Monday, March 4, 2013

උල් සපත්තුව

ලැප්ටොප් බෑග් එකේ බරට වම් උරේ කැඩෙන්න වගේ. මම බෑගය දකුණු උරේට මාරු කරලා ඈතින් එන බස් එකට අත දැම්මා. බස් එක නැවැත්තුවෙත් මාව පහු කරලා අඩි 10ක් විතර ගිහින්. දැන් ඉතින් පලයන්කො ඒ ටිකත් පයින්. මම හිතින් බැන බැන අඩිය ඉක්මන් කලා. මේ බස් එකත් මග ඇරුනොත් ආයෙ තව පැය ගානක් ඉඳහන්කො. කෙහෙල්මල් රජය. මුන්ට හරියමන් විදියට ප්‍රවාහන සේවය දියුණු කරන්න බැරි හැටි. හිතේ තියෙන කේන්තියට කාට හරි බනින්න තිබ්බනම් ටිකක් හරි හිත නිදහස් වෙයි. මන් ෆුට් බෝඩ් එකේ එල්ලෙනවත් එක්කම බස් එක ඉගිල්ලුනා. කට කපලා සෙනග. මන් අමාරුවෙන් ෆුට් බෝඩ් එකේන් ඇතුලට රින්ගගත්තා.
වෙනදා මේ වෙලාව වෙද්දි ගෙදර ගිහින් නාලා කාලා සේරම ඉවරයි. අද තාමත් පාරේ. පවනි බලන් ඇතිද? මන් බස් එකට නැග්ගා කියලා පවනිට කියනවද? එක්කො ඕනෙ නෑ. එයයි හරිනම් කතා කරලා අහන්න ඕනෙ දැන් කොහේද ඉන්නෙ කියලා. එයාට උවමනාවක් නැත්නම් මන් මොකටද පැනලා දෙන්නෙ. මාත් නිකන් බාල්දු වෙන්න ඕනෙ නෑනෙ. හැබැයි ඉතින් එයා හවස කීප සැරයක්ම කෝල් කලානම් තමයි. ඒත් කමක් නෑ. මන් මගේ අගේ පෙන්නන්න ඕනේ.

"ඔයි පස්සෙන් නැග්ග කෙනා සල්ලි ගන්න" මගේ කල්පනා ලෝකෙ බිඳුනෙ කොන්දොස්තරගෙ කෑ ගැහිල්ලට.
"මන් නැග්ගෙ පස්සෙන් නෙවෙයි ඕයි කකුල් දෙකෙන්" කියලා කියන්න හිතුනත් මන් සද්ද නැතුවම ටිකට් එක ගත්තා.
බස් එක පුරා එක එක ජාතියෙ මූණු. හැම මූණකම පිරිලා තිබ්බෙ විඩාව විතරයි. හැම කෙනෙක්ම එකෙක්ට එකෙක් රුස්සන්නෙ නැති ගානයි. කාගෙවත් මූණක හිනාවක සේයාවක්වත් නෑ. එක කොල්ලෙක් විතරක් එයාගෙ ෆෝන් එක දිහා බලාගෙන තනියම හිනා වෙනවා. ශුවර් එකට කෙල්ලත් එක්ක මලක් කඩනවා ඇති. ඔයි කාලෙ ඔහොම තමයි. ෆෝන් එකටත් හිනා වෙනවා. මායි පවනියි ඒ කාලෙ කොච්චරනම් ෆෝන් එකේ එල්ලීගෙන ඉන්න ඇද්ද? කිලෝමීටර් ගානක් දුර ඉඳගෙන කොයි තරම් වචන කන්දරාවක් කතා කරන්න ඇද්ද? ඒත් දැන්..... ඒක වහලක් යට ඉඳගෙන අපි අතර හුවමාරු වෙන්නෙ කොයි තරම් අඩු වචන කීපයක්ද? ඒ වචනත්.....

"මහත්තයා පොඩ්ඩක් ඉස්සරහට යන්නකො. තව ඉඩ තියෙනවානෙ" කොන්දා මගේ උරේට අතක් තියලා කෑ ගැහුවා. තව යන්න ඉතින් ඉස්සහර වීදුරුව අයින් කරන්න වෙනවා.
බස් වල යන එන එක එපා වෙන්නෙ මේ වෙලාවට තමයි. සමිතයත් බෝඩිම් හොයාගන්නෙ මොන රෙද්දවල් අස්සෙද මන්දා. බස් එකක් ගන්නත් පාරට එන්න ඕනෙ බර දුරක්. ඒ ඇවිල්ලත් බස් එකක් එනකම් හැට පැයක් බලන් ඉන්න ඕනෙ. ඒ එන බස් එකෙත් ඇඟිල්ලක් ගහන්න බැරි තරම් සෙනඟ. එක අතකින් ඌට බැනලා වැඩක් නෑ. ඌ බෝඩිම හොයාගෙන තියෙන්නෙ ඌට ලේසි තැනකින්නෙ. මන් මේ අද උගේ බෝඩිමට ගිහින් මෙහෙම කට්ටක් කනවා කියලා ඒක උගේ ප්‍රශ්නයක් නෙවෙයිනෙ. අනික මන් ගියේ මගේම වැඩකටනෙ. ඒ ගමන මන් මටම බැනගන්න පටන් අරන් වගේ. මන් ජනේලෙන් ඈත බැලුවා. කලුවර අස්සෙන් ගොඩනැගිලි පස්සට ඇදෙනවා. වාඩිවෙන්නනම් හම්බවෙන්නෙ නැති පාටයි.

"මචන් උඹ පවනිව ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කන් ගියේ නැද්ද?" ටිකකට කලින් සමිත අහපු ප්‍රශ්ණෙ මට ආයෙම මතක් උනා.

"එක්කන් ගියා බන්. පිල්ස් වගේකුත් දුන්නා බොන්න කියලා. එවයින් පොඩි වෙනසක් උනා. ඒත් මචන් මන් එයාගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා" මන් එහෙම කිව්වම සමිත උත්තරයක් නොදී සෑහෙන්න වෙලාවක් කල්පනා කලා. මිනිහා මොනවා කල්පනා කරන්න ඇද්ද? ඌ හිතුවද දන්නෙ නෑ මන් පවනිගෙන් බලාපොරොත්තු වෙන්නෙ ඒවා විතරයි කියලා. ම්හු. නෑ එහෙම නෑ. ඌ එහෙම හිතන්නෙ නෑ. ඌ දන්නවනෙ මන් ගැන. මොනවා උනත් මේ ප්‍රශ්ණ ගැන මට විවෘතව කතා කරන්න ඉන්නෙ ඌ විතරයි.

"සෙක්ස් ලයිෆ් එක කියන්නෙ කසාදයක් ඇතුලෙ ලොකු කාර්‍යබාර්‍යයක් ඉශ්ඨකරන දෙයක් මචන්. උඹ වැරදියි කියල මන් කියන්නෙ නෑ. උඹේ ආසාවන් තියෙනවා. ඒ දේවල් පවනිගෙන් ඉශ්ඨ වෙන්නෙ නැති උනාම උඹට කලකිරීමක් ඇති වෙන එක සාමාන්‍යයි. හැබැයි මචන් උඹ බුද්ධිමත් වෙන්න ඕනෙ ඒක උඹලගෙ පවුල දෙදරලා නොයන තැනට නො එන්න වග බලාගන්න. ඔයි දේ නිසා උඹ පවනි එක්ක ආරවුල් ඇති කරගන්න එකනම් මන් අනුමත කරන්නෙ නෑ" සමිත කිව්වෙ ඇත්ත බව මන් දන්නවා. ඒත් මාත් මනුස්සයෙක්. මටත් හැඟීම් දැනීම් තියෙනවා. මට තිබ්බා වෙන ගෑනු ගාවට යන්න. ඒත් මන් එහෙම නොකලෙ මන් ඇත්තටම පවනිට ආදරේ නිසා.

"උඹ පවනිට ඇත්තටම ආදරේනම් ඇයි උඹට බැරි එයාගෙ තත්වෙ ගැන මානුශිකව බලන්න. උඹට ඕනෙ ගෙදර ගිය ගමන් එකිව ඇඳට පෙරලගන්න විතරයි. උඹ මහ බල්ලෙක් යකෝ. උඹ මහ පාදඩ බල්ලෙක්" මන් ජනෙල් වීදුරුවෙන් පේන මගේ ප්‍රතිබිම්බයටම බැන වදින්න පටන් ගත්තා.

"ඔයාගෙ වයිෆ්ට තියෙන්නෙ හෝමෝන වල ප්‍රශ්ණයක්. ඒක නිසා තමයි එයා ලිංගික එක්වීම්වලට ඒ තරම් රුචියක් නොදක්වන්නෙ. බෙහෙත් වලින් යම් වෙනසක් ඇති කරන්න අපිට පුලුවනි. නමුත් ඒ වගේම එයාට මානසික ප්‍රතිකර්මයත් උවමනා කරනවා. ඒ දේ වඩා හොඳින්ම කරන්න පුලුවන් ඔයාටම තමයි." එදා ඩොක්ට ඒ කිව්ව විදියටම බෙහෙත් වලින් යම් වෙනසක් ඇති උනත් මගෙන් ලැබිය යුතුව තිබුන මානසික ප්‍රතිකර්මය ඇයට හම්බුනෙ නැති බව මට පිලිගන්න වෙනවා. සමහරවිට ඒක ලැබුනනම් ඇගේ තත්වය මේ වෙද්දි වඩා යහපත් වෙලා තියෙන්න ඉඩ තිබුනා. ඒත් අන්තිමේ මන් හැම දෙයක්ම අවුල් කරගත්තා.

බස් එක තවත් නැවතුමක නැවැත්තුවා. බස් එකෙන් බැස්සා වගේම පිරිසක් අලුතෙන් බස් එකට ගොඩවැදුනා. අලුතෙන් නැග්ග පිරිසෙයින් එක් මුහුණක් ගාව මගේ ඇස් දෙක නතර උනා. ඇත්තෙන්ම කිව්වොත් ඇගේ මුහුණට කලින් මගේ ඇස ගියේ වෙනත් තැනකට.නමුත් එක මොහොතකින් මගේ ඇස් දෙක ටිකක් ඉහලට අරගෙන ඇගේ මුහුණ ලඟ නතර කරගන්න මට පුලුවන් කම ලැබුනා. ඇය සැබැවින්ම සුන්දර තරුණියක්. මුහුණටම ගැලපෙන සිරුර. සිරුරට ගැලෙපෙන පරිදි පිහිටි සියලුම අංගෝපාංග. ඇය දකින කෙනෙක් නැවත වරක් ඇය දෙස හැරී නොබැලුවොත් එක පුදුමයක්. මන් සෙනඟ අතරින් ඉතිරි උන අඩු ඉඩ අතරින් ඇය දෙස බලා හිටියා. මට පේන්නෙ ඇගේ එක් අර්ධයක් විතරයි. මාත් ඇයත් අතර සිටින මිනිසුන් කිහිප දෙනා ගැන මට තද කෝපයක් ඇති උනා. ඇය ෆුට් බෝඩ් එක ආසන්නයේම මිනිසුන් කිහිප දෙනෙක් මැද්දෙ හිර වෙලා. එක් වරම ඇගේ පිටුපසින් හිටගෙන සිටි මිනිසා ගැන මට දඩි ඊර්ශාවක් දැනෙන්න පටන් ගත්තා.

"මිස් පොඩ්ඩක් ඔතනින් ඉස්සරහට යන්නකො" කොන්දොස්තරගෙ හඬ ඇහෙද්දි ජීවිතේ පලවෙනි වතාවට සතුටක් දැනුන දවස අද. ඇය ක්‍රමයෙන් මිනිසුන් අතරින් තෙරපීගෙන ඉදිරියට ඇදුනා. මගේ සුසුම් වේගවත් උනා. ඊලඟ මොහොතේ ඇය මන් ලඟ.

"ඇයි අනූ ඔයාට මාව තේරුම් ගන්න බැරි. මගේ තත්වෙ තේරුම් ගන්න බැරි" පවනිගේ හඬ හැම වෙලේම මගේ ඔලුව ඇතුලෙ දෝංකාර දෙනවා. මන් ඇත්තම ඇයව හරියට තේරුම් අරගෙන නැද්ද? එතකොට එයා කවදද මාව හරියට තේරුම් ගන්නෙ.
මම ඔලුව ලාවට හරවලා එහා පැත්ත බැලුවා. බස් එකක කෙල්ලෙක් ලඟින් හිටගෙන හිටියා කියලා කවදවත් මේ තරම් පීඩනයක් මගේ ඔලුවට දැනිලා නෑ. ඒත් අද...... මන් ඇගේ දෙපතුලේ ඉඳන් ඔලුව දක්වාම දෙඇස් අරන් ගියා. ඇය ඇඳන් උන්න ඇඳුම ඇයට ටිකක් පොඩිද මන්දා? නිල් පාට ලෙගින්ස් කලිසම අතරින් ඇගේ සිරුරේ රේඛාවන් තදින් ඉස්මතු වෙලා පෙනුනා. තව මොහොතකින් කලිසම පැලෙයි වගේ. ඇඟටම ඇලුන සුදුපාට ටීශට් එක ඇගේ සිරුරේ ඔපය තවත් වැඩි කලා. ඇගේ පියයුරු ඒ තුල හිර වෙලා හිටියේ තරහින් වගේ. ඊලඟ මොහොතේ වැදුන බ්‍රේක් පාරට ඇය විසිවෙලා ඇවිත් මගේ ඇඟේ දැවටුනා. ඇගේ සිරුරේ මෘදු බව මගේ දකුණු අත හරහා විදුලියක් වගේ ඔලුවටම ගමන් කලා.

ඩිවෝස් එක..... ඔව් ඒක තමයි එකම විසඳුම. මන් පවනිගෙන් ඩිවෝස් වෙනවා. ඒ ක්ශණික සිතුවිල්ල මගේ මනස ඇතුලෙ පිළිකාවක් වගේ වර්ධනය වෙන්න පටන් ගත්තා. මම හෙමිහිට දකුණු වෙදැඟිල්ලෙ තුබුනු මුද්ද ගලවලා සාක්කුව තුල ඔබාගත්තා.
බස් රථය තුල සෙනඟ වැඩි එකට මන් දැන් කැමති වෙන්න පටන් අරගෙන. තරුණියගේ වම් බාහුව මගේ දකුණු බාහුවට තද උනු ගමන්මයි. බස් එක පැද්දෙන වරයක් පාසා ඒ ස්පර්ශය තවත් දැඩි උනා. දැන් ඇයගේ මුහුණ දිහා හැරිලා බලන්න අමාරුයි. මන් බලනවා එයා දැක්කොත්  ආයෙ එහාට වෙයිද දන්නෙ නෑ. මන් හිත තද කරගත්තා. ඊලඟ බ්‍රේක් ඒකේදි ඇය තවත් මගේ දෙසට තල්ලු උනා. මට නොවැටී බේරෙන්න දකුණතින් අසල තිබුන ශීට් එකේ ඉහල  යකඩ බටය අල්ලගන්න උනා. 

"හැමදේම වෙන්නෙ හොඳටයි මචන්. හොඳම දේ උඹ ටිකක් ඉවසල ඉඳපන්. උඹ කලබල උනොත් ඔක්කොම තවත් අවුල් වෙනවා." බෝඩිමෙන් පිටත් වෙන්න මොහොතකට කලින් සමිත අන්තිමට දුන්න උපදේශේ වැරැද්දකුත් නෑ වගේ. කලින් වැදුන බ්‍රේක් පාරෙන් තව හොඳක් උනේ. දැන් ඇගේ පපු පෙදෙස මගේ වැලමිටට තද වෙලා. සෙනඟ නිසා ඇයට හෙල්ලෙන්නවත් විදියක් නෑ. බස් එක පැද්දෙන තාලයට මගේ වැලමිට ඇගේ ළැම තුලට කිඳා බහිනවා. මගේ හිත ඇතුලේ මියදෙමින් තිබුන ආශාවත් වලට අමුතු පනක් ලැබිලා වගේ.
මගේ හැඟීම් එකක් පරයා එකක් ඇවිලෙමින් ඉහළට ඇදෙන්න පටන් ගත්තා. බස් එක පැද්දෙන තාලයට අනුරූපීව මම ඕනෑකමින්ම අත හෙමින් සෙලෙව්වා. ඉදිරිපස වීදුරුවෙන් ඇගේ මුහුණේ ප්‍රතිබිම්භය පේනවා. මන් ඒ මුහුණෙ තියෙන හැගීම් කියවන්න උත්සහ කලා. ඇයට ගානක් නෑ වගේද? අනුමාන කරලා බෑ. හරියටම තහවරු කරගන්න වෙනවා. මන් වටපිට බැලුවා. හැමෝම ඔවුනොවුන්ගේ ලෝක වල. මගේ දිහාවට යොමු උන එක ඇසක්වත් මගේ දෑසට අසු උනේ නෑ. වාසනාව! මම මගේ හැඟීම් වලට හිතුමතේ වැඩෙන්න අවසර ලබා දුන්නා.

"පුතා හැඟීම් පාලනය කරගන්න ඉගෙනගන්න වෙනවා. හැඟීම් වලින් තමයි මිනිහෙක්ව දෙවියෙක් කරන්නෙත් තිරිසනෙක් කරන්නෙත්. පුතාට තියෙන්නෙ අසාමාන්‍ය ලිංගික හැඟීම් නෙවෙයි. ඒත් ඔයාගෙ වයිෆ්ගෙ තත්වයත් එක්ක පුතාට තවටිකක් ඉවසිලිමත් වෙන්න වෙනවා. නැත්නම් ඒක පුතාගෙ පවුල් ජීවිතේට නරක විදියට බලපාන්න පුලුවන්. මන් කිව්වා වගේම එයාට මෙඩිසින්ස් වගේම මෙන්ටලි ට්‍රරිට්මන්ට් එකත් ඕනෙ කරනවා. ඒකෙ ලොකුම කොටස තියෙන්නෙ පුතාගෙ අතේ. වයිෆ්ගෙ තත්වය ක්‍රමයෙන් සුව අතට හැරෙනකම් පුතා පුතාගෙ ෆීලින්ග්ස් කන්ට්‍රොල් කරගන්න ඉගෙනගන්න ඕනෙ." ඩොක්ටර් එහෙම කිව්වට හැඟීම් කියන්නෙ හැමතිස්සෙම පාලනය කරගන්න පුලුවන් දේවල් නෙවෙයි. වේල්ලක උනත් වතුර පාර සැර වෙද්දි සොරොව්ව අරිනවා. නැත්නම් වතුර පාර යන්නෙ වේල්ලත් කඩාගෙන. මේකත් බාග විට ඒ වගේ මොහොතක්.

"වැරැද්ද කර කර උඹවම සාධාරණීකරනය කරගන්න හදන්න එපා මිනිහො" ජනේල් වීදුරුවෙන් පේන මගේ ප්‍රතිබිම්බයේ ඇස් මට ඔරවනවා. මන් බිම බලාගත්තා.
බ්‍රාආආආස්!!! බස් එක තවත් ලොකු බ්‍රේක් පාරක් ගහුවෙ එතකොටමයි. ඒ ගැස්මට මන් අල්ලන් හිටපු යකට බටය මට අත ඇරුනා. මාව ඉදිරියට තල්ලු උනා. මන් ආයෙමත් හිටපු ඉරියව්වට එද්දි ඇය එතන හිදැස පුරවලා. මන් වමතින් වහලයේ තිබුන යකඩ බටය අල්ලගෙන දකුණත නිදහස් කලා. නිදහසේ පහලට වැටුන දකුණත එක්වරම ඇගේ පසුපස පෙදෙසෙ ස්පර්ශ උනේ මගේ අනුදැනුමකින් තොරව. නමුත් ඒ ස්පර්ශය මට වඩා මිහිරක් ලබා දෙන්න සමත් උනා. දෙවෙනි වර මම ඒ ස්පර්ශයේ මිහිර ලබාගත්තෙ මගේ මොලය විසින්ම කල බලකිරීමෙන්. ඒක ටිකක් වැඩි උනා වගේ. ඇය එක් වරම ගැස්සිලා මගේ දිහා බැලුවා. මන් කවුලුවෙන් එහා අනන්තය හෙව්වා.

"සොරි කියපන් යකෝ සොරි කියපන්" මගේ හිත කෑ ගහනවා.
"බෑ බෑ... සොරි කිව්වොත් වැඩේ නෝන්ඩියි. දැන් ඔහොම ශේප් එකේම හිටපන්" ඒ විධානයත් මගේ මනසින්මයි. ඇය නැවතත් ඉදිරිය බලාගත්තා.
මගේ මනස ක්‍රියා කලේ දකුණතට විතරයි.
"දිගටම ටච් එක දීපන්" මගේ මනස දකුණතට කල ඒ විධානය පරදවන්න කෙනෙක් ඒ වෙලාවේ හිටියෙ නෑ.
තුන්වන හතරවන පස්වන සයවන ස්පර්ශයන් වඩා දරුණු උනා. ඒ දරුණු බව මගේ හැඟීම් වල ස්පන්දය තවත් වැඩි කලා. මගේ දෙනෙත් තිබ්බෙ ඇගේ මුහුණේ වෙනස්වීම් නිරීක්ශණය කරමින්. සෑම ස්පර්ශයකදීම ඇගේ මුහුණේ ඉරියවු වල උන වෙනස්වීම මගේ දෙනෙත් ග්‍රහණය කරගත්තා. ඉදිරියේ තිබ්බ ජනෙල් වීදුරුව ඒකට ලොකු උපකාරයක් ලබා දුන්නා. නමුත් කොයිම වෙලාවකවත් දෙනෙත් ඒ ග්‍රහණය කරගත් දේ ගැන පණිවිඩය මගේ දකුණතට ලබා දුන්නේ නෑ. හත්වන ස්පර්ශය සීමාව ඉක්මවා ගියේ ඒ නිසාම වෙන්න ඇති.
ඇය ඉහලට ගත් සුසුම් හඬ මට එවෙලෙ පහදිලිවම ඇහුනා. ඊලඟ මොහොතේ මට දැනුනේ මගේ දකුණු කකුල මත තෙරපෙන කිසියම් උලක සංවේදනයක්. සපත්තුව මතින් එය ඇතුලටම තෙරපුනා.
"ආහ්!" තෙරපුමේ දැඩි බවට මට බිම බැලුනා.
ඇගේ උල් සපත්තුව මගේ කකුල මත. ඇය ඇගේ තෙරපුම දිගින් දිගටම වැඩි කලා. සපත්තුව හිල් කරගෙන මගේ කකුල පසාරුවෙලායන තරමේ බරක් ඇය ඇගේ උල් සපත්තුවට යොදමින් හිටියා. වේදනාවත් පුදුමයත් එක්කම මට ඇගේ මුහුණ දෙස බැලුනා. ඇය හිටියේ මගේ දිහා බලාගෙන. ඇගේ ඇස් වල තිබ්බෙ ක්‍රොධයක්ද පිළිකුලක්ද කියලා වෙන් කරලා අඳුනගන්න මට හැකියාවක් ලැබුනෙ නෑ. හැබැයි මගේ දෙනෙතින් ඇය දකින්න ඇත්තෙ දැඩි අසරණකමක් බව මන් හොඳාකාරවම දන්නවා. තත්පර කිහිපයක් ගත වෙන්න ඇති. ඇය නැවත ඉදිරිය බලාගත්තා. මගේ කකුල මත තිබුනු තෙරපුමත් නැතිව ගියා. නමුත් ඒ මොහොතේ ඉඳන් මගේ හදවත මත තෙරපුමක් ඇති වෙන්න පටන් ගත්තා. 
දැන්නම් ඉවරයි. මේකි හොඳ වෙලාවට කෑ ගහුවෙ නෑ. නිකමට හරි කට ඇරියනම් ආත්මෙම ඉවරයිනෙ. ගෑනියෙක්ට පාඩුවේ බස් එකක යන්න දෙන්නෙ නැති අවලං ජැක්කාරයෙක් විදියට හංවඩු ගැහිලා බස් එකෙන්ම බැනුම් අහගෙන බස් එකෙන් බහින්නයි වෙන්නෙ. ඔලුව උස්සන්නවත් බැරි තරමෙ ලැජ්ජවකින් මුලු හිතම පිරිලා ගියා. ඊලඟට කරන්න ඕනෙ මොනවද කියලා කිසිම අදහසක් ඔලුවට ආවෙ නෑ.
"හොඳ වැඩේ උඹට. ගෙදර ගෑනියෙක් ඉද්දි මෙතන වල්කම් කරන්න ගියා. ඕක තමයි උඹේ වරද. ඔයි වල්කම පොඩ්ඩක් අඩු කරගනින්. උඹ හදුවෙ ගෑනිව ඩිවෝස් කරන්න නේද. ඒකටත් මුල උඹේ වල්කමනෙ" මගේ හිත තොරතෝංචියක් නැතුව මට බැන වදිනවා.
උල් සපත්තුවෙ තේරපුම මගේ හදවත මැද දැනෙන්න පටන් ගත්තා. මන් ජනේලෙන් එහා බැලුවා. තව හෝල්ට් 8ක් විතර තියෙනවා. උල් සපත්තුවෙ තේරපුම හදවත පසාරු කරගෙන යන්න වගේ. මට තවත් මේ බස් එකේ ඉන්න බෑ. මන් ඊලඟ නැවතුමෙන් බස් රථයෙන් බැස්සා.

බස් රථය ඉදිරි වංගුවෙන් හැරිලා නොපෙනී ගියා. ඊ ලඟ තත්පර කීපයේදි බස් රථයේ හඬත් මගේ දෙසවන් වලින් මැකිලා ගියා. ඒත් මගේ හදවත මත තියෙන උල් සපත්තුවෙ තෙරපුම. ඒක එන්න එන්නම දැඩි වෙනවා. හද ගැස්මේ ශබ්ධය කිලෝමීටර් ගානක් ඈතට ඇහෙන තරම්. උල් සපත්තුව පපුව මැද්දෙ. මගේ ඇස් පියවුනේ ඉබේටම. උල් සපත්තුව පපුවට හිරවෙන වේදනාව මැද්දෙන් පවනිගෙ හිනහව මගේ ඇස් ඇතුලෙ මැවුනා. මන් ඇස් ඇරියා. ඊලඟ තත්පරයෙදි, වම් සක්කුවෙ තිබුනු මුදුව නැවතත් දකුණතේ වෙදගිල්ල තුල හිර වෙනකොටම, හදවත මැද තිබුනු උල් සපත්තුවේ බර නැති වෙලා ගියා.

23 comments:

  1. බොහොම ලස්සනට කතාව කියනවා. සිදුවීම් විස්තර කිරීම හරිම තාත්විකයි.... තිර රචනයක් වගේ... හිතේ රූපරාමු මැවෙනවා...

    ReplyDelete
  2. සිතන්න දේවල් ගොඩක්!!!

    ReplyDelete
  3. මනුස්සකම කියන එක ඇතුලේත් විවිධාකාර ප්‍රභේද උපකුලක තියනව කියල හිතුන
    ඒ මනුස්සය අකමැති දේට ප්‍රතිචාරය දැක්වුවේ මනුස්සයෙක් විදිහට - අපහාසත් කරල දඬුවම් දෙකක් දෙන්න හිතල නෑ නේද?
    ජය!

    ReplyDelete
  4. ඉස්සර හදවතේ රාමු කර තිබූ කතන්දර සියල්ල මෙය කියවූ සැණකයෙන් කුණු කූඩයට දමා, අලුතෙන්ම රාමුවක් ගසා කැබිනට් එකේ තැබූ වල සතුටින් දැනුම් දෙමි..

    ReplyDelete
  5. උල් සපත්තුවකින් පාරක් කන්ට ඕනිද වෙනත් හදවතක් තේරුම් ගන්ට.

    අලු පාට චරිතයක් ගැන ලිය උනු කතාවක්...අපූරුයි නිර්මාණය....

    ReplyDelete
  6. කතාව ඇතුලේ මම ජීවත් වුනා. සිරාවටම සිරා නිර්මාණයක්..!!

    ReplyDelete
  7. කාලාන්තරේකට පස්සෙ දාන කොමෙන්ට් එකක්...

    මිනිස්සුන්ගෙ චරිත ඇතුලෙ පැහෙන , විඳවන , දෝලනය වෙන සිතුවිලි දිහා සානුකම්පිතව බලන එක මම බොහොම කැමති දෙයක්...

    මොකද කොහෙවත් හරි කෙලින් අඩි රූල් නැහැ. ඉරි නැහැ වෙන් කරපු. හොඳ නරක එකම ලෝකෙක ජීවත් වෙන ප්‍රභේද - වර්ග දෙකක් නොවෙයි. ඒ දෙකෙහි සම්මිශ්‍රණයක් කොහෙත් තියෙන්නේ. එක දිහා සානුකම්පිතව බලන්න පුලුවන් නම් , ආන්තික මනස් අතරේ ගොඩක් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුලුවනි.

    මම හැමදාමත් නුඹේ ශෛලියට මනාපයි. ජය වේවා මල්ලි :)

    ReplyDelete
  8. if yo u read only the last part of the story the main guy will be the shittiest person.. but if you read the whole story from the beginning it will make him reasonable. yet i can not say he is correct. in my opinion what ever he is in.. what ever the problems he has, he have to contaminated his mentality.
    on the other hand what about the wife. she is something else. some one can write a spin off story about his wife :). and her story. why she does not active for sex with this guy
    anyway mate. this writing is amazing. loved it. keep it up.. CHEERS!

    ReplyDelete
  9. නියමයි අනුරාධ.

    ReplyDelete
  10. ලංකාවෙ ලොකුම ෆෝරම් ඵකට තාම ගියේ නැද්ද..දැන්ම යන්න ගිහින් රෙඡිස්ටර් වෙන්න http://justcrowd.net/

    ReplyDelete
  11. උඹේ බ්ලොග් එක කියවන්න බෑ පනුවෝ මේ මගුලේ ඉමේජ් එක ලෝර්ඩ් වෙන්නේ නෑ මදැයි 16 + කියල දැකල දුවගෙන ආව....... :D

    ReplyDelete
  12. සික්... උඹට හැමදාම දාන නෝන්ඩි කොමෙන්ට් එකක් දාන්න හැටියක් නැහැනේ අද.. සික්...

    ReplyDelete
  13. සිතුවිලි අළුත් උනා.....(කොපි කරන්න නෙවෙයි)

    ReplyDelete
  14. මොනවා කරන්නද බං...හැම කන්දක්ම එක වගේ උස නෑනේ...

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. අර ගුනේ කියලා තියන කතාව ඇත්ත. අපි අඳුරේ ටික වෙලාවක් බලං ඉන්ට ඕනි.:)

    ReplyDelete
  17. අදහස හොදයි..... සුලභ සිද්දියක් උනත් අපුර්ව අදහසක්

    ReplyDelete
  18. නියමයි අයියේ.... ෂෝට් ෆිල්ම් එකක් වගේ හිතේ ඇඳුනා.
    දුකත් හිතුනා තරහත් ආවා
    නියමයි.

    ReplyDelete
  19. කමෙන්ට් චැට් එකෙන්ම දුන්නානේ හොදේ අයේ නෑ හික් හික්...

    ReplyDelete
  20. මෙන්න බ්ලොග් ලොව සොදුරු කරන්නාවු බ්ලොගක් :)

    ජය පතමි..

    //වම් සක්කුවෙ තිබුනු මුදුව නැවතත් දකුණතේ වෙදගිල්ල තුල හිර වෙනකොටම, හදවත මැද තිබුනු උල් සපත්තුවේ බර නැති වෙලා ගියා.//

    අවසානය සොදරුම සොදරුයි !

    ReplyDelete
  21. නිර්මාණාත්මක නිර්මාණයක්..

    ReplyDelete