          මේ කවිය ගැන පුංචි සටහනක් කරනවනම්, මන් හිතන්නේ නෑ ලොකේ කිසිම කවියෙක් අතින් මේ තරම් ලස්සනින් වැඩි කවියක් නිර්මාණය වෙලා ඇති කියලා. සමහර විට මේක ගිනස් පොතට යන්නත් බැරි නෑ. එහෙම උනොත් බ්ලොග්ලියන අය විදියට ඔයාලට කොච්චර සතුටක්ද නේද. ඒ වගේද ලංකාවට ලැබෙන කීර්තිය. ඇත්තෙන්ම මේක එක කවියක් නෙවෙයි. කවි 3කින් සමන්විත කවි පන්තියක්. කවි පන්තිය කියවද්දි ඔයාලටම තේරුම් යාවි මොන තරම් ලස්සනක් මේ කවි තුල ගබ් වෙලා තියෙනවද කියලා.  ඔන්න මේ කවිය කියවීමේ භාග්‍ය මුලින්ම හිමිවෙන්නෙත් ඔයාලටමයි. හැමදාම ලඟින් හිටපු ඔයාලව අමතක කරලා කොහොමද. එකයි මන් අනෙකුත් මාධ්‍ය වලට දෙන්න කලින් ඔයාලට මේ කවි පන්තිය රස විඳින්න දෙන්න ඕන කියලා හිතුවේ.
                         මේ කවිය ලියවුනු හැටි ගැන පුංචි සටහනක් නොකලොත් ඒක ලොකු අඩුවක්. ඇත්තටම මේක තවත් එක අහඹු සිතුවිල්ලක් නෙවෙයි. මේක බොහොම ක්‍රමාණූකූලව, ඉතා සංයමයෙන් යුතුව, මනා ක්‍රමවේදයක් සහිතව නිර්මාණය කල කවි පන්තියක්. කඩි මුඩියේ කලබලේ නිර්මාණය වූවක් නෙවෙයි මේ කවි පන්තිය. සිතේ ගැඹුරටම කිඳා බහිමින් මිනිස් සිත සුවිශේෂී විශ්ලේෂනයකට භාජනය කරමින් තමයි මේ කවිය මේ ලොවට බිහි වූයේ. එහෙනම් මන් හිතන්නෙ තවත් විස්තර ඕනෙ නෑ. මා අතින් ලියවුනු, ලෝකයේ ලස්සනින් වැඩිම කවි පන්තිය සියලුම ලාංකීය බ්ලොග් පාඨකයින් උදේසා මෙසේ තිලිණ කරන්නම්.

එහේ බැලුවත් ලස්සනයි
මෙහෙ බැලුවත් ලස්සනයි
හැම තැනක්ම ලස්සනයි
ලස්සනයි ලස්සනයි ලස්සනයි

උඩ බැලුවත් ලස්සනයි
යට බැලුවත් ලස්සනයි
වම දකුණත් ලස්සනයි
ලස්සනයි ලස්සනයි ලස්සනයි

උඹේ හිතත් ලස්සනයි
මගේ හිතත් ලස්සනයි
හැම හිතක්ම ලස්සනයි
ලස්සනයි ලස්සනයි ලස්සනයි
*******

Monday, January 24, 2011

වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි!

දැන් ඉතින් මේ හෙඩිම දැක්ක ගමන් මේකේ ඉන්න සේරම පොඩි උන් ටික දුවන් එයි සේරටම කලින්. ඕකනෙ කරන්න බැරි. පොඩි එවුන්ටමයි ලිව්වෙ කියලා දැම්මනම් එකෙක් එන්නෙ නෑ පැත්ත පලාතෙ. ඔන්න හැබැයි ඇවිත් කියෙව්වට කමක් නෑ... පස්සෙ කියන්න එපා මන් තොපිව නරක් කලා කියලා... හරී...... ඔය කිව්වට දැන් ඉන්න පොඩි උන් මාව නරක් කරාවි මන් උන්ව නරක් කිරීම කෙසේ වෙතත්. හරි ඒ බයිලා වැඩක් නෑ... කියන්න ආපු දේ කියමුකො. පුංචි පුංචි කතා වගයක් මතක් උනා. ඒ ටික කියන්න කියලයි අද මන් මේ ලැහැස්ති උනේ.  කෝකටත් කියලා ඉස් ඉස්සිල්ලාම වැඩිය දරුණු නැති පවුලේ සැමට කතාවක් කියලා ඉඤ්ඤංකො.....

Thursday, January 6, 2011

හෙඩිමක් නෑ ඕයි..........

මල් හසරැල්ලෙන් මුව සරසාගෙන
පෙම් හී සැර නෙතු තුල දවටාගෙන
එනතුරු ඔබ සෙනෙහස වපුරාගෙන
ඉන්නෙමි හද දොරගුළු ඇරලාගෙන

සුවඳැති මල් නෙක පූදින අරණේ
ඔබ සිත් මල හැර නැත අන් සරණේ
විඳ විඳ සැමදා ඔබ රූ වරුණේ
යන එක සැපතකි වෙත මට මරණේ

දින දින ඔබ ගැන වැඩිවන සෙනෙහස
නැති කරමින් මා සිත තුල නිදහස
කිසිම දිනක නොම වී ඔබ උදහස
සිටිනි මැනවි පාමින් මුව මදහස

කලුවර හීනෙට මහ රෑ පානෙ
පාට අරන් ඔබ පැමිණෙනවානේ
නැගෙනහිරින් හිරු පැමිණෙන ගානේ
ඔබ මගෙ යහනින් පැන යනවානේ

කරගමි දවසක මගේ මනමාලී
ආවත් ලොකෙන් මොන අඬපාලී
හද මඩලට මගේ තිබෙනා වෙලී
හරවනවානම් පෙම් වැහි පීලී

කය මිස සිත ගැන නොතකන මේ ලොව
අන් මනදොල තුටු කරමින් තව තව
නොම හිඳිමින් මතු ගෙවමින් ඔය පව
වඩිනු මැනවි මා තැනු ලෝකෙට නව

Monday, January 3, 2011

හැපි බර්ත් ඩේ....!

ඔන්න හැමෝම එකා වගේ කෑ ගහලා කියන්න හැපි බර්ත් ඩේ කියලා.....
මදි මදි.... සද්දේ මදි.... තව හයියෙන්....
කෝ අනේ කැඳ බීලා වගේනෙ......
හොඳට කට ඇරලා කෑ ගහලා කියන්න...
ආන්න හරි...
අන්න එහෙම...
ඔය තියෙන්නෙ....
එල එල.....
ම්ම්ම්ම්.....
මොකද්ද.......
නෑ නෑ... මට නෙවෙයි අනේ... මගේ බ්ලොග් එකට....
අද මගේ බ්ලොග් එකේ අවුරුද්දෙ උපන්දිනේනෙ.
අහා අහා අහා..... ඕන් මන් බ්ලොග් ලියන්න පටන් අරන් අවුරුද්දකුත් ගෙවුනා. කාලය යන ඉක්මන. මම මගේ බ්ලොග් එක පටන් ගත්තේ හරියටම මීට අවුරුද්දකට කලින් අද වගේ දවසක. ඒ කියන්නේ දෙකදාස් දහය වර්ශයේ ජනවාරි 3 වෙනිදා තමා මන් ඉස් ඉස්සිලම මගේ බ්ලොග් එක ලියනන් පටන් ගත්තේ. අම්මෝ...... බ්ලොග් ගැන මෙලෝ මගුලක් නොදැනගෙන බ්ලොග්කරණයට ඇවිල්ලා හෙන ගේමක් දීලා බ්ලොග් එකත් හදාගෙන  කරපු විගඩම් වල තරම. ජීවිතේට අතගහලා HTML නැති වලින් ඔලුව පුරවගෙන තිම් එක හද හද නටපු පිස්සුවක්. කොහොම හරි මාසයක් විතර ගියා නෙව හරියට බ්ලොග් එකෙ පයිනලයිස් කොරගන්න.
කොහොම හරි ඉතින් අවුරුද්දක් පුරාවට බ්ලොග් ලියලා ලබාගත්තු දේවල් නම් බොහොමයි. දැනුම, විනෝදය වගේම හොඳ යාලුවො ටිකක්. ඇයි ඒ විතරක්ද මගේ අක්කව. අවුරුදු 23ක් තිස්සෙ එකතු කරගන්න බැරි උන දේවල් මේ අවුරුද්දේ මේ බ්ලොග් කෙරුවාව නිසා මගේ ජීවිතේට එකතු කරගන්න පුලුවන් උනානෙ.
                                     අද මන් දිග ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. කියන්න ඕනැ දේ බොහොම කෙටියෙන් කියලා යන්නයි සූදානම් වෙන්නේ. මොකද මගේ 50 වෙනි ලිපියේ මන් ගොඩක් දේවල් කිව්වනෙ. බ්ලොග්කරණයට ආපු විදියයි ඒකෙ පැලපදියම් වෙච්චි විදියයි ගැන ගොඩක් දේවල් මන් ඒකෙදි කිව්වා. ඒක නිසා මන් ආයේ එව්වා මෙත්නත් කියන්න යන්නෙ නෑ.
                             අද මට ඕනෑ ස්තූති කරන්න විතරයි. ඔයාලා හැමෝටම. අවුරුද්දක් පුරාවට මට ලබා දුන්න සහයෝගය වෙනුවෙන්. ඇත්තටම ඔයාලා නිසා තමයි මට මෙච්චර දුර එන්න පුලුවන් උනේ. හැමදාම මගේ ලඟ ඉදගෙන මන් ලියපුවා කියවලා, හොද නරක පෙන්නලා, ඔයාලා ලබා දීපු ඒ අත්වැල නිසා තමයි මන් අද මේ තරම් සතුටින් මේ ලිපිය ලියන්නේ. ඔයාලා නැත්නම් මේ බ්ලොග් එක ඉපදුනු තැනම මැරිලා. ඒක නිසා ඔයාලා හැමෝටම ගොඩාක්ම ස්තූතියි. ඒ වගෙම මන් ඔයාලගෙන් ඉල්ලා හිටිනවා අවුරුද්දක් පුරාවට මාත් එක්ක හිටියා වගේම ඉස්සරහත් මට ශක්තියක් වෙලා මගේ ලඟින් ඉන්න කියලා. මට ඔයාලගෙන් ඉල්ලන්නෙ එච්චරයි. එතකොට තව අවුරුද්දකට පස්සෙ අවුරුදු දෙකේ උපන්දිනය සමරද්දි මට මීටත් වඩා සතුටින් ඒ දවස සමරන්න පුලුවන් වේවි.
දැන් ඔන්න මාත් එක්කම කියන්න.

හැපි බර්ත් ඩේ ටූ යූ
හැපි බර්ත් ඩේ ටූ යූ
හැපි බර්ත් ඩේ ඩියර් අනන්තය
හැපි බර්ත් ඩේ ටූ යූ

                      එහෙනම් ඕන් කේක් කෑල්ලක් එහෙම කාලා හිටින්නකො....