Wednesday, December 19, 2012

කටට වරම් නැති.....

මගේ මතකයේ හැටියට ඒක පටන්ගත්තෙ මීට අවුරුදු තුනකට විතර උඩදි. යාන්තම් දකුණු  හක්කෙ ආපු කැක්කුමක් විදියට තමයි ඒක පටන් ගත්තෙ. ඥාණ දත් වෙන්න ඇති කියලා ඒ තරම් ගනන් නොගත්තට ඒක සැරෙන් සැරේ අමුතු විදියට වද දෙන්න ගත්තා. දත එන්නම වගේ කාලෙකට රිදෙන්න ගත්තා. අයෙමත් ටික දවසකින් හොඳ උනා. ඒත් අයෙමත් කලින් වගේම රිදෙන්න පටන් ගත්තා ටික දවසකට පස්සෙ. යාලුවො කිව්වෙ මගේ දතක් එනවා යනවා කියලා. ඕක ඔහොම කාලයක්ම තිබ්බත් දත් සම්බන්දව වෙද්දු ගාවට යන්න තිබ්බ බය නිසාම ඔන්න ඔහේ ඕන දෙයක් වෙද්දෙන් කියලා කරබාගෙන හිටියා. 
ගිය අවුරුද්දෙ මැද භාගයේදි තමයි පළවෙනි පාරට ලොකු දරුණු ප්‍රතිපළයක් එලියට පේන්න ගත්තෙ. හිටිගමන්ම මගේ දකුණු කම්මුල ඉදිමෙන්න ගත්තා. සතියක් විතර තිබ්බ රිදීමකින් පස්සෙ තමයි ඒක වෙන්න ගත්තෙ. රිදෙන එක නිසා වෙන්න ඇති කියලා ගනන් නොගෙන ටික දවසක් බලන් උන්නා. ටික දවසක් කියන්නෙ සති 3ක් විතර. ඒත් ඉදිමුම වැඩි උනා මිසක අඩු උනේ නෑ. කට අරින්නත් බැරි තරමටම අමාරුව වැඩි උනා. මේ තියෙන්නෙ ඉදිමිච්ච කම්මුලත් එක්ක මන් උන්නු හැටි.


අන්තිමේදි බලන් ඉන්නම බැරි තැන සහ, ඊටත් වඩා වටේ ඉන්න උන්ගේ කන්දොස්කිරියාවෙන් බේරෙන්න බැරි තැන කලුබෝවිල ඉස්පිරිතාලෙට ගියා. එතන හිටපු තරුණ වයස ඉක්මවන්න ඔන්න මෙන්න හිටපු ලස්සන දොස්තර නෝනා මගේ කටට ඇඟිලි දෙකක් දාලා එහෙම හොඳහැටි පරීක්ශා කරලා බැලුවා. අනේ අර වේදනාවත් කොහෙන් ගියාද නෑ. ඉදිමුම බහින්න බෙහෙත් එහෙමත් දුන්නා. මන් හිතුවා වගේම දත තමයි කේස් එක. මගේ ඥාණ දතට එන්න ඉඩ මදිලු. පස්සෙ දැනගත්ත විදියට පරිණාමයේදි මිනිසාගෙන් අයින් වෙලා යන තව එක දෙයක් තමයිලු ඔයි ඥාණ දත් 4.මට කිව්වා නිතරම කට හොඳට අරින්න උත්සහා කරන්න. නැත්නම් කට අරින්න බැරිම වෙයි කියලා. ඇඟිලි 2ක් කට ඇතුලට දාලා කට හොඳට පළල් කරනන් කිව්වා නිතරම.
"මන් හැමදාම මෙහේ ආවොත් ඩොක්ටට බැරිද අද වගේ මගේ කට පළල් කරන්න" කියලා අහන්න හිතුනත්, ඔවා අහලා අන්තිමේ මොනවා පළල් කරගෙන යන්න වෙයිද කියන්න දන්නෙ නැති නිසා මන් කට පියාගෙන හිටියා.
කෝම හරි අන්තිමේ මන් බයෙන් හිටපු දේ උනා.
"ඔය බෙහෙත් ටිකෙන් ඉදිමුම අඩු වේවි. තව මාසෙකින් එන්න මන් දිනයක් දෙනවා. එදාට අපි ඔය දත ගලවලා අයින් කරමු."
මොනවදෝ තුණ්ඩුවක් ලියලා මගේ අතට දෙන ගමන් ඩොක්ටර් කිව්වා. තව මාසයක්ම තියෙන නිසා මාත් වීරයා වගේ ඒකත් අරගෙන එන්න ආවා. කිව්වා වගේම බෙහෙත් වලට ඉදිමුම බැහැලා ගියා.
"ඉදිමුමත් බැස්ස එකේ ආයෙ මොකටද දත අයින් කරන්නෙ" මගේ හිත ඇතුලෙ ඉන්න වෙදා මට උපදෙස් දුන්නා. ඒ උපදෙස අකුරටම පිළිපැද්ද මම ආතල් එකේ තව කාලයක් සුවෙන් හිටියා.

මේ අවුරුද්දෙ මැයි මාසෙ වගේ තමයි මන් ගත්තු තීරණේ ප්‍රතිපළ මට දැනෙන්න ගත්තෙ. කලින් වතාවෙ වගේම දකුණු කම්මුල ඉදිමුනා. ටික දවසකින් ඉදිමුම බැහැලා ගියා. හැබැයි දකුණු පැත්තෙ කම්මුලට ටිකක් පහලින් බෙල්ල හරියෙ ලොකු ගෙඩියක් ඉතුරු උනා. ගොඩ බෙහෙත් කීපයක්ම කලත් ඒකනම් අඩු උනේම නෑ. පස්සෙ බැරිම තැන ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා. එයාගෙ උපදෙස උනේ,
"හෙට උදේම ගිහින් හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න"
අපේ අම්මට ඉතින් ඒ වචනෙ ඇතිනේ. ඊලග දවසෙ උදේම මාව කරාපිටිය රෝහලේ ඇඳක් උඩට පත බෑව්වා.
ඔන්න නාට්ටියෙ හොඳම හරිය පටන් ගත්තෙ එතන ඉඳන් තමයි. මාව ඇඩ්මිඩ් කරගත්තට මොකද එතන ඩොක්ටර්ස්ලට හිතාගන්න බෑ ඇයි මේ ගෙඩියක් ඇවිත් තියෙන්නෙ කියලා. සැරෙන් සැරේ එක එක්කෙනා ඇවිත් එක එක දේවල් කියලා ගියා. මාත් ඉතින් එයාලා කියන ඒවට ඇටි රිලවා වගේ ඔලුව වන වන හිටියා. ඒ අස්සෙ  මෙඩිකල් ෆැකල්ටියෙ කෙල්ලො. උන් එනවා සැරෙන් සැරේ. බෙල්ල ඔබනවා. කට අරිනවා. ඇඟිලි දානවා. අර බෙල්ලෙ නෙරුම තදකරනවා. අනිනවා. එක ජංජාලයයි. මොනා උනත් පවුනෙ. කෙල්ලොනේ කියලා මාත් ඔහේ හිටියා ඕනෙ දෙයක් මිරිකගනින් කියලා. ඒත් අන්තිමේ ඒකෙන් උනේ අල්ලද්දි විතරක් ටිකක් රිදි රිදි තිබ්බ ඒ බෙල්ලෙ නෙරුම නිකනුත් අම්බානෙක රිදෙන්න ගත්ත එක.
එදා මහ රෑ කෝම හරි මාව එක්කන් ගිහින් එක්ස් රේ එහෙමත් ගත්තා. උදේ ඒවා බලමු ඩෙන්ටල් එකේ ඩොක්ටර නිගමනය කලා දතේ කේස් එක නිසා තමයි මේක වෙලා තියෙන්නෙ කියලා. ඒක නිසා පහුවදා මාව ඩෙන්ටල් එකට මාරු කලා.
එතනට ගිය ගමන් ඩබලක් සෙට් උනා. එක්කෙනෙක් විදුරු මහේ ඔපරේශන් එකක් කරගන්න ආපු කෙනෙක්. අනිත් කෙනා වලියකට ගිහින් හොම්බ රිවට් වෙන්න පාරක් කාපු කෙනෙක්. කෝම හරි 3 දෙනත් එක්ක එක එක විකාර කියෝ කියෝ වාට්ටුව දෙවනත් වෙන්න හිනා වෙවී හිටියා. ඇයි දෙයියනේ හිනා යන දේවල් වෙද්දි කට අමාරුයි කියලා හිනාව තද කරන් ඉන්නයැ. වාට්ටුවෙ හිටපු නර්ස් නෝනා කෙනෙකුත් අපි දිහා බලලා මහා පාච්චල් හිනාවක් දැම්මා. ඒ ඇයි කියලා අපිට තේරුනේ ඉතින් පස්සෙ.
උදේ 11.30ට වගේ මාව එක්කන් ගියා ඩෙන්ටල් ක්ලීනික් එකට. මන් හිතුවෙ පොඩ්ඩක් පරීක්ශා කොරන්ට එක්ක යනවා කියලා. ඒක නිසා මාත් ඒච්චර ගානකට ගන්නෙ නැතුව ගියා. ඒක මගේ ජීවිතේ තවත් එක බිහිසුණු අත්දැකීමක් වෙයි කියලා මට ඒ වෙලාවෙ එක මොහොතකටවත් හිතුනෙ නෑ. එහෙම හිතුනනම් මන් ඉස්පිරිතාලෙන් පැනලා ගෙදර එනවා.
දවල් දොලහ වෙනකොට අමුතු අමුතු ආයුධ ආම්පන්න පිරුනු කාමරයක් ඇතුලෙ දොස්තර අයියලා දෙන්නෙකුයි නර්ස් අක්කලා තුන් දෙනෙකුයි එක්ක මම තනි වෙලා. එක නර්ස් අක්කා කෙනෙක් මාව පිටි ඇන්ද හරහට පාත් උනු අමුතු පුටුවක් උඩ වාඩි කෙරෙව්වා. එක දොස්තර අයියා කෙනෙක් එයාගෙ කොල පාට අමුතු ඇඳුම ඇඟට දාගත්තා. ඒ ගමනනම් මට තේරුනා මේ එන්න යන්නෙ හොඳකට නෙවෙයි කියලා. එයා මගේ ලඟට ඇවිත් කලින් දවසෙ ගත්තු එක්ස් රේ දෙකත් ඉස්සරහින් තියාගත්තා. ඊ ලඟ මොහොතේ මග කට ඇරලා ටික වෙලාවක් මොනාදො පරික්ශා කරපු දොස්තර අයියා ගත්තෙ නැතැයි ඉන්ජෙක්සන් කට්ටක් අතට. මගේ කකුල් දෙකත් එක්ක ගැහෙන්න ගත්තා කාමරේ ඇතුලෙ තිබ්බ සීතලට. ඉන්ජෙක්සන් කට්ට විදුරුමහට තද කරද්දි මන් හිතන් හිටියා වගේ ලොකු වේදනාවක් නොදැනුන නිසා සැනසුම් සුසුමක් හෙලන්න හදන කොටම මේන් ඒක ගත්තෙ නැතැයි තව ඉන්ජෙක්සන් එකක්. ඒකනම් අස්පයොන්ට ගහන එකක් වගේ තඩි එකක්. මේ පාරනම් කෑවා තමයි පුතො කියලා හිත හදාගත්තා. මහා ලොකුවට නොවුනත් පොඩි පහේ රිදීමක් ඒකෙනුත් ඇති උනා. දැන් මගේ කට මගේ ඇඟේ නෙවෙයි වගේ. මගේ ඇඟෙන් එලියට පාවෙලා යනවා වගේ. මට පොඩි බයකුත් දැනුනා ඕක පාවෙලා ගිහින් අර නර්ස් අක්කා කෙනෙක්ගෙ නරක තැනක වැදුනොත් එහෙම කියලා.
ඔන්න ඉතින් අර දොස්තර අයියා එයාගෙ අම්පන්න එහෙම සූදානම් කරගෙන වැඩේට ලේස්ති වෙන අතරෙදි අනිත් දොස්තර අයියා එතනට ආවා.
"ආහ්! ඔයා මුලින් දත ගලවන්නද යන්නෙ"
"ඔව්"
"නෑනෙ. මුලින් දත නෙවෙයි. අපි මේ ගෙඩිය සුද්ද කරලා ඉමු"
"ආහ්! එහෙමද? හරි එහෙනම් එහෙම කරමු"
ඒ වෙලාවෙ තමයි මට පළවෙනි පාරට තේරුනෙ මන් මේ පර්යේශණ මීයෙක් වෙන්නයි මේ යන්නෙ කියලා. ඒත් දැන් මොනා කරන්නද? දොස්තරලා මුන්නෙ. මන් නෙවෙයිනෙ. අර පලවෙනි දොස්තර අයියා (පහසුව තකා එයට 'පොඩි දොස්තර අයියා' කියන්නම්කෝ) ඒ ගමන තව ඉන්ජෙක්සන් එකක් ලේස්ති කරගෙන මගේ බෙල්ලෙන් අල්ලගත්තා. හරියටම අර ගෙඩියටම ඉන්ජෙක්සන් කටුව කීප වතාවක්ම ඇතුලු කලා. මන් ඇස් දෙක තද කරලා පියාගෙන කන් දෙක ඇරගෙන උන්නා. එක සැරයක් ඉන්ජෙක්සන් කට්ට ඇතුල් වෙද්දි ලොකු දොස්තර අයියා කෑ ගැහුවා.
"හා හා.... ඔච්චර ඇතුලට යවන්න එපා. හම උඩින් දෙන්න"
"ආහ්! හරි හරි" පොඩි දොස්තර අර ඇතුලු කරපු කට්ට අයෙමත් එලියට ඇදලා ගත්තා.  කෝම හරි ටික වෙලාවකින් මගේ බෙල්ලත් හිරි වැටෙන්න පටන් ගත්තා.
ඊට පස්සෙ දෙන්නත් එක්ක යුද්ධෙ පටන් ගත්තා. හිරි වැටුනා උනත් මොකද්දො අමුතු විදියකට එයාලා කරන දේවල් මට දැනෙනවා. ඒක මොන විදියෙ රිදීමක්ද කියන්න මට දැනටත් තේරෙන්නෙ නෑ. හැබැයි මට දැනටත් ඒ හැඟීම මතක් වෙද්දි බෙල්ල දිගේ විදුලියක් යනවා වගේ වෙනවා. විනාඩි 20ක් විතර මගේ බෙල්ලත් එක්ක ඔට්ටු  වෙද්දි දොස්තර අයියලා දෙන්න බෙල්ලට ප්ලාස්ටර් එකකුත් දාලා ඒ වැඩේ හමාර කලා.
"දත අයින් කරන්න කලින් අපි අර ලෙඩාට ලේ දෙන වැඩේ බලලා එමු" දොස්තර අයියලා දෙන්නා නර්ස් අක්කලත් එක්ක මාව තනිකරල දාලා පිටත් උනා. බෙල්ල ඔපරේශන් කරලා ප්ලාස්ටර් ගහලා. කටට ඉන්ජෙක්සන් ගහලා හිරි වැටිලා. ඒත් දෙයියනේ කට නොඇර කෝමද? මන් හෙමින් සැරේ නර්ස් අක්කලත් එක්ක කයියක් පටන් ගත්තා. අපරාදෙ කියන්න බෑ ශෝයි අක්කලා තුන් දෙනා. හැබැයි එයාලට තිබුන ලොකුම ප්‍රශ්ණෙ තමයි මන් කොන්ඩෙ වවලා ටින්ට් කරලා හිටපු එක. එයාලට ඕනේ උනේම මාව කොන්ඩෙ කපලා ලස්සන කොලු මහත්තයෙක් කරන්න. ඒකෙත් හැටි.
ටික වෙලාවකට පස්සෙ මන් මෙච්චර වෙලා හිතේ හිරකරන් හිටපු ප්‍රශ්ණෙ එලියට ඇදලා දැම්මා.
"අනේ අක්කේ බැරිද සිහි නැති කරලා දත අයින් කරන්න"
"ආපෝ...... පොඩි ළමයෙක් වගේනෙ... ලැජ්ජ නැද්ද අනේ ඔයාට..... ඔච්චරම බයයිද"
නර්ස් අක්කලා මට කින්ඩියක් දැම්මා.
"හ්ම්ම්. රිදෙනවට වඩා ලැජ්ජ වෙන එක මට සැපයි අක්කේ" මන් අමාරුව පිටින්ම ඇත්තම කියලා දැම්මා.
"බය වෙන්න එපා අනේ.... ඕක රිදෙන්නෙ නෑ.... මොකුත් දැනෙන්නෙවත් නෑ" නර්ස් අක්කලාගෙ ලෙන්ගතු වචන ඒ වෙලාවෙ මට ලොකු සහනයක් උනා.
පැය බාගෙකට විතර පස්සෙ දොස්තර අයියලා දෙන්නා අයෙමත් ආවා.
"තාම හිරි වැටීම තියෙනවද?" පොඩි දොස්තර අයියා මගේ කටට ඇඟිල්ලෙන් අනින ගමන් ඇහුවා.
"ටිකක් තියෙනවා... අනේ ඒකට කමක් නෑ. තව ඉන්ජෙක්සන් 10ක් හරි ගහලා මොකුත්ම දැනෙන්නෙ නැති ගානට ගන්න"
කට්ටියම ඒකට හිනා උනේ හරියට ගල් හිත් තියෙන අය වගේ. පොඩි දොස්තර අයියා හිනා වෙවීම තව ඉන්ජෙක්සන් එකක් දුන්නා.
එතනින් එහාට මට එක එක විදියෙ ආයුධ කට ඇතුලට යනවා පේනවා. කට ඇතුලෙ එකම යුද්ධයයි. සැරෙන් සැරේ දොස්තර අයියා නර්ස් අක්කා කෙනෙක්ට කියනවා 'සක් කරන්න... සක් කරන්න' කියලා. පලවෙනි සැරේ මන් ඔලුව උස්සලා බලන්නත් ගියා මොකද්ද මේ සක් කරන්න යන්නෙ කියලා. බැලින්නම් මගේ කට ඇතුලට එන බ්ලඩ් ටිකයි මේ සක් කරන්න කියලා තියෙන්නෙ.
හැමදේටම වඩා මට බය හිතුනෙ මන් එතන පර්යේෂන මීයෙක් උන එකයි.
"අයියෝ ඔයි මොකද්ද ඔයි දාපු කැපුම. මේකට ඔය කැපුම දාලා හරියන්නෙ නෑනෙ. ඕක වැරදියිනෙ."
"ආහ්. ටිකක් වැඩිපුර කැපිලා නේද එතන"
"දත කර්ව් වෙලා ඇති යටින්. ඒකයි මේ එන්නෙ නැත්තෙ"
"මේකට ....... කැපුම දැම්මනම් හරි. ඒත් ඒක දාන එක ටිකක් අවධානම්"
"කෝ මට දෙන්නකො මන් ටිකක් බලන්න."
"ඔයාට පුලුවන්ද? නැත්නම් මන් ගන්නද?"
දොස්තර අයියලා දෙන්නට පර්යේෂණ මීයෙක් වෙලා කට ඇරගෙන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් මට තිබ්බෙ නෑ. ලීයක හිර උන ඇනයක් ගලවනවා වගේ කකුලෙන් මගේ බෙල්ල පාගගෙන මොකද්දෝ අඬුවකින් මගේ දත හතර පැත්තට වනනවා. වේදනාවක්ම කියන්නත් බෑ. හැබැයි දරුණු විදියට එයාලා කරන දේවල් මට දැනෙනවා. මගේ මුලු හක්කම ගැලවෙන්න යනව වගේ මට දැනුනේ. අමාරුව වැඩි කමට එහා පැත්තෙ හිටපු නර්ස් අක්කා කෙනෙක්ගෙ මහත කකුලක් තද කරලා බදාගන්න මට හිතුනා. ඒත් ඒවා කොරලා දත් සෙට් එකමට බඩට ඇරියොත්. මන් ආයෙමත් හිත සංසුන් කරගන්න උත්සහා කලා.
මගේ ඒ දත තවම එලියට ඇවිත් නැති නිසා මේක ටිකක් අමාරු කේස් එකක්. මුලින් විදුරු මහ පලලා හෙමිහිට තමයි දත අයින් කරන්න ඕනේ. කෝම හරි පැයක විතර හෙන ගේමකින් පස්සෙ මගේ නූපන් දත කටින් ගැලවිලා ලෝහ භාජනේකට වැටුනා. ඒ පැයක කාලය...... ඒක මට වචන වලින් විස්තර කරන්න බෑ. ඒ පැය ඇතුලෙ උන දේවල් ගොඩයි. ඒ ඔක්කොම ලියන්නත් බෑ. හැබැයි මට හිතුනු දේ හොඳ පළපුරුදු දොස්තරලා මේ වගේ තැන් වල ඉන්නවනම් තත්වය වඩා හොඳ වෙයි කියලා. ඒත් ඉතින් එයලා පළපුරුදු වෙන්නත් මන් වගේ පර්යේශණ මීයො හම්බෙන්න එපැයි.
අන්තිමේදි මගේ ලඟට ආව ලොකු දොස්තර අයියා මෙහෙම කිව්වා.
"මේක හරිනම් අපි ඔයාට කලින් කියන්න ඕනේ. මේ ඔපරේශන් එක නිසා ඔයාගෙ ස්නායු වලට හානි වෙන්න ඉඩ තියෙනවා. සමහර විට ඔයාගෙ උඩුතොලයි දිවයි හිරි වැටෙන්න ඉඩ තියෙයි. ඒක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. උනත් වෙන දවසක් කියන්නත් බෑ. සමහර විට ජීව්ත කාලෙම තියෙන්නත් පුලුවනි. කෝම උනත් ඕක අනිවාර්යයෙන් අයින් කරන්නම ඕනේ ඔපරේශන් එකක්."
ඒ වෙලාවේ ඒ කිව්ව දේවල් තේරුම් ගන්න තරම් මන් ප්‍රාණවත්බවක හිටියෙ නෑ. ඒ කිව්වෙ දේ මට හරියටම තේරුනේ ආයෙමත් වෝඩ් එකටත් ගෙනාවට පස්සෙ.
කෝම නමුත් අද වෙනකම්නම් එහෙම කිසි අවුලක් උනේ නෑ. ඒත් හෙට?







20 comments:

  1. ඔය දතේ කේස් එක මටත් තියෙනවා... කො‌ෙහාමත් අවුරදු 27ක් වෙනකම් කිරි දතක් කටේ තිබ්බ එකානේ මං..... හැබැයි ඔය රිදිල්ල ආපු හැම පාරකම චොක්ටලට පෙන්නුවම කිව්වේ අවුලක් නෑ..ඔය අන්තිම දතට තමයි කියලා...

    දැං තියෙන ප්‍රශ්නේ අර කිරි දතේ කේස් එක... හොඳ දත තාම ඇතුලෙලු... ඒකට ඔය ඔපරේෂන් එක කරන්න ඕනේ.. අනේ මේවා කියවනකොට බෑම කියලා හිතෙනවා.. මාත් පරීක්ෂණ මීයෙක් උ‌ෙනාත්.. ඒ මදිවට අර පුටුවේ වාඩි වෙනකොට ( ඒකට වාඩී වීමක් කියලා කියන්නත් බෑ... හාන්සි වෙනවා කියලා කිව්වනං හරි) .. සීතල නැති උනත් කකුල් දෙක වෙවුලන්න ගන්නවා...

    ReplyDelete
  2. කර්මය අනුව තමයි ඵල දෙන්නේ බය වෙන්න ඒපා හිරු.

    මනසින් දිවියට

    ReplyDelete
  3. අප්පට සිරි මාර කේස් නෙව.. මටත් තියෙනවා ඔය වගේ කතන්දරක් දැම්ම බලන්න ඕන. සුවපත් වේවා

    ReplyDelete
  4. අම්මෝ ඔහොම දොස්තරලත් ඉන්නවද?
    සිහිය නැතිකරානං එහෙම මොන මොනව කපයිද දන්නෑ.

    ReplyDelete
  5. පව් දෙයියනේ පනුවා... අඩුම ගානේ මෙහෙම වෙලාවකට කවුරු හරි ලග හිටලා සාත්තු සප්පායංවත් කොලාන් නේද.. කෝ ඉතිං අර අකුරෙන් අකුර උගන්නලා ලොකු මහත් කරලා ගත්ත නංගිලවත් නැහැනේ මිනිහෙකුට දුකක් කරදරයක් උන වෙලාවකට..

    මේ ඒක නෙවෙයි පණූස්... උඹට ෂුවර් නේද දත විතරයි අහක් කලේ කියලා..?

    ReplyDelete
  6. අම්මෝ කොල්ලට වද තිස් දෙකම දීලනෙ . මම තාමත් හරිම බයයි දත් ගලවන්න . මතක් වෙනකොටත් ඔලුව රිදෙන්න ගන්නවා .

    ReplyDelete
  7. අද තමයි නමෝ විත්තියෙන් අනන්තය හොයාගෙන ආවෙ.. දත් ප්‍ර‍තිකාර වලම මමත් සෑහෙන්න භයයි... ඥාණ දතෙන් අවුලක් නොගියත් මටත් අකරතැබ්බයක් උනා නොවැ...

    http://siragekamare.blogspot.com/2012/11/blog-post_15.html

    ReplyDelete
  8. හෆ්ෆේ මටත් යන්න තියේ ඩොකා ලඟට... බයේ ඉන්නවා නොගිහින්...

    ReplyDelete
  9. හොඳ වැඩේ.. දත් මදින්නෙ නැති එකට :D

    මමත් මාර බයයි ඉංජෙක්සන් ගහනවට. පස්සෙ නම් ආස උනා.
    මං බය බව දැන ගත්තම නර්ස් අක්ක කෙනෙක් මූණ හරවල එයාගෙ ඇඟට තියල තද කරනව. අනිත් කෙනා ඉංජෙක්සන් ගහනව (දිව දොට්ට)

    ReplyDelete
  10. කාමරේ සිතලටම වෙන්ටැති කකුල් දෙකම වෙව්ලන්න පටන් ගත්තේ?:)

    ReplyDelete
  11. පව් අප්පා විදල තියෙන දුක දතකට.....

    ReplyDelete
  12. අන්නේ ඕක තමයි දත් මදින්න කියන්නේ.

    මොනවා උනත් මගේත් තව කිරි දතක් තියනවා. දැන් නම් මටත් බයයි වගේ

    ReplyDelete
  13. මං හිතන්නේ මගේ ඔය wisdom tooth එක ද මොකද්ද එක ඇවිත් නෑ.මං බොලාට වඩා පරිණාමය වෙලා හින්ද ද දන්නෑ!

    දැන් අවුරුදු ම 21ක් වෙනෝ. තාම ඔය කියාපු කටේ අමාරුවක් ආවේ නෑ නෙව!
    කොහොම වුණත් චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා කියලා ප්‍රාර්ථනා කරනවා! ජය වේවා!!

    ReplyDelete
  14. මම මේක කියවලා සිහිය නැ වගේ. අසිහියෙන් ලියන ගමන් මේ. මගේ කටේ දත් 34ක් තියෙනවලු. අනේ මනිදා දත් 4ක් අයින් කරන්නම ඔනෙලු. මම මැරැනත් දත් ටික අයින් කරන්නෙ නැ නැ නැමයි. අෆෙයි

    ReplyDelete

  15. හපොයි බය හිතෙනවා..
    මේ ඉන්න විදිහ හොදයි ...
    ගොඩක් වැදගත් මචන්...
    දිගටම ලියන්න...අද තමයි අවේ
    ලින්ක් එකක් පස්සෙන්....

    ReplyDelete
  16. මුල් වර ආමි දස්කම් දුටිමි එමි එමි එමි නිතරම එමි

    ReplyDelete
  17. හි හි... අර උඩ තියෙන පිංතූරෙ ඉන්න කෙනාමද පහල පින්තූරෙත් ඉන්නෙ කියල හිතෙනවා... ඒක දැකපු ගමන් බකස් ගාල හිනාවක් ගියා... (තරහ වෙන්න එපා හොඳේ...)

    ReplyDelete
  18. මගෙ කටෙත් ඉඩ නෑ!! හලෝ ඔබ දත එන්න... එන එකක් නෑ කියලා හිතනවා.. තව දත් 4 ක් එන්න තියෙනවා... දතකටවත් ඉඩ නෑ.. ආවොත් උඹට වඩා කේස් එක වෙන්නෙ... බලහංකො!!

    ReplyDelete
  19. කට වැඩි අයගෙ තමයි, ඔහොම කට ඉදිමෙන්නෙ.....හැබැයි අර දත නම් නිකන් මලකඩ කාල වගේ.ටින් ආලේප කළා නම් හරි ඉතුරු දත් ටිකටවත්,නැත්තම් ඒ ටිකත් ඉවරයි.

    ReplyDelete