Monday, April 5, 2010

රජකමේ හඬ......

ඉස්සිල්ල කතාවට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබ්බ නිසා ඔන්න මන් අදත් කතාවක් කියන්න කියලා හිතා ගත්තා. මේකනම් හැබැයි කොලම්බස්ගේ කතාව වගේ ප්‍රහසනයක් ගැබ් වෙච්ච කතාවක් නෙවෙයි. නමුත් මේ කතාවෙන් ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා මට හිතෙනවා. මේ කතාව මට අහන්න ලැබුනේ නායකත්වය පිලිඹඳව පැවැත්වුන වැඩමුලුවකදි. හරි හරි වැඩි කතා ඔනේ නෑ. අපි කෙලින්ම කතාවට බහිමුකො.

                                        ඔන්න එකෝමත් එක රටක හිටියලු රජ කෙනෙක්.  බොහෝම ධාර්මිශ්ඨවලු ඒ රජතුමා රට පාලනය කලේ. මිනිස්සුන්ට කිසිම අඟහිඟයක් තිබ්බෙ නැතිලු. මිනිස්සු මොහොම සතුටින් සමාදානයෙන් ජීවත් උනාලු. අනේ වාසනාවන්. අන්න රජවරු. රජතුමාගේ පාලනය ගැන මිනිස්සු බොහොම ප්‍රසාදයෙන්ලු හිටියේ. එත් ඉතින් කොච්චර හොඳ හාලක් උනත් එක වී ඇටයක් හරි හිටිනවනේ. රජතුමාට හිටිය පුත්‍රයෙක්. එකම පුත්‍රයා. වන් ඇන්ඩ් ඔන්ලි සන්. පුත්‍රයෙක් නෙවෙයි ඒකා මාර පුත්‍රයෙක්. එකා යකා කියමනක් තියෙනවනෙ. මිනිහා හෙන නාහෙට අහන්නේ නැති දඩබ්බරයා. මෙලො මිනිහෙකුට කොන්ට්‍රොල් නෑ. මිනිහගේ මතේටමයි වැඩ. අනිත් අයට හෙණ ගැහිල ගියත් කමක් නැ. තමන්ගේ වැඩේ කෙරිලා. රජතුමාගේ අහලකින්වත් තියන්න බෑ. හරියට නිකන් රජතුමාගේ ලමයෙක් නෙවෙයි වගේ. ( කිව්වට මොකද රජතුමාගේ හිතෙත් පොඩි සැකයක් නොතිබුනාම නෙවෙයි. එත් ඉතින් මොකක් කරන්නද. DNA පරීස්සනයක් කොරන්න කියලයැ ඒ කාලේ) රජතුමා දන්න සෙල්ලම් ඔක්කොම දැම්ම තම්න්ගේ එකම පුතාව හරි මාර්ගෙට ගන්න. කෙහේද. ඒ ඔක්කොම ගඟට කපපු ඉනි වගේ. කුමාරය නෙවෙයි පොඩ්ඩක්වත් තමුන්ගේ ජීවන රටාව වෙනස් කලේ.
            
                             ඔන්න ඉතින් කුමාරය දැන් හොඳ ගජ ඉලන්දාරියා. රජතුමාටත් දැන් ටිකක් විතර වයසයි. ඔන්න ටිකෙන් ටික කුමාරයගෙ හිතේ අසාවක් පැල පදියම් වෙන්න ගත්තා. වෙන මොකක්වත් ගැන නෙවෙයි. රජ කම ගැන. දැන් රජකම තිබ්බනම් මරු කියලා කුමාරයගෙ හිතට තදින්නම දැනෙන්න ගත්තා. රජාගේ පුතා වෙනවට වඩා රජා උනට පස්සෙ සැප වැඩියිනෙ.  එත් කුමාරය ඉවසුවා. තාම පිය රජතුමා රජකමේ ඉන්නවනේ. කුමාරය හිතුවා අද නැත්නම් හෙට තමුන්ට රජකම හිමිවෙයි කියලා. දැන් පිය රජතුමා වයස නිසා ඉක්මනටම රජකම තමුන්ට බාර දෙයි කියලා තමයි කුමාරයා හිතුවෙ. කාලය වේගයෙන් ගෙවිලා යනවා. නමුත් කුමාරයගේ බලාපොරොත්තුව ඉටු වෙන පාටක් නෑ. තව බලන් හිටියා. එත් නෑ. අන්තිමේ කුමාරයාට හොඳටම කෙන්ති ගියා.
"මොන මගුලක්ද. පෙරේත කමට තාම රජකමේ ඉන්නවා. නාකි වෙලත් තව රජ කමේ ඉන්නයි කල්පනාව. රජකම මට බාර දුනනම් ඉවරනේ. එක්කො නාකියා මැරිලා යන ඕන. එතකොට රජකම නිකම්ම මටනේ." කුමාරයගේ කුරිරු සිතිවිලි ඉස්මතු වෙන්න ගත්තා.
ඊට පස්සෙ ඉඳන් කුමාරය බලන් හිටියෙ කොයි මොහොතේ රජතුමා මිය යයිද කියලා. නමුත් ඒ අදහස ඉටු වෙන පාටකුත් නෑ. රජතුමා වයසට ගියත් තාම හොඳ නිරෝගියි. තව කාලෙකට රජතුමා මිය යන එකක් නෑ කියලා කුමාරයට හිතුනා. අන්තිමේ හිතලා හිතලා කුමාරයා තීරණයක් ගත්තා.

මට හිතෙනාවා මෙතනින් කතාව කඩන්නත්. ම්...ම්...ම් එක්කො කමක් නෑ. ඔන්න ඔහේ ලියනවා. නැත්නම් මට හචින් ගිහිල්ල ඉවරයක් නැති වෙයි. මට විතරක්නම් මොකෝ. ගෙදර උදවියටත්......

ඔන්න ඉතින් කුමාරයා තීරණයක් ගත්තනේ. හිත ශක්තිමත් කර ගත්තු කුමාරයා ගියා පිය රජතුමා ගාවට. ගිහිල්ල රජතුමාගෙන් රජකම ඉල්ලුවා. දැන් රජතුමා හුඟක් වයස නිසා තමුන්ට රජකම බාර දෙන්නයි කියලා ඉල්ලුවා. රජතුමා ටිකක් කල්පනා කලා. කල්පනා කරලා මෙහෙම කිව්වා.
"හරි මන් තමුන්ට රජකම දෙන්නම්. හැබැයි එක කොන්දේසියක් උඩ. අසවල් කැලේ ඉන්නවා තාපසතුමෙක්. අන්න ඒ තාපසතුමාව මුණ ගැහිලා තමුන් රජකමට සුදුසුයි කියලා ලියුමක් අරගෙන් එන්න. එතකොට මන් රජකම දෙන්නම්."
"මේ මොන කෝලමක්ද. එක එක එවුන්ගෙන් ලියුම් අරන් එන්න ඕනද රජකම ගන්න" කුමාරයා එහෙම හිතුවත් ඒ බව කියන්න ගියේ නෑ. කොහොම හරි රජකම ලැබෙනවනේ. ඒක නිසා කුමාරයා තාපසතුමාව හම්බ වෙන්න අර කිව්ව කැලෑවට ගියා.

තාපසතුමාව හම්බ වෙන්න ගිය කුමාරය සියලුම විස්තරේ එතුමාට කිව්ව.
"හරි මන් ලියුමක් දෙන්නම්" තාපසතුමා එහෙම කිව්ව ගමන් කුමාරය දනිපිනි ගාලා නැගිට්ටෙ ලියුමත් අරන් ඉක්මනින් ආපසු යන අදහසින්.
"හැබැයි ලියුම දෙන්නනම් පොඩි වැඩක් කරල ඉන්න ඕනේ." තාපසතුමා ඊලඟට කිව්ව දෙයින් කුමාරයගෙ හිතේ තිබ්බ උද්යෝගය එහෙම් පිටින්ම බිඳිලා ගියා.
"හරි කරන්නම්. මොකද්ද වැඩේ." කුමාරයා උදාසීනව ඇහුවා.
"කැලේ මැදට යන්න. ගිහින් හොඳට අහුන්කන් දෙන්න. ඔයාට අහෙන ශබ්ද සටහන් කරගෙන ඇවිත් මට දෙන්න."
අපො ඕකත් කජ්ජක්ද කියලා හිතමින් කුමාරයා ඒ වෙලෙම කැලේ අතුලට ගමන් කලා. ඔන්න කුමාරයා ගලක් උඩින් වාඩි වෙලා අහුම්කන් දෙනවා. කුමාරයට එක එක ශබ්ද ඇහුනා. එයා ටක් ගාල ඒව සටහන් කරගත්තා.
අලියෙක්ගේ කුංචනාදය
සිංහයෙක්ගෙ ගෙරවිලි හඬ
වලසෙක්ගේ ගෙරවිලි හඬ
කොටියෙක්ගේ ගෙරවිලි හඬ
නරි හූ කියන හඬ
වෘකයන් කෑ ගසන හඬ

ඔය ටික සටහන් කරගත්තු කුමාරයා වීරයා වගේ ගියා තාපසතුමා ලඟට. ගිහිල්ල පෙන්නුවා.
"දැන්නම් වැඩේ  හරි. රජකම දැන් මගේ අතෙ" කුමාරයට සතුට ඉහවහා ගියා.
නමුත් ඒ සතුට වැඩි වෙලා තිබ්බෙ නෑ.
"ම්...ම්..ම්.... හොඳ උත්සහයක්. එත් මේ මදි. අයෙත් එතනට යන්න. කලින්ට වඩා හොඳින් ඇහුම්කන් දෙන්න. අහෙන ශබ්ද සටහන් කරගෙන එන්න."
මොනවා කරන්නද කුමාරයා හිතින් බැන බැන අයෙත් කැලේ මැදට ගියා.
ඔන්න කුමාරයා අහුම්කන් දෙනවා. කලින්ට වඩා හොඳින් අහුම්කන් දෙනවා. කුමාරයට ඇහෙනවා විවිධ ශබ්ද. එයා ඒවා සටහන් කරගන්නවා.
කුරුල්ලො කෑ ගසන හඬ
වතුර ගලාගෙන යන හඬ
ලේනෙක් කෑ ගසන හඬ
කොට්ටොරුවෙක් ගසකට කොටන හඬ

මේ සරේනම් වැඩේ හරි. කුමාරයා අයෙත් තාපසතුමා ගවට ගියා. නමුත් තාපසතුමා දුන්නේ පෙර උත්තරේමයි.
"අයියෝ... කමක් නෑ. අයෙත් පාරක් උත්සහ කරලා බලමුකො" කියලා හිතාගෙන කුමාරය අයෙත් වනගත උනා.
ඔන්න කුමාරයා හොඳට අහුම්කන් දෙනවා. කලින් දෙපාරටම වඩා අවදානයෙන්. හිත සන්සුන් කරගෙන. බොහොම කල්පනාවෙන් අහුම්කන් දෙනවා. කුමාරයට අහෙනවා. කුමාරයා ඒවා ලියාගන්නවා.
කුරුල්ලන් පියාපත් සලන හඬ
උල්පතකින් වතුර පිටට එන හඬ
බිත්තරයක් පිපිරෙන හඬ
ගසකින් කොලයක් ගැලවෙන හඬ
ගස් වල මුල් වලින් ජලය උරාගන්නා හඬ
පියාපතක් පොලවෙහි ගැටෙන හඬ
මලක පෙති දිග ඇරෙන හඬ
ඉදුනු ගෙඩියක් නටුවෙන් ගිලිහෙන හඬ

ඔන්න මේ ටිකත් අරගෙන කුමාරයා යනවා තපසතුමා ලඟට.
"ඔබ දැන් රජකමට සූදානම් දරුවා. මම ලියුම දෙන්නම්. එය ගෙනගොස් පිය රජතුමාට පෙන්නා ඔබට හිමි රජකම ලබගන්න"
තාපසතුමාගෙන් රජකමට සුදුසුයි කියලා සහතික කරපු ලියුමත් අරගෙන කුමාරයා අපහු රජ මලිගයට ආවා. රජතුමා ලියුම බලලා ගොඩක් සතුටු උනා.
ඉක්මනින්ම ලොකු උත්සවයක් සංවිධානය කරලා කුමාරයට ඔටුනු පැලැන්දුවා. රජ කමට පත් වෙච්ච කුමාරයා තමුන්ගේ පිය රජතුමාටත් වඩා හොඳින් ධර්මිශ්ඨව රාජ්‍යය පාලනය  කලා.

                                                කතාවනම් ඔතනින් ඉවරයි. නමුත් අපිට හිතන්න දේවල්නම් ඔතනින් ඉවර වෙන්නෙ නෑ කියලයි මගේනම් අදහස. කතාව ඉවර වෙන්නෙ අපිට හිතන්න දේවල් දහසක් ඉතුරු කරලා. ඒ දේවල් ගැන මන් කියන්න යන්නෙ නෑ. ඔයාලටත් තේරෙනවා ඇතිනේ මේ කතාවෙන් ලබා දෙන පණිවිඩ මොනවද කියලා. ඔයාලට හිතෙන දේවල් මොනවද කියලා පල්ලෙහයින් අකුරු කොරලා යන්නත් අමතක කරන්න එපා. බලමු ඔයාලට මොනවද හිතෙන්නෙ කියලා.

6 comments:

  1. ෂහ් හරිම ආදර්ශමත් කතාවක් නේ...... ඉවසිලිවන්ත කම තියනවනම් අවධානයයි සන්සුන්කමයි දෙකම ගොඩ නැඟෙනවා :):)

    ReplyDelete
  2. හැමදාමත් වගෙ.. අනුරධ මල්ලිත් දැන් කතන්දර පටන් අරන්.. හරි මෙ කතාවෙ දි මම ඉගෙන ගත්තු දෙ තමයි.. අරමුණ දෙස ඉතා සියුම්ව පුළුල් පරාසයකින් මනස යොමු කිරිමට හුරු කරවිම ඉතාම වැදගත් ගති ගුනයක් බවයි..

    මම කැඩෙට් කරද්දි මට සර් කෙනක් එක්ක අපෙ ඉස්කොලෙ වටෙ රවුමක් ඇවිද්දා.. එ සර් ගෙ සහයකයා වගෙ කැම්ප් එක පුරාම ඉන්න ඔනා මම.. වතුර අදින්න ..එ සර්ට සලකන්න ඔනා මම ඉතින් පස්සෙන්ම තමයි ඔහොම ඇවිදගෙන යද්දි මගෙ සර් එක එක ප්‍රශ්න අහනවා " ඉස්කොලෙ පොල් ගස් කියක් තියනවද " . "13 යි" ..
    "කැන්ටිම ඉස්සරා තියන ගහ මොකද්ද ".. " කොට්ටන් ගහ"
    " ඉස්කොලෙ වොලිබොල් කොර්ඩ් කියක් තියනවද" " 4 යි"
    "පිටිපස්සෙ කම්බි වැටෙ කම්බි පොටවල් කියක් තියන්වද". "7 යි"
    ඔය වගෙ ප්‍රශ්න 12 කට විතර හරියට උත්තර දුන්නා..
    " කැන්ටිම ඉස්සරා ඉන්න බැල්ලි.. එකි වටෙ පැටවු කිදෙනෙක් හිටියද ". " මතක නැහැ"
    මුකුත් නැහැ මල්ලි එ වෙලාවෙ ඩවුන් කියලා ඩිෆ් 30, ගහලා, එ අස්සෙ ලිස්සිරියා පොල්ලකිනුත් පස්සට ගහනවා.. එ සර් අන්තිමට කියනවා මට.. "උඹ මෙතනදි ඉගෙන ගන්න ඔනා පොත පත් කියවලා නෙම්.. ලොකෙට ඇස් දාලා බලලා... උඹ නායකයෙක් වෙන්නෙ කොහොමද උබෙ අතින් පොඩි වැරැද්ද හරි වෙද්දි ...? , ගිහිල්ලා උබෙ සාජන්ට එන්න කියපන් " මුකුත් නැහැ මතක් වෙද්දිත් දනවා පස්ස..

    ReplyDelete
  3. කතාව එල මචන්.
    කුඩා කුඩා දේවල් වලට පවා හොඳ අවධානයක් සහ සංවේදී බවක් තිබීම වැදගත් බවයි මම හිතන්නෙ. ඒවා අපේ ප්‍රධාන අරමුණු සාක්ෂාත කරගැනීමට සහ කාර්යයභාරයන් සාර්ථක කරගැනීමට රුකුලක් වන නිසා.

    ReplyDelete
  4. රවාගෙ කතාව වගේ මටත් මතක් උනේ අපි වොලිබෝල් කරද්දි අපේ සර් මුලු පරිසරයේම තියෙන දේවල් අපෙන් අහනවා. අපේ අවධානය මනින්න...අරමුණකට යන්න පුළුවන් වෙන්නේ අපි හැමදෙයක් ගැනම හොඳ අවධාණයෙන් උන්නොත් විතරලු..ඒක සහතික ඇත්ත. අපූරු කතාවක් අනුරාධ

    ReplyDelete
  5. කතාව හොඳයි මල්ලි‍යෝ. ගොඩක් ආදර්ශවත්
    මට දැණුන එක තමයි තියුණු සංවේදීතාවය තමයි සියල්ලටම වැදගත් වෙන්නෙ කියන ආදර්ශයයි.

    ReplyDelete
  6. @All
    ප්‍රතිචාර දැමූ අය වෙනුවෙන් වෙනවෙනම අදහස් සැපයීමට මා මෙවර අදහස් නොකරමි. ඒ වෙනුවට ඒ සියල්ල අලලා ලිපියක් ලියූවෙමි. වහා ගොස් එය බලනු මැනවි. ප්‍රතිචාර දැමූ සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමි.

    ReplyDelete