Monday, November 6, 2017

හැපි එන්ඩින්ග්

"ඔයා හිතන්නෙ ඔයා මාව කසාද බැන්දම සේරම ප්‍රශ්ණ ටික විසඳෙනවා කියලද?"
කාංචනාට මුල්ම වරට විවාහ යෝජනාව කල වෙලේ කාංචනා දුන්නේ ඒ වගේ උත්තරයක්.
ඒත් ඒ වගේ උත්තරයකින් පහුබහින තැනක අනුශ්ක හිටියේ නෑ.
"සේරම ප්‍රශ්ණ විසඳන්න බැරි වෙයි. ඒත් අපි දෙන්නටම එකම තැනක ඉඳන් ඒ ප්‍රශ්ණ වලට උත්තර හොයන්න පටන් ගන්න පුලුවන් වෙයි."
නිහඬ බවයි ඒ නිහඬ බව බිඳපු සුසුම් හඬයි ඇරෙන්න වෙන දෙයක් සෑහෙන්න වෙලාවක් යනතුරු කාංචනාගෙ මුවින් පිට උනේ නෑ.
අනුශ්ක ඇයට බාධා කලෙත් නෑ. ඔහු ඒ විරාමය අතරතුරත් ඇගෙන් දෙනෙත් වලින් ඔහු දුටු  කාන්තිය විඳගනිමින් සිටියා.
"මන් දන්නවා අනූ. ඔයා මට ආදරෙයි. ඒ වගේම මමත්"
අනුශ්ක ඇගේ සුරත සෙමින් පිරිමැද්දා.
"මන් පිළිගන්නවා. මට මුලින් ඔයාගෙයි වෙන මිනිස්සුන්ගෙයි අතරෙ වෙනසක් තිබ්බෙ නෑ. ඔයත් හිටියෙ ඒ ගොඩේමයි. හැබැයි මගේ ඇඟ ගැන විතරක් වද උන මිනිස්සු ගොඩක් අතරෙ ඔයා විතරයි මගේ හිත ගැන වද උනේ. අන්තිමේ මමත් ඔයාට ආදරෙ කරන්න පටන් ගත්තා. ඒත් අනූ...."
අනුශ්ක හූමිටි තිබ්බේ නෑ. නිදහසේ වැටෙන වචන නිදහසේම වැටෙන්න ඔහු ඉඩ හැරියා.
"ඒත් අනූ මේක හරියන වැඩක් නෙවෙයි. ඔයාට හොඳ ජීවිතයක් තියෙනවා. මන් වගේ කෙල්ලෙක් ඉස්සරහ ඒ ජීවිතේ විනාස වෙලා යන්න දෙන්න ඕනෙ නෑ. මගේ ජීවිතේ දැනටමත් විනාස වෙලා ඉවරයි"
හීනියට මතු උන කඳුලු බින්දුවක් ඇගේ කම්මුල හරහා පහලට බේරුනා.
අනුශ්ක ඇයව සිය දෑත් අතර හිරකරගත්තා.
"මාව විශ්වාස කරන්න කාංචනා. මේ හැමදේකම හැපි එන්ඩින්ග් එකක් තියෙයි"
එකම යෝජනාව..... එකම ප්‍රශ්ණ..... එකම පිළිතුරු..... එකම දෙබස්......
දින ගත උනේ හරිම වේගෙන් වගේ.
"උඹ එතකොට ඕක නතර කරන්නෙම නෑ" චාමිකගෙ වාග් ප්‍රහාර වලටත් ඒ අතරතුරේදිම මුහණ දෙන්න අනුශ්කට සිදු උනා.
"උඹනම් මෝඩ හු.....නෙක් බන්. මමයි මෝඩ... උඹව ඒ වගේ තැනකට එක්ක ගියාට"
චමින්දගෙ හැම වාක්‍යයක්ම අවසන් උනේ ඔහු ඔහුටම බැනගනිමින්. ඔහු කල දේ ගැන ලොකු පසුතැවීමක් ඔහුට තිබුනා. ඒත් අනුශ්කගේ සිතිවිලි ක්‍රියාකලේ ඊට වෙනස් විදියකට.
"නෑ බන් චමී.... උඹ නැත්නම් අදටත් මන් ආදරේ අඳුනන්නෙ නෑ. උඹ නැත්නම් අද මට ජීවිතයක් නෑ"
ජීවිතේ අර්ථකතනය කරන්නෙ කොහොමද? ඒ තුල තිබෙන සාපෙක්ෂ බවම ලෝකය තුල මේ තරම් කලබගෑනියක් ඇති කරලා. නිවැරදි සර්වසාධාරණ අර්ථකතනයක් ලැබෙන තුරු හැම ජීවිතයක්ම හැල්මේ දුවාවි. ඒත් අනුශ්කට මේ වෙලාවෙ අවශ්‍ය උනේ එවැනි බැරෑරුම් පිලිතුරක් නෙවෙයි.
"හරි අපි බඳිමු"
අවසානයේ අනුශ්කට ඔහුට අවශ්‍ය උන පිළිතුර ලැබුනා.


***

"පාහර බල්ලො"
මම මිගාරගෙත් සමීරගෙන් ඇඟට කඩන් පැන්නෙ වියරුවෙන් වගේ. වටේ හිටපු අය මාව අල්ලනොගන්න මම උන් දෙන්නගෙම ජීවිත වලට වග කියලා. මගේ කෝපය මුළු සිරුර පුරාම පිටාර ගලමින් තිබුනා. කෝපයෙන් දැවෙන හදවතට කල නොහැකි දෙයක් එවෙලේ තිබුනෙ නෑ.
"එක සැරේ මරනවට වඩා උන් දෙන්න විඳවනවා බලන් ඉන්න තිබ්බනම් හිතට තවත් සහනයක් දැනෙයි." සැණයකින් සිතට ආ සිතිවිල්ලක් මාව නැවත පියැවි සිහියට ගෙනාවා.
දෑත සිරකල මංචු සමඟ මිගාරත් සමීරත් පොලිස් ජිප් රථය තුලට නගිද්දි රාධිකාගෙ මුහුණ මගේ ඉදිරියේ මැවුනා.
"තොපි කොහොමද බල්ලො එහෙම දෙයක් කලේ?" මාව අල්ලාගෙන හිටි අයගෙන් මිදිමට තැත් කරන ගමන්ම මම මහ හඬින් කෑ ගැහුවා.
පොලිජ් ජිප් රථය ඇස් මානයෙන් නොපෙනී යද්දි මා වට තිබූ ග්‍රහණය ක්‍රමයෙන් ලිහිල් උනා. ඒ සමඟම මගේ හදවත තද කරමින් නැගුනු පීඩනය එන්න එන්නම දැඩි උනා.
මට තිබ්බෙ තරහක්.... දුකක්.... කලකිරීමක්....
"ඇයි?" මට තිබුන ලොකුම ගැටළුව එයයි. සමීර මගේ හොඳම මිතුරා. ඔහු විටෙක මට සහෝදරයෙක් උනා. මිගාරත් මගේ හොඳම මිතුරෙක්. කොහොමද යාලුවොම මෙහෙම දෙයක් කරන්නේ? කොහොමද කෙනෙක්ව විශ්වාස කරන්නේ?
"ඔන්න එහෙනම් බෙස්ට්මන් කිට් එක දැම්මම ලෑස්තී කරගන්නවා ඈ"
"ඔව් ඔව් මට බරක් නොවී උඹට ඒක සෙට් කරගනින්. ඒක වඩා හොඳයි"
" ආ එව්වා කොහේද සනා. මන් ලෑස්ති කලාම උඹ ඒකට ගෙවපන්"
"අඩෝ මූ බෙස්ට්මන්නම් මාව ගනින් ෆ්ලවර් බෝයිටවත්"
සිනහවෙන් පිරුණ ඒ අතීතය දැන් අතීතයක්ම පමණයි. රාධිකා ඔවුන්ට මිතුරියක් පමණක් නෙවෙයි සොහොයුරියක්ද උනා. එවන් කෙනෙක් ගැන කාමාශාවක් ඇති කරගත් පහරයින් ගැන මට ඇති උනේ දැඩි පිළිකුලක්.
ඇතැම් විටක මා හට යා නොහැකි අවස්තාවන්දී විවාහ උත්සවයට අවශ්‍ය කළමනා සෙවීමට රාධිකා සමඟ තනියට පිටත් කලේද ඔවුන් දෙදෙනා බව සිහි වෙද්දී මට දැනුනේ පිළිකුලක් වගේම පුදුමයක්. විශ්වාසය මිනිසුන්ව දුර්වල කරන්නෙ මහ පුදුම විදියට. විශ්වාසය අවසානයේ මාව ගෙන ආ තැන ගැන මට නැවතත් දෛවයෙන් ප්‍රශ්ණ කරන්නට අවශ්‍ය උනේ නෑ. මගේ ජීවිතයේ දැන් ඇත්තෙ එකම අරමුණයි.
පළිගැනීම!
ඔව්... රාධිකාගේ ආත්මයට සැනසීමක් ගෙන ආ හැකි එකම මග එයයි.
රාධිකාගේ අතුරුහදන් වීම තවත් එක නොවිසඳුනු ගැටළුවක් වීමට ඉඩ තිබියදී ඇගේ නිරුවත් මළ සිරුර පොළව මතුපිටට ගෙන ඒමට හේතු උන උරගයා ගැන මට ඇති උනේ කෘතඤපූර්වක හැගීමක්.
"අන්න කැන්දගොල්ලෙ ගේ පිටිපස්සෙ තලගොයෙක් හාරලා ගෑනු කෙනෙක්ගෙ මිනියක් ගොඩ ඇවිල්ලලු" ආරංචිය ගම පුරා පැතිරුනේ විදුලියක් වගේ. සිරුර බලන්නට මා සමඟ සමීරත් මිගාරත් පැමිණියේ කුමන අරමුණින්ද යන්න වටහා ගැනීමට මේ තරම් දිනක් ගත වීම ගැන ඇති උන කළකිරීමකින් මගේ හිත වෙලා ගත්තා.
කෙසේ නමුත් අවසානයේ ඔවුන් දෙදෙනා නීතියේ රැහැනට අසු වීම ඒ කළකිරීම මදක් සමනය කරන්නට සමත්  උනා.
නීතියෙන් නිසි සාධාරණය ඉශ්ට වෙනතුරු බලන් ඉන්නවා විනා වෙන කල හැකි යමක් මේ වෙලාවෙ මට නැති බව හොඳිනම වැටහුනා උනත්, හිතේ කැකෑරෙන කලකිරීම, තරහව එක්ක මගේ හිත තුල ගොඩ නැගුන පළිගැනීමේ චේතනාව ඉවක් බවක් නැතිවම ලියලා වැඩුනා.
"හොඳයි අපි බලමුකෝ... දවසක උඹලත් විඳවයි ඒ අහින්සකී විඳෙව්වට වඩා දහස් ගුණයක් වැඩියෙන්."


***

"උඹ ඌට ඇත්තටම ආදරේද?"
"ඔව් බන්... මන් අනුපමට ඇත්තටම ආදරෙයි" ප්‍රශ්ණයත් උත්තරයත් අතර විරාමයක් නොතියාම පවනිගේ මුවෙන් උත්තරය පිට උනේ හඬේ වෙනසක් නැතුවම. ඒ උත්තරය බොරුවක් නොවෙන බව වටහාගන්න ටෙක්ලාට ඊටත් වඩා දෙයක් ඕනේ උනේ නෑ.
"හ්ම්ම්" ටෙක්ලා සුසුමක් පමණක් පිට කර නිහඬ උනේ පවනිගේ සිතුවිලි වලට ඔහේ වැඩෙන්න ඉඩ දෙන්න ඕන උන නිසා.
"මේක ආදරේ ගැන ප්‍රශ්නයක් නෙවෙයි ටෙකී. මට අනුපම වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන්. ඒත්... ඒත් සෙක්ස් ලයිෆ් එකේදි මට එයා ගැන කිසිම ෆීලීන් එකක් එන්නෙ නැති එකයි ප්‍රශ්නේ. මන් දන්නවා එයා ඉන්නේ සෑහෙන්න අවුලෙන් කියලා. ඒත් මට උත්තරයක් පේන්නෙ නෑ බන්." පවනිගේ ඇස අද්දර ලාවට දිළිසෙනු ටෙක්ලාගේ ඇසට අසු උනා. ඒ දිළිසීමේ අරුත වටහාගන්න ගැහැණියකට මොහොතක්වත් යන්නේ නෑ. තව ස්වල්ප වෙලාවකින් ඒ දිළිසීම පවනිගේ කම්බුල් හරහා පහළට බේරෙන බව ඇය දන්නවා. ඇය පවනිගේ සුරත මත ඇගේ අත තැබුවා. පවනී ඒ අත තම ඇඟිලි අතර හිරකරගන්න අතරේ ටෙක්ලා ඇගේ මුහුණට එබුනා.
"එතකොට උඹ කොහොමද මේ දේවල් පැහැදිලි කරන්නේ."
"පහැදිළි කිරීමක් තමයි ටෙකී මාත් හොයන්නේ" පවනි ටෙක්ලාගේ දෑසෙන් මුදවා මුහුණ පහතට යොමා ගත්තා.
"මන් හිතන්නේ උඹ දැනටම ඒක දන්නවා" ටෙක්ලාගේ ප්‍රකාශය තවත් ප්‍රශ්නයක්ද උත්තරක්ද කියලා වෙන් හරියටම කරගන්න බැරිකමක් පවනිට නොතිබුනා උනත් ඇය එතනදි මුනිවත රකින්නට තීරණය කලා.
ටෙක්ලා පවනිගේ ග්‍රහණයේ තිබූ අත ගෙන පවනිගේ නිකටෙන් අල්ලා ඉහලට එසෙව්වා.
"උඹට බයයි නේද"
"මොකටද...? ඇයි...?"
ටෙකලා ඇඳෙන් නැගිට කණ්නාඩි මේසය දෙසට ඇවිද ගියා. කණාඩිය තුලින් පේන ඇගේ ප්‍රතිබිම්බය දෙස මොහොතක් බලාසිටි ඇය නිහඩ බව බින්දා.
"උබ දන්නවා.... මට යාලුවො නෑ. හිටපු යාලුවො එකෙක්වත් අද මගේ මූණවත් බලන්නේ නෑ. මන් දන්නවා මගේ රස්සාව එක්ක මාව ආශ්‍රය කරන එක උන්ට ලැජ්ජාවක්. සමාජෙට මාව බඩුවක්. හැබැයි මාව පිළිකුල් කරන උනුත් සමාජේ ඉස්සරහ විකිණෙනවා කියලා උන් එකෙක්වත් දන්නෙ නෑ. උන්ට ඒක තේරෙන්නෙත් නෑ. ගොඩක් මිනිස්සු ගෑනුන්ව හොයන්නේ පෙරළගන්න විතරයි. එතනින් එහා ලෝකයක් උන්ට නෑ. එහෙම මිනිස්සු පිරිච්ච ලෝකෙක කොයි ගෑනිත් එක වෙලාවකට හරි බඩුවක් වෙනවමයි."
ටෙක්ලා පවනි දිහාවට හැරුනා. පවනි හිස ඔසවලා ඇය දිහා බැලුවා.
"හැමදේම දුවන්නේ සෙක්ස් එක්ක බන්. උඹට බයයි උඹෙන් හම්බනොවෙන දේ උඹේ මිනිහා වෙන ගෑණියෙක්ගෙන් හොයාගනියි කියලා. හැබැයි එහෙමයි කියලා ඒ දේ මිනිහට දෙන්නත් උඹට අසාවක් නෑ. එහෙම වෙන්න හේතුව උඹ ඉස්සරහා පෙනි පෙනී තියෙද්දිත් උඹ එක පිළිගන්නත් බයයි."
පවනි නිහඬවම අහගෙන හිටියා. ටෙක්ලා නැවත විත් ඇඳේ පවනි අසලින් ඉඳගත්තා.
"මේ බයෙන් උඹව මරණවා පවී. බයට උඹට මරන්න ඉඩ දෙන්න එපා"
"මන් මොකද්ද කරන්න එනේ ටෙකී? කියපන්... මන් මොකද්ද කරන්න ඕනේ? උඹ දන්නවා උඹ කරන රස්සාව මොක උනත් උඹ එදත් අදත් මගේ යාලුවා. ඒකෙ වෙනසක් නෑ. ඕනේ වෙලාවක මට මගේ දෙයක් බය නැතුව කතා කරන්න පුලුවන් එකම යාලුවා උඹයි. මන් ඒකයි අදත් උඹට කතා කරලා මේ සේරම උඹට කිව්වෙ. ඩොක්ටර්ස්ලගේ බයිලා අහලා මට දැන් ඇති වෙලා. මේ ඔක්කොම......"
එක් වනම සිය දෙතොල මට රැඳුනු ටෙක්ලාගේ දබරඟිල්ලෙන් පවනිගේ එලියට එමින් සිටි වචන හිර කලා.
"ඇති පවී ඇති.... තවත් බොරු කලා ඇති. උඹ දන්නවා ඇත්ත. ඇත්තට එලියට එන්න ඉඩ දියන්"
එකිනෙක ගැටුනු දෑස් යුවල හරහා දහසක් වචන හුවමාරු වෙද්දි පවනිගේ හදගැස්ම වැඩි වෙන්න ගත්තා.


***

සිදුවන දේ සැබෑවක් බව වටහා ගන්න අනුශ්කට තවත් මොහොතක් ගතා උනා. ඊලඟ මොහොතේ ඔහු කාංචනාව වැලඳගත්තේ හිතේ සතුට උතුරායද්දි. 
"එහෙනම් අපි බඳිනවා... අපි බඳිනවා.... අන්තිමේදි ඒක වෙනවා"
ඔහු ඇගේ මුහුණ පුරා ඔහුගේ දෙතොල දිවෙව්වා. 
"මන් ඔයාට ආදරෙයි. මට ඔයාව ඕනේ. ඒත් අනූ.... ඔයාගේ අම්මලා තාත්තලා... එයාලා කවදාවත් මාව බාරගන්න එකක් නෑ. අනිත් එක මගේ අතීතය හැමදාම මගේ පස්සෙන් පන්නයි." ඔහුගේ දොතොලින් සිය මුහුණ නිදහස් උන එක සුළු විරාමයකදි ඇය සිහින් හඬින් කෙඳිරුවා. 
"අම්මලා තාත්තලා ගැන මන් බලාගන්නම්. අපි බඳින එකම ලොකු දිනුමක් නෙවෙයිද කාංචනා."
"ඒත් අනූ මේකට මැඩම් කීයටවත් ඉඩ දෙන එකක් නෑ. එයා මගේ පස්සෙන් මිනිස්සු දම්මවයි. මට එලියෙ ලෝකෙට යන්න මැඩම් ඉඩ තියන එකක් නෑ අනූ" ඇය සිය හිස අනුශ්කගේ උරහිස මත ඔබාගත්තා. තමන්ගේ පිටට යමක් වැටෙනවාත් ඒ සමඟව පිට තෙත් වන බවත් අනුශ්කට දැනුනේ එක සැණයකින්. 
"අඬන්න... කමක් නෑ... අඬන්න.... හැබැයි මන් පොරොන්දු වෙනවා....ඔයා අඬන අන්තිම වතාව තමයි මේක." අනුශ්ක ඇගේ හිස සිය දෑතින් අල්ලා ඉස්සුවා. ඇගේ දිළිසෙන ඇස් දිහා එක මොහොතක් බලන් සිටි අනුශ්ක සිය දෙතොල් ඇගේ නළල මත තැබුවා. ඇගේ උණුසුම් සුසුම් සිය ගෙල ප්‍රදේශය ආක්‍රමණය කරනු ඔහුට දැනුනා. 
"මේ අහන්න... ඔයා ආයෙත් ඒ කුණුගොඩට යන්නේ නෑ. ඔයාට එහේ ගන්න වටින මොනා හරි තියෙනවද?" 
"එහෙමට ලොකු දෙයක් නෑ. ඇඳුම් ටික විතරයි ඉතින්. ම්ම්ම්?" ඇගේ බැල්මේ තිබ්බේ ප්‍රශ්ණාර්තයක්. 
"එහෙනම් හරි... ඔයා මේ දැන්ම මාත් එක්ක එනවා. මන් ඔයාව මගේ ගමේ එක්ක යන්නම්. එහේ ගියාම කාටවත් ඔයාව හොයාගන්න හම්බෙන්නෙ නෑ." අනුශ්කගේ කටහඬේ තිබ්බේ දැඩි ස්ථිරභාවයක්.
"එහෙම කොහොමද අනේ කරන්නේ. එක පාරටම මේ කළබලේ... මන් ඇවිත් කොහේද ඉන්නේ.... අනේ අනූ අපි ටිකක් ඉවසමුකො."
"නෑ කාංචනා නෑ... තව ඉවසීමක් නෑ.... මේක තමයි වෙලාව... දැන් බැරි උනොත් ආයේ කවදාවත් බැරි වෙනවා"
ජීවිතේ කියන්නේ ප්‍රශ්ණ සහා උත්තර අතර දෝලනය වෙන දෙයක්. හැම ප්‍රශ්ණෙකටම උත්තරයක් නැද්ද? කාලයට ඉඩ දීම ප්‍රශ්න වලට උත්තරයක්ද? එක උත්තරයක් කියන්නේ තවත් එක ප්‍රශ්නයක්ද? මේ හැම එකක්ම උත්තර නැති ප්‍රශ්ණ. කාංචනාගේ ප්‍රශ්ණ වලට හරි උත්තරයක් අනුශ්ක ගාව නොතිබුනා වගේම අනුශ්කගේ ප්‍රශ්න වලට උත්තර කාංචනා ගාව තිබුනේත් නෑ. ඒත් හැම ප්‍රශ්නෙටම උත්තර හම්බෙනකම් තමන්ට බලන් ඉන්න පුලුවන් කමක් නැති බව දෙන්නම හොඳටම දැනගෙන හිටියා. 
අවසානයේ අනුශ්කගේ තීරණේට කාංචනා කැමත්ත පල කලේ ඒ හින්දම වෙන්න ඇති.
"හරි... හැබැයි ටෙක්ලට කෝල් කරලා කියන්න ඕනේ අනූ. කෙල්ල කළබල වෙයි නැත්නම්."
"ඒක ප්‍රශ්ණයක් වෙන එකක් නැද්ද?"
"නෑ අනූ මට එයාව විශ්වාසයි" 
ගෙවෙන මොහොත ගැන දෙන්නටම තිබ්බේ ලොකු උනන්දුවක් වගේම කුතුහලයක්. ඊලඟ මොහොතේ කුමක් සිදු වුවත් සිදු වන ඕනෑම දේකට එක්ව මුහුණ දීමට දෙදෙනාම හිත දැඩි කරගෙන සිටියා. කාංචනා කිහිපවරක් ටෙක්ලාගේ දුරකතනයට ඇමතූ නමුත් කිසිඳු ප්‍රතිචාරයක් ලැබුනේ නෑ.
"ගෑනි ආන්සර් කරන්නේ නෑනේ."
"කමක් නෑ.. අපි පස්සෙ අරන් කියමු"
"ටෙක්ලා උදේම යාලුවෙක් හම්බවෙන්න යනවා කියලා ගියා. අපි එලියට ගියාම සමහර වෙලාවට මැඩම් ඇතුලේ කෙල්ලෙක්ගෙ ෆෝන් එකකින් කෝල් කරලා බලනවා කොහේද ඉන්නේ කියලා. මේකි හිතනවද දන්නේ නෑ මේත් එහෙම කෝල් එකක් කියලා. කොමිනිකේශන් එකකින් ගත්තනම් හරි." 
"ඉතින් මගේ එකෙන් ගන්නකො" අනුශ්ක ඔහුගේ දුරකතනය ඇය වෙත දිගු කලා. 
"බෑ... වැඩක් නෑ. එහෙම වෙලාවට මොබයිල් ආන්සර් කරන්නෙම නෑ. ඉන්නකො මන් අර එහා පැත්තේ කොමිනිකේශන් එකෙන් කෝල් එකක් අරන් එන්නම්"
"දැන්මම කියන්නම ඕනෙමද අනේ?" අනුශ්කගේ කට හඬේ තිබ්බේ පොඩි හුරතල් ස්වාභාවයක්. 
"ඔව් ඔව් අනේ.. කියලා ගියාම හරි... ඔයා ඉන්නකො මහත්තයො චුට්ටක්. කෝල් එක ගත්තා අපි ගියා" ඇයත් හුරතල් කඩහඬකින්ම පිළිතුරු දුන්නා.
"හරි එහෙනම් ඔයා කෝල් එක අරන් එතනම ඉන්න. මන් ටකස් ගාලා බෑංක් එකට ගිහින් සල්ලි ටිකක් අරන් එන්නම්." 
ඇය පාරේ අනෙක් පසට පැනිමට තැන් කරද්දීම ඔහු නැවත ඇගේ අතින් ඇද ඔහු වෙතට ගත්තා. 
"ඔය කහ පාට ඇඳුමට ඔයා හරිම ලස්සනයි. හරියට කහ කිරිල්ලියෙක් වගේ." 
"දැන් කොහොමත් ඉතුරු මේ ඇඳුම විතරයි. මහත්තයටම වෙයි තව ලස්සන ඇඳුම් අරන් දෙන්න" 
"ඒකට තමයි මේ සල්ලි ගේන්න යන්නේ. ලොරියක් පටවල සල්ලි ඕනේ වෙයිද දන්නේ නෑ" 
දෙදෙනාම හිනා උනේ අනාගතය ගැන මොහොතකට අමතක කරලා. 
"හරි මන් ගිහින් එන්නම්" ආපු ත්‍රීවිල් එකකට අත දාලා අනුශ්ක නගින අතරේ ඇය පාර පනින්න කහ ඉර පැත්තට ගියා. 
ටික කාලයක් ඇතුලේ සිද්ද උන හැමදේම අනුශ්කගේ හිතේ සිතුවම්පෙලක් මෙන් මැවෙන්න ගත්තා. ලැජ්ජකාරයෙක් විදියට මසාජ් සෙන්ටර් එකට ගිය දවස. පළවෙනි වතාවට කාංචනාව දැක්ක හැටි. ඇගේ දෑතේ පහස ලබපු හැටි. තමන් ලැජ්ජාවෙන් ඇඹරුන හැටි. ඒ හැමදේම හරියට හීනයක් වගේ. කාලයත් එක්ක තමන් ඇවිත් තියෙන දුර ගැන ලොකු පුදුමයක් ඔහුගේ හිතේ ඇති උනා. ඒ වගේම ලොකු සතුටකුත්. "සැබෑ ආදරය මසාජ් සෙන්ටර් එකකදි පවා හමුවිය හැක" කියලා ත්‍රීවීල් එකෙන් එලිය ඔලුව දාලා කෑගහලා කියන්න තරම් සතුටකින් ඔහුගේ හිත පිරිලා තිබුනා. බැංකුවෙන් මුදල් ලබාගෙන නැවතත් ත්‍රීරෝද රථයටම ඉක්මනින් ගොඩ උනේ සිය අනාගතය සොයා හැකි ඉක්මනින් පියමන් කිරීමේ අරමුණින්. අනාගතයේ කුමක් වේදැයි තවමත් හරිහැටි පැහැදිලි නෑ. පිළිතුරු නැති ප්‍රශ්න වැලක් තමන්ගේ ඉස්සරහට එන බව ඔහු හොඳින්ම දැන සිටියා. ඒත් තමන්ගේ ආදරය ඉදිරිපිට ඒ ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න තරම් ධෛරයක් තමන්ට ඇතිබවත් ඔහු අවබෝධ කරගෙන සිටියා. හෙට.... හෙට දවස ගතවෙන්නෙ කොයි විදියට උනත් ඒ හෙට දවස බෙදාගන්න තමන් එක්ක කාංචනා ඉන්න එක ඔහුගේ එකම සවිය උනා. 
සිතුවිලි වර්ශාව නිසාම ඔහු නැවත ඔවුන් කලින්  සිටි ස්ථානයට පැමිණ ඇති බව වටහාගන්නට ඔහුට මොහොතක් ගත උනා. ප්‍රදේශයේ තිබුනේ කලින් නොතිබූ අන්දමේ කළබලකාරීබවක්. මිනිසුගේ උස් කෑගැසීම් හඬවල් පාර දෙසින් ඇසුනා. පාරේ එක් තැනකට මිනිසුන් පොදියක් මෙන් එකතු වී සිටියා. ත්‍රීරෝද රථයෙන් බැසගත් ඔහු ඒ දෙසට ඇවිදගියේ ගැහෙන හදවතින්. මොකද්දෝ අමුතු නුහුරක් ඔහුගේ හදවත කිඳාබැස ගත්තා. 
"මො...මොකද්ද වෙලා තියෙන්නේ.?
සෙනඟ පීරමින් ඉදිරියට යන අතරෙ ඔහු අවට සිටියෙක්ගෙන් සිද්ධිය විමසුවා. 
"පාරේ එහා පැත්තේ ගිය කාර් එකක් එක පාරටම පැත්තට කපලා ඇවිත් අර නවත්තලා තීයෙන ලොරියේ වැදුනා. වාහනේ හැපෙන වෙලාවේ පාර පැනපු ගෑනු කෙනෙක් වාහන දෙක අස්සට අහු උනා. කාර් එක තිබ්බේ ලොරිය අස්සේ. මන් හිතන්නේ දෙන්නගෙම කෑලි තමයි. "
අනුශ්කගෙ දෙකකුල් ඉදිරියට ඇදුනේ අනුදැනුමකින් තොරව.  ලොරි රථයත් කාර් රථයේ සුන්බුනුත් අතරින් රතු පැහැයට හැරුන කහ පැහැති ඇඳුමක් තුල සිරවුන මාංශ කැබැලි ඔහුගේ දෙනෙතට හසු උනා. ලෝකයම නැවතී හුස්ම සිරව යන්නාක් මෙන් දැනෙද්දී, රුධිරයෙන් පෙඟුණ තැලී ගිය කාංචනාගේ මුහුණ අනුශ්කගේ දෙනෙත් ගිලගත්තා. 

***


"උඹ කියන්නේ..... මේ ඒ හින්දා කියලද?" දෙනෙත් කතා කරන අතරෙම දෙතොලත් කතා කරන්න ගත්තා.
"ඔව් බන් ඔව්... අපි කාටවත් අතීතයෙන් ගැලවෙන්න බෑ බන්. අතීතය කියන්නේ නිකම්ම නිකන් වෙලා ඉවර උන සිදුවීම් ගොඩක් විතරක් නෙවෙයි. අපි හැමෝම අද අපි ඉන්න තැන පිටිපස්සෙ තියෙන්නෙ අපේ අතීතේ" ටෙක්ලා උත්තර දුන්නේ මහා දාර්ශණිකයෙක් වගේ.
"ඒත්.. ඒත්... මන් ඒ හැමදේම අමතක කලා බන්... ඒ දේවල්... ඒ දේවල්... ඉස්කොලේ යන කාලේ නොදන්නකමට උන අත්වැරදි විතරයි. මන් ඉස්කොලෙන් එලියට ආවේ ඒ හැමදේම මගේ ජීවිතෙන් අයින් කරලා." පවනි තමන් තුලටම එබෙන්න උත්සහකලා. 
"ඒ උනාට මට පේන්නේ ඒවා හරියටම අයින් වෙලා නෑ වගේයි... නේද බන්?" පවනිට ඒ ප්‍රකාශය දැනුනේ තරමක උපහාසයක් වගේ. 
"ඒ දේවල් පටන් ගත්තේ නොතේරුම්කමට වෙන්න ඇති. ඒත් උබට හිතෙන්නෙ නැද්ද අපිටත් නොදැනි අපි ඒකට ඇබ්බැහි වෙලා හිටියා කියලා. ඇබ්බැහි වෙලා හිටපු දේවල් යටපත් කරලා තියන්න පුලුවන්. හැබැයි සම්පූර්නයෙන්ම අයින්කරලා දාන්න බෑ බන්." පවනිගේ මුහුණේ වෙනස තේරුම්ගත්ත ටෙක්ලා දිගටම කතා කලා. 
"අදටත් උඹේ යටි හිත ඒ රස හොයනවා. උඹට දොස්තරලා කියනවා වගේ අසනීපයක් නෑ. උඹට තියෙන්නෙ වෙන රහක්. ඒකයි  ප්‍රශ්ණේ. ඒකයි උත්තරේ."
ටෙක්ලගේ  නොනවත්වා දිගහැරෙන වදන් හමුවේ පවනිගේ හිත නැවත අතීතයට දිවගියා. ඇය කියන දේ සත්‍යක්ද? උඩු හිත පිළිගන්න මැළි උනත් යටි හිතේ දිවෙන සත්‍යය ඒකද? ආයායයෙන් යටපත් කරගෙන ඉන්න වෙර දරන හැබෑව ඒකද? 
"එතකොට අනුපම?" පවනිගේ හිත පුරා ඒ නම ඇඳුනේ විදිලියක් වගේ.
"උඹේ උත්තරෙන් අනුපමට උත්තරයක් හම්බෙන්නෙ නෑනෙ ටෙකී. ප්‍රශ්නේ එහෙමමයි" 
"මේ අහපන්. ප්‍රශ්නේ දන්න ටිකට මුලින් උත්තර ලියපන්. ඒ ලියන් යද්දි ඉතුරු ටිකට උත්තර හම්බෙයි. එක විදියකින් උඹේ හිත සතුටු වෙද්දි අනිත් දේවල් ගැන වෙනස් විදියට හිතන්න පුලුවන් තැනට උඹව වෙනස් වෙයි." ටෙක්ලා ඇඳ මත තිබුන පවනිගේ අත් දෙක සිය දෑඟිලි අතර හිරකරගත්තා.
"හැපි එන්ඩින්ග් එක හොයන්න කලින් හැපි බිගිනින්ග් එක හොයාගෙන හිටපන්"
පවනි ඇගේ දෑස දිහා බැලුවා. ඒ දෑස් එක එල්ලෙම පවනිගේ දෑස හරහා පපුව තුලටම කිඳා බැස්සා. ඒ බැල්ම. අවුරුදු ගානකට පස්සේ ඒ බැල්ම. පවනිගේ හදවත ගැහෙන වේගය වැඩිවෙන්න ගත්තේ ඇයටත් නොදැනි. ඇල්පෙනෙනි තුඩු දහසක් සිය සම සිදුරුකොට සිරුරට ඇතුලු වීමට උත්සහ දරන බවක් ඇයට දැනුනා. මිලියනයක් ස්නායු ආවේග ඇගේ මොලයේ සිට ඇගේ යටිකය දක්වා ගමන් කලා. ටෙක්ලා සිය ඇඟිලි අතර ග්‍රහණය ක්‍රමයෙන් දැඩි කරද්දි ඔවුන්ගේ මුහුණු ටිකෙන් ටික ලන් වෙන්නට ගත්තා. ටෙක්ලාගේ දුරකතනය නාද වෙන්න ගත්තේ ඒ වෙලාවෙම. දිගින් දිගටම නාද වෙන දුරකතනය දෙදෙනාම බාධාවක් කරගනු පෙනුනේ නෑ. ඒ වෙනුවට ලන් වුනු මුහුණේ දෙක එකිනෙක ගැටුනා. එක මත එක වැටුන දෙතොල් යුග එකිනෙක පැටලුනේ පිපාසිතයෙකුට ජලය හමු උනාක් මෙන්. පවනි සිය දෑත් වලින් ටෙක්ලාව තව තවත් සිය සිරුරට තද කරගත්තා. සිරුරු අතරින් උණුසුම් හැඟීම් හුවමාරු වෙද්දී පවනිගේ මනස අනන්තය කරා ඉගිලුනා.  

***


"අපි හනිමූන් එකට නුවර එලියෙ යන්. එතකොට මට පුලුවන් පුංචි පූස් පැටියෙක් වගේ සීතලේ ඔයාගේ පපුවෙ ගුලි වෙලා ඉන්න." රාධිකාගේ මතකයන් නැවත නැවත මගේ මතකය සිපගන්න එකේ අඩුවීමක් උනේ නෑ. විවාහය සැලසුම් කරමින් අනාගතය ගැන සිහින පොදි ගොඩ ගහමින් සිටිනාතුර සිහිනෙකිනුඳු නොසිතුව පරිදි මේ සිදු උන දේවල් තවමත් වෙලාවට හීනයක් වගේ. ඇය නැති බව විශ්වාස කරන්න සිත තාමත් සුදානම් නෑ. හැමදේකටම වගකිවයුතුවන් මගේම හොඳම යහලුවන් දෙදෙනෙකු වීම හිතේ පෑරීම තව තවත් දරුණු කලා. ඔවුන්ට තවමත් නිසි දඬුවම් නොලැබීම හිත තුල දැවෙන ගින්දරට පුළුන් එකතු කරන්නක් උනා.
නඩුව එන්න එන්නම අපේ පැත්තෙන් ගිලිහී යන ලකුණු පහළ කලේ වැරැද්ද ඔප්පු කල හැකි සාක්ෂි නොමැතිකමින්.
"අපිට සමාවෙයන් මචන්" මිගාරත් සමීරත් පොලිස් අත්අඩංගුවට පත් උන දවසේ ඔවුන් දෙදෙනා මා ඉදිරිපිට හැසිරුණේ කලකිරීමට පත් උන බවකින්.
"උන් වැරැද්ද පාපෝච්චාරණය කරයි. බය නැතුව ඉන්න. නඩුවෙන් උන් හිරේ යනවමයි" පවුලේ අය කිව්වෙ මාව සනසන අරමුණින් වුනත් මිගාරගෙත් සමීරගෙත් කළකිරුණු ස්වාභාවය නිසා එය එලෙස නොවේවියැයි සැකයක් මටත් තිබුනැ නෑ. එහෙත් නීතීඥවරයාගේ උපදෙස් පරිදි ඔවුන් වැරැද්ද පාපෝච්චාරණ කිරීම ප්‍රතික්ශේප කල නිසා නඩුව නොසිතූ පරිදි අනිත් පැත්තට පෙරළෙන්න පටන් ගත්තා.
ආදරය.... අනුකම්පාව... හැඟීම්..... නීතිය ඉස්සරහ මේ දේවල් වලංගු උනේ නෑ. ඔවුන්ට උවමනා කලේ එක දෙයයි. සාක්ශි....
වේදනා විඳලා මැරුණු මගේ කෙල්ලට නීතිය ඉස්සරහා ආයේ ආයේ මැරෙන්න උනා. පාපතරයො දෙන්නෙක් අතින් කෙලෙසිලා වින්ද අවමානයට වඩා අවමානයක් නීතීඥවරුන්ගේ වචන වලින් ඇගේ ආත්මයට එල්ල උනා. මරණයයෙන්වත් නිදහස් නොවුන ඇගේ ආත්මය උසාවියේ බිත්ති අතර නැවත නිරුවත් වෙද්දි, මේ හැමදේටම මුල් උන කාලකණ්නි ආත්ම දෙක පහසුවෙන් හුස්ම ගන්න බව පෙනෙද්දි මගේ ඇතුලත නැගුන වෛරයේ ගිනිදැල් මගේ යහපත්කම් අළුකරගෙන යමින් සිටියා.
"නීතියෙන් බැරිනම් අවනීතියෙන්" මගේ හිතේ මුල්බැසගෙන ගොස් හමාරයි. 
"නීතියෙන් උඹලට දඬුවම් ලැබුනේ නැත්නම් මන් උඹලා දෙන්නව මරාගෙන මැරෙනවා යකෝ" සමහර සිතිවිලි හිතට එන්නේ ආවේගය නිසා උනත් කෙනෙක් සිටින මානසික ස්වාභාවය අනුව ඒ ආවේගාත්මක සිතිවිලි ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවෙනවාමයි කියන්ට අමාරුයි. ඒ බව දන්න නිසාමද මන්දා පවුලේ අය , හිතවතුන් මා ගැන සිටියේ හොඳ සෙවිල්ලකින්. 
"වෙන දෙයක් බලාගෙන අපි ඉමු. හැමදාම අසාධාරණය රජ වෙන්නෙ නෑ. නීතියෙන් වැරදකාරයො නොවුනත් උන්ගේ හිත් දන්නවා උන් කල වැරැද්ද. ස්භාවධර්මයා ඉස්සරහා උන් වැරදිකාරයො. උන්ට කවද හරි ඒකට දඬුවම් ලැබෙනවා. ඔයා කලබල වෙලා කිසිම මෝඩ වැඩක් කරන්න හදන්න එපා" ඔවුන්ගේ වචන ඒ වෙලාවට මට අස්වැසිල්ලක් උනත් හිතේ පැසවමින් තිබූ තුවාල මුළුමනින්ම සුවකරලන්න ඒවාට කිසිසේත්ම හැකි උනේ නෑ. 
"හොඳයි බලන් ඉමු"
අවසානයේ එය සිදු උනා. අවනීතිය රජකරන දුෂ්ඨ ක්‍රමවේදයක් තුල කෙලසකනම් සාධාරණත්වයේ අරුනළු සොයන්නද? නිරුවත් උන රාධිකාගේ ආත්මයට තවත් කැළැල් පමණක් ඉතිරිකරමින් මිගාරත් සමීරත් නීතියේ රැහැනින් නිදහස් උනා. 
"එහෙනම් මේ මගේ වාරේ" තීරණයක් ගැනීමට දෙවරක් සිතිය යුතු උනේ නෑ.
හිත කලක් තිස්සේ හොයමින් තිබූ සතුටුදායක අවසානය කරා මනස මාව මෙහෙයවූවා.
දැතේ හිරවුන සුක්කානම පදික වේදිකාවේ ඇවිදයමින් සිටි මිගාරත් සමීරත් දෙසට හැරවුනේ නිරායාසයෙන්. වාහනයේ රෝද මිගාරගේ ඇඟ මතින් ඇදී යද්දි වාහනයේ කෙලවරක වැදුන සමීර ඈතට විසි උනා. ඊලඟ මොහොතේ මම දැක්කේ වේදනාවෙන් නැවත නැගී සිටින්නට උත්සහ දරන සමීරව. දකුණු කකුලේ සම්පූර්ණ බර ඇක්සලේරටය මත පැටවුනා. වාහනය සමීර වෙත වේගයෙන් ඇදීයද්දී ඔහු හිස් බැල්මකින් වාහනය දිහා බැලුවා. ඔහු මාව දකින්න ඇත්තේ අන්තිම මොහොතේ. ඔහුගේ මුහුණේ ඇති උන වික්ශිප්ත හැඟීම මගේ ඇස් ඇතුලට කිඳාබහිද්දි ඔහුගේ සිරුර මතින් වාහනයේ බර ගමන් කලා. රෝද වලට හැඟීම් තිබුනානම්...... ඔහුගේ පවුකාර සිරුර පොඩි වී යන අන්දම මම හිතේ මවාගන්න උත්සහා කලා.
නිදහස්... ඔව්... දැන් මම නිදහස්... රාධිකාගේ ආත්මය වෙනුවෙන් මම මගේ යුතුකම ඉටු කලා.
රාධිකා.... ඇගේ හිස් බැල්මෙන් මන් දිහා බලාගෙන. මම දෙනෙත් පියාගත්තා. පියැවුනු දෙනෙත්පිය තුලත් ඇය මන් දිහා බලාගෙන. ඇය මට කතා කරනවා. 
ඔව්... ඇය මට කතා කරනවා. මේ ලෝකය තුල මගේ වැඩකටයුතු දැන් අවසන්. 
"ඔව් රාධිකා මන් එනවා ඔයා ගාවට"
මේක තමයි හම්බෙන්න පුලුවන් හැපිම එන්ඩින්ග් එක.
වාහනය ඉදිරියට ඇදුනේ මගේ පාලනයෙන්ද නැද්ද යන වගක් මට දැනුනේ නෑ. මා කල එකම දෙය ඇක්සලේටරය මත මගේ බර නිදහස් කිරීම පමණයි. පාරේ එහා පස නවතා තිබූ  ලොරිය මගේ ඇස ගැටුනේ ඒ වෙලාවෙම. හැරවුනු සුක්කානම වාහන වේගයෙන් නවතා තිබූ ලොරි රථය වෙත ගෙන ගියා.  රාධිකාගේ මුහුණ මා ඉදිරිපිට හිනාවෙද්දි මම වාහනයේ සුක්කානම අතැර ඇයවෙත දෑත දිගුකලා. වාහනය ලොරි රථය සිපගන්නට පෙර ගතවූ අවසාන මොහොතේ ඉදිරිපස මැවුන කහපැහැ චායාවකින් රාධිකාගේ රුව බොඳ කර දැමුවා.

- දි එන්ඩ් -

Monday, October 30, 2017

එකොමත් එක...

දේවදාර ගස අත්තක් අද්දර
පුංචි කැකුළු මල සිනාසුනා
ගසේ මුදුන් මුල බදාන හිටි පස
මහා ගංවතුරට නාය ගියා
දේවදාර අතු බිම නැමුණා
පුංචි කැකුළු මල් පෙති තැලුනා

කලින් ඇරුණු මල් පෙති අතරින්
මුදු සුවඳ සොයා බඹරුන් ඇදුණා
රිසිසේ මල් රොන් ගන්නට ඉඩ හැර
ගස නිහඬව නිසලව සිටියා
ගස බඳ වට කර වැල් එතුනා

නාය ගියපු පස ඈතක නැවතී
අලුත් ගසක මුල් ඵල දැරුවා
ඒ ගස ඉතිඅග පිපුණු කැකුළු මල්
අකලට පරවී බිම වැටුණා
අරටුව පිපිරී ගස වැටුනා

දේවදාර ගස සුළඟට හසුවී
මල් පෙති සුළඟේ පා කෙරුවා
සුළඟට හසුවී ගසාගෙන ගිය පෙති
වැටුනු ගසක අත්තක රැඳුනා
නව දල්ලක් ලියලනු පෙනුනා

Monday, May 15, 2017

මතක සුවඳ

අතීතය සුවඳයිද කෙතරම්
දැනේ කල්ගත වුවත් මෙතරම්
සඟවගත් පෙම එදා එතරම්
දන්නේ මා මිස කවුද ඔතරම්

මුකුළු සිනහා අතර අමුණා
මිහිරි වදනින් සවන් පුරවා
රුවැති රුව මනසේම තවරා
ලඟින් සිටි කාලයක් තිබුනා

හීන කන්දම නාය යද්දි
නෙතු පියන් යට තෙමී පෙඟවී
අතීතය තුල සෙනෙහෙ සිර කොට
සිනා මල් මුව ගියා සැඟවී

ආ මගක් නැත ගිය මගක් නැත
සිටි බව සළකුණක්වත් නැත
සදාතනිකව සුවඳ විහිදන
මතක ගොන්නක් ඉතිරි වී ඇත
                                                                                                                                                                                                                                                                                                                                                                                                                                           

Wednesday, March 29, 2017

"කුඩේ කුඩු" වූ වගයි!


ඩ්‍රාමා උණ පටන් ගත්තෙ ඉස්කෝලේ යන කාලෙ. එතකොට මන් ගියේ ගාල්ල, කිතුලම්පිටිය ආනන්ද මහා විද්‍යාලයට. සමිති රැස්වීම් වල පොඩි පොඩි නාට්ටි කෑලි කර කර ඒ උණ යන්තම් යන්තම් හොඳ කරගත්තා. පාසල් මට්ටමින් ගිය නාට්ටි වලට සම්බන්ධ වෙන්න පුලුවන් උනත් අපේ ඉස්කෝලෙ ජාතික පාසලක් නොවුන නිසා තිබ්බ බාධක නිසාද කොහේද ඩ්‍රාමා පැත්තෙන් ලොකු දෙයක් ඉස්කෝලෙන් උනේ නෑ. වේදිකාවෙදි ප්‍රසිද්ධ පුද්ගලයෙක්ගෙන් ලැබුන පළවෙනි කමෙන්ට් එක හම්බෙන්නෙ එහෙම පාසල් මට්ටමින් ගිය නාට්ටියකදි ලයනල් රන්වල මහත්මයගෙන්. එකෙන් තිබ්බ උණ වැඩි උනා උනත් ඒ උණට හරි හමන් බේතක්නම් හම්බවෙන්නෙ නෑ. ඒත් මට මතකයි විද්‍යාපීඨ පුහුණු ගුරුවරයෙක් විදියට වසරක කාලායකට අපේ ඉස්කෝලට ආපු "සම්පත් සර්" අපිව පලාත් මට්ටම දක්වා අරන් ගියා. ඒ වෙද්දි මම 9 වසරෙ වගේ පොඩි කොලු ගැටයා.  ඒත් ඒ අවුරුද්ද සුරුස් ගානකොට ගෙවිල ගිය නිසා එතනින් එහාට ආයෙ අපේ ගමන නැවතුනා. ඊට පස්සෙ 11 වසරේ මුල් භාගයේදි ගාල්ල මහින්ද විද්‍යාලයට යෑමත් එක්ක නාට්ටි කෙරුවාව සම්පූර්ණයෙන්ම අයින් වෙලා ගියා. උසස් පෙලට තෝරගත්තෙත් විද්‍යා විශයන් නිසා ඒ පැති ගැන හිතන්න පවා ඔලුව නිදහසක් ලැබුනේ නෑ. ඉතින් නාට්‍ය කළාව ගැන කිසිම විදියක විධිමත් දැනුමක් ලබාගන්න හැකියාවක් ලැබුනත් නෑ.

ඒ දේවල් ඒ විදියට උනත් දන්න කාලෙ ඉඳලම ඔලුව ඇතුලේ කැකෑරි කැකෑරි එලියට එන්න දඟලපු නාට්ටි හීනෙනම් කිසිම අඩුවක් උනේ නෑ. "කවදම හරි ස්ටේජ් ඩ්‍රාමා එකක් කරනවමයි" අරමුණ දවසින් දවස ඝනව වැඩුනා. වතාවක් දෙකක් ඊට සුදුසු දැණුම ලබාගන්න අවශ්‍ය පසුබිම් සැකසුනත් දෛවයේ සරදමක් නිසාදෝ ඒ හැම අවස්ථාවක්ම අවාසනාවන්ත විදියට ගිලිහිලා ගියා. ගුරුවරයෙක් විදියට පිහිටට හිටියේ නරඹන්න ලැබුන අතලොස්සක් වේදිකා නාට්‍ය කිහිපයක් විතරයි. හීනයේම කොටසක් වන චිත්‍රපට අධ්‍යක්ෂණය ගැන වැඩි අවධානයක් යොමු කරන්න පෙලඹුනේ ඒ හේතුව නිසාමයි. පර්යේශණාත්මක කෙටි චිත්‍රපට කීපයක් නිර්මාණය කරමින් හෙමින් හෙමින් වතුරට බැහැගෙන ආවත් ඒ දේවල් පවා සීමා වෙන්නෙ ආර්ථික බාධක හැමදේකටම හරස් කපපු නිසයි.

2013 වසර විශේෂ වසරක්. රූපවාහිනි මාධ්‍යය තුල ටෙලි නාට්‍ය හා සම්බන්ධව කටයුතු කරන්න ලැබෙන්නෙ අහම්බෙකින් වගේ. සහාය අධ්‍යක්ෂකවරයෙක් විදියට, නළුවෙක් විදියට විවිධ නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙන්න ලැබුනත් 2013 වසර අවසානයත් එක්ක ඒ සියල්ලත් අවසන් වෙන්නෙ හේතූකාරනා කීපයක්ම නිසා.  

එතැන් පටන් ගත වෙන්නෙ හීනයේ මංපෙත් වලින් තරමක් ඈත් වෙච්ච වෙනස්ම විදියක නිහඬ ජීවිතයක්. කිසිදිනෙක බලාපොරොත්තු නොවුන රජයේ රස්සාවක, ජීවිතේ ආර්ථික ශක්තිය හොයමින් කරන සටන්කාමී කාල පරිච්චේදයක්. 

කාතාව ආයෙ වෙන පැත්තකට අරන් යන්න වෙනවා. වෙන පැත්තකට වගේම ආයෙමත් තව අතීතයට. ශ්‍රී ලංකා HBS සංවිධානය වසර 18ක පමණ කාලයක් තිස්සේ ලංකාව තුල ක්‍රියාත්මක වන බෞද්ධ සංවිධානයක්. 2006 වර්ශයේදි මට අවස්ථාව ලැබෙනවා HBS සංවිධානයත් එක්ක සම්බන්ධ වෙන්න. එතැන් පටන් මම සංවිධානය තුල ක්‍රියාකාරී සාමාජිකයෙක් බවට පත් වෙනවා. අද වෙද්දි මම HBS සංවිධානයත් එක්ක එකතු වෙලා අවුරුදු 11ක් . මේ අවුරුදු 11 පුරාවට මගේ ජීවිතේ සිදු උන සියලූම දේවල් පිටිපස්සෙ මේ සංවිධානය තිබුනා කිව්වොත් මම නිවැරදියි. මා පිළිඹඳව පෞද්ගලිකව දන්නා සියල්ලන් ඒ ගැන හොඳින්ම සාක්ශි සපයාවි. පෞර්ෂය, රස්සාව, විවාහය.... මේ එයින් ප්‍රධාන දෙක තුනක් විතරයි. දැන් ආයේ ප්‍රධාන කතාව දෙසට හැරුනොත්, ක්ශීන වෙමින් යමින් තිබුන කලා හීනයට ආයෙමත් පණ පොවමින් මා තුල තිබූ යම් යම් හැකියාවන් එලියට ගේන්න විශාල අත්වැලක් උනේත් මේ HBS සංවිධානයමයි. 
"දවසක ඩ්‍රාමා එකක් කරමු" මගේ අරමුණ, මගේ හීනය HBS සංවිධානය ඔවුන්ගේ එකක් කරගත්තා. කිසිවෙකුත් අත නොදෙන මොහොතක ඔවුන් ඒ බර ඔවුන්ගේ මත පටවගත්තා.

"කුඩේ කුඩු" වේදිකා නාට්ටිය සඳහා පිඹුරු පත් සකස් වෙන්නෙ ඒ විදියට. වැඩේට මුල් අඩිය තියන්නේ ඉස්සහට මොනවා වෙයිද කියලා කිසි දෙයක්  නොදැන. හැබැයි මොන දේ උනත් නොනැවතී ඉස්සරහට යනවා කියන අරමුණ විතරක් අපේ ඔලුව ඇතුලේ තිබ්බා. මම නවකයෙක්. වේදිකා නාට්‍ය ගැන කිසිම විධිමත් අධ්‍යාපනයක් නොලබපු කෙනෙක්. මීට කලින් ප්‍රසිද්ධ වේදිකාවක කිසිම නිර්මාණයක් නොකල කෙනෙක්. මන් ඉස්සරහා තිබුනෙ ලොකු අභියෝගයක්. ඒත් HBS සංවිධානය මාව විශ්වාස කලා. ඒ විශ්වාසයම මට ලොකුම හයිය උනා.

සතියක් ඇතුලත තිරපිටපත ලියැවුනා. ඒ ලියන අතරතුරේම HBS සංවිධානයේ සාමාජික සාමජිකාවන් අතුරෙන් තෝරාගැනීමේ පරීක්ශනයක් සිදු කලා. අවශ්‍ය කරන නලු නිළියන් එයින් තෝරාගැනුනා. තවත් අලුත්ම පිරිසක්. අභියෝගය තවත් තීව්‍ර උනා. පිටපත ලැඟුම් පාලක මණ්ඩලයට යොමු කරලා එහි අනුමැතිය ලබාගන්න ඕනෙ බව දැන්ගත්තෙ කණාවට වගේ. පේනවනෙ දැණුමේ තරම. ලහි ලහියේ ඒ කටයුත්තත් සිදු කරලා ඔවුන්ගේ අනුමැතිය අරගත්තා. පුහුණුවීම් ඇරඹුණා.

සම්පූර්ණයෙන්ම නවක පිරිසක්!!! 
අභියෝග රාශියක්!!! 
නමුත් එකම අරමුණක්!!!

මාස දෙකක් පුරාවට සියල්ලන්ගේම ජීවිතය උනේ ඒ අරමුණ විතරයි. 
මමද ඇතුලුව මුලු කණ්ඩායමම බින්දුවේ සිට සෙමෙන් ගොඩනැගෙන විදිය දකිද්දි තියෙන ධෛර්‍ය තව තවත් දළුළා වැඩුනා. ඔවුන් කිසිවෙකුත් මුදල් අපේක්ෂාවෙන් පැමිණි අය නෙවෙයි. කිසිම විදියක පෞද්ගලික ප්‍රතිලාබ බලාපොරොත්තුවෙන් පැමිණි අය නෙවෙයි. මුදල්, කාලය, ශ්‍රමය සියල්ල කැප කරමින් ඔවුන් පැමිණියේ HBS සංවිධානය වෙනුවෙන්. ඔවුන්ගේ උත්සහයේ වටිනාකම වැඩි වෙන්නෙ ඒ හින්දමයි.

දිනය : දෙදහස් දාහතේ මාර්තු මස 26 වන ඉරිදා......
ස්ථානය : කොළඹ නව නගර ශාලාව
වෙලාව : සවස 3.30

අවුරුදු ගානක, මගේ සිහිනය.....
අවුරුදු ගානක, සංවිධානයේ දිරිගැන්වීම......
මාස දෙකක, නාට්‍ය කණ්ඩායමේ අඛණ්ඩ කැපවීම......

සියල්ල මල්පල ගැන්වුනා.
වේදිකාව මත ආලෝක කදම්බ මගේ මුහුණට එල්ල වෙද්දි මගේ මුලු ආත්මයම ආලෝකමත් උනා. වචන වලින් විස්තර කරන්න බැරි අනේක හැඟීම් වරුසාවකින් මගේ හිතම තෙමිලා ගියා. චරිතයක රඟ දක්වමින් සිටි නිසා ඒ වෙනස පහල නරඹන්නන්ට නොපෙනෙන්න ඇති. ඒත් අද මේ ලියවුන වචනයක් වචනයක් පාසා ඒ හැගීම, මෙය කියවන ඔබේ ඔළු ගෙඩි පුරා ඇදිලා යනු ඇති. 

මෙය මගේ ජීවිතේ සුවිශාල සංධිස්ථානයක්. උපන් දිනය, විවාපත් දිනය වගේම, ඒ තරමටම සිහිපත් කල හැකි දිනයක්.

2017 මාර්තු 26 : මම නැවත උපන්නා.....

ඇත්තෙන්ම මෙය මගේ පෞද්ගලික ජයග්‍රහණයක් නෙවෙයි. මෙය පිටුපස ඉතා විශාල පිරිසක් හිටියා. ඔවුන් නොයිඳින්න අද තාමත් මම මගේ සිහිනය දිහා බලාගෙන හූල්ලන තවත් එක ප්‍රාණියෙක් විතරයි. මේ ස්තූතිය ඔවුන් හැමදෙනා වෙනුවෙන්මයි. 

"කුඩේ කුඩු" 
අපි ඉහලලා බැලුවා.
උදව් කල හැමෝම ගැන තියෙන්නෙ අපිරිමිත ස්නේහයක්.

මම සිහිනයක් දැක්කා. සිහිනය සම්පූර්ණ වුනේ එදා ඔබෙන් ලැබුනු අත්පොලසන් හඬත් එක්ක. ඒ හඬ මුළු ජීවිතය පුරාවටම මගේ කන්පෙති අතර රැව් පිලිරැවු දේවි.