Friday, May 21, 2010

කවි මඩුවේ මගේ කවි - අංක 8 (අවසන් කොටස)

දවස් කිහිපයක් මඩුවේ ගත කරලා
යන්නට දුක නිසා අද ඔබ තනි කරලා
කරන්න හිතන් හිටි වැඩ කැන්සල් කරලා
පමා වෙලා හෝ ආවා වෙත ඔහෙලා

තේරුනෙ නෑනේ මටනම් තාමත් හෙඩිම
FM නාලිකානම් ඇත අද බොහොම
අලුත් ගීත ලෝකෙට ආවත් කොහොම
පැරණි ගීත රැව් දෙයි දස අත තවම

FM නාලිකා හොඳයිද නරකයිද
යන්නේ මේ වාදේ ඒ ගැන කියලාද
නැතිනම් අලුත් හා පැරණී ගී ගැනද
ඒ ගැන පුංචි ඉඟියක් මට දෙනවාද

එල එල එහෙමනම් එල කිරි එල කොල්ලා
එනවා කියන්නට කවි, මඩුවම හොල්ලා
දිවුරා කියන්නම් මම දෙවියන් පල්ලා
දෙන්නේ මූනටයි මඩ බෙල්ලෙන් අල්ලා

අපේ ඇඟේ මඩ ගෑවුනේ කෙතේ බැතේ දුව පැනලයි
උඹලානම් මඩ නෑවේ පරගැත්තන් උන හන්දයි
ඕකට සිංහලෙන් කිව්වේ විහින් නානවා කියලයි
අපේ සීයා හිටියානම් උඹව කරත්තෙක බන්දයි

වැපා හිටියා වැටිලා කුණු කානුවක
ඉදිරියේ තිබූ හන්දියේ ලොකු බාර් එක
යන කොට මන් පැදගෙන මගේ කාර් එක
දැකලා ඔහුව දුන්නා මන් හෙල්ප් එක

කුණු කානුවෙන් අරගෙන ඒකව ගොඩට
අමාරුවෙන් දැම්මා කාර් එක තුලට
නහයත් හැකිලුනා ඌ ලඟ තිබු ගඳට
ගෙනිහින් බැස්සුවා අන්තිමේ ගේ ලඟට

නොකිව්ව නිසා උඹ නැවතී ඉන්න තැන
අහලම උඹෙන් ඒ ගැන මට ගියා පණ
වැඩක් නැති නිසා බේබද්දෙකුට බැන
එක්කන් ඇවිත් දුන්නා මගේ ඇඳේ කොන

එක්කන් අවිත් ආයෙත් උඹ නාවාලා
සුවඳ ගහන්නට සෙන්ට් පවුඩර් දාලා
උදේ බලන විට මම නෙත් දෙක ඇරලා
බලු කූඩුවේ උඹ හිටියනේ සැතපීලා


කුඩෑල්ලාව තැබුවත් අපි මෙට්ටයක
ඉඳියිද වැඩි වෙලා, පැනයනවා මිසක
නිදා පුරුදු නැති උඹ කිසිදා ඇඳක
පැන ගොස් නැවත බැහැලයි කුනු කානුවක

එක්කන් අවිත් ආයෙත් උඹ නාවාලා
සුවඳ ගහන්නට සෙන්ට් පවුඩර් දාලා
උදේ බලන විට මම නෙත් දෙක ඇරලා
බලු කූඩුවේ උඹ හිටියනේ සැතපීලා

දෙකක් නෙවෙයි මම කවි සීයක් ලිව්වත්
නිම කරන්න බෑ කියලා දේ මම දත්
අහලා බැලුවොතින් කාගෙන් හරි හිතවත්
දැන ගත හැකියි මැටි වැඩ උඹ කල කවදත්

ගුණ කල නමුදු දුදනට නොම වේ යහපත්
බොරුවක් නෙවෙයි ඒ වැකි තිබු තුල පොත් පත්
උණු වන නිසා දුක දුටු කල අපේ හදවත්
කරාට උදව් වැපා වැපාමයි කවදත්

මම කොල්ලෙක්ය යකෙකුටවත් බය නොවන
කියන්න තියෙන දේ සැම මූණට කියන
මැටි වැඩ මෝඩ වැඩ ගොන් වැඩ හැම පරණ
කියන්න හැකිද පද හතරෙන් මූ කරන

කර කර හිටපු වාදය මග නවතාලා
කොහොමද එන්නෙ කවි ටික මගෙ එහෙ දාලා
දාන්නෙ නැතුව ලාබෙට ලැබුනා කියලා
හදපන් මඩුව නොකැඩෙන හොඳ ලී දාලා

කෙල්ලත් එක්ක යන්නට පොඩි සවාරියක්
එනතුරු හිටියෙ නිදහස් ඉරිදා දිනයක්
ලැබුනා වැඩ වලින් අද මට පොඩි නිවනක්
ඒත් ඉතින් දාලනෙ මෙහෙ කවි මඩුවක්

අපි දුන් මුදල් හෙමිහිට යටි මඩි ගහලා
හොර ගෙඩි වගේ දැන් ඉන්නවා හැංගීලා
අපිවත් අහිංසක ඕවට ගාවාල
පලයක් තිබේදෝ මේ හැටි බොරු කියලා

වැපෝ මන් උඹට කිව්වා එක සැරයක්
නැහැ මම කියන්නේ ඒ දේ තව සැරයක්
බොරු මඩ ගැහුවොතින් මා හට තව සැරයක්
යන්නට වෙන්නේ සමඟින් කකුලේ කොරයක්

තද වෙන් නැද්ද මේවා අහුනට පස්සේ
කියවයි වැපා හැංගී ඉඳගෙන අස්සේ
හිත ඇතුලේ කෝපය එලියට ඉස්සේ
හිතෙන්නෙ ගාන්නටමයි මඩ තලි හොස්සේ

පුරා දින හයක් තිස්සේ කවි කියලා
දැන්නම් අමාරුයි කට හොඳටම රිදිලා
ඔප වූ කවි සිතෙන් තව තව පද ගොතලා
ඉන්නට හිතෙයි හැමදා සමඟින් ඔහෙලා

එක් වීමක් ඇතොත් වෙන් වීමත් උරුමයි
ඒ ලෝ දහම අපි කොයි කාටත් එකමයි
මේ කවි මඩුව අද දවසින් අවසානයි
එනමුත් ඉතිරි වූ මතකය අපිරිමිතයි

දමමින් බොහෝ අය ආවා බොරු සද්ද
තෙත් උනි මඩ වලින් උන් ඇඳ සිටි රෙද්ද
දුනු දිය හොඳින් ඇදලා අඳුරේ විද්ද
වැදුනා නියම තැන් වලටම මගේ ඉද්ද

මතුවිය නොයෙක් රස අදහස් සැවොම වෙතින්
එහෙ මෙහෙ විසි උනා මඩ අපෙ ඔලුව ලඟින්
කෙරුවේ වාද නොව කිසිදා ක්‍රොධ සිතින්
ඉන්නෙ මඩුව හින්දා අපි සැවොම තොසින්

කෙරුවත් වාද එක එක පැත්තට බෙදිලා
ගැහුවත් මඩ ඉතින් අපි හොඳ හැටි අනලා
දිව්වත් සමහරුන් හට ඒ මඩ වැදිලා
තරඟෙට පමණි නැත කිසි තරහක් රැඳිලා

මඩුවේ තිබෙන කවි හෙට වෙන කොට පරණයි
එනමුත් දොසක් නෑ කවි සැමදා තරුණයි
කීමට ඇත්තේ දැන් මා හට එක කරුණයි
පතනෙමි බැති සිතින් සැමටම බුදු සරණයි

කොටස් අටකින් සමන්විත වූ, දින ගණනාවක් පුරා ඔබ වෙත ගෙන ආ කවි මඩුවේ මගේ කවි මෙතකින් නිමා වන වගයි. කියවූ, අදහස් පල කල හා කවි මඩුවේදී මෙම කවි ලිවීමට මට ශක්තියක් වූ යන සියලු දෙනාටමද, එමෙන්ම මෙවැනි කවි මඩුවක් අති සාර්ථකව සංවිධානය කල ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ කාර්‍ය මණ්ඩලයටද  බෙහෙවින්ම ස්තූතියි.

2 comments:

  1. හරිම ලස්සනයි ඔයාගේ කවි ටික..
    හැමදාම ඔය කවිකම තියා ගෙන ඉන්න මගෙන් සුබ පැතුම්

    ReplyDelete
  2. @ayesha
    බොහොම ස්තූතියි සුභ පැතුමට. ඒ වගෙම කවි කියවලා කමෙන්ට් එකක් දාල යන්න නැවතුනාටත් ගොඩාක් පින්.

    ReplyDelete