Wednesday, March 29, 2017

"කුඩේ කුඩු" වූ වගයි!


ඩ්‍රාමා උණ පටන් ගත්තෙ ඉස්කෝලේ යන කාලෙ. එතකොට මන් ගියේ ගාල්ල, කිතුලම්පිටිය ආනන්ද මහා විද්‍යාලයට. සමිති රැස්වීම් වල පොඩි පොඩි නාට්ටි කෑලි කර කර ඒ උණ යන්තම් යන්තම් හොඳ කරගත්තා. පාසල් මට්ටමින් ගිය නාට්ටි වලට සම්බන්ධ වෙන්න පුලුවන් උනත් අපේ ඉස්කෝලෙ ජාතික පාසලක් නොවුන නිසා තිබ්බ බාධක නිසාද කොහේද ඩ්‍රාමා පැත්තෙන් ලොකු දෙයක් ඉස්කෝලෙන් උනේ නෑ. වේදිකාවෙදි ප්‍රසිද්ධ පුද්ගලයෙක්ගෙන් ලැබුන පළවෙනි කමෙන්ට් එක හම්බෙන්නෙ එහෙම පාසල් මට්ටමින් ගිය නාට්ටියකදි ලයනල් රන්වල මහත්මයගෙන්. එකෙන් තිබ්බ උණ වැඩි උනා උනත් ඒ උණට හරි හමන් බේතක්නම් හම්බවෙන්නෙ නෑ. ඒත් මට මතකයි විද්‍යාපීඨ පුහුණු ගුරුවරයෙක් විදියට වසරක කාලායකට අපේ ඉස්කෝලට ආපු "සම්පත් සර්" අපිව පලාත් මට්ටම දක්වා අරන් ගියා. ඒ වෙද්දි මම 9 වසරෙ වගේ පොඩි කොලු ගැටයා.  ඒත් ඒ අවුරුද්ද සුරුස් ගානකොට ගෙවිල ගිය නිසා එතනින් එහාට ආයෙ අපේ ගමන නැවතුනා. ඊට පස්සෙ 11 වසරේ මුල් භාගයේදි ගාල්ල මහින්ද විද්‍යාලයට යෑමත් එක්ක නාට්ටි කෙරුවාව සම්පූර්ණයෙන්ම අයින් වෙලා ගියා. උසස් පෙලට තෝරගත්තෙත් විද්‍යා විශයන් නිසා ඒ පැති ගැන හිතන්න පවා ඔලුව නිදහසක් ලැබුනේ නෑ. ඉතින් නාට්‍ය කළාව ගැන කිසිම විදියක විධිමත් දැනුමක් ලබාගන්න හැකියාවක් ලැබුනත් නෑ.

ඒ දේවල් ඒ විදියට උනත් දන්න කාලෙ ඉඳලම ඔලුව ඇතුලේ කැකෑරි කැකෑරි එලියට එන්න දඟලපු නාට්ටි හීනෙනම් කිසිම අඩුවක් උනේ නෑ. "කවදම හරි ස්ටේජ් ඩ්‍රාමා එකක් කරනවමයි" අරමුණ දවසින් දවස ඝනව වැඩුනා. වතාවක් දෙකක් ඊට සුදුසු දැණුම ලබාගන්න අවශ්‍ය පසුබිම් සැකසුනත් දෛවයේ සරදමක් නිසාදෝ ඒ හැම අවස්ථාවක්ම අවාසනාවන්ත විදියට ගිලිහිලා ගියා. ගුරුවරයෙක් විදියට පිහිටට හිටියේ නරඹන්න ලැබුන අතලොස්සක් වේදිකා නාට්‍ය කිහිපයක් විතරයි. හීනයේම කොටසක් වන චිත්‍රපට අධ්‍යක්ෂණය ගැන වැඩි අවධානයක් යොමු කරන්න පෙලඹුනේ ඒ හේතුව නිසාමයි. පර්යේශණාත්මක කෙටි චිත්‍රපට කීපයක් නිර්මාණය කරමින් හෙමින් හෙමින් වතුරට බැහැගෙන ආවත් ඒ දේවල් පවා සීමා වෙන්නෙ ආර්ථික බාධක හැමදේකටම හරස් කපපු නිසයි.

2013 වසර විශේෂ වසරක්. රූපවාහිනි මාධ්‍යය තුල ටෙලි නාට්‍ය හා සම්බන්ධව කටයුතු කරන්න ලැබෙන්නෙ අහම්බෙකින් වගේ. සහාය අධ්‍යක්ෂකවරයෙක් විදියට, නළුවෙක් විදියට විවිධ නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙන්න ලැබුනත් 2013 වසර අවසානයත් එක්ක ඒ සියල්ලත් අවසන් වෙන්නෙ හේතූකාරනා කීපයක්ම නිසා.  

එතැන් පටන් ගත වෙන්නෙ හීනයේ මංපෙත් වලින් තරමක් ඈත් වෙච්ච වෙනස්ම විදියක නිහඬ ජීවිතයක්. කිසිදිනෙක බලාපොරොත්තු නොවුන රජයේ රස්සාවක, ජීවිතේ ආර්ථික ශක්තිය හොයමින් කරන සටන්කාමී කාල පරිච්චේදයක්. 

කාතාව ආයෙ වෙන පැත්තකට අරන් යන්න වෙනවා. වෙන පැත්තකට වගේම ආයෙමත් තව අතීතයට. ශ්‍රී ලංකා HBS සංවිධානය වසර 18ක පමණ කාලයක් තිස්සේ ලංකාව තුල ක්‍රියාත්මක වන බෞද්ධ සංවිධානයක්. 2006 වර්ශයේදි මට අවස්ථාව ලැබෙනවා HBS සංවිධානයත් එක්ක සම්බන්ධ වෙන්න. එතැන් පටන් මම සංවිධානය තුල ක්‍රියාකාරී සාමාජිකයෙක් බවට පත් වෙනවා. අද වෙද්දි මම HBS සංවිධානයත් එක්ක එකතු වෙලා අවුරුදු 11ක් . මේ අවුරුදු 11 පුරාවට මගේ ජීවිතේ සිදු උන සියලූම දේවල් පිටිපස්සෙ මේ සංවිධානය තිබුනා කිව්වොත් මම නිවැරදියි. මා පිළිඹඳව පෞද්ගලිකව දන්නා සියල්ලන් ඒ ගැන හොඳින්ම සාක්ශි සපයාවි. පෞර්ෂය, රස්සාව, විවාහය.... මේ එයින් ප්‍රධාන දෙක තුනක් විතරයි. දැන් ආයේ ප්‍රධාන කතාව දෙසට හැරුනොත්, ක්ශීන වෙමින් යමින් තිබුන කලා හීනයට ආයෙමත් පණ පොවමින් මා තුල තිබූ යම් යම් හැකියාවන් එලියට ගේන්න විශාල අත්වැලක් උනේත් මේ HBS සංවිධානයමයි. 
"දවසක ඩ්‍රාමා එකක් කරමු" මගේ අරමුණ, මගේ හීනය HBS සංවිධානය ඔවුන්ගේ එකක් කරගත්තා. කිසිවෙකුත් අත නොදෙන මොහොතක ඔවුන් ඒ බර ඔවුන්ගේ මත පටවගත්තා.

"කුඩේ කුඩු" වේදිකා නාට්ටිය සඳහා පිඹුරු පත් සකස් වෙන්නෙ ඒ විදියට. වැඩේට මුල් අඩිය තියන්නේ ඉස්සහට මොනවා වෙයිද කියලා කිසි දෙයක්  නොදැන. හැබැයි මොන දේ උනත් නොනැවතී ඉස්සරහට යනවා කියන අරමුණ විතරක් අපේ ඔලුව ඇතුලේ තිබ්බා. මම නවකයෙක්. වේදිකා නාට්‍ය ගැන කිසිම විධිමත් අධ්‍යාපනයක් නොලබපු කෙනෙක්. මීට කලින් ප්‍රසිද්ධ වේදිකාවක කිසිම නිර්මාණයක් නොකල කෙනෙක්. මන් ඉස්සරහා තිබුනෙ ලොකු අභියෝගයක්. ඒත් HBS සංවිධානය මාව විශ්වාස කලා. ඒ විශ්වාසයම මට ලොකුම හයිය උනා.

සතියක් ඇතුලත තිරපිටපත ලියැවුනා. ඒ ලියන අතරතුරේම HBS සංවිධානයේ සාමාජික සාමජිකාවන් අතුරෙන් තෝරාගැනීමේ පරීක්ශනයක් සිදු කලා. අවශ්‍ය කරන නලු නිළියන් එයින් තෝරාගැනුනා. තවත් අලුත්ම පිරිසක්. අභියෝගය තවත් තීව්‍ර උනා. පිටපත ලැඟුම් පාලක මණ්ඩලයට යොමු කරලා එහි අනුමැතිය ලබාගන්න ඕනෙ බව දැන්ගත්තෙ කණාවට වගේ. පේනවනෙ දැණුමේ තරම. ලහි ලහියේ ඒ කටයුත්තත් සිදු කරලා ඔවුන්ගේ අනුමැතිය අරගත්තා. පුහුණුවීම් ඇරඹුණා.

සම්පූර්ණයෙන්ම නවක පිරිසක්!!! 
අභියෝග රාශියක්!!! 
නමුත් එකම අරමුණක්!!!

මාස දෙකක් පුරාවට සියල්ලන්ගේම ජීවිතය උනේ ඒ අරමුණ විතරයි. 
මමද ඇතුලුව මුලු කණ්ඩායමම බින්දුවේ සිට සෙමෙන් ගොඩනැගෙන විදිය දකිද්දි තියෙන ධෛර්‍ය තව තවත් දළුළා වැඩුනා. ඔවුන් කිසිවෙකුත් මුදල් අපේක්ෂාවෙන් පැමිණි අය නෙවෙයි. කිසිම විදියක පෞද්ගලික ප්‍රතිලාබ බලාපොරොත්තුවෙන් පැමිණි අය නෙවෙයි. මුදල්, කාලය, ශ්‍රමය සියල්ල කැප කරමින් ඔවුන් පැමිණියේ HBS සංවිධානය වෙනුවෙන්. ඔවුන්ගේ උත්සහයේ වටිනාකම වැඩි වෙන්නෙ ඒ හින්දමයි.

දිනය : දෙදහස් දාහතේ මාර්තු මස 26 වන ඉරිදා......
ස්ථානය : කොළඹ නව නගර ශාලාව
වෙලාව : සවස 3.30

අවුරුදු ගානක, මගේ සිහිනය.....
අවුරුදු ගානක, සංවිධානයේ දිරිගැන්වීම......
මාස දෙකක, නාට්‍ය කණ්ඩායමේ අඛණ්ඩ කැපවීම......

සියල්ල මල්පල ගැන්වුනා.
වේදිකාව මත ආලෝක කදම්බ මගේ මුහුණට එල්ල වෙද්දි මගේ මුලු ආත්මයම ආලෝකමත් උනා. වචන වලින් විස්තර කරන්න බැරි අනේක හැඟීම් වරුසාවකින් මගේ හිතම තෙමිලා ගියා. චරිතයක රඟ දක්වමින් සිටි නිසා ඒ වෙනස පහල නරඹන්නන්ට නොපෙනෙන්න ඇති. ඒත් අද මේ ලියවුන වචනයක් වචනයක් පාසා ඒ හැගීම, මෙය කියවන ඔබේ ඔළු ගෙඩි පුරා ඇදිලා යනු ඇති. 

මෙය මගේ ජීවිතේ සුවිශාල සංධිස්ථානයක්. උපන් දිනය, විවාපත් දිනය වගේම, ඒ තරමටම සිහිපත් කල හැකි දිනයක්.

2017 මාර්තු 26 : මම නැවත උපන්නා.....

ඇත්තෙන්ම මෙය මගේ පෞද්ගලික ජයග්‍රහණයක් නෙවෙයි. මෙය පිටුපස ඉතා විශාල පිරිසක් හිටියා. ඔවුන් නොයිඳින්න අද තාමත් මම මගේ සිහිනය දිහා බලාගෙන හූල්ලන තවත් එක ප්‍රාණියෙක් විතරයි. මේ ස්තූතිය ඔවුන් හැමදෙනා වෙනුවෙන්මයි. 

"කුඩේ කුඩු" 
අපි ඉහලලා බැලුවා.
උදව් කල හැමෝම ගැන තියෙන්නෙ අපිරිමිත ස්නේහයක්.

මම සිහිනයක් දැක්කා. සිහිනය සම්පූර්ණ වුනේ එදා ඔබෙන් ලැබුනු අත්පොලසන් හඬත් එක්ක. ඒ හඬ මුළු ජීවිතය පුරාවටම මගේ කන්පෙති අතර රැව් පිලිරැවු දේවි.






Friday, September 4, 2015

මල සමයං!

ඇවිත් යයි
සලකුණු තබයි
වදනකුත් නැත
මුව ගොලුයි

හිනා හඬ නැත
මිහිරි බස් නැත
සවන් වියැලී
හද දැවෙයි

දින ගෙවෙයි
නෙත් විඩා වෙයි
මතකයන් වල
සිත එබෙයි

හිරු ගිලෙයි
කලුවර වැටෙයි
සිහිනයෙන් විත්
ලඟ වෙලෙයි

Friday, July 24, 2015

විපර්යාස

හාත්පස පුරා පැතිර තිබුනු ශ්වේත වර්ණය ක්‍රමයෙන් දියවෙමින් ඒ අතරින් ලා හරිත පැහැය මතු වෙන්න පටන් අරන්. ඒත් තවමත් ශරීරය පුරා හිරිගඩු නන්වමින් ඇදී ගිය සීත සුලඟේ ලොකු වෙනසක් නැහැ. පරිසරය හරිත පැහැයෙන් බබලන්නට තව යම් කාලයක් ගත වෙයි. ශීත කාලය වැඩි කාලයක් තිබුනා වගෙයි දැනෙන්නෙ. කාලෙකින් නොදුටුව උණුසුම් හිරු රශ්මියෙන් නැහැවී යන්නට මුළු සිරුරම පොපියනවා. ඒත් සොබාදහම අපි පතන තරම්ම ඉක්මන් නැහැ. හිතේ පොපියන ආශාවන් සොබාදහමේ නීතීන් වලට යටත් වන තැන මේකයි. ලෝකය කුරිරුද නැතිනම් අපේ ආශාවන් කුරිරුයිද කියල වෙන් කරල අඳුනගන්න පුලුවන් කමක් මට තිබුනේ නෑ. ජනේලයෙන් එහා පේන ඈත අනන්තයට මන් ඔහේ දෑස මෙහෙයවෙව්වා.

"තව දර ටිකක් දාන්නද?" පිටිපස්සෙන් ආව පවනිගෙ කටහඬත් එක්ක මන් ඔලුව හරවල බැලුවා.
උඳුනේ ගින්දර නිවෙන්නට ඔන්න මෙන්න.
මන් හා කියන්න ඔලුව වැනුවා.
අනන්තය දිහාට යොමුවෙල තිබ්බ මනස මන් මොහොතකට ඇය දියට යොමු කලා. මේ ටික කාලෙට ඇය වඩා ලස්සන වෙලා. පරිසරයේ වෙනස නිසාද හිතේ සිතිවිලි වල වෙනස නිසාද කියලා මට හරියට අවබෝධයක් තිබ්බෙ නෑ. මට ඇය ගැන ඇති උනේ ලොකු අනුකම්පාවක්. මම ඇයට සලකපු විදිය කොයි තරම් වැරදිද?

"ජීවිතේ කියන්නෙ අතීතයෙ ජඹි ගහන්න ඕනෙ තරම් නරා වලක් වත්, අනාගතය ගැන හීන මව මවා සික් වෙන්න තරම් ෆැන්ටසියක්වත් නෙමෙයි." කාලෙකට ඉස්සර අක්කා මට කිව්ව දෙයක් මගේ ඔලුව හරහා වැටුනා.
"මට තේරෙනවා අක්කෙ. අතීතේ තියෙන්නෙ එකේ ජීවත් වෙන්න නෙවෙයි කියලා. අතීතේ අනගතේට බාධාවක් වෙන්න ඔනේ නෑ කියලත් මන් දන්නවා. ඒත්....."
මට හැමදාම තිබ්බේ 'ඒත්' කියන වචනෙන් ඉවර වෙන උත්තර. ඒක කිසිම ප්‍රශ්ණෙකට උත්තරයක් නොවුනත් සමහර ප්‍රශ්න වලට උත්තර කාලෙට ඉඩ දිය යුතුයි කියලා මන් විශ්වාස කලා.

හැම මනුස්සයෙගෙම දුර්වල ස්ථානයක් තියෙනවා. ගොඩක් මිනිස්සුන්ගේ ඒක තමයි ආදරය. ඒ කුළකයටම මාවත් වැටුන එක ගැන මට දුකක් තිබුනේ නෑ. මට දුක තිබුනේ දෛවය අපිට ලබාදෙන තීරණ ගැන.
ඇය මගේ මුළු ජීවිතයම උනා. ආත්මීය බැඳීම් ගැන පොත පතෙන් විතරක් කියවල තිබ්බ මම ඒ හැඟීම මුලු ආත්මයෙන්ම අත්දැක්කෙ ඇගෙන්. එහෙම බැඳීමක් ඇති උනාම අනාගතේදි විඳින්න වෙන ප්‍රථිපල මේ තරම් දරුණුයි කියලා මන් දැනගෙන හිටියෙ නෑ. දවසින් දවස මන් ඒ ආතීමීය සයුරේ ගැඹුරටම කිමිදුනා. අන්තිමේ ඒ ගැඹුරේ තිබුන පීඩනයෙන්ම මගේ හුස්ම හිර කලා, ආයෙමත් මතුපිටට පීනන්න බැරි වෙන තරමටම.

"එයා ගියේ එයාව මට ඔනෙම වෙලා තිබ්බ වෙලාවෙ" ඇගේ නික්ම යාම ගැන මට තිබ්බේ එහෙම මතයක්. මගේ හිත ඒ තරම්ම බොලඳ උනේ කොහොමද කියලා මටත් තේරුමක් නෑ. හැබැයි ඒ හැඟීමම තමයි, එදා මට නොතිබුන ඒත් ඇය මගෙන් බලාපොරොත්තු උන යම් යම් දේවල් මේ මට්ටමින් ලබාගන්න මාව දිරිමත් කලෙත්. ඒ අතින් බැලුවම ඇය මගෙන් වෙන්වීමම ඇය මට ලන්වීමක් වෙලා.

"ආච්චිගෙ රෙද්ද. තෝ හිතනවා වැඩියි. ගිය රෙද්දවල් ගැන හිත හිත ඉන්නෙ නැතුව ඉසරහට කරන දේවල් ගැන හිතපන්" හැම වෙලේම මගේ ලඟම යාලුවො උපදෙස් දුන්නත් ඒ අතීතය වතුරේ හන්ගපු රබර් බෝලයක් වගේ විටින් විට උඩට ආවා.

මගේ ජීවිතේ වසර ගණනාවක්ව ගෙවිලා ගියේ ඒ අතීතයේ ජීවත් උන මනසත් එක්කමයි.

පවනි....... ඇය මගේ ජීවිතේට එන්නෙ අහම්බෙන්. බාගවිට ඒක අහම්බයක් නොවෙන්නත් පුලුවන්. අතීතය මතින්  හදපු මන්දිරයේ පාදමේ කොනක හිර වෙලා ඉන්න මොහොතකයි ඇය මගේ ජීවිතයට එන්නෙ. ඇය ගැන යාලුවෙක්ට වඩා හැඟීමක් මට ඇති උනේ නෑ. ඒත් අවසානයේ සියල්ල කනපිට හැරුනා.

ඇය මට ආදරය කරනවා.

මම ඇයව විවාහ කරගත්තෙ මම ඇයට ආදරය කල නිසා නෙවෙයි. මම ඇයට අනුකම්පා කලා. ඒ වගේම මගේ අවට පරිසරයෙන් මාව ඒ තත්වයට පත් කලා.
ඒත් ඒ විවාහය ව්‍යසනයක් බවට පත් වෙන්න වැඩි කලක් ගත උනේ නෑ. ඇගෙන් ලැබුන ආදරයට සමාන ගෞරවයක්වත් මගෙන් ඇයට ලැබුනේ නෑ. දවසින් දවස ඇය වැහැරුනා. නමුත් ඇගේ ආදරය.... ඒය නොවෙනස්ව පැවතුනා.

"මචන් උඹ මෙහේ ඉන්නකන් ඔකේ වෙනසක් වෙන්නෙ නෑ. උඹලා දෙන්න පොඩි වෙනසකටත් එක්ක වෙන රටකට පලයන්." ඇති වී තිබූ තත්වය ගැන මටත් කලකිරීමක් ඇතිවෙලා නොතිබුනාම නෙවෙයි. ඒ නිසා ඒ ලැබුනු උපදෙස ගැන උනන්දුවෙන් සිතා බලන්න මම පෙළඹුනා.

අපි දෙන්නා මෙහේට එනකොටත් සීත සමය ආරම්භ වෙලා. අවට පැතුරුණු ශ්වේත වර්ණය වෙලාවකට හිතට සහනයක් වගේම තවත් වෙලාවකට ඉතා හිරිහැරයක් උනා. ඒත් අතීතය ඒ ගල් ගැහුණු හිම අස්සෙ හිර කරන්න මේ පරිසරය මට උදව්වක් උනා. මේ මාස කීපය පුරාවට පවනි ගැන මෙතෙක් ඇති නොවුන හැඟීම් ගොන්නකින් මාව වෙලාගන්න පටන් අරගෙන. ඇගේ ආදරය කැඩපතක් වෙලා මම මාවම දකින්න පටන් අරගෙන.

පවනි උඳුනේ ගින්දර වැඩි කරලා ඒ දිහාවම බලාගෙන ඉන්නවා.

"පවනි"
ඇය ඔලුව හරවල බැලුවෙ මූනේ මද හිනාවකුත් රඳවගන්න ගමන්ම.

'එන්න' මම ඇයට ඇහින් සංඥා කලා.
ඇය බර අඩි තියමින් මගේ දිහාවට ඇවිදන් එන හැටි මන් ආසාවෙන් බලන් හිටියා.
ඇය මගේ අසල තිබ්බ පුටුවෙ වාඩි වෙන්න හදද්දි මන් ඇයව අතින් අල්ලල මගේ ලඟට ගත්තා. ඇය ඇස් ලොකු කරලා මගේ දිහා බලද්දි මන් ඇයව මගේ උකුල මත වාඩි කරගත්තා. ලොකු කරගත්ත ඇස් වලින් මගේ ඇස් දිහා බලන ගමන්ම ඇය මගේ උරහිසට බර උනා. උඳුනෙන් ගින්දර මතින් දැනුන උණුසුමට වඩා උණුසුමක් ඇගේ ස්පර්ශයෙන් මගේ සිරුර තුලට ඇතුලු උනේ නිමේශයකින්.

"මේ හිම ඉක්මනට දිය වෙලා යයි පවනි" මම ඇගේ ඇස් දිහාත් ජනේලයෙන් එපිටත් මාරුවෙන් මාරුවට බලන ගමන් කෙඳුරුවා.
ඇය ඒකට උත්තරයක් දුන්නේ නෑ. ඒ වෙනුවට මගේ උරහිස මත තුබුන ඇගේ හිස තවත් මගේ උරහිසට තද කරගත්තා.

මම ඇයව තවත් තුරුළු කරගන්න ගමන් ඈත ලාවට මතු වෙමින් තිබුන ලා හරිත පැහැය මත දෙනෙත් රඳවගත්තා.

Wednesday, April 1, 2015

වෙනස සහා ආදරයේ කතාව



Two Heart Entertainment කියන නම සමහර දෙනෙක්ට මතක ඇති. කාලෙකට ඉහතදි මවිසින් කරන්න යෙදුන විඩියෝ නිර්මාණ මන් කලේ ඒ නමින්. ඒත් ඔන්න අද සිට යම් වෙනසක් වෙනවා. මේ වෙනස ගැන තමයි මන් පහුගිය කාලෙ මුහුනු පොතේ එහෙමත් දාගෙන හිටියෙ.
හරි ඔන්න එහෙනම් මේකයි වෙනස. Two Heart Entertainments කියන නම අද ඉඳන් වෙනස් වෙනවා. අලුත් නම තමයි
Magic Hat Pictures.


ඔක තමයි මගේ අලුත්  Logo එක. මෙතැන් සිට මන් කරන දේවල් මේ නමිත් තමයි ඔයාලට දැකගන්න ලැබෙන්නෙ.
ඉතින් Magic Hat Pictures වලින් කරපු පලවෙනි වැඩේ ඔයාලට පෙන්නන්න තමයි මන් මේ සූදානම් වෙන්නෙ. මට මේකට ඔයාලගේ වටිනා කාලයෙන් විනාඩි 13යි තප්පර 10ක් ලබාදෙන්න කියලා බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. 

ඔෆිස් එකෙ වැඩයි තව දහසකුත් වැඩයි මැද්දෙ මේ වීඩියෝ එක මේ මට්ටමින් කරලා නිමා කරගන්න මට මාස දෙකක කාලයක් ගත උනා. ඇත්තටම මේක ලෝ බජට් ක්‍රියේශන් එකක්. ඒක නිසා ගොඩ දෙනෙක්ගෙ උදව් මට මේකට ලබාගන්න උනා. ඒ උදව් කල හැමෝටම මන් මේ වේලාවෙ මගේ හද පිරි ස්තූතිය පිරි නමනවා. වැඩේ අයිඩියා එක මගේ ඔලුවට ආපු වෙලාවෙ ඉඳන් වැඩේ සම්පූර්ණයෙන්ම ඉවර වෙනකම්ම, හැම පැත්තකින්ම උදව් කරපු අක්කව (දිල්ශාරා වීරසිංහ) මන් විශේෂයෙන්ම මතක් කරන්න ඕන. ඒත් එක්කම අඳුනගෙන මාස දෙකක් තුනක් යන්නත් කලින් තමන්ගෙ වටිනා කාලය කැප කරගෙන ඇවිත් මගේ වැඩේට ඕන කරන චිත්‍ර ටික ඇඳලා දීපු අංජලා මධුභාෂිණී නංගිටත් මේ වෙලාවෙ ස්තූති කල යුතුමයි. ඒත් එක්කම විඩියෝ රූපගත කිරීම් වලට අවශ්‍ය දර්ශණ තලය නිර්මාණය කරගන්නත්, රූපගත කිරීම සාර්ථකව සිද්ධ කරගන්නත් උදව් කරපු තරිඳු දර්ශන, දක්ශිත මලීන්, දසුන් චාමිකර, හශාන් රමේශ්, පුලස්ති චතුරංග, අසංක ප්‍රදීප් මල්ලිලා සෙට් එකටත් බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා. ගෙදරින් එන බැනුම් මැද්දෙ රෑ වෙනකම් පසුබිම් කථනය සඳහා හඬ කවපු යශී තත්සරණි නංගිටත් ස්තූති නොකලොත් ඒක අඩුවක් වෙනවා. ඒත් එක්කම සංජය ගුණවර්ධන අයියා, මන් කරපු හැම වැඩකදිම වගේම මේ වැඩේදිත් පිටිපස්සෙන් ඉඳගෙන නිර්ලෝභීව අවශ්‍ය උපදෙස් ලබාදිම ගැන ගොඩක් ස්තූතියි. මොකද මන් මෙතෙක් හමුවෙලා තියෙන නිර්මානශීලීම මනුස්සායා ඔහූයි. ඔහුගේ උපදෙස් හැමවෙලේම මගේ වැඩ වලට ලොකු රුකුලක් උනා.

දීලීප ර්යෝජුන්, කෙනෙකා හිමානි

මේ ස්තූතිය ඔබ දෙපලටයි. ඔබ දෙපල නොවන්නට මේ නිර්මාණය බිහි නොවන්නට ඉඩ තිබ්බා. මෙහි සැබෑ අයිතිය සැබැවින්ම ඔබ දෙපලටයි. මා කෙරෙහි විශ්වාසය තබා ඔබ දෙපලගේ ජීවිතයේ වැදගත්ම දෙයක් මට බාරදීම ගැන බොහොමත්ම ස්තූතියි.

ඔන්න පුදසත්කාර තුති වැයුම් ඔහොමයි. ඔයිට අමතරව මේ නිර්මාණය සැබෑවක් කරගන්න එක වචනෙකින් හෝ එක මයිල් ගහකින් හෝ උදව කල සියලූම දෙනාට මන් මේ වෙලාවෙ මගේ හද පිරි ස්තූතිය පිරි නමනවා.

එහෙනම් ඉතින් මේ සූදානම් වෙන්නෙ මේ වීඩියෝ නිර්මාණය ජනසතු කරන්නයි. විනාඩි 13යි තප්පර 10ක් බොහොම ඉවසීමෙන් මේ වීඩියෝව නරඹලා ඔබේ අවංක අදහස සටහන් කරලා යන්න කියලා ඉල්ලා සිටිනවා. ඒක ඉදිරි වැඩ වලට මට ලොකු උදව්වක් වේවි.

 නරඹපු ඔබ සැමටත් ස්තූතියි!

ඔන්න මේකටත් ලයික් එකක් දාගෙනම යන්නකො........
https://www.facebook.com/MagicHatPictures

Monday, March 23, 2015

මායාව සජීවී කොට...

තාක්ෂණය එන්න එන්න දියුණු වෙනවා. මිනිස්සු තාක්ශ්නය භාවිතා කරලා විවිධ මායාවන් සිදු කරන්න පෙලඹෙනවා. අතීතයේ ඉඳන්ම මිනිස්සු මායවන් වලට ඇලුම් කලා. මායාවන් ගවේශණය කලා. අලුත් මායාවන් සොයාගෙන ගියා. තාක්ශණයත් මායාවත් එකට සම්බන්ද වෙලා ගමන් කරන්න ආරම්භ වෙන්නෙ ඒ තිබ්බ අසීමිත කුතුහලයත් එක්ක.

Augmented reality කියන්නෙත් ඒ විදියට තාක්ෂණය ඔස්සේ මායාව අපි සමීපයට අරගෙන එන එක්තරා ක්‍රමයක්. මේක ටිකක් සංකීර්ණ තාක්ෂණයක්. මේ ඔස්සේ විවිධාකරයේ පර්යේෂන දියුණු රටවල සිදු කෙරුනා.

මෙහිදී ප්‍රේක්ශකයට අවස්ථාව ලැබෙනවා තමන් අසල නොමැති යම් දෙයක්, සැබැවින්ම තමන් අසල තිබෙනවායැයි හැඟීම ඇතිව ඒ දේ සමග අන්තර් ගනුදෙනු කරන්නට.  මෙහෙම කිව්වට තරමක් අපැහැදිලියි වගේනම් මෙන්න මේ විකිපීඩියා පිටුවට ගිහින් වැඩි විස්තර බලාගෙන එන්න පුලුවන්.

http://en.wikipedia.org/wiki/Augmented_reality

මෙකේ විවිධාකාර මට්ටම් තියෙනවා. ඉහල මට්ටම් වලදි, තමන් ඉදිරියේ සිදු වෙන්නෙ මොකද්ද කියලා නරඹන්නාට සිතාගන්නත් බැරි වෙන තරම් එහි තාක්ෂණය දියුනුයි. මෙය මිනිසුන්ව පුදුමයෙනුත් පුදුමයට පත් කරන තාක්ශණික මායාවක්.

ඉතින් මන් මේ පෙරවදන ලබා දුන්නේ එක විශේෂ දෙයක් කියන්න අවශ්‍ය නිසයි.

ඒ තමයි මේ තාක්ශ්ණයේ එක් පියවරක් පසුගියදා ලංකාව තුල සිදු කෙරුනා. මා දන්නා මට්ටමින් මෙවැනි දෙයක් ලංකාව තුලදි මිනිසුන්ට දැකගත හැකි වූ පලමු අවස්ථාව මේකයි.  2015 පෙබරවාරි 21 වන දින වාද්දූව The Blue Water හෝටලයෙදි තමයි මේ දේ  සිද්ද කෙරුනේ. නිමිත්ත උනේ Peoples leasing & Finance PLC ආයතනය මගින් පවත්වපු උත්සවයක්.  උත්සවය සඳහා පැමිණෙන අමුත්තන්ට උත්සව ශාලාවට පිවිසෙන්නට පලමුවෙන් යම්කිසී විනෝදාත්මක හා විශ්මයජනක අත්දැකීමක් ලබා දෙන්න තමයි මේ දේ සිද්ද කෙරුනෙ.

මා මේ තරම් ආඩම්බරයෙන්  යුතුව මේ ගැන සඳහන් කරන්නෙ මේ දේ සිදු කෙරුනෙ අපි විසින් වන නිසයි.  AV:LAB කණ්ඩායම විසින් සිද්ධ කෙරුණු තවත් අපූර්ව වැඩක් තමයි මේක.






මේ රූප පෙල සමහර අයට මතක ඇති. මේ රූප පෙල දැකපු ගොඩ දෙනෙක් මගෙන් ඇහුවා, මොකද්ද මේ ශූට් එක? කියලා. හැබැයි ඒ ගොඩක් අයට මන් දුන්නෙ එකම උත්තරයයි.

"දැන් මෙහෙම පැහැදිලි කරාට තෙරෙන එකක් නෑ. ඉන්නකො වැඩේ ඔක්කොම ඉවර වෙලා එවෙන්ට් එකෙ විඩියෝ එක හදලා, ඒක පෙන්නන්නම්කො. එතකොට හරියට තෙරෙයි."

අන්න ඒ පොරොන්දුව තමයි මන් මේ අද ඉශ්ට කරන්න යන්නෙ.

මුලින්ම අපි කලේ මේ ශූට් එක කරපු එක. ඊට පස්සෙ එකෙ වීඩියෝස් තමයි ඉවෙන්ට් එක දවසෙ අපි භාවිතා කලේ. සරලව පැහැදිලි කලොත් මෙහෙමයි. නරඹන්නන් LED තිරයක් ඉදිරියට එනවා. LED තිරය උඩින් තියෙන කැමරාවක් මගින් ඒ නරඹන්නන්ව රූපගත කෙරෙනවා. ඒ දර්ශන LED තිරය මත දිස් වෙනවා. දැන් ඔන්න නරඹන්නන්ට තමන්වම දැකගන්න පුලුවන් LED තිරයෙන්. හැබැයි ඔන එයාලා පුදුමයට පත් වෙන්නෙ තමන් ඉස්සරහ ඇත්තටම ඒ වෙලාවෙ නැති රෝමන් සූරූපිනියක්, සොල්දාදුවන්, වහල්ලුන් තමන් අසල ඉන්නවා වගේ LED තිරය තුලින් දකිනට පටන් ගත්තමයි.

ඔහොම කිව්වට වැඩක් නෑ. ඔන්න මේක බලලම තේරුම් ගන්නකො.


THE COLOSSEUM IN AUGMENTED REALITY // AV:LAB // PLC from AV:LAB

තාක්ශණයේ තවත් අලුත් මුහුණුවරකින් හමු වෙමු!

Wednesday, January 28, 2015

ලේඛකයා මැරිලා!

මල් වල සුවඳ පිච්චිලා උගුර හරහා පපුවට යද්දි දුව දුව තිබ්බ හිත එක තැනක නැවතෙන්න පටන් ගත්තා. කරුමෙට ඒකත් ගිහින් නැවතුනේ එයා ගාවමයි. මට ඕනේ උනේ අලුත් වෙන්න. වෙන දෙයක් හිතන්න. මාස ගානකින් කුලිය ගෙවන්නෙ නැතුව හිතේ නැවතිලා හිටපු ඇයව මගෙ හිත් ගෙයින් එලවලා දාන්න. කිහිප වතාවක්ම එයාව එලවලා දැම්මත් මට එක දෙයක් අමතක උනා. ආයෙමත් දොර වහලා අගුල දාගන්න. ඇරිලා තිබ්බ දොරින් එයා ආයෙමත් ඇතුලු උනා.
අන්තිමේ හැමදාමත් මන් පැරදුනා. දවසින් දවස හිත අලුත් උනා. ඒත් ඒ එයාත් එක්කමයි. අලුත් උන හිතත් අරගෙන ආපස්සට හැරිලා බලද්දි මම විතරයි. එයාගෙන් පිරුන මගේ හිතත් අරගෙන මම විතරයි. ඉතින් මන් පැරදියි.

පපුවෙ තිබ්බ තවත් දුම් ගුලි‍යක් නාස් සිදුර හරහා මම වාතලයට එකතු කලා. ජංගම දුරකතනයේ සිහින් හඬින් වාදනය වෙන කපුගේගෙ සින්දුවක් හෙමිහිට කන් දෙක පුරා පිරුනා. ඒත් එක්කම තව තවත් එක්තැන් වෙච්ච මගේ හිත එයාව හොයාගෙන ගැඹුරටම ගමන් කලා.

.............ගහ කොළද මල් පිපේ ඇල දොල නිල කඩා හැලේ
පෙරදාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුනේ......................

මන් රැවටුනාද? මාස ගානක ඉඳන් මගේ හිතේ කැකෑරෙන ලොකුම ප්‍රශ්ණය. ඇය මට ආදරය කලේ නෑ කියලා විශ්වාස කරන්න මට පුලුවන් කමක් නෑ. මන් ඇයට ආදරය කල තරමටම ඇයත් මට ආදරේ කල බව මන් දැනන් හිටියා.

"මට ආසයි ඔයාගේ උරහිසේ ඔලුව තියාගෙන නිදාගන්න"
ඇය හැමදාම මන්තරයක් වගේ මිමිණුවා. ඇයගේ ඒ ආසාව සංතෘප්ත වුන දිනයන් වලදි බාගෙට මගේ උරහිසට හිරවුන ඇගේ මුහුණ දිහා බලාගෙන මන් සැනසුනා. ඉඳහිට පොඩ්ඩක් පහත් වෙලා ඇගේ නළල සිපගත්තෙ ඇයව ඇහරවන්න හිතාගෙන නෙවෙයි. සමහර වෙලාවට ඇය ඇස් දෙක ලාවට ඇරලා යාන්තමට හිනා වෙලා ආයෙත් ඇස් පියාගන්නවා.
මම මගේ අතැඟිලි ඇගේ කෙස් අතරින් යවමින් රටා අඳිනවා. ඇගේ උණුසුම මගේ පපුව හරහා ඇවිත් මුලු සිරුරම සුවපත් කලේ හරිම පුදුම විදියට. ඒ උණුසුම මට දැනුත් දැනෙනවා වගේ. ඒත් දැන් ඒ උණුසුමෙන් වෙන්නෙ ඇස් ඇතුලේ දිය පාරවල් උතුරල පිටාර ගලන එක විතරයි.
ඒ දිය පාරවල් වලින් හිත මෙලෙක් කරන්න දෙන්න දෙන්න බැහැ. හිත මේ තරමට ගල් කරගත්තේ සෑහෙන්න වෙහෙස වෙලා. ඒ වෙනුවෙන් ගොඩක් දේවල් කැප කරන්න උනා. ජීවිතේ මෙච්චර කාලයක් රැකගෙන ආපු ප්‍රතිපත්ති. මගේම ස්වයං වාරණ. දැන් ඒ හැම දෙයක්ම අතීතයට අයිති පොර ටෝක් ටිකක් විතරයි. ඒ හැම දේකටම පස්සෙත් හිත ආයෙ මෙලෙක් වෙන්න ගත්තොත් මේ කැප කිරීම් කිසිම දේකින් වැඩක් නැති වෙනවා.
මම සුරතේ ඇතැඟිලි දෙතොල් වෙත ගෙන ගියා.

.........නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමු වෙලා
මහ මෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා..........

කපුගේගෙ කට හඬෙන් දෙන්නෙ අමුතුම හැඟීමක්. ඒ හැඟිමට තාලයයි, වචනයි, ඒ වචන වලටම ගැලපෙන මගේ අත්දැකීමුයි ඔක්කොම එකට එකතු උනාම ගීතය සම්පූර්ණයෙන්ම මගේ එකක් වෙනවා.  අමාරුම වෙන්නෙ එතකොටයි. සන්සුන් වෙලා තිබ්බ හිත ආයෙමත් කැලඹෙන්න පටන් ගන්නවා.
ඇය අවසන් වරට හමුවී මාස ගණනක් ගත වෙලා. අද අපි හරියට ආගන්තුකයින් දෙදෙනෙක් වගේ. ඇය නන්නාඳුනන්නියක් වෙන්න මන් මැරිලා ඉපඳුනේ නෑ. ඒත් ඇය හැසිරෙන්නෙ එවන් ආකාරයකට. අප යලි කවදා හමු වෙයිද? ඒ හමුවෙන මොහොත මොන වගේ එකක් වෙයිද? මන් කෙසේ හැසිරෙයිද? ඇය කෙසේ හැසිරෙයිද? එක අතකට ඇයව ආයෙත් වතාවක් හමු නොවෙන එක හොඳයි. ඒත් හිත ඇතුලෙන් ඇයව දැකගන්න ආසවන් කැකෑරෙනවා. ලොකෙන්ම ලස්සනම හිනාව තිබ්බෙ ඇයට. ඒ හිනාව මගේ උන දවසෙ මන් කොයි තරම් සතුටු උනාද. ඒත් අද ඒ හිනාවත් අරන් ඇය අතුරුදහන් වෙලා.

කපුගේගේ ගීතයේ අවසානයත් එක්කම දකුණතේ දබරඟිල්ලත් මැදඟිල්ලත් අතර ආසන්නයටම ගින්දර කොටසක උණුසුම ලන් උනා. අලුත් මල් පොකුරක් සූදානම් වන තුරු මම ජංගම දුරකතනයේ තවත් ගීයක් සොයමින් ඇඟිලි අරන් ගියා.

මේ ඉර හඳ යට හමුවී - එඩ්වඩ් ජයකොඩි

එක්තරා ගීතයක් ලඟ මගේ ඇඟිලි නතර උනා.

මේ ඉර හඳ යට හමුවී
ආදරයෙන්
කතා කරපු අය සෙනේ වඩපු අය
ලඟ පාතකවත් නෑ

ගීතය වාදනය කරන්නත් කලින් ගීතයේ පද මාලාව මගේ හිස ඇතුලේ ගැයෙන්න පටන් ගත්තා. ඒ වචන වලට මගේ අතීතය තනුව බවට පත් උනා. හදිසියේම හිත ඇතුලෙන් සිතිවිලි ඉපදෙන්න ගත්තා.
තොරතෝන්චියක් නැතුව ඉපදෙන සිතුවිලි රෑනක් හිත ඇතුලෙන් එලියට වෑස්සෙනවා. ඇති තරම් තීන්ත තිබ්බනම් මුලු ලෝකම වැහෙන්න ලියන්න පුලුවන් තරමේ සිතිවිලි වරුසාවක්.
බොහොම කාලෙකට ඉස්සර මගේ මනස ඇතුලේ එක්තරා ලේඛකයෙක් ජීවත් උනා. ඒත් ඒ ලෙඛකයා මැරුනා. ලේඛකයා මැරිලා හිටපු හිතෙන් කිසිම සිතුවිල්ලක් එලියට අවේ  නෑ. ඒත් අද හදිසියේම ඒ ලේඛකයට ආයෙත් පණ ලැබිලා වගෙයි.  නමුත් මට තව දුරටත් ඒ ලේඛකයා අවශ්‍ය නෑ. මොකද ඒ ලේඛකයා මගේ ජීවිතේට අරන් එන්නෙ කඳුලු තැවරුන අතීතයක් විතරයි. ඒයා මැරිලම හිටපු දෙන්. මන් ගීතය වාදනය කරන අදහස අත ඇරලා දැම්මා.
ඊට හොඳයි තව මල් සුවඳ උගුරකින් පපුව පුරවගන්න එක. මන් නිවිසැනසීලේ ඊට යොමු උනා.

"උඹ උන්නද මලාද කියලා හොයලා බලන්නෙ නැති කෙනෙක් ගැන බලාපොරොත්තු තියාගන්න එපා බන්. ඒකෙන් වෙන්නෙ උඹ විඳවන එක විතරමයි."
ටික දවසක උඩදි මුහුණු පොතේ දැකපු එක කියමනක් මට මතක් උනා. ඒ කියමන මට ආදේශ කරගන්නනම් ඇයට දෝෂාරෝපණය කරන්නට තරම් මට හිත දැඩි කරගන්න වෙනවා. ඒත් ඇයට වරදක් කියන්නට තාමත් මගේ හිත ඉඩ දෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට කාලය විසින් ගොඩක් ප්‍රශ්ණ විසඳනවා. ඒත් කාලය විසින් ඇගේ හිත තුල කිසිම වෙනසක් ඇති කරලා නැති බව ඇගේම වචන පසුගිය දවසක මට ඒත්තු ගැන්වුවා. සමහර විට  මැරුණු ලේඛකයට හදිසියේම ආයෙ පණ ලැබෙන්න ඇත්තෙත් ඒ වචන නිසා වෙන්න පුලුවන්. 
ඒක තමයි භයානකම කොටස. හොඳම දේ තමයි මැරුණු සිතුවිලි වලට ආයෙ පණ නොදෙන එක. වල දමපු දේවල් ආයෙ උඩට නොඅදින එක. මැරුණු හීන වලට ආයෙ පණ දෙන එක අවධානමක්. ඒත් ජීවිතේ කියන්නෙ අපි ඉල්ලන අපි බලාපොරොත්තු වෙන දේම නෙවෙයි.
දැන් මන් ගෙවන ජීවිතය මන් කවදාවත් ඉල්ලපු දෙයක් නෙවෙයි. මන් කවදාවත් බලාපොරොත්තු උන දෙයක් නෙවෙයි. නමුත් ඒක සිද්ද උනේ මෙහෙමයි. ඒකට වැරදිකාරයා හොය හොය නාස්ති කරන්න වෙලාවක් දැන් මට නැහැ. මොකද දැනටමත් අලුත් මල් පොකුරක් සූදානම් වෙලා. දැන් තියෙන්නෙ එක් කෙලවරකට ගින්දර ලන් කරලා දෙතොල් අතරේ රඳවගන්න විතරයි. මල් සුවඳෙන් පපුව පිරිලා යද්දි හිත ඇතුලෙ මොනවා පිරිලා යයිද කියන්න මන් දන්නෙ නෑ. 
මන් දන්නෙ එක දෙයයි. පපුව ඇතුලට ගන්න දුම් ගුලිය ආයෙ එලියට ඒවි. ඒත් හිත ඇතුලෙ පිරෙන සිතුවිලි පොදිය කවදාවත් එලියට එන එකක් නෑ.
මොකද ලේඛකයා මැරිලා!!!

Monday, April 7, 2014

ආදර සැමරුම්


අපේ ආදර මතක සැමරුම්
දසත ඇත බිම විසිරිලා
ඒ මතින් ඔබ අඩිය තබමින්
ඈතටම යයි සැඟවිලා

ගිලෙන හිරු අර ඈත ක්ෂිතිජයේ
ගිනියම්ව රත් පැහැ වෙලා
රැගෙන එයි තව තවත් කළුවර
ආදරේ සුව සඟවලා

විරහා ගී පද රසය සොයමින්
සිතේ සිනහව හැකිළිලා
මුවේ සිනහව ලොවට පෙන්වා
හිඳිමි මියැදී යන තුරා