Thursday, May 2, 2013

බණ්ඩා සහ හාමු

සෑහෙන්න දවසකින් ඇසූ දුටු ආගිය කතාවක් ලියන්න බැරි උනා. ඒකට හේතුව වෙලාව නැතිකමවත් කාර්‍යබහුලකමවත් නෙවෙයි. එහෙම කතා මතක නැති වීම. ඔන්න හදිසියේම ඒ වගේ පොඩි කතාවක් මතක් උනා. ඒක නිසා හිතුවා ඒක පොඩ්ඩක් ලියලා දැම්මොත් හොඳයි කියලා. මේක චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ කතාවක්. මට මේ කතාව කිව්වෙ දැනට ඉන්න ප්‍රවීන ගණයේ කළා අධ්‍යක්ශකවරයෙක්. මේ සිදිධිය වෙලා තිබුනෙ කලකට ඉහත ඔහු විසින් කළා අධ්‍යක්ශණය කල එක්තරා චිතපටයක රූගතකිරීම් වලදි. චිත්‍රපටයෙ නමත් ඔහු සඳහන් කලා. ඒත් මට ඒක මතක නෑ. නමෙන් වැඩක් නෑ. මෙන්න මේකයි කතාව.
                                     මේක ඇවිල්ලා විකට චිත්‍රපටයක්. මේකෙ ප්‍රධන චරිතය නිරූපණය කරලා තිබ්බේ විකට රංගනය සඳහා අදටත් ඉතාම ජනප්‍රියත්වයක් දක්වන එක්තරා රංගන ශිල්පියෙක්. ඔහු මේ චිත්‍රපටියේ නීරූපණය කලේ හාමුගෙ චරිතය. හාමුගේ ගෙදර වැඩකරන සේවකයෙක් ඉන්නවා. ඔහු තමයි බණ්ඩා. ඒ චරිතය රඟපෑවෙත් එක්තරා විකට නලුවෙක්. ඔහු මේ වන විට ජීවතුන් අතර නෑ. පිය උරුමයෙන් ක්ෂේත්‍රයට ආවත් ඔහු පියාතරම් දක්ෂ නැති වගනම් හැම කෙනෙක්ම කියනවා.
ඔන්න ඉතින් එදා රූගත කරන්න තිබ්බ සිදුවිම මේකයි. මැරයො පිරිසක් ඇවිත් හාමුව තමන්ගෙම නිවසෙ කාමරයක් ඇතුලෙ හිරකරලා. කාමරේ ගාවින් බණ්ඩා ඇවිදගෙන යනවා. එතකොට බණ්ඩා දකිනවා හාමුව හිරකරලා තියෙන බව. ඊට පස්සෙ දෙන්නා අතර පොඩි දෙබසක් යනවා. ඔන්න ඕකයි වෙන්න තියෙන්නෙ. සියල්ල සූදානම්. හාමුව කාමරේ ඇතුලට දාල වැහුවා. බණ්ඩත්  තමන්ට නියමිත තැනට ගියා. කැමරා ආම්පන්න, ආලෝක ලාම්පු සියල්ල රෙඩි. කැමරාමන් කැමරාවක් ක්‍රියාත්මක කලා. ඩිරෙක්ටර් විධානය දුන්නා.
"ඇක්ශ.......න්"
පිටපතේ විදියටම බණ්ඩා ගානට නියමෙට ඇවිදගෙන එනවා. බණ්ඩා හමුව දකිනවා.
"ආ හාමු"
එහෙම කියාගෙන බණ්ඩා හාමු ලගට යනවා. ඊ ලඟට බණ්ඩට අහන්න තියෙන්නෙ
'මොකද හාමු, මේ හාමුව හිර කරලා' කියලා. එතන ඉඳන් තමයි ඇක්ට් එක පිටපතෙන් පිට පනින්නෙ.
බණ්ඩා ඒ ලයින් එක කියන්නෙ නැතිව හිකි හිකි ගාලා හිනා වෙනවා. හරියට නාඹර ලමිස්සියෙක් පොරගේ නරක තැනක් කිති කවනවා වගේ. හාමුත් බලන් ඉන්නවා මූ ලයින් එක කියයි කියලා. ම්හු නෑ.
ඩිරෙක්ටර් කෑ ගහනවා.
"කා......ට්"
හැමෝම බණ්ඩා දිහා බලාගෙන.
"අනේ සොරි සොරි. තව ටේක් එකක් ගමු. මට ලයින් එක පොඩ්ඩක් ගියා"
සහාය අධ්‍යක්ශකවරයා ඇවිත් ආයේ ඩයලොග් එක මතක් කරලා යනවා.
ඔන්න ආයේත් සියල්ල සූදානම්.
"ඇක්ශන්"
බණ්ඩා ඇවිදගෙන එනවා. හාමුව දකිනවා. හාමු ලඟට එනවා. ඔක්කොම හරි. ඒත් එතන ඉඳන් බණ්ඩට චූන් එකක් යනවා. මූ කලිසම අස්සට මකුළුවෙක් රිංගලා වගේ ඇඹරෙන්න ගන්නවා. ඇඹරි ඇඹරි හිනා වෙනවා.
සීන් එක ආයෙ ඉවරයි.
"මොනාද බන් පොඩි ලයින් එකක්නෙ තියෙන්නෙ. මොකද්ද බන් එතන හිනා වෙන්නෙ. හරියට ගනින්කො"
ඩිරෙක්ටර්ට පොඩ්ඩක් මල. මොක්ද මේ වගෙ පොඩි සීන් එකකට ටේක් දෙකක් තුනක් යනවා කියන්නෙ තේරුමක් නැති වැඩක්. රීල් එක කැරකෙනවා කියන්නෙ පිච්චෙන්නෙ සල්ලි.
"නෑ නෑ නෑ හරි හරි. මේ පාර ගමු. මට එතනදි ලයින් එක පොඩ්ඩක් යනවා. එකයි. මේ සැරේ අවුලක් වෙන්නෙ නෑ" බණ්ඩට රඟපාන නලුවා ෆුල් මොරාල් එකේ කිව්ව නිසා ඔන්න තුන් වෙනි ටේක් එකටත් යනවා.
ඇක්ශන් විධානයත් එක්ක බණ්ඩා එන්න පටන් ගන්නවා. මේ පාරත් කලින් සැරේ වගේමයි. මුල් ටික ඔක්කොම හරි. ඒත් අර ලයින් එක ගාවදි මේ යකා හිනා වෙන්න ගන්නවා. මූට ලයින් එක එන්නෙම නෑ. නළුවගෙ ස්වාභාවෙ හැටියට පොර හිනා වෙනවා දකින අනිත් උන්ටත් හිනා යන්න නියමිත උනාට මේ වෙලාවෙ පොර හිනා වෙනවා දැක්කම අනිත් උන්ට ආවෙ හිනාව කපලා #කේ ගහලා #ක පොලවෙ ගහන තරම් කේන්තියක්.
දැන්නම් හාමුගේ චරිතය කරන ප්‍රවීන නලුවටත් අම්බානෙක මල පැනලා.
"මොනාද යකෝ හිනා වෙන්නෙ. ලයින් එක හරියට කියපන්කො ඩෝ" එයත් අර නලුවට පොඩි උපදෙස් පාරක් දෙනවා.
ආයෙ සියල්ල සූදානම් කරලා තව ටේක් එකක් ගන්නවා. ඒකත් පෙර ලෙසමයි.
අර ලයින් එක ගාවදි මිනිහට යන හිනාව නවතින්නෙම නෑ.
"අනේ මන්දා අප්පා. ඒ ලයින් එක එන්නෙම නෑනෙ. එතනදි මට හිනා යනවනෙ. හරි හරි මේක විතරක් ගමු. මේක ඔකේ"
මොන ඕකේද. ඒ ටේක් එකත් ඒ වගේමයි. සෙට් එකේ උන්ට මරන් කන්න කේන්තියි. ඒ පාරනම් අර ප්‍රවීන නලුවට මලම පැන්නා. බණ්ඩට කතා කලා.
"මේ උඹ මොකුත් කියන්න ඕනේ නෑ. නිකන් වරෙන්. උඹ මෙතන මගේ ඉස්සරහින් පලයන්. මන් අහන එවට විතරක් උත්තර දියන්." පොර මලෙන්ම කියලා දැම්මා. ඩිරෙක්ටර් එක්කත් පොඩ්ඩක් කතාබහ කරපු ප්‍රවීන නලුවා ආයෙ ස්ථානගත උනා.
"ඇක්ශන්"
දර්ශනය ආරම්භ උනා. බණ්ඩා හාමු ඉසරහින් ඇවිදන් යනවා. එතන ඉඳන් සංවාදය මෙහෙමයි.
හාමු : බණ්ඩො
බණ්ඩා : ඇයි හාමු
හාමු : මෙහේට වරෙන්
බණ්ඩා : එනවා හාමු
හාමු : කොහේද උඹ යන්නෙ
බණ්ඩා : මන් මේ නිකන් යනවා හාමු
හාමු : ආ උඹ නිකන් යනවා නේද? එතකොට දැන් උඹට මාව පේනවද?
බණ්ඩා : ඔව් හාමු
හාමු : ඈ බොල ගොන් වස්සො, එතකොට උඹට නිකමටවත් අහන්න හිතෙන්නෙ නැද්ද ඇයි මේ හාමුව හිරකරලා ඉන්නෙ කියලා?

ඒ වතාවෙ ඔන්න බණ්ඩා ගානට ප්‍රශ්ණෙ ඇහුවලු. කොහොම හරි අන්තිමේ චිත්‍රපටියෙ තිබිලා තියෙන්න් ඔන්න ඔයි විදියට සංස්කරණය උන දර්ශණය තමයි.

ප.ලි:
# = පු