Friday, May 21, 2010

කවි මඩුවේ මගේ කවි - අංක 7

මෙකත් ටිකක් අපි මඤ්ඤං වෙන හෙඩිමක්
නැද්දෝ නිකන් සූකිරි වගෙ රස හෙඩිමක්
දුන්නොත් මෙවන් සංකීර්ණ නැති හෙඩිමක්
ගෙනවිත් කවන්නම් උඹ හට ලොකු පුඩිමක්

අනේ බන් මොකද්ද
උඹත් ගන්නේ ඒ පැත්තද
දැන් මන් ගන්නේ මොකද්ද
මේකෙත් අපි එක පැත්තෙද

අපිට ඉන්න මේ මැති සභයත් එක්කා
හැකිදෝ කරන්නට දියුණුව මේ ලංකා
ක්‍රමයක් තිබේ කවුරුන් කීවත් මක්කා
ගෙන යා යුතුයි උන් මස් කඩයට දක්කා

ඔය ටික කියන්නේ දැන් බෝ කලක ඉඳන්
අහලා බොරු අපිත් හොඳටම වෙලා පදන්
දියුණුවකට අපෙ සිරි ලංකාව අරන්
යා හැකි කෙනෙක් නැහැ බිහිවී තවම මචන්

නිදහස ලැබී බොහො වසරක් ගෙවී ගොසින්
එනමුත් නොමැත ගොස් පරගැති ගතිය හිසින්
ඉන්නේ අනිත් අය කොටවන කුහක ලෙසින්
දියුණු කරන්නේ කොහොමද මෙලක ඉතින්

දියුණු වෙන්න නොදෙමින් සිරි ලංකාව
තර කරගනියි තම නිවසේ ගබඩාව
රවටාලමින් මිනිසුන් චන්දය දෑව
උන් ටික තමයි තක්කඩි මේ රට කෑව

හිටියට තියාගෙන උන් මහ ලොකු පට්ටම්
දිව දික් කලා පමණයි පෙන්නා මට්ටම්
ආවොත් දමන්නට උඹ මේ ලෙස සත්තම්
දෙනවා දෙකක් රතු වී යන්නට තට්ටම්

හිට ගන්නට ගියොත් දිගුකරමින් අන්ඩ
වෙන්නේ බස්ස ගන්නයි රත් වූ උණ්ඩ
අකමැති කවුරුන්ද ජීවත් වී ඉන්ඩ
ඒකයි ඉන්නෙ පෙරලුනු විලසින් කෙන්ඩ

මෙන්න පබලු ඇවිදින් කලකට පස්සේ
මෙපමණ කලක් හිටියද හැංගිලා අස්සේ
තෙමෙන්න ආපු එක සතුටුයි කවි වැස්සේ
මොන පැත්තෙන්ද ඔබ මේ වාදෙට බැස්සේ

මම ගොස් ආවා බත් ජුන්ඩක් කා එන්න
එබැවින් උනා කවි මඩුවෙන් බැස යන්න
මඩුවේ දැන් තිබෙන තත්වය ගැන දන්න
කෙනෙකු ඇවිත් මට ඒ ගැන පවසන්න

වැඩක් නොමැති අයනේ මැති ඇමති කැල
දමමින් හිඳියි අපහට හැමදාම දැල
අහුවෙන අපියි එක අතකින් හරක් රැල
මේවා දැකලා හැමදා අපි වෙනවා මැල

ඇත්තම ඇත්තමයි ඔබ ඔය කියන්නේ
හොරු තක්කඩින්ගෙන් රට ගොඩ ගැහෙන්නේ
පැත්තක ඉඳන් අපි කරදර විඳින්නේ
කොහොමද ඉතින් අපි දියුණුව ලබන්නේ

මොන දියුණුවක් ගැනදෝ ඔය කතාව
නවතාගන්න නොහැකියි මට සිනාව
දමමින් කිව්වමුත් ලොක්කන් ලතාව
නැහැනේ කාගෙවත් වැඩ, මිස කතාව

කිසිදා නොමැත අපහට ඔබගෙන් බාදා
වෙලුනොත් මිසක් පාලුවකින් ඔබ නාදා
මුතු මෙන් අගේ ඇති රස කවි පද සාදා
දෙන්නකො ඇවිත් මුන්ගේ මොලගෙඩි පාදා

නැව් පිට නැව් ඇවිත් වරායේ රැඳවූවත්
පාලම් ගොලනැගිලි වැඩිපුර ඉදිවූවත්
තිබෙනා ජඩ පුරුදු හැංගී තුල හදවත්
හරීද කෝව තුල දමලා මැකවූවත්

උන් ගෙන යනවනම් මේ රට ඉදිරියට
දෙනවා අපේ සහයෝගය හැම කලට
එනමුත් බලය පත් උන විට තම අතට
සිය දරු පවුල මිස රට යයිදෝ පෙරට

කොහෙදෝ තියෙන්නේ තියලා මතට තිත
බැලුවොත් නගරයක් පාසා බාර් ඇත
කියනවා තවත් උන් ඒ ගැන නැතුව කැත
හිතෙන්නෙ දෙන්න බොක්කට යන්නටයි දත

මටත් තවම බෑනේ අරගන්න හිතා
කියනවා සමහරුන් මහ මැටි මෝඩ කතා
ඒවා කියව කියවා මන් රසට ගොතා
කියනවා කවි උන් හට යන්නටම ඔතා

කවුරුත් නැහැ මඩුවෙ එය දැන් හරි නිසලයි
රට ගැන කතා කල අය යහනට බැහැලයි
හෙට මට මඩුව වෙත එනු හැකි වේද සැකයි
යන්නම් මෙමා ඔබ සැමටම බුදු සරණයි

4 comments:

  1. මේ මාතෘකාවටනම් මට කවි ලියන්න ලැබුනෙ නෑ, ඒත් උඹ දීලා තියෙනවනේ ඒකටත් එක්කම... නියමයි මචන්...

    ReplyDelete
  2. අඩේ නොදැකපු කවි තියනවා .........

    ReplyDelete
  3. හිනාත් යනවා අනුරාධ.... මම මේ කල්පනා කලේ මගේ කවි ටික දැම්මොත් පෝස්ට් කීයක දන්න වෙයිද කියලා

    ReplyDelete
  4. @නිශාචරයා
    ඒ උනාට ඔයත් හිටියනම් තමයි ගතිය තියෙන්නේ. මටත් ඉතින් එක දිගට ඉන්න උනේ නෑ. සැරෙන් සැරේ ඇවිත් තමයි මේ ටිකත් ලිව්වේ.

    @වැප්
    මේ කවි වලින් වැඩි හරියක්ම ලියලා තියෙන්නේ උඹට පිලිතුරු විදියට. අනේ මංදා මොකද කියලා. බලන් ගියාම ඔක්කොම එකතු වෙලා උඹටමනේ මඩ ගහලා තියෙන්නේ.

    @දිල්
    මගේනම් තව එක කොටසයි එන්න තියෙන්නෙ. තව ටිකකින් එකත් දානවා. එතකොට මගේ කවිනම් ඉවරයි. ඔයාගේ කවි පන්සිය ගානක් තියෙනවා නේද. ම්..ම්...ම් කොහොමත් පෝස්ට් 20කින් විතර දාගන්න පුලුව්න් වෙයි. හැබැයි එකක් කියන්නම්. පෝස්ට් 20කින් බැරිනම් 50කින්, කවි 500ක් නෙවෙයි 1000ක් දැම්මත් අපි ඉන්නවා කියවන්න. ඒක නිසා බය නැතුව දාන්න. අපි දැක්කෙ නැති කවි කොච්චර ඇතිද. ඕක වටින්නේ අද හෙට නෙවෙයි. තව මාස ගානක් ගියාට පස්සේ. කියව කියව රස වින්දින්න පුලුවන් හිතේ හැටියට.

    ReplyDelete