Friday, October 12, 2012

හිත් පැපරාසි

ඔහු දැඩිව හින්දි ගීත ප්‍රිය කරන්නෙක්. කොටින්ම හින්දි සින්දු පිස්සෙක් කිව්වොත් මන් නිවැරදියි. ගිතයක කොටසක් ඇහෙද්දි, ඒම ගීතය අඩංගු චිත්‍රපටය, එහි රඟපාන ප්‍රධාන නලු නිලියන් පවා නිවැරදිව කීමේ අපූරු මතයකයක් ඔහු සතුව තිබුණා. ඔහුගේ මුවේ හින්දි ගීතයක් මිමිණුනේ නැති වෙලාවක් තිබුනේ නැති තරම්. ඇතැම් වෙලාවල් වල මම හිතුවා ඔහු නොදන්න එකම හින්දි ගීතයක්වත් මේ ලොකේ නැතුව ඇති කියලා. ඒත්..... ඒක දවසක්.... මගේ ඒ සිතිවිල්ල බොරුවක් උනා. ඔබට ඒ තරම් පුදුමයක් වෙන එකක් නෑ. නමුත් මන් ගොඩක් පුදුම උනා. මොකද ඔහුට එය මග ඇරේවි කියලා ඔහුව දන්න කිසිම කෙනෙක් කවදාවත්ම හිතන එකක් නෑ. ඒත් එය ඒසේ උනා.
ඇය ඔහුට ඒ ගීතය ගැන කියනකම්ම ඔහුගේ මනසේ විශේෂ තැනක් ඒ ගීතය වෙනුවෙන් වෙන් වෙලා තිබුනේ නෑ. කොටින්ම ඒ ගීතය මීට පෙර අසා ඇති බවට මතයකයක සලකුණක්වත් ඔහුට හොයාගන්න පුලුවන්කමක් තිබුනෙ නෑ. නමුත් එදා... ඒ ගීතය ඔහුගේ ජීවිතේ අලුත් වෙනසක් ඇති කලා. ඔහු ඇහුවා. ආයෙත් ඇහුවා. ආයෙමත්...... ආයෙමත්..... එදා දවස පුරාවටම ඔහුට  අහන්න වෙන කිසිම දෙයක් තිබුනෙ නෑ. දවස අවසාන වෙද්දි ඔහු සම්පූර්ණයෙන්ම ඒ ගීතයේ උන්මත්තකයෙක් වෙලා හිටියා. ඔහු පුදුම උනා. මෙතෙක් කාලයක් මේ ගීතය ඔහුට මග ඇරිලා තිබුන එක ගැන. ඒත් එක්කම ඔහු සතුටු උනා. මොකද තමන් මේ තරම් උන්මත්තකයෙන් උන මේ සින්දුව ගැන තමන්ව දැනුවත් කලේ 'ඇය' උන නිසා. එදා පටන් ඔහුගේ ප්‍රියතම ගීතය උනේ ඒක. ඔහු හැමදාම ඒ ගීතය ඇහුවා. ඒ අහන හැම වාරයක්ම ඔහුගේ මනසෙ මැවුනේ ඇයව. ඇය ලඟ හිටපු කාල වලදි ඔවුන් හැමදාම ඒ ගීතය ගැන කතා කලා. ඒ වගේම ඇය ලඟින් නොසිටි කාල වලදි ඒ ගීතය ඇයගේ සුන්දර මතකයන් ඔහු වෙත අරගෙන ආවා. ඒ නිසාම ඔහු ඒ ගීතයට තවත් තදින් ඇළුම් කරන්න පටන් ගත්තා.
'ඇය'....... ඇයව ඔහුට හමුවන්නෙ අහම්බයකින් වගේ. නමුත් ඒ වචනයට ඔහු නම් තදින්ම විරුද්ධයි.
"ලොකේ කිසිම දෙයක් අහම්බයක් නෙවෙයි. හැම දේම වෙන්නේ හේතුවක් ඇතුව, සැලසුම් සහගත විදියකට"
ඒ ඔහුගෙ වචන.
මන් ඔහුත් එක්ක තර්ක කරන්න යන්නෙ නෑ. මොකද මාත් ඒ දේම විශ්වාස කරන නිසා. ඒත් මටනම් ඒ සිදුවීම හැමදාම පෙනුනේ අහම්බයක් විදියටමයි. 
ඔහුට කවදාවත්ම ඇය වගේ කෙනෙක් මීට කලින් හමු වෙලා තිබුනෙ නෑ. ඒක නිසාම ඇගේ එකතුව ඔහුගේ ජීවිතේ ලොකු පෙරළියක් ඇති කලා. ඇගේ මිත්‍රත්වය ඔහුගෙ ජීවිතේට ලොකු සතුටක් එකතු කරා. ඔවුන් කතා කලා, හිනා උනා. ආයෙ කතා කලා, ආයෙ හිනා උනා. ඔවුන්ට එක දෙයක් අමතක උනා. අඬන්න, දුක් වෙන්න. ඔව්. ඔවුන් කවදාවත්ම ඇඬුවෙ නෑ. මොකද ඔවුන්ගේ කතා බහේ හැමදාම තිබුනේ සතුට විතරමයි. ඇය ඔහුව හැමදාම ඔසවල තිබ්බා. ඔහුගේ ජීවිතේට දිරි දුන්නා. ඔහුත් එහෙමයි. ඇය ඔහුගෙන් බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඔහුත් ඇයගෙන් බොහෝ දේවල් ඉගෙන ගත්තා.
ලෝකෙ උද්යෝගීමත්ම කතා බහ ඇති උනේ කා අතරද කියලා කෙනෙක් මගෙන් අහුවොත්, මට කිසිම සැකයකින් තොරව ඔවුන් දෙදෙනාව නම් කරන්න පුලුවන්. වෙලාවකට මට හිතුනා ඔවුන් දෙදෙනාම එක්කෙනෙක්ද කියලත්.
"දර්පණ ප්‍රතිබිම්බය"
ඔහු ඒකට කිව්වෙ ඒ වගේ නමක්.
ඇයගේ හිතේ ඔහු ගැන ඇත්තෙ මොන වගේ හැඟීමක්ද කියන එක ගැන ඔහු කවදාවත්ම හිතුවේ නෑ. ඔහු ඒ ගැන වද උනෙත් නෑ. ඒත් ඔහු හිතුවා, තමන්ගෙ හිතේ ඇය ගැන තියෙන්නෙ මොන වගේ හැඟීමක්ද කියලා.  කෙනෙක් කියයි ඔහුගේ හිතේ ඇය ගැන ක්‍රශ් එකක් තිබුනා කියලා. මන්දා. මට ඒක සහතිකෙටම කියන්න පුලුවන් කමක් නෑ. මන් හිතන්නෙ ඔහුටත් බෑ. මොකද ඔහු හැමදාම හිතුවා විතරයි. උත්තරයක් ලැබුනේ නෑ.
මිතුරිය? සහෝදරිය? ආදරවන්තිය?
ඔහුට කවදාවත්ම ඔහුගේ හිතේ ඇය ගැන තිබ්බ හැඟිමට හරි නමක් දෙන්න පුලුවන් කමක් ලැබුනේ නෑ.
නමුත් ඔහු එක දෙයක් තේරුම් අරන් හිටියා.
ඇය විශෙෂයි!!!
ඇය ඔහුට අතිශය විශේෂ කෙනෙක්.
කෙසේ වෙතත් ඔහු හැමදාම නොවරදවා එක දෙයක් කලා. ඔහුගේ ප්‍රියතම හින්දි ගීතයට සවන් දුන්නා.
කාලය ගෙවුනා. ප්‍රශ්ණ කියන දේ කාටත් පොදුයි. ඔහුටත් ප්‍රශ්ණ තිබ්බා. ඒ වගේම ඇයටත්. ඇය කොයි වෙලෙත් සරළ ජීවිතයකට ප්‍රිය කල කෙනෙක්. ඒත් ඒ සරළ ජීවිතය ඇයගෙන් ගොඩක් ඈත් කරන තරම් ඇයටම ආවේනික උන ප්‍රශ්ණ කීපයක් ඇයට තිබ්බා. ඇය කවදාවත් ඒ ප්‍රශ්ණ ගැන ලොකුවට කතා කලේ නෑ. ඔහුට ඕනේ උනා ඇයට උදවු කරන්න. ඒත් ඇය...... ඇය ස්වාධීනයි. ඇයට ඕනේ උනේ ඒ දේවල් ඇය විසින්ම විසඳගන්නයි. ඔහුට ඇයව තනි කරන්න ඕනේ උනේ නෑ. ඒත් ඇගේ ආත්ම ශක්තියට ඔහු හැමදාමත් ගරු කලා.
අන්තිමේදි දවසක්....... ඇය යන්න යනවා......
එකම එක පොරොන්දුවක් විතරක් ඔහුගේ ජීවිතේට බද්ධ කරලා.
"මගේ ෆෝන් එකට කවදාවත්ම කෝල් කරන්න එපා"
ඔහු අදටත් ඒ පොරොන්දුව රකිනවා. ඔහුට ඇයව සම්බන්ධ කරගන්න තියෙන එකම මග ඒක. නමුත් ඔහු පොරොන්දුවක හිර වෙලා. ඒ දුරකතන අංකය තවමත් ක්‍රියාත්මක වෙනවද කියන්නවත් ඔහු දන්නෙ නෑ. ඔහුගේ ඇඟිල්ල හැමදාමත් ඒ අංකය මත නතර වෙනවා. ඒත්.....
හ්ම්ම්ම්. ඔබ කියාවි පිස්සෙක් කියලා. මෝඩයෙක් කියලා. තව නොයෙක් දේවල්..... වෙන්න පුලුවන්. ඒත් අද ඔහුගේ හිත ඇතුලට පැපරාසියෙක් උන මට තේරුම් ගන්න පුලුවන් ඔහුගේ හිතේ තියෙන සැබෑ හැඟීම.
"ඔයාව මට කවදාවත්ම අමතක කරන්න බැරි කෙනෙක්"
යන්න මොහොතකට කලින් ඇය කිව්ව අන්තිම වදන් ටික ඔහු හැමදාමත්ම සිහිපත් කරනවා.
ඔවුන් දෙදෙනාටම අද ඉතුරු මතකයන් විතරයි. හ්ම්ම්ම්. කවදා වෙනකම්ද? බාග විට මැරෙන තුරාවටම......
මේ සටහන ලියන්න මාව පෙලඹවෙව්වෙ එක කරුණක්. මොකද අද එක දෙයක් උනා. ඔහු ඔහුගෙ දිනපතා කරපු පුරුද්ද අත අතඇරියා. ඔව්. අද ඔහු ඒ ගීතය තව දුරටත් දිනපතා අහන එක නැවැත්තුවා. ඒ වෙනුවට ඔහු ඒ ගීතය ඇගේ දුරකතන අංකයට ආවේනික නාද මාලව ලෙස සකස් කලා.
"මගේ ෆෝන් එක රින්ග් වෙද්දි ඒ සින්දුව ඇහෙන්නෙ කවද්ද, එදාට තමයි මන් ආයෙ ඒක අහන්න ගන්නෙ."
වෙලාවකට මට හිතෙනවා ඔහු ඕනවට වඩා බොලඳද කියලත්. මොනවා කරන්නද? මිනිස්සුනේ අපි මිනිස්සුනේ....
දැන් අද ඉඳන් ඔහු බලන් ඉඳිවි. දිගින් දිගටම බලන් ඉඳිවී. කවදා වෙනකම්ද කියලා ඔහුවත් මමවත් දන්නෙ නෑ. හැබැයි ඔහුට බලාපොරොත්තුවක් තියෙනවා. මම ඔහුට සුභ පතනවා. මට කරන්න පුලුවන් එකම දේ ඒකයි.
ඔහුත් ඇයත් දෙදෙනාම ප්‍රිය කල තවත් හින්දි ගීතයක් මට කොහේදෝ ඈතකින් ලාවට ඇහෙනවා. එයින් එක් පද පේලියක් මේ මොහොතේ මගේ හිත තදින්ම ඇදගන්න සමත් උනා.
"ඉන්තසාර් කබ් තක් හම් කරේන්ගේ භලා"
(කොපමණ කාලයක් මා ඔබ වෙනුවෙන් බලාගෙන ඉන්නද?)

24 comments:

  1. පුදුම විදියට හිතට දැනුනා අනුරාධ... පුදුම කතාවක්.... පුදුම හැඟීමක්....

    මේ අත්දැකීම බො‌ෙහාම දුරට මම වින්දා... එකම දේ... පොරොන්දුවක් නොවී හිටපු නිසා.... ඒ හැමදාම ආමරුවෙන් නතර කරගත්ත ඇඟීල්ල එක දවසක් ඒ නම්බර් එක ඩයල් කරපු එක විතරයි.... අපිට හෙලෝ කියන්න ඕනේ උනේ නෑ... ඒත් අපි දෙන්නම ඇඬුවා.... විනාඩි ගානක් එක දිගට..... ඉස්සර කවදාවත් අපි දෙන්නා අඬපු නැති නිසා වෙන්නැති...

    ඔහු මගේ "දර්පණ ප්‍රතිබිම්බය"........

    ReplyDelete
  2. මාරම විදිහට හිතට දැනෙන ලිපියක් අත්තමයි ආයෙමත් සැරයක් ජිවිතෙ දිහ හැරිල බලන්න හිතුනා

    ReplyDelete
  3. ඔහුගේ දුරකතනයේ කෙදිනක හෝ ඇය හා ඔහු ප්‍රිය කල ඒ ගීතය රැව් දේවා!!! :)

    ඔහුට සහ ඇයට ජයෙන් ජය !!!! :)

    ReplyDelete
  4. මේ වගේ ගීත කියන්ට දක්ෂ කෙනෙක් මාත් දන්නවා. කතාව එයාගේම වෙන්ට ඇති. ප්‍රශ්නේ ඇයි ඒ දෙන්නට එහෙම උනේ කියන එක.

    හිත සියුම් දුකකින් පිරිලා ගියා. මේ වගේ ආදරවන්තයෝ මේ ලෝකේ ඉන්නවද කියලා හිතෙනවා. පතනවා ඒ ගීය ලඟදිම වාදනය වෙයි කියලා. කොයි මොහොතක හරි. ඉක්මනින්ම.

    හිතට තදින් දැනුනු කතාවක් අනුරාධ!!!

    ReplyDelete
  5. මගේ ජීවිතේටත් සම්බන්ධ කතාවක්.. කවදාක හෝ ඒ ගීතය නාද වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  6. නමක් නැති හැඩයක් නැති සම්බන්ධකම්..
    හුඟක් ලස්සන හිතට දැනෙන ලිපියක්.

    ReplyDelete
  7. අනේ හරිම ලස්සනයි..
    මට හරි කම්පනයක් දැනෙනවා..

    ReplyDelete
  8. සංවේදි සටහනක්, මොකකද ඔය සංසිද්දිය මාත් මේ දවස් වල අත්දකිමින් සිටින නිසා.

    සහ මේකේ කොමෙන්ට් දැක්කමත් හිතෙනවා මේක ශ්‍රී ලාංකික සමාජේ පොදු දෙයක් කියලත්. ආදර වන්තයෝ කී දාහක් මෙහෙම සුසුම් හෙළනවා ඇද්ද

    ReplyDelete
  9. Kiyala wedak ne..supiriy... Samahara wita kawada hari ohu balaporoththuwen inna nommarayenma eyagen amathtmak enna puluwan...daiwaya gena anaaweki kiyanna beri nisa eka ehema wei kiyala hithanna puluwan.. Adadare adhyathmayata kaawadina deyak...

    ReplyDelete
  10. ගොඩක්ම හිතට දැනුන පෝස්ට් එකක් . සමහර සිදුවීම් මගේ ජීවිතේටත් සම්බන්ධයි කියල හිතෙනවා . කාලයක් ගොඩක්ම කතා කල එක්කෙනාගෙ නොම්බරේ අද නිහඬම වෙලා .

    ReplyDelete
  11. ජීවිතයේ අමිහිරි මතක ...

    ReplyDelete
  12. සංවේදි කතාවක්. හිතට දැනුනා.

    ReplyDelete
  13. පිස්සු හැදෙනවා.....මං මාවම දැක්කද මන්ද...“ඔහුගෙන්“...

    ReplyDelete
  14. "කොපමණ කාලයක් මා ඔබ වෙනුවෙන් බලාගෙන ඉන්නද?"

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... හිතට වදින, හුඟාක් දැනුන කතාවක්!!! පුංචි කම්පනයක් ඇති නොවුනාමත් නොවෙයි!!! ම්ම්ම්... හිතාගන්න බෑ...

    ReplyDelete
  15. කියවල ඉවරවෙලා මේ ගැන තනියම කල්පනා කළා...ඔබ හරි..
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  16. මන් අවුරුදු 6ක් අතීතයට ගියා මේ කතාව දිගේ.ඒ අතීතය කවදාවත් පිරෙන්නෙ නැති හිස්තැනක් මගේ ජීවිතේට එකතු කලා.

    ReplyDelete
  17. ithin thaamath kathaa kale ne da?

    ReplyDelete
  18. ප්‍රතිචාර වලට වෙන වෙනම පිලිතුරු සැපයුවෙ නැති එක ගැන අමනාපයක් හිතට ගන්න එපා. ප්‍රතිචාර එක් කල සහ සුභ පැතුම් එක් කල හැමෝටම ගොඩක් ස්තූතියි. 'ඔහුට' ඒවා තවත් ලොකු ධෛරයක් එකතු කලා කියලා මන් දන්නවා. නමුත් අද මන් මේ සටහන ලියන්නෙ මේ පිළිඹදව සැලකිලිමත් උන හැමොම මේ කතාවෙ අලුත් තත්වය ගැන දැනුවත් කලයුතුයි කියලා හිතුන නිසා. මොකද මේක ඇත්තටම සත්‍ය සිදුවීමක් උන නිසා.
    මන් දන්නවා. මන් දැන් මේ කියන්න යන දේ ඔයාලා කිසිම කෙනෙක්ගෙ හිතට සතුටක් එකතු කරන එකක් නෑ. නමුත් ඇත්ත දැනගැනීමේ අයිතිය ඔයාලා සතුව තියෙනවා. දුක උනත් සතුට උනත් ඇත්තට මුහුණ දෙන්න අපි හැමෝටම වෙනවා.

    ඔහු වගේම ඔහුගේ සහයට මමත් ඔබත් බලා උන්නා, ඔහු ප්‍රිය කල ගීතය ඔහුගේ දුරකතනයෙන් නාදය වෙන තුරු. ඇගේ නමින් ඔහුට ඇමතුමක් ලැබෙන තුරු. නමුත්. ඒ ඇමතුම කිසිවිටෙක ලැබුනෙ නෑ. බොහො විට කිසිම දිනෙක ලැබෙන එකකුත් නෑ.
    මොකද ඇය විවාපත් වෙලා. වෙනත් වක්‍ර මාර්ගයක් ඔස්සේ ඔහු ඒ ගැන සහතිකවම දැනගන්නවා. ඒ විවාහය සැබෑ ආදරයම පදනම්ව උන විවාහයක්ද කියන්න ඔහු දන්නෙ නෑ. නමුත් ඇය ඔහුගේ මානයෙන් ඉවතට ඇදීගොස් කියලා ඔහු තේරුම් අරන්. ඔහුගේ හිතේ ඇය ගැන කිසිම අමනාපයක් නැති බව මන් හොඳින්ම දන්නවා. ඒත්...... ඒ මතකයන්........ ඔහුට ඔහුගේ ජීවිත කාලය පුරාවටම හිතින් වියලා දාන්න පුලුවන් වෙයි කියලා මට කොහොමටවත් හිතෙන්නෙ නෑ. ජිවිතේ හරිම පුදුමයි. ඔහුගේ කතාව දකිද්දි මාව නැවත නැවතත් සංවේදි වෙනවා. ඔහුටත් විසඳාගන්න බැරි හැගීම් ගොඩක් ඇතුලෙ ඔහු තාමත් හිර වෙලා.

    නමුත් මට තාමත් පුදුම හිතෙන වැදගත්ම කාරණය මේකයි. ඔහුගේ දුරකතනයේ තවමත් ඇගේ නමින් සකස් කොට තියෙන්නෙ ඒ ගීතය. ඔහුට තවමත් ඒ ගීතය අසන්න හිත හදාගන්න හැකියාවක් ලැබිලා නෑ. දෛවය. හෙට දවසෙ මොනවා උනත් ඒ හැම දෙයක්ම දෛවය. ඔහු වෙනුවෙන් මට කල හැකි දේ මෙපමණයි.

    ReplyDelete
  19. මේ බැඳීම් කියන මාතෘකාව ඇතුළෙ මිනිස්සු මාරෙට හිර වෙනවා... අනේ මට ඉක්මනින් නිවන් දකින්න ඕනෙ..

    ReplyDelete
  20. හමුවන වෙන්වන ලො'කයේ,
    හමු වුණත්, හිමි උණත්,
    ඒක සදහටම වෙන්නෙ නෑ............
    මායවන් පසු පස්සෙ
    පිස්සුවෙන් වගේ දිව්වට,
    ඒ සදාතනික සත්ය
    වෙනස් කරන්න බෑ..................

    ReplyDelete
  21. mmm.... godakaalekata passe mama blog lipiyak kiyewuwe... Duka hithena kathaawak. eth ithin ooka thama jeewithe...

    ReplyDelete
  22. හම්හ්............

    දැනුනා ගොඩක්..

    ReplyDelete