Tuesday, March 18, 2014

එක්තරා සාමන්‍ය කතාවක්!

ඔහු විටෙක ලේඛකයෙක්. පරිපූර්ණ උසස් ලේඛකයෙකුගේ මට්ටමේ නොසිටියත් යම් පරිමාණයකින් තම සිත් රැඳි අදහස් නිර්මාණශීලීව වචන වලට ගොණු කල හැකි අයෙක්. ඇයව ඔහුගේ ජීව්තයට ලංවෙන්න ප්‍රධානම හේතුව උනේ ඔහුගේ ඒ හැකියාව. ඇය මුලින්ම ආකර්ෂණය වෙන්නෙ ඔහුගේ ලේඛන වස්තූන් වලට. ඇය එම වචන වල සිරකාරියක් බවට පත් වෙනවා. ඒ වචන ඔස්සේ ඇය ඇගේ සිත තුල අලුත් ලොවක් තනා ගැනීමට පෙලඹෙනවා. එහෙත් ඒ වචන වල හිමිකරුවාට ලන් වීමට ඇය මදක් බිය වෙනවා. මොකද ඇය සිතනවා ඔහු සිටින්නෙ ඇයට ලන්විය හැකි මානයක නොවේය කියා. අගේ බිය ඇගේ ගමනට බාධකයක් වෙනවා. ඇය තනිව ලතැවෙනවා. නමුත් අවසානයේ සියල්ල මොහොතකින් වෙනස් වෙනවා. ඔහුගේ ලෙඛන වල වචන වලින් පමනක් ඔහුගේ ආත්මය දකින්නට පුරුදු වී සිටි ඇයට ඔහුගේ ආත්මය මුහුණට මුහුණ දකින්නට අවස්ථාව හමු වෙනවා. ඔවුන් දෙදෙනාගේම ආත්මයන් ඔවුනොවුන් ඉදිරිපිට නිරුවත් වෙනවා.  ඔහුගේ ජීවිතයට ඇය පැමිණෙන්නෙ එතැන් සිට. මේ ආදර කතාව පටන් ගන්නෙ එතැන් සිට.

"ඔයා කැමතිනම් දොර අරින්න මන් කැමතියි ඇතුලට එන්න."
එක්තරා දවසක ඔහු ඇය ඉදිරියේ තමන්ගෙ අදහස ඉරිදිරිපත් කලේ එහෙම. ඒ වෙලාවෙ ඔහුගේ හැඟීම් ක්‍රියාකල අනුපිලිවෙල ගැන මට හරිම වැටහීමක් නෑ. හැබැයි මට අනුමාන වශයෙන් කියන්න පුලුවන් ඒ වෙලාවෙ ඔවුන් දෙදෙනාම මදක් වික්ෂිප්තව සිටින්නට ඇති. මොකද ඇය කවදාවත් ඔහුගෙන් එවැනි වදනක් ඇසෙතැයි බලාපොරොත්තු උනේ නෑ. ඒ වගේම ඇය එවැනි වදනක් අපේක්ශාවෙන් සිටි බව ඒ මොහොතේ ඔහු දැනගෙන සිටියෙත් නෑ.
මේක මහ පටලැවිල්ලක්. ඔබට වගේම මට පවා තවමත් එය පැටලිලි සහගතයි. නමුත් දෛවයේ හමු කිරීම් එහෙම තමයි. ඇයවත් ඔහුවත් හරිහැටි නොදැන ඔවුන් දෙදෙනාම ඇවිත් නතර වී තිබුනේ එකම තැනකින්.  ඒ දෛවයට සිදු කරන්නට අවශ්‍යව තිබූ දේ.

"ඇත්තටම මට ඒක එයාගෙන් අහද්දි මට ඕනේ උනා මේසෙ උඩ තිබ්බ එයාගෙ අත උඩින් මගේ අත තියන්න. එයාගෙ ඇඟිලි අතරෙ මගේ ඇඟිලි හිරකරගෙන එක එයාගෙන් අහන්න."
එදා සවස ඔහු තම අවංක හැඟීම් මන් ඉදිරියෙ දිග ඇරියෙ එහෙම. මන් කිසිවක් කිව්වෙ නෑ. ඔහුගේ මුහුණ දිහා බලාගෙන හිටියා විතරයි. මොකද කෙලවරක් නැතිව එලියට එන ඔහුගේ හැගීම් වලට මගේ වචන විරාමයක් වෙනවට මන් කැමති උනේ නෑ.

"ඒත් මට ඒකට බය හිතුනා. එයාගෙ උත්තරය මොකක් වෙයිද කියලා දන්නෙ නැතුව මට එයාගෙ අතින් අල්ලන්න බෑ"

ඇය කලක් තිස්සෙ ඔහු තමාගෙන් අසාවියැයි බලාපොරොත්තුවෙන් සිටි ප්‍රශ්ණය. ඇය කලක් තිස්සෙ ඔහුට දෙන්නට බලාපොරොත්තුවෙන් සිටි උත්තරය.
එහෙත් ඇය නිහඬයි. ඇගේ නිහඬ බව ඔහුගේ හදගැස්ම වඩා තීව්‍ර කලා.

මෙය කදිම කතාන්දරයක්. සිදුවූ හැම තප්පරයක්ම වචන වලට හරවා ඔබට ඉදිරිපත් කරන්නට තරම් හැකියාවක් මන් සතුව නොවුනත් මට ඔබට සහතිකවම කියන්න පුලුවන් එය කදිම කතාන්දරයක්. එදා ඔවුන් මේ මොහොත දක්වා ගෙන ඒම තෙක් සිදුවූ සියල්ල ඔබට දැකගත හැකි වූවනම් මෙය ඔබ දැක ඇති සුන්දරම ආදර කතාව බවට පත් වෙනවාට සැකයක් නැහැ. එහෙත් ඔහුව ලඟින්ම ඇසුරු කල මටවත් ඒ අවස්ථාව සියයට සියයක් සම්පූර්ණව ලැබුනෙ නෑ. නමුත් මන් ඒ ගැන දුක් වෙන්නෙත් නැහැ. මොකද එය ඔහුගේ කතාව. එය ඇයගේ කතාව. එය සම්පූර්ණයෙන්ම ඔවුන් දෙදෙනාගෙ. ඒ කතාවේ හැම වර්ගමිලිමීටරයකම ප්‍රේක්ෂකයන් වෙන්න අපි කිසිවෙකුටත් අයිතියක් නෑ.
මන් අද මේ ඔබට කියන්නෙ ඔවුන්ගේ කතාවෙ සාරාංශයක්. ඔවුන්ගේ කතාවෙ මා දන්නා කොටස. 

මේ කතාවෙ උද්වේගකාරී බව වැඩි වෙන්නෙ එදා ඇය දැක්වූ නිහඬතාවයත් එක්ක. එහෙත් ඊලඟ මොහොතෙදි දෛවය සැලසුම් කල පරිදි සියල්ල සිදු වෙන්නට පටන් ගත්තා. ඔවුන්ගේ හමුවීම අර්ථවිරහිත එකක් වෙන්න කිසිම විදියක් නෑ.
ඇය ඇගේ උත්තරය ලබා දුන්නා. ඔහු ඇගේ දෑත් තදින් අල්ලාගත්තා.

"මේ අල්ලගත්ත අත් දෙක මගේ ජීවිතේ පුරාවට මන් අතාරින්නෙ නෑ" ඔහු ඔහුගේ ආදර කතාවෙ රැජිනට ප්‍රතිඥා දුන්නා.

ඇය පෙර ආත්ම භවයන් ඇති බව තදින් විස්වාස කලා. ඒ වගේම ඔවුන් දෙදෙනාගේ ආදර කතාවටත් ආත්ම ගානක සම්බන්ධයක් ඇති බව ඇය විස්වාස කලා. ඔහු පෙර හෝ පසු ආත්ම භවයන් ඇති බවක් හෝ නැති බවක් ගැන තදින් විස්වාස කල අයෙකු නෙවෙයි. එහෙත් එක දවසක් ඔහු පැවසූ දෙයින් මට ඔහු ගැන පුදුම හිතුනා.

"මචන් මටත් හිතෙනවා අපි දෙන්නගෙ ආත්ම ගානක මොකක් හරි සම්බන්ධයක් ඇති කියලා. නැත්නම් ඇයි මට එයාව මේ තරම් දැනෙන්නෙ. මට මතකයි මන් එයාව පලවෙනි පාරට දැක්ක දවස. ආදරයක් කියලා හැඟිමක් එදා එයා ගැන මගේ හිතේ නොතිබ්බත් අනේ මන්දා බන්. එදා එයාව දැකපු ගමන් මට මොකද්ද වෙලා ගියා. හරියට මට කණට ගැහුවා වගේ. කණට ගහලා මේ කෙල්ල උඹේ කියලා කිව්ව වගේ"

ඔහු සැලසුම් මැව්වා. ඇයත් සමඟ ගෙවන අනාගතය ගැන ඔහු සැලසුම් මැව්වා. ඔහුගේ සිතේ ඇය ගැන තිබෙන ආදරය ගැන වෙලාවකට මටත් පුදුමයි. වෙලාවකට බොළඳ වෙලාවකට සංකීර්ණ නමුත් හැමවෙලේම ආදරණීය ඔහුගේ ආදරය ඔවුන්ගේ ජීවිත වලට අලුත් ආලෝකයක් එක් කලා. ඇගේ ආදරය ඔහුව ජීවත් කලා. ඔහුට මුලු ලෝකයම උනේ ඇය. ප්‍රශ්ණ වලින් මිරිකිලා විඩාවෙ උපරිමයටම ගිහින් ඉන්න මොහොතක ඇගේ එක වදනක් ඔහුව ස්වර්ගය වෙත ඔසවලා තිබ්බා. 

ඔවුන්ගේ ආදරය විස්තර කරන්නට හැකි තව වචන බොහොමයි. උපමා බොහොමයි. ඇය වෙනුවෙන් ඔහු කල කී දෑ වචන වලින් කීමට නොහැකි තරම් විශාලයි. ඔහු වෙනුවෙන් ඇය කල කී දේත් එලෙසමයි. මා ඔවුන්ගේ ආදරය දෙස මහත් ආශාවෙන් බලා සිටියෙ ඒ නිසාමයි.

එහෙත්.... කාලය මිනිසුන්ව වෙනස් කරන්නෙ කෙසේද යන්න ගැන මට කිසිම අවබෝධයක් තිබුනේ නෑ. මන් ඔබට දෛවයේ මුණ ගැස්වීම් ගැන උජාරුවෙන් පැවසුවා. ඒත් එක් දිනකින් පසුව ඒ උජාරුව මන් කෙරෙන් තුරන් වෙලා ගියා. මන් අදටත් මගෙන් ප්‍රශ්නයක් අසාගන්නවා.
"දෛවය අපිට ලබා දෙන්නෙ අපිට අයිති දේවල්මද?"

ඇයට යන්න අවශ්‍ය උනා. ඔහුගේ ආදරයෙන් මිදී තමන්ගේ ආදරය විනාශ කොට ඇයට යන්නට අවශ්‍ය උනා.
ඔවුන්ට එක් වීමට ප්‍රශ්ණ තිබුනු බව මමත් පිලිගන්නවා. එහෙත් ඒ කිසිඳු ප්‍රශ්ණයක් විසඳුම් රහිත ඒවා නොවුනු බව මට බය නැතුව කියන්න පුලුවන්.
එහෙත් ඇය බිය උනා. ඇය ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න බිය උනා. ප්‍රශ්නයෙන් පැන යාම ඊට වඩා පහසු මගක් බව ඇය සිතුවා. ඇය එක් දෙයක් අමතක කලා.
ආදරය කියන්නෙ එක විදියකින් එකිනෙකාට උදවු කරගැනීම. එකිනෙකාගෙ දුර්වලතා වලට සහයෝගයෙන් යුතුව විසඳුම් සෙවීම.

ඇයට මාලිගයක් අවශ්‍ය උනා. එහෙත් ඒ මාලිගය ඔහුත් සමඟ එකතුව ගොඩනගන්නට ඇයට අවශ්‍ය උනේ නෑ. එම මාලිගය ගොඩ නගන්නට ඔහුට දිරියක් වන්නටත් ඇයට අවශ්‍ය උනේ නෑ. ඇයට අවශ්‍ය උනේ තනා නිමකල මාලිගයක්. ඇයට බය නැතුව පය තබන්නට පුලුවන් ශක්තිමත් මාලිගයක්.
තරුණියක් විදියට ඇය බලාපොරොත්තු උන දේ ගැන මන් ඇයට සම්පූර්නයෙන්ම දොස් කියන්නෙ නෑ. ඇයත් නිවැරදියි. එහෙමත් නැත්නම් ඇය අසරණයි. ඇගේ සමාජය ඇය දෙස බලා සිටිනවා. ඇය ඔවුන්ට උත්තර බැඳිය යුතුයි. නමුත් ඇයට අමතක උනා ඇය දමා යන්නෙ ඇය වෙනුවෙන් මාලිගා දහසක් උනත් තැනීමට තරම් ආදරයක් දරා සිටින කෙනෙකු බව. ඔහුට අවශ්‍ය උනේ එක දිරිගැන්වීමක් පමණයි. 

එහෙත් අවසානයේ අනෙක් සියල්ල ඉදිරියෙ ඇයට ඔහුගේ ආදරය නොවටිනා දෙයක් බවට පත් උනා.

"මගේ ජීවිතේ හැමදේකදිම මන් එයාට දීලා තියෙන්නෙ පලවෙනි තැන. ඒත් එයාගෙ ජීවිතේ මට ලැබෙන්නෙ අන්තිම තැන"
ඔහුගේ වේදනාව ගැබ් උන වචන මට තවමත් සිහිපත් වෙනවා.

ඔහු රැඳෙන්න හේතු හොයද්දි ඇය යන්න හේතු හෙව්වා. කෙනෙක් යන්න තීර්ණය කලාට පස්සෙ එයාව නැවත රඳවගන්න බෑ. නමුත් අවාසනාව ඔහුට එය නොතේරුන එක. එහෙමත් නැත්නම් එය පිලි ගැනීමට තරම් හිත ගලක් කරගැනීමට ඔහුට නොහැකි වීම. ඔහු දිගින් දිගටම ඔහුගේ ආදරය වෙනුවෙන් සටන් කලා. එහෙත් ඇය ඇගේ සටන අතහැරලා තිබුනේ සටන පටන්ගන්නතත් කලියෙන්.

"එයාට යන්නම ඕනෙනම් එයාට යන්න දීපන්. උඹව වටින්නෙ නැති කෙනෙක් ගැන ඇයි උඹ ඔයි තරම් වදවෙන්නෙ. උඹේ ආදරේ නිකම්ම නිකන් වචනයක් විතරක් කියලා හිතන කෙනෙක් වෙනුවෙන් ඇය උඹ මැරෙන්න හදන්නෙ. උඹේ ආදරේ දැනෙන්නෙ නැති කෙනෙක් වෙනුවෙන් ඇයි උඹ උඹේ ජීවිතේ නාස්ති කරගන්න හදන්නෙ"
මන් ඔහුට කෙතරම් උපදෙස් දුන්නත් ඒවා මොලයට ඇතුළු කරගන්න තරම් දැඩි හිතක ඔහුට කවදාවත් ඉන්න පුලුවන් උනේ නෑ.

ඔහු හැමදාම මගෙන් ඇහුවෙ එකම එක ප්‍රශ්නයක් විතරයි.
"එයා කොහොමද බන් මෙහෙම හිත ගල් කරන් ඉන්නෙ?"

නමුත් අවසානයේ..... ඔහු ඇයට යන්න දෙනවා. ඔහුගේ ජීවිතයෙන් ඇයට නිදහස ලබා දෙනවා. ඇයට අවශ්‍ය වූ නිදහස. ඇගේ සතුට ඇත්තෙ ඔහු ඇගේ ජීවිතයෙන් සමු ගැනීම තුලනම්, ඔහු තව දුරටත් ඇගේ ජීවිතයට වදයක් වෙමින් සිටීමේ තේරුමක් නෑ. ඔහු ආයාසයෙන් හෝ එය වටහා ගන්නවා. අඩුම ගනනෙ ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු හෝ අද සතුටෙන්.

මෙය සමාජයේ නිතර දැකිය හැකි තවත් එක කතාවක් පමණක්යැයි ඔබ සිතනවා ඇති.
"අපෝ ඕවා කොයි තරම් වෙනවද?"
"මොකද්ද මේ කතාවෙ තියෙන අමුතු විශේෂත්වෙ?"
"මේක මේ සාමාන්‍ය කතාවක්නෙ"
"අයියෝ ඕවනම් අපිටත් වෙලා තියෙන්නෙ"
"කොයි කාටත් වගේ වෙන නෝමල් දේවල්නෙ ඉතින් මේවා"
මෙවැනි දහසක් දේවල් ඔබෙ හිතේ ඇති වෙනවාට කිසිඳු සැකයක් නෑ. මන් ඒ ගැන ඔබට දොස් කියන්නෙත් නෑ. මොකද ඇත්තෙන්ම මෙයත් එක්තරා සාමන්‍ය කතාවක් පමණයි.
ඒත් මන් අද ඔබට මේ කතාව කිව්වෙ හේතුවක් ඇතිව. මොකද මෙවැනි කතා සමාජයේ බහුලයියැයි හඬ නගන ඔබ, කිසි දිනෙක තවත් මෙවැනි කතාවක් ඇති නොවීමට කිසිඳු උත්සහයක් නොගන්න නිසා. 
ඔහුගේ වේදනාව මන් දුටුවා. යහළුවෙක් විදියට ඒ වෙනුවෙන් මට කල හැකි එකම දේ වුනේ ඔහුට ඇහුම්කම් දීම විතරයි. ඇගේ යෙහෙළියක් ඇය වෙනුවෙන් කුමක් කරන්න ඇද්ද? ආදරයක් ඇති කරගැනීම පහසුයි. ඒත් එය පවත්වාගෙන යෑම අසීරුයි. යහළුවන් යෙහෙළියන් විදියට අපිට වගකීමක් තියෙනවා. ආදරයක් ඇති කරන්නටත්, නැති කරන්නටත් අපගේ යාලුවන්ගේ දායකත්වය ඉතා දැඩිව බලපානවා. මන් ඔබට මේ කතාව කිව්වෙ අන්න ඒ හේතුව නිසා. ඔබත් කාගෙ හෝ යහළුවෙක්, යෙහෙළියෙක්. ඔබේ වචන ඔබේ යහළුවාගේ යෙහෙළියගේ ජීවිතයට බලපන්නේ කුමන අකාරයෙන්ද යන්න තවත් වරක් සිතා බලන්න.

දෛවය... සෑම විටම එය අපව අතරමන් කරනවා. හමුවීම්, වෙන්වීම්. සැබැවින්ම දෛවයට අපෙන් අවශ්‍ය දේ කුමක්ද? දෛවය විසින්ම මුණගස්සවලා දෛවය විසින්ම වෙන් කරවනවා. ඒ අතරමැද හිරවෙන මිනිස් හැඟීම් ගැන දෛවයට කිසිම අවබෝධයක් නෑ.  ඇත්තටම ඔවුන්ගේ හමුවීම අර්ථවිරහිත එකක්ද?

බිමට යොමාගත් විඩාබර දෑසින් යුතුව ඔහු කොලයක කුමක්දෝ කුරුටු ගාන අයුරු මන් දුටුවා. මන් ඒ කොලයට එබුනා. එය පුංචි කවියක්

ඔබ එනතුරු සිටියා මම              බලාගෙන
ඔබ ගිය මග දෙස මගෙ නෙතු    යොමාගෙන
කොපමන බලා සිටියත් නෙත්       අයාගෙන
ඔබ එන්නෙ නැහැ යලි මා         සොයාගෙන

"එයා ආයෙ එන්නෙ නැති බව දන්නවනම් ඇයි තවත් බලන් ඉන්නෙ?"
මගේ ප්‍රශ්ණෙට ඔහු කොලේ දිහා බලාගෙනම උත්තර දුන්නා.

"මොකද මන් තාමත් එයාට ආදරේ නිසා"

Tuesday, March 4, 2014

හෙට...


දෙගුරුන් සනසවා
තම සෙනෙහෙ සඟවා
සිතක දුක් පුරවා
කුමරි යාවිද
මුදුව පලඳා