Monday, November 19, 2012

අතික්‍රමණය - පළමු කොටස

"අනුවා හෙට මොකද වෙන්නෙ" චමියා මගේ මේසේ එහා පැත්තෙන් තිබ්බ පුටුවෙ වාඩි වෙන ගමන් ඇහුවා.
"මොනා වෙන්නද බන්. හෙට ඉතින් බෝඩිමට වෙලා ඉන්නවා." මම පරිඝණක තිරයෙන් ඇස් දෙක ගන්නෙ නැතුවම උත්තර දුන්නා.
"හ්ම්ම්... එහෙමද?" චමියා පුටුව ටිකක් මෙහාට ඇදලා ගත්තා. මූ මේ එන්න හදන්නෙ මොකාටද?
"ඇයි මොකෝ හෙට වෙන්න ඕනේ" මගේ ඇස් තාම පරිඝණක තිරයෙ.
"නෑ මචන්. උඹව හෙට පොඩි ගමනක් එක්ක යන්න ඇහුවෙ. උඹ හෙට ෆ්‍රීනේ. වරෙන් යන්න මා එක්ක. උඹට  හොඳ එක්ස්පිරියන්ස් එකක් අරන් දෙන්න හදන්නෙ."
මන් ඒ සැරේ ඔලුව උගේ පැත්තට හැරෙව්වා.
මචන් මන් දන්න පොඩි පොට් එකක් තියෙනවා. මන්නම් නිතර යන තැනක්. ගාන දාහයි. හෙට යමන් මාත් එක්ක. උඹ ගිහින් නෑනෙ මීට කලින්" ඌ මගේ ලඟට මූණ ලන් කරලා හීනියට ඇහැක් ගැහුවා.
"පොට් එකක්?" මන් උගේ මූණ දිහාම බලන් හිටියා.
"මසාජ් සෙන්ටර් එකක් යකෝ මසාජ් සෙන්ටර් එකක්"
මගෙ කට එක පාරටම ඇරුනා.
"පිස්සුද යකෝ? මන් එන්නේ නෑ ඕවට යන්න. තෝ වෙන ඕනේ එකෙක් එක්ක පලයන්"
මන් ආයෙත් පරිඝණක තිරය ඇතුලට ඔලුව ඔබා ගත්තා.
"මේ නිකන් පොන්නයෙක් වෙන්න හදන්න එපා යකෝ. ඔය ගෑනු ගති දැන්වත් අත ඇරගනින්. මන් ඒකයි තොට අඬගැහුවෙ"
චමියා හයියෙන් පුටුවෙන් නැගිට්ටා. ඌ නැගිට්ට වේගෙට පුටුවත් පොඩ්ඩක් පිටිපස්සට විසි උනා. මට එහා ටේබල් එකේ හිටපු චාරුණීත් හැරිලා බැලුවා. ඒකිටත් ඇහුනද මන්දා?
ටික වේලාවක් මට දිගින් දිගටම පෙරෙත්ත කල චමියා ටිකකින් යන්න ගියා. උගේ යෝජනාව මගේ හිත ඇතුලෙ මොකද්දෝ අමුතු පෙරළියක් කරන බව මට දැනුනත් ඒ වගේ නුහුරු දේකට යොමු වෙන්න තරම් මගේ හිත එක්ලස් කරගන්න හැකියාවක් මට තිබුනේ නෑ. ගෑනු ගති!!!. මගේ සමහර ගතිගුණ චමියා අර්ථ දැක්වුවෙ එහෙමයි. මාසෙ ගොඩක් දවස් වල ක්ලබ් වල රැය ගත කරන,  සිය ගණන් ගෑනුන්ව ඇඳන් උඩට අරන් ගියපු, ඇල්කොහොල් වලින් ලේ වෙන් කරගන්න බැරි තරමටම බෝතලයත් එක්ක මිතුරුව සිටි චමියට මාව එහෙම පෙනුන එක පුදුමයක් විදියට මට දැනුනෙ නෑ.

"මචන් මට තාම මිස් උනේ ඉන්ග්‍රීසි හෝඩියෙ අකුරු දෙක තුනක් විතරයි." මිනිහත් එක්ක යහන් ගත උන ගැණු ගැන පොර කිව්වෙ ඒ වගේ කතාවක්.
පාසැල් කාලයේ ඇතිවී පාසල් කාලයේදීම අවසන් උන ප්‍රථම ප්‍රේමය ඇරුනු කොට වෙන කිසිම පෙම් හබයක පැටලිලා තිබුනෙ නැති මම ගොඩක් වෙලාවට ඒ කතා අහගෙන හිටියෙ ලොකු පුදුමයකින්.
ඇත්තටම මචන් කෙල්ලො එනවද බන් ඔහොම. මටනම් හිතාගන්නවත් බෑ" ඔහුගේ ඉවරයක් නැති කතන්දර සමූහය මැද දවසක් මම ඇහුවම ඔහු දුන්නෙ හරි අපූරු උත්තරයක්.
"කෙල්ලො කියන්නෙ හරි පුදුම ජාතියක් මචන්. ලෝකේ අල්ලගන්න අමාරුම කෙල්ලත් සාමාන්‍ය ගානට වඩා පොඩ්ඩක් වැඩියෙන් ටෝක් කරොත් අල්ලගන්න පුලුවන්."
ඔහුගේ කතා මට හැමදාම සුරංගනා කතා වගේ උනා. හැබැයි ඒවා බොරු නෙවෙයි කියන දේ ඔප්පු උනේ අපේ ඔෆිස් එක ඇතුලෙම ඊට ඕන කරන සාක්ශි කීපයක්ම තිබ්බ නිසයි.
"මචන් මේ ඉන්න ටිකේ ආතල් එක අරන් ඉඳින්. එච්චර තමා ඉතින් ඉතුරු වෙන්නෙ" ඔහුගේ කටේ නිතරම තිබ්බ දෙබසක් ඒක. විටින් විට ඒ නිසාම මාත් ඔහුව අනුකරණය කිරීමට සූදානම් උනත්, මගේ අභ්‍යන්තර සිතුවිලි දාමය විසින්ම සෑම විටකදිම මාව වැලැක්කුවා. මගේ හිත ඇතුලෙ තිබුනු ඒ සිතුවිලි පොරය ඔහුට වැටහී තිබුනු මව මට තේරුම් ගියේ එදා පළමු වරට ඔහු ඒ කල යොජනාව නිසයි. කෙසේ උනත් ඒ අවසන් අවස්ථාවනම් උනේ නෑ.

එදායින් පසු දින කීපයක්ම ඔහු එලෙසම මට කතා කලා. නමුත් මගේ සිතිවිලි පොරයෙන් හැමදාමත් ජයගත්තෙ මා තුල තිබූ එකම සිතුම් පැතුම් රටාවම වීම විටෙක මටම හිසරදයක්ද උනා. අවසානයේ එක් දිනෙක මම ඔහුගේ ආරාධනයට කැමැත්ත පළ කලේ ඒ හිසරදයට එකම පිළියම මෙය වූ බවයැයි මට තදින්ම හැගී ගිය නිසාටත් වඩා, මගේ හිත තුල ගොඩනැගෙමින් තිබුන අධික කුතුහලය නිසායි කීවොත් මම නිවැරදියි.
"ඔන්න ඔහොමනෙ බන් ඉන්න ඕනෙ. අන්න ඔහොම කොල්ලෙක් වගේ වැඩ කරපන්."
ඔහුගේ වචන මගේ හිතට පොඩි උද්දාමයකුත් ඇති කලා.

පහුවදා, සෙනසුරාදා, නිවාඩු දවස.... බෝඩිමෙන් පිට වෙන්න කලින් මම පැයක් පමණ කණාඩිය ඉදිරිපිට හිටියෙ මගේ සුපුරුදු දින චර්යාවෙන් බැහැරට ගිහින්. බෝඩිමේ දොරත් අගුළු දමා පිටතට පැමිණි පසුවත් ආපසු බෝඩිම තුලට දිව ගොස් කොලෝන් බෝතලය යහමින් ඇගේ තවරාගත්තෙ, කලින් ගැල්වූ කෝලොන් වල සුවඳ මැකි ගොස් ඇති බවක් දැනුන නිසයි. කොහොම උනත් පමා නොවී පොරොන්දු උන වෙලාවටම බම්බලපිටිය හන්දියේ ඉන්න මට පුලුවන් කම ලැබුනා. නමුත් චමියා එතනට ආවේ ඊට පැය භාගෙකට විතර පස්සෙ. ඒකත් කෝල්ස් 10ක් විතර දෙන්න උනා. ඒ තරම් දිග පැය භාගයක් මගේ ජීවිතේ අත්විඳපු පලවෙනි පාර.
බම්බලපිටියේ අතුරුපාරකට ඇතුලු වෙලා පොඩි දුරක් පයින් ඇවිද්දට පස්සෙ අපි චමිය කිව්ව තැනට ඇතුලු උනා. '....... මජාස් පාලර්' ගේට්ටුව ඉස්සරහා ලොකු බෝඩ් එකක්.
"ඒ මචන්.. බෝඩ් එහෙමත් දාලානෙ. පොලීසියෙන් ලෙඩක් නැද්ද?" මට පොඩි බයකුත් ඇති උනා.
"පිස්සුද බන්. මසාජ් සෙන්ටර් කරන්න තහනම් නෑනෙ. අනිත්වා කෙරෙන්නෙ ශේප් එකේනෙ බන්. අනික පොලීසියටත් කුට්ටියක් යනවා"
ඒ උත්තරය මාව ලොකූ සෑහිමකට පත් නොකලත් පවත්නා ජමාජ ක්‍රමයේ තත්වය ගැන මට ඇති උනේ විශාල විමතියක්.
 "යමන් යමන් ඇතුලට. මතකනෙ මන් කියලා දුන්න ඒවා" චමියා ඉස්සර උනා. මන් ඔහේ උගේ පස්සෙන් වැටුනා. මට දැනුනේ කකුල් දෙක මගේ පාලනයකින් තොරව ඇවිදිනවා වගේ. පපුවෙ ලබ් ඩබ් ශබ්ධය කෝච්චි එන්ජිමක් තරමට වර්ධනය වෙලා තිබුනා. ඇතුලට ගියපු චමියා පිලිගැනීමේ කවුන්ටර් එකේ හිටපු මැදි වයසෙ පිරිමි මනුස්සයත් එක්ක කතා කලා. කතා බහ අවසානයේදි චමියා මන් දිහාවට හැරුනා.
"අනුවා මෙහාට වරෙන්....... මේ තමයි මගේ යාලුවා. පොඩ්ඩක් අලුත්."
මැදි වයසෙ මනුස්සයා මන් දිහා බලලා පොඩි හිනාවක් දැම්මා. ඒ හිනාව ඇතුලේ තිබ්බෙ මොන වගේ හැඟීමක් උනත් ඒක මාව පොඩි අපහසුතාවයකට පත් කලා. මගේ ඔලුව සැනෙකින් බිමට හැරවුනේ ඒ නිසාමයි.
"කවුද ඇවේලබල්..... අපේ යාලුවට  හොඳ කෙනෙක් දෙමු නේ" චමියා මගේ දිහාවට හැරිලා මට ඇහැක් ගැහුවා.

සුලු මොහොතකින් කෙල්ලන් පස් දෙනෙක් අපේ ඉදිරියේ පෙළ ගැහුනා. කාමරේ ඇතුලෙ රස්නය වැඩි උනා වගේ. මගේ නලල දිගේ හීනි දාඩිය බින්දු කීපයක් බේරුනා.
"ඔන්න කැමති එකක් සිලෙක්ට් කරගනින්" චමිය කෙඳිරුවා.
මට ඒකත් ඇහුනේ හෙන ඈතින් වගේ. මුලු ඇඟම ගල් වෙලා.
තවත් මොහොතක් එහෙමම ගත උනා.
"ඉක්මනට යකෝ"
හරියන්නෙ නෑ. මේක දැන් ආයෙ හැරෙන්න වෙලාව නෙවෙයි. මගේ අත ඉබේම එසවුනා.
"මෙයා" අතත් එක්කම කටත් ඉබේම එසවුනා.
මගේ එසවුනු අත ඉදිරියෙ හිටියේ අවුරුදු 25ක විතර කෙල්ලෙක්. කොන්ඩෙ ස්ට්‍රේට් කරලා. කලු ඩෙනිමයි නිල් පාට කොලර් නැති ටී ශර්ට් එකක් ඇඳලා. මොකක් හරි හේතුවක් නිසා. මගේ ඇහැ නැවතුනේ එයා ලඟ.
"ඔය තියෙන්නෙ කොල්ලො. නියම සිලෙක්ශන් එක ආ.... එහෙනම් ඕල් ද බෙස්ට්. මතකනෙ කියපුවා" චමියා මගේ කනට මැතිරුවා. 
ඊලඟ මොහොතෙදි මන් තොරගත්තු කෙල්ල මාවත් එක්කරගෙන ගියේ ඇතුලෙ තිබුනු කාමරයකට.
"සර්, වොශ් එකක් දෑගෙන ඇවිත් ඇඳේ හාන්සි වෙන්න. අන්න බාත් රූම් එක" කාමරේ එක් කෙලවරක තිබූ බාත් රූම් එක වෙත අත දිගු කල ඇය කාමරයේ දොර වසා දැමුවා.

-මතු සම්බන්ධයි-

Tuesday, October 30, 2012

ආයෙ මල් පිපේ

සැඩ හිරු සැඟවේ
වැහි පබලු වැටේ
වියලුනු කතරේ
ආයෙ මල් පිපේ

උණුසුම් සුළඟේ එතෙමින්
දැවි දැවි නෙත් හැඬුවා
හදිස්සියේ වැහි සීතල
ගෙන සුළඟක් හැමුවා

වැහි සුළඟින් පොලව පුරා
අමුතු රටා ඇඳුනා
ඒ මැද මල් පිපෙන අයුරු
දැක මගෙ හද නැටුවා

Friday, October 12, 2012

හිත් පැපරාසි

ඔහු දැඩිව හින්දි ගීත ප්‍රිය කරන්නෙක්. කොටින්ම හින්දි සින්දු පිස්සෙක් කිව්වොත් මන් නිවැරදියි. ගිතයක කොටසක් ඇහෙද්දි, ඒම ගීතය අඩංගු චිත්‍රපටය, එහි රඟපාන ප්‍රධාන නලු නිලියන් පවා නිවැරදිව කීමේ අපූරු මතයකයක් ඔහු සතුව තිබුණා. ඔහුගේ මුවේ හින්දි ගීතයක් මිමිණුනේ නැති වෙලාවක් තිබුනේ නැති තරම්. ඇතැම් වෙලාවල් වල මම හිතුවා ඔහු නොදන්න එකම හින්දි ගීතයක්වත් මේ ලොකේ නැතුව ඇති කියලා. ඒත්..... ඒක දවසක්.... මගේ ඒ සිතිවිල්ල බොරුවක් උනා. ඔබට ඒ තරම් පුදුමයක් වෙන එකක් නෑ. නමුත් මන් ගොඩක් පුදුම උනා. මොකද ඔහුට එය මග ඇරේවි කියලා ඔහුව දන්න කිසිම කෙනෙක් කවදාවත්ම හිතන එකක් නෑ. ඒත් එය ඒසේ උනා.
ඇය ඔහුට ඒ ගීතය ගැන කියනකම්ම ඔහුගේ මනසේ විශේෂ තැනක් ඒ ගීතය වෙනුවෙන් වෙන් වෙලා තිබුනේ නෑ. කොටින්ම ඒ ගීතය මීට පෙර අසා ඇති බවට මතයකයක සලකුණක්වත් ඔහුට හොයාගන්න පුලුවන්කමක් තිබුනෙ නෑ. නමුත් එදා... ඒ ගීතය ඔහුගේ ජීවිතේ අලුත් වෙනසක් ඇති කලා. ඔහු ඇහුවා. ආයෙත් ඇහුවා. ආයෙමත්...... ආයෙමත්..... එදා දවස පුරාවටම ඔහුට  අහන්න වෙන කිසිම දෙයක් තිබුනෙ නෑ. දවස අවසාන වෙද්දි ඔහු සම්පූර්ණයෙන්ම ඒ ගීතයේ උන්මත්තකයෙක් වෙලා හිටියා. ඔහු පුදුම උනා. මෙතෙක් කාලයක් මේ ගීතය ඔහුට මග ඇරිලා තිබුන එක ගැන. ඒත් එක්කම ඔහු සතුටු උනා. මොකද තමන් මේ තරම් උන්මත්තකයෙන් උන මේ සින්දුව ගැන තමන්ව දැනුවත් කලේ 'ඇය' උන නිසා. එදා පටන් ඔහුගේ ප්‍රියතම ගීතය උනේ ඒක. ඔහු හැමදාම ඒ ගීතය ඇහුවා. ඒ අහන හැම වාරයක්ම ඔහුගේ මනසෙ මැවුනේ ඇයව. ඇය ලඟ හිටපු කාල වලදි ඔවුන් හැමදාම ඒ ගීතය ගැන කතා කලා. ඒ වගේම ඇය ලඟින් නොසිටි කාල වලදි ඒ ගීතය ඇයගේ සුන්දර මතකයන් ඔහු වෙත අරගෙන ආවා. ඒ නිසාම ඔහු ඒ ගීතයට තවත් තදින් ඇළුම් කරන්න පටන් ගත්තා.
'ඇය'....... ඇයව ඔහුට හමුවන්නෙ අහම්බයකින් වගේ. නමුත් ඒ වචනයට ඔහු නම් තදින්ම විරුද්ධයි.
"ලොකේ කිසිම දෙයක් අහම්බයක් නෙවෙයි. හැම දේම වෙන්නේ හේතුවක් ඇතුව, සැලසුම් සහගත විදියකට"
ඒ ඔහුගෙ වචන.
මන් ඔහුත් එක්ක තර්ක කරන්න යන්නෙ නෑ. මොකද මාත් ඒ දේම විශ්වාස කරන නිසා. ඒත් මටනම් ඒ සිදුවීම හැමදාම පෙනුනේ අහම්බයක් විදියටමයි. 
ඔහුට කවදාවත්ම ඇය වගේ කෙනෙක් මීට කලින් හමු වෙලා තිබුනෙ නෑ. ඒක නිසාම ඇගේ එකතුව ඔහුගේ ජීවිතේ ලොකු පෙරළියක් ඇති කලා. ඇගේ මිත්‍රත්වය ඔහුගෙ ජීවිතේට ලොකු සතුටක් එකතු කරා. ඔවුන් කතා කලා, හිනා උනා. ආයෙ කතා කලා, ආයෙ හිනා උනා. ඔවුන්ට එක දෙයක් අමතක උනා. අඬන්න, දුක් වෙන්න. ඔව්. ඔවුන් කවදාවත්ම ඇඬුවෙ නෑ. මොකද ඔවුන්ගේ කතා බහේ හැමදාම තිබුනේ සතුට විතරමයි. ඇය ඔහුව හැමදාම ඔසවල තිබ්බා. ඔහුගේ ජීවිතේට දිරි දුන්නා. ඔහුත් එහෙමයි. ඇය ඔහුගෙන් බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඔහුත් ඇයගෙන් බොහෝ දේවල් ඉගෙන ගත්තා.
ලෝකෙ උද්යෝගීමත්ම කතා බහ ඇති උනේ කා අතරද කියලා කෙනෙක් මගෙන් අහුවොත්, මට කිසිම සැකයකින් තොරව ඔවුන් දෙදෙනාව නම් කරන්න පුලුවන්. වෙලාවකට මට හිතුනා ඔවුන් දෙදෙනාම එක්කෙනෙක්ද කියලත්.
"දර්පණ ප්‍රතිබිම්බය"
ඔහු ඒකට කිව්වෙ ඒ වගේ නමක්.
ඇයගේ හිතේ ඔහු ගැන ඇත්තෙ මොන වගේ හැඟීමක්ද කියන එක ගැන ඔහු කවදාවත්ම හිතුවේ නෑ. ඔහු ඒ ගැන වද උනෙත් නෑ. ඒත් ඔහු හිතුවා, තමන්ගෙ හිතේ ඇය ගැන තියෙන්නෙ මොන වගේ හැඟීමක්ද කියලා.  කෙනෙක් කියයි ඔහුගේ හිතේ ඇය ගැන ක්‍රශ් එකක් තිබුනා කියලා. මන්දා. මට ඒක සහතිකෙටම කියන්න පුලුවන් කමක් නෑ. මන් හිතන්නෙ ඔහුටත් බෑ. මොකද ඔහු හැමදාම හිතුවා විතරයි. උත්තරයක් ලැබුනේ නෑ.
මිතුරිය? සහෝදරිය? ආදරවන්තිය?
ඔහුට කවදාවත්ම ඔහුගේ හිතේ ඇය ගැන තිබ්බ හැඟිමට හරි නමක් දෙන්න පුලුවන් කමක් ලැබුනේ නෑ.
නමුත් ඔහු එක දෙයක් තේරුම් අරන් හිටියා.
ඇය විශෙෂයි!!!
ඇය ඔහුට අතිශය විශේෂ කෙනෙක්.
කෙසේ වෙතත් ඔහු හැමදාම නොවරදවා එක දෙයක් කලා. ඔහුගේ ප්‍රියතම හින්දි ගීතයට සවන් දුන්නා.
කාලය ගෙවුනා. ප්‍රශ්ණ කියන දේ කාටත් පොදුයි. ඔහුටත් ප්‍රශ්ණ තිබ්බා. ඒ වගේම ඇයටත්. ඇය කොයි වෙලෙත් සරළ ජීවිතයකට ප්‍රිය කල කෙනෙක්. ඒත් ඒ සරළ ජීවිතය ඇයගෙන් ගොඩක් ඈත් කරන තරම් ඇයටම ආවේනික උන ප්‍රශ්ණ කීපයක් ඇයට තිබ්බා. ඇය කවදාවත් ඒ ප්‍රශ්ණ ගැන ලොකුවට කතා කලේ නෑ. ඔහුට ඕනේ උනා ඇයට උදවු කරන්න. ඒත් ඇය...... ඇය ස්වාධීනයි. ඇයට ඕනේ උනේ ඒ දේවල් ඇය විසින්ම විසඳගන්නයි. ඔහුට ඇයව තනි කරන්න ඕනේ උනේ නෑ. ඒත් ඇගේ ආත්ම ශක්තියට ඔහු හැමදාමත් ගරු කලා.
අන්තිමේදි දවසක්....... ඇය යන්න යනවා......
එකම එක පොරොන්දුවක් විතරක් ඔහුගේ ජීවිතේට බද්ධ කරලා.
"මගේ ෆෝන් එකට කවදාවත්ම කෝල් කරන්න එපා"
ඔහු අදටත් ඒ පොරොන්දුව රකිනවා. ඔහුට ඇයව සම්බන්ධ කරගන්න තියෙන එකම මග ඒක. නමුත් ඔහු පොරොන්දුවක හිර වෙලා. ඒ දුරකතන අංකය තවමත් ක්‍රියාත්මක වෙනවද කියන්නවත් ඔහු දන්නෙ නෑ. ඔහුගේ ඇඟිල්ල හැමදාමත් ඒ අංකය මත නතර වෙනවා. ඒත්.....
හ්ම්ම්ම්. ඔබ කියාවි පිස්සෙක් කියලා. මෝඩයෙක් කියලා. තව නොයෙක් දේවල්..... වෙන්න පුලුවන්. ඒත් අද ඔහුගේ හිත ඇතුලට පැපරාසියෙක් උන මට තේරුම් ගන්න පුලුවන් ඔහුගේ හිතේ තියෙන සැබෑ හැඟීම.
"ඔයාව මට කවදාවත්ම අමතක කරන්න බැරි කෙනෙක්"
යන්න මොහොතකට කලින් ඇය කිව්ව අන්තිම වදන් ටික ඔහු හැමදාමත්ම සිහිපත් කරනවා.
ඔවුන් දෙදෙනාටම අද ඉතුරු මතකයන් විතරයි. හ්ම්ම්ම්. කවදා වෙනකම්ද? බාග විට මැරෙන තුරාවටම......
මේ සටහන ලියන්න මාව පෙලඹවෙව්වෙ එක කරුණක්. මොකද අද එක දෙයක් උනා. ඔහු ඔහුගෙ දිනපතා කරපු පුරුද්ද අත අතඇරියා. ඔව්. අද ඔහු ඒ ගීතය තව දුරටත් දිනපතා අහන එක නැවැත්තුවා. ඒ වෙනුවට ඔහු ඒ ගීතය ඇගේ දුරකතන අංකයට ආවේනික නාද මාලව ලෙස සකස් කලා.
"මගේ ෆෝන් එක රින්ග් වෙද්දි ඒ සින්දුව ඇහෙන්නෙ කවද්ද, එදාට තමයි මන් ආයෙ ඒක අහන්න ගන්නෙ."
වෙලාවකට මට හිතෙනවා ඔහු ඕනවට වඩා බොලඳද කියලත්. මොනවා කරන්නද? මිනිස්සුනේ අපි මිනිස්සුනේ....
දැන් අද ඉඳන් ඔහු බලන් ඉඳිවි. දිගින් දිගටම බලන් ඉඳිවී. කවදා වෙනකම්ද කියලා ඔහුවත් මමවත් දන්නෙ නෑ. හැබැයි ඔහුට බලාපොරොත්තුවක් තියෙනවා. මම ඔහුට සුභ පතනවා. මට කරන්න පුලුවන් එකම දේ ඒකයි.
ඔහුත් ඇයත් දෙදෙනාම ප්‍රිය කල තවත් හින්දි ගීතයක් මට කොහේදෝ ඈතකින් ලාවට ඇහෙනවා. එයින් එක් පද පේලියක් මේ මොහොතේ මගේ හිත තදින්ම ඇදගන්න සමත් උනා.
"ඉන්තසාර් කබ් තක් හම් කරේන්ගේ භලා"
(කොපමණ කාලයක් මා ඔබ වෙනුවෙන් බලාගෙන ඉන්නද?)

Monday, September 24, 2012

මා දුටු පොත් පදර්සනය

මම පහුගිය සෙනසුරාදා එකෙ තිබ්බ පොත් පදර්සනය බැලීමට ගියෙමි. මා එහි යන විට ගොඩක් අය ඇවිත් සිටියමුත් මම අඳුරන කවුරුත් ඇවිත් නොතිබ්බෙමි. එම නිසා මම උදේ නවයේ සිට ගේට්ටුව ගාව බලා සිටියෙමි. අන්තිමේ බැරිම තැන අමම ඇතුලට ගියාය. එහිදි මට අපේ බ්ලොග් ලියන මාමිලා නැන්දිලා කිහිප දෙනෙකු හමු උනාය. සිහින මාමා,  අමිල මාමා හසී නැන්දා සමඟ ඕනයා සීයා හා වෙනි සීයාද සිටියේය. පසුව අක්කාද පැමිණ අපිට එකතු ඌවේය. අපි බොහෝ වෙලාවක් යනතෙක් පොත් නරඹමින් එහේ මෙහේ ඇවිද්දේය. පොත් ගැනීම සඳහා ගොඩක් පිරිසක් පැමිණ සිටියේය. ලස්සන ලස්සන ඇඳුම් ඇඳගත් අක්කලා නන්ගිලා නැන්දිලා බොහොමයක් ඒ අතර සිටියේය. එහෙත් අයියලා මල්ලිලා හා මාමලා වැඩි දෙනෙකු මම නොදුටුවෙමි. පූසා මාමත් පසන් මාමාත් අපිට එකතු ඌයේ ටික වෙලාවකට පසුවය. ඕනයා සීයා අපිව වට කරගෙන ලස්සන කතන්දර කියා දුන්නාය. ඒ කතන්දර මට කවදාවත් අපේ ටීටර් කියාදී නැත. වෙනි සීයා එයාගෙ කැමරාව ගෙන පොටෝ ගත්තාය. එහෙත් ඒ කැමරාවෙන් ගත හැක්කේ අක්කලා නන්ගිලා නැන්දිලාගෙ පමණක් බව මට කියා දුන්නේ හවස පැමිණි වැප් මාමාය. මන් පොටෝ වලට සිටීමට ගොඩක් කැමතිය. ඒ නිසා අනිත් පාර අපිවත් පොටෝ ගන්න පුලුවන් කැමරාවක් අරන් එන ලෙස මම වෙනි සීයාට පැවසුවෙමු. රාජ් මාමා, ප්‍රදීප් මාමා, රන්දිකා නැන්දි. සානිකා නැන්දි, ටිටූ මාමා අතුලු තව ගොඩක් දෙනෙක් මට මුණු ගැසුනේය. ඔවුනේ නම් ලියන්න ගියොත් මට මගේ නමත් අමතක වෙන්නේය. සිහින මාමා කවුදෝ නැන්දි කෙනෙක් සමඟ සිටි නිසා හිටියේ හරිම ආඩම්බරයෙන්ය. ඒ නැන්දිට වෙන යාලුවො නැත්දැයි වැප් මාමා සිහින මාමාගෙන් ඇසුවේ ඇයිදැයි මට තාමත් තේරෙන්නෙ  නැත. මෙයට පොත් පදර්සනයයැයි නම තිබ්බේ ඇයිදැයි මන් නොදනිමි. මොකද මම එහිදි වැඩිය පොත් දැක්කේ නැත. හැබැයි ලස්සන ලස්සන ඇඳුම් ගොඩක් දැක්කේය. ඒවා දැක මගේ පුන්චි හිතද කැළඹෙන්නට පටන් ගත්තෙමි. සිහින මාමා නිතරම වන් අ ක්ලොක්. ටූ අ ක්ලොක් යැයි කියමින් නිතරම වෙලාව කිව්වේය. ඒ කියන සෑම විටම අනිත් සියල්ලෝම බෙල්ල හරව හරවා එකම මොන මොනවදෝ බැලුවාය. ඒත් ඒ බැලුවේ මොනවාද කියා ඒ කවුරුවත් මට කියා දුන්නේ නැත. ඒ නිසා මට ගොඩක් දුක හිතුනෙමි. හවස අපි සහන් රන්වල මාමාගේ සින්දු බැලුවෝය. මමත් ගොඩක් ලස්සනට සින්දු කිව්වෙමි. අමිල මාමා සින්දු කීම පැත්තක දමා එයා ලඟ සිටි කවුදෝ නැන්දි කෙනෙක් සමඟ කතා කර කර හිටියාය. ඒත් ඒ නැන්දිගේ මහත්තයා එතනට පැමිණි නිසා අමිල මාමාට තරු පෙනුන බව වැප් මාමා මට කීවාය. අපි රෑ 9 විතර වෙනතරු එහි සිටියාය. ඉත් පසු අපි සැවොම සතුටින් නිවෙස් බලා පැමිණියෙමු. ලබන පාරත් පොත් පදර්සනය බැලීමට එමට මම ආසාවෙන් සිටිමි.

Monday, September 17, 2012

නිරුත්තර...!!!

මම ඇගේ සුරත තද කරලා අල්ලගත්තා. තද අවු රශ්මියෙන් ගිණියම් උන ගෙන්දගම් පොලව උඩ අපි දෙන්නා ඉමක් නොදැන ඇවිදිනවා. අවසානය මොන වගේ එකක් වෙයිද කියලා අපි දෙන්නටම හැඟීමක් තිබ්බෙ නෑ. ඇත්තටම අවසානයක් ගැන හිතන්න උවමනාවක් තිබ්බෙ නෑ කිව්වොත් හරි. ඇගේ මුදු ස්පර්ශයෙන් දැනුනු පහස මගේ හැගීම් ඊට වඩා වෙනස් තැනකින් උස්සලා තිබ්බා. ඇයටත් ඒක එහෙමයි කියලා මන් දන්නවා. ඒ නිසයි මේ අල්ලගත්ත සුරත අත හරින්න මේ තරම්ම අමාරු.
වටපිටාව ගැන තැකීමක් කරන්න බොහෝ වෙලාවක් යනකම් අපි දෙන්නටම අමතක වෙලා තිබුනා.
"අනූ... අපි මෙහෙම යනවා කවුරුහරි දැක්කොත්!..." සෑහෙන්න වෙලාවකට පස්සෙ ඇය අපි දෙන්නම බයෙන් ඉන්න දේ ගැන සඳහන් කලා.
"හ්ම්ම්ම්. බය වෙන්න එපා සුදූ... මේ හරියෙ අපිව දන්න කවුරුවත් නෑ."
ඇගේ හිත වගේම මගේ හිතත් සනසවාගන්න මම එහෙම කිව්වට මගේ හිත ඇතුලෙත් පොඩි චකිතයක් ඇති නොවුනාම නෙවෙයි. ඒත් දැන් බය වෙලා තේරුමක් නෑ. අපි දෙන්නම මේ තැන ඉන්නෙ අවධානම නොදැන නෙවෙයි. වෙන ඕනෙම දෙයක් බාරගන්න දැන් අපි දෙන්නටම සිද්ධ වෙනවා. ආපහු හැරෙන්න දැන් පරක්කු වැඩියි. ලොකුම දේ ආපහු හැරෙන්න අපි දෙන්නම කැමති නෑ.
ආදරේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක්.
"මටනම් දැන් බඩගිනියි. අපි මොනවා හරි කාලා යන්."
ඇය හා කියලා ඔලුව වැනුවෙ හරියට පොඩි ලමයෙක් වගේ. ඉස්සර වගේමයි. අගේ හුරතල් ගතිය පොඩ්ඩක්වත් අඩු වෙලා නෑ
දුකට සැපට හැමදාම ඒක වගේ හිටපු MC ෆුට් කෝට් එක අදත් අපේ හිසට රැකවරණයක් උනා. සෙනසුරාද නිසා සෙනගත් ටිකක් වැඩියි. මගේ ඇස් දිව්වෙ කෙලවරක් හරියක තියෙන හිස් වෙලා තියෙන පුටු දෙකක් හොයාගෙන. විනාඩි 10කට විතර පස්සෙ එහෙම තැනක් හොයාගන්න පුලුවන් උනා. ඇයව පුටුවක වාඩි කරලා මම ගියා කෑම ඕඩර් කරන්න. බිත්ති පවා අලුත් වෙලා වගේ. ඇයත් එක්ක මෙතනට ආව පළවෙනි දවස.... ඒක සිහි උන මට නැගුනේ පුංචි හිනාවක්.
ඒ වෙද්දි කොළඹට අලුත් උන මටත්, ලොකු සමාජ ඇසුරකට විවර වෙලා නොහිටිය ඇයටවත් මේ වගේ තැන් හුරුපුරුදු තැන් උනේ නෑ. එදා අපි දෙන්නම හැසිරුනෙ ඇෆ්‍රිකාවට ගිය ඇස්කිමෝවරු දෙන්නෙක් වගේ. දවස් ගත වෙලා තියෙන්නෙ කොයි තරම් දේවල් වෙනස් කරගෙනද.
මම කැමත් අරගෙන ඇය ලඟට යද්දිත් මගේ මුහුණේ ඒ හිනාව රැඳිලා තියෙන්න ඇති.
"මොකො නිකන් අමුතු විදියට හිනා වෙන්නෙ"
ඇය ඒක අහපු විදියට මට තවත් හිනා ගියා.
"නෑ මට මතක් උනා අපි දෙන්න මෙතනට ආව මුල් දවස"
ඒක අහලා ඇයටත් හිනා.
"අම්මෝ මටනම් මතක් වෙද්දීත් ලැජ්ජයි වගේ"
"ලැජ්ජ නොවී තියේයැ ඔයා මෙතන බයේ වෙවුලන්න ගත්තනෙ."
"හහ්! ආ.... කවුද දන්නෙ නෑ එතකොට KFC එකෙන් පපඩම් ඉල්ලුවෙ"
"ආ... ඒ පොඩි ආතල් එකක්නෙ ගත්තෙ"
මම ඇයට දිව දික් කලා.
ඉස්සර වගේම අපි දෙන්නම පොඩි උන් දෙන්නෙක් වගේ මහ හයියෙන් හිනා උනා.
හැම දෙයක්ම චිත්‍රපටියක සිදුවීම් වෙලක් වගේ එකින් එකට මට මතක් උනා. කොයි තරම් සුන්දර දවස්ද. කොයි තරම් සුන්දර මතකයන්ද. ගතවුන හැම තත්පරයක්ම පිරිලා තිබ්බෙ ආදරෙන් විතරයි.
"අනේ අපේ සම්බන්දෙට අපෙ ගෙවල් වලින් කැමති උනානම්"
මට කියවුනේ හැඟීම්බර වැඩි උන නිසාද මන්දා.
ඇගේ හිනාව එක පාරටම මුහුණ ඇතුලෙ හැන්ගිලා ගියා.
ඇය මේසය මත තිබුන මගේ වමත තද කරලා අල්ලාගත්තා. මගේ ඇඟිලි තුඩු ඇගේ ඇඟිලි වල හිරකාරයො උනා.
"කොයි දේ සිද්ද උනත් තාමත් අපි දෙන්නා එකට ඉන්නවනෙ අනූ...."
"හ්ම්ම්... ඒත්"
ඇය මගේ නෙත් දිහා එක එල්ලෙ බැලුවා. ඇගේ දෙනෙත් දිලිසෙනවා. ඒ දිලිසීම පුංචි බෝලයක් වෙලා ඇගේ කම්මුල් හරහා ඇවිත් මේසය සිපගත්තා.
"හරි හරි කෙල්ලෙ. ඔයා දන්නවනෙ මොන දේ උනත් මන් තාමත් එදා වගේම ඔයාට ආදරෙයි කියලා"
ඇය සුසුමක් පිට කරලා ලාවට හිනා උනා.
අපිට ඕනෙ ආදරේ කරන දේවල් අපිට අයිති කරගන්න. ඒත් ආදරේ කරන දේවල් අපිට අයිති කරගන්න ලැබෙන්නෙ කොයි තරම් අඩුවෙන්ද. ආදරේ දුකක් වෙන්නෙ එතකොටයි. ආදරේ කියන්නෙ ජීවිතේ හැමදේම නොවුනත් ආදරේ ඉස්සරහ මිනිස්සු කොයි තරම් අසරණ වෙනවද. අපිත් අද ඒ වගෙම අසරණ වෙලා. මිනිස්සුන්ට තර්ක කරන්න ලෙසියි. ඒත් හැම දෙයක්ම හොඳින් අවසන් නොවෙද්දි තර්ක වලට වඩා හැඟීම් ඉස්මතු වෙනවා. හරි උනත් වැරදි උනත්...... මිනිස්සු උනාම ගෙවන්න වෙන පව ඒකයි.
"අපි අද කල දේ වැරදිද අනූ"
ඇය තාමත් මගේ අත සිරකරගත්ත ගමන්මයි.
මම තවත් මොහොතක් ඇගේ දිහා බලන් හිටියා.
"සම්මතය අනුව ඒක වැරැද්දක් වෙන්න පුලුවන්. ඒත්... මගේ ජීවිතය සම්පූර්ණ උනේ අදයි සුදූ..... ඒ වැරැද්ද නිසා"
මගේ ලඟම හිතවතෙකුගේ නිවස තුල උදේ වරුවේ ගත කල ඒ පැය කිහිපය මට නැවතත් සිහිපත් උනා. ඇඳෙහි ස්ප්‍රින් මෙට්ටය මත උස්පහත් උන සිරුරු වල පිරී තිබුනේ හුදු ආසාවන් සන්තර්පනය කරගැනීමේ ආසාවක් නොවන බව මන් දන්නවා. ආදරයද රාගයද කාමයද කියලා අඩිරූලකින් ඉරිගහල වෙන් කරන්න මන් දන්නෙ නෑ. මන් දන්නෙ එකම එක දෙයයි. ඒ මන් ඇයට හැමදාමත්ම ආදරෙයි කියලා විතරයි.
"ඒත් අනූ.... ඒත් අනූ.... දැන් මන් බැඳපු ගැනියෙක්. ඔයා..... ඇත්ත... මට එයාට ආදරේ කරන්න බෑ. තාමත් එයා අම්මලා මට බලෙන් බන්දවපු මනුස්සයා විතරයි. ඒත් අද මගේ වමත මේ තඩි මුද්දෙන් බර වෙලා අනූ."
ඇගේ කතාව ඉස්සරහ මම නිරුත්තරයි.
දෛවය.... කෙහෙල්මල් දෛවය... අපේ දෛවය අපිව ගෙනැල්ලා අතෑරියෙ මෙතනද? හැමදේම දෛවයට බැර කරලා අත පිහිදාගන්න තිබ්බනම් මාර ලෙසියි. ඒත් අපිට ඉස්සරහට එන ප්‍රශ්ණ කන්දරාවට දෛවය ලඟත් උත්තර නෑ කියලා මන් දන්නවා.
සමාජෙ වැරැද්ද.... ම්හු.. නෑ... අපේ වැරැද්ද... වැරැද්ද කාගෙ උනත් විඳවන්නෙ අපිමයි. ඇත්ත මේකයි. අපිත් මේ සමාජෙම කෑල්ලක්. එතකොට වැරැද්ද අපි හැමෝගෙම. අන්තිමෙ බලන් ගියාම අපි හැමෝම මේ සමාජය කියන මකුළු දැලේ පැටලුන පුංචි කෘමියෙක් විතරයි.
මම ඇගේ නෙත්වලින් බේරෙන කඳුලු කැට පිහදාන්න මගේ අත ඇගේ මුහුණ වෙතට ලන් කලා. මගේ ජංගම දුරකතනය නාද වෙන්න ගත්තෙ එතකොටමයි. ඇගේ මුහුණට ඔන්න මෙන්න තිබුන අත, මම ආපස්සට ගත්තා.
"පවනි කෝල් කරනවා" එම අංකයට දමා තිබූ එයට ආවේනික නාද රටාව නිසා ඇමතුම පවනිගෙන් බව වටහා ගැනීම අපහසු උනේ නෑ.
දුරකතන තිරය දිහාත් ඇය දිහාත් කිහිප වරක් මාරුවෙන් මාරුවට බැලූ මම ආන්ස්වර් බාට්න් එක තද කලා.
"හෙලෝ"
මගෙ මුවින් එය පිට උනේ මදක් නොරුස්සනා හඬින්. නමුත් එහා පසින් නැගුනු කටහඬ පවනිගෙ නොවන බව මට ඊලඟ මොහොතෙ වැටහුනා.
"අනේ තාත්ති.... අද ඉක්මනට එනවා නේද? තාත්ති පොරොන්දු උනානෙ අද මාව පාක් එක්කගෙන යනවා කියලා"
ඒ හුරතල් කටහඬ ඉදිරියෙ මම නැවතත් නිරුත්තර උනා.

Friday, August 24, 2012

ස්වයං


ලෙහුනු වත
මතින් හිත
ඔබේ ගත
මගේ මත

Monday, August 20, 2012

රාවණා සිද්ධම්!!!

තැටිය රත් උන වෙලාවෙ රොටිය පුච්ච ගන්න කියලා කතාවට කිව්වට මම සාමාන්‍යයෙන් කරන්නෙ ඔයිට ටිකක් වෙනස් දෙයක්. තැටිය ටිකක් නිවෙනකම් ඉඳල ආයෙ තැටියට ගින්දර ටිකක් දාන එක තමයි මගේ පුරුද්ද. අදත් මේ කරන්න ලක ලැහැස්ති වෙන්නෙ ඒ වගේ වැඩක් තමයි. මගේ රොටිය පුච්චගන්නවට වඩා මේ ගින්දර ටික මන් තැටියට දාන්නේ මුලු මහත් හෙල යකුන්ගේම සුභ සිද්ධිය සඳහා බව හැමෝම හිතට ගත්තොත් හොඳයි. 
 ගරු රාවණා තුමා ගැන මන් ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. අපේ මී ප ල වා නේ උතුමා තමන්ගෙ ජීවිතයත් පරදු කොට තියල ඒ ගැන හැමෝටම හසල අවබෝධයක් ලබා දීලා තියෙන්නෙ මේ වනවිට. එතුමා රාවණාගෙ ශක්තිය ගැන කියද්දි හිනා උන හෙළ යක් විරෝධී අධර්මිෂ්ටයින්ට පාඩමක් උගන්වන්න තමයි මන් අද සැරසෙන්නෙ. අනුරාධ නානායාක්කාර කියන්නෙ කවුද කියලා මන් පෙන්නලා දෙද්දි හිනා උන මිතදුටුවන්ට මගේ තරම පෙන්වන්න තමයි මන් අද ලැහැස්ති වෙන්නේ.

අනුරාධ
අනු = අනුගාමිකයා
රා = රාවණා
ධ = ධර්මය
අනුරාධ = රාවණා ධර්මයේ අනුගාමිකයා

නානායක්කාර
නා = නාඹ = තරුණ
නා = නායකයා
යක් = හෙළ යකුන්
කා = කාර්යය
ර = රකවල = රැකගැනීම
නානායක්කාර = හෙළ යකුන් රැකගැනීමේ කාර්යයේ තරුණ නායකයා

එදා මන් මට පුලුවන් දේවල් පෙන්නන්නම් කියද්දි කට්ටියම මට ඔච්චම් කලා. ඔන්න මන් අද පෙන්වන්න යන්නෙ මට පුලුවන් දේවල් වලින් එක පොඩි දෙයක්. මේක ලෙහෙසි නෑ. කුණ්ඩලිණී යෝගයට සමවැදිලා ලබාගත්තු රාවණා ශක්තියෙන් තමයි මන් මේ පෙන්නන්න යන දේ කරන්නේ. ඔයාලටත් අත්හදා බලන්න ඕනේනම් මුලින්ම රාවණා ගැන විශ්වාසය හිතේ ඇති කරනගන්න වේවි. ඊට පස්සෙ කුණ්ඩලීනි ජෝගයට සමවැදිලා රාවණා ශක්තියට ලඟා වෙන්න පුලුවන්. මී ප ල වා නේ උතුමා උදවු කරාවි ඒක කරන විදිය ගැන කියලා දීලා.
පැඩි පුරසාරම් ඕනේ නෑ. කතාවෙන් පෙන්නනවට වඩා වැඩෙන්ම පෙන්නන එක හොඳයිනේ. ඒක නිසා ඔන්න බලාගන්නකො, රාවණා ශක්තියෙන් වැඩ ගන්න හැටි.
රාවණා සිද්ධම්!!!