Sunday, April 25, 2010

මෙවන් විපත් සතුරෙකුටවත් නොවේයා

බ්ලොග් ලියන එකයි කියවන එකයි පටලුනාම වෙලාවකට එකක්වත් කරගන්න වෙන්නෙ නෑ. බ්ලොග් කියවන්න කියල පටන් ගත්තොත් කියවගෙන කියවගෙන යනව මිසක් ලියනන් වෙන්නෙ නෑ. ලියන්න ගත්තොත් ඉතින් කියවන්න වෙන්නෙත් නෑ. චුට්ටක් යන්තම් කියවනවා කියල හිතගෙන ගියත් කට්ටිය ලියල තියෙන දේවල් දැක්කම මගින් දාල යන්න හිතෙන්නෙත් නෑ. කියවන් යද්දි ඒවට හිත ගියාම ලියන්න අලුත් දෙයක්  හිතට එන්නෙත් නෑ. එහෙමයි කියල ඉතින් කියවන්නෙ නැතුව ඉන්නත් බෑ. ලියන්නෙ නැතුව ඉන්නත් බෑ. අදත් විවේක වෙලාවෙ කියව කියව හිටියා මිසක් ලියන්න දෙයක් කල්පනා කලේ නෑ. හදිස්සියට කතාවක් මතක් වෙන්නෙත් නෑ.
                            බැරිම තැන මන් යන යන තැන අරගෙන යන මගේ උසස් පෙල කාලෙ ලියපු ස්පෝකන් ඉන්ග්ලිශ් පොත ගත්තා අතට. ඕක මන් කොයි වෙලෙත් ලඟ තියාගන්නෙ විවේක වෙලාවල් වලට  පොඩ්ඩක් කියවන්න කියල හිතාගෙන. විවේක වෙලාවල්නම් ඕන තරම් ආවා. ඒත් පොතනම් කවදාවත් දිග ඇරුනෙ නෑ. ඒත් ඉඳල හිටලා පොත දිග නොඇරුනාමත් නෙවෙයි. හැබැයි අවාසනාවකට ඒ පොතේ අන්තර්ගතය කියවන්නනම් නෙවෙයි. පොතේ පිටු අතරෙ පරිස්සමට අන්තර්ගත කරල තියෙන එක එක ඒවා ලියපු කොල කෑලි, එක එක තැන් වලින් උස්සන් ආපු පත්තර පිටු කෑලි එහෙම එලියට ගන්න. මොකද මන් ඔය එක එක තැන් වලින් අහුලගෙන ආපු පත්තර පිටු කෑලි, ගෙදර තිබිලා හම්බ වෙන ඉස්සර කාලෙ ලියපු තියන්න වෙන තැනක් නැති කවි තියෙන කොල කෑලි, එක එක සින්දු කෑලි එහෙම ලියපු කොල කෑලි, තව ඔය එක එක වල් පල් ලියපු කොල කෑලි එහෙම පරිස්සමට දාල තියන්න භාවිතා කරන්නෙත් ඔය පොතම තමයි. එහෙම හරි ඒ පොත භාවිතා වෙන එක ලොකු දෙයක් ඉතින්.

                              අදත් මන් ඔය පොත පොඩ්ඩක් අතට ගත්තෙ පරණ ලියපු කවි කෑල්ලක්වත් හොයාගන්න පුලුවන් වෙයිදෝ කියල හිතාගෙන.   මගේ වෙලවටද ඔයාලගෙ අවේලාවටද මන්දා ඔන්න පරණ කවි කෑල්ලක් හම්බ උනා. මගේ වෙලව කිව්වෙ දැන් මට ලියන්න එකක් තියෙනවනෙ. ඔයලගෙ අවේලාව කිව්වෙ ඉතින්, දැන් ඔය පාර සල්ලියි කාලයයි දෙකම නාස්ති කරගෙන කියවපල්ලකො මගේ වැඩකට නැති කවි.
                               මේ කවියත් අර ලේ... ලා... ලී... ලූ... ල... කවිය වගේ ආතල් එකට ලියපු කවියක්. මේක ලිව්වෙ අපෙ උසස් පෙල ප්‍රථිපල ආපු දවස් වල. A/L කරල නිකම් ගෙදර ඉන්න බැරි නිසා මාත් ගියානෙ පරිඝනක පුහුණු පාඨමාලවකට. අන්න එකෙදි තමයි ඔය කවිය ලිව්වෙ. ප්‍රථිපල ආව දවස් වල පංතියේ සර් කිව්ව අපේ ප්‍රථිපල චිට් එකක ලියලා එවන්න කියලා. ප්‍රථිපල අඩුනම් එහෙම වෙන්න හේතුව කියලා අපිට හිතෙන දේත් ලියල එවන්න කිව්ව. ඔන්න දැන් කට්ටිය ගජරාමෙට ලිය ලිය කොල කෑලි සර්ට යවනවා. මටත් ඉතින් ඒ දවස් වල ඉඳලම හෙන කැහිල්ලනෙ. ගන්න හිතුනා ඒකෙනුත් පොඩි ආතල් එකක්. විනාඩි පහක් විතර කල්පනා කරල ලිව්ව පොඩි කවි පන්තියක්. ලියලා යැව්ව සර්ට. ඔන්න එක ගියා සර්ගෙ අතට. දිග ඇරියා කොලේ. සර්ගේ ඇස් දෙක කොලේ පුරා දුවනවා. සර්ගෙ කට කොනට පුංචි හිනාවක් ආවා. ඒත් එක්කම ඒ හිනාව අතුරු දහන් වෙලා අමුතු බයංකාර පෙනුමක් මුහුනට ආරූඪ උනා. හිනාවෙන් පිරිලා තිබ්බ මගේ හිතටත් ඒත් එක්කම මොකද්දෝ මන්දා අමුතු බයක් ඇතුලු උනා.
"හ්ම්.... මේ ලියලා එවල තියෙන්නෙ වෙච්ච හරිය. මෙහෙම එවා ලියන්න මේක කොලම් මඩුවක් කියල හිතුවද. මන් හොයාගන්නම්කො මේක ලිව්ව එකාව. මන් මේක පාඩම ඉවර වෙලා කියවන්නම්." කියල සර් කොලේ මේසෙ උඩින් තියපි. ඊට පස්සෙ ඉතින් මට මොන පාඩම්ද. පපුව නිකන් සමුද්‍ර දේවි කෝච්ච්ය වගේ. ගැහෙනවා කියන්නෙ කොයි වෙලේ ඒක ගැලවිලා ඩෙස් එක පල්ලෙ වැටේවිද දන්නෙ නැති තරමයි. ඇයි හත් දෙය්යනේ චිට් එක අපහු පාස් කරොත් මන් අතේ කෝට්නෙ. හදවත ලබ් ඩබ් කියන ස්ද්දෙන් ගැහෙනවා කියල ඉස්කෝලෙ උගන්වල තිබ්බට ඒක හරියටම දැනගත්තෙ එදා. මන් විතරක් නෙවෙයි මගෙ දෙපත්තෙ ඉඳපු එවුනුත් ඒක දැන ගත්තද කොහේද.
                            කොහෙමෙන් කොහොමෙ  හරි පාඩම ඉවර වෙලා සර් අර කවි  ටික කියෙව්ව පන්තියටම ඇහෙන්න. ඒක අහල පන්තියම බක බක ගාල හිනා වෙද්දි, මන් විතරක් හිටිය නිකන් තෝර මාලු කාපු කැස්බෑවා වගේ.
"දැන් මන් ඉවරයි. දැන් බඩු හරි. මන් ඉතින් ඉවරම තමා" මගේ හිත කෑ ගහනවා. මගේ පූරුවෙ පිනකටද කොහේද සර්ගේ හදවතේ කොහේ හරි මුල්ලක අනුකම්පාව කියන මගේ ගැලවුම්කාරයා ගුලි වෙලා හිටියා.
"අදට මන් සමාව දෙනවා. මන් මේක ලිව්වෙ කව්ද කියලා හොයන්නෙ නෑ. හැබැයි ආයෙ මේ වගේ ඒවා එන්න බෑ." සර්ගේ වචන පුන්චිම පුන්චි සමනල රෑනක් වගේ ඇවිත් මගෙ කන් දෙක සිපගත්තා.  අම්මෝ දැනුන සනීපෙ. දවස් ගානක් හිර කරගෙන ඉඳලා ලැට් එකට ගියා වගේ. අනූනවයයි දශම නවයයි නවයෙන් නොන්ඩි නොවී ජාමෙ බේරගත්තා. නිකන් නෙවෙයි අයෙමත් ජීවිතේට මේ වගේ පංඩිතකම් කරන්නෙ නෑ කියන පොරොන්දුව  මගේ හිත ඇතුලට ඔබ්බවගෙනම.

මෙන්න මේකයි මන් එදා ලියපු ආන්දෝලනාත්මක කවිය.

පෙරුම් පුරා ලව් කෙරුවයි කෙල්ලෙකුට
පස්සෙන් ගියයි හැමදාමත් මම එයට
කට් කර පන්ති චාටර් කෑවා හොඳට
මාමන්ඩිගෙන් ගුටි කෑවා අන්තිමට

කොපමණ හොඳින් ආලය කෙරුවත් ඇයට
නැති වුනි වරම් සදහට ඇය හිමි කරගන්ට
තිව්වා බූට් එක ඇය නොසිතුව ලෙසට
අන්තිමෙ උරුම වූයේ දුක පමණි මට

පිස්සෙකු වගේ හිටි හින්දා මේ ලෙසට
කෙල්ලෙකු ගැන සිතා කරගත් ගොන් කමට
දෙමාපියන් හට වංචා කල පවට
ඇනිලා විභාගය මම පත් වුනි දුකට

අනේ දෙවියනේ මට උනු වියෝයා
අන්තිමේ සියලු දේ මට නැති උනෝයා
අනාගතය සුනු විසුනුව ගියෝයා
මෙවන් විපත් සතුරෙකුටවත් නොවේයා

8 comments:

  1. හරි වැඩ තමා ඉතින් කොල්ලටත් වෙන්නේ නේද ?මොනා උනත් කවියනම් මරු. මට කියවන්න කියවන්න හොදටම හිනා.....

    ReplyDelete
  2. හික් හික්..‍පට්ට බන් කවිය.

    ReplyDelete
  3. @දිල්
    කොල්ලා කාලා තියෙන කටු දන්නෙ ඉතින් කොල්ලම විත‍රයි.
    ස්තූතියි අක්කෙ.

    ReplyDelete
  4. @මාරයාගේ හෝරාව
    මොකද්ද බොලේ මාරයට උනේ. කී වෙනි කවියේ කියවෙන දේද උනේ හැබෑටම.

    ReplyDelete
  5. එල කවිය අයියා !!!

    ReplyDelete
  6. @හිඟන්නා
    අනේ බොහෝම ස්තූතියි හිඟන්නො.

    ReplyDelete