Monday, March 23, 2015

මායාව සජීවී කොට...

තාක්ෂණය එන්න එන්න දියුණු වෙනවා. මිනිස්සු තාක්ශ්නය භාවිතා කරලා විවිධ මායාවන් සිදු කරන්න පෙලඹෙනවා. අතීතයේ ඉඳන්ම මිනිස්සු මායවන් වලට ඇලුම් කලා. මායාවන් ගවේශණය කලා. අලුත් මායාවන් සොයාගෙන ගියා. තාක්ශණයත් මායාවත් එකට සම්බන්ද වෙලා ගමන් කරන්න ආරම්භ වෙන්නෙ ඒ තිබ්බ අසීමිත කුතුහලයත් එක්ක.

Augmented reality කියන්නෙත් ඒ විදියට තාක්ෂණය ඔස්සේ මායාව අපි සමීපයට අරගෙන එන එක්තරා ක්‍රමයක්. මේක ටිකක් සංකීර්ණ තාක්ෂණයක්. මේ ඔස්සේ විවිධාකරයේ පර්යේෂන දියුණු රටවල සිදු කෙරුනා.

මෙහිදී ප්‍රේක්ශකයට අවස්ථාව ලැබෙනවා තමන් අසල නොමැති යම් දෙයක්, සැබැවින්ම තමන් අසල තිබෙනවායැයි හැඟීම ඇතිව ඒ දේ සමග අන්තර් ගනුදෙනු කරන්නට.  මෙහෙම කිව්වට තරමක් අපැහැදිලියි වගේනම් මෙන්න මේ විකිපීඩියා පිටුවට ගිහින් වැඩි විස්තර බලාගෙන එන්න පුලුවන්.

http://en.wikipedia.org/wiki/Augmented_reality

මෙකේ විවිධාකාර මට්ටම් තියෙනවා. ඉහල මට්ටම් වලදි, තමන් ඉදිරියේ සිදු වෙන්නෙ මොකද්ද කියලා නරඹන්නාට සිතාගන්නත් බැරි වෙන තරම් එහි තාක්ෂණය දියුනුයි. මෙය මිනිසුන්ව පුදුමයෙනුත් පුදුමයට පත් කරන තාක්ශණික මායාවක්.

ඉතින් මන් මේ පෙරවදන ලබා දුන්නේ එක විශේෂ දෙයක් කියන්න අවශ්‍ය නිසයි.

ඒ තමයි මේ තාක්ශ්ණයේ එක් පියවරක් පසුගියදා ලංකාව තුල සිදු කෙරුනා. මා දන්නා මට්ටමින් මෙවැනි දෙයක් ලංකාව තුලදි මිනිසුන්ට දැකගත හැකි වූ පලමු අවස්ථාව මේකයි.  2015 පෙබරවාරි 21 වන දින වාද්දූව The Blue Water හෝටලයෙදි තමයි මේ දේ  සිද්ද කෙරුනේ. නිමිත්ත උනේ Peoples leasing & Finance PLC ආයතනය මගින් පවත්වපු උත්සවයක්.  උත්සවය සඳහා පැමිණෙන අමුත්තන්ට උත්සව ශාලාවට පිවිසෙන්නට පලමුවෙන් යම්කිසී විනෝදාත්මක හා විශ්මයජනක අත්දැකීමක් ලබා දෙන්න තමයි මේ දේ සිද්ද කෙරුනෙ.

මා මේ තරම් ආඩම්බරයෙන්  යුතුව මේ ගැන සඳහන් කරන්නෙ මේ දේ සිදු කෙරුනෙ අපි විසින් වන නිසයි.  AV:LAB කණ්ඩායම විසින් සිද්ධ කෙරුණු තවත් අපූර්ව වැඩක් තමයි මේක.






මේ රූප පෙල සමහර අයට මතක ඇති. මේ රූප පෙල දැකපු ගොඩ දෙනෙක් මගෙන් ඇහුවා, මොකද්ද මේ ශූට් එක? කියලා. හැබැයි ඒ ගොඩක් අයට මන් දුන්නෙ එකම උත්තරයයි.

"දැන් මෙහෙම පැහැදිලි කරාට තෙරෙන එකක් නෑ. ඉන්නකො වැඩේ ඔක්කොම ඉවර වෙලා එවෙන්ට් එකෙ විඩියෝ එක හදලා, ඒක පෙන්නන්නම්කො. එතකොට හරියට තෙරෙයි."

අන්න ඒ පොරොන්දුව තමයි මන් මේ අද ඉශ්ට කරන්න යන්නෙ.

මුලින්ම අපි කලේ මේ ශූට් එක කරපු එක. ඊට පස්සෙ එකෙ වීඩියෝස් තමයි ඉවෙන්ට් එක දවසෙ අපි භාවිතා කලේ. සරලව පැහැදිලි කලොත් මෙහෙමයි. නරඹන්නන් LED තිරයක් ඉදිරියට එනවා. LED තිරය උඩින් තියෙන කැමරාවක් මගින් ඒ නරඹන්නන්ව රූපගත කෙරෙනවා. ඒ දර්ශන LED තිරය මත දිස් වෙනවා. දැන් ඔන්න නරඹන්නන්ට තමන්වම දැකගන්න පුලුවන් LED තිරයෙන්. හැබැයි ඔන එයාලා පුදුමයට පත් වෙන්නෙ තමන් ඉස්සරහ ඇත්තටම ඒ වෙලාවෙ නැති රෝමන් සූරූපිනියක්, සොල්දාදුවන්, වහල්ලුන් තමන් අසල ඉන්නවා වගේ LED තිරය තුලින් දකිනට පටන් ගත්තමයි.

ඔහොම කිව්වට වැඩක් නෑ. ඔන්න මේක බලලම තේරුම් ගන්නකො.


THE COLOSSEUM IN AUGMENTED REALITY // AV:LAB // PLC from AV:LAB

තාක්ශණයේ තවත් අලුත් මුහුණුවරකින් හමු වෙමු!

Wednesday, January 28, 2015

ලේඛකයා මැරිලා!

මල් වල සුවඳ පිච්චිලා උගුර හරහා පපුවට යද්දි දුව දුව තිබ්බ හිත එක තැනක නැවතෙන්න පටන් ගත්තා. කරුමෙට ඒකත් ගිහින් නැවතුනේ එයා ගාවමයි. මට ඕනේ උනේ අලුත් වෙන්න. වෙන දෙයක් හිතන්න. මාස ගානකින් කුලිය ගෙවන්නෙ නැතුව හිතේ නැවතිලා හිටපු ඇයව මගෙ හිත් ගෙයින් එලවලා දාන්න. කිහිප වතාවක්ම එයාව එලවලා දැම්මත් මට එක දෙයක් අමතක උනා. ආයෙමත් දොර වහලා අගුල දාගන්න. ඇරිලා තිබ්බ දොරින් එයා ආයෙමත් ඇතුලු උනා.
අන්තිමේ හැමදාමත් මන් පැරදුනා. දවසින් දවස හිත අලුත් උනා. ඒත් ඒ එයාත් එක්කමයි. අලුත් උන හිතත් අරගෙන ආපස්සට හැරිලා බලද්දි මම විතරයි. එයාගෙන් පිරුන මගේ හිතත් අරගෙන මම විතරයි. ඉතින් මන් පැරදියි.

පපුවෙ තිබ්බ තවත් දුම් ගුලි‍යක් නාස් සිදුර හරහා මම වාතලයට එකතු කලා. ජංගම දුරකතනයේ සිහින් හඬින් වාදනය වෙන කපුගේගෙ සින්දුවක් හෙමිහිට කන් දෙක පුරා පිරුනා. ඒත් එක්කම තව තවත් එක්තැන් වෙච්ච මගේ හිත එයාව හොයාගෙන ගැඹුරටම ගමන් කලා.

.............ගහ කොළද මල් පිපේ ඇල දොල නිල කඩා හැලේ
පෙරදාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුනේ......................

මන් රැවටුනාද? මාස ගානක ඉඳන් මගේ හිතේ කැකෑරෙන ලොකුම ප්‍රශ්ණය. ඇය මට ආදරය කලේ නෑ කියලා විශ්වාස කරන්න මට පුලුවන් කමක් නෑ. මන් ඇයට ආදරය කල තරමටම ඇයත් මට ආදරේ කල බව මන් දැනන් හිටියා.

"මට ආසයි ඔයාගේ උරහිසේ ඔලුව තියාගෙන නිදාගන්න"
ඇය හැමදාම මන්තරයක් වගේ මිමිණුවා. ඇයගේ ඒ ආසාව සංතෘප්ත වුන දිනයන් වලදි බාගෙට මගේ උරහිසට හිරවුන ඇගේ මුහුණ දිහා බලාගෙන මන් සැනසුනා. ඉඳහිට පොඩ්ඩක් පහත් වෙලා ඇගේ නළල සිපගත්තෙ ඇයව ඇහරවන්න හිතාගෙන නෙවෙයි. සමහර වෙලාවට ඇය ඇස් දෙක ලාවට ඇරලා යාන්තමට හිනා වෙලා ආයෙත් ඇස් පියාගන්නවා.
මම මගේ අතැඟිලි ඇගේ කෙස් අතරින් යවමින් රටා අඳිනවා. ඇගේ උණුසුම මගේ පපුව හරහා ඇවිත් මුලු සිරුරම සුවපත් කලේ හරිම පුදුම විදියට. ඒ උණුසුම මට දැනුත් දැනෙනවා වගේ. ඒත් දැන් ඒ උණුසුමෙන් වෙන්නෙ ඇස් ඇතුලේ දිය පාරවල් උතුරල පිටාර ගලන එක විතරයි.
ඒ දිය පාරවල් වලින් හිත මෙලෙක් කරන්න දෙන්න දෙන්න බැහැ. හිත මේ තරමට ගල් කරගත්තේ සෑහෙන්න වෙහෙස වෙලා. ඒ වෙනුවෙන් ගොඩක් දේවල් කැප කරන්න උනා. ජීවිතේ මෙච්චර කාලයක් රැකගෙන ආපු ප්‍රතිපත්ති. මගේම ස්වයං වාරණ. දැන් ඒ හැම දෙයක්ම අතීතයට අයිති පොර ටෝක් ටිකක් විතරයි. ඒ හැම දේකටම පස්සෙත් හිත ආයෙ මෙලෙක් වෙන්න ගත්තොත් මේ කැප කිරීම් කිසිම දේකින් වැඩක් නැති වෙනවා.
මම සුරතේ ඇතැඟිලි දෙතොල් වෙත ගෙන ගියා.

.........නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමු වෙලා
මහ මෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා..........

කපුගේගෙ කට හඬෙන් දෙන්නෙ අමුතුම හැඟීමක්. ඒ හැඟිමට තාලයයි, වචනයි, ඒ වචන වලටම ගැලපෙන මගේ අත්දැකීමුයි ඔක්කොම එකට එකතු උනාම ගීතය සම්පූර්ණයෙන්ම මගේ එකක් වෙනවා.  අමාරුම වෙන්නෙ එතකොටයි. සන්සුන් වෙලා තිබ්බ හිත ආයෙමත් කැලඹෙන්න පටන් ගන්නවා.
ඇය අවසන් වරට හමුවී මාස ගණනක් ගත වෙලා. අද අපි හරියට ආගන්තුකයින් දෙදෙනෙක් වගේ. ඇය නන්නාඳුනන්නියක් වෙන්න මන් මැරිලා ඉපඳුනේ නෑ. ඒත් ඇය හැසිරෙන්නෙ එවන් ආකාරයකට. අප යලි කවදා හමු වෙයිද? ඒ හමුවෙන මොහොත මොන වගේ එකක් වෙයිද? මන් කෙසේ හැසිරෙයිද? ඇය කෙසේ හැසිරෙයිද? එක අතකට ඇයව ආයෙත් වතාවක් හමු නොවෙන එක හොඳයි. ඒත් හිත ඇතුලෙන් ඇයව දැකගන්න ආසවන් කැකෑරෙනවා. ලොකෙන්ම ලස්සනම හිනාව තිබ්බෙ ඇයට. ඒ හිනාව මගේ උන දවසෙ මන් කොයි තරම් සතුටු උනාද. ඒත් අද ඒ හිනාවත් අරන් ඇය අතුරුදහන් වෙලා.

කපුගේගේ ගීතයේ අවසානයත් එක්කම දකුණතේ දබරඟිල්ලත් මැදඟිල්ලත් අතර ආසන්නයටම ගින්දර කොටසක උණුසුම ලන් උනා. අලුත් මල් පොකුරක් සූදානම් වන තුරු මම ජංගම දුරකතනයේ තවත් ගීයක් සොයමින් ඇඟිලි අරන් ගියා.

මේ ඉර හඳ යට හමුවී - එඩ්වඩ් ජයකොඩි

එක්තරා ගීතයක් ලඟ මගේ ඇඟිලි නතර උනා.

මේ ඉර හඳ යට හමුවී
ආදරයෙන්
කතා කරපු අය සෙනේ වඩපු අය
ලඟ පාතකවත් නෑ

ගීතය වාදනය කරන්නත් කලින් ගීතයේ පද මාලාව මගේ හිස ඇතුලේ ගැයෙන්න පටන් ගත්තා. ඒ වචන වලට මගේ අතීතය තනුව බවට පත් උනා. හදිසියේම හිත ඇතුලෙන් සිතිවිලි ඉපදෙන්න ගත්තා.
තොරතෝන්චියක් නැතුව ඉපදෙන සිතුවිලි රෑනක් හිත ඇතුලෙන් එලියට වෑස්සෙනවා. ඇති තරම් තීන්ත තිබ්බනම් මුලු ලෝකම වැහෙන්න ලියන්න පුලුවන් තරමේ සිතිවිලි වරුසාවක්.
බොහොම කාලෙකට ඉස්සර මගේ මනස ඇතුලේ එක්තරා ලේඛකයෙක් ජීවත් උනා. ඒත් ඒ ලෙඛකයා මැරුනා. ලේඛකයා මැරිලා හිටපු හිතෙන් කිසිම සිතුවිල්ලක් එලියට අවේ  නෑ. ඒත් අද හදිසියේම ඒ ලේඛකයට ආයෙත් පණ ලැබිලා වගෙයි.  නමුත් මට තව දුරටත් ඒ ලේඛකයා අවශ්‍ය නෑ. මොකද ඒ ලේඛකයා මගේ ජීවිතේට අරන් එන්නෙ කඳුලු තැවරුන අතීතයක් විතරයි. ඒයා මැරිලම හිටපු දෙන්. මන් ගීතය වාදනය කරන අදහස අත ඇරලා දැම්මා.
ඊට හොඳයි තව මල් සුවඳ උගුරකින් පපුව පුරවගන්න එක. මන් නිවිසැනසීලේ ඊට යොමු උනා.

"උඹ උන්නද මලාද කියලා හොයලා බලන්නෙ නැති කෙනෙක් ගැන බලාපොරොත්තු තියාගන්න එපා බන්. ඒකෙන් වෙන්නෙ උඹ විඳවන එක විතරමයි."
ටික දවසක උඩදි මුහුණු පොතේ දැකපු එක කියමනක් මට මතක් උනා. ඒ කියමන මට ආදේශ කරගන්නනම් ඇයට දෝෂාරෝපණය කරන්නට තරම් මට හිත දැඩි කරගන්න වෙනවා. ඒත් ඇයට වරදක් කියන්නට තාමත් මගේ හිත ඉඩ දෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට කාලය විසින් ගොඩක් ප්‍රශ්ණ විසඳනවා. ඒත් කාලය විසින් ඇගේ හිත තුල කිසිම වෙනසක් ඇති කරලා නැති බව ඇගේම වචන පසුගිය දවසක මට ඒත්තු ගැන්වුවා. සමහර විට  මැරුණු ලේඛකයට හදිසියේම ආයෙ පණ ලැබෙන්න ඇත්තෙත් ඒ වචන නිසා වෙන්න පුලුවන්. 
ඒක තමයි භයානකම කොටස. හොඳම දේ තමයි මැරුණු සිතුවිලි වලට ආයෙ පණ නොදෙන එක. වල දමපු දේවල් ආයෙ උඩට නොඅදින එක. මැරුණු හීන වලට ආයෙ පණ දෙන එක අවධානමක්. ඒත් ජීවිතේ කියන්නෙ අපි ඉල්ලන අපි බලාපොරොත්තු වෙන දේම නෙවෙයි.
දැන් මන් ගෙවන ජීවිතය මන් කවදාවත් ඉල්ලපු දෙයක් නෙවෙයි. මන් කවදාවත් බලාපොරොත්තු උන දෙයක් නෙවෙයි. නමුත් ඒක සිද්ද උනේ මෙහෙමයි. ඒකට වැරදිකාරයා හොය හොය නාස්ති කරන්න වෙලාවක් දැන් මට නැහැ. මොකද දැනටමත් අලුත් මල් පොකුරක් සූදානම් වෙලා. දැන් තියෙන්නෙ එක් කෙලවරකට ගින්දර ලන් කරලා දෙතොල් අතරේ රඳවගන්න විතරයි. මල් සුවඳෙන් පපුව පිරිලා යද්දි හිත ඇතුලෙ මොනවා පිරිලා යයිද කියන්න මන් දන්නෙ නෑ. 
මන් දන්නෙ එක දෙයයි. පපුව ඇතුලට ගන්න දුම් ගුලිය ආයෙ එලියට ඒවි. ඒත් හිත ඇතුලෙ පිරෙන සිතුවිලි පොදිය කවදාවත් එලියට එන එකක් නෑ.
මොකද ලේඛකයා මැරිලා!!!

Monday, April 7, 2014

ආදර සැමරුම්


අපේ ආදර මතක සැමරුම්
දසත ඇත බිම විසිරිලා
ඒ මතින් ඔබ අඩිය තබමින්
ඈතටම යයි සැඟවිලා

ගිලෙන හිරු අර ඈත ක්ෂිතිජයේ
ගිනියම්ව රත් පැහැ වෙලා
රැගෙන එයි තව තවත් කළුවර
ආදරේ සුව සඟවලා

විරහා ගී පද රසය සොයමින්
සිතේ සිනහව හැකිළිලා
මුවේ සිනහව ලොවට පෙන්වා
හිඳිමි මියැදී යන තුරා

Tuesday, March 18, 2014

එක්තරා සාමන්‍ය කතාවක්!

ඔහු විටෙක ලේඛකයෙක්. පරිපූර්ණ උසස් ලේඛකයෙකුගේ මට්ටමේ නොසිටියත් යම් පරිමාණයකින් තම සිත් රැඳි අදහස් නිර්මාණශීලීව වචන වලට ගොණු කල හැකි අයෙක්. ඇයව ඔහුගේ ජීව්තයට ලංවෙන්න ප්‍රධානම හේතුව උනේ ඔහුගේ ඒ හැකියාව. ඇය මුලින්ම ආකර්ෂණය වෙන්නෙ ඔහුගේ ලේඛන වස්තූන් වලට. ඇය එම වචන වල සිරකාරියක් බවට පත් වෙනවා. ඒ වචන ඔස්සේ ඇය ඇගේ සිත තුල අලුත් ලොවක් තනා ගැනීමට පෙලඹෙනවා. එහෙත් ඒ වචන වල හිමිකරුවාට ලන් වීමට ඇය මදක් බිය වෙනවා. මොකද ඇය සිතනවා ඔහු සිටින්නෙ ඇයට ලන්විය හැකි මානයක නොවේය කියා. අගේ බිය ඇගේ ගමනට බාධකයක් වෙනවා. ඇය තනිව ලතැවෙනවා. නමුත් අවසානයේ සියල්ල මොහොතකින් වෙනස් වෙනවා. ඔහුගේ ලෙඛන වල වචන වලින් පමනක් ඔහුගේ ආත්මය දකින්නට පුරුදු වී සිටි ඇයට ඔහුගේ ආත්මය මුහුණට මුහුණ දකින්නට අවස්ථාව හමු වෙනවා. ඔවුන් දෙදෙනාගේම ආත්මයන් ඔවුනොවුන් ඉදිරිපිට නිරුවත් වෙනවා.  ඔහුගේ ජීවිතයට ඇය පැමිණෙන්නෙ එතැන් සිට. මේ ආදර කතාව පටන් ගන්නෙ එතැන් සිට.

"ඔයා කැමතිනම් දොර අරින්න මන් කැමතියි ඇතුලට එන්න."
එක්තරා දවසක ඔහු ඇය ඉදිරියේ තමන්ගෙ අදහස ඉරිදිරිපත් කලේ එහෙම. ඒ වෙලාවෙ ඔහුගේ හැඟීම් ක්‍රියාකල අනුපිලිවෙල ගැන මට හරිම වැටහීමක් නෑ. හැබැයි මට අනුමාන වශයෙන් කියන්න පුලුවන් ඒ වෙලාවෙ ඔවුන් දෙදෙනාම මදක් වික්ෂිප්තව සිටින්නට ඇති. මොකද ඇය කවදාවත් ඔහුගෙන් එවැනි වදනක් ඇසෙතැයි බලාපොරොත්තු උනේ නෑ. ඒ වගේම ඇය එවැනි වදනක් අපේක්ශාවෙන් සිටි බව ඒ මොහොතේ ඔහු දැනගෙන සිටියෙත් නෑ.
මේක මහ පටලැවිල්ලක්. ඔබට වගේම මට පවා තවමත් එය පැටලිලි සහගතයි. නමුත් දෛවයේ හමු කිරීම් එහෙම තමයි. ඇයවත් ඔහුවත් හරිහැටි නොදැන ඔවුන් දෙදෙනාම ඇවිත් නතර වී තිබුනේ එකම තැනකින්.  ඒ දෛවයට සිදු කරන්නට අවශ්‍යව තිබූ දේ.

"ඇත්තටම මට ඒක එයාගෙන් අහද්දි මට ඕනේ උනා මේසෙ උඩ තිබ්බ එයාගෙ අත උඩින් මගේ අත තියන්න. එයාගෙ ඇඟිලි අතරෙ මගේ ඇඟිලි හිරකරගෙන එක එයාගෙන් අහන්න."
එදා සවස ඔහු තම අවංක හැඟීම් මන් ඉදිරියෙ දිග ඇරියෙ එහෙම. මන් කිසිවක් කිව්වෙ නෑ. ඔහුගේ මුහුණ දිහා බලාගෙන හිටියා විතරයි. මොකද කෙලවරක් නැතිව එලියට එන ඔහුගේ හැගීම් වලට මගේ වචන විරාමයක් වෙනවට මන් කැමති උනේ නෑ.

"ඒත් මට ඒකට බය හිතුනා. එයාගෙ උත්තරය මොකක් වෙයිද කියලා දන්නෙ නැතුව මට එයාගෙ අතින් අල්ලන්න බෑ"

ඇය කලක් තිස්සෙ ඔහු තමාගෙන් අසාවියැයි බලාපොරොත්තුවෙන් සිටි ප්‍රශ්ණය. ඇය කලක් තිස්සෙ ඔහුට දෙන්නට බලාපොරොත්තුවෙන් සිටි උත්තරය.
එහෙත් ඇය නිහඬයි. ඇගේ නිහඬ බව ඔහුගේ හදගැස්ම වඩා තීව්‍ර කලා.

මෙය කදිම කතාන්දරයක්. සිදුවූ හැම තප්පරයක්ම වචන වලට හරවා ඔබට ඉදිරිපත් කරන්නට තරම් හැකියාවක් මන් සතුව නොවුනත් මට ඔබට සහතිකවම කියන්න පුලුවන් එය කදිම කතාන්දරයක්. එදා ඔවුන් මේ මොහොත දක්වා ගෙන ඒම තෙක් සිදුවූ සියල්ල ඔබට දැකගත හැකි වූවනම් මෙය ඔබ දැක ඇති සුන්දරම ආදර කතාව බවට පත් වෙනවාට සැකයක් නැහැ. එහෙත් ඔහුව ලඟින්ම ඇසුරු කල මටවත් ඒ අවස්ථාව සියයට සියයක් සම්පූර්ණව ලැබුනෙ නෑ. නමුත් මන් ඒ ගැන දුක් වෙන්නෙත් නැහැ. මොකද එය ඔහුගේ කතාව. එය ඇයගේ කතාව. එය සම්පූර්ණයෙන්ම ඔවුන් දෙදෙනාගෙ. ඒ කතාවේ හැම වර්ගමිලිමීටරයකම ප්‍රේක්ෂකයන් වෙන්න අපි කිසිවෙකුටත් අයිතියක් නෑ.
මන් අද මේ ඔබට කියන්නෙ ඔවුන්ගේ කතාවෙ සාරාංශයක්. ඔවුන්ගේ කතාවෙ මා දන්නා කොටස. 

මේ කතාවෙ උද්වේගකාරී බව වැඩි වෙන්නෙ එදා ඇය දැක්වූ නිහඬතාවයත් එක්ක. එහෙත් ඊලඟ මොහොතෙදි දෛවය සැලසුම් කල පරිදි සියල්ල සිදු වෙන්නට පටන් ගත්තා. ඔවුන්ගේ හමුවීම අර්ථවිරහිත එකක් වෙන්න කිසිම විදියක් නෑ.
ඇය ඇගේ උත්තරය ලබා දුන්නා. ඔහු ඇගේ දෑත් තදින් අල්ලාගත්තා.

"මේ අල්ලගත්ත අත් දෙක මගේ ජීවිතේ පුරාවට මන් අතාරින්නෙ නෑ" ඔහු ඔහුගේ ආදර කතාවෙ රැජිනට ප්‍රතිඥා දුන්නා.

ඇය පෙර ආත්ම භවයන් ඇති බව තදින් විස්වාස කලා. ඒ වගේම ඔවුන් දෙදෙනාගේ ආදර කතාවටත් ආත්ම ගානක සම්බන්ධයක් ඇති බව ඇය විස්වාස කලා. ඔහු පෙර හෝ පසු ආත්ම භවයන් ඇති බවක් හෝ නැති බවක් ගැන තදින් විස්වාස කල අයෙකු නෙවෙයි. එහෙත් එක දවසක් ඔහු පැවසූ දෙයින් මට ඔහු ගැන පුදුම හිතුනා.

"මචන් මටත් හිතෙනවා අපි දෙන්නගෙ ආත්ම ගානක මොකක් හරි සම්බන්ධයක් ඇති කියලා. නැත්නම් ඇයි මට එයාව මේ තරම් දැනෙන්නෙ. මට මතකයි මන් එයාව පලවෙනි පාරට දැක්ක දවස. ආදරයක් කියලා හැඟිමක් එදා එයා ගැන මගේ හිතේ නොතිබ්බත් අනේ මන්දා බන්. එදා එයාව දැකපු ගමන් මට මොකද්ද වෙලා ගියා. හරියට මට කණට ගැහුවා වගේ. කණට ගහලා මේ කෙල්ල උඹේ කියලා කිව්ව වගේ"

ඔහු සැලසුම් මැව්වා. ඇයත් සමඟ ගෙවන අනාගතය ගැන ඔහු සැලසුම් මැව්වා. ඔහුගේ සිතේ ඇය ගැන තිබෙන ආදරය ගැන වෙලාවකට මටත් පුදුමයි. වෙලාවකට බොළඳ වෙලාවකට සංකීර්ණ නමුත් හැමවෙලේම ආදරණීය ඔහුගේ ආදරය ඔවුන්ගේ ජීවිත වලට අලුත් ආලෝකයක් එක් කලා. ඇගේ ආදරය ඔහුව ජීවත් කලා. ඔහුට මුලු ලෝකයම උනේ ඇය. ප්‍රශ්ණ වලින් මිරිකිලා විඩාවෙ උපරිමයටම ගිහින් ඉන්න මොහොතක ඇගේ එක වදනක් ඔහුව ස්වර්ගය වෙත ඔසවලා තිබ්බා. 

ඔවුන්ගේ ආදරය විස්තර කරන්නට හැකි තව වචන බොහොමයි. උපමා බොහොමයි. ඇය වෙනුවෙන් ඔහු කල කී දෑ වචන වලින් කීමට නොහැකි තරම් විශාලයි. ඔහු වෙනුවෙන් ඇය කල කී දේත් එලෙසමයි. මා ඔවුන්ගේ ආදරය දෙස මහත් ආශාවෙන් බලා සිටියෙ ඒ නිසාමයි.

එහෙත්.... කාලය මිනිසුන්ව වෙනස් කරන්නෙ කෙසේද යන්න ගැන මට කිසිම අවබෝධයක් තිබුනේ නෑ. මන් ඔබට දෛවයේ මුණ ගැස්වීම් ගැන උජාරුවෙන් පැවසුවා. ඒත් එක් දිනකින් පසුව ඒ උජාරුව මන් කෙරෙන් තුරන් වෙලා ගියා. මන් අදටත් මගෙන් ප්‍රශ්නයක් අසාගන්නවා.
"දෛවය අපිට ලබා දෙන්නෙ අපිට අයිති දේවල්මද?"

ඇයට යන්න අවශ්‍ය උනා. ඔහුගේ ආදරයෙන් මිදී තමන්ගේ ආදරය විනාශ කොට ඇයට යන්නට අවශ්‍ය උනා.
ඔවුන්ට එක් වීමට ප්‍රශ්ණ තිබුනු බව මමත් පිලිගන්නවා. එහෙත් ඒ කිසිඳු ප්‍රශ්ණයක් විසඳුම් රහිත ඒවා නොවුනු බව මට බය නැතුව කියන්න පුලුවන්.
එහෙත් ඇය බිය උනා. ඇය ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න බිය උනා. ප්‍රශ්නයෙන් පැන යාම ඊට වඩා පහසු මගක් බව ඇය සිතුවා. ඇය එක් දෙයක් අමතක කලා.
ආදරය කියන්නෙ එක විදියකින් එකිනෙකාට උදවු කරගැනීම. එකිනෙකාගෙ දුර්වලතා වලට සහයෝගයෙන් යුතුව විසඳුම් සෙවීම.

ඇයට මාලිගයක් අවශ්‍ය උනා. එහෙත් ඒ මාලිගය ඔහුත් සමඟ එකතුව ගොඩනගන්නට ඇයට අවශ්‍ය උනේ නෑ. එම මාලිගය ගොඩ නගන්නට ඔහුට දිරියක් වන්නටත් ඇයට අවශ්‍ය උනේ නෑ. ඇයට අවශ්‍ය උනේ තනා නිමකල මාලිගයක්. ඇයට බය නැතුව පය තබන්නට පුලුවන් ශක්තිමත් මාලිගයක්.
තරුණියක් විදියට ඇය බලාපොරොත්තු උන දේ ගැන මන් ඇයට සම්පූර්නයෙන්ම දොස් කියන්නෙ නෑ. ඇයත් නිවැරදියි. එහෙමත් නැත්නම් ඇය අසරණයි. ඇගේ සමාජය ඇය දෙස බලා සිටිනවා. ඇය ඔවුන්ට උත්තර බැඳිය යුතුයි. නමුත් ඇයට අමතක උනා ඇය දමා යන්නෙ ඇය වෙනුවෙන් මාලිගා දහසක් උනත් තැනීමට තරම් ආදරයක් දරා සිටින කෙනෙකු බව. ඔහුට අවශ්‍ය උනේ එක දිරිගැන්වීමක් පමණයි. 

එහෙත් අවසානයේ අනෙක් සියල්ල ඉදිරියෙ ඇයට ඔහුගේ ආදරය නොවටිනා දෙයක් බවට පත් උනා.

"මගේ ජීවිතේ හැමදේකදිම මන් එයාට දීලා තියෙන්නෙ පලවෙනි තැන. ඒත් එයාගෙ ජීවිතේ මට ලැබෙන්නෙ අන්තිම තැන"
ඔහුගේ වේදනාව ගැබ් උන වචන මට තවමත් සිහිපත් වෙනවා.

ඔහු රැඳෙන්න හේතු හොයද්දි ඇය යන්න හේතු හෙව්වා. කෙනෙක් යන්න තීර්ණය කලාට පස්සෙ එයාව නැවත රඳවගන්න බෑ. නමුත් අවාසනාව ඔහුට එය නොතේරුන එක. එහෙමත් නැත්නම් එය පිලි ගැනීමට තරම් හිත ගලක් කරගැනීමට ඔහුට නොහැකි වීම. ඔහු දිගින් දිගටම ඔහුගේ ආදරය වෙනුවෙන් සටන් කලා. එහෙත් ඇය ඇගේ සටන අතහැරලා තිබුනේ සටන පටන්ගන්නතත් කලියෙන්.

"එයාට යන්නම ඕනෙනම් එයාට යන්න දීපන්. උඹව වටින්නෙ නැති කෙනෙක් ගැන ඇයි උඹ ඔයි තරම් වදවෙන්නෙ. උඹේ ආදරේ නිකම්ම නිකන් වචනයක් විතරක් කියලා හිතන කෙනෙක් වෙනුවෙන් ඇය උඹ මැරෙන්න හදන්නෙ. උඹේ ආදරේ දැනෙන්නෙ නැති කෙනෙක් වෙනුවෙන් ඇයි උඹ උඹේ ජීවිතේ නාස්ති කරගන්න හදන්නෙ"
මන් ඔහුට කෙතරම් උපදෙස් දුන්නත් ඒවා මොලයට ඇතුළු කරගන්න තරම් දැඩි හිතක ඔහුට කවදාවත් ඉන්න පුලුවන් උනේ නෑ.

ඔහු හැමදාම මගෙන් ඇහුවෙ එකම එක ප්‍රශ්නයක් විතරයි.
"එයා කොහොමද බන් මෙහෙම හිත ගල් කරන් ඉන්නෙ?"

නමුත් අවසානයේ..... ඔහු ඇයට යන්න දෙනවා. ඔහුගේ ජීවිතයෙන් ඇයට නිදහස ලබා දෙනවා. ඇයට අවශ්‍ය වූ නිදහස. ඇගේ සතුට ඇත්තෙ ඔහු ඇගේ ජීවිතයෙන් සමු ගැනීම තුලනම්, ඔහු තව දුරටත් ඇගේ ජීවිතයට වදයක් වෙමින් සිටීමේ තේරුමක් නෑ. ඔහු ආයාසයෙන් හෝ එය වටහා ගන්නවා. අඩුම ගනනෙ ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු හෝ අද සතුටෙන්.

මෙය සමාජයේ නිතර දැකිය හැකි තවත් එක කතාවක් පමණක්යැයි ඔබ සිතනවා ඇති.
"අපෝ ඕවා කොයි තරම් වෙනවද?"
"මොකද්ද මේ කතාවෙ තියෙන අමුතු විශේෂත්වෙ?"
"මේක මේ සාමාන්‍ය කතාවක්නෙ"
"අයියෝ ඕවනම් අපිටත් වෙලා තියෙන්නෙ"
"කොයි කාටත් වගේ වෙන නෝමල් දේවල්නෙ ඉතින් මේවා"
මෙවැනි දහසක් දේවල් ඔබෙ හිතේ ඇති වෙනවාට කිසිඳු සැකයක් නෑ. මන් ඒ ගැන ඔබට දොස් කියන්නෙත් නෑ. මොකද ඇත්තෙන්ම මෙයත් එක්තරා සාමන්‍ය කතාවක් පමණයි.
ඒත් මන් අද ඔබට මේ කතාව කිව්වෙ හේතුවක් ඇතිව. මොකද මෙවැනි කතා සමාජයේ බහුලයියැයි හඬ නගන ඔබ, කිසි දිනෙක තවත් මෙවැනි කතාවක් ඇති නොවීමට කිසිඳු උත්සහයක් නොගන්න නිසා. 
ඔහුගේ වේදනාව මන් දුටුවා. යහළුවෙක් විදියට ඒ වෙනුවෙන් මට කල හැකි එකම දේ වුනේ ඔහුට ඇහුම්කම් දීම විතරයි. ඇගේ යෙහෙළියක් ඇය වෙනුවෙන් කුමක් කරන්න ඇද්ද? ආදරයක් ඇති කරගැනීම පහසුයි. ඒත් එය පවත්වාගෙන යෑම අසීරුයි. යහළුවන් යෙහෙළියන් විදියට අපිට වගකීමක් තියෙනවා. ආදරයක් ඇති කරන්නටත්, නැති කරන්නටත් අපගේ යාලුවන්ගේ දායකත්වය ඉතා දැඩිව බලපානවා. මන් ඔබට මේ කතාව කිව්වෙ අන්න ඒ හේතුව නිසා. ඔබත් කාගෙ හෝ යහළුවෙක්, යෙහෙළියෙක්. ඔබේ වචන ඔබේ යහළුවාගේ යෙහෙළියගේ ජීවිතයට බලපන්නේ කුමන අකාරයෙන්ද යන්න තවත් වරක් සිතා බලන්න.

දෛවය... සෑම විටම එය අපව අතරමන් කරනවා. හමුවීම්, වෙන්වීම්. සැබැවින්ම දෛවයට අපෙන් අවශ්‍ය දේ කුමක්ද? දෛවය විසින්ම මුණගස්සවලා දෛවය විසින්ම වෙන් කරවනවා. ඒ අතරමැද හිරවෙන මිනිස් හැඟීම් ගැන දෛවයට කිසිම අවබෝධයක් නෑ.  ඇත්තටම ඔවුන්ගේ හමුවීම අර්ථවිරහිත එකක්ද?

බිමට යොමාගත් විඩාබර දෑසින් යුතුව ඔහු කොලයක කුමක්දෝ කුරුටු ගාන අයුරු මන් දුටුවා. මන් ඒ කොලයට එබුනා. එය පුංචි කවියක්

ඔබ එනතුරු සිටියා මම              බලාගෙන
ඔබ ගිය මග දෙස මගෙ නෙතු    යොමාගෙන
කොපමන බලා සිටියත් නෙත්       අයාගෙන
ඔබ එන්නෙ නැහැ යලි මා         සොයාගෙන

"එයා ආයෙ එන්නෙ නැති බව දන්නවනම් ඇයි තවත් බලන් ඉන්නෙ?"
මගේ ප්‍රශ්ණෙට ඔහු කොලේ දිහා බලාගෙනම උත්තර දුන්නා.

"මොකද මන් තාමත් එයාට ආදරේ නිසා"

Tuesday, March 4, 2014

හෙට...


දෙගුරුන් සනසවා
තම සෙනෙහෙ සඟවා
සිතක දුක් පුරවා
කුමරි යාවිද
මුදුව පලඳා

Wednesday, February 19, 2014

එක නිමේශයෙන්

කල්පාන්තය එනතුරා
සිටීයැයි ලඟ දිවුරලා
එක නිමේශයෙන් නුඹ
ඇදි ගිහින් දුර
ඈතක සැඟවීලා

මගේ උර මත හිත තබා
නිදා උන් හැටි නෙතුපියා
මතක පමණක් මට තියා
ඔබ කොහේද ඈතක ඉගිලිලා

ඔබේ ලැමැදේ මා හොවා
සුවය දෙන බව මුමුණලා
වචන පමණක් මට තියා
ඔබ මගේ සිහිනෙන් පියඹලා

Wednesday, February 12, 2014

ඔබට ආදරෙන්...

හුරතල් හිනාව ඔබේ
මත මුව තබමින් මගේ
ඉන්න දෙන්න මුලු දිවිය පුරාවට
විඳිමින් ආදර සුවේ

හීන කන්ද හිත් ලොවේ
නෙතු අභියස හැඩ මැවේ
ඔබට තුරුළු වී සෙනෙහස විඳිනට
ආශාවන් ගොඩ ගැහේ

තාලෙට හැඬවෙන හදේ
නාදය සවනේ වැදේ
ඔබටම පුද දුන් පෙම් සිත අරගෙන
තුරුලෙම ඉන්නට සිතේ