Monday, August 22, 2011

සමන්ති ඇන්ටී

"අන්න සමන්ති ඇන්ටී පැනලා ගිහිල්ලා" මගේ කාමරේ දොරෙන් එබිලා අක්කා එදා කිව්ව විදිය මට තාමත් අද වගේ මතකයි. ඒ මීට අවුරුදු 3කට විතර කලින්. අක්කා එදා ඒක කිව්වෙ, හරියට ඒ දේ එයා බලාපොරොත්තුවෙන් සිටි දෙයක් වගෙයි. මම කියවමින් හිටි පොත දිහා තවත් මොහොතක් එහෙමම බලන් හිටියා. මම පියවි සිහියට ආවෙ මොහොතකට පස්සෙ.
"මොකා" මම ඇහුවෙ පොත දිහා බලාගෙනම.
"හ්ම්ම්... ඊයේ රෑලු.... ලියුමකුත් ලියලය කියන්නෙ ගිහින් තියෙන්නේ" අක්කා කිව්වෙ ගානක් නැතුව වගේ.
"කාත් එක්කද?" මගේ ඔලුවේ හිර වෙලා තිබ්බ ප්‍රශ්ණේ එලියට ආවා.
"හිච්චිත් එක්ක" අක්කගෙ ඒ උත්තරේ මට එක පාර විස්වාස කරන්න පවා බැරි උනා. මම ඇස් ලොකු කරගෙන අක්කා දිහාම බලාන උන්නේ ඒ නිසාමයි.
"ඔන්න තමුසෙලාගෙ මහලොකු සමන්ති ඇන්ටි. " අක්කා ගස්සගෙනම යන්න ගියේ එහෙම කියාගෙන.

සමන්ති ඇන්ටි අපිට දුරින් නෑයෝ උනා. දුර කියන්නෙ සෑහෙන්න දුර නෑ කමක්. ඒත් අපි දෙගොල්ලන්ගෙ ගෙවල් තිබ්බෙ එකම ගමේ එක කිට්ටුව නිසා ටිකක් ලොකු හිතවත්කමක් අපේ පවුල් අතර තිබුනා. ඒ වෙද්දි සමන්ති ඇන්ටිට වයස 34ක් 35ක් වගේ වෙන්න ඇති. ඒ උනත් බැලූ බැල්මට කිසි කෙනෙක්ට එහෙම කියන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. මොකද ඇන්ටිට තිබ්බෙ අවුරුදු 25ක විතර පෙනුමක්. ගමේ ගොඩක් දෙනා සමන්ති ඇන්ටි දිහාවට ඇහැ ගහගෙන හිටියේ ඒ නිසාම වෙන්න ඇති. තලතුනා ලොකු මිනිස්සු වගේම පොඩි කොල්ලො කුරුට්ටොත් ඒ පිරිස අතර හිටියා. හැබයි ඒ කිසිම කෙනෙක් සාර්ථක උන බවක්නම් මම ඒ වෙනකම් අහලා තිබුනේ නෑ. සමන්ති ඇන්ටි කසාද බැඳලා හිටියේ සමරේ අංකල්ව. සමරේ අංකල් රස්සාවට කලේ ත්‍රීවීල් එකක් දුවපු එක. මහ ලොකු සල්ලි කාරයො නොවුනත් සාමාන්‍ය හොඳ ජීවිතයක් ගත කරන්න තරම් මිල මුදලක් ඒ රස්සාවෙන් අංකල් හම්බ කලා. අංකල්ගෙ පොඩි වැරැද්දකට තිබ්බෙ හවසට ටිකක් බොන එක විතරයි. ඒත් බීලා පිස්සු නටලා අනිත් මිනිස්සුන්ටත් වදයක් වෙලා පවුලටත් වදයක් වෙන කෙනෙක් විදියට අංකල් නම දරලා තිබ්බෙ නෑ. තම්න්ගෙ පවුලට හොඳින් සලකගෙන ඉන්න යහපත් මනුස්සයෙක් විදියටයි ගමේ අංකල්ව පිලිගෙන තිබ්බේ.

 මේ දෙන්නට ලමයි හිටියේ නෑ. ඒ ගැන ගමේ එක එක කතන්දර පැතිරුනා. සමන්ති ඇන්ටි උදේක ඉස්සරහට හම්බවෙන එක පවා පිලිකුල් කර සමහර මිනිස්සු ගමේ හිටියා.
"ඔය වඳ ගෑනි උදේක දැක්කොත් දවසම මූසලයි" බාග විට අපේ අක්කත් හිටියේ ඔය මතේමද කියලා වෙලාවකදි හිතුනා. හැබැයි එහෙම උනා කියලා ඒ දෙන්නා කාටවත් ඒ ගැන උත්තර බඳින්න ගියෙත් නෑ. අනිත් මිනිස්සු ඒ දේ ලොකු ප්‍රශ්නයක් කරගත්තට ඒ දෙන්නටම ඒක ඒ හැටි ප්‍රශ්නයක් උන බවක් පෙනුනේ නෑ.

සමන්ති ඇන්ටි මම පොඩි කාලේ ඉඳලම මාත් එක්ක ගොඩක් හිතවත්. සමරේ අංකල් උනත් එහෙමයි. අංකල්ටත් වඩා මාත් එක්ක ගොඩක්ම ලඟින් හිටියෙ ඇන්ටි. මන් හිතන්නේ ඒ දවස් වල මගේ හොඳම යාලුව උනේ සමන්ති අන්ටි. මොකද මන් මගෙ ගොඩක් දේවල් කතා කලේ එයා එක්ක. කොටින්ම මගේ පලවෙනි ආදර සම්බන්දෙ ගැන පවා මුලින්ම කිව්වෙ සමන්ති අන්ටිට. සමන්ති ඇන්ටිට ගමේ පිරිමි මොන තරම් ඇල්ම බැල්ම දාගෙන හිටියත් එයා ඒ කිසිම දෙයක් තුට්ටුවකටවත් මායිම් කලේ නෑ. ඒ නිසාම සමන්ති අන්ටිගෙ චරිතෙට කිසිම හානියක් වෙලා තිබුනේ නෑ. අපේ ගෙදරින් උනත් මන් සමන්ති අන්ටිට ගොඩක් හිත්වත්ව හිටි ඒකට ඒ තරම් ප්‍රශ්ණයක් නොවුනේ ඒ නිසා වෙන්න අති. හබැයි ඒ ලෙවල් පන්ති වලදි මගේ ගොඩක් යාලුවො සමන්ටි ඇන්ටි මාත් එක්ක ගොඩක් හිතවත් එකට ටිකක් ඉරිසියා කලා කියලා මට දැනුනා. ඒ වගේම සමහර යාලුවො අපේ හිතවත්කමට එක එක කතන්දරත් කිව්වා.
"මචන් සමන්ති අන්ටි ඔය එන්නෙ වෙන පොටකට වගේ" ඒ අය කිව්වෙ එහෙම. පොඩි කාලේ ඉඳන්ම ලඟින් ආස්‍රය කල නිසා මට එහෙම දෙයක් දැණුනේ නෑ.
සමන්ති ඇන්ටි සමහර වෙලාවට මාත් එක්ක එයාගෙ පවුල් ජීවිතේ ගැන කතා කලා
"එයාගෙ ඔය යාලුවොයි බීමයි ඇරෙන්න එයාට වෙන ලෝකයක් නෑ පුතා" ඇන්ටි සමහර වෙලාවට අංකල් ගැන නොරුස්සනා ස්වරයෙන් කතා කලා.
"එලියට නොපෙනෙන කොයි තරම් දේවල් ජීවිත ඇතුලේ තියෙනවද පුතා. ගෑනියෙක් බලාපොරොත්තුවෙන දේවල් ගන මිනිහෙක්ට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ"  ඔය වගේ වෙලාවලදි එක එක පඬි උපදෙස් දීලා කතාව වෙන මගකට අරන් යන එක තමයි මගේ සිරිත උනේ.
"මොට්ටයෝ, ඇන්ටි ඔය උඹට එක එක ඉඟි දෙන්නේ. උඹනම් ගොන් රජෙක්. ශික්! අපිට නෑනේ ඔය වගේ චාන්ස් එකක්." පන්තියෙ යාලුවන්ට ඒවා කිව්වම උන් බොහෝවිට දුන්නේ ඒ වගේ පිලිතුරක්.
සමන්ති ඇන්ටි ගැන ඒ වගේ වරදි අහැකින් බලන්න මට උවමනා නොවුනත් අනිත් කොල්ලො මේ තරම් පිස්සු වැටිලා ඉන්න ගෑනු කෙනෙක් මා එක්ක මේ තරම් දේවල් පවා කතා කරනවා කියලා කියන එකේ අමුතු ගැම්මකුත් මට නොතිබ්බම නෙවෙයි. සමහර විට ඒක කාලේ වැරැද්ද වෙන්නත් පුලුවන්. එහෙමත් නැත්නම් පිරිමි කමේ වැරැද්ද වෙන්නත් පුලුවන්.

හිච්චි සමන්ති ඇන්ටිලයි ගෙදර නවතින්න ආවේ ඔය කාලෙදි. හිච්චි කියන්නේ සමරේ අංකල්ගෙ අක්කගේ පුතා. සමරේ අංකල්ගෙ අක්කා ජොබ් එකකට රට ගියා. එයාගෙ මහත්තයා මරිලා. ඒක නිසා එයා හිච්චිව තමුන්ගෙ මල්ලිලිගෙ ගෙදර නැවැත්තුවා. හිච්චිගෙ ඇත්ත නම සමන් උනත් ගමේ වැඩි දෙනෙක් ඒ නම දැනන් උන්නෙ නෑ. ගෙදරට කියපු නමම ටික දවසකින් මුලු ගමේම ප්‍රසිද්ධ උනා. නම විතරක් නෙවෙයි හිච්චි පවා ගම ඇතුලේ ප්‍රසිද්ධ වෙන්න වැඩි දවසක් ගියේ නෑ. සමහර විට හොඳ කඩවසම් සිරුරක් තිබීම හා ගොඩක් සමාජශීලී ක්‍රියාවන් ඔහු සතුව තිබීම ඒකට හොඳ හේතු සාධක විදියට බලපාන්න ඇති. හිච්චි මට වඩා අවුරුදු 2ක් විතර බාලයි. ඒ වෙද්දි එයා පාසල් ගමන ඉවර කරලා තිබ්බ නිසා ගමේ මොකක් හරි ජොබ් එකක් හොයාගන්න උනන්දු කලත් මිනිහගේ හිතේනම් ඒ ගැන ලොකු උනන්දුවක් තිබ්බා කියලා පෙනුනේ නෑ. ඔය විදියට හිච්චි මාස 7ක් 8ක් සමන්ති ඇන්ටිලහා හිටියා. නමුත් සමන්ති ඇන්ටි හිච්චි එක්ක අර විදියට පැනලා යනකම්ම ඒ දෙන්න අතරේ කිසිම ඒ වගේ සම්බන්දයක් තියෙන වගක් ගමේ කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නෑ. සමන්ති ඇන්ටි පැනලා ගිහින් කියන ආරංචිය ගමේ ලොකුම ලොකු උණුසුම්ම පුවතක් උනේ ඒ හංදයි.

"ඕකගෙ නම හිච්චි උනාට කරලා තියෙන වැඩේනම් හිච්චි නෑ"
"යකෝ මේකි පත්තිනි අම්මා වගේ ඉඳලා මේ නැට්ටෙන් කිරි  එන්නෙවත් නැති පොඩි එකෙක් එක්ක පැනලා ගියානේ"
"මමනම් දැනන් හිටියා ඔය ගෑනි ලොකු අඩව්වක් අල්ලයි කියලා"
ගමේ කිසිම තැනක් තිබ්බෙ නෑ ඔය වගේ කතා නො ඇහුන.
"බලපන් උඹට තිබ්බ චාන්ස් එක තමයි හිච්චියා ගත්තේ" මගේ යාලුවො කිව්වෙ එහෙමයි.
"සමරයා ගෑනිට හොඳට සැලකුවනේ බන්. එහෙව් එකේ ඇයි මේකි මේ හිච්චන් කොල්ලෙක් එක්ක පැනලා ගියේ."
"හරි බන්. කවුද දන්නෙ හැම අතින්ම හරියට සැලකුවද කියලා" ඔය අතරේ සමරේ අංකල්ටත් එක එක හින්ට් පාස් උනා.
මිනිස් ආශාවන් පුදුමයි. මිනිස් හිත ඉල්ලන දේවල් පුදුමයි. ආශාවන් නිසා මිනිස්සු තීරණ වලට එලඹෙන විදියත් පුදුමයි. හරි වැරැද්ද මොකද්ද හරි කවුද වැරදි කවුද කියලා තේරුම් කරගන්න මගේ හිතට පුලුවන් කමක් ලැබුනේ නෑ.  ලෝකේ අනිත් දේවල් වගේම මේකත් ටික කාලෙකින් මිනිස්සුන්ගෙ හිත් වලින් ටිකෙන් ටික අමතක වෙලා ගියා. සමන්ති ඇන්ටි ගියා කියලා ලිඳේ පනින්න හදාපු සමරේ අංකලුත් ඊට අවුරුදු එකහාමාරකට විතර පස්සෙ ගමේම හිටපු වෙන ගෑනු කෙනෙක් එක්ක සම්බන්දයක් පවත්වනවා කියලා කටකතා පතිරුනා. හැබැයි කොහොම උනත් කවදාවත් සමන්ති ඇන්ටි ආයෙත් ගමට ආවෙවත් එයා ඉන්න තැනක් ගැන කාටවත් දැනගන්න ලැබුනෙවත් නෑ. කාලයත් එක්ක හැම දෙයක්ම යටපත් වෙලා ගියා.

හරියටම අවුරුදු 3කට පස්සෙ ඊයෙ හවස නුගේගොඩදි මට සමන්ති ඇන්ටිව මුණ ගැහුනා. අවුරුදු 3 ඇතුලත සමන්ති ඇන්ටි අවුරුදු 10ක් විතර වයසට ගිහින් කියලයි මට හිතුනේ. එයා හිටියෙ අවුරුදු 2ක විතර පොඩි ළමයෙකුත් වඩාගෙන. අහන්නෙ මොනවද කියන්නෙ මොනවද කතා කරන්නෙ මොනවද කියලා කිසි දෙයක් මගේ ඔලුවට හැඟුනේ නෑ. මන් ඔහේ බලන් හිටියා සෑහෙන වෙලාවක්. පස්සෙ අපි කතා කලා. කෙටි සාමාන්‍ය කතා බහකට පස්සෙ සමන්ති ඇන්ටිම මන් අහන්න ගිය කතාවට මුල පිරුවා.
"පුතා දන්නවා ඇතිනේ වෙච්ච දේවල්. මම දන්නෙ නෑ ඒ දේවල් කොහොම උනාද කියලා. සමරේ මට හොඳට සලකුවා තමයි. ඒත් එයාට මග ඇරුනු පැත්තකුත් තිබ්බා කියලා එයා තේරුම් ගත්තේ නෑ. එදා මායි හිච්චියි එන්න කලින් දවසෙ රෑ අපේ සම්බන්දෙ සමරෙට අහු උනා. එයා මට හොඳටම ගැහුවා. පහුවදාම හිච්චිට එහෙන් යන්න කිව්වා. මන් දන්නෙ නෑ පුතා. මොකක් හරි නිසා එදා මම ඒ තීරණේ ගත්තා." ඇය කතා කරනවා. හූ මිටි තියන්නවත් මගේ හිත එකලසක් තිබ්බෙ නෑ.
"කෝ හිච්චි" මම අමාරුවෙන් වචන ගලපගත්තා.
එහෙම ඇහුවම ඇන්ටි හිනා උනා. ඒක මහ සමච්චල් සහගත හිනාවක් විදියටයි මට දැනුනේ. ඒත් ඒ සමච්චලය කාටද? මට ඒක තේරුම්ගන්න බැරි උනා.
"හිච්චි මාත් එක්ක හිටියේ මාස 5යි. හිච්චි යන්න ගියා. නිකම්ම නෙවෙයි. අපි නැවතිලා හිටපු තැනට අල්ලපු ගෙදර හිටපු පොඩි කෙල්ල එක්කම."
"ආහ්" මගේ කට ඇරුනා.
"එතකොට..........." මම අහන්න ගිය දේ ගිලගෙන ඇගේ අතේ හිටි පොඩි ලමයා දිහා විමසුම් සහගත බැල්මක් හෙලුවා.
"මන් දන්නවා. පුතා හිතන්නේ මේ දරුවා කවුද? කාගෙද කියලනේ. " ඇයට මගේ හිතුවිලි තේරුනා වගේ. මම  හිස සෙලෙව්වා.
"මේ මගේ දරුවා. හිච්චි ගියාට පස්සෙ මන් හොඳටම තනි උනා. හිච්චි ඉන්න කාලෙම මට තේරුනා අපි නැවතිලා හිටපු කාමරේ අයිතිකාම මනුස්සයා මට කැමත්තෙන් හිටියෙ කියලා. හිච්චි ගියාට පස්සෙ ඒ මනුස්සයා මට උදව් කලා.  ඒ මනුස්සය තනිකඩ මනුස්සයෙක්. මන් දැන් ඉන්නෙ ඒ මනුස්සයත් එක්ක. මේ අපි දෙන්නගෙ ලමයා."
"සමන්ති ඇන්ටි, ඔයා දැන් ජීවත් වෙන්නෙ සතුටින්ද?" සේරම අහන් ඉඳලා අන්තිමේ මම බොහොම අමාරු ලේසි ප්‍රශ්නයක් ඇහුවා.
"ඔව් පුතා. මම සතුටින්." ඇය දුන්නේ ඉතාම සරල උත්තරයක්.
මිනිස්සු සතුට කියන දෙයින් අදහස් කරන්නෙ මොකද්ද? මිනිස්සු හොයන සතුට තියෙන්නෙ කොතනද? මගේ හිත ප්‍රශ්ණ ගොඩකින් පිරිලා ගියා.
පැයක් විතර මායි ඇන්ටියි කතා කර කර හිටියා. ඒ හම දෙයක්ම අවසානයේ ඇය මගෙන් ඉල්ලුවෙ එකම එක ඉල්ලීමයි.
"පුතා, මාව හම්බුන විත්තියක්වත් මන් ඉන්න තැනක්වත් කාටවත් කියන්න එපා"
අන්තිමේදි ඇය මගෙන් සමුගත්තා. සිය ලමයත් වඩාගෙන මට පිටුපාලා යන සමන්ති අන්ටි දිහා බලන් හිටපු මගේ හිතට ආවෙ එකම දෙයක් විතරයි.
පුදුමාකාර මිනිස් ජීවිත!

Friday, August 12, 2011

ඩි වෝස් ලේන්

හැරවුම් ලක්ශය
පහු කරලා
හුඟක් කල් උනත්
ආයෙ
පුංචි හිනාවක්
බලාපොරොත්තුවෙන් ආව
මාව
තනියම දාලා
ඔයා
ඩිවෝස් ලේන්
එක ගාවින්
බස් එකට නැග්ගා

Thursday, August 4, 2011

රාධිකා

රාධිකා හිටියෙ උඩ බලාගෙන. තමන් ඇස් දෙක ඇරියෙ කොයි වෙලාවෙද කියලා මතකයක් රාධිකාට තිබුනෙ නෑ. නමුත් රාධිකාට මතකයි ඇස් ඇරපු වෙලේ ඉඳන්ම තමන් බලන් හිටියේ මේ දිහාව කියලා. රාධිකාට ඉහලින් තිබ්බ ෆෑන් එක හෙමිහිට කැරකුනා. කාලෙකින් තෙල් නොදාපු ෆෑන් එකෙන් ආවෙ කීස් කීස් ගාලා සද්දයක්. රාධිකාට දැනුනේ ඒක තමුන්ට හිනා වෙනවා කියලයි. රාධිකාට ඕන උනා වෙන දිහාවක් බලන්න. එයා හෙම්න් ඔලුව පැත්තට හැරෙව්වා. තමුන්ගෙ බෙල්ලෙන් පහල කොටස තාමත් තියෙනවා කියලා රාධිකාට දැනුනේ නෑ. නමුත් ඇය දැනන් හිටියා ඇය ඉන්නෙ ඇඳක හාන්සි වෙලා කියලා. රාධිකා ඇස් කරකවලා තමන් දිහාම බැලුවා. එතකොටයි ඇය දැක්කේ ඇය ඉන්නෙ නිරුවතින් කියලා. තමන් දකින්නෙ සිහිනයක්ද කියලා තහවරු කරගන්නවත් ඉස්පාසුවක් රාධිකාට තිබ්බෙ නෑ. ඇය ඉක්මනින්ම සිය අත් දෙකින් ඇගේ නිරුවත වහගන්න තැත් කලා. නමුත් ඇගේ ස්නායු පණිවිඩ වලට ඇගේ අත් අවනත උනේ නෑ. එහෙමත් නැත්නම් අවනත වෙන්න තරම් ශක්තියක් ඇගේ ශරීරය තුල තිබ්බෙ නෑ. දෙකෙන් මොක උනත් අවසානයේදි ඇය උත්සහය අත ඇරියා ඇගේ අත දෙක අඟල් දෙක තුනක්වත් ඔසවාගන්න ඇයට නොහැකි උන නිසා.