Monday, May 15, 2017

මතක සුවඳ

අතීතය සුවඳයිද කෙතරම්
දැනේ කල්ගත වුවත් මෙතරම්
සඟවගත් පෙම එදා එතරම්
දන්නේ මා මිස කවුද ඔතරම්

මුකුළු සිනහා අතර අමුණා
මිහිරි වදනින් සවන් පුරවා
රුවැති රුව මනසේම තවරා
ලඟින් සිටි කාලයක් තිබුනා

හීන කන්දම නාය යද්දි
නෙතු පියන් යට තෙමී පෙඟවී
අතීතය තුල සෙනෙහෙ සිර කොට
සිනා මල් මුව ගියා සැඟවී

ආ මගක් නැත ගිය මගක් නැත
සිටි බව සළකුණක්වත් නැත
සදාතනිකව සුවඳ විහිදන
මතක ගොන්නක් ඉතිරි වී ඇත