Monday, January 25, 2010

ඕන් මට දැන් 23යි.......!

ඕන් එහෙනම් මට අවුරුදු 23ත් ලැබුවා. මගෙ ජීවිතෙන් අවුරුදු 22ක්ම ඉවරයි. මගේ ගිණුමේ තව අවුරුදු කීයක් තියෙනවද කියල දෙයියො තමයි දන්නේ. මේ ගෙවුන අවුරුදු 22 දිහා අපහු හැරිලා බැලුවොතින්........අනේ මන්දා සතුටු වෙන්නත් බෑ. දුක් වෙන්නත් බෑ. ලැබීම් නොලැබීම් 2ම තියෙනවා. ඒ අතරින් නොලැබීම් පැත්ත වැඩියි. අපි බලාපොරොත්තු වෙන හැමදෙයක්ම අපිට ලැබෙන්නෙ නෑනෙ ඉතින්. නොලැබුන දේ ගැන හිතලා දුක් වෙනවට වැඩිය ලැබුනු දේ ගැන හිතලා සතුටු වෙන 1 හොඳයිනේ.  බුදු හාමුදුරුරුවොත් කියලා තියෙන්නේ ලද දෙයින් සතුටු වෙන්න කියලනෙ.

                 කොහොමින් කොහොමින් හරි මන් මේ කල්පනා කලේ කාලය ගතවෙන ඉක්මන. අවුරුදු 22ක් ගෙවුනා කියලා හිතාගන්නවත් බෑ. අම්මගේ උඩොක්කුවෙ හැංගිලා නිදාගත්ත කාලේ, තාත්තා මාව බයිසිකලේ තියගෙන ඉස්කෝලෙ එක්කන් ගිය කාලේ, ඉස්කෝලේ පුංච් ඩෙස් බංකු වලට මැදි වෙලා ඉගෙනගත්ත කාලේ, මේ සේරම නිකන් අද ඊයෙ වගේ. බොරු බොරු හේතු හදාගෙන නංගිත් එක්ක රණ්ඩු වෙච්ච හැටි, ඇඳුම් කිලිටි කරගෙන ආව කියල අම්මගෙන් බැනුම් අහපු හැටි, TV 1 බලන්න දුන්නේ නෑ කියල නැන්දත් එක්ක තරහා වෙලා වත්ත පල්ලෙහාට ගිහින් තනිවම අඬපු හැටි, බාප්පගේ කැසට් 1 දාගෙන කකුල් රිදෙනකම් නටපු හැටි, මේ හැම දේම අද ඊයෙ උනා වගේ තාමත් මතකය එහෙමමයි. කොච්චර ලස්සනද? කොච්චර සරලද? කොච්චර මිහිරිද? අනේ ඒ මිහිරි අතිතයට ඒ ලස්සන සරල ළමා කාලෙට අයෙත් යන්න ඇත්නම්. හැමදාම ඒ කාලෙම ඉන්න ඇත්නම්. එහෙනම් ජීවිතේ කොච්චර ලස්සනද. කාලය ගත වෙන්නෙ හැම දේම වෙනස් කරගෙන. කාලය නවත්වලා හිර කරගන්න අපිට බෑ. ඒ කලෙත් එක්ක වෙනස් උන අපෙ ජීවිත වල අතීතය වර්තමානයට වඩා සුන්දරයි කියලා දැනෙන්නෙ ඇයි කියලා මන් දන්නෙ නෑ.
                        සමහරවිට තව කාලයක් ගිහාම අද මන් ගත කරන දවස් උනත් ලස්සනට සුන්දර්ව පෙනෙන්න ඉඩ තියෙනවා. මන් හිතන්නේ ඒ කාලයේ හැටි. නැත්නම් අපේ හිත් වල හැටි. කොහොම නමුත් කාලෙත් එක්ක වෙනස් නොවෙන සමහර දේවලුත් අපේ ජීවිතේ තියෙනවා. අපේ ජීවිත වලට ජීවයක් වෙලා, ශක්තියක් වෙලා අපිත් එක්ක හැමදාම තියෙන්නේ ඒ දේවල්. ඒ වගේ ගොඩක් දේවල් කියන්න මන් දන්නෙ නෑ. මන් දන්න 1 දෙයක් කියන්න පුලුවන්. අපේ අම්මගෙන් තාත්තගෙන් ලැබෙන ආදරය. ඒ ආදරය කාලයේ වෙනස් වීමේ නීතියට අදාල නෑ. මාව හැමදාමත් අලුත් උදෑසනකට අවධි කරවන්නේ ඒ ආදරයයි. ඒ කවදාවත් වෙනස් නොවුන වෙනස් වෙන්නෙත් නැති ආදරයයි. ටිකක් හැඟීම්බර උනා වැඩිද මන්දා. ඔහොම තමයි. අතීතය, ළමා කාලය, අම්ම තාත්තා ගැන හිතෙන හැම වෙලේම මන් හැඟීම්බර වෙනවා.
                                   දැන් එහෙනම් මන් අවුරුදු 23ක ගජ ඉලන්දාරියෙක්. මේ වයසට කරන්න කොච්චර දේවල් තියෙනවද. ඒත් එක්කම මගෙන් වෙන්න ඕන යුතුකම්, මගේ වගකීම් මතක් වෙද්දි ඔලුව පිස්සු වැටෙනවා. බලමුකො. තව කීයක් ඉඳීවිද දන්නේ නෑ. ඒ ඉන්න ටිකේ හොඳට ඉමු. නැද්ද මන් අහන්නේ.

No comments:

Post a Comment