Friday, December 30, 2011

නුඹට පෙනෙන තුරු......

යන්නට යද්දි ඔබගෙන් වෙන්වී
ඔබමයි යලි යලි වලකන්නේ
ඉන්න තනද්දී ඔබටම ලන්වී
ඔබමයි තව ඈතට යන්නේ

ඔබෙ හදවත මත වැතිරී තෙරපී
සුසුමන් වල උණුසුම විඳිමින්
ඉන්න සදා කල් පුරන පිරුම් මන්
ඔබමයි විටකදි බිඳලන්නේ

ඔබෙ සිත නෙපෙනෙන මානෙක තනිවී
මතකය පමණක් දෝත දරාගෙන
ඔබට සුභ පතා යන්නට හැදුවත්
ඔබමයි යලි මා කැඳවන්නේ

යන්න නොහැක අත වනන නිසාවෙන්
ඉන්න නොහැක නෙතු රවන නිසාවෙන්
මැදි වූ සෙනෙහෙස වගුරන මගෙ හිත
නුඹට පෙනෙන තුරු ඉන්නම් මෙලෙසින්

Friday, December 16, 2011

හෙලිදරව්ව

පහුගිය දෙසැම්බර් හත් වෙනිදා අනන්තය ඔබට ප්‍රශ්නයක් ඉතිරි කරලා ගියා ඔබට මතක ඇති. ඒ ගැන ඔයලා මොන විදියට අනුමාන කලාද කියන්න මම දන්නෙ නෑ. ඔන්න ඒ ප්‍රශ්ණය ඔයාලගෙ හිත් වලින් අයින් කරන්න තමයි මම සූදානම් වෙන්නෙ. ඊට කලින් මෙන්න මේ වීඩියෝව බලලා ඉන්නකො.



එදා ඔබ දැක්ක අර්ධ සම්පූර්ණ වීඩියෝවෙ සම්පූර්ණ වීඩියෝව තමයි ඔය. වීඩියෝව ගැන විස්තර කරන්න කලින් මන් අහන්නම් පොඩි ප්‍රශ්නයක්.
මතකද WHO ?
විනෝදෙට හදපු මගේ පලවෙනි කෙටි චිත්‍රපටිය......
අමතක කෙනෙක් හරි දන්නෙ නැති කෙනෙක් හරි ඉන්නවනම් මේන්න ගිහිල්ලා බලලා එන්න.
WHO-SHORT FILM

ඒක බැලුව අය දන්නවා ඇති ෆිල්ම් එක පටන් ගනිද්දි යන්නේ ANU FILM PRESENTS කියලා බව. ඒක එදා ඒ නිකන් ඔහේ දාන්න දෙයක් නැතුවට දාපු නමක්. පස්සෙ හරි නමකින් වැඩේ පටන් ගන්න ලොකු බලාපොරොත්තුවක් මගේ හිතේ තිබුනා. අන්න ඒ බලාපොරොත්තුවෙ මල්පල ගැන්වීම තමයි  TWO HEARTS ENTERTAINMENTS කියන්නේ.  මෙතැන් පටන් මම කරන සෑම නිර්මාණයක්ම එලියට එන්නේ ඔන්න ඔය නමින්. හරියටම කිව්වොත් ඕක තමයි මෙතැන් සිට මගේ ප්‍රඩක්ශන් කම්පැනි එක.
ඒත් එක්කම කියන්න ඕන මේ ප්‍රඩක්ශන් කම්පැනියේ තවත් එක හවුල් කාරයෙකුත් ඉන්නවා. ඒ කෙනයි මමයි එකතු වෙලා තමයි මේක පටන් ගන්න අඩිතාලම දැම්මේ. කොටින්ම මේ නම පවා සැනින් තහවරු කලේ ඒ කෙනා. නමුත් පොඩි පොඩි අවහිරතා කීපයක් නිසා එයාට දැනට මේකට සෘජුව සම්බන්ද වෙන්න හැකියාවක් නෑ. තවම වක්‍ර ලෙස සම්බන්ද වෙමින් අදහස් යෝජනා වලින් පමණයි ඒ කෙනා මේකට දායක වෙන්නේ. ඒත් මම බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මනින්ම ඒ කෙනාගෙ සෘජු දායකත්වය මේ සඳහා ලැබෙයි කියලා. මගෙන් අහන්නනම් එපා ඒ කෙනා කවුද කියලා. බලමු. ඒ කෙනාගෙ දායකත්වය හරි හැටි ලබාගන්න පුලුවන් උන දවසක මම ඒ කෙනා ගැන හෙලි කරන්නම්. ඒතකම් එහෙම කෙනෙක් ඉන්නවා කියලා විතරක් දැනන් ඉන්නකො. දැනට ඒක රහසක්. :D

එහෙනම් ඔන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඉස්සරහට TWO HEARTS ENTERTAINMENTS වලින් කෙරෙන නොයෙක් නිර්මාණයන් ඔයාලට බලාගන්න පුලුවන් වේවි. 

තවත් ආරංචියක් තියෙනවා. ම්ම්ම්ම්ම්. ඒක වචනයෙන් කියන්න ඕන නෑ. පල්ලෙහා බැලුවම ඔයාලට ඒක තෙරේයි.


එහෙනම් රැඳිලා ඉන්න අනන්තයත් එක්ක. මේ දේවල් අනන්තයෙන්ම විතරයි.

Tuesday, December 13, 2011

හීන

අල්ලාගෙන ඔය සුරතින්
පාර දිගේ එහා මෙහා
ඇවිද යන්න සඳ එලියක
හීන මැව්වා මන්

ලුණු රස සුලඟේ වැදි වැදි
තුරුල් වෙලා එක කුඩයක
ඉර ගිලෙනා හැටි බලන්න
හීන මැව්වා මන්

තරු වියනක අඩ අඳුරක
නුඹේ හිතට තුරුලු වෙලා
ආදරේ ගැන ඉගෙන ගන්න
හීන මැව්වා මන්

මල් උයනක ගස් හෙවනක
ඔබේ මිහිරි බස් අසාන
කම්බුල් පෙති රතු කරන්න
හීන මැව්වා මන්

මටත් හොරෙන් ඔබ ගියාම
මගේ හීන සඟවාගෙන
ඔබේ හීන එලිවෙන්නට
හීන මවන මන්

Saturday, November 26, 2011

මිතුදම නාමෙන්......

 නුඹේ වදන් මත නැවතුනු නෙත අග
පොපියන කඳුලට සමු දීලා
පෑරුනු සිත ගෙන කෙලෙසක යන්නද
විශ්ම්ත ඇසුරින් ඉගිලීලා

ඉරී තැලුණු රුදු කර්කශ කතරක
ගිනියම් අව්වෙහි තනිකරලා
හිතුවේ කෙලෙසද මා යයි කියලා
මේ මිතු දම ඉවතක හෙලලා

යුතුකම් ඇත අපමණ ඉටු කෙරුමට
මිතුදම නාමෙන් ලොව මැවිලා
නුඹේ සිනාවට ජීවය පිඹිමින්
ඉන්නම් නිරතුරු ලඟ රැඳිලා

Thursday, November 24, 2011

කුමරුන් වැඩියද?

මලවිගෙ හී රැඳුනිද හදවත මත
ප්‍රේමයෙ මල් දම් එතුනිද ගෙල වට
ආල හැඟුම් තෙරපෙයිදෝ හිත යට
කුමරුන් වැඩියද සෙලවූ ඔය සිත

ඔබෙ හිත ගස්සා හදවත අල්ලා
පෙම් දිය දහරින් දිවියම නහවා
සුදු අසු පිට නැග ඈතක ඉඳලා
රෝස මලක් ගෙන  වැඩියද කුමරා

මල වට සරනා බඹරුන් වාගේ
කුමරුන් සිටියත් පතමින් ආලේ
හඳුනාගන්නා හදවත් රාවේ
කෙනා වඩින තුරු මග බැලුවානේ

එකට පා තබා එක මග යන්නට
පැතූ කෙනා ලැබුනාදෝ දිවියට
එහෙනම් කුමරියෙ ලඟදිම දවසක
හැඬවෙයි මංගල සීනුව දොරකඩ

Tuesday, November 22, 2011

යන්නට යමි


වැහපන් මහ වරුසා වැහැපන්
ඇගේ කඳුලු සෝදා වැහපන්
වාවනු බැරි නෙතු පුරා නැගී එන
කඳුලු වසා වැහි බිඳු වැටියන්

සිනහා දරා මා සිත අභියස
ඔබ සිටි මුත් දැහැනට සම වී
මා හදවත තුල නොනැගුණු ප්‍රේමය
කෙලෙස ඉම්ද ඔබහට පුද දී

පැතුම් පුරවමින් ඔබ සිත තුල
බැහැ ඉන්නට කරමින් පවු කම්
ඔබෙන් මිදී ඔබහට නිදහස දී
යන්නට යමි තෙත් සිත සඟවන්


Tuesday, November 1, 2011

නමක් නැති කවි 16


ඔයින් ගියා මදැයි
තුන්වෙනි ශික්ෂා පදේ
කැඩුනට
අඩුම ගානේ
දෙවෙනි ශික්ෂා පදේ
කඩන එකෙන්වත්
උඹ
මාව බේරුවනේ

Monday, August 22, 2011

සමන්ති ඇන්ටී

"අන්න සමන්ති ඇන්ටී පැනලා ගිහිල්ලා" මගේ කාමරේ දොරෙන් එබිලා අක්කා එදා කිව්ව විදිය මට තාමත් අද වගේ මතකයි. ඒ මීට අවුරුදු 3කට විතර කලින්. අක්කා එදා ඒක කිව්වෙ, හරියට ඒ දේ එයා බලාපොරොත්තුවෙන් සිටි දෙයක් වගෙයි. මම කියවමින් හිටි පොත දිහා තවත් මොහොතක් එහෙමම බලන් හිටියා. මම පියවි සිහියට ආවෙ මොහොතකට පස්සෙ.
"මොකා" මම ඇහුවෙ පොත දිහා බලාගෙනම.
"හ්ම්ම්... ඊයේ රෑලු.... ලියුමකුත් ලියලය කියන්නෙ ගිහින් තියෙන්නේ" අක්කා කිව්වෙ ගානක් නැතුව වගේ.
"කාත් එක්කද?" මගේ ඔලුවේ හිර වෙලා තිබ්බ ප්‍රශ්ණේ එලියට ආවා.
"හිච්චිත් එක්ක" අක්කගෙ ඒ උත්තරේ මට එක පාර විස්වාස කරන්න පවා බැරි උනා. මම ඇස් ලොකු කරගෙන අක්කා දිහාම බලාන උන්නේ ඒ නිසාමයි.
"ඔන්න තමුසෙලාගෙ මහලොකු සමන්ති ඇන්ටි. " අක්කා ගස්සගෙනම යන්න ගියේ එහෙම කියාගෙන.

සමන්ති ඇන්ටි අපිට දුරින් නෑයෝ උනා. දුර කියන්නෙ සෑහෙන්න දුර නෑ කමක්. ඒත් අපි දෙගොල්ලන්ගෙ ගෙවල් තිබ්බෙ එකම ගමේ එක කිට්ටුව නිසා ටිකක් ලොකු හිතවත්කමක් අපේ පවුල් අතර තිබුනා. ඒ වෙද්දි සමන්ති ඇන්ටිට වයස 34ක් 35ක් වගේ වෙන්න ඇති. ඒ උනත් බැලූ බැල්මට කිසි කෙනෙක්ට එහෙම කියන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. මොකද ඇන්ටිට තිබ්බෙ අවුරුදු 25ක විතර පෙනුමක්. ගමේ ගොඩක් දෙනා සමන්ති ඇන්ටි දිහාවට ඇහැ ගහගෙන හිටියේ ඒ නිසාම වෙන්න ඇති. තලතුනා ලොකු මිනිස්සු වගේම පොඩි කොල්ලො කුරුට්ටොත් ඒ පිරිස අතර හිටියා. හැබයි ඒ කිසිම කෙනෙක් සාර්ථක උන බවක්නම් මම ඒ වෙනකම් අහලා තිබුනේ නෑ. සමන්ති ඇන්ටි කසාද බැඳලා හිටියේ සමරේ අංකල්ව. සමරේ අංකල් රස්සාවට කලේ ත්‍රීවීල් එකක් දුවපු එක. මහ ලොකු සල්ලි කාරයො නොවුනත් සාමාන්‍ය හොඳ ජීවිතයක් ගත කරන්න තරම් මිල මුදලක් ඒ රස්සාවෙන් අංකල් හම්බ කලා. අංකල්ගෙ පොඩි වැරැද්දකට තිබ්බෙ හවසට ටිකක් බොන එක විතරයි. ඒත් බීලා පිස්සු නටලා අනිත් මිනිස්සුන්ටත් වදයක් වෙලා පවුලටත් වදයක් වෙන කෙනෙක් විදියට අංකල් නම දරලා තිබ්බෙ නෑ. තම්න්ගෙ පවුලට හොඳින් සලකගෙන ඉන්න යහපත් මනුස්සයෙක් විදියටයි ගමේ අංකල්ව පිලිගෙන තිබ්බේ.

 මේ දෙන්නට ලමයි හිටියේ නෑ. ඒ ගැන ගමේ එක එක කතන්දර පැතිරුනා. සමන්ති ඇන්ටි උදේක ඉස්සරහට හම්බවෙන එක පවා පිලිකුල් කර සමහර මිනිස්සු ගමේ හිටියා.
"ඔය වඳ ගෑනි උදේක දැක්කොත් දවසම මූසලයි" බාග විට අපේ අක්කත් හිටියේ ඔය මතේමද කියලා වෙලාවකදි හිතුනා. හැබැයි එහෙම උනා කියලා ඒ දෙන්නා කාටවත් ඒ ගැන උත්තර බඳින්න ගියෙත් නෑ. අනිත් මිනිස්සු ඒ දේ ලොකු ප්‍රශ්නයක් කරගත්තට ඒ දෙන්නටම ඒක ඒ හැටි ප්‍රශ්නයක් උන බවක් පෙනුනේ නෑ.

සමන්ති ඇන්ටි මම පොඩි කාලේ ඉඳලම මාත් එක්ක ගොඩක් හිතවත්. සමරේ අංකල් උනත් එහෙමයි. අංකල්ටත් වඩා මාත් එක්ක ගොඩක්ම ලඟින් හිටියෙ ඇන්ටි. මන් හිතන්නේ ඒ දවස් වල මගේ හොඳම යාලුව උනේ සමන්ති අන්ටි. මොකද මන් මගෙ ගොඩක් දේවල් කතා කලේ එයා එක්ක. කොටින්ම මගේ පලවෙනි ආදර සම්බන්දෙ ගැන පවා මුලින්ම කිව්වෙ සමන්ති අන්ටිට. සමන්ති ඇන්ටිට ගමේ පිරිමි මොන තරම් ඇල්ම බැල්ම දාගෙන හිටියත් එයා ඒ කිසිම දෙයක් තුට්ටුවකටවත් මායිම් කලේ නෑ. ඒ නිසාම සමන්ති අන්ටිගෙ චරිතෙට කිසිම හානියක් වෙලා තිබුනේ නෑ. අපේ ගෙදරින් උනත් මන් සමන්ති අන්ටිට ගොඩක් හිත්වත්ව හිටි ඒකට ඒ තරම් ප්‍රශ්ණයක් නොවුනේ ඒ නිසා වෙන්න අති. හබැයි ඒ ලෙවල් පන්ති වලදි මගේ ගොඩක් යාලුවො සමන්ටි ඇන්ටි මාත් එක්ක ගොඩක් හිතවත් එකට ටිකක් ඉරිසියා කලා කියලා මට දැනුනා. ඒ වගේම සමහර යාලුවො අපේ හිතවත්කමට එක එක කතන්දරත් කිව්වා.
"මචන් සමන්ති අන්ටි ඔය එන්නෙ වෙන පොටකට වගේ" ඒ අය කිව්වෙ එහෙම. පොඩි කාලේ ඉඳන්ම ලඟින් ආස්‍රය කල නිසා මට එහෙම දෙයක් දැණුනේ නෑ.
සමන්ති ඇන්ටි සමහර වෙලාවට මාත් එක්ක එයාගෙ පවුල් ජීවිතේ ගැන කතා කලා
"එයාගෙ ඔය යාලුවොයි බීමයි ඇරෙන්න එයාට වෙන ලෝකයක් නෑ පුතා" ඇන්ටි සමහර වෙලාවට අංකල් ගැන නොරුස්සනා ස්වරයෙන් කතා කලා.
"එලියට නොපෙනෙන කොයි තරම් දේවල් ජීවිත ඇතුලේ තියෙනවද පුතා. ගෑනියෙක් බලාපොරොත්තුවෙන දේවල් ගන මිනිහෙක්ට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ"  ඔය වගේ වෙලාවලදි එක එක පඬි උපදෙස් දීලා කතාව වෙන මගකට අරන් යන එක තමයි මගේ සිරිත උනේ.
"මොට්ටයෝ, ඇන්ටි ඔය උඹට එක එක ඉඟි දෙන්නේ. උඹනම් ගොන් රජෙක්. ශික්! අපිට නෑනේ ඔය වගේ චාන්ස් එකක්." පන්තියෙ යාලුවන්ට ඒවා කිව්වම උන් බොහෝවිට දුන්නේ ඒ වගේ පිලිතුරක්.
සමන්ති ඇන්ටි ගැන ඒ වගේ වරදි අහැකින් බලන්න මට උවමනා නොවුනත් අනිත් කොල්ලො මේ තරම් පිස්සු වැටිලා ඉන්න ගෑනු කෙනෙක් මා එක්ක මේ තරම් දේවල් පවා කතා කරනවා කියලා කියන එකේ අමුතු ගැම්මකුත් මට නොතිබ්බම නෙවෙයි. සමහර විට ඒක කාලේ වැරැද්ද වෙන්නත් පුලුවන්. එහෙමත් නැත්නම් පිරිමි කමේ වැරැද්ද වෙන්නත් පුලුවන්.

හිච්චි සමන්ති ඇන්ටිලයි ගෙදර නවතින්න ආවේ ඔය කාලෙදි. හිච්චි කියන්නේ සමරේ අංකල්ගෙ අක්කගේ පුතා. සමරේ අංකල්ගෙ අක්කා ජොබ් එකකට රට ගියා. එයාගෙ මහත්තයා මරිලා. ඒක නිසා එයා හිච්චිව තමුන්ගෙ මල්ලිලිගෙ ගෙදර නැවැත්තුවා. හිච්චිගෙ ඇත්ත නම සමන් උනත් ගමේ වැඩි දෙනෙක් ඒ නම දැනන් උන්නෙ නෑ. ගෙදරට කියපු නමම ටික දවසකින් මුලු ගමේම ප්‍රසිද්ධ උනා. නම විතරක් නෙවෙයි හිච්චි පවා ගම ඇතුලේ ප්‍රසිද්ධ වෙන්න වැඩි දවසක් ගියේ නෑ. සමහර විට හොඳ කඩවසම් සිරුරක් තිබීම හා ගොඩක් සමාජශීලී ක්‍රියාවන් ඔහු සතුව තිබීම ඒකට හොඳ හේතු සාධක විදියට බලපාන්න ඇති. හිච්චි මට වඩා අවුරුදු 2ක් විතර බාලයි. ඒ වෙද්දි එයා පාසල් ගමන ඉවර කරලා තිබ්බ නිසා ගමේ මොකක් හරි ජොබ් එකක් හොයාගන්න උනන්දු කලත් මිනිහගේ හිතේනම් ඒ ගැන ලොකු උනන්දුවක් තිබ්බා කියලා පෙනුනේ නෑ. ඔය විදියට හිච්චි මාස 7ක් 8ක් සමන්ති ඇන්ටිලහා හිටියා. නමුත් සමන්ති ඇන්ටි හිච්චි එක්ක අර විදියට පැනලා යනකම්ම ඒ දෙන්න අතරේ කිසිම ඒ වගේ සම්බන්දයක් තියෙන වගක් ගමේ කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නෑ. සමන්ති ඇන්ටි පැනලා ගිහින් කියන ආරංචිය ගමේ ලොකුම ලොකු උණුසුම්ම පුවතක් උනේ ඒ හංදයි.

"ඕකගෙ නම හිච්චි උනාට කරලා තියෙන වැඩේනම් හිච්චි නෑ"
"යකෝ මේකි පත්තිනි අම්මා වගේ ඉඳලා මේ නැට්ටෙන් කිරි  එන්නෙවත් නැති පොඩි එකෙක් එක්ක පැනලා ගියානේ"
"මමනම් දැනන් හිටියා ඔය ගෑනි ලොකු අඩව්වක් අල්ලයි කියලා"
ගමේ කිසිම තැනක් තිබ්බෙ නෑ ඔය වගේ කතා නො ඇහුන.
"බලපන් උඹට තිබ්බ චාන්ස් එක තමයි හිච්චියා ගත්තේ" මගේ යාලුවො කිව්වෙ එහෙමයි.
"සමරයා ගෑනිට හොඳට සැලකුවනේ බන්. එහෙව් එකේ ඇයි මේකි මේ හිච්චන් කොල්ලෙක් එක්ක පැනලා ගියේ."
"හරි බන්. කවුද දන්නෙ හැම අතින්ම හරියට සැලකුවද කියලා" ඔය අතරේ සමරේ අංකල්ටත් එක එක හින්ට් පාස් උනා.
මිනිස් ආශාවන් පුදුමයි. මිනිස් හිත ඉල්ලන දේවල් පුදුමයි. ආශාවන් නිසා මිනිස්සු තීරණ වලට එලඹෙන විදියත් පුදුමයි. හරි වැරැද්ද මොකද්ද හරි කවුද වැරදි කවුද කියලා තේරුම් කරගන්න මගේ හිතට පුලුවන් කමක් ලැබුනේ නෑ.  ලෝකේ අනිත් දේවල් වගේම මේකත් ටික කාලෙකින් මිනිස්සුන්ගෙ හිත් වලින් ටිකෙන් ටික අමතක වෙලා ගියා. සමන්ති ඇන්ටි ගියා කියලා ලිඳේ පනින්න හදාපු සමරේ අංකලුත් ඊට අවුරුදු එකහාමාරකට විතර පස්සෙ ගමේම හිටපු වෙන ගෑනු කෙනෙක් එක්ක සම්බන්දයක් පවත්වනවා කියලා කටකතා පතිරුනා. හැබැයි කොහොම උනත් කවදාවත් සමන්ති ඇන්ටි ආයෙත් ගමට ආවෙවත් එයා ඉන්න තැනක් ගැන කාටවත් දැනගන්න ලැබුනෙවත් නෑ. කාලයත් එක්ක හැම දෙයක්ම යටපත් වෙලා ගියා.

හරියටම අවුරුදු 3කට පස්සෙ ඊයෙ හවස නුගේගොඩදි මට සමන්ති ඇන්ටිව මුණ ගැහුනා. අවුරුදු 3 ඇතුලත සමන්ති ඇන්ටි අවුරුදු 10ක් විතර වයසට ගිහින් කියලයි මට හිතුනේ. එයා හිටියෙ අවුරුදු 2ක විතර පොඩි ළමයෙකුත් වඩාගෙන. අහන්නෙ මොනවද කියන්නෙ මොනවද කතා කරන්නෙ මොනවද කියලා කිසි දෙයක් මගේ ඔලුවට හැඟුනේ නෑ. මන් ඔහේ බලන් හිටියා සෑහෙන වෙලාවක්. පස්සෙ අපි කතා කලා. කෙටි සාමාන්‍ය කතා බහකට පස්සෙ සමන්ති ඇන්ටිම මන් අහන්න ගිය කතාවට මුල පිරුවා.
"පුතා දන්නවා ඇතිනේ වෙච්ච දේවල්. මම දන්නෙ නෑ ඒ දේවල් කොහොම උනාද කියලා. සමරේ මට හොඳට සලකුවා තමයි. ඒත් එයාට මග ඇරුනු පැත්තකුත් තිබ්බා කියලා එයා තේරුම් ගත්තේ නෑ. එදා මායි හිච්චියි එන්න කලින් දවසෙ රෑ අපේ සම්බන්දෙ සමරෙට අහු උනා. එයා මට හොඳටම ගැහුවා. පහුවදාම හිච්චිට එහෙන් යන්න කිව්වා. මන් දන්නෙ නෑ පුතා. මොකක් හරි නිසා එදා මම ඒ තීරණේ ගත්තා." ඇය කතා කරනවා. හූ මිටි තියන්නවත් මගේ හිත එකලසක් තිබ්බෙ නෑ.
"කෝ හිච්චි" මම අමාරුවෙන් වචන ගලපගත්තා.
එහෙම ඇහුවම ඇන්ටි හිනා උනා. ඒක මහ සමච්චල් සහගත හිනාවක් විදියටයි මට දැනුනේ. ඒත් ඒ සමච්චලය කාටද? මට ඒක තේරුම්ගන්න බැරි උනා.
"හිච්චි මාත් එක්ක හිටියේ මාස 5යි. හිච්චි යන්න ගියා. නිකම්ම නෙවෙයි. අපි නැවතිලා හිටපු තැනට අල්ලපු ගෙදර හිටපු පොඩි කෙල්ල එක්කම."
"ආහ්" මගේ කට ඇරුනා.
"එතකොට..........." මම අහන්න ගිය දේ ගිලගෙන ඇගේ අතේ හිටි පොඩි ලමයා දිහා විමසුම් සහගත බැල්මක් හෙලුවා.
"මන් දන්නවා. පුතා හිතන්නේ මේ දරුවා කවුද? කාගෙද කියලනේ. " ඇයට මගේ හිතුවිලි තේරුනා වගේ. මම  හිස සෙලෙව්වා.
"මේ මගේ දරුවා. හිච්චි ගියාට පස්සෙ මන් හොඳටම තනි උනා. හිච්චි ඉන්න කාලෙම මට තේරුනා අපි නැවතිලා හිටපු කාමරේ අයිතිකාම මනුස්සයා මට කැමත්තෙන් හිටියෙ කියලා. හිච්චි ගියාට පස්සෙ ඒ මනුස්සයා මට උදව් කලා.  ඒ මනුස්සය තනිකඩ මනුස්සයෙක්. මන් දැන් ඉන්නෙ ඒ මනුස්සයත් එක්ක. මේ අපි දෙන්නගෙ ලමයා."
"සමන්ති ඇන්ටි, ඔයා දැන් ජීවත් වෙන්නෙ සතුටින්ද?" සේරම අහන් ඉඳලා අන්තිමේ මම බොහොම අමාරු ලේසි ප්‍රශ්නයක් ඇහුවා.
"ඔව් පුතා. මම සතුටින්." ඇය දුන්නේ ඉතාම සරල උත්තරයක්.
මිනිස්සු සතුට කියන දෙයින් අදහස් කරන්නෙ මොකද්ද? මිනිස්සු හොයන සතුට තියෙන්නෙ කොතනද? මගේ හිත ප්‍රශ්ණ ගොඩකින් පිරිලා ගියා.
පැයක් විතර මායි ඇන්ටියි කතා කර කර හිටියා. ඒ හම දෙයක්ම අවසානයේ ඇය මගෙන් ඉල්ලුවෙ එකම එක ඉල්ලීමයි.
"පුතා, මාව හම්බුන විත්තියක්වත් මන් ඉන්න තැනක්වත් කාටවත් කියන්න එපා"
අන්තිමේදි ඇය මගෙන් සමුගත්තා. සිය ලමයත් වඩාගෙන මට පිටුපාලා යන සමන්ති අන්ටි දිහා බලන් හිටපු මගේ හිතට ආවෙ එකම දෙයක් විතරයි.
පුදුමාකාර මිනිස් ජීවිත!

Friday, August 12, 2011

ඩි වෝස් ලේන්

හැරවුම් ලක්ශය
පහු කරලා
හුඟක් කල් උනත්
ආයෙ
පුංචි හිනාවක්
බලාපොරොත්තුවෙන් ආව
මාව
තනියම දාලා
ඔයා
ඩිවෝස් ලේන්
එක ගාවින්
බස් එකට නැග්ගා

Thursday, August 4, 2011

රාධිකා

රාධිකා හිටියෙ උඩ බලාගෙන. තමන් ඇස් දෙක ඇරියෙ කොයි වෙලාවෙද කියලා මතකයක් රාධිකාට තිබුනෙ නෑ. නමුත් රාධිකාට මතකයි ඇස් ඇරපු වෙලේ ඉඳන්ම තමන් බලන් හිටියේ මේ දිහාව කියලා. රාධිකාට ඉහලින් තිබ්බ ෆෑන් එක හෙමිහිට කැරකුනා. කාලෙකින් තෙල් නොදාපු ෆෑන් එකෙන් ආවෙ කීස් කීස් ගාලා සද්දයක්. රාධිකාට දැනුනේ ඒක තමුන්ට හිනා වෙනවා කියලයි. රාධිකාට ඕන උනා වෙන දිහාවක් බලන්න. එයා හෙම්න් ඔලුව පැත්තට හැරෙව්වා. තමුන්ගෙ බෙල්ලෙන් පහල කොටස තාමත් තියෙනවා කියලා රාධිකාට දැනුනේ නෑ. නමුත් ඇය දැනන් හිටියා ඇය ඉන්නෙ ඇඳක හාන්සි වෙලා කියලා. රාධිකා ඇස් කරකවලා තමන් දිහාම බැලුවා. එතකොටයි ඇය දැක්කේ ඇය ඉන්නෙ නිරුවතින් කියලා. තමන් දකින්නෙ සිහිනයක්ද කියලා තහවරු කරගන්නවත් ඉස්පාසුවක් රාධිකාට තිබ්බෙ නෑ. ඇය ඉක්මනින්ම සිය අත් දෙකින් ඇගේ නිරුවත වහගන්න තැත් කලා. නමුත් ඇගේ ස්නායු පණිවිඩ වලට ඇගේ අත් අවනත උනේ නෑ. එහෙමත් නැත්නම් අවනත වෙන්න තරම් ශක්තියක් ඇගේ ශරීරය තුල තිබ්බෙ නෑ. දෙකෙන් මොක උනත් අවසානයේදි ඇය උත්සහය අත ඇරියා ඇගේ අත දෙක අඟල් දෙක තුනක්වත් ඔසවාගන්න ඇයට නොහැකි උන නිසා.

Tuesday, July 5, 2011

මෙන්න බඩු!!!

සෑහෙන්න දවසකට පස්සෙ ඔන්න මම ආයෙත් ආවා. හැබැයි ඔන්න ආවෙත් හිස් අතින්නම් නෙවෙයි. වෙනදට ගහන එක එක බයිලා නැතුව ජීවිතේට වටින දෙයක් අරගෙන තමයි මන් ආවෙ. අද මන් ඔයාලට කියන යන දේ ගැන මට අහන්න ලැබුනෙ පහුගිය දිනක මන් දන්න කියන මගේ මිත්‍රයෙක්ගෙන්. අවුරුදු කීපයක් තිස්සෙ ජපානයේ ජීවත් වෙන ඔහු මේ දින වල ලංකාවට ඇවිත් ඉන්නවා. ජපන් මිනිස්සුන්ගෙන් ඉගෙන ගනන් පුලුවන් බොහොම අපූරු පාඩමක් එයා මට කියලා දුන්නා. මන් මේ හදන්නෙ ඒ දේ ඔයාලත් එක්කත් බෙදාගන්න.
ලස්සනට ඉන්න කවුද අකමැති. නේද? අපි හැමෝම විවිධ දේවල් කරනවනෙ ලස්සනට ඉන්න. නමුත් ඇත්තටම ලස්සන කියන්නෙ මොකද්ද? කොහොමද මිනිහෙක් ඇත්තටම ලස්සන වෙන්නෙ? මිනිහෙක් ඇයි කැත වෙන්නෙ? ජපානයේ එක්තරා මෝස්තර ශිල්පී පාසලක ඔවුන්ගේ සුවිසල් වේදිකාව පිටුපස එම සිසු සිසුවියන්ට දර්ශණය වන අයුරින් ලියා තිබෙනවා කැත වෙන්න බලපාන කරුණු කාරණා 25ක්. ඔවුන් නිතරම ඔවුන්ගේ සිසු සිසුවියන්ට පවසන්නෙ ඒ කරුණු ගැන සැලකිලිමත් වෙලා ඒවාට ප්‍රතිවිරුද්ධ ලෙසින් ජීවත් වීමෙන් ඕනම කෙනෙක්ට ලස්සන වෙන්න පුලුවන් බව.
බලන්නකො මේවායින් කීයක් ඔබ සතුව තියෙනවද කියලා.

01.සිනා නොවීම
02.ස්තූති නොකිරීම
03.කෑමක් රසයි නොකීම
04.පණ නැති බව
05.ආත්ම විස්වාසය නොමැති බව
06.කන් කෙඳිරි ගෑම
07.අරමුණක් අධිෂ්ඨානයක් නොමැති බව
08.නිතරම තමා වටේ සිටින අය වැරදි යයි සිතීම
09.තමා කැත බව නොදැනීම
10.කටහඬ ඉතා පහත් හා වෙවිලීම
11.කිසිම වැඩකට නැති දේවල් වලින් හිත බිඳ ගැනීම
12.ඉරිසියාව
13.ඇස් වල දීප්තියක් නොමති වීම
14.කට බෙරි වී තිබීම
15.දෝෂාරෝපනයට දක්ශ බව
16.අන් අයට බැන වැදීම
17.සෘණාත්මක චින්තනය
18.තමා අවට සිදුවන දේ ගැන අනවබෝදය
19.අන් අයට නොසැලකීම
20.අන් අය අවිශ්වාස කිරීම
21.පෞදගලික ජීවිතයේත් රැකියාවේත් උනන්දුවක් නැති කම
22.මනුස්සකම නොමැතිකම
23.අවවාද පිලිනොගන්නා බව
24.තමා ලෝකයේ සිටින නිවැරදිම පුද්ගලයා යයි සිතා සිටීම
25.අලස කම

ඕනම පුද්ගලෙයෙක් තුල මේ කරුණු කාරණා අඩු වැඩි වශයෙන් තියෙනවා. එහෙනම් දැන්ම තමුන්ගෙ ඇතුලාන්තයට ගිහින් බලන්න. මේ දේවල් ඔයාලගෙ ජීවිත වලත් තියෙනවනම් ඒවා අඩු කරගන්න උත්සහා ගන්න. ඔයාලා හැමෝටම තවත් ලස්සන වෙන්න පුලුවන් වේවී.

Wednesday, June 1, 2011

නමක් නැති කවි 15


මගේ ජීවිතේ
ඇරපු පොතක් වගේ,
හිතේ හැටියට කියවන්න
කියලා විතරයි
මම
උඹට කිව්වෙ
උඹ
ඒකෙ ඕනම
පිටු ටික
ඉරාගෙන ගියා

Friday, May 27, 2011

නමක් නැති කවි 14


මට
ඉඩක් ලැබුනෙම නෑ
ඔයාගෙ හදවතේ
ගැඹුර බලන්න
හැමදාම 
මට 
නැවතෙන්න උනා
ඊට උඩින් තිබුනු
පියයුරු වල
උස ලඟින්

Monday, May 23, 2011

ගාමිණී අයියා

ගාමිණී අයියා වෙසක් එකට ලෑස්ති උනේ මාසෙකට කලින් ඉඳන්. හැම සැරේම වෙසක් එකට නුග ගහ හන්දියෙ දෙන බත් දන්සල මේ පාර වෙසක් දවස් දෙකේම දෙන්නයි ගාමිණී අයියගෙ කල්පනාව උනේ.
"මල්ලි අපි යන තැනකට කරගන්න ඕනනෙ"
දන්සැල ගැන අහන හැමෝටම ගාමිණී අයියා දුන්නෙ එහෙම උත්තරයක්. ගමේ කිසිම පින්කමක් ගාමිණී අයියා නැතුව සිද්ද උනේ නෑ. පන්සලේ දායක සභාවෙ මූලිකය උනේ ගාමිණී අයියා. වතාවක් දායක සභාවෙ මූලිකය වෙන්න දඟලපු මැදි වයසෙ උපාසක මහත්තයයෙක් බොහොම අනපෙක්ශිත විදියෙ අනතුරකට මුහුණ පාලා එකතැන් උනායින් පස්සෙ කවුරුවත් ගාමිණී අයියා එක්ක තරඟ කරන්න ගියේ නෑ. දායක සභාවෙ විතරක් නෙවෙයි ගමේ තිබුනු හැම වැඩකදිම මූලිකත්වය ගත්තේ ගාමිණී අයියා. මල ගෙදරක් මගුල් ගෙදරක් දානෙ ගෙදරක් බණක් පිරිතක් විතරක් නෙවෙයි ගෝරියක්, වලියක් පවා සිද්ද උනේ නෑ ගාමිණී අයියා නැතුව. ගමේ හැමෝම ගාමිණී අයියට ගරු කරා. හැබැයි ඒ ඇත්තටම ගරුත්වයක්ද බයක්ද කියලා වෙන් කරගන්නවත් ගමේ කවුරුවත් මනස වෙහෙසුවේ නෑ.
ගාමිණී අයියගෙ ගෝල බාලයෝ දන්සලට සල්ලි එකතු කරන්න ගෙයක් ගෙයක් ගානෙ යන්න පටන් ගත්තේ වෙසක් වලට මාසෙකට කලින් ඉඳන්. දන්සලට රුපියල් 100කින්වත් ආධාර නොකරපු එකම ගෙදරක්වත් ගමේ තිබුනෙ නෑ. ගාමිණී අයියා ඒ ගැන කිව්වෙ කිව්වෙ එක දෙයයි.
"මේකනෙ මල්ලි. මන් විතරක් පින් කරගෙන වැඩක් නෑනෙ. ගමේ හැමෝටම පින් කරගන්න චෑන්ස් එක අරන් දෙන්න ඕන."
කොහොම උනත් ගාමිණී අයියත් සැලකිය යුතු මුදලක් දන්සල වෙනුවෙන් වැය කලා. ඕවා අසාධාරණ සල්ලි, කලු සල්ලි කියලා තැන් තැන් වල පොඩි පොඩි කසු කුසු ගියත් කවුරුවත් ඒ ගැන එලිපිට කතා කරන්න ගියේ නෑ.
මේ වතාවෙත් දන්සැල විවෘත කරන්නෙ එන්නෙ ඇමති තුමාලු නේද? ගමේ උදවිය ගාමිණී අයියා හමු උන වෙලාවල් වලදි ඇහුවා.
"නැතුව නැතුව, ඇමතිතුමා මන් කියන දේකට නෑවිත් ඉන්නවද?" ගාමිණී අයියගෙ මුහුණේ ඒ වෙලාවට තිබ්බෙ ලොකු ආඩම්බරේකින් පිරිච්ච හිනාවක්.
ඇමතිතුමාගෙ ලඟම හිතවතෙක් උනේ ගාමිණී අයියා. හැම ජන්දෙකදිම ඇමති තුමාට බැහැලම වැඩ කරපු ගාමිණී අයියා කොයි දේටත් අමතිතුමාගෙ ලඟින්ම හිටියා. ඇමතිතුමාගේ තරහකාරයෙක් උන ජිනසෝම මුදලාලිගෙ මිනීමැරුම් නඩුවෙදි ගාමිණී අයියා හිරේ නොගිහින් බේරුනේ අනූනවයෙන්. ජිනසෝම මුදලාලිගෙ මරණය අදටත් අභිරහසක් උනත් ගාමිණී අයියව බේරගන්න ඇමතිතුමාගෙ දේශපාලන බලය ලොකු රුකුලක් උන බවනම් කාටවත්ම රහසක් උනේ නෑ.
ගමේ මිනිස්සු ඇමතිතුමාව හම්බවෙන්න යන්න ඕන උනාම මුලින්ම ගියේ ගාමිණී අයියා ගාවට. ගමේ මිනිහෙක්ගෙ ප්‍රශ්ණෙකදි ගාමිණී අයියා හැමවෙලාවෙම කෙලින් හිටියා.
"ගමේ උන්ට නොකරන උදවු වෙන කාට කරන්නද?" ගාමිණී අයියගෙන් උදවු ඉල්ලගෙන ගිය හැමෝටම ගාමිණී අයියා ඒ කතාව කිව්වා.
ඒ පැත්තෙ තිබ්බ කිසිම බස් එකකවත් කිසිම ත්‍රීවීල් එකකවත් ගාමිණී අයියගෙන් සල්ලි ගත්තේ නෑ.
තමුන්ගෙ අතින් පෙට්‍රල් පුච්චගෙන ඕන වැඩකට ගාමිණී අයියා එක්ක ඕන දුරක යන්න හන්දියෙ ත්‍රීවීල් කොල්ලො සෙට් එක සැදී පැහැදී හිටියා. ගාමිණී අයියා එක්ක ෆිට් එකේ ඉන්න හැම කොල්ලෙක්ම කැමති උනා.
"අපේ ගාමිණී අයියා........." කියන වචන 3 විතරයි කියන්න තිබ්බෙ. මැස්සෙක්වත් ඇඟේ වැහුවෙ නෑ කිසිම කොල්ලෙක්ගෙ.
කොහොමත් පිටින් ඇවිත් ගමේ කිසිම එකෙක්ට අත තියන්න ගාමිණී අයියා ඉඩ දුන්නෙ නෑ. ඒ හින්දම පිට ගම් වලින් ගොඩක් තරහාකාරයෝ ගාමිණී අයියට ඇති උනා. ගාමිණී අයියට ලොකුම බලපෑම තිබ්බෙ එහා ගමේ ජයකොඩිගෙන්. ජයකොඩි කලේ කුඩු බිස්නස්. ගාමිණී අයියා කුඩු බිස්නස් වලට තදින්ම විරුද්ධ උනා. කුඩු නිසා තමුන්ගෙ කසිප්පු බිස්නස් එකට බලපෑමක් වෙයි කියලා ගාමිණී අයියගෙ හිතේ ලොකු බයක් තිබ්බා.
ජයකොඩිගෙ ලොකුම හෙන්චයියා උන පොඩි අනුර ආගිය අතක් නැති උනේ ගාමිණී අයියා එක්ක ගොරියක් දාගෙන සතියකට පස්සෙ.
මාලු කොටලා මූණ විකෘති උන ගඟේ පාවුන මිනිය පොඩි අනුරගෙ කියලා සමහරු කිව්වා. කොහොම උනත් ඒ මිනිය ආයෙමත් මෝචරියෙනුත් අතුරුදහන් වෙලා කියලා තමයි පස්සෙ ආරංචි උනේ. ඒක නිසා පොලීස් පරීක්ශනත් අතරමග නැවතුනා.
හැබැයි පොඩි අනුරගෙ ප්‍රශ්ණ්දි ඇමතිතිමා හිතුව තරම් ගාමිණී අයියට උදවු කලේ නෑ කියලයි ගමේ මිනිස්සු කිව්වෙ. ගාමිණී අයියයි ඇමතිතුමායි අතරේ පොඩි පොඩි වචන හුවමාරු ඇති උනා කියලත් කතා පැතිරුනා. ගාමිණී අයියනම් ඒ ගැන මොකුත් උත්තර දෙන්න ගියේ නෑ.
"ඕවා අර ජඩ බල්ලන්ගෙ උප්පරවැට්ටි මල්ලි" ගාමිණී අයියා ඒ ගැන කිව්වෙ එච්චරයි.
කොහොම උනත් ජයකොඩිට කුඩු ගේන්න උදවු කරන්නෙ ඇමතිතුමා කියලත් තැන තැන කසුකුසු ඇති උනා. හැබැයි ඒ ගැනනම් කවුරුවත්ම ගාමිණී අයියගෙන් කෙලින් අහන්න ගියේ නෑ.
කොහොම උනත් මේ පාරත් දන්සල විවෘත කරන එකට ඇමතිතුමාවම ගෙන්නන්න ගාමිණී අයියට ලොකු උනන්දුවක් තිබ්බෙ, දෙන්න අතරේ කිසිම පලහිල්ලව්වක් නෑ කියලා ගම්මුන්ට පෙන්නන්න වෙන්නත් පුලුවන්.
වෙසක් දවසට කලින් ගාමිණී අයියට සෑහෙන වැඩ තිබුනා, ටෙන්ට් ගස්සවන්න. බැනර් ගස්සවන්න, කොඩි වැල් අද්දවන්න, වැඩ කෝටියයි. ඒ විතරක් නෙවෙයි හරකා නිදහස් කරන වැඩේටත් ගාමිණී අයියා ලොකු සපෝට් එකක් දුන්නා. පන්සලේ හාමුදුරුවො හරකා නිදහස් කරන වෙලාවෙ කරපු කතාවෙ වැඩිපුරම කියවුනේ ගාමිණී අයියගෙ නම.
වෙසක් දවසෙ දන්සල පටන් ගන්න කලින් ගාමිණී අයියා පන්සලේ පින්කමට සහභාගී උනා. දන්සල පටන් ගත්තේ 7ට විතර. කියාපු විදියටම ඇමතිතුමා ආවා දන්සල විවෘත කරන්න. දෙන්න හැසිරුන කතා බහා කල විදියෙන්නම් දෙන්නා අතරේ කිසිම අමනාපයක් තියෙන බවක් කාටවත්ම තේරුනෙ නෑ. ඇමතිතුමා වෙනදටත් වඩා කරුණාවන්ත වෙලාවගේ හැමෝටම හැඟුනා. දන්සලට ආපු මිනිස්සු එක්කත් ඇමතිතුමා බොහොම සුහදව කතා කලා. වෙනදා තිබ්බ මාන්නය ඇමතිතුමා ගාව තිබ්බෙම නෑ. ගාමිණී අයියත් හිටියෙ බොහෝම සතුටින්.
දන්සල බොහොම සාර්ථකව ඉවර උනා. රෑ 12 විතර වෙනකම් දන්සලේ මිනිස්සු හිටියා. ආපු මිනිස්සු ඔක්කොම ගාමිණී අයියට පින් දිදී ගියා. ඒ පින් ටිකත් අරගෙන ගාමිණී අයියා ගෙදර යන්න පිටත් වෙද්දි පාන්දර 4 විතර වෙලා. වෙසක් එකට බාර් වහලා තිබ්බත් ගාමිණී අයියට නොඇරෙන දොරවල් ගමේ තිබ්බෙ නෑනෙ. තරමකට සප්පයාම් උන ගාමිණී අයියා ගෙදර යන්න කලින් සෙට් එකට කිව්වෙ එක දෙයයි.
"මල්ලි මේ වගේ හෙටත් වැඩේ දෙමු එලටම"
පහුවදා මුලු උදේ මුලු ගමම කැලඹිලා. නුග ගහ හන්දියට ටිකක් එහායින් තිබ්බ වෙල ගාව පාර අයිනෙ ගමෙන් භාගයක්ම එකතු වෙලා. පැත්තකින් පොලිස් ජිප් එක නවත්තලා. පාර අයිනෙ ඔලුවෙ භාගයක්ම කැඩිලා යන්න වෙඩි වැදුනු මලසිරුරක්. වෙඩි තියලා තිබ්බෙ පිටිපස්සෙන් ඇවිත්. කට භාගෙට ඇරිලා. හැබැයි පොඩි හිනාවක් මූණෙ තිබිලා තියෙනවා වෙඩි වදින වෙලාවෙත්. පාරෙ බයික් එකකින් ගිය මිනිහෙක් එතන නවතිලා මිනිස්සුන්ගෙන් අහුවා මොකද මෙතන වෙලා තියෙන්නෙ කියලා. මිනිස්සු අතරෙ උන්න  කවුදෝ කෙනෙක් ඒකට උත්තර දුන්නා.
"ඊයෙ රෑ ගාමිණී අයියට කවුද වෙඩි තියලා"

Friday, May 6, 2011

කවි කල ගී....

 කට්ටියට මතක ඇති අර මීට කලකට පෙර මරීනා ගීතයත් ඔබ මා හමුවන මේ ඉර හඳ යට ගීතයත් ගයපු අර විශේෂ පුද්ගලයව. බොහොම කලකට පස්සෙ ආයෙ පාරක් ඒ විශේෂ පුදගලයා විසින් ගායනා කරපූ ගීත දෙකක් හොයාගන්න ලැබුනා. මේවා බොහොම රහසේ පටිගත කරපුවා. තාම කිසිම මාධ්‍යකින් මේවා මහජනයාට නිකුත් වෙලා නෑ. පලවෙනි වරට මහජන රසාස්වාදය උදෙසා අනන්තයෙන් අපි ඔබට ඒ ගිත දෙක තිලිණ කරන්නයි දැන් සූදානම් වන්නේ.
                     හැබැයි පොඩි අවුලක් තියෙනවා. ඔයාලා ගාව හෙඩ් සෙට් එකක් තියෙනවද? තියෙනවනම් ඒක කණට දාගන්න අනිවාර්යයෙන්. මොකද මේ ගීත දෙකේම වොලියුම් එක ටිකක් විතර මදි. හෙඩ් සෙට් එක කණට දාගත්තම කණට මී පැණි වත් කරනවා වගේ දැනෙයි. ඔයාලා ගාව තියෙන්නෙ නෝමල් ස්පීකර්ස්නම් ඒවෙ වොලියුම් එක උපරිම වැඩි කරන්න. තියෙන්නෙ ලැප් එකක්නම් ලැප් එක උස්සලා අරගෙන ලැප් එකේ ස්පීකරේ තියෙන තැන, ඔයාලගෙ කණ ගාවින් තියාගන්න. ඔය ඕනෑම ක්‍රමයක් භාවිතා කරලා මේ මියුරු ගීත දෙක රස විඳින්න ඔයාලට පුලුවන්. එහෙනම් ඉතින් වැඩි කතා මොකටද? අහලම බලන්නකො.
           අහ්! තවත් දෙයක්. මේ සිංදු දෙක අහලා ඕන දෙයක් කියාපල්ලා. හැබැයි 'හූ' කියන්න එපා. :D

 

Thursday, April 28, 2011

ඇයට ලියූ...... II


නුඹව සොයා දිව එන්නට ආසයි
දිව ඇවිදින් සිප ගන්නට ආසයි
බැදි බැමි සිදලනු නොහැකි නිසා යලි
කදුලු සලා දැන් දෙනෙතට වෙහෙසයි

Tuesday, April 26, 2011

ඇයට ලියූ................


දවසක නුඹ මනමාලිය වී
යන විට ඔහු හා සිත රංදා
කඳුලු සිඳී වියලී ගිය මගේ නෙතු
යලි තෙත් වී යාවිද මංදා


Wednesday, April 20, 2011

රියලිටි(ද මංදා)

වලාකුළු මත රැඳුන දිය බිඳු
සිහින් පොද වැස්සක් වෙලා
චණ්ඩ හිරු රැස් කලක සිට වැද
රත්ව ගිය බිම තෙත් කළා
වැටුණ වැහි බිඳු වැදී ඇහැරුණ
පුංචි දුහුවිලි කැට පවා
ඇස් අරින්නට මග බලා සිටි
ගසක දළු සිප සැනසුවා

උඩින් පොළවට බිමින් අහසට
යනෙන එක වෙහෙසක් නිසා
හිරු මතට බැස හිරු නිවන්නට
වලාකුළු කතිකා කළා
එකට එක්වුණු වලාකුළු රැස
හිරුට ටික ටික ළඟා වෙද්දී
රුදුරු ගිනි දැල් වැදී සැණෙකින්
ජීවිතය අහවර කළා

පලා ගොස් සිය දිවිය රකගත්
එකම දිය බිංදුවක් පමණක්
කලක් එහෙ මෙහෙ පාවෙලා ගොස්
පොළෝ තලයට එක් උණා

Sunday, April 10, 2011

100

අද විශේෂ දවසක්. අද අනන්තය එක්තරා සුවිශේෂී සංධිස්තානයකට ඇවිත් ඉන්නෙ. ඒ තමයි අවුරුද්දකට එහා ගිය කාලයක් තිස්සෙ බොහොම අමාරුවෙන් ලිපිය ලිපිය ගැටගහගෙන  ලියලා ලියලා අද මේ සිය වෙනි ලිපිය ලියන්න තමයි සූදානම් වෙන්නෙ. අදම මම මේක දාන්න හිතුවෙත් අද මටම ගැලපෙන විශේෂ දවසක් නිසා. නිකමට ගෙස් කරන්නකො. එක්කො කමක් නෑ මමම කියන්නම්. අද තමයි මේ 2011 අවුරුද්දෙ සිය වෙනි දවස. ඔන්න ඒක නිසා වසරේ සිය වෙනි දවසෙ අනන්තයේ සිය වෙනි ලිපිය ලියන්න මන් මේ විදියට ආරම්භය සනිටුහන් කලා. සිංහයෙක් දිගු ගමනක අවසානයේදී නැවත හැරී තමා ආ මග බලන එකට කියන්නෙ සිංහාවලෝකනය කියලනේ. ඒ වගේ අද අනන්තයත් තමන් ආ මග දෙස පොඩ්ඩක් හැරී බලන්න තමයි යන්නේ. මන් ඒකට කියන්න හිතන් ඉන්නෙ අනන්තාවලෝකනය කියලා. ඕන් එහෙනම් මන් අනන්තාවලෝකනයේ යෙදෙනවා. කොටින්ම කිව්වොත් මගේ පම්පෝරිය තමයි ඉතින්. :D

Friday, April 8, 2011

අනූනවයෙන්........

අද මේ දාන්න යන්නෙ මගේ 99 වෙනි බ්ලොග් පෝස්ට් එක. බොහොම අමාරුවෙන් අකුරෙන් අකුර ගලපලා ලිපි 98ක්ම ලියලා. කවි කතා විහිලු මඩ වගේම දැනුමෙනුත් සන්නද්ද කරලා ලිපි ලිව්වට තාම මන් භයානක ලිපියක් ලියලම නෑ. ඒ නිසා මන් හිතුවා අද ටිකක් භයානක ලිපියක් ලියන්න. 99 වෙනි පෝස්ට් එක විදියාට් මම 99යි දශම 99න් ජීවීතේ බේරගත්ත අවස්තාවක් ගැන තමයි මන් අද මේ කියන්න යන්නේ. හෘද රෝගීන් හා හුඟාක් සංවේදී හිත් ඇති අය දැන්ම මෙතනින් ගියොත් හොඳයි. මොකද මට බෑ ඒවයෙ වගකීමත් ගන්න.

Thursday, April 7, 2011

අත්හදාබැලීමක්!

ස්ටොප් මෝශන් ඇනිමේශන් ගැන සමහරු දන්නවත් ඇති නොදන්නවත් ඇති. නොදන්න අයට දැනගන්න මන් පොඩ්ඩක් ඒ ගැන කියන්නම්. ඔයාලා කාටූන් දන්නවනේ. කාටුන් වලදි වෙන්නෙ එක්තරා චලනයකට අදාල චිත්‍ර රාශියක් එකට එකතු වීමනේ. ඒ වගේම මේ ස්ටොප් මෝශන් ඇනිමේශන් වලදි වෙන්නෙ ඒ ඒ කැරැක්ටර්ස් වල ස්ටිල් ඉමේජස් එක දිගට ප්ලේ කිරීමක්. සරලව පැහැදිලි කරනවනම් මෙන්න මෙහෙම. මුලින්ම අපිට අදාල කැරැක්ටර්ස් හදන්න වෙනවා කුමක් හෝ අමුද්‍රව්‍යකින්. හැබැයි ප්‍රධානම දේ ඒ කැරැක්ටර්ස් වල අංගෝපාංග චලනය කරන්න පුලුවන් වෙන්න ඕන. ඔන්න අපි හිතමුකො අපි ක්ලේ වලින් මිනිහෙක්ව හැදුවා කියලා. අපිට ඕන ඒ මිනිහා ඇවිදින විදියේ ස්ටොප් මෝශන් ඇනිමේශන් එකක් කරන්න. එතකොට කරන්නෙ මෙහෙමයි. ඒ මිනිහ ඇවිදින ඉරියව්වෙන් අත පය පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කර කර ඒ කරන හැම වෙනස්කමක්ම ස්ටිල් ෆොටෝ එකක් ගන්නවා. ඒ කියන්නෙ පොඩ්ඩක් වෙනස් කරනවා ෆොටෝ එකක් ගනන්වා. ආයෙ තව ටිකක් වෙනස් කරනවා තව ෆොටෝ එකක් ගන්නවා. ඔය විදියාට අපිට අවශ්‍ය තරම් ෆොටෝ ගනන්වා. ඊට පස්සෙ අන්තිමට ඒ ෆොටෝස් සේරම ටික වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් එකකින් එකලස් කරගන්නවා. ඉතින් අර ගත්තු ෆොටෝ ටික එක දිගට ප්ලේ වෙද්දි අපිට පේන්නෙ අර මිනිහා ඇවිදිනවා වගේ. ඕක තමයි සරල සිද්ධාන්තය. හැබැයි මේක හිතන තරම් ලේසි නෑ. මොකද තත්පරයක් කියන්නෙ ෆේම් 24ක්. ඒ කියන්නෙ තත්පරයක ඇනිමේශන් එකක් කරන්න අපි ෆොටෝ 24ක් ගහන්න ඕනේ. ඉතින් හිතන්න දිග ඇනිමේශන් එකකට කොයි තරම් ෆොටෝ ගහන්න ඕනද කියලා. අනිත් එක ඇනිමේශන් එක ස්මූත් වෙන්න නම් චලනයේ හූඟාක්ම ලඟ ලඟ වෙනස් කම් තමයි කරන්න ඕන. ඒ වගේම හිතන්න කැරැක්ටර්ස් ගොඩක් ඒක සැරේ කන්ටොර්ල් කරද්දි කොහොමද. ඇත්තටම මේක නහින වැඩක්. ඒක මට තේරුනේ මන් පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරලා බලපු නිසා. මිට මාස 5කට විතර උඩදි තමා මන් ඔය එක්ස්පෙරිමන්ට් එක කලේ. හෙන ගේමකින් පස්සෙ යාන්තම් තත්පර හතරක පුංචි ඇනිමේශන් එකක් කරගන්න පුලුවන් උනා. ඒකට මට ෆොටෝ 96ක් ගහන්න උනා. ඒකනම් එපාම වෙන වැඩක්. ඒත් කරද්දිනම් ආසයි. වැඩේ තියෙන්නෙ තනියෙන් කරන්න ටිකක් අමාරුයි. ඒ ඒ කැරැක්ටර්ස් වල මූව්මන්ට්ස් බලාගන්න වෙන වෙනම අය දාන්න පුලුවන්නම් වැඩේ හොඳට කරගන්න පුලුවන්. ෆිල්ම් වලදිනම් වෙන්නෙ එහෙමයි.
                                   3D එහෙම නොතිබුන කාලේ මේ ක්‍රමය ගොඩක් ෆිල්ම් වලට යොදාගත්තා. හැබැයි හොලිවුඩ් වල තාමත් ස්ටොප් මෝශන් ෆිල්ම්ස් බිහි වෙනවා. ඔයාලා ආසවෙන් නරඹපු Chicken Run චිත්‍රපටියත් සම්පූර්ණයෙන්ම කරලා තියෙනෙන් ස්ටොප් මෝශන් වලින්.
                           මේ තියෙන්නෙ මන් කරපු එක්ස්පෙරිමන්ට් එක. පස්සෙ තව හරියට එකක් කරන්න ඕන. ඒත් ඒකට වෙලාවක් ලැබුනේ නෑ. පැය ගානක් එක දිගට නහින්න බලාගෙන ඕන වැඩේට අත ගහන්න. :D ස්ටිල් කැමර් එකක් තියෙනවනම් ඔයාලත් ට්‍රයි කරලා බලන්න. ෆෝන් එකේ කැමර් එක උනත් වැඩේට ඇති.



තත්පර 4ක් නිසා මොකද්ද වෙන්නෙ කියලවත් හිතාගන්න බැරි වෙයි. දැන් මට බනින්න එපා මේ මොන මගුලක්ද මේ කියලා. මන් කිව්වනෙ ඕක එක්ස්පෙරිමන්ට් එකක්. :D

Tuesday, April 5, 2011

නිව් ඇල්බම්

[කිසියම් හේතුවක් මත මෙහි තිබූ පින්තූරය ඉවත් කිරීමට සිදුවුනි. ]

ඔයා
මූණු පොතට දාපු
අලුත්
ෆොටෝ ඇල්බමේ
මගේ හිතේ
ඇති කරන්නෙ
ආදරයක්ද
ඊර්ශාවක්ද
කියලා
වෙන් කරගන්න
බැරි තරමටම
අසරණ වෙලාද
මන්

Wednesday, March 30, 2011

නමක් නැති කවි 13


පිටකොටුවෙ
ඉදන්
අපි දෙන්නා
අත් අල්ලගෙන
ඇවිදපු
වීදි දිහා බලාගෙන
ගාල්ල-කොළඹ
බස් එකේ
මම
ගාල්ල
හරියටම ආවා
තාමත්
මගේ
එහා පැත්තේ
ශීට් එක
හිස් !

Wednesday, March 16, 2011

WHO (හූ)

කොලඹ ඉඳලා ඉඳලා ගෙදර ගියාම මාර කම්මැලියි. ගෙදර මැශින් එකකුත් නැති නිසා දවසෙම ටීවී එකේ තමයි. ගිය වීක් එන්ඩ් එකේ මම ගෙදර ගියා. වසම කම්මැලියි. ටීවී එකේ බලන්න දේකුත් නෑ. පොඩි ෆොටෝස් වගයක් ගන්න මන් අපේ ඔෆ්ස් එකේ ඉන්න හර්ශ අයියගෙ ස්ටිල් කැමරා එක ගෙදර අරන් ඇවිත් තිබුනේ. ඔන්න මට ආවා අපූරූ අදහසක්. හදන්න ඕන පුංචි පහේ ශෝට් ෆිල්ම් එකක්. ඒත් කෝ කතාවක්. ම්ම්ම්.... එක පාරටම ආවා අයිඩියාර් එකක්. ඔන්න දැන් කතාවක් තියෙනවා. ඒත් කවුද නලුවා. වෙන නලුවො මොකටද මේ මම ඉන්නෙ. ඒකත් හරි. ඒත් මම ඇක්ට් කලොත් කවුද කැමරාකරන්නෙ. අහ්. මේ ඉන්නෙ අපේ නංගි. ඔන්න ඉතින් නංගිවත් අල්ලගෙන හැදුවා ශෝට් ෆිල්ම් එකක්. කැමරාකරනය අපේ නංගියා. රංගනය, කැමරා අධ්‍යක්ශනය, පිටපත, සංස්කරනය, අධ්‍යක්ශනය කියන සේරම ඉතින් මේ මමම තමා. බලන්නකො කොහොමද කියලා. බලලා ඔයාලගෙ අදහස් එහෙමත් කියලා යන්න හොඳේ.

Thursday, March 10, 2011

නමක් නැති කවි 12


එදා
අපි දෙන්නගෙ
මුල්ම ළමයට
දාන නම ගැන
හුරතල් වචන
දොඩපු උඹ
අද
උඹේ ළමයට
මාව පෙන්නනවා
"පුතේ
හායි කියන්න අර 
අංකල්ට"

Tuesday, February 22, 2011

ඒ කාලේ..........

පහුගිය සති අන්තයේ මම ගෙදර ගිහින් එන්න ගියානෙ. දවස් තුන හතරක නිවාඩුවක් තිබුන නිසා පොඩ්ඩක් ගාලු හුළං ටිකක් වැදිලා එන්න කියලා ගියා. ඒ ගිය වෙලේ මම අපේ නැන්දලයි දිහාත් ගියා. මගේ බ්ලොග් එක කියවපු අය දන්නවනෙ මගේ ලමා කාලයේ සුන්දර මතකයන් තියෙන්නෙ මේ නැන්දලයි ගෙදර කියලා. එහේ ගියපු ගොඩක් වෙලාවට මම කරන්නෙ මම එකතු කරන් ඉන්න පරණ චිත්‍ර කතා පත්තර ටික දිග ඇරගෙන කියෝන එක තමා. ඒවා අපේ නැන්දලා ඒ කාලේ ගත්තු පත්තර. සමහර ඒවට මටත් වඩා වයසයි. ඒත් මේ සැරේ ගියාම මන් ඊට වඩා ටිකක් වෙනස් වැඩක් කලා. කබඩ් එකේ මගේ ලාච්චුව පොඩ්ඩක් අස් කලා. ඒ කාලේ මන් පෙරේත කමට එකතු කරපු කුණු ගොඩවක් වල ඉඳන් සබ්බ සකල මනාවම ඒක ඇතුලේ. මගේ හිත ආයෙමත් ලමා කාලෙට ගියා.
                   ඒ කාලේ හැම උපන් දිනේකටම මාමගෙන් මොකක් හරි තෑග්ගක් ලැබෙනවා. මුලදි සේරම ලැබුනේ සෙල්ලම් බඩු. ඒත් පස්සෙ මම කියලා ඒක පොත් වලට වෙනස් කරවගත්තා. සමහර සෙල්ලම් බඩුනම් දැන් කාලයේ නියමයට අහු වෙලා. ඒවෙ කෑලි හොයාගන්නත් නෑ. ඒත් විශේෂම සෙල්ලම් බඩු තාමත් සුරක්ශිතව තියෙනවා.
 
ඔය තියෙන්න දැනට ඉතිරිව පවතින මගේ සෙල්ලම් බඩු එකතුව තමා. කවදා හරි මගේ ඉදිරි පරම්පරාවටත් පරිහරනය කරන්න කියලා මන් ඒවා බොහොම ආරක්ශිතව අරන් තියාගෙන ඉන්නවා.

                      දැන් මම ඉතාම අකමැති දෙයක් තමයි ක්‍රිකට් කියන්නෙ. මන් ටීවී එකේ බලන්න අකමැතිම දේ ක්‍රිකට් මැච්. ඒත් මාත් ඒ කාලේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පින්තූර එහෙම එකතු කලා. දැන්නම් එහෙම කලා හිතෙන කොටත් නිකම් මොකද්ද වගේ. ක්‍රිකටර්ස්ලගේ රූප තියෙන ඩේකාඩ් එහෙම මගේ ලාච්චුව ඇතුලේ තිබිලා මට හම්බ උනා. ඒත් එක්කම හම්බ උන අනිත් දේ තමයි ස්ටිකර්ස්. එඩ්නා චොක්ලට් ස්ටිකර්ස්. ඔයාලටත් මතක ඇති ඒ කාලේ එඩ්නා චොක්ලට් වල තිබ්බේ ක්‍රිකටර්ස්ලගේ පින්තූර තියෙන ස්ටිකර්ස්. ඒවා එකතු කරලා දුන්නම තෑගි පවා දුන්නා. ඒ කාලේ හෙන රැල්ලක් ගියානෙ ඒවා එකතු කරන්න. මාත් ඉතින් ඒ රැල්ලට අහු වෙලා හිටපු කෙනෙක් තමයි. මමනම් ස්ටිකර්ස් එකතු කරලා තෑගි ගත්තේ නෑ. එකතු කරපු සේරම ලෝබ කමට ලඟ තියන් හිටියා. අනිත් ඒක මට ඒ සේරම අංක ටික පිලිවෙලටම එකතු කර ගන්නත් බැරුව ගියා.
 
                          ඔය තියෙන්නෙ මන් එකතු කරපු ස්ටිකර්ස් ටික තමා. ඔක්කොම ටික විසුරවල ෆොටෝ එක ගන්න කම්මැලි හිතුනා. කොහොමත් 150කට එහා පැත්තේ ස්ටිකර්ස් තියෙනවා ඔතන. හොඳම වැඩේ ඉතින් ඔය සේරම මන් කාපු චොක්ලට් වල ස්ටිකර්ස්. මන් ඉතින් වැඩිය චොක්ලට් කාලම නෑ.......
                            ටිපි ටිප් කාපු නැති කෙනෙක් කවුද ඉන්නෙ. මන් හිතන්නෙ කවුරුත් නැතුව ඇති. ඒ කාලේ මගේ එක ප්‍රියතම කෑමක් තමයි ටිපි ටිප්. ලොකු නැන්දට කියලා කොහොම හරි ගන්නවා. ඒ කාලේ සෙනසුරාදා හවස 6ට අයි ටී එන්  එකේ ඉන්ග්ල්ශ් කතා යනවා. ඒක බලන්න මට ටිපි ටිප් එකක් ඕනමයි. මන් සෑහෙන ආස උන ටිපි ටිප් ජාතියක්  තමයි Mr. POP කියන්නෙ. මතකද කාලයක් ඒවත් එක්ක මැජික් බෝල, පොඩි පොඩි සෙල්ලම් බඩු කෑලි හම්බ උනා. අමතකනම් මේක බලන්නකො. මතක් වෙයි.
මගේ ටිපි ටිප් කෑම ගැන ඔයාලට දළ අදහසක් ගනන් පුලුවන් වෙයි ඕකෙන්. ඔය මැජික් බෝල ෆොටෝ එකේ තියෙන ප්‍රමාණයට සමාන තවත් ප්‍රමානයක් සෙල්ලම් කරන්න ගිහින් නැති වෙලා. ඒ වගේම අමතක කරන්න එපා. හැම Mr. POP එකක් එක්කම ඕවා හම්බ උනේ නෑ. අනිත් එක මන් කෑව එකම ටිපි ටිප් ජාතිය Mr. POP විතරක් නෙවෙයි... :D
                         බලන්නකො පොඩ්ඩක් මේ මොකද්ද කියලා අඳුනගන්න පුලුවන්ද කියලා.
යා යා.. ඔයලා හිතුවා හරි. සෙනෙහෙ ලියුම් කඩදහි තමා. ඒත් දැක්කනේ ඒවට වෙලා තියෙන සන්තෑසිය. ඕක මන් දන්න කාලෙ ඉඳලම( මයේ හිතේ 6,7 වසරේ වගේ ඉඳන්) අරන් තියන් උන්නේ ලවු කරන කාලේක කෙල්ලට ලියුම් ලියලා දෙන්න. ඒත් පේනවනේ. එක කොලයවක්වත් අඩු නැතුව මුලු පොතම තියෙනවා තාමත්. ඒත් ඉතින් දැන් ඉතුරු ටිකත් දෙන්න වෙන්නෙ කාවන්ටම තමයි. කොහේද මේ SMS යුගයක් ආවෙන් සෙනෙහෙ කොල කාවන්ටම ගියානෙ...... 
                       මන් ඒ කාලේ ඉඳලම කොම්පියුටර් පිස්සා. කොම්පියුටර් වලට මාරම ආසයි. ඒත් මන් හරියකට කම්පියුටර් එකක වඩ කරන්න ඉගෙන ගත්තේ 11 වසරේදි වගේ. ඒකත් හෙනම සුන්දර දිග කතාවක්. වෙලාවක් තිබ්බොත් මන් දවසක ඒ කතාව කියන්නම්. දැනට සරලව කියන්නම්. ඉස්කෝලේ කම්පියුටර් ලැබ් එකේ දොරේ වීදුරුවට ඇහැ ලන් කරන්, ඇතුලේ තියෙන කම්පියුටර් ටික දිහා බලලා සැනසුන කාලෙකුත් තිබ්බා. ඊට පස්සෙ අර මන් කිව්ව දිග කතාවේ මුල් අධියර වලදි මට ලැබ් එක ඇතුලට යන්න අවස්තාවක් හම්බ උනා. හම්බේ දැනුන සතුටක්. මන් ඉතින් කම්පියුටරේ බාහිර ස්වරූපය හොඳ හැටි බලාගත්තා. ගෙදර ඇවිත් හැදුවා මාත් කම්පියුටර් එකක්. වෙන මොනවෙන්ද ඉතින්. කාඩ්බෝඩ් වලින් තමයි. මොනිටර් එක, සීපීයූ එක, මවුස් එක, කී බෝඩ් එක විතරක් නෙවෙයි, යූපීඑස් එක පවා හැදුවා. හදලා බොහොම ආඩම්බරයෙන් මේසෙ උඩ තියන් හිටියා. අවාසනාවකට අද ඒකෙන් ඉතිරි වෙලා තියෙන්නෙ මොනිටර් එක විතරයි. ඔය තියෙන්නෙ ඒක. 
අනිත් කෑලි ටික ජරා වෙලා තිබිලා විසි කලා කියලා පොඩි නැන්දා කිව්වා. ඕකත් විසි කරන්න ගිහින් ආයෙත් ඔන්න ඔහේ කමක් නෑ මේක තියමු කියලා ඕක විතරක් ඉතුරු කලාලු. අල්මාරිය උඩ තමයි පහු ගිය ටිකේ ඒක තියලා තිබ්බෙ. උලුකැටයක් බිඳිලා වතුර වැටිලා ඒ ටික පෙඟිලා තිබ්බලු. මොනා කරන්නද ඉතින් ඔය කෑල්ල හරි ඉතුරු වෙලා තිබ්බ එක ලොකු දෙයක්. මන් කියලා ආවා අතින් ඇල්ලුවම කඩා හැලෙන තරම් ජරා ජීර්ණ උනත් ඕකනම් විසිකරන්න එපා කියලා. :D
                           ඔන්න ඔහොම තමයි මගේ අතීත සැමරුම් වලින් කිහිපයක් පෙල ගැහෙන්නෙ. ඒ කාලේ කලේ මොනවද. දැන් කරන්නෙ මොනවද. ඔහොම තමයි. කාලෙත් එක්ක කොයි තරම් දේවල් වෙනස් වෙනවද. ජීවීතේක හැටි. ඔන්න අන්තිමට මේ ඉන්නෙ ඔය කලින් පෙන්නපු සේරම සෙල්ලම් කරපු මම. ඒ කාලේ.............

Thursday, February 17, 2011

ඉතුරු භාගේ........???

අපේ අක්කන්ඩි මේ දවස් වල තැන තැන කිය කිය යනවා භාග සීන් එකක්.... නෑ...නෑ...... බොලලා ඔය හිතන භාගයක් ගැන නෙවෙයි. මොකද අපේ හීනියට අනුමත වෙන උදවියට භාගේ කිව්ව ගමන් මතක් වෙන්නෙ වෙන දේවල්නෙ...... තනි මිනිසෙක් කියන්නෙ භාගයක්ය. අපේ ඉතුරු භාගෙත් ඔය කොහේ හරි ඇතිය. ඒ භාගේ හොයාගන්න ඕනය කියලා තමයි එයානම් කියන්නෙ. මන් කියන්නෙ බොරු කියලා හිතෙනවනම් මෙන්න මේක කියවලා බලන්නකො. ඔය ඒයාම එයාගෙ කී බෝඩ් අකුරෙන් කොටපුවා..... මොකද්දෝ ග්‍රීක කතාවකුත් උදාහරණෙකට අරගෙන එයා ඒක බොහොම විද්‍යානුකූලව(ද මන්දා) ඔප්පු කරන්න සෑහෙන උත්සහයක යෙදිලා තියෙනවා. දැන් ඕක කියවලා අපේ කෙල්ලො කොල්ලො තම තමුන්ගේ ඉතුරු භාගේ හොයාගෙන මහා මෙහෙයුමක් ක්‍රියාත්මක කොරලද දන්නෙ නෑ මේ ඩිංගටම. අනේ ඉතින් හැමෝටම ඔය විදියට තමුන්ගේ ඉතුරු භාගේ හම්බ වෙනවනම් කොයි තරම් දෙයක්ද.
          මන් මේ කල්පනා කලේ ඔය කියන කතාව ඇත්තක්ම නම් මන් දැන්නෙ ඉන්නෙ මෙන්න මේ විදියට.

 හත්වලාමයි. එත්කොට කෝ මගේ ඉතුරු භාගේ.  කොහේද ඒක. කවුරු හරි දන්නවද ඒක කෝ කියලා. හලේ..... දැන් ඉතින් මාත් මගේ ඉතුරු භාගේ හොයමින් ආරම්භ කරන්න ඕන මහා මෙහෙයුමක්.
       මොනාද හලෝ!!!!! මේ වගේ වැඩකට නැති දහ ජරා තුප්පහි බ්ලොග් පෝස්ට් එකක් කියව කියව ඉන්න වෙලාවෙ, දෙනවකො මගේ ඉතුරු භාගෙ හොයාගන්න පොඩි සප් එකක්...... :D


 සාරාංශය :  දෙනවකො මගේ ඉතුරු භාගෙ හොයාගන්න පොඩි සප් එකක්

Monday, February 7, 2011

පොලිතින් උරයෙන් වැසුනු ලැජ්ජාව

හැමෝම දැන් දන්න දෙයක්නෙ මම මඩ වලට බය නැති මිනිහෙක් විත්තිය. ඔන්න ඒක නිසා මටම මඩ වදින පට්ට සීන් එකක් තමයි මන් මේ දැන් කියන්න යන්නෙ. පරන සිදුවීමක් නෙවෙයි. උණු උණු බඩු. හරියටම පහුගිය සිකුරාදා තමයි මේක උනේ. සමහරු මේ සිදුවීම විකෘති කරලා මිනිස්සුන්ව නොමග යවයි කියන බය, මට මුල ඉදන්ම තිබ්බා. ඔන්න ඒක නිසා තමයි ඇත්ත ඇති සැටියෙන්ම, කිසිම හොර බොරුවක් වංචාවක් නැතුව මන් දැන් මේ ඔයාලට කියන්න යන්නෙ. වෙනත් අය කියන බොරු බේගල් වලට අහු වෙන්න එපා. මෙන්න තියෙනවා සම්පූර්ණ සත්‍යය.

Tuesday, February 1, 2011

හදිස්සියෙම, ආයෙත්, අතීතෙට ?

නිවාඩුවට ගමට එන්නෙ නුඹව බලන්න
නුඹේ සිනාවෙන් මගෙ නෙතු පුරවාගන්න
හිතේ පිරුණු ආදරේ මගේ තව වැඩි වෙන්න
ඩිංගක් හරි හිනා වෙලා මදෙස බලන්න

පුංචි පුංචි නිල් තරු කැට අහස පුරාම
මුමුණන්නෙ නුඹ ගැනමයි හිරු එනතුරුම
නුඹේ මතකයන් වැඩි කර දෙන හින්දාම
පහන් කරන්නම් මුලු රැය නිදි නොලබාම

ඔබ දකින්න ආසාවෙන් දවස් ගෙව ගෙව
නිවාඩුවක් එනතුරු මගෙ ඇඟිලි ගැන ගැන
ආවත් නුඹේ මුහුණ ටිකක් බලාන යන්න
ඇයි ආපහු එන්න වෙන්නෙ කඳුලු අරගෙන

දිලිසෙන ඔය නිල් නෙතු යුග පහස ලබන්න
දෙනවද එය මට ඇති දිවියෙම සැනසෙන්න
හිතේ තියෙන ආදරේ මගේ කියලා දෙන්න
සොඳුරියෙ එක මොහොතක් මා වෙනුවෙන් ඉන්න

(මෙය අද ඉතා හදිසියේ මගේ  ඇස ගැටුනු, 2008 මාර්තු මස 25 වන දින ලියැවුනු කවි පෙලකි. )

Thursday, January 27, 2011

පුංචි කතාවක් විත‍රයි!

"මොකද බලන් ඉන්නෙ ලමයෝ. ඕක බොන්න" මම සුප් හැන්ද සීරුවෙන් කටට ලන් කරගන්න ගමන් අහනවා. ඇය තාමත් සුප් ටික දිහා බලාගෙන කල්පනාවක.
"තාම රස්ණෙයි අනේ" ඇගේ හුරතල් කටහඬ මට හොදට හුරුපුරුදුයි.
"ටිකක් රස්නෙට තමයි සුප් බොන්න ඕන. හෙමිහිට බොන්න පටන් ගන්න. ටික ටික නිවෙයි" ඇය හෙමින් සැරේ සුප් හැන්ද සුරතින් අල්ලගන්නවා.
"අපෝ මේ කෙල්ලට පොඩි ලමයට වගේ කියන්න ඕන" මම බොරු නෝක්කාඩුවක් මවාගෙන කියනවා.
ඇය ඇස් පුන්චි කරලා හිනාවෙන්නෙ හරියට පුංචි කෙල්ලෙක් වගේම තමයි.
"දැන් කොහොමද ඔයාගෙ වැඩ කටයුතු" ඈ කතා කරන්නෙ වටේ ඉන්න අයට ඇහෙයි කියලා බයේ වගේ බොහෝම හෙමින්.
"වරදක් නෑ කෙල්ලෙ. හොදින් කෙරීගෙන යනවා"
ඇය සුප් හැන්ද මුවට ලන් කරද්දි මම ඇගේ දෙතොල් දිහා බලන් ඉන්නවා. ඇයට හොරෙන් ඈ දිහා බලන්න තාමත් මට බෑ.
"කොහේද බලන් ඉන්නෙ"
"නෑ මට ඉස්සර මතක් උනා" මම ලැජ්ජාවෙන් කියනවා.
"මොනාද මතක් උනේ"
"අපෝ ඒවා මෙතන කියන්න බෑ"
"මොනා හරි වල් දෙයක් වෙන්න ඇති මම නොදන්නවයි මේකා ගැන" මේසය මත තිබෙන මගේ වම් අතේ පිලි අල්ලට ඇය ඇගේ වමතින් පහරක් ගසනවා. ඇගේ අත සීතලයි.
"අම්මෝ ඔයාගේ අතේ සීතල" මම ඇගේ අතල අල්ලාගෙන හෙමිහිට පිරිමදිනවා.
"හොරා මගේ අත අල්ලන්න බොරු කියනවා නේද?" ඇය තරහක් මවාගෙන කිව්වට ඇගේ දෙනෙත් වල තියෙන්නෙ සිනාවක්.
"වැඩේමයි මට. අනිත් එක ඔයා හිතුවද මන් තාම ඉන්නෙ මුල් ස්ටේජස් වල කියලා. ඒ කාලේ පහු කරලා හුඟාක් කල්....." මම හෙමිහිට ඇගේ සුරත මිරිකනවා.
එකිනෙකාට තුරුළු වීගෙන එන තරුණ ජෝඩුවක් අපෙ පසෙකින් තියෙන මේසයකින් ඉඳ ගන්නවා. වාඩි උනත් කොල්ලා කෙල්ලව බදාගෙන. බොහොම සතුටින් ඉන්න ජෝඩුවක් වගේ..... ඒත් පිටින් ඔහොම පෙනුනට ඒ දෙන්නට මොන තරම් ප්‍රශ්ණ තියෙනවද කියලා කවුද දන්නෙ. නමුත් කොයි තරම් ප්‍රශ්ණ තිබුනත් ඔහොම හිනාවෙලා සතුටින් ඉන්න එකම ලොකු දෙයක්නේ. මගේ හිත කල්පනා ලොකේක දුරට යනවා.
"හනේ හනේ මොනාද ඒ පාර බලන් ඉන්නේ." ඇගේ දෙනෙතට මගේ ක්‍රියාව අසුවෙලා.
මම මුකුත් නොකියා හිනාවක් විතරක් මවා ගන්නවා.
විනාඩියක් විතර අපි දෙන්නම නිශ්ෂබ්දයි.
"අපි මේ කරන්නෙ වැරදි වැඩක් නේද" මම සුප්  භාජනය දිහා බලාගෙනම අහනවා.
ඇගෙන් උත්තරයක් නෑ.
මම ඔලුව උස්සලා ඇය දිහා බලනවා.
"අපි අද මෙහෙම හම්බ නොවෙන්නයි තිබුනේ" මම ආයෙත් කියනවා ඇගේ දෙනෙත් දිහා බලාගෙනම.
ඇය කිසිත් නොකියලා සුප් එකේ චිකන් කෑලි තෝරනවා. ඇගේ දෙනෙත් බිමට බර වෙලා.
"ඒ උනාට ඒ වැරද්දට මම ආසයි." කතා කරන්නෙ මමම විතරයි. ඇය තාමත් නිශ්ශබ්ධයි.
"අනූ....." ඇය අන්තිමේදි කතා කරනවා.
"හ්ම්ම්ම්....."
"මට ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙනවා. මන් අද ඔයාට හම්බවෙමු කිව්වෙ ඒ දේ කියන්න." ඇය මගේ දෙනෙත් දිහා බලන්න බයයි වගේ.
"කියන්න ඕනම දෙයක් කියන්න. ඕනම දෙයක් අහනන් දැන් මගේ හිත හයියයි" මුවින් එහෙම කිව්වට ඇතුලින් මගේ හිත අඬන බව මන් දන්නවා.
ඇය මගේ දෙනෙත් දිහා බලනවා. අපේ දෙනෙත් එකිනෙකට යාවෙනවා. ඒ දෙනෙත් ලොකූ කතන්දරයක් කියන්න හදන බව මට හැඟෙනවා. පුංචි කඳුලු බින්දුවක් ඒ ඇස් වලින් බිමට හැලෙන්න ලොකූ සටනක් දෙනවා. ඒත් ඇය ආයාසයෙන් එය වලක්වගෙන.
"අනූ.... ලබන දෙසැම්බර් මම මැරි කරනවා. එයාලගෙ ගෙදරින් වෙඩීන් එක ඉක්මනට ගන්න ඕන කියනවා. අනේ මට සමාවෙන්න" ඇය අමාරුවෙන් තද කරගෙන හිටිය කදුලු බින්දුව කදුලු රෑනක් වෙලා ඇගේ දෙනෙතින් කඩාගෙන වැටෙනවා.
"මම ඔයා එක්ක තරහා නෑ රත්තරන්. මේ දේ වෙන බව අපි දැනගෙන ගොඩක් කල්නෙ. ඔයා සතුටින් ඉන්න කෙල්ලෙ" මම මෙතෙක් වෙලා අල්ලගෙන හිතපු ඇගේ අත හෙමිහිට අත අරිනවා.

(මෙහි එන නම් ගම් සියල්ල මනකල්පිත බව කරුණාවෙන් සලකන්න.)

Wednesday, January 26, 2011

තරුණයා සහ මගේ නෝන්ඩි ඉතිහාසය

ඔන්න ඉතින් කතන්දර ප්‍රිය කරන අපේ පාඨක පාඨිකාවියන් උදෙසා තමයි මන් අද මේ ලිපිය ලියන්නෙ. විශේෂයෙන්ම කාට හරි සිදු උන නෝන්ඩි සීන් එකක් කියවලා හිනා වෙන්න බලන් ඉන්න අය වෙනුවෙන් තමයි මේ කතාව පිදෙන්නෙ. හැබැයි මන් ඔය අනිත් අය වගේ අනිත් උන්ට මඩ ගහන්නෙ නෑ.....  :D:D:D මන් මේ ක‍රන්න යන්නේ බ්ලොග් ඉතිහාසයේ කවුරුත්ම මෙතෙක් නොකරපු වැඩක්. කොටින්ම කිව්වොත් තමුන් විහින්ම තමුන්ගේ ඇඟේ මඩ ගා ගැනීමක්. ඒත් අපේ බ්ලොග් යාලුවෝ දන්නවා මන් ඔය මඩ වලට බය මිනිහෙක් නෙවෙයි කියලා. මට මඩ ගහලා කෙනෙක් සියුම් වින්දනයක් ලබනවනම් බලෙන්ම ගිහින් ඒ මඩට ඔලුව අල්ලන මිනිහෙක් මන්. අපේ කස්ටියට මන් ඒ ගැන අමුතුවෙන් කියා දෙන්න ඕන නෑනෙ. හරි එහෙනම්. මන් මගේ කතාව කියන්නම්. මඩ ගහන්න කැමති අයට ඕනෑ හැටියකට මඩ ගහන්න පුලුවන්. මගේ ජීවිතය තුලදි මන් වැඩියෙන්ම නෝන්ඩි උන දවස් කීපයෙන් එකක් නොහොත්  "තරුණයා" ගේ ඉතිහාස කතාව මෙලෙස දිගහරින්නම්.

Tuesday, January 25, 2011

ලෝකයේ ලස්සන වැඩිම කවිය........?

ලෝකයේ  ලස්සන වැඩිම කවිය අහලා තියෙනවද කියලා මන් ඇහුවොත් මන් දනන්වා ඔයාලගේ උත්තරේ "නෑ" කියලා ලැබෙනවා කියලා. මන් දන්නවා ඔයාලා කවුරුත්ම ලෝකයේ ලස්සන වැඩිම කවිය කියවලා නෑ. ඒ ගැන කිසිම අයිඩියා ඒකකුත් ඔයලාට නෑ... ආන්න ඒ නිසා තමයි මන් අද ඒ ගැන ඔයාලට කියන්න හිතුවේ. මන් අද මේ හදන්නෙ ඔයාලට ආන්න ඒ කවිය පෙන්නන්න. මේක ඔයාලටත් ආඩම්බර වෙන්න පුලුවන් සිදුවීමක්. ඔයාලට මුලු ලොකෙටම ඇහෙන්න බොහොම ආඩම්බරයෙන් කෑ ගහලා කියනන් පුලුවන් දෙයක්. මොකද ඔයාලගේ සහෝදර බ්ලොග් ලියන්නෙක්ම තමයි මේ කවිය රචනා කරලා තියෙන්නෙ. වෙන කවුරුත් නෙවෙයි _ණුවා යන සුරතල් නාමයෙන් හඳුන්වන මමම තමයි මේ ලස්සන වැඩිම කවිය රචනා කලේ.  ඔයාලට කොච්චර ගවුරවයක්ද ඒක, නේද?
                          මේ කවිය ගැන පුංචි සටහනක් කරනවනම්, මන් හිතන්නේ නෑ ලොකේ කිසිම කවියෙක් අතින් මේ තරම් ලස්සනින් වැඩි කවියක් නිර්මාණය වෙලා ඇති කියලා. සමහර විට මේක ගිනස් පොතට යන්නත් බැරි නෑ. එහෙම උනොත් බ්ලොග්ලියන අය විදියට ඔයාලට කොච්චර සතුටක්ද නේද. ඒ වගේද ලංකාවට ලැබෙන කීර්තිය. ඇත්තෙන්ම මේක එක කවියක් නෙවෙයි. කවි 3කින් සමන්විත කවි පන්තියක්. කවි පන්තිය කියවද්දි ඔයාලටම තේරුම් යාවි මොන තරම් ලස්සනක් මේ කවි තුල ගබ් වෙලා තියෙනවද කියලා.  ඔන්න මේ කවිය කියවීමේ භාග්‍ය මුලින්ම හිමිවෙන්නෙත් ඔයාලටමයි. හැමදාම ලඟින් හිටපු ඔයාලව අමතක කරලා කොහොමද. එකයි මන් අනෙකුත් මාධ්‍ය වලට දෙන්න කලින් ඔයාලට මේ කවි පන්තිය රස විඳින්න දෙන්න ඕන කියලා හිතුවේ.
                         මේ කවිය ලියවුනු හැටි ගැන පුංචි සටහනක් නොකලොත් ඒක ලොකු අඩුවක්. ඇත්තටම මේක තවත් එක අහඹු සිතුවිල්ලක් නෙවෙයි. මේක බොහොම ක්‍රමාණූකූලව, ඉතා සංයමයෙන් යුතුව, මනා ක්‍රමවේදයක් සහිතව නිර්මාණය කල කවි පන්තියක්. කඩි මුඩියේ කලබලේ නිර්මාණය වූවක් නෙවෙයි මේ කවි පන්තිය. සිතේ ගැඹුරටම කිඳා බහිමින් මිනිස් සිත සුවිශේෂී විශ්ලේෂනයකට භාජනය කරමින් තමයි මේ කවිය මේ ලොවට බිහි වූයේ. එහෙනම් මන් හිතන්නෙ තවත් විස්තර ඕනෙ නෑ. මා අතින් ලියවුනු, ලෝකයේ ලස්සනින් වැඩිම කවි පන්තිය සියලුම ලාංකීය බ්ලොග් පාඨකයින් උදේසා මෙසේ තිලිණ කරන්නම්.

එහේ බැලුවත් ලස්සනයි
මෙහෙ බැලුවත් ලස්සනයි
හැම තැනක්ම ලස්සනයි
ලස්සනයි ලස්සනයි ලස්සනයි

උඩ බැලුවත් ලස්සනයි
යට බැලුවත් ලස්සනයි
වම දකුණත් ලස්සනයි
ලස්සනයි ලස්සනයි ලස්සනයි

උඹේ හිතත් ලස්සනයි
මගේ හිතත් ලස්සනයි
හැම හිතක්ම ලස්සනයි
ලස්සනයි ලස්සනයි ලස්සනයි
*******

Monday, January 24, 2011

වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි!

දැන් ඉතින් මේ හෙඩිම දැක්ක ගමන් මේකේ ඉන්න සේරම පොඩි උන් ටික දුවන් එයි සේරටම කලින්. ඕකනෙ කරන්න බැරි. පොඩි එවුන්ටමයි ලිව්වෙ කියලා දැම්මනම් එකෙක් එන්නෙ නෑ පැත්ත පලාතෙ. ඔන්න හැබැයි ඇවිත් කියෙව්වට කමක් නෑ... පස්සෙ කියන්න එපා මන් තොපිව නරක් කලා කියලා... හරී...... ඔය කිව්වට දැන් ඉන්න පොඩි උන් මාව නරක් කරාවි මන් උන්ව නරක් කිරීම කෙසේ වෙතත්. හරි ඒ බයිලා වැඩක් නෑ... කියන්න ආපු දේ කියමුකො. පුංචි පුංචි කතා වගයක් මතක් උනා. ඒ ටික කියන්න කියලයි අද මන් මේ ලැහැස්ති උනේ.  කෝකටත් කියලා ඉස් ඉස්සිල්ලාම වැඩිය දරුණු නැති පවුලේ සැමට කතාවක් කියලා ඉඤ්ඤංකො.....

Thursday, January 6, 2011

හෙඩිමක් නෑ ඕයි..........

මල් හසරැල්ලෙන් මුව සරසාගෙන
පෙම් හී සැර නෙතු තුල දවටාගෙන
එනතුරු ඔබ සෙනෙහස වපුරාගෙන
ඉන්නෙමි හද දොරගුළු ඇරලාගෙන

සුවඳැති මල් නෙක පූදින අරණේ
ඔබ සිත් මල හැර නැත අන් සරණේ
විඳ විඳ සැමදා ඔබ රූ වරුණේ
යන එක සැපතකි වෙත මට මරණේ

දින දින ඔබ ගැන වැඩිවන සෙනෙහස
නැති කරමින් මා සිත තුල නිදහස
කිසිම දිනක නොම වී ඔබ උදහස
සිටිනි මැනවි පාමින් මුව මදහස

කලුවර හීනෙට මහ රෑ පානෙ
පාට අරන් ඔබ පැමිණෙනවානේ
නැගෙනහිරින් හිරු පැමිණෙන ගානේ
ඔබ මගෙ යහනින් පැන යනවානේ

කරගමි දවසක මගේ මනමාලී
ආවත් ලොකෙන් මොන අඬපාලී
හද මඩලට මගේ තිබෙනා වෙලී
හරවනවානම් පෙම් වැහි පීලී

කය මිස සිත ගැන නොතකන මේ ලොව
අන් මනදොල තුටු කරමින් තව තව
නොම හිඳිමින් මතු ගෙවමින් ඔය පව
වඩිනු මැනවි මා තැනු ලෝකෙට නව

Monday, January 3, 2011

හැපි බර්ත් ඩේ....!

ඔන්න හැමෝම එකා වගේ කෑ ගහලා කියන්න හැපි බර්ත් ඩේ කියලා.....
මදි මදි.... සද්දේ මදි.... තව හයියෙන්....
කෝ අනේ කැඳ බීලා වගේනෙ......
හොඳට කට ඇරලා කෑ ගහලා කියන්න...
ආන්න හරි...
අන්න එහෙම...
ඔය තියෙන්නෙ....
එල එල.....
ම්ම්ම්ම්.....
මොකද්ද.......
නෑ නෑ... මට නෙවෙයි අනේ... මගේ බ්ලොග් එකට....
අද මගේ බ්ලොග් එකේ අවුරුද්දෙ උපන්දිනේනෙ.
අහා අහා අහා..... ඕන් මන් බ්ලොග් ලියන්න පටන් අරන් අවුරුද්දකුත් ගෙවුනා. කාලය යන ඉක්මන. මම මගේ බ්ලොග් එක පටන් ගත්තේ හරියටම මීට අවුරුද්දකට කලින් අද වගේ දවසක. ඒ කියන්නේ දෙකදාස් දහය වර්ශයේ ජනවාරි 3 වෙනිදා තමා මන් ඉස් ඉස්සිලම මගේ බ්ලොග් එක ලියනන් පටන් ගත්තේ. අම්මෝ...... බ්ලොග් ගැන මෙලෝ මගුලක් නොදැනගෙන බ්ලොග්කරණයට ඇවිල්ලා හෙන ගේමක් දීලා බ්ලොග් එකත් හදාගෙන  කරපු විගඩම් වල තරම. ජීවිතේට අතගහලා HTML නැති වලින් ඔලුව පුරවගෙන තිම් එක හද හද නටපු පිස්සුවක්. කොහොම හරි මාසයක් විතර ගියා නෙව හරියට බ්ලොග් එකෙ පයිනලයිස් කොරගන්න.
කොහොම හරි ඉතින් අවුරුද්දක් පුරාවට බ්ලොග් ලියලා ලබාගත්තු දේවල් නම් බොහොමයි. දැනුම, විනෝදය වගේම හොඳ යාලුවො ටිකක්. ඇයි ඒ විතරක්ද මගේ අක්කව. අවුරුදු 23ක් තිස්සෙ එකතු කරගන්න බැරි උන දේවල් මේ අවුරුද්දේ මේ බ්ලොග් කෙරුවාව නිසා මගේ ජීවිතේට එකතු කරගන්න පුලුවන් උනානෙ.
                                     අද මන් දිග ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. කියන්න ඕනැ දේ බොහොම කෙටියෙන් කියලා යන්නයි සූදානම් වෙන්නේ. මොකද මගේ 50 වෙනි ලිපියේ මන් ගොඩක් දේවල් කිව්වනෙ. බ්ලොග්කරණයට ආපු විදියයි ඒකෙ පැලපදියම් වෙච්චි විදියයි ගැන ගොඩක් දේවල් මන් ඒකෙදි කිව්වා. ඒක නිසා මන් ආයේ එව්වා මෙත්නත් කියන්න යන්නෙ නෑ.
                             අද මට ඕනෑ ස්තූති කරන්න විතරයි. ඔයාලා හැමෝටම. අවුරුද්දක් පුරාවට මට ලබා දුන්න සහයෝගය වෙනුවෙන්. ඇත්තටම ඔයාලා නිසා තමයි මට මෙච්චර දුර එන්න පුලුවන් උනේ. හැමදාම මගේ ලඟ ඉදගෙන මන් ලියපුවා කියවලා, හොද නරක පෙන්නලා, ඔයාලා ලබා දීපු ඒ අත්වැල නිසා තමයි මන් අද මේ තරම් සතුටින් මේ ලිපිය ලියන්නේ. ඔයාලා නැත්නම් මේ බ්ලොග් එක ඉපදුනු තැනම මැරිලා. ඒක නිසා ඔයාලා හැමෝටම ගොඩාක්ම ස්තූතියි. ඒ වගෙම මන් ඔයාලගෙන් ඉල්ලා හිටිනවා අවුරුද්දක් පුරාවට මාත් එක්ක හිටියා වගේම ඉස්සරහත් මට ශක්තියක් වෙලා මගේ ලඟින් ඉන්න කියලා. මට ඔයාලගෙන් ඉල්ලන්නෙ එච්චරයි. එතකොට තව අවුරුද්දකට පස්සෙ අවුරුදු දෙකේ උපන්දිනය සමරද්දි මට මීටත් වඩා සතුටින් ඒ දවස සමරන්න පුලුවන් වේවි.
දැන් ඔන්න මාත් එක්කම කියන්න.

හැපි බර්ත් ඩේ ටූ යූ
හැපි බර්ත් ඩේ ටූ යූ
හැපි බර්ත් ඩේ ඩියර් අනන්තය
හැපි බර්ත් ඩේ ටූ යූ

                      එහෙනම් ඕන් කේක් කෑල්ලක් එහෙම කාලා හිටින්නකො....