Wednesday, January 28, 2015

ලේඛකයා මැරිලා!

මල් වල සුවඳ පිච්චිලා උගුර හරහා පපුවට යද්දි දුව දුව තිබ්බ හිත එක තැනක නැවතෙන්න පටන් ගත්තා. කරුමෙට ඒකත් ගිහින් නැවතුනේ එයා ගාවමයි. මට ඕනේ උනේ අලුත් වෙන්න. වෙන දෙයක් හිතන්න. මාස ගානකින් කුලිය ගෙවන්නෙ නැතුව හිතේ නැවතිලා හිටපු ඇයව මගෙ හිත් ගෙයින් එලවලා දාන්න. කිහිප වතාවක්ම එයාව එලවලා දැම්මත් මට එක දෙයක් අමතක උනා. ආයෙමත් දොර වහලා අගුල දාගන්න. ඇරිලා තිබ්බ දොරින් එයා ආයෙමත් ඇතුලු උනා.
අන්තිමේ හැමදාමත් මන් පැරදුනා. දවසින් දවස හිත අලුත් උනා. ඒත් ඒ එයාත් එක්කමයි. අලුත් උන හිතත් අරගෙන ආපස්සට හැරිලා බලද්දි මම විතරයි. එයාගෙන් පිරුන මගේ හිතත් අරගෙන මම විතරයි. ඉතින් මන් පැරදියි.

පපුවෙ තිබ්බ තවත් දුම් ගුලි‍යක් නාස් සිදුර හරහා මම වාතලයට එකතු කලා. ජංගම දුරකතනයේ සිහින් හඬින් වාදනය වෙන කපුගේගෙ සින්දුවක් හෙමිහිට කන් දෙක පුරා පිරුනා. ඒත් එක්කම තව තවත් එක්තැන් වෙච්ච මගේ හිත එයාව හොයාගෙන ගැඹුරටම ගමන් කලා.

.............ගහ කොළද මල් පිපේ ඇල දොල නිල කඩා හැලේ
පෙරදාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුනේ......................

මන් රැවටුනාද? මාස ගානක ඉඳන් මගේ හිතේ කැකෑරෙන ලොකුම ප්‍රශ්ණය. ඇය මට ආදරය කලේ නෑ කියලා විශ්වාස කරන්න මට පුලුවන් කමක් නෑ. මන් ඇයට ආදරය කල තරමටම ඇයත් මට ආදරේ කල බව මන් දැනන් හිටියා.

"මට ආසයි ඔයාගේ උරහිසේ ඔලුව තියාගෙන නිදාගන්න"
ඇය හැමදාම මන්තරයක් වගේ මිමිණුවා. ඇයගේ ඒ ආසාව සංතෘප්ත වුන දිනයන් වලදි බාගෙට මගේ උරහිසට හිරවුන ඇගේ මුහුණ දිහා බලාගෙන මන් සැනසුනා. ඉඳහිට පොඩ්ඩක් පහත් වෙලා ඇගේ නළල සිපගත්තෙ ඇයව ඇහරවන්න හිතාගෙන නෙවෙයි. සමහර වෙලාවට ඇය ඇස් දෙක ලාවට ඇරලා යාන්තමට හිනා වෙලා ආයෙත් ඇස් පියාගන්නවා.
මම මගේ අතැඟිලි ඇගේ කෙස් අතරින් යවමින් රටා අඳිනවා. ඇගේ උණුසුම මගේ පපුව හරහා ඇවිත් මුලු සිරුරම සුවපත් කලේ හරිම පුදුම විදියට. ඒ උණුසුම මට දැනුත් දැනෙනවා වගේ. ඒත් දැන් ඒ උණුසුමෙන් වෙන්නෙ ඇස් ඇතුලේ දිය පාරවල් උතුරල පිටාර ගලන එක විතරයි.
ඒ දිය පාරවල් වලින් හිත මෙලෙක් කරන්න දෙන්න දෙන්න බැහැ. හිත මේ තරමට ගල් කරගත්තේ සෑහෙන්න වෙහෙස වෙලා. ඒ වෙනුවෙන් ගොඩක් දේවල් කැප කරන්න උනා. ජීවිතේ මෙච්චර කාලයක් රැකගෙන ආපු ප්‍රතිපත්ති. මගේම ස්වයං වාරණ. දැන් ඒ හැම දෙයක්ම අතීතයට අයිති පොර ටෝක් ටිකක් විතරයි. ඒ හැම දේකටම පස්සෙත් හිත ආයෙ මෙලෙක් වෙන්න ගත්තොත් මේ කැප කිරීම් කිසිම දේකින් වැඩක් නැති වෙනවා.
මම සුරතේ ඇතැඟිලි දෙතොල් වෙත ගෙන ගියා.

.........නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමු වෙලා
මහ මෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා..........

කපුගේගෙ කට හඬෙන් දෙන්නෙ අමුතුම හැඟීමක්. ඒ හැඟිමට තාලයයි, වචනයි, ඒ වචන වලටම ගැලපෙන මගේ අත්දැකීමුයි ඔක්කොම එකට එකතු උනාම ගීතය සම්පූර්ණයෙන්ම මගේ එකක් වෙනවා.  අමාරුම වෙන්නෙ එතකොටයි. සන්සුන් වෙලා තිබ්බ හිත ආයෙමත් කැලඹෙන්න පටන් ගන්නවා.
ඇය අවසන් වරට හමුවී මාස ගණනක් ගත වෙලා. අද අපි හරියට ආගන්තුකයින් දෙදෙනෙක් වගේ. ඇය නන්නාඳුනන්නියක් වෙන්න මන් මැරිලා ඉපඳුනේ නෑ. ඒත් ඇය හැසිරෙන්නෙ එවන් ආකාරයකට. අප යලි කවදා හමු වෙයිද? ඒ හමුවෙන මොහොත මොන වගේ එකක් වෙයිද? මන් කෙසේ හැසිරෙයිද? ඇය කෙසේ හැසිරෙයිද? එක අතකට ඇයව ආයෙත් වතාවක් හමු නොවෙන එක හොඳයි. ඒත් හිත ඇතුලෙන් ඇයව දැකගන්න ආසවන් කැකෑරෙනවා. ලොකෙන්ම ලස්සනම හිනාව තිබ්බෙ ඇයට. ඒ හිනාව මගේ උන දවසෙ මන් කොයි තරම් සතුටු උනාද. ඒත් අද ඒ හිනාවත් අරන් ඇය අතුරුදහන් වෙලා.

කපුගේගේ ගීතයේ අවසානයත් එක්කම දකුණතේ දබරඟිල්ලත් මැදඟිල්ලත් අතර ආසන්නයටම ගින්දර කොටසක උණුසුම ලන් උනා. අලුත් මල් පොකුරක් සූදානම් වන තුරු මම ජංගම දුරකතනයේ තවත් ගීයක් සොයමින් ඇඟිලි අරන් ගියා.

මේ ඉර හඳ යට හමුවී - එඩ්වඩ් ජයකොඩි

එක්තරා ගීතයක් ලඟ මගේ ඇඟිලි නතර උනා.

මේ ඉර හඳ යට හමුවී
ආදරයෙන්
කතා කරපු අය සෙනේ වඩපු අය
ලඟ පාතකවත් නෑ

ගීතය වාදනය කරන්නත් කලින් ගීතයේ පද මාලාව මගේ හිස ඇතුලේ ගැයෙන්න පටන් ගත්තා. ඒ වචන වලට මගේ අතීතය තනුව බවට පත් උනා. හදිසියේම හිත ඇතුලෙන් සිතිවිලි ඉපදෙන්න ගත්තා.
තොරතෝන්චියක් නැතුව ඉපදෙන සිතුවිලි රෑනක් හිත ඇතුලෙන් එලියට වෑස්සෙනවා. ඇති තරම් තීන්ත තිබ්බනම් මුලු ලෝකම වැහෙන්න ලියන්න පුලුවන් තරමේ සිතිවිලි වරුසාවක්.
බොහොම කාලෙකට ඉස්සර මගේ මනස ඇතුලේ එක්තරා ලේඛකයෙක් ජීවත් උනා. ඒත් ඒ ලෙඛකයා මැරුනා. ලේඛකයා මැරිලා හිටපු හිතෙන් කිසිම සිතුවිල්ලක් එලියට අවේ  නෑ. ඒත් අද හදිසියේම ඒ ලේඛකයට ආයෙත් පණ ලැබිලා වගෙයි.  නමුත් මට තව දුරටත් ඒ ලේඛකයා අවශ්‍ය නෑ. මොකද ඒ ලේඛකයා මගේ ජීවිතේට අරන් එන්නෙ කඳුලු තැවරුන අතීතයක් විතරයි. ඒයා මැරිලම හිටපු දෙන්. මන් ගීතය වාදනය කරන අදහස අත ඇරලා දැම්මා.
ඊට හොඳයි තව මල් සුවඳ උගුරකින් පපුව පුරවගන්න එක. මන් නිවිසැනසීලේ ඊට යොමු උනා.

"උඹ උන්නද මලාද කියලා හොයලා බලන්නෙ නැති කෙනෙක් ගැන බලාපොරොත්තු තියාගන්න එපා බන්. ඒකෙන් වෙන්නෙ උඹ විඳවන එක විතරමයි."
ටික දවසක උඩදි මුහුණු පොතේ දැකපු එක කියමනක් මට මතක් උනා. ඒ කියමන මට ආදේශ කරගන්නනම් ඇයට දෝෂාරෝපණය කරන්නට තරම් මට හිත දැඩි කරගන්න වෙනවා. ඒත් ඇයට වරදක් කියන්නට තාමත් මගේ හිත ඉඩ දෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට කාලය විසින් ගොඩක් ප්‍රශ්ණ විසඳනවා. ඒත් කාලය විසින් ඇගේ හිත තුල කිසිම වෙනසක් ඇති කරලා නැති බව ඇගේම වචන පසුගිය දවසක මට ඒත්තු ගැන්වුවා. සමහර විට  මැරුණු ලේඛකයට හදිසියේම ආයෙ පණ ලැබෙන්න ඇත්තෙත් ඒ වචන නිසා වෙන්න පුලුවන්. 
ඒක තමයි භයානකම කොටස. හොඳම දේ තමයි මැරුණු සිතුවිලි වලට ආයෙ පණ නොදෙන එක. වල දමපු දේවල් ආයෙ උඩට නොඅදින එක. මැරුණු හීන වලට ආයෙ පණ දෙන එක අවධානමක්. ඒත් ජීවිතේ කියන්නෙ අපි ඉල්ලන අපි බලාපොරොත්තු වෙන දේම නෙවෙයි.
දැන් මන් ගෙවන ජීවිතය මන් කවදාවත් ඉල්ලපු දෙයක් නෙවෙයි. මන් කවදාවත් බලාපොරොත්තු උන දෙයක් නෙවෙයි. නමුත් ඒක සිද්ද උනේ මෙහෙමයි. ඒකට වැරදිකාරයා හොය හොය නාස්ති කරන්න වෙලාවක් දැන් මට නැහැ. මොකද දැනටමත් අලුත් මල් පොකුරක් සූදානම් වෙලා. දැන් තියෙන්නෙ එක් කෙලවරකට ගින්දර ලන් කරලා දෙතොල් අතරේ රඳවගන්න විතරයි. මල් සුවඳෙන් පපුව පිරිලා යද්දි හිත ඇතුලෙ මොනවා පිරිලා යයිද කියන්න මන් දන්නෙ නෑ. 
මන් දන්නෙ එක දෙයයි. පපුව ඇතුලට ගන්න දුම් ගුලිය ආයෙ එලියට ඒවි. ඒත් හිත ඇතුලෙ පිරෙන සිතුවිලි පොදිය කවදාවත් එලියට එන එකක් නෑ.
මොකද ලේඛකයා මැරිලා!!!