Monday, April 7, 2014

ආදර සැමරුම්


අපේ ආදර මතක සැමරුම්
දසත ඇත බිම විසිරිලා
ඒ මතින් ඔබ අඩිය තබමින්
ඈතටම යයි සැඟවිලා

ගිලෙන හිරු අර ඈත ක්ෂිතිජයේ
ගිනියම්ව රත් පැහැ වෙලා
රැගෙන එයි තව තවත් කළුවර
ආදරේ සුව සඟවලා

විරහා ගී පද රසය සොයමින්
සිතේ සිනහව හැකිළිලා
මුවේ සිනහව ලොවට පෙන්වා
හිඳිමි මියැදී යන තුරා

Tuesday, March 18, 2014

එක්තරා සාමන්‍ය කතාවක්!

ඔහු විටෙක ලේඛකයෙක්. පරිපූර්ණ උසස් ලේඛකයෙකුගේ මට්ටමේ නොසිටියත් යම් පරිමාණයකින් තම සිත් රැඳි අදහස් නිර්මාණශීලීව වචන වලට ගොණු කල හැකි අයෙක්. ඇයව ඔහුගේ ජීව්තයට ලංවෙන්න ප්‍රධානම හේතුව උනේ ඔහුගේ ඒ හැකියාව. ඇය මුලින්ම ආකර්ෂණය වෙන්නෙ ඔහුගේ ලේඛන වස්තූන් වලට. ඇය එම වචන වල සිරකාරියක් බවට පත් වෙනවා. ඒ වචන ඔස්සේ ඇය ඇගේ සිත තුල අලුත් ලොවක් තනා ගැනීමට පෙලඹෙනවා. එහෙත් ඒ වචන වල හිමිකරුවාට ලන් වීමට ඇය මදක් බිය වෙනවා. මොකද ඇය සිතනවා ඔහු සිටින්නෙ ඇයට ලන්විය හැකි මානයක නොවේය කියා. අගේ බිය ඇගේ ගමනට බාධකයක් වෙනවා. ඇය තනිව ලතැවෙනවා. නමුත් අවසානයේ සියල්ල මොහොතකින් වෙනස් වෙනවා. ඔහුගේ ලෙඛන වල වචන වලින් පමනක් ඔහුගේ ආත්මය දකින්නට පුරුදු වී සිටි ඇයට ඔහුගේ ආත්මය මුහුණට මුහුණ දකින්නට අවස්ථාව හමු වෙනවා. ඔවුන් දෙදෙනාගේම ආත්මයන් ඔවුනොවුන් ඉදිරිපිට නිරුවත් වෙනවා.  ඔහුගේ ජීවිතයට ඇය පැමිණෙන්නෙ එතැන් සිට. මේ ආදර කතාව පටන් ගන්නෙ එතැන් සිට.

"ඔයා කැමතිනම් දොර අරින්න මන් කැමතියි ඇතුලට එන්න."
එක්තරා දවසක ඔහු ඇය ඉදිරියේ තමන්ගෙ අදහස ඉරිදිරිපත් කලේ එහෙම. ඒ වෙලාවෙ ඔහුගේ හැඟීම් ක්‍රියාකල අනුපිලිවෙල ගැන මට හරිම වැටහීමක් නෑ. හැබැයි මට අනුමාන වශයෙන් කියන්න පුලුවන් ඒ වෙලාවෙ ඔවුන් දෙදෙනාම මදක් වික්ෂිප්තව සිටින්නට ඇති. මොකද ඇය කවදාවත් ඔහුගෙන් එවැනි වදනක් ඇසෙතැයි බලාපොරොත්තු උනේ නෑ. ඒ වගේම ඇය එවැනි වදනක් අපේක්ශාවෙන් සිටි බව ඒ මොහොතේ ඔහු දැනගෙන සිටියෙත් නෑ.
මේක මහ පටලැවිල්ලක්. ඔබට වගේම මට පවා තවමත් එය පැටලිලි සහගතයි. නමුත් දෛවයේ හමු කිරීම් එහෙම තමයි. ඇයවත් ඔහුවත් හරිහැටි නොදැන ඔවුන් දෙදෙනාම ඇවිත් නතර වී තිබුනේ එකම තැනකින්.  ඒ දෛවයට සිදු කරන්නට අවශ්‍යව තිබූ දේ.

"ඇත්තටම මට ඒක එයාගෙන් අහද්දි මට ඕනේ උනා මේසෙ උඩ තිබ්බ එයාගෙ අත උඩින් මගේ අත තියන්න. එයාගෙ ඇඟිලි අතරෙ මගේ ඇඟිලි හිරකරගෙන එක එයාගෙන් අහන්න."
එදා සවස ඔහු තම අවංක හැඟීම් මන් ඉදිරියෙ දිග ඇරියෙ එහෙම. මන් කිසිවක් කිව්වෙ නෑ. ඔහුගේ මුහුණ දිහා බලාගෙන හිටියා විතරයි. මොකද කෙලවරක් නැතිව එලියට එන ඔහුගේ හැගීම් වලට මගේ වචන විරාමයක් වෙනවට මන් කැමති උනේ නෑ.

"ඒත් මට ඒකට බය හිතුනා. එයාගෙ උත්තරය මොකක් වෙයිද කියලා දන්නෙ නැතුව මට එයාගෙ අතින් අල්ලන්න බෑ"

ඇය කලක් තිස්සෙ ඔහු තමාගෙන් අසාවියැයි බලාපොරොත්තුවෙන් සිටි ප්‍රශ්ණය. ඇය කලක් තිස්සෙ ඔහුට දෙන්නට බලාපොරොත්තුවෙන් සිටි උත්තරය.
එහෙත් ඇය නිහඬයි. ඇගේ නිහඬ බව ඔහුගේ හදගැස්ම වඩා තීව්‍ර කලා.

මෙය කදිම කතාන්දරයක්. සිදුවූ හැම තප්පරයක්ම වචන වලට හරවා ඔබට ඉදිරිපත් කරන්නට තරම් හැකියාවක් මන් සතුව නොවුනත් මට ඔබට සහතිකවම කියන්න පුලුවන් එය කදිම කතාන්දරයක්. එදා ඔවුන් මේ මොහොත දක්වා ගෙන ඒම තෙක් සිදුවූ සියල්ල ඔබට දැකගත හැකි වූවනම් මෙය ඔබ දැක ඇති සුන්දරම ආදර කතාව බවට පත් වෙනවාට සැකයක් නැහැ. එහෙත් ඔහුව ලඟින්ම ඇසුරු කල මටවත් ඒ අවස්ථාව සියයට සියයක් සම්පූර්ණව ලැබුනෙ නෑ. නමුත් මන් ඒ ගැන දුක් වෙන්නෙත් නැහැ. මොකද එය ඔහුගේ කතාව. එය ඇයගේ කතාව. එය සම්පූර්ණයෙන්ම ඔවුන් දෙදෙනාගෙ. ඒ කතාවේ හැම වර්ගමිලිමීටරයකම ප්‍රේක්ෂකයන් වෙන්න අපි කිසිවෙකුටත් අයිතියක් නෑ.
මන් අද මේ ඔබට කියන්නෙ ඔවුන්ගේ කතාවෙ සාරාංශයක්. ඔවුන්ගේ කතාවෙ මා දන්නා කොටස. 

මේ කතාවෙ උද්වේගකාරී බව වැඩි වෙන්නෙ එදා ඇය දැක්වූ නිහඬතාවයත් එක්ක. එහෙත් ඊලඟ මොහොතෙදි දෛවය සැලසුම් කල පරිදි සියල්ල සිදු වෙන්නට පටන් ගත්තා. ඔවුන්ගේ හමුවීම අර්ථවිරහිත එකක් වෙන්න කිසිම විදියක් නෑ.
ඇය ඇගේ උත්තරය ලබා දුන්නා. ඔහු ඇගේ දෑත් තදින් අල්ලාගත්තා.

"මේ අල්ලගත්ත අත් දෙක මගේ ජීවිතේ පුරාවට මන් අතාරින්නෙ නෑ" ඔහු ඔහුගේ ආදර කතාවෙ රැජිනට ප්‍රතිඥා දුන්නා.

ඇය පෙර ආත්ම භවයන් ඇති බව තදින් විස්වාස කලා. ඒ වගේම ඔවුන් දෙදෙනාගේ ආදර කතාවටත් ආත්ම ගානක සම්බන්ධයක් ඇති බව ඇය විස්වාස කලා. ඔහු පෙර හෝ පසු ආත්ම භවයන් ඇති බවක් හෝ නැති බවක් ගැන තදින් විස්වාස කල අයෙකු නෙවෙයි. එහෙත් එක දවසක් ඔහු පැවසූ දෙයින් මට ඔහු ගැන පුදුම හිතුනා.

"මචන් මටත් හිතෙනවා අපි දෙන්නගෙ ආත්ම ගානක මොකක් හරි සම්බන්ධයක් ඇති කියලා. නැත්නම් ඇයි මට එයාව මේ තරම් දැනෙන්නෙ. මට මතකයි මන් එයාව පලවෙනි පාරට දැක්ක දවස. ආදරයක් කියලා හැඟිමක් එදා එයා ගැන මගේ හිතේ නොතිබ්බත් අනේ මන්දා බන්. එදා එයාව දැකපු ගමන් මට මොකද්ද වෙලා ගියා. හරියට මට කණට ගැහුවා වගේ. කණට ගහලා මේ කෙල්ල උඹේ කියලා කිව්ව වගේ"

ඔහු සැලසුම් මැව්වා. ඇයත් සමඟ ගෙවන අනාගතය ගැන ඔහු සැලසුම් මැව්වා. ඔහුගේ සිතේ ඇය ගැන තිබෙන ආදරය ගැන වෙලාවකට මටත් පුදුමයි. වෙලාවකට බොළඳ වෙලාවකට සංකීර්ණ නමුත් හැමවෙලේම ආදරණීය ඔහුගේ ආදරය ඔවුන්ගේ ජීවිත වලට අලුත් ආලෝකයක් එක් කලා. ඇගේ ආදරය ඔහුව ජීවත් කලා. ඔහුට මුලු ලෝකයම උනේ ඇය. ප්‍රශ්ණ වලින් මිරිකිලා විඩාවෙ උපරිමයටම ගිහින් ඉන්න මොහොතක ඇගේ එක වදනක් ඔහුව ස්වර්ගය වෙත ඔසවලා තිබ්බා. 

ඔවුන්ගේ ආදරය විස්තර කරන්නට හැකි තව වචන බොහොමයි. උපමා බොහොමයි. ඇය වෙනුවෙන් ඔහු කල කී දෑ වචන වලින් කීමට නොහැකි තරම් විශාලයි. ඔහු වෙනුවෙන් ඇය කල කී දේත් එලෙසමයි. මා ඔවුන්ගේ ආදරය දෙස මහත් ආශාවෙන් බලා සිටියෙ ඒ නිසාමයි.

එහෙත්.... කාලය මිනිසුන්ව වෙනස් කරන්නෙ කෙසේද යන්න ගැන මට කිසිම අවබෝධයක් තිබුනේ නෑ. මන් ඔබට දෛවයේ මුණ ගැස්වීම් ගැන උජාරුවෙන් පැවසුවා. ඒත් එක් දිනකින් පසුව ඒ උජාරුව මන් කෙරෙන් තුරන් වෙලා ගියා. මන් අදටත් මගෙන් ප්‍රශ්නයක් අසාගන්නවා.
"දෛවය අපිට ලබා දෙන්නෙ අපිට අයිති දේවල්මද?"

ඇයට යන්න අවශ්‍ය උනා. ඔහුගේ ආදරයෙන් මිදී තමන්ගේ ආදරය විනාශ කොට ඇයට යන්නට අවශ්‍ය උනා.
ඔවුන්ට එක් වීමට ප්‍රශ්ණ තිබුනු බව මමත් පිලිගන්නවා. එහෙත් ඒ කිසිඳු ප්‍රශ්ණයක් විසඳුම් රහිත ඒවා නොවුනු බව මට බය නැතුව කියන්න පුලුවන්.
එහෙත් ඇය බිය උනා. ඇය ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න බිය උනා. ප්‍රශ්නයෙන් පැන යාම ඊට වඩා පහසු මගක් බව ඇය සිතුවා. ඇය එක් දෙයක් අමතක කලා.
ආදරය කියන්නෙ එක විදියකින් එකිනෙකාට උදවු කරගැනීම. එකිනෙකාගෙ දුර්වලතා වලට සහයෝගයෙන් යුතුව විසඳුම් සෙවීම.

ඇයට මාලිගයක් අවශ්‍ය උනා. එහෙත් ඒ මාලිගය ඔහුත් සමඟ එකතුව ගොඩනගන්නට ඇයට අවශ්‍ය උනේ නෑ. එම මාලිගය ගොඩ නගන්නට ඔහුට දිරියක් වන්නටත් ඇයට අවශ්‍ය උනේ නෑ. ඇයට අවශ්‍ය උනේ තනා නිමකල මාලිගයක්. ඇයට බය නැතුව පය තබන්නට පුලුවන් ශක්තිමත් මාලිගයක්.
තරුණියක් විදියට ඇය බලාපොරොත්තු උන දේ ගැන මන් ඇයට සම්පූර්නයෙන්ම දොස් කියන්නෙ නෑ. ඇයත් නිවැරදියි. එහෙමත් නැත්නම් ඇය අසරණයි. ඇගේ සමාජය ඇය දෙස බලා සිටිනවා. ඇය ඔවුන්ට උත්තර බැඳිය යුතුයි. නමුත් ඇයට අමතක උනා ඇය දමා යන්නෙ ඇය වෙනුවෙන් මාලිගා දහසක් උනත් තැනීමට තරම් ආදරයක් දරා සිටින කෙනෙකු බව. ඔහුට අවශ්‍ය උනේ එක දිරිගැන්වීමක් පමණයි. 

එහෙත් අවසානයේ අනෙක් සියල්ල ඉදිරියෙ ඇයට ඔහුගේ ආදරය නොවටිනා දෙයක් බවට පත් උනා.

"මගේ ජීවිතේ හැමදේකදිම මන් එයාට දීලා තියෙන්නෙ පලවෙනි තැන. ඒත් එයාගෙ ජීවිතේ මට ලැබෙන්නෙ අන්තිම තැන"
ඔහුගේ වේදනාව ගැබ් උන වචන මට තවමත් සිහිපත් වෙනවා.

ඔහු රැඳෙන්න හේතු හොයද්දි ඇය යන්න හේතු හෙව්වා. කෙනෙක් යන්න තීර්ණය කලාට පස්සෙ එයාව නැවත රඳවගන්න බෑ. නමුත් අවාසනාව ඔහුට එය නොතේරුන එක. එහෙමත් නැත්නම් එය පිලි ගැනීමට තරම් හිත ගලක් කරගැනීමට ඔහුට නොහැකි වීම. ඔහු දිගින් දිගටම ඔහුගේ ආදරය වෙනුවෙන් සටන් කලා. එහෙත් ඇය ඇගේ සටන අතහැරලා තිබුනේ සටන පටන්ගන්නතත් කලියෙන්.

"එයාට යන්නම ඕනෙනම් එයාට යන්න දීපන්. උඹව වටින්නෙ නැති කෙනෙක් ගැන ඇයි උඹ ඔයි තරම් වදවෙන්නෙ. උඹේ ආදරේ නිකම්ම නිකන් වචනයක් විතරක් කියලා හිතන කෙනෙක් වෙනුවෙන් ඇය උඹ මැරෙන්න හදන්නෙ. උඹේ ආදරේ දැනෙන්නෙ නැති කෙනෙක් වෙනුවෙන් ඇයි උඹ උඹේ ජීවිතේ නාස්ති කරගන්න හදන්නෙ"
මන් ඔහුට කෙතරම් උපදෙස් දුන්නත් ඒවා මොලයට ඇතුළු කරගන්න තරම් දැඩි හිතක ඔහුට කවදාවත් ඉන්න පුලුවන් උනේ නෑ.

ඔහු හැමදාම මගෙන් ඇහුවෙ එකම එක ප්‍රශ්නයක් විතරයි.
"එයා කොහොමද බන් මෙහෙම හිත ගල් කරන් ඉන්නෙ?"

නමුත් අවසානයේ..... ඔහු ඇයට යන්න දෙනවා. ඔහුගේ ජීවිතයෙන් ඇයට නිදහස ලබා දෙනවා. ඇයට අවශ්‍ය වූ නිදහස. ඇගේ සතුට ඇත්තෙ ඔහු ඇගේ ජීවිතයෙන් සමු ගැනීම තුලනම්, ඔහු තව දුරටත් ඇගේ ජීවිතයට වදයක් වෙමින් සිටීමේ තේරුමක් නෑ. ඔහු ආයාසයෙන් හෝ එය වටහා ගන්නවා. අඩුම ගනනෙ ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු හෝ අද සතුටෙන්.

මෙය සමාජයේ නිතර දැකිය හැකි තවත් එක කතාවක් පමණක්යැයි ඔබ සිතනවා ඇති.
"අපෝ ඕවා කොයි තරම් වෙනවද?"
"මොකද්ද මේ කතාවෙ තියෙන අමුතු විශේෂත්වෙ?"
"මේක මේ සාමාන්‍ය කතාවක්නෙ"
"අයියෝ ඕවනම් අපිටත් වෙලා තියෙන්නෙ"
"කොයි කාටත් වගේ වෙන නෝමල් දේවල්නෙ ඉතින් මේවා"
මෙවැනි දහසක් දේවල් ඔබෙ හිතේ ඇති වෙනවාට කිසිඳු සැකයක් නෑ. මන් ඒ ගැන ඔබට දොස් කියන්නෙත් නෑ. මොකද ඇත්තෙන්ම මෙයත් එක්තරා සාමන්‍ය කතාවක් පමණයි.
ඒත් මන් අද ඔබට මේ කතාව කිව්වෙ හේතුවක් ඇතිව. මොකද මෙවැනි කතා සමාජයේ බහුලයියැයි හඬ නගන ඔබ, කිසි දිනෙක තවත් මෙවැනි කතාවක් ඇති නොවීමට කිසිඳු උත්සහයක් නොගන්න නිසා. 
ඔහුගේ වේදනාව මන් දුටුවා. යහළුවෙක් විදියට ඒ වෙනුවෙන් මට කල හැකි එකම දේ වුනේ ඔහුට ඇහුම්කම් දීම විතරයි. ඇගේ යෙහෙළියක් ඇය වෙනුවෙන් කුමක් කරන්න ඇද්ද? ආදරයක් ඇති කරගැනීම පහසුයි. ඒත් එය පවත්වාගෙන යෑම අසීරුයි. යහළුවන් යෙහෙළියන් විදියට අපිට වගකීමක් තියෙනවා. ආදරයක් ඇති කරන්නටත්, නැති කරන්නටත් අපගේ යාලුවන්ගේ දායකත්වය ඉතා දැඩිව බලපානවා. මන් ඔබට මේ කතාව කිව්වෙ අන්න ඒ හේතුව නිසා. ඔබත් කාගෙ හෝ යහළුවෙක්, යෙහෙළියෙක්. ඔබේ වචන ඔබේ යහළුවාගේ යෙහෙළියගේ ජීවිතයට බලපන්නේ කුමන අකාරයෙන්ද යන්න තවත් වරක් සිතා බලන්න.

දෛවය... සෑම විටම එය අපව අතරමන් කරනවා. හමුවීම්, වෙන්වීම්. සැබැවින්ම දෛවයට අපෙන් අවශ්‍ය දේ කුමක්ද? දෛවය විසින්ම මුණගස්සවලා දෛවය විසින්ම වෙන් කරවනවා. ඒ අතරමැද හිරවෙන මිනිස් හැඟීම් ගැන දෛවයට කිසිම අවබෝධයක් නෑ.  ඇත්තටම ඔවුන්ගේ හමුවීම අර්ථවිරහිත එකක්ද?

බිමට යොමාගත් විඩාබර දෑසින් යුතුව ඔහු කොලයක කුමක්දෝ කුරුටු ගාන අයුරු මන් දුටුවා. මන් ඒ කොලයට එබුනා. එය පුංචි කවියක්

ඔබ එනතුරු සිටියා මම              බලාගෙන
ඔබ ගිය මග දෙස මගෙ නෙතු    යොමාගෙන
කොපමන බලා සිටියත් නෙත්       අයාගෙන
ඔබ එන්නෙ නැහැ යලි මා         සොයාගෙන

"එයා ආයෙ එන්නෙ නැති බව දන්නවනම් ඇයි තවත් බලන් ඉන්නෙ?"
මගේ ප්‍රශ්ණෙට ඔහු කොලේ දිහා බලාගෙනම උත්තර දුන්නා.

"මොකද මන් තාමත් එයාට ආදරේ නිසා"

Tuesday, March 4, 2014

හෙට...


දෙගුරුන් සනසවා
තම සෙනෙහෙ සඟවා
සිතක දුක් පුරවා
කුමරි යාවිද
මුදුව පලඳා

Wednesday, February 19, 2014

එක නිමේශයෙන්

කල්පාන්තය එනතුරා
සිටීයැයි ලඟ දිවුරලා
එක නිමේශයෙන් නුඹ
ඇදි ගිහින් දුර
ඈතක සැඟවීලා

මගේ උර මත හිත තබා
නිදා උන් හැටි නෙතුපියා
මතක පමණක් මට තියා
ඔබ කොහේද ඈතක ඉගිලිලා

ඔබේ ලැමැදේ මා හොවා
සුවය දෙන බව මුමුණලා
වචන පමණක් මට තියා
ඔබ මගේ සිහිනෙන් පියඹලා

Wednesday, February 12, 2014

ඔබට ආදරෙන්...

හුරතල් හිනාව ඔබේ
මත මුව තබමින් මගේ
ඉන්න දෙන්න මුලු දිවිය පුරාවට
විඳිමින් ආදර සුවේ

හීන කන්ද හිත් ලොවේ
නෙතු අභියස හැඩ මැවේ
ඔබට තුරුළු වී සෙනෙහස විඳිනට
ආශාවන් ගොඩ ගැහේ

තාලෙට හැඬවෙන හදේ
නාදය සවනේ වැදේ
ඔබටම පුද දුන් පෙම් සිත අරගෙන
තුරුලෙම ඉන්නට සිතේ

Friday, January 3, 2014

ස්ත්‍රී ලිංග

"තාත්තී... වේගෙ වැඩියි නේද?"
පාර දෙපසෙ දැල්වුන වීදි ලාම්පු එලි වේගයෙන් පිටිපස්සට යනවා. අතුරුපාරක් නිසා පාරේ වෙන එක වාහනයක්වත් නෑ. වේගය ගැන හැඟීමක් මට තිබුනේ නෑ. නිදහස් මාවත දිගේ ඔහේ ඇදෙන්න මන් වාහනය දිරිගැන්නුවා විතරයි. මම මුවේ රඳවගත්ත පුංචි හිනාවකුත් එක්ක ඇය දෙසට ඔළුව හැරෙව්වා.

"තාත්ති අපිට හදිස්සියක් නෑ. අපි ගෙදරනෙ යන්නෙ"
හිතේ පොදි ගැහුනු මොනවදෝ ලොකු බරවල් ගොන්නක් දකුණු කකුල හරහා ඇක්සලේටරය මත පැටවිලා.

"දූට බයද? මන් ඇහුවෙ ඇසිය යුතු ප්‍රශ්ණයක්ද යන වගක්වත් මට තිබුනෙ නෑ.

"තාත්ති මෙහෙම වේගෙන් ඩ්‍රයිව් කරනවා මන් කවදාවත් දැකලා නෑ ඒකයි."
"මගේ ජීවිතේ ඇතුලේ වේගය තිබ්බනම් මන් අද ගොඩක් වෙනස් මිනිහෙක්නෙ දූ"
ඇය මොහොතක් ජනෙල් වීදුරුවෙන් එහා පෙනෙන අඳුර මත දෑස් රැඳෙව්වා. ඊ ලඟ මොහොතෙ ඇය නැවත කතා කලා.
"මන් දන්නවා අද දවස තාත්තිගෙ ජීවිතේ ලොකු දවසක් කියලා. තාත්ති අද ගත්තෙ රයිටර් කෙනෙක් විදියට ගන්න පුලුවන් ඉහලම සම්මානෙ"

"ඒත් මේ සම්මානෙ මට ලොකු බරක් දූ"

ටික වෙලාවක් යනකම් වාහනය තුල තිබ්බේ නිහඬතාවය විතරයි. ඒත් ඒ නිහඬතාවය මැද දහසක් වචන අපි දෙන්නගෙ හිත් හරහා එහා මෙහා ගියා.

"තාත්ති මේක නේද අතීතෙට සමු දෙන්න හොඳම වෙලාව." ඇගේ ප්‍රශ්ණයට දිය හැකි පිළිතුරක් හොයමින් මගේ හිත ගැඹුරටම කිමුදුනා. ඒත් අවසානයයේ සුපුරුදු විදියටම සිනාවකින් පමණක් මගේ පිළිතුර අවසන් උනා.
"තාත්තිගෙ මුලු ජීවිතේම මේ පොත ඇතුලෙ තියෙනවා. තවත් ඔයා ඔවා ඔලුව ඇතුලෙ හිර කරන් ඉන්න ඕනෙ නෑ තාත්ති."
පොත් වල ලියන්නට තරම් ලස්සන වචන මගේ හිතේ කොච්චර තිබ්බත් ඇයට උත්තර දෙන්න සුදුසු වචනයක් හොයාගන්න මට අපහසු උනා. මන් නිශ්ෂබ්දවම ඈත පේන වීදි ලාම්පු වල එලිය මත දෑස් හිර කරගත්තා.

"සමහරු කියනවා මේ පොතේ තියෙන්නෙ ඔබේ ජීවිත කතාව කියලා. ඒක ඇත්තක්ද? සම්මාන ප්‍රධානෝත්සවය ආරම්භ කරන්නට පෙර මා වට කරගත් මාධ්‍යවේදීන් අතරින් කෙනෙක් ඇසූ ප්‍රශ්ණය නැවත මගේ හිස තුල දෝංකාර දෙන්න පටන් ගත්තා.
"අපි හැමෝම අතින් ලියවෙන්නෙ අපේ ජීවිත කතා තමයි පුතා. අපි කාටවත් එතනින් පැනලා යන්න බෑ." කෙටි වක්‍ර උත්තරේකින් ඒ ප්‍රශ්ණෙන් ගැලවුනත් අවට සිටි කිසිවෙකුත් ඒ පිළිතුරින් සෑහුන බවක් ඔවුන්ගේ මුහුණු වල පෙනෙන්නට තිබුනේ නෑ. ඔවුන් ඊට වඩා දෙයක් මගෙන් බලාපොරොත්තු උනා. මගෙන් ලැබෙනවාට වඩා වැඩියමක් බලාපොරොත්තු උන අය මගේ අතීතයේත් සිටියා. ඒ නොසිටින්නට මේ පොත නොලියවෙන්නටත් තිබුනා.

"තාත්ති මන් ආසම පොතේ මෙන්න මේ කෑල්ලට" මන් පාරට යොමුවෙලා තිබුනු දෑස් ඇය දෙසට හැරෙව්වා. ඇය පොතේ එක්තරා පිටුවක් පෙරලගෙන ආසවෙන් එය කියවනවා.
"හයියෙන් කියවන්න බලන්න" මගේ ඉල්ලීමෙන් ඇය එම අකුරු වලට ඇගේ ලාලිත්‍ය හඬ මුසු කලා.
"අප ජීවත් වන්නේ ස්ත්‍රී ලිංගික ලෝකයකැයි විටෙක මට සිතේ. එය එසේ නොවිනිනම් පුරුෂාධිපත්‍යය රජයන සමජයක් තුල පවා ස්ත්‍රී බලපෑම මෙතරම් දරුණු නොවනු ඇත. ආදරට අක්ශයක් කොටගෙන ලෝකය භ්‍රමණය වන කල්හී ......."
ඇගේ වදන් සමඟ මගේ හිත ආයෙත් අතීතයට ඉගිල්ලුනා.

"මට වෙලාවකට හිතෙනවා මචන් අපි මේ ජීවත් වෙන්නෙ ස්ත්‍රී ලිංගික ලෝකෙක කියලා" අවුරුදු විසි ගණනකට පමණ පෙර මගේ බෝඩින් කාමරයේ සිටි මගේ මිත්‍රයාට මන් එහෙම කිව්වම ඔහු මන් දිහා පුදුමෙන් වගේ බලන් හිටියා,

"මොකද උඹ එකපාරටම එහෙම කියන්නෙ?"

"නෑ බලපන්. ලොකෙට කියන තවත් නමක් තමයි මිහිකත. ඒකත් ගෑනු නමක ආදෙශයක්. එතකොට බලපන්. කොච්චි ගත්තත් නැවු ගත්තත් ප්ලේන් ගත්තත් කියන්නේ ඇය කියලා. තියෙන්නෙ ගෑනු නම්. ඒ අස්සෙ මෙච්චර මේ නහින්න හදන්නෙත් ගෑනු නිසානෙ බන්. අපි උන් කියන කියන විදියට නටනවා. අන්තිමේ උන් හරිම ලේසියෙන් හැම දෙයක්ම අමතක කරනවා. පිරිමි පිදියට අපි කොච්චර පම්පෝරි ගැහුවත් අන්තිමේ අපි හැමෝම ස්ත්‍රී ලිංගයක් ඉස්සරහා දෙකට නැවෙනවා."

තව කියන්න දේ තිබ්බත් මිතුරාගේ හිනා හඬත් එක්ක මන් ඒ ටික නැවත ගිලගත්තා.
"මට තේරෙනවා සනා උඹ කියන දේ. බූට් කෑවම ඔහොම තමයි. "
ඔහුත් එක්කම නැවත හිනාවෙනවා විනා එදා මට කල හැකි වෙන දෙයක් තිබුනේ නෑ.

"මොකද තාත්ති ඒ පාර තනියම හිනාවෙන්නෙ. " ඇගේ හඬ ඔස්සේ කල්පනා ලෝකය කරා ගිය මගේ හිත ඇගේ හඬ ඔස්සේම නැවත පියවි ලෝකයට පැමිණියා.

"නෑ දුව මට මතක් උනා ඔයා දැන් කියවපු වචන වල ඉතිහාස කතාව."

"තාත්තිට නිකමටවත් අම්මිව මතක් වෙන්නෙ නැද්ද?"
"අමතක වෙන්න මන් මැරිලා ඉපදුනේ නෑනෙ දූ. ඒත් ඔයා අහන ප්‍රශ්ණෙ සැබෑ අරුත අරගෙන උත්තර දුන්නොත්නම් උත්තරේ තමයි... නෑ."
"ඔයානම් රයිටර් කෙනෙක්ම තමයි තාත්ති. මටත් දෙන්නෙ පොත් වල ඩයලොග්"
"අන්න අන්න ඔයා වරද්දගත්ත තැන. ඔයා විතරක් නෙවෙයි දුව, තව කෙනෙකුත් වරද්දගත්ත තැන"
මම අතුරු පාරෙන් වාහනය ප්‍රධාන මාර්ගයට හැරෙව්වා.

"ඔයානම් නියම නළුවෙක්. ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. ඔයාගෙ අඟේම ඇක්ටින් තියෙනවා" මගේ ජීවිත කතාවේ ප්‍රධාන චරිතය. ඒ ඇගේ වචන. මන් කියන දේවල් අවසානයේ ඇගේ ඒ වචන ටික අහන්න ලැබුනේ වරක් දේවරක් නෙවෙයි.
"මන් මොකටද දෙයියනේ ඔයා ඉස්සරහ රඟපාන්නේ. මන් කියන්නේ ඇත්ත."
සමහරවිට මන් කියූ දේවල් නිවැරදි බව ඇයත් දැන ඉන්නට ඇති. මගෙන් වෙන්වීමට ඈ තුල තිබූ පෙලඹවීම මත ඇය එසේ කටයුතු කරන්නට ඇති.
මුදල්, තත්වය, බලය ආදරයකට එරෙහි වද්දි එදා මට වෙන කල හැකි දෙයක් තිබුනේ නෑ.
මන් ඇයත් එක්ක හුඟක් තරහයි. ඒ වගේම තාමත් ඇයට හුඟාක් ආදරෙයි.

"ඒ උනාට මන් කියන්නෙ තාත්තිට තව ටිකක් ඉවසන්න තිබ්බා කියලා. එයා කේන්තියට කතා නොකර හිටියා කියලා ඔයත් එහෙමම හිටපු එක වැරදියි" මගේ සිතිවිලි ගිය දිශාව දුවට තේරිලා.
"වැරදියිද හරිද කියන්න මන් තාම දන්නෙ නෑ දූ. එයාට ඕන උනේ අයින් වෙන්න. ඒකට එයා හේතු හෙව්වා. දුවන්න හේතු හොයන කෙනෙක්ව මන් කොහොමද දූ බැඳලා නවත්තලා තියාගන්නේ. "
ඇගෙන් ඉක්මන් පිළිතුරක් නොලැබුන නිසා මන් ආයෙ කතා කලා.
"කෙල්ලෙක් වෙලා එයා ලේසියෙන් හැමදේම අතඇරලා ආයේ යතා තත්වයට ආවා. ඒත් කොල්ලෙක් වෙලා මන් වින්ද දුක ඔයාට මන් කියලා තියෙනවනෙ දූ. මන් ඒකයි කියන්නෙ කෙල්ලො හරිම ලෙසියෙන් අත අරිනවා. ඒ ස්ත්‍රී ගතිය. එයාට  බැරි උනා නිකමට මන් ඉන්නවද නැද්ද කියලා හොයලා බලන්න. එහෙම වෙලත් මන් ආයෙ ආයෙ එයා ගැන හෙව්වා බැලුවා. එයා ගැන තරහක් හිතේ ඇතිකරගන්නවා ඇරෙන්න වෙන විසඳුමක් මට පෙනුනෙ නෑ."
"හ්ම්ම්." ඇය දිගු සුසුමක් පමණක් වා තලයට මුදා හැරියා.
මොහොතකට පස්සෙ ඇය නැවතත් මගේ පොතේ තවත් පිටුවක් දිග හැරියා.
"මගේ ජීවිතය දෙයාකාරයකින් වෙනස් කල තරුණියන් දෙපලට" ඇය පොතේ පිදුම මට ඇසෙන්න කියෙව්වා.

"මන් කවදාවත් එහෙම ජීවිතයක් ගෙවන්න බලාපොරොත්තු උනේ නෑ දූ. මගේ ජීවිතේ හැම මිලිමීටරයක් ගැනම මන් දුවට කියලා තියෙනවා. ගෑනු අස්සෙ හිරවුනු සල්ලාල ජීවිතයක් තරම් මන් පිලිකුල් කරපු දෙයක් තවත් තිබ්බෙ නෑ. ඒත් අන්තිමේ එයා ගියේ මාව එහෙම ජීවිතේකට කොටු කරලා."
"තත්ති හැමදාම සම්පූර්ණ වරද එයාගෙ පිටට දාලා අයින් වෙනවා නේද? ඇය එවර කතා කරන්නෙ මගේ දෑස් මග හරින්න උත්සහා කරමින්.

"මාත් වැරදි ඇති. ඒත් ආදරය කියලා දෙයක් ලොකේ නෑ කියලා දැනෙද්දි මන් වෙනුවෙන් බලන් ඉන්න කෙනෙක් ලෝකේ නෑ කියලා දැනෙද්දි  එදා මන් හැසිරුන විදිය ගැන මට පුදුමයක් දැනෙන්නෙ නෑ. අන්තිමේ මන් සල්ලි තත්වය බලය ගැන විතරක් හිතලා කසාද බඳින්නේ ඒ වෙද්දි මට ලොකේ වටිනාකමක් දැනුන එකම දේවල් උනේ දේ දේවල් විතරක් නිසා. ඒත් දුව ඉපදුනු දවසෙ දුවගෙ මූණ දකිද්දි ඒ හැම දේම ආයෙත් පාරක් වෙනස් උනා."

කාලෙකට පස්සේ සුපුරුදු ආවේගයම. එකක් පිටිපස්සෙ නොනැවතී වේගයෙන් එලියට එන වචන කන්දරාවක්.

"මේ මාතෘකාවට ආපු ගමන් තාත්ති හරියට ගිරවෙක් වගේ." ඇය සිනාසෙමින් කිව්වෙ විහිලුවක් ඔස්සේ කතාව මදක් සුමට කිරීමට වෙන්න ඇති.

කාලයක්ම මන් කෙනෙක්ට ගිරවෙක් වෙලා හිටියා. ජීවිත කාලයම ඒ කෙනාට ගිරවෙක් වෙන්න මට ඕන කලා. ඒ ගිරාකමට ඇය හුඟක් ආස කලා. ඒත් අන්තිමේ ඒ එලියට ආපු වචන හැම එකක්ම නිකම්ම නිකන් හිස් වචන ගොඩක් බවට පත් උනා. 

"වෙලාවකට මන් කියවනවා වැඩියි නේද?" ඔහේ කියවගෙන කියවගෙන ගිහින් මන් අන්තිමට කියද්දි එයා ඇස් දෙක පුංචි කරලා හිනාවෙනවා. මන් ලොකේ දැකපු ලස්සනම හිනාවෙන්.
"ඔයාට අහන් ඉඳලා එපා වෙනවත් ඇති." ඇගේ ඒ හුරතල් හිනාව දිහා බලාගෙන මන් ඔය වචන ටික දහස් වාරෙකට වඩා කියලා ඇති.
"කවදාවත් නෑ. අහන් ඉන්න ඕන නිසානෙ මන් ගිරවෙක් හොයාගත්තෙ" ඒ හැම වාරෙකම මන් එයාගෙ මුවින් ඇසුවෙ ඒ වචන ටික.

"දුව වචන කියන්නේ හරිම හරිම ප්‍රභල දෙයක්. වචන ප්‍රභල වෙන්නෙ ඒවට හැඟීම් මුසු උනාම. මගේ පොත් වල තියෙන්නෙ හැඟීම් මිශ්‍ර උන වචන කියලා මන් විශ්වාස කරනවා. ඒකයි මිනිස්සු මගේ පොත් වලට මේ තරම් කැමති උනේ. කතෘගේ ජීවිතය කොයි තරම් නරකාදියක් උනත් මිනිස්සු මගේ පොත් වලින් එයාලගෙම ජීවිත කියෙව්වා. අන්තිමේ මන් මගේ ජිවිතේ වචන වලට පෙරළුවා. රයිටර් කෙනෙක් විදියට මට ලැබෙන්න පුලුවන් ඉහලම සම්මානේ මට ලැබුනේ අද නෙවෙයි දුව. පොතේ පලවෙනි පිටපත ඔයා කියෙව්ව දවසෙ."

ඇය මගේ වම් උරය මතින් ඇගේ සුරත තිබ්බා.

"අම්මියි තාත්තියි ඩිවෝස් උන එක ගැන තාමත් මන් සතුටු වෙන්නෙ නෑ. ඒත් තාත්තා එක්ක ඉන්න මන් ගත්තු තීරණය ගැන මන් තාමත් සතුටු වෙනවා තාත්ති."
ඇගේ පුංචි උන ඇස් දිහා මන් ආදරෙන් බැලුවා.
"කළාකාරයෙක් උනාම එක පාරක් ඩිවෝස් වෙන්න ඕනමලුනේ දූ" කලකට පෙර මගේ ජීවිතේ ප්‍රධාන චරිතය මට කිව්ව වචන ඒ විදියටම මන් දුව ඉස්සරහ දිග හැරියා.

පාර අයිනේ වීදි පහන් කණුවක් පාමුල සිටගෙන සිටින තරුණියක් විමසිල්ලෙන් පාර දිහා බලාගෙන. වාහනය වේගයෙන් ඇයව පහු කරන් යද්දි මන් ආයෙත් ටිකක් හැරිලා ඒ දිහා බලුවා. ඇගේ පිටුපසත් කතාවක් ඇති. සාධාරණ හෝ අසාධාරණ කතාවක්. ඒත් ඒ හැම කතාවක්ම කතාවෙ අයිතිකාරයාට අනුව සාධාරණයි. නමුත් ඔයි කතා ඔක්කොම අවසානයේ නතර වෙන එක තැනක් තියෙනවා. ඒ තමයි ලිංග බේදය. ලෝකය ආදරය කියන අක්ශය වටා කැරකැවෙද්දි ලිංගිකත්වය කියන්නෙ හරියට අක්ශාංෂ දේශාංෂ වගේ.  ලෝකයේ වැඩි බලයක් පිරිමින්ට හිමි වෙලා තියෙද්දි ඒ හැම පිරිමියෙක්ම ගැනියෙක් ඉස්සරහා කඩා වැටෙනවා. මේ ලෝකේ ස්ත්‍රී ලිංගික ලෝකයක් වෙන්නෙ ඒකයි.

"ඇයි ඔබතුමා මේ පොතට ස්ත්‍රී ලිංග කියන නම දැම්මේ. ඒක පාඨක ආකර්ශණය වැඩිපුර දිනාගැනීම සඳහා පමනක් කරපු බාල උපක්‍රමයක්ද? තරුණ මාධ්‍යවේදිනිය මයික්‍රෆෝනය මාවෙත දික් කරගෙන අහද්දි වටේ හිටිය හැමෝම ඒකට උත්තරේ බලාපොරොත්තුවෙන් ඔවුන්ගේ ලොකු කරගත් දෑස් මගේ පැත්තට දිගු කරගෙන හිටියා.
"මන් මිස්ගේ ආටිකල් කියවලා තියෙනවා. ඒවට මිනිස්සු හරි කැමතියි නේද. ගොඩක් හොඳයි. හැබැයි ඒ ආකර්ෂණය මිස්ට ලැබුනේ මිස් ස්ත්‍රී ලිංගයක අයිතිකාරයෙක් උන නිසා විතරක්නම් මිස් අහපු ප්‍රශ්ණෙට මගේ උත්තරේ ඔවු."
මගේ උත්තරෙත් එක්ක වටේ හිටිය හැමෝගෙම මුහුණු හැකිලෙද්දි මගේ දුව විතරක් සිනාසෙමින් සිටිනු මන් දැක්කා.

"ඇයි දුව අර වෙලාවෙ දුව හිනා උනේ" ඒ වෙලාවෙ ඉඳන් හිතේ හිරකරගෙන හිටිය ප්‍රශ්ණෙ මන් එලියට අතහැරලා දැම්මා.

"කොයි වෙලාවෙද තාත්ති"

"අර පොතට නම දැම්මේ ඇයි කියන ප්‍රශ්ණෙට මන් උත්තර දෙද්දි"
ඒ වෙලාවෙ ඇගේ මුහුණේ ඇඳුන හිනාව වගේම හිනාවක් දැනුත් ඇගේ මුහුණේ ඇඳිලා. මන් තවත් ඇගේ මුහුණට එබුනා. ඇය සිය උකුල මත තිබු පොත වසා දමුවා.

"මාත් ස්ත්‍රී ලිංගයක අයිතිකාරයෙක් නිසා තාත්ති"

දකුණු කකුළ මත පැටවුනු බර සෙමෙන් අඩුව යද්දි වාහනයේ වේගය ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගත්තා.