Thursday, August 4, 2011

රාධිකා

රාධිකා හිටියෙ උඩ බලාගෙන. තමන් ඇස් දෙක ඇරියෙ කොයි වෙලාවෙද කියලා මතකයක් රාධිකාට තිබුනෙ නෑ. නමුත් රාධිකාට මතකයි ඇස් ඇරපු වෙලේ ඉඳන්ම තමන් බලන් හිටියේ මේ දිහාව කියලා. රාධිකාට ඉහලින් තිබ්බ ෆෑන් එක හෙමිහිට කැරකුනා. කාලෙකින් තෙල් නොදාපු ෆෑන් එකෙන් ආවෙ කීස් කීස් ගාලා සද්දයක්. රාධිකාට දැනුනේ ඒක තමුන්ට හිනා වෙනවා කියලයි. රාධිකාට ඕන උනා වෙන දිහාවක් බලන්න. එයා හෙම්න් ඔලුව පැත්තට හැරෙව්වා. තමුන්ගෙ බෙල්ලෙන් පහල කොටස තාමත් තියෙනවා කියලා රාධිකාට දැනුනේ නෑ. නමුත් ඇය දැනන් හිටියා ඇය ඉන්නෙ ඇඳක හාන්සි වෙලා කියලා. රාධිකා ඇස් කරකවලා තමන් දිහාම බැලුවා. එතකොටයි ඇය දැක්කේ ඇය ඉන්නෙ නිරුවතින් කියලා. තමන් දකින්නෙ සිහිනයක්ද කියලා තහවරු කරගන්නවත් ඉස්පාසුවක් රාධිකාට තිබ්බෙ නෑ. ඇය ඉක්මනින්ම සිය අත් දෙකින් ඇගේ නිරුවත වහගන්න තැත් කලා. නමුත් ඇගේ ස්නායු පණිවිඩ වලට ඇගේ අත් අවනත උනේ නෑ. එහෙමත් නැත්නම් අවනත වෙන්න තරම් ශක්තියක් ඇගේ ශරීරය තුල තිබ්බෙ නෑ. දෙකෙන් මොක උනත් අවසානයේදි ඇය උත්සහය අත ඇරියා ඇගේ අත දෙක අඟල් දෙක තුනක්වත් ඔසවාගන්න ඇයට නොහැකි උන නිසා.

ඇයට ඉදිරියෙන් තිබුන වැසුන ජනේලයට ඉහල බීරලු අතරින් බේරිලා ආව සෞම්‍ය හිරු එලියක් ඇය සිටි ඇඳ මතට වැටුනා. ඇය තේරුම් ගත්තා මේ උදේ වරුවක් වෙන්න ඇති කියලා. ඇය සිය මනස අතීතයට අරන් යන්න උත්සහා කලා. ඇයට යාන්තමට මතකයි ඊයේ රෑ 7ට විතර ඇය වැඩ ඇරිලා ගුරු පාර දිගේ ගෙදර පැත්තට එනවා. නමුත් එතනින් එහා දෙයක් මතක් කරන්න ඇගේ මනසට හැකියාවක් ලැබුනේ නෑ. ඊයේ රැයත් අද උදෑසනත් අතර කාලය මහා හිස් අවකාශයක් වගේ ඇයට දැනුනා. බාගවිට ඊයේ රෑ නොවෙන්නත් පුලුවන්. දවස් ගානක් ගත වෙලාද. ඇයට මහා චකිතයක් දැනුනා. රාධිකාට ඕන උනා නැගිටින්න. නමුත් ඇයට බැහැ. ඇය කීප විටක් උත්සහා කලා. ඒත් යාන්තම් ඔලුව ටිකක් ඔසවගන්නවා විනා දෙයක් කරන්න ඇයට බැරි උනා. ඇය යාන්තම් ඔසවාගත්තු හිස් කරකවමින් වට පිට බැලුවා. ඇය සිටියේ කුඩා කාමරයක. කාමරය පුරාම තිබ්බෙ මහා පාලු මූසල පෙනුමක්. තමන් සිටි ඇඳත් සිය වම් පසින් වූ ලෑලි මේසය හා පුටුවත් ඉදිරි පසින් වූ ජනේලයත්, දකුණු පසින් තිබූ දොරත් හැරෙන්න දෙයක් ඇයට කාමරය තුල දැකගන්නට ලැබුනේ නෑ. නමුත් ඇය තවත් එක් විශේෂ දෙයක් දැක්කා. ඒ ලෑලි මේසය මත තිබුනු හිස් මත් පැන් බෝතලයත් හිස් වීදුරු කෝප්ප දෙකකුත් හා තුන්කාලක් පමණ හිස් සෝඩා බෝතලයක් යනාදියයි. ඇය ඇගේ ඇඳුම් කොහේදැයි බලාගැනීමට තැත් කලා. ඇඳේ කෙලවරක ඇගේ පාද අසල අවුල් වී ගිය ඇඳ රෙද්ද මත ගුලි කර දැමූ ඇගේ සාය ඇයට දකින්නට ලැබුනා. එහෙත් ඇගේ ඉතිරි ඇඳුම් වල හෝඩුවාවක් ඇයට ලැබුනේ නෑ. ඇගේ ඉතිරි ඇඳුම් ඇඳ අසල බිම වැටී ඇතැයි ඇය අනුමාන කලා. නමුත් එය තහවරු කරගැනීමට ඇඳෙන් බැසීමට ඇයට නොහැකි බව ඇය දැන් දැන සිටියා. අවසානයේ ඇය නැවතත් සිය හිස මෙට්ටයට තද කරගත්තා.

රාධිකා ඇස් පියාගත්තා. තාමාගේ සිරුර පුරා දැවෙන වේදනාවක් ඇයට කෙමෙන් කෙමෙන් දැනෙන්නට පටන් ගත්තා. වේදනාව මධ්‍යයේම ඇයට නින්ද ගියා. ඇය ඇහැරුනේ පැය කීපයකට පස්සෙ. නමුත් ඇය කොපමණ වෙලා නිදාගත්තාදැයි ඇයට අවබෝධයක් තිබුනේ නෑ. නමුත් නින්දෙන් නැගිට විනාඩියක් යන්නටත් මත්තෙන්ම ඇය කාරණා දෙකක් අවබෝධ කරගත්තා. එකක් ඇයට තවමත් ඇගේම ශරීරය වාරු නැති බවත්, අනෙක ඇගේ ශරීරයෙන් නැගෙන වේදනාව එන්න එන්නම දරුණු වෙමින් පවතින බවත්ය. සැර සිගරට් ගඳක් ඇගේ නැහැයට දැනෙන්න ගත්තා. ඇය නැවතත් සිය ඇස කාමරය පුරා ගෙන ගියා. කලින් වතාවේ ඇගේ ඇස නොගැටුන දෙයක් මේ වර ඇගේ නෙත ගැටුනා. ලෑලි මේසය අසල වු පුටුවෙහි තමාට පිටුපා වාඩි වී සිටියේ උඩුකය නිර්වතින් සිටි පිරිමියෙක්. ඔහු සිය සුරතෙහි තිබු දැල්වෙන සිගරට්ටුව විටින් විට ඔහුගේ මුව වෙත රැගෙන ගියා. තදින් ඉහලට ඇද නැවත වාතලයට මුහු කරන සිගරට් දුමින් මුලු කාමරයම නැහැවී ගියා. ඔහු සිටියේ තමාට පිටුපා බැවින් එම පුද්ගලයා කවුදැයි හරියටම හඳුනා ගැනීමට රාධිකාට පිලිවන්කමක් ලැබුනේ නෑ. ඇය ඔහුට කතා කරන්න තැත් කලා. නමුත් දෙතොල් සෙලවුනා පමණයි. ඇගේ හඬ අවකාශයට මුහු වූයේ නැහැ.

එක් වරම ඇයට ඇසුනේ දොර ඇරෙන ශබ්ධය. ඇගේ නෙත එසැනින් ඒ දෙස යොමු උනා. දොර ඇරගෙන කාමරය තුලට පිවිසෙමින් සිටි පුද්ගලයා හඳුනාගන්න ඇයට හැකි උනා. මිගාර අයියා. ඔහු ඇගේ පෙම්වතාගේ හොඳ යහලුවෙක්.
මිගාර අයියා මොනවද මෙතන කරන්නේ
ඇය ඇගෙන්ම ප්‍රශ්න කරගත්තා. විදිලියක් කෙටුවා වගේ ක්ශණයෙන් ඇගේ හිතට කිසියම් බියක් ඇතුලු උනා.
ඇගේ මුව ඇරිලා සිහින් කෙඳිරියක් පිට උනා. කාමරයට ඇතුලු උන මිගාර එක් වරම ඇය ලඟට දිවගෙන ආවා.
"මචන්. කෙල්ලට සිහිය ඇවිත්. කෙල්ලට සිහිය ඇවිත්."
මිගාර කෑ ගැහුවා.
ඒත් එක්කම ඇයට ඇහුනා පුටුවෙ වාඩි වෙලා හිටි කෙනා දඩි බිඩියෙ නැගිටගෙන ඇගේ ලඟට එන හඬ. ඇය හිස හරවලා ඔහු දිහා බැලුවා.
දෙයියනේ සමීර! ඇයගේ හිස පුරා අකුණක් පිපිරුවා. සමීර ඇයගේ පෙම්වතාගේ හොඳම යහලුවා. ඔහු මෙතන සිටීම ඇයට අදහගන්නත් බැරුව ගියා. ඇය තවත් හිස එසෙව්වෙ කාමරයේ තවත් අයෙකු සිටීදැයි තහවරු කරගැනීමේ අභිලාශයෙන්. එහෙත් ඔවුන් දෙදෙනා ඇරුනු කොට වෙනත් අයෙකු ඇගේ දෙනෙතට හසු වූයේ නෑ.
සමීර ඇගේ උරහිසින් අල්ලලා හෙලෙව්වා.
"රාධිකා... රාධිකා... "
ඔහුට උත්තර දෙන්න තරම් ප්‍රාණවත් කටහඬක් ඇයට තිබ්බෙ නෑ. සිහින් කෙඳිරියක් විතරක් ඇගේ මුවින් පිට උනා.
"යකෝ මන් තොට කිව්වා මේක වෙන්න කලියෙන්ම. කොහේද තොගෙ වලත්තකම ලොකු උනානේ ඔක්කෝටම වඩා" මිගාර කෝපයෙන් කියනවා ඇයට ඇහුනා.
"දැන් ඒ බයිලා කතා කරලා වැඩක් නෑ. දැන් වෙන්න ඕන ඔක්කොම වෙලා ඉවරනේ. මේකිට මොනවා හරි උනොත් ඇසලයා මොනා කරයිද දන්නෙ නෑ."
"මොනා කරන්නද යාලුවො කියලා බලන එකක් නෑ දෙන්නවම බාවලා දායි"
"මේකි මැරෙයිද බන්"
"නෑ තව ටිකකින් මේකිට හරි යයි. මුලු රැයක්මනෙ බන්. කෙල්ලෙක්ට දරාගන්න අමාරුනේ"
මිගාරගෙත් සමීරගෙත් කතා බහ රාධිකාගෙ වේදනාව තීව්‍ර කලා.
දෙය්යනේ මේ පවුකාරයෝ දෙන්නා.......

ඇයට සියල්ල සිහි වෙන්න පටන් ගත්තා. පෙරදා රාත්‍රියේ ගෙදරට එන අතර මග පිටුපසින් පැමිනි කිසිවෙකු ඇයගේ මුහුනට ලේන්සුවක් තබා තද කල අයුරුත්, මුලු රැයක් පුරා පාපතරයින් දෙදෙනෙක්ගේ සිරුරු වලට යට උන අයුරුත් ඇයට ක්‍රමයෙන් මතක් වෙන්නට ගත්තා. ඇයට ඇයගේ මවත් සොහොයුරාවත් ඇසලවත් සිහි උනා. තමා ගැනම උපන් මහත් අනුකම්පාවකින් ඇගේ මුලු හිතම වෙලී ගියා. ඒත් සමඟම ඇගේ සිරුර පුරා නැගුන වේදනාව තව තවත් දරුණු උනා. අධි වෝල්ටීය විදුලි සැර ගණනාවක් ඇගේ දෙකකුල් අතරින් ඉහලට ඇදෙන්නක් මෙන් ඇයට දැනුනා. ඇගේ සිරුර ගැහෙන්න ගත්තේ ඒත් එක්කම. කලබලයට පත් උන සමීරත් මිගාරත් බිය උන මුහුණු වලින් ඇය දිහා බලන් ඉන්නවා ඇය දැක්කා. වේදනාව ඇයට දරන්න බැරි තරමටම වැඩ් උනා. ඇයට නැගිටින්න ඕන උනා. ඇය උත්සහා කලා නැගිටින්න. ඒත් ඇයට බැරි උනා. ඇය නැවතත් උත්සහා කලා. අන්තිමේදි ඇය නැගිට්ටා. ඉහලටම ඉහලටම නැගිට්ටා. ඇගේ සිරුරෙනුත් ඉහලටම නැගිට්ටා. මෙතෙක් වෙලා ඇයට දැනුන වේදනාව පහව ගොස් මහත් සැහැල්ලුවක් ඇයට දැනුනා. දැන් ඇය ඇය දෙසම බලාගෙන. ප්‍රථම වතාවට දර්පණයකින් දොරව ඇයට ඇගේ දෙනෙත් දිහා බලන්න පුලුවන් උනා. ජීවිතය අයදින සානුකම්පිත බවක් ඒ දෙනෙත් තුල තියෙනවා ඇය දැක්කා.
"යකෝ කෙල්ලගෙ නාඩි වැටෙන්නේ නෑ" ඇගේ අතක් ගෙන පරීක්ශා කරපු මිගාර කියනවා ඇයට ඇහුනා.
දෙදෙනාම කලබලෙයෙන් කරන කියන ක්‍රියා හැම දෙයක්ම ඇය බොහොම ඉවසීමෙන් බලා සිටියා. මුලු රැයක් පුරා කාමතුරයින් දෙනෙනෙකු රස කරමින් හප කෙරූ සිය සිරුරෙන් පිටතට ඒමට ලැබීම ගැන ඇය සතුටු උනා.
"ඔය බෙඩ් ශීට් එකෙන් ඔතපන් කෙල්ලව" අවසානයේ තවත් එක සාහසික කෘමන්ත්‍රනයක් ඇගේ සිරුර වටා ගොඩ නැගෙන අයුරු ඇය ඉහල සිට බලා සිටියා.

ඇඳ ඇතිරිල්ලෙන් ඔතනු ලැබූ සිය ප්‍රාණය නිරුද්ධ සිරුර දෙදෙනා විසින් ඔසවාගෙන ගොස් නිවස පිටුපස පස් පොලව තුල සඟවන අයුරු ඇය බලාසිටියේ හැඟීම් විරහිතව. තවත් එක අභිරහස් ලෙස අතුරුහදන් වූ අයෙකු ලෙස ඇගේ නමත් ලේකන ගත් වෙන බව ඇය දැන සිටියා. ඇයට වෛරයක් දැනුනේ නෑ. ඇයට දුකක් දැනුනේ නෑ. ඒ හැඟීම් වලින් එහා මානයකට ඇය ගොස් සිටියා. මහත් වූ නිදහසක් ඇයට දැනුනා. ඇය පාවුනා. තවත් ඉහලටම ඉහලටම ඇය පාවුනා.

34 comments:

  1. අඩේ මාරයි බං පනුවෝ... සිරා....!!

    ReplyDelete
  2. ඇයි මේකට රාධිකා කියල දැම්මෙ..ඒනම හරි නෑ වගේ
    ...

    ReplyDelete
  3. මේක ඇත්ත කතාවක්ද බන්? එපාවෙනවනේ

    ReplyDelete
  4. නියමයි අනු අයියේ...ඇත්තටම ලස්සනට ලියල තියනවා...ඒ වගේ කතාවේ අන්තර්ගතයත් නියමයි...

    ReplyDelete
  5. ඉන්දි කියන්නා වාගේ ඇයි හැබෑටම "රාධිකා" කියල දැම්මේ... මටත් අවුලක් දැනෙනවා ඒ නමේ... හේතුව තේරෙන්නේ නෑ...

    ReplyDelete
  6. පබ්ලිසිටි දෙන විදිහ අවුල් නැත්නම් ඔක්කොම හොඳයි. අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදිහට වැඩ කලොත් හොඳයි නේද?

    ReplyDelete
  7. කතාව නම් දුක්බරයි.. ඒත් ලස්සනට හිතට වදින විදියට ලියලා තියෙනවා

    ReplyDelete
  8. ලස්සනට ලියනව කතාව නම් දුක්බරයි.

    ReplyDelete
  9. තවත් එක් සිද්දියක් පමණී

    ReplyDelete
  10. හ්ම්ම්ම් වැප් කියනවා වගේ තවත් එක සිද්ධියක් විතරයි

    ReplyDelete
  11. නියමයි හිතට දැනෙන විදියට ලියලා තියෙනවා

    ReplyDelete
  12. නියමෙට ලියලා තියෙනවා.... දුක හිතෙන කතාවක් හැබැයි....

    ReplyDelete
  13. හ්ම්ම්ම්..... හිතට වෑදුනා...

    කතා රසය උපරිමයි...
    තව ටිකක් විස්තරාත්මක වූවා නම් .. නෑ නෑ.. මෙහෙම හොඳා :)

    ReplyDelete
  14. නියමයි අයියා මම බ්ලොග්වලින් කියේව්ව ලස්සනම සහා කේටිම කතාව මේයයි ඇතත්ටම තවත් ලියනන්... ගලායන වචන ධාරාව සිතට විරාමයක්නොදිම එක උස්මකටම කියවන්න පුළුවන්උනා ..
    අයේමත් එනවා අනිවාරයේන්ම මේපැත්තට..
    ෴ඔබට ජය !!!෴

    ReplyDelete
  15. හපූ........මට නං එපා වෙනවා....... ඇයි බොල මේ වගේ ඒවා ලියන්නේ...... නම මටත් අවුල්........

    ReplyDelete
  16. හ්ම්ම්.. හොද කෙටි කතාවක් අය්යෙ.පව් රාධිකා

    ReplyDelete
  17. ලස්සනට ලියලා තියෙනවා. ඇත්ත කතාවක්ද මේ ?
    කොහොමහරි කෙල්ලට සිහිය ආවනේ ඒ ඇති !!!!

    ReplyDelete
  18. @මධුරංග:කෙල්ලට සිහිය ආවෙ මළාට පස්සෙ..!

    ReplyDelete
  19. මොකක් ගැනද අය්යෙ ඔය උඩ ඇනොනිමවුස් කියන්නෙ?

    ReplyDelete
  20. @සෝරෝ
    ස්තූතියි සෝරෝ.

    @indi
    මගේ අර කලින් කතාවක් තියෙනවනෙ ගාමිණී අයියා කියලා. ගාමිණී අයියා කියන චරිතෙ වටා ඒක ලියවුනේ. මම මේ වගේ කෙනෙක්ව මුල් කරගෙන කතාවක් ලියලා ඒ කෙනාගෙ නමින්ම කතාව නම් කරන කතා සෙට් එකක් ලියන්නයි හිතුවෙ. ඒකයි මේකටත් රාධිකා කියලම දැම්මේ. නමේ වගේම කතාවෙත් අවුල් ඇති. මම ඉතින් ආධුනිකයිනෙ අයියේ. අයියා හිතන්නේ මොන වගේ නමක් හරියයි කියලද?

    @සිරකරුවා
    මේ වගේ ඇත්ත කතානම් එමට ඇති. ඒත් මේකනම් කල්පිතයක්. උඹට එපා වෙන්නෙ මොකද්ද? කතාවද? :D

    @සිතුවිලි නිහඬයි
    ස්තූතියි නංගී.

    @තිස්ස දොඩන්ගොඩ
    නම දැම්මෙනම් තිස්ස අයියේ අර හේතුව නිසා තමයි. මේක ගැලපෙන එකක් නෑ කියලා මට ලොකුවට හිතුනෙත් නෑ ඒ වෙලේ. අයියට මේකට ගැලපෙනවා කියලා හිතෙන නම් ටිකක් සජෙස්ට් කරන්නකො.

    @Anonymous
    ඔබතුමාගේ අවවාදය ගැන සලකා බලන්නම්. නමුත් මම කැමතියි ඔබතුමා තමුන්ගෙ නමින්ම ඇවිත් මේ අවවාදය කලානම්. මම හුඟ කලකින් ලිව්වෙ නැතුව ඉඳලා ලිව්ව නිසයි ටිකක් වැඩි ප්‍රචාරණ ශක්තියක් යොදවන්න උනේ. මගේ නිදහසට කාරණා වලින් පලක් නෑ. ඔබ තුමාගෙ නම සඳහන් කලානම් මට දැනගන්න තිබ්බා කොතනද මන් වැඩි උනේ කියලා. කාටද කරදරයක් උනේ කියලා. ඒත් ඉතින් ඒ අවස්තාවත් නැති කරලනෙ.

    @විසිතුරු
    ස්තූතියි ඔබට.

    @නදී
    ස්තූතියි සහෝදරී

    @වැප් & පූසා
    උඹලා දෙන්න තවත් එක සිද්ධියක් විතරයි කියලා ශේප් වෙලා ගියා නේද? මටනම් සැකයි උඹලා දෙන්නව. :D

    @rmpmcreation & හසී
    ස්තූතියි දෙන්නටම.

    @ජීවිතේ මල්
    තැන්කූ අක්කේ.
    හෑ තව විස්තර කරන්න කියනවා. මම මේ ටිකත් ලියාගත්තෙ හෙන ගේමක් දීලා. බොට වගේ මට කතා ලියන්න බෑ කියලා දන්නවනේ. :D

    @හිරු එළිය
    ස්තූතියි මල්ලි. ඔයාලගෙ වචන මට ලොකු හයියක්.

    @deeps
    මලා! කොහේද කොතනද වැදුනේ. :D

    @RanDil
    ලියවෙන්නෙ මෙව්වානම් මන් මක් කරන්නද අක්කේ. එපා කියලා හරියන්නෙ නෑ. තරහෙන් හරි කියවපිය. :D

    @හිම හංසි
    ස්තූතියි නංගී. ඔව්. රාධිකානම් පවු තමයි. ඒත් එයාට අන්තිමේදි නිදහස ලැබුනා.

    @මධුරංග
    සිහියනම් ආවා. නමුත් ..........
    ස්තූතියි

    @nethara.
    ඇනෝනිමවුස් එන්නෙ නැතුව නමින් ආවනම් මටත් තේරුම් ගන්න තිබ්බා නංගී. කොහේද එයාට නමින් එන්න බෑලුනේ.

    ReplyDelete
  21. කතාවනම් නියමයි.... අදමයි මේ පැත්තට ආවේ.... ලස්සනයි ආ....

    ReplyDelete
  22. විචාර ලියන්නනම් තේරෙන්නෙ නෑ.
    ඒත් අද කාලෙ සැබවින්ම සිදුවෙන දේවල් වල සමීප අත්දැකීමක් කියෙව්ව වගේ.

    ReplyDelete
  23. එල.හිතට වැදුනා සිරාවටම... :'(

    ReplyDelete
  24. විශිෂ්ඨ නිර්මාණයක්! නිර්මානයක් වුනත් මෙවැනි සත්‍ය සිදුවීම් කොයිතරම් සුලභද... උබේ බ්ලොග් එකේ කියවපු මැක්සම පෝස්ට් එකක්!!

    ReplyDelete
  25. සුපිරි ලියවිල්ලක් මල්ලි

    ReplyDelete
  26. ඇත්තටම ලස්සනයි කියල හිතේ සැකයක් නැතිව කියන්න පුළුවන් පද ගැලපුමක් . මේ වගේ කෙටි කතා ටිකක් එක් කරලා පොතක් ලියන්න , අද වෙළඳ පොලේ “කෙටි කතා“ කියල තියෙන හිස් , බොළඳ නොගැළපෙන වදන පිරිච්ච හිස් පොතකට වැඩිය මේ කතාව කොයිතරම් ලස්සනට ගලපලා තියෙනවද කිව්වොත් ඇඟට දැනෙන සංවේදනාවක් Empathy දැනුන වගේ , හරිම ලස්සනයි , තව ලියන්න අපි එනවා කියවන්න , බොහොම පිං ..

    ReplyDelete
  27. දුක, භය, තරහා, කලකිරිම ඔක්කොම ඇති උනා මුල ඉදන් කියවන් එද්දී අවසානෙට රාධිකාට දැනුනු නිදහස නිසාම හිතට සැහැල්ලුවක් දැනුනා

    ReplyDelete
  28. උබේ ලියවිලි ගැන කියන්න දෙයක් නෑ බන් මරු මේකත්

    ReplyDelete
  29. රෙෂාන්August 22, 2011 at 9:40 PM

    මම මීට අවුරුද්දකට විතර කලින් පොඩි හැගීමක් ඇති වෙච්චි කෙනෙක් හිටියා..එයාගේ නමත් රාධිකා..වැඩේ හරි ගියේ නෑ..එයාට වෙන කෙනෙක් ලැබුනු නිසා මම වැඩේ අතෑරලා දැම්මා.. නම දැක්ක ගමන් කියවන්න හිතුනට මෙහෙම වැඩක් වෙයි කියලා හිතුනේ නෑ..කතාවනම් ලස්සනට ලියලා තියෙනවා..
    මටත් ආසයි මේ වගේ ලියන්න

    ReplyDelete
  30. මං හිතුවෙ ඇත්ත කියලා. ඒතරං එළට උඹ කතාව ලියලා තියනවා! නියමයි බං!

    ReplyDelete
  31. අනේ මිනිස්සු මෙච්චර තිරිසන්?

    ReplyDelete
  32. රාධිකා හප්පේ අපේ senior tech lead, මොනවා කියන්නද මම? අනේ අම්මෝ.. මම නම් මේ කතාව කියෙව්වෙත් නැ ඔන්න..

    ReplyDelete