Wednesday, March 29, 2017

"කුඩේ කුඩු" වූ වගයි!


ඩ්‍රාමා උණ පටන් ගත්තෙ ඉස්කෝලේ යන කාලෙ. එතකොට මන් ගියේ ගාල්ල, කිතුලම්පිටිය ආනන්ද මහා විද්‍යාලයට. සමිති රැස්වීම් වල පොඩි පොඩි නාට්ටි කෑලි කර කර ඒ උණ යන්තම් යන්තම් හොඳ කරගත්තා. පාසල් මට්ටමින් ගිය නාට්ටි වලට සම්බන්ධ වෙන්න පුලුවන් උනත් අපේ ඉස්කෝලෙ ජාතික පාසලක් නොවුන නිසා තිබ්බ බාධක නිසාද කොහේද ඩ්‍රාමා පැත්තෙන් ලොකු දෙයක් ඉස්කෝලෙන් උනේ නෑ. වේදිකාවෙදි ප්‍රසිද්ධ පුද්ගලයෙක්ගෙන් ලැබුන පළවෙනි කමෙන්ට් එක හම්බෙන්නෙ එහෙම පාසල් මට්ටමින් ගිය නාට්ටියකදි ලයනල් රන්වල මහත්මයගෙන්. එකෙන් තිබ්බ උණ වැඩි උනා උනත් ඒ උණට හරි හමන් බේතක්නම් හම්බවෙන්නෙ නෑ. ඒත් මට මතකයි විද්‍යාපීඨ පුහුණු ගුරුවරයෙක් විදියට වසරක කාලායකට අපේ ඉස්කෝලට ආපු "සම්පත් සර්" අපිව පලාත් මට්ටම දක්වා අරන් ගියා. ඒ වෙද්දි මම 9 වසරෙ වගේ පොඩි කොලු ගැටයා.  ඒත් ඒ අවුරුද්ද සුරුස් ගානකොට ගෙවිල ගිය නිසා එතනින් එහාට ආයෙ අපේ ගමන නැවතුනා. ඊට පස්සෙ 11 වසරේ මුල් භාගයේදි ගාල්ල මහින්ද විද්‍යාලයට යෑමත් එක්ක නාට්ටි කෙරුවාව සම්පූර්ණයෙන්ම අයින් වෙලා ගියා. උසස් පෙලට තෝරගත්තෙත් විද්‍යා විශයන් නිසා ඒ පැති ගැන හිතන්න පවා ඔලුව නිදහසක් ලැබුනේ නෑ. ඉතින් නාට්‍ය කළාව ගැන කිසිම විදියක විධිමත් දැනුමක් ලබාගන්න හැකියාවක් ලැබුනත් නෑ.

ඒ දේවල් ඒ විදියට උනත් දන්න කාලෙ ඉඳලම ඔලුව ඇතුලේ කැකෑරි කැකෑරි එලියට එන්න දඟලපු නාට්ටි හීනෙනම් කිසිම අඩුවක් උනේ නෑ. "කවදම හරි ස්ටේජ් ඩ්‍රාමා එකක් කරනවමයි" අරමුණ දවසින් දවස ඝනව වැඩුනා. වතාවක් දෙකක් ඊට සුදුසු දැණුම ලබාගන්න අවශ්‍ය පසුබිම් සැකසුනත් දෛවයේ සරදමක් නිසාදෝ ඒ හැම අවස්ථාවක්ම අවාසනාවන්ත විදියට ගිලිහිලා ගියා. ගුරුවරයෙක් විදියට පිහිටට හිටියේ නරඹන්න ලැබුන අතලොස්සක් වේදිකා නාට්‍ය කිහිපයක් විතරයි. හීනයේම කොටසක් වන චිත්‍රපට අධ්‍යක්ෂණය ගැන වැඩි අවධානයක් යොමු කරන්න පෙලඹුනේ ඒ හේතුව නිසාමයි. පර්යේශණාත්මක කෙටි චිත්‍රපට කීපයක් නිර්මාණය කරමින් හෙමින් හෙමින් වතුරට බැහැගෙන ආවත් ඒ දේවල් පවා සීමා වෙන්නෙ ආර්ථික බාධක හැමදේකටම හරස් කපපු නිසයි.

2013 වසර විශේෂ වසරක්. රූපවාහිනි මාධ්‍යය තුල ටෙලි නාට්‍ය හා සම්බන්ධව කටයුතු කරන්න ලැබෙන්නෙ අහම්බෙකින් වගේ. සහාය අධ්‍යක්ෂකවරයෙක් විදියට, නළුවෙක් විදියට විවිධ නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙන්න ලැබුනත් 2013 වසර අවසානයත් එක්ක ඒ සියල්ලත් අවසන් වෙන්නෙ හේතූකාරනා කීපයක්ම නිසා.  

එතැන් පටන් ගත වෙන්නෙ හීනයේ මංපෙත් වලින් තරමක් ඈත් වෙච්ච වෙනස්ම විදියක නිහඬ ජීවිතයක්. කිසිදිනෙක බලාපොරොත්තු නොවුන රජයේ රස්සාවක, ජීවිතේ ආර්ථික ශක්තිය හොයමින් කරන සටන්කාමී කාල පරිච්චේදයක්. 

කාතාව ආයෙ වෙන පැත්තකට අරන් යන්න වෙනවා. වෙන පැත්තකට වගේම ආයෙමත් තව අතීතයට. ශ්‍රී ලංකා HBS සංවිධානය වසර 18ක පමණ කාලයක් තිස්සේ ලංකාව තුල ක්‍රියාත්මක වන බෞද්ධ සංවිධානයක්. 2006 වර්ශයේදි මට අවස්ථාව ලැබෙනවා HBS සංවිධානයත් එක්ක සම්බන්ධ වෙන්න. එතැන් පටන් මම සංවිධානය තුල ක්‍රියාකාරී සාමාජිකයෙක් බවට පත් වෙනවා. අද වෙද්දි මම HBS සංවිධානයත් එක්ක එකතු වෙලා අවුරුදු 11ක් . මේ අවුරුදු 11 පුරාවට මගේ ජීවිතේ සිදු උන සියලූම දේවල් පිටිපස්සෙ මේ සංවිධානය තිබුනා කිව්වොත් මම නිවැරදියි. මා පිළිඹඳව පෞද්ගලිකව දන්නා සියල්ලන් ඒ ගැන හොඳින්ම සාක්ශි සපයාවි. පෞර්ෂය, රස්සාව, විවාහය.... මේ එයින් ප්‍රධාන දෙක තුනක් විතරයි. දැන් ආයේ ප්‍රධාන කතාව දෙසට හැරුනොත්, ක්ශීන වෙමින් යමින් තිබුන කලා හීනයට ආයෙමත් පණ පොවමින් මා තුල තිබූ යම් යම් හැකියාවන් එලියට ගේන්න විශාල අත්වැලක් උනේත් මේ HBS සංවිධානයමයි. 
"දවසක ඩ්‍රාමා එකක් කරමු" මගේ අරමුණ, මගේ හීනය HBS සංවිධානය ඔවුන්ගේ එකක් කරගත්තා. කිසිවෙකුත් අත නොදෙන මොහොතක ඔවුන් ඒ බර ඔවුන්ගේ මත පටවගත්තා.

"කුඩේ කුඩු" වේදිකා නාට්ටිය සඳහා පිඹුරු පත් සකස් වෙන්නෙ ඒ විදියට. වැඩේට මුල් අඩිය තියන්නේ ඉස්සහට මොනවා වෙයිද කියලා කිසි දෙයක්  නොදැන. හැබැයි මොන දේ උනත් නොනැවතී ඉස්සරහට යනවා කියන අරමුණ විතරක් අපේ ඔලුව ඇතුලේ තිබ්බා. මම නවකයෙක්. වේදිකා නාට්‍ය ගැන කිසිම විධිමත් අධ්‍යාපනයක් නොලබපු කෙනෙක්. මීට කලින් ප්‍රසිද්ධ වේදිකාවක කිසිම නිර්මාණයක් නොකල කෙනෙක්. මන් ඉස්සරහා තිබුනෙ ලොකු අභියෝගයක්. ඒත් HBS සංවිධානය මාව විශ්වාස කලා. ඒ විශ්වාසයම මට ලොකුම හයිය උනා.

සතියක් ඇතුලත තිරපිටපත ලියැවුනා. ඒ ලියන අතරතුරේම HBS සංවිධානයේ සාමාජික සාමජිකාවන් අතුරෙන් තෝරාගැනීමේ පරීක්ශනයක් සිදු කලා. අවශ්‍ය කරන නලු නිළියන් එයින් තෝරාගැනුනා. තවත් අලුත්ම පිරිසක්. අභියෝගය තවත් තීව්‍ර උනා. පිටපත ලැඟුම් පාලක මණ්ඩලයට යොමු කරලා එහි අනුමැතිය ලබාගන්න ඕනෙ බව දැන්ගත්තෙ කණාවට වගේ. පේනවනෙ දැණුමේ තරම. ලහි ලහියේ ඒ කටයුත්තත් සිදු කරලා ඔවුන්ගේ අනුමැතිය අරගත්තා. පුහුණුවීම් ඇරඹුණා.

සම්පූර්ණයෙන්ම නවක පිරිසක්!!! 
අභියෝග රාශියක්!!! 
නමුත් එකම අරමුණක්!!!

මාස දෙකක් පුරාවට සියල්ලන්ගේම ජීවිතය උනේ ඒ අරමුණ විතරයි. 
මමද ඇතුලුව මුලු කණ්ඩායමම බින්දුවේ සිට සෙමෙන් ගොඩනැගෙන විදිය දකිද්දි තියෙන ධෛර්‍ය තව තවත් දළුළා වැඩුනා. ඔවුන් කිසිවෙකුත් මුදල් අපේක්ෂාවෙන් පැමිණි අය නෙවෙයි. කිසිම විදියක පෞද්ගලික ප්‍රතිලාබ බලාපොරොත්තුවෙන් පැමිණි අය නෙවෙයි. මුදල්, කාලය, ශ්‍රමය සියල්ල කැප කරමින් ඔවුන් පැමිණියේ HBS සංවිධානය වෙනුවෙන්. ඔවුන්ගේ උත්සහයේ වටිනාකම වැඩි වෙන්නෙ ඒ හින්දමයි.

දිනය : දෙදහස් දාහතේ මාර්තු මස 26 වන ඉරිදා......
ස්ථානය : කොළඹ නව නගර ශාලාව
වෙලාව : සවස 3.30

අවුරුදු ගානක, මගේ සිහිනය.....
අවුරුදු ගානක, සංවිධානයේ දිරිගැන්වීම......
මාස දෙකක, නාට්‍ය කණ්ඩායමේ අඛණ්ඩ කැපවීම......

සියල්ල මල්පල ගැන්වුනා.
වේදිකාව මත ආලෝක කදම්බ මගේ මුහුණට එල්ල වෙද්දි මගේ මුලු ආත්මයම ආලෝකමත් උනා. වචන වලින් විස්තර කරන්න බැරි අනේක හැඟීම් වරුසාවකින් මගේ හිතම තෙමිලා ගියා. චරිතයක රඟ දක්වමින් සිටි නිසා ඒ වෙනස පහල නරඹන්නන්ට නොපෙනෙන්න ඇති. ඒත් අද මේ ලියවුන වචනයක් වචනයක් පාසා ඒ හැගීම, මෙය කියවන ඔබේ ඔළු ගෙඩි පුරා ඇදිලා යනු ඇති. 

මෙය මගේ ජීවිතේ සුවිශාල සංධිස්ථානයක්. උපන් දිනය, විවාපත් දිනය වගේම, ඒ තරමටම සිහිපත් කල හැකි දිනයක්.

2017 මාර්තු 26 : මම නැවත උපන්නා.....

ඇත්තෙන්ම මෙය මගේ පෞද්ගලික ජයග්‍රහණයක් නෙවෙයි. මෙය පිටුපස ඉතා විශාල පිරිසක් හිටියා. ඔවුන් නොයිඳින්න අද තාමත් මම මගේ සිහිනය දිහා බලාගෙන හූල්ලන තවත් එක ප්‍රාණියෙක් විතරයි. මේ ස්තූතිය ඔවුන් හැමදෙනා වෙනුවෙන්මයි. 

"කුඩේ කුඩු" 
අපි ඉහලලා බැලුවා.
උදව් කල හැමෝම ගැන තියෙන්නෙ අපිරිමිත ස්නේහයක්.

මම සිහිනයක් දැක්කා. සිහිනය සම්පූර්ණ වුනේ එදා ඔබෙන් ලැබුනු අත්පොලසන් හඬත් එක්ක. ඒ හඬ මුළු ජීවිතය පුරාවටම මගේ කන්පෙති අතර රැව් පිලිරැවු දේවි.






3 comments:

  1. සුබ පැතුම්. සේරටම වඩා සතුටු කිතුලම්පිටිය ආනන්දෙ නම දැකපු නිසා. ජය..

    ReplyDelete
  2. වේදිකා නාට්‍යයක් කියන්නෙ පුදුම කැපවීමකින් කරන්න ඕනෙ දෙයක්..
    ජය වේවා !!

    ReplyDelete
  3. ජයවේවා... ජයෙන් ජයම වේවා...
    පැතුම සහෘද රිච්මන්ඩ්වරයෙකුගෙන්

    ReplyDelete