Monday, August 22, 2011

සමන්ති ඇන්ටී

"අන්න සමන්ති ඇන්ටී පැනලා ගිහිල්ලා" මගේ කාමරේ දොරෙන් එබිලා අක්කා එදා කිව්ව විදිය මට තාමත් අද වගේ මතකයි. ඒ මීට අවුරුදු 3කට විතර කලින්. අක්කා එදා ඒක කිව්වෙ, හරියට ඒ දේ එයා බලාපොරොත්තුවෙන් සිටි දෙයක් වගෙයි. මම කියවමින් හිටි පොත දිහා තවත් මොහොතක් එහෙමම බලන් හිටියා. මම පියවි සිහියට ආවෙ මොහොතකට පස්සෙ.
"මොකා" මම ඇහුවෙ පොත දිහා බලාගෙනම.
"හ්ම්ම්... ඊයේ රෑලු.... ලියුමකුත් ලියලය කියන්නෙ ගිහින් තියෙන්නේ" අක්කා කිව්වෙ ගානක් නැතුව වගේ.
"කාත් එක්කද?" මගේ ඔලුවේ හිර වෙලා තිබ්බ ප්‍රශ්ණේ එලියට ආවා.
"හිච්චිත් එක්ක" අක්කගෙ ඒ උත්තරේ මට එක පාර විස්වාස කරන්න පවා බැරි උනා. මම ඇස් ලොකු කරගෙන අක්කා දිහාම බලාන උන්නේ ඒ නිසාමයි.
"ඔන්න තමුසෙලාගෙ මහලොකු සමන්ති ඇන්ටි. " අක්කා ගස්සගෙනම යන්න ගියේ එහෙම කියාගෙන.

සමන්ති ඇන්ටි අපිට දුරින් නෑයෝ උනා. දුර කියන්නෙ සෑහෙන්න දුර නෑ කමක්. ඒත් අපි දෙගොල්ලන්ගෙ ගෙවල් තිබ්බෙ එකම ගමේ එක කිට්ටුව නිසා ටිකක් ලොකු හිතවත්කමක් අපේ පවුල් අතර තිබුනා. ඒ වෙද්දි සමන්ති ඇන්ටිට වයස 34ක් 35ක් වගේ වෙන්න ඇති. ඒ උනත් බැලූ බැල්මට කිසි කෙනෙක්ට එහෙම කියන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. මොකද ඇන්ටිට තිබ්බෙ අවුරුදු 25ක විතර පෙනුමක්. ගමේ ගොඩක් දෙනා සමන්ති ඇන්ටි දිහාවට ඇහැ ගහගෙන හිටියේ ඒ නිසාම වෙන්න ඇති. තලතුනා ලොකු මිනිස්සු වගේම පොඩි කොල්ලො කුරුට්ටොත් ඒ පිරිස අතර හිටියා. හැබයි ඒ කිසිම කෙනෙක් සාර්ථක උන බවක්නම් මම ඒ වෙනකම් අහලා තිබුනේ නෑ. සමන්ති ඇන්ටි කසාද බැඳලා හිටියේ සමරේ අංකල්ව. සමරේ අංකල් රස්සාවට කලේ ත්‍රීවීල් එකක් දුවපු එක. මහ ලොකු සල්ලි කාරයො නොවුනත් සාමාන්‍ය හොඳ ජීවිතයක් ගත කරන්න තරම් මිල මුදලක් ඒ රස්සාවෙන් අංකල් හම්බ කලා. අංකල්ගෙ පොඩි වැරැද්දකට තිබ්බෙ හවසට ටිකක් බොන එක විතරයි. ඒත් බීලා පිස්සු නටලා අනිත් මිනිස්සුන්ටත් වදයක් වෙලා පවුලටත් වදයක් වෙන කෙනෙක් විදියට අංකල් නම දරලා තිබ්බෙ නෑ. තම්න්ගෙ පවුලට හොඳින් සලකගෙන ඉන්න යහපත් මනුස්සයෙක් විදියටයි ගමේ අංකල්ව පිලිගෙන තිබ්බේ.

 මේ දෙන්නට ලමයි හිටියේ නෑ. ඒ ගැන ගමේ එක එක කතන්දර පැතිරුනා. සමන්ති ඇන්ටි උදේක ඉස්සරහට හම්බවෙන එක පවා පිලිකුල් කර සමහර මිනිස්සු ගමේ හිටියා.
"ඔය වඳ ගෑනි උදේක දැක්කොත් දවසම මූසලයි" බාග විට අපේ අක්කත් හිටියේ ඔය මතේමද කියලා වෙලාවකදි හිතුනා. හැබැයි එහෙම උනා කියලා ඒ දෙන්නා කාටවත් ඒ ගැන උත්තර බඳින්න ගියෙත් නෑ. අනිත් මිනිස්සු ඒ දේ ලොකු ප්‍රශ්නයක් කරගත්තට ඒ දෙන්නටම ඒක ඒ හැටි ප්‍රශ්නයක් උන බවක් පෙනුනේ නෑ.

සමන්ති ඇන්ටි මම පොඩි කාලේ ඉඳලම මාත් එක්ක ගොඩක් හිතවත්. සමරේ අංකල් උනත් එහෙමයි. අංකල්ටත් වඩා මාත් එක්ක ගොඩක්ම ලඟින් හිටියෙ ඇන්ටි. මන් හිතන්නේ ඒ දවස් වල මගේ හොඳම යාලුව උනේ සමන්ති අන්ටි. මොකද මන් මගෙ ගොඩක් දේවල් කතා කලේ එයා එක්ක. කොටින්ම මගේ පලවෙනි ආදර සම්බන්දෙ ගැන පවා මුලින්ම කිව්වෙ සමන්ති අන්ටිට. සමන්ති ඇන්ටිට ගමේ පිරිමි මොන තරම් ඇල්ම බැල්ම දාගෙන හිටියත් එයා ඒ කිසිම දෙයක් තුට්ටුවකටවත් මායිම් කලේ නෑ. ඒ නිසාම සමන්ති අන්ටිගෙ චරිතෙට කිසිම හානියක් වෙලා තිබුනේ නෑ. අපේ ගෙදරින් උනත් මන් සමන්ති අන්ටිට ගොඩක් හිත්වත්ව හිටි ඒකට ඒ තරම් ප්‍රශ්ණයක් නොවුනේ ඒ නිසා වෙන්න අති. හබැයි ඒ ලෙවල් පන්ති වලදි මගේ ගොඩක් යාලුවො සමන්ටි ඇන්ටි මාත් එක්ක ගොඩක් හිතවත් එකට ටිකක් ඉරිසියා කලා කියලා මට දැනුනා. ඒ වගේම සමහර යාලුවො අපේ හිතවත්කමට එක එක කතන්දරත් කිව්වා.
"මචන් සමන්ති අන්ටි ඔය එන්නෙ වෙන පොටකට වගේ" ඒ අය කිව්වෙ එහෙම. පොඩි කාලේ ඉඳන්ම ලඟින් ආස්‍රය කල නිසා මට එහෙම දෙයක් දැණුනේ නෑ.
සමන්ති ඇන්ටි සමහර වෙලාවට මාත් එක්ක එයාගෙ පවුල් ජීවිතේ ගැන කතා කලා
"එයාගෙ ඔය යාලුවොයි බීමයි ඇරෙන්න එයාට වෙන ලෝකයක් නෑ පුතා" ඇන්ටි සමහර වෙලාවට අංකල් ගැන නොරුස්සනා ස්වරයෙන් කතා කලා.
"එලියට නොපෙනෙන කොයි තරම් දේවල් ජීවිත ඇතුලේ තියෙනවද පුතා. ගෑනියෙක් බලාපොරොත්තුවෙන දේවල් ගන මිනිහෙක්ට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ"  ඔය වගේ වෙලාවලදි එක එක පඬි උපදෙස් දීලා කතාව වෙන මගකට අරන් යන එක තමයි මගේ සිරිත උනේ.
"මොට්ටයෝ, ඇන්ටි ඔය උඹට එක එක ඉඟි දෙන්නේ. උඹනම් ගොන් රජෙක්. ශික්! අපිට නෑනේ ඔය වගේ චාන්ස් එකක්." පන්තියෙ යාලුවන්ට ඒවා කිව්වම උන් බොහෝවිට දුන්නේ ඒ වගේ පිලිතුරක්.
සමන්ති ඇන්ටි ගැන ඒ වගේ වරදි අහැකින් බලන්න මට උවමනා නොවුනත් අනිත් කොල්ලො මේ තරම් පිස්සු වැටිලා ඉන්න ගෑනු කෙනෙක් මා එක්ක මේ තරම් දේවල් පවා කතා කරනවා කියලා කියන එකේ අමුතු ගැම්මකුත් මට නොතිබ්බම නෙවෙයි. සමහර විට ඒක කාලේ වැරැද්ද වෙන්නත් පුලුවන්. එහෙමත් නැත්නම් පිරිමි කමේ වැරැද්ද වෙන්නත් පුලුවන්.

හිච්චි සමන්ති ඇන්ටිලයි ගෙදර නවතින්න ආවේ ඔය කාලෙදි. හිච්චි කියන්නේ සමරේ අංකල්ගෙ අක්කගේ පුතා. සමරේ අංකල්ගෙ අක්කා ජොබ් එකකට රට ගියා. එයාගෙ මහත්තයා මරිලා. ඒක නිසා එයා හිච්චිව තමුන්ගෙ මල්ලිලිගෙ ගෙදර නැවැත්තුවා. හිච්චිගෙ ඇත්ත නම සමන් උනත් ගමේ වැඩි දෙනෙක් ඒ නම දැනන් උන්නෙ නෑ. ගෙදරට කියපු නමම ටික දවසකින් මුලු ගමේම ප්‍රසිද්ධ උනා. නම විතරක් නෙවෙයි හිච්චි පවා ගම ඇතුලේ ප්‍රසිද්ධ වෙන්න වැඩි දවසක් ගියේ නෑ. සමහර විට හොඳ කඩවසම් සිරුරක් තිබීම හා ගොඩක් සමාජශීලී ක්‍රියාවන් ඔහු සතුව තිබීම ඒකට හොඳ හේතු සාධක විදියට බලපාන්න ඇති. හිච්චි මට වඩා අවුරුදු 2ක් විතර බාලයි. ඒ වෙද්දි එයා පාසල් ගමන ඉවර කරලා තිබ්බ නිසා ගමේ මොකක් හරි ජොබ් එකක් හොයාගන්න උනන්දු කලත් මිනිහගේ හිතේනම් ඒ ගැන ලොකු උනන්දුවක් තිබ්බා කියලා පෙනුනේ නෑ. ඔය විදියට හිච්චි මාස 7ක් 8ක් සමන්ති ඇන්ටිලහා හිටියා. නමුත් සමන්ති ඇන්ටි හිච්චි එක්ක අර විදියට පැනලා යනකම්ම ඒ දෙන්න අතරේ කිසිම ඒ වගේ සම්බන්දයක් තියෙන වගක් ගමේ කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නෑ. සමන්ති ඇන්ටි පැනලා ගිහින් කියන ආරංචිය ගමේ ලොකුම ලොකු උණුසුම්ම පුවතක් උනේ ඒ හංදයි.

"ඕකගෙ නම හිච්චි උනාට කරලා තියෙන වැඩේනම් හිච්චි නෑ"
"යකෝ මේකි පත්තිනි අම්මා වගේ ඉඳලා මේ නැට්ටෙන් කිරි  එන්නෙවත් නැති පොඩි එකෙක් එක්ක පැනලා ගියානේ"
"මමනම් දැනන් හිටියා ඔය ගෑනි ලොකු අඩව්වක් අල්ලයි කියලා"
ගමේ කිසිම තැනක් තිබ්බෙ නෑ ඔය වගේ කතා නො ඇහුන.
"බලපන් උඹට තිබ්බ චාන්ස් එක තමයි හිච්චියා ගත්තේ" මගේ යාලුවො කිව්වෙ එහෙමයි.
"සමරයා ගෑනිට හොඳට සැලකුවනේ බන්. එහෙව් එකේ ඇයි මේකි මේ හිච්චන් කොල්ලෙක් එක්ක පැනලා ගියේ."
"හරි බන්. කවුද දන්නෙ හැම අතින්ම හරියට සැලකුවද කියලා" ඔය අතරේ සමරේ අංකල්ටත් එක එක හින්ට් පාස් උනා.
මිනිස් ආශාවන් පුදුමයි. මිනිස් හිත ඉල්ලන දේවල් පුදුමයි. ආශාවන් නිසා මිනිස්සු තීරණ වලට එලඹෙන විදියත් පුදුමයි. හරි වැරැද්ද මොකද්ද හරි කවුද වැරදි කවුද කියලා තේරුම් කරගන්න මගේ හිතට පුලුවන් කමක් ලැබුනේ නෑ.  ලෝකේ අනිත් දේවල් වගේම මේකත් ටික කාලෙකින් මිනිස්සුන්ගෙ හිත් වලින් ටිකෙන් ටික අමතක වෙලා ගියා. සමන්ති ඇන්ටි ගියා කියලා ලිඳේ පනින්න හදාපු සමරේ අංකලුත් ඊට අවුරුදු එකහාමාරකට විතර පස්සෙ ගමේම හිටපු වෙන ගෑනු කෙනෙක් එක්ක සම්බන්දයක් පවත්වනවා කියලා කටකතා පතිරුනා. හැබැයි කොහොම උනත් කවදාවත් සමන්ති ඇන්ටි ආයෙත් ගමට ආවෙවත් එයා ඉන්න තැනක් ගැන කාටවත් දැනගන්න ලැබුනෙවත් නෑ. කාලයත් එක්ක හැම දෙයක්ම යටපත් වෙලා ගියා.

හරියටම අවුරුදු 3කට පස්සෙ ඊයෙ හවස නුගේගොඩදි මට සමන්ති ඇන්ටිව මුණ ගැහුනා. අවුරුදු 3 ඇතුලත සමන්ති ඇන්ටි අවුරුදු 10ක් විතර වයසට ගිහින් කියලයි මට හිතුනේ. එයා හිටියෙ අවුරුදු 2ක විතර පොඩි ළමයෙකුත් වඩාගෙන. අහන්නෙ මොනවද කියන්නෙ මොනවද කතා කරන්නෙ මොනවද කියලා කිසි දෙයක් මගේ ඔලුවට හැඟුනේ නෑ. මන් ඔහේ බලන් හිටියා සෑහෙන වෙලාවක්. පස්සෙ අපි කතා කලා. කෙටි සාමාන්‍ය කතා බහකට පස්සෙ සමන්ති ඇන්ටිම මන් අහන්න ගිය කතාවට මුල පිරුවා.
"පුතා දන්නවා ඇතිනේ වෙච්ච දේවල්. මම දන්නෙ නෑ ඒ දේවල් කොහොම උනාද කියලා. සමරේ මට හොඳට සලකුවා තමයි. ඒත් එයාට මග ඇරුනු පැත්තකුත් තිබ්බා කියලා එයා තේරුම් ගත්තේ නෑ. එදා මායි හිච්චියි එන්න කලින් දවසෙ රෑ අපේ සම්බන්දෙ සමරෙට අහු උනා. එයා මට හොඳටම ගැහුවා. පහුවදාම හිච්චිට එහෙන් යන්න කිව්වා. මන් දන්නෙ නෑ පුතා. මොකක් හරි නිසා එදා මම ඒ තීරණේ ගත්තා." ඇය කතා කරනවා. හූ මිටි තියන්නවත් මගේ හිත එකලසක් තිබ්බෙ නෑ.
"කෝ හිච්චි" මම අමාරුවෙන් වචන ගලපගත්තා.
එහෙම ඇහුවම ඇන්ටි හිනා උනා. ඒක මහ සමච්චල් සහගත හිනාවක් විදියටයි මට දැනුනේ. ඒත් ඒ සමච්චලය කාටද? මට ඒක තේරුම්ගන්න බැරි උනා.
"හිච්චි මාත් එක්ක හිටියේ මාස 5යි. හිච්චි යන්න ගියා. නිකම්ම නෙවෙයි. අපි නැවතිලා හිටපු තැනට අල්ලපු ගෙදර හිටපු පොඩි කෙල්ල එක්කම."
"ආහ්" මගේ කට ඇරුනා.
"එතකොට..........." මම අහන්න ගිය දේ ගිලගෙන ඇගේ අතේ හිටි පොඩි ලමයා දිහා විමසුම් සහගත බැල්මක් හෙලුවා.
"මන් දන්නවා. පුතා හිතන්නේ මේ දරුවා කවුද? කාගෙද කියලනේ. " ඇයට මගේ හිතුවිලි තේරුනා වගේ. මම  හිස සෙලෙව්වා.
"මේ මගේ දරුවා. හිච්චි ගියාට පස්සෙ මන් හොඳටම තනි උනා. හිච්චි ඉන්න කාලෙම මට තේරුනා අපි නැවතිලා හිටපු කාමරේ අයිතිකාම මනුස්සයා මට කැමත්තෙන් හිටියෙ කියලා. හිච්චි ගියාට පස්සෙ ඒ මනුස්සයා මට උදව් කලා.  ඒ මනුස්සය තනිකඩ මනුස්සයෙක්. මන් දැන් ඉන්නෙ ඒ මනුස්සයත් එක්ක. මේ අපි දෙන්නගෙ ලමයා."
"සමන්ති ඇන්ටි, ඔයා දැන් ජීවත් වෙන්නෙ සතුටින්ද?" සේරම අහන් ඉඳලා අන්තිමේ මම බොහොම අමාරු ලේසි ප්‍රශ්නයක් ඇහුවා.
"ඔව් පුතා. මම සතුටින්." ඇය දුන්නේ ඉතාම සරල උත්තරයක්.
මිනිස්සු සතුට කියන දෙයින් අදහස් කරන්නෙ මොකද්ද? මිනිස්සු හොයන සතුට තියෙන්නෙ කොතනද? මගේ හිත ප්‍රශ්ණ ගොඩකින් පිරිලා ගියා.
පැයක් විතර මායි ඇන්ටියි කතා කර කර හිටියා. ඒ හම දෙයක්ම අවසානයේ ඇය මගෙන් ඉල්ලුවෙ එකම එක ඉල්ලීමයි.
"පුතා, මාව හම්බුන විත්තියක්වත් මන් ඉන්න තැනක්වත් කාටවත් කියන්න එපා"
අන්තිමේදි ඇය මගෙන් සමුගත්තා. සිය ලමයත් වඩාගෙන මට පිටුපාලා යන සමන්ති අන්ටි දිහා බලන් හිටපු මගේ හිතට ආවෙ එකම දෙයක් විතරයි.
පුදුමාකාර මිනිස් ජීවිත!

35 comments:

  1. සතුට කියන වචනෙ එක එක්කෙනා නිර්වචනව කරන්නෙ එක එක විදිහට. ඒ නිසයි කෙනෙක් හරියි කියලා හිතන දේ තව කෙනෙක්ට වැරදියට පෙනෙන්නෙ.

    ReplyDelete
  2. ගොඩක් සංවේදී කතාවක් සහෝ! මටත් හිතුනෙ හැබැයි උඹේ යාලුවන්ට හිතුන දේමයි

    ReplyDelete
  3. නියම ලියවිල්ලක් මචං!
    ඇත්තටම මිනිස් ජීවිත පුදුමාකාරයි එක එක මිස්සුන්ට තියෙන්නේ එක එක අවශ්‍යතා එක එක මිනිස්සු සතුට ලබා ගන්නේ එක එක විදිහට...
    සිරාවටම පුදුමාකාර මිනිස් ජීවිත!

    ReplyDelete
  4. ජීවීතේ හරිම පුදුමයි

    ReplyDelete
  5. ඇත්ත ජීවීතේ හරි පුදුම දෙයක් අනේ මන්දා පුදුමාකාර මිනිස් ජීවිත!

    ReplyDelete
  6. ජීවිතෙන් බිඳක් කැටිකල කතාවක්!!!

    ReplyDelete
  7. tears gambling in front of the current..

    ReplyDelete
  8. හැගීම් එක්ක මිනිස්සු අවලම් වෙන හැටි...

    ReplyDelete
  9. ගැහැණියෙක් විදියට සමන්ති සතුට විඳිනවා වෙන්න පුලුවන්.. හැඟීම්බර වගේම හිතට වදින කතාවක්..

    ReplyDelete
  10. ජීවිතේම සතුට හොය හොයා යනව.අන්තිමට ලැබෙන්නෙ දුකක් විතරයි.

    ReplyDelete
  11. තව පොඩ්ඩක් එහා මෙහා උනා නම් වල් කතා ගෲප් එකට දාන්න තිබුනා..... :D :D :D :D

    ජීවිතේ වෙනස් වෙන්න යන්නේ බොහොම පොඩි වෙලාවයි....

    ReplyDelete
  12. පව් සමන්ති ඇන්ටි...හරි දුක හිතෙන කතාවක්. හිතට කාවදින විදියට ලියලා තියනවා.

    හැබැයි 'අනන්තය' බේරිලා තියෙන්නේ අනූනවයයි දශම කාලෙන්ද දන්නේ නෑ...:)

    ReplyDelete
  13. මිනිස්සු කියන අය එක්කලා, හැසිරෙනකොට අමනුස්සකම විටෙන ඉස්මතු උනහ් ඒ එක්කම ඒ අමනුස්සකම් කියලා රට්ටු අඳුන්වන වළාවකින් වැහුනු මනුස්සකම් වලින් අපේ සමාජය තාමත් සජ්ජිතයි අනුරාධ. මම මේක ඇත්ත කතාවක්ද කියලා දන්නේ නෑ, ඒත් මේ වගේ දේවල් අපි ඉන්න සමාජයේ සුලභයි. වෙනස තියෙන්නේ ඒ වගේ කතන්දර වලට අපි කන් යොමන්නේ නැති එක විතරයි..

    අවසානනේ බැලුවම කවුරුත් වැරදි නෑ, ඒ අයට ඒ ඒ තීරණ ගන්න ඒ ඒ අයට ම නන්න්‍ය වූ කාරණා තියෙනවා..! අපි ඒ කාරණ ඇතුලේ හැසිරෙනවා..! විතරයි..!

    ReplyDelete
  14. ඔහොම තමයි බන් මිනිස් ජීවිත... අපි ඕවගෙ හරි වැරදි හොයන්න යන එක තේරුමක් නෑ කියලයි මට හිතෙන්නෙ...

    ReplyDelete
  15. එතකොට මෙච්චර ඈන්ටිලා මත්තෙ නහින උබට සමන්ති ඈන්ටිගෙ කිසිම් ඉගියක් තෙරුනෙ නෑහෑ?????

    ReplyDelete
  16. ඒත් මට මෙහෙම හිතුනා. උඹ එයා යනකොට එයා ගැන මුකුත් නොහිතුවෙ, ඇයි කියලා? සමන්ති ඇන්ටි හොඳටම අබලන් වෙලාද හිටියේ? එහෙමත් නැත්තම් උඹ ශාන්තු වරයෙක්ද? උඹගේ ස්වයං වින්දන කමටහනක් හැටියට කවදාවත් සමන්ති ඇන්ටි හිටියේ නැද්ද? පොඩි කොල්ලෙක් එක්ක පැනලා ගිය ගෑනියෙක් ඉතින් අපි කාගෙත් , තෙත් සිහින රාජ්‍යයේ සැරිසරනවනේ

    ReplyDelete
  17. වෙන්න ඕන විදියටම හැම දේම හොඳින් කෙරිලා තියෙනවා..ඉතිං ඇයි අවුලක්...?

    ReplyDelete
  18. ජීවිතේ මිනිස්සු බලාපොරොත්තු වෙන දේවල් නොලැබෙන්න ගද්දි එයාල තනිවෙනවා. ඒ වගෙ හිතින් තනිවෙච්ච එක ගැහැනියක් ඔයා මේ කියන සමන්ති ඇන්ටි කියලයි මට හිතෙන්නේ. සමහර ඈයෝ ඉන්නවා ඒ වගෙ හිතින් තනිවෙච්ච අයගෙන් ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්න ඈයෝ...සමන්තිත් අහු උනෙ ඒ වගෙ එකෙකුට...

    කන්ඩ අදින්න දෙන එකම නෙමේ පවුල් ජීවිතයක් කියන්නෙ...ඒක සමරෙ තේරුම් ගත්ත නම්.....හැබැයි සමන්ති සතුටින් ඇති...ළමයි නෑ කියලා හංවඩු ගහපු කෙනෙක් නෙ එයා

    ReplyDelete
  19. ජීවිතේ හරිම පුදුමයි නේද???

    ReplyDelete
  20. එක අතකට පුදුම වෙන්න දෙකුත් නැ නේද.. අපි හැමෝම හොයන්නේ සතුට..

    සමන්ති ඇන්ටි සමරේ අන්කල් එක්ක එකතු උනේ සතුටක් බලාපොරොත්තුවෙන්,ජිවිතේ හැම ගැහැනියෙක් ලඟම තියෙන්න ආස කරන දරු සුරතල් පිලිබද බලාපොරොත්තුවකින්..එ වගේම ආදරය රැකවරණය පිලිබද හැගිමකින්..මේ හැම එකක්ම පොඩ්ඩ පොඩ්ඩ බිද වැටෙද්දි සමන්ති ඇන්ටි ට වෙන්නේ නොහිතාම වෙන කෙනෙකුට නැඹුරු විමක්..ගොඩක් තද හැම දෙයක්ම දිහා උපේක්ශාවෙන් බලන්න නිවන් දකින්න පතන කෙනෙක්ට මිස අපි හැමෝම මිනිස්සු ..අපේ හිතේ එක එක ආශාවන් තියෙනවා.. අපි පුංචිම ක්‍රියාකාරකමකින් උනත් බලාපොරොත්තු වෙන්නේ සතුටක් ..ආශාවක්.. ඉතින් එ කෙනා සමන්ති ඇන්ටි උනා කියල වෙනසක් නැ එයාටත් එ දේ උරුමයි..එකම දේ සතුට සමග අතරමං විම .. පුංචි හිඩසක් හම්බුනාම එ හිඩස මුලු හිස්තැන් හැම එකක්ම පුරවයි කියන බලපොරොත්තුව නිස්කාරණේ ජිවිතේ නොගැලෙපෙන කෙනෙක් එක්ක ගිහින් අතරමං උනා..එතනිනුත් නැවතුනේ නැ නේද...සතුට හොයන් යන් ගමනේ කෙලවරක් නැ..හිච්චි ගේ වයස එක්ක හිච්චි ට ලැබුනු නිදහස එක්ක හිච්චි ප්‍රයෝජනේ ගත්තේ අවබෝධයක් නැතුවම..නමුත් හිච්චි ගේ සතුට තිබ්බේ සමන්ති ඇන්ටි ලගම නෙමේ..එයා සමන්ති ඇන්ටි ලග නැවතුනේ එක විරාමේක නැවතුමපලක විතරයි.. කාමයෙන් අන්ධ උනාම ඇස් ඇරෙන්නේ ගිනිද්දරට ලං වෙලා පිච්චෙද්දි..හිච්චි හිතන්න නැතුව ඇති සමන්ති ඇන්ටි එක්ක ජිවිතයක් කවදාවත්ම ..එ ආශ්‍රය තුල ආදරයක් තිබුනා කියලත් හිතන්න බැහැ.. හිච්චි තියලා ගිය හිඩස පුරවන්න සමන්ති ඇන්ටිට ලැබුනේ තමන් කවදාවත්ම නොදන්න පුද්ගලයෙක්..හැබැයි එ මම හිතන්නේ හොදම කෙනා විය යුතුයි..එ වගේම සමන්ති ඇන්ටි ගේ නොනවතින සතුටේ කෙලවර තමන්ගේම කුසින් පිලිසිදුනු දරුවෙක්ගෙන්ම කෙලවර වෙලා සතුට ලඟා කරලා තියෙනවා...

    හැම සතුටක්ම පිරිසිදු වේතනා,,යහපත් හැඟිම්ම නෙමේ..සතුට ලඟා කරගන්න මිනිස්සු කරන්න පුලුවන් හැම දෙයක්ම කරනවා..කැප කරනවා..කවදාම හරි සතුටක් ලැබුන දාටත් නොනැවති යනවා මිසක් එහි කෙලවරක් නැ..සතුටක් සමග බලාපොරොත්තුවක් තියෙනවා..බලාපොරොත්තුවක් නැති ජිවිතයේ සතුටක් නැ වගේ..ජිවිතේ මහා පුදුමයක්ම නෙමේ..මේ හැමදෙයක්ම එකම චක්‍රයක් වටේ කරකැවෙමින් දම්වැලක් වගේ එකට ගෙතිලා තියෙන සරල සමිකරණයක්..සමහරු සරල උනත් නොහිතාම එරෙනවා..සමහරු හරි පරිස්සමට මේ සමිකරණය විසදලා ගමනාන්තයට ලං වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කතාව ඇත්ත මිනිස්සු සතුට තමයි මැරෙනකම්ම හොයන්නේ. සමහර මිනිස්සු මැරෙනකම්ම සතුටක් විඳලා නෑ bcoz ලඟ තියන සතුට ගැන හිතන්නෙ නැතිව දුර තියෙන දේ ගැන වෙහෙසෙනවා.

      Delete
  21. උබේ ලිවිල්ල ගැන ඉතින් කියන්න දෙයක් නෑ බන්...

    ReplyDelete
  22. ඉතා හොඳ නිර්මාණයක්.. සතුටුයි උඹ ලිව්ව දේ ගැන..

    ජීවිත වල ඉරි ගහල වෙන් කල හැකි 'හරි-වැරදි' සීමා කොහෙද තියෙන්නෙ සහෝ..? ඒක 'මිනිස්කම'... අපි ඒ දෙවල් කරනවද නොකරනවද කියන එක අපේ චොයිස් එක.. ඒක අනෙක් අය කලාම ඒක අපි හරිද වෑරදිද කියල ඇත්තෙන්ම අපිට කියන්න පුලුවනිද? ජීවිතේ , ජීවත් වීම, අපට අවැසි දේ, අපි හොයන දේ, එකිනෙකාට අනන්‍ය වූ අබිරහස් ! ඒව එකමිතියකට ගොනු කරන්න , ජෙනරල් තියරි හදන්න කාටවත් බෑ... කොටි ආගමටත් බෑ.. වඩාත් හොඳ චොයිස් එක පෙන්නල පැත්තකට වෙනව මිසක්ක...

    මල්ලි. උඹ මේ ලියපු විදියට මම කැමතියි. දුටු දේ පිලිබඳ උඹේ තීරණ ලියන්නෙ නැතුව , උඹ දුටු දේ රසවත්ව අපිට වාර්තා කලා.. නාට්‍යමය අයුරෙන්..

    මේ කතාව 100% ඇත්ත වුනත් නොවුනත් උබ අපිට 'හඳ' ඇඟිල්ල දික් කරල පෙන්නුවා.. උබට හඳ පේන හැටි කියන්න නොයා.. ඒකයි වටින්නේ... ඉතින් අපෙ යුතුකම 'හඳ ' දිහා බලලා අපි අපි කැමති රසය විඳ ගන්න... ඒ 'හඳ' පෙන්නුව ඇඟිල්ල කොයි වගෙද කියල හිතන්න දඟලන්නෙ නැතුව ... (ඒ ටික කෙව්වෙ ඇනෝට )

    ReplyDelete
  23. මම බලපු ලස්සනම නිර්මාණයක් මචං .. නියෙමෙනුත් නියමයි ..

    ReplyDelete
  24. ම්ම්ම්ම්ම්! දැන් සමාජයේ තියන සාමාන්‍ය තත්වයක්.... ආශාවන් හමුවේ ඔහොම දේවල් වෙනවා. පිරිමියෙක්ගෙන් ගැහැනිය බලාපොරොත්තු වෙන දේවල් ගොඩක් තියනවා. ඉතිං ඒව හරියට තේරුං ගත්තෙ නැත්තං අන්තිමට එතන ඔය වගේ කතාවක් තමයි ඇති වෙන්නෙ!

    ReplyDelete
  25. මේ වගේ කතා..චරිත මටත් ගොඩාක් හමුවෙලා තියනවා..(මම ඉතින් ලෝකෙ වටේ යද්දි...හික්ස්)

    නිර්මානයක් අගය කරන්න රස විඳින්න දන්නෙ නැති සමහර මොට්ටපාලල...තමුන්ගෙ විකෘති මනස් ගැන විකෘති ආසාවන් ගැන කොමන්ට්ස් විදියට දානවා.......
    "...පොඩි කොල්ලෙක් එක්ක පැනලා ගිය ගෑනියෙක් ඉතින් අපි කාගෙත් , තෙත් සිහින රාජ්‍යයේ සැරිසරනවනේ..."

    මේක මහා ජුගුප්සාජනක විහිලුවක්...!!...shit....

    ReplyDelete
  26. අඩෝ ෆට්‍ට ... කතාව නියමෙට ගැලපිලා තියනවා.....

    ReplyDelete
  27. හ්ම්ම්ම්ම්............

    සමන්ති ඇන්ටි සතුටෙන්..... සමහර විට අර කිව්වත් වගේ දරුවෙක් පිළිබඳ ආශාව තියෙන්න ඇති ප්‍රධාන ලෙසම.

    BTW ඕන් අනුරාධ අයියා සමන්ති ඇන්ටි හමු උනා කියලා කාටවත්ම කටක් ඇරලා කීවේ නැ. හික්ස්...... (වීලුවක් ඈ)

    ReplyDelete
  28. හිතන්න දෙයක් ඉතිරිඋනා මේක කියව්වට පස්සේ ස්තුති බං......

    ReplyDelete
  29. හොඳින් ලියලා තියෙනවා. හිතට දැනුනා.

    ReplyDelete
  30. ඉතින් යලුවනේ මමත් ඔයාලා වගේ සිංහල බ්ලොග් එකක් පටන් ගත්තා.... හැබැයි ඉතින් ඔයාලා වගේ ලොකුවට නම් නෙමේ බොහොම පුංචියට....
    පොඩ්ඩක් මගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිල්ලා හොද නරක කියල Comment එකෙක් දාලා යන්න....

    ජයවේවා!!
    www.yakagethithpola.blogspot.com

    ReplyDelete
  31. හැඟීම වෙලාවකට කැලෑ අස්සයෝ වගෙ..
    අමරුවෙන් දමනය කරගෙන හිටියට එකපාරටම තෝන් ලණුව කඩා ගන්නවා..
    ඒක කාටත් පොදුයි.. ලස්සනයි ලිපිය..

    ReplyDelete