Monday, July 16, 2012

අඳුරුම රැය

අවසානයේ ඇය විවාපත් උනා. ප්‍රථම ආදරයේ නෂ්ඨාවශේෂ මතින් ඉවතට පා තබලා ඇය ඔහු හා අතිනත ගත්තා. අන්තිම මොහොත වෙනකම්ම මගේ හිතේ පොඩි හරි බලාපොරොත්තුවක සලකුණක් තිබ්බෙ නෑ කියලා මට මගේ හිතට බොරු කරගන්න බෑ.  ප්‍රාතිහාර්‍ය ගැන මන් අහලා තියෙනවා. ඒත් මගේ ජිවිතේ ප්‍රාතිහාර්‍ය වලට ඉඩක් නෑ කියලා මන් අද ප්‍රත්‍යක්ශයෙන්ම දැන ගත්තා.
කෙනෙක් හිතයි අනුරාධයා එහෙමත් නැත්නම් සමහරු කියන විදියට පණුවා අද මෙන්න අඳෝනා ගහනවා කියලා. බාගවිට අඳෝනාවක් වෙන්න ඇති. ඒත් අවුරුදු දෙකකට කලින් මේ වගේම 'අඳෝනා' නිසා ටිකක් හරි මන් සැහැල්ලු උනා. හරියටම අවුරුදු දෙකකට පස්සෙ එදා දැනුනු හැඟීම ආයෙත් පාරක් මගේ ජීවිතේට ලන් උන නිසා අදත් මන් ලියනවා.
මංගල සාරියෙන් සැරසුන ඇයව වම් පැත්තෙන් තියාගෙන පෝරුවට නගින්න මන් හීන මැව්වා. ඇයගෙත් මගෙන් දෑඟිලි ගැට ගැහෙන හැටි මන් හිතින් මවාගත්තා. ඇයගෙත් මගෙත් මංගල රාත්‍රිය දා ඇගේ මුහුණ ලැජ්ජාවෙන් රතු වෙන හැටි මට මැවිලා පෙනුනා. ඒ හීන, හීන වලටම එකතු උනේ අද ඊයෙ නෙවෙයි. හරියටම අවුරුදු 2ක්. ඒත් ඒ අවුරුදු 2 පුරාම මගේ හීන නෙත් ඇතුලෙ පෙඟිලා යන්න මන් ඉඩ දුන්නෙ නෑ. ඒත් අද.... අද ඒ හීන සදහටම පෙඟිලා ගියා. අද ගොඩක් කලුවර රැයක්. ඒ කලුවර ඇතුලෙ මගේ හීන ඔක්කොම සැඟවිලා ගියා.
අඩුම ගානෙ ඇගේ ඒ සුවිශේෂි දවසෙදි ඇයට සුභ පතන්නවත් මට ඉඩක් ලැබුනේ නෑ. හෙට ඇගේ උපන්දිනය. ඒ වගේම ඇගේ දෙවෙනි ගමන. ඇය ඇගේ අතිනත ගත් ආදරණීය ස්වාමිපුරුෂයාගෙ නිවසට පැමිණෙන දිනය. ඇගේ ජීවිතයේ වැදගත්ම අවස්තා දෙකක් එකම දිනයේදි. ඇගේ ජීවිතේ සුවිශේෂීම උපන්දිනය. ඇයට කරන්න තරම් සුභ පැතුමක් මට වචන වලට ගොණු කරගන්න බෑ. ඒත් හැමදාමත් මම ඇගේ ජීවිතයට සුභ ප්‍රාර්තනා කලා. ඇගේ 'කිතුනු' ස්වාමිපුරුශයාගෙන් ඒ සුභ නිමිති ඇගේ ජීවිතය එකතු වේවි කියලා මන් විශ්වාස කරනවා. ඒ වගේම මන් ඒය එසේම වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්තනා කරනවා.
මීට කලකට ඉහතදි මගේ අතින් ලියවුනු පැදි පෙලක අවසන් පද කිහිපය මට මේ වෙලාවෙ සිහියට එනවා.

සතුට ලැබෙයි නම් ඔහුගේ සෙවනේ
ඔබේ සතුට තාමත් සතුටයි මට
දෙන්නම් නැලවිලි ගීය ලියා මම
මතු උපදින පොඩි පුතු නලවන්නට

Friday, July 13, 2012

නාරිලතා


නාරිලතා මල දැහැන් බිඳිද්දී
සිත එක්තැන් කල තවුසන්ගේ
නාරිලතා ලඟ අරුමයක්ද සිත
මේ හැටි චංචල වීම මගේ

සිරුරෙහි වෑහෙන කෝමළ රේඛා
අතරින් සිත දිව යන රඟේ
වැලඳ සිඹ මුදු පහස විඳිමින්
මෝදුවන කොලු කම මගේ

රස මීවිත පිරි නුරා දෙතොල් ලඟ
සිල්පද රැකගෙන ඉඳිනු කෙසේ
නුඹේ ලඟ සිල්පද රකින්නට
රහත් වී නැත සිත මගේ