Tuesday, July 27, 2010

ම‍රීනා........ ම‍රීනා........

දෙවැනි ලෝකයේ මහා යුද්දයට බැඳී මැක්සිකෝ රටට ගිය ලංකාවේ තරුණයෙක් එහිදී මරීනා නැමති තරුණියක් සමඟ ආදරයෙන් සිට, යුද්දය අවසානයේදී ඇගෙන් වෙන්වී එන දින වෙරළට ආසනන්ව යාත්‍රා කරන නැවේ සිට මෙම ගීතය ගායනා කරයි. ඈ වෙරළේ සිට මේ ගීතයට සවන් දෙයි.

ම‍රීනා........ ම‍රීනා........
ඔබව අමතක වෙන්නෙ නෑ
ම‍රීනා........ ම‍රීනා........
ආයෙ මම මෙහෙ එන්නෙ නෑ
ඔබ දකින්නට වෙන්නෙ නෑ

ඔබෙ රට මේ මැක්ස්කෝවයි හරිම අලංකාරයි
මගේ රට සිරි ලංකාදීපය මට හරිම ආසයි
බැඳිලා යුද්දෙට  මගේ රට හැර ආවෙ ඔබෙ රටටයි
ඒ සුන්දර මරිනා මගේ ආදරේ ඔබටයි.

දැන් යුද්දෙ අවසාන උනා
මට ඔබ හැර යන්න උනා
ම‍රීනා........ ම‍රීනා........

මුහුදු වෙරලෙදි සවස් කාලෙට
ගලක් උඩට වෙලා
අනාගතෙ ගන කතා කල හැටි
දුකයි මතක් වෙලා
ඔබේ මවුපියො ඔබෙ රට හැර
එන්න බැහැ කියලා
කිව් නිසයි මගෙ ආදරියෙ
මම යන්නෙ ඔබ දාලා

දැන් යුද්දෙ අවසාන උනා
මට ඔබ හැර යන්න උනා
ම‍රීනා........ ම‍රීනා........

ඔබ වගේ මම මගේ මව්පියො
දෙගුරුන් සලකනවා
ඔබ වගේ මම මගේ රටටත්
ජීවිතේ දෙනවා
ඔබ වගේ මම  මමත් ඔබ ගැන
කඳුලු වගුරනවා
ගඟට කැපු ඉනි දිහා බලලා
පසුතැවිලි වෙනවා

දැන් යුද්දෙ අවසාන උනා
මට ඔබ හැර යන්න උනා
ම‍රීනා........ ම‍රීනා........
ම‍රීනා........ ම‍රීනා........

මේක M.S ප්‍රනාන්දු මහත්මයා විසින් ගායනා කරන ලද ගීතයක් කියන දේ විතරයි මේ ගිතය සම්බන්දයෙන් මම කියන්න දන්නේ. කොහොම උනත් මේක මම හුඟක් ආස කරන ගීතයක්.  වචන, අදහස, තනුව වගේම මේ ගීතයේ කියවෙන නම මගේ ජීවිතයට හුඟක්ම සම්බන්ද වීමත් මේ ගීතයට මම හුඟක් ප්‍රිය කරන්න හේතු වෙන්න ඇති. මීට දෙවසරකට කලින් ඒ නම මගේ ජීවිතේ ලොකු පෙරලියක් ඇති කලා. හරියටම වසර දෙකකට පසුව මේ දින වලත් ඒ නම මගේ ජීවිතේ ලොකු පෙරලියක් සිදුකර යමින් පවතිනවා. ඒ නිසාම වෙන්න ඇති මේ සින්දුව අහන්න මම මේ තරම් ආසවක් දක්වන්නේ.
                සින්දුව අහන්න ඕනෙනම් http://www.infolanka.com/miyuru_gee/ කියන සයිට් එකට ගිහිල්ලා M.S ප්‍රනාන්දු කියන නම යටතේ තියෙන කියන Mareena සින්දුව සිලෙක්ට් කරලා ප්ලේ කරන්නකො. හැබැයි මේ සයිට් එකෙන් සින්දු අහන්න නම් Real player 1 කම්පියුටර් එකේ තියෙන්න ඕනේ.සින්දුව බාගන්න තැනක් මන් හෙව්ව හෙව්වා හොයාගන්න බැරි උනා. මගෙ ෆෝන් එකේනම් සින්දුව තියෙනවා. ඒත් ඒකෙ Sound අප්සට්. ඒක නිසා ඒක දාලා වැඩක් නෑ. කොහොම උනත් මෙන්න විශේෂ පුද්ගලයෙක් මේ සින්දුව කියද්දි හොරෙන් පටිගත කරගත් හඬ පටයක් තියෙනවා. හුදී ජන පහන් සන්වේගය උදෙසා මන් ඒක දාන්නම්. අහලා බලන්නකො කියන කෙනා අඳුරගන්න පුලුවන්ද කියලා.

Thursday, July 22, 2010

දුක නැති කිරීමේ මාර්ගය.....

මුලු හදවතම මුලු හිතම දුකෙන් වේදනාවෙන් පිරිලා ගිහිල්ලා. අතීතය අමතක කරලා සාමාන්‍ය විදියට ඉන්න මොන තරම් උත්සහ කරත් ඒක හරි යන පාටක් නෑ. මේ මුලු ශරීරය පුරාම වේගයෙන් පැතිරීගෙන යන වේදනාව, මහා ගිනි කඳක් වගේ දිගින් දිගටම ඇවිලෙන මේ දුක නැති කරගන්න ක්‍රමයක් තියෙනවද? මම මගේ හිතෙන්ම ප්‍රශ්ණ කලා.
ඔව්... ගොඩක් ක්‍රම තියෙනවා....
මගේ හිත උත්තර දුන්නා.
අනේ ඒවා මට කියන්නකො. මම මගේ දුක නැති කරගන්න ඕනා.
මම මගේ හිත ඉස්සරහ දනින් වැටුනා.
හොදයි මම කියන්නම්.
මගෙ හිත බොහොම සන්සුන්ව උත්තර දුන්නා.
උඹේ හිතේ තියෙන සේරම දුක එකතු කරලා ලොකු කලු ගලක බැඳලා මුහුද  මැදට ගෙනිහින් අත ඇරලා දාපන්.
අපෝ බෑ... මහ මුහුද කැලඹේවි.
උඹේ හිතේ තියෙන සේරම දුක වේදනාව ටික පෙට්ටගමක දාලා වහලා ඉබ්බෙක් දාපන්. මතක ඇතුව යතුර විසි කරලා දාපන් ආපහු හොයාගනන් බැරි වෙන්නම.
එච්චර ලොකු පෙට්ටගමක් කොහෙන්ද හොයාගන්නේ.
සේරම දුක වේදනාව හුලඟෙ පා කරලා යවපන්.
එහෙම කලොත් මහා කුණාටුවක් ඇති වේවි.
එහෙනම් හිතේ තියෙන සේරම දුක සරුංගලේක ගැට ගහලා උඩ ඇරපන්. පස්සෙ ඒක උඩ යද්දි නූල අත ඇරපන්.
මගේ දුක ගැට ගැහුවට පස්සෙ ඒ සරුංගලේ උඩ යයිද?
අඩි 25ක් විතර ගැඹුර වලක් කපලා දුක සේරම ඒ වල ඇතුලට දාලා අයෙත් පස් වලින් වහපන්.
මගේ දුක පිරෙව්වට පස්සෙ අයෙත් පස් වලින් පුරවන්න දෙයක් නෑ.
රුහුණු කුමාරි යන වෙලාවක් බලල රේල් පීල්ලට තියපන්.
අපොයි.... කෝච්චිය පීලි පැන්නොත් ජීවිත කීයක්ද?
සේරම දුක එකතු කරන් ගිහින් කොමඩ් එකට දාලා ෆ්ලෂ් කරපන්.
හි... හි...වලත් උතුරල තමයි නතර වෙන්නේ.
එහෙනම් ඔය සේරම දුකවල් අමතක වෙලා යන්න කන පැලෙන්න බීපන්.
ඒ මොන පිස්සු වැඩක්ද... බිලා පුලුවන්ද ප්‍රශ්ණ විසඳන්න.
එහෙනම් ගිහින් දුකට පුන් ගහපන්.
අන්තිමේ මගේ හිතට මල පැනලා කියලා දැම්මා.
දුකට පුන් ගහන්නේ මදුරුවො එලවන්නද?
ඒකටත් උත්තරයක් මන් ගාව තිබුනා.
එහෙනම් ගිහින් මැරියන්. වෙන කරන්න දෙයක් නෑ.
දැන්නම් හිතට මලම පැනලා.
හරි හරි...තරහා ගන්න එපා. මගේ හොන්ඳ හිතනේ. ඔය එකක්වත් හරීයන ක්‍රම නෙවෙයි.
මට කොහොම හරි මේ දුක නැති කරගන්න ඕන. අනේ තරහ නැතුව හරියන ක්‍රමයක් කියන්න.
ම්...ම්...ම් හිත කල්පනා කරනවා....
හරි... තව එක ක්‍රමයක් තියෙනවා...
ටිකක් වෙල කල්පනා කරලා හිත පිලිතුරු දුනා.
ආ... ඒ මොකද්ද. අනේ ඉක්මනට කියන්නකො.
මට ඉවසිල්ලක් නෑ.
ඔය හිතේ තියෙන දුක හිර කරන් ඉන්නෙ නැතිව කාට හරි කියන්න. එතකොට උඹේ හිතේ තියෙන දුක අඩු වේවි.
ශා... අන්න ඒ අදහසනම් මරු. ඒත් කාටද මන් මේ දුක කියන්නේ. කව්ද මගේ දුක අහන්නේ.
ආයෙමත් මට ලොකු ප්‍රශ්ණයක් ඉතිරි උනා.
කට හරි. ඔයාට හිතවත් කාට හරි.
මගේ ප්‍රශ්ණ අහලා ඒ අයටත් හෙන කරදරයක් වෙයි. ඒ අයටත් මව එපා වෙයි. නොදන්න අයට දුක කියන්න යන්නත් බෑනේ.
අද ලොකේ දුකේදි ඉන්න අය හොයාගන්න හරි අමාරුයි.
හ්ම්ම්.. ඒකත් ඇත්ත.... මගේ හිතත් මාත් එක්ක එකඟ උනා.
එහෙනම් මෙහෙම කරන්න. ඔයගේ හිතේ දුක කිසිම මිනිහෙක්ට කියනන් එපා. උඹට හම්බ වෙන මනුශ්‍ය නොවන හැම දේකටම උඹ උඹේ දුක කියපන්.
ඒ කිව්වෙ.....
ඒ කිව්වෙ මෙකයි... ගහකොල, සතා සිව්පාවා, ගල් මුල්, මේස පුටු..... ඔය ඕන දෙකට උඹේ දුක කියපන්. එතකොට කවුරුත් උඹට හිනා වෙන්නෙ නෑනේ.
ඔව් ඒක හරි.. මම එහෙම කරනවා. මම මගෙ හිතට නොසෑහෙන්න ස්තූති කරා.
කල් ඇරියෙ නෑ. මන් එ වෙලාවෙම ක්‍රියත්මක උනා. මම දකිනා හැම දෙකටම මගේ දුක කිව්වා. ගහකොල, සතා සිව්පාවා, ලයිට් කනු, ගල්, බොරලු කැට පවා මගේ දුක අහන්න ඇති. අඩුම ගානේ එක වැලි කැටයක්වත් මම මග ඇරියෙ නෑ. පුංචි කූඹියෙක්වවත් අමතක කලේ නෑ. හැමෝටම මගේ දුක කිව්ව.
අම්මෝ දැනුන නිදහස. ලොකූ බරක් හිතෙන් නිදහස් උන වගේ. ලොකු සැහැල්ලුවක් දනුනා. ඒ ක්‍රමේනම් හොඳයි තමයි. මම මටම කියගත්තා. සැහැල්ලුව වැඩිකමට මට ටිකක් නින්ද ගියා. මම කොච්චර වෙලා නිදාගත්තද කියල මට  මතක නෑ. ඒත් ඇහැරිලා බල්ද්දි ලොකු වෙනසක්. මුලු පරිසරයම වෙනස් වෙලා.
හොයලා බැලුවා මොකද කියලා. බලද්දි මෙන්න ටිකකට කලින් මම දුකකියපු අය හැමෝම කඳුලු පෙර පෙර අඬනවා. හැමෝගෙම ඇස් රතු පාට වෙලා.
ඇයි මේ? මම ඇහුවා.
අනේ... ඔයාගෙ දුක අහලා අපිට දුක හිතුනා. ඒකයි අපි මේ අඬන්නේ. හැමෝම කඳුලු පිහදදා උත්තර දුන්නා.
ම්..ම්..ම්...
මගේ දුක අහලා එයාලත් අඬනවනම්, මම අඬන්නෙ නැතුව ඉන්නෙ කොහොමද?
මමත් එයාලටම එක්කහු උනා.

Tuesday, July 20, 2010

සිතිවිලි අද්දර හිරවී......

ඈත මුහුදේ ඉඳන් එන ලොකු රැලි,  අපේ කකුල් ගාවටම ඇවිත් ආයෙත් හැරිලා යනවා.
ලොකූ රැලි එද්දි ඔයා හෙමිහිට කකුල් උස්සගන්නවා කලිසම තෙමෙයි කියලා බයේ.
සමහර රැලි ඇවිත් ඔයාගේ කකුල් වල වැදිල, සුදු පාට පෙන පිඩු නගාගෙන ආපහු යද්දි මට ටිකක් ඉරිසියයි.
රැලි වලට කොයින්ද මගේ කෙල්ලගේ කකුල් ඉඹින්න තරම් හයියක්.
මගේ හිත එහෙම කියනවා.
ඔයා මගේ උරහිසේ ඔලුව තියගෙන තෙරක් නොපෙනෙන මුහුද දිහා බලාගෙන.
ඈත ක්ෂිතිජය එක්ක ඔයා ලොකු භාවනාවක.
හෙමි හෙමින් මුහුද ඇතුලට ගිලෙන ඉරේ කාන්තිමත් රතු පාට ඔයාගේ මුහුණට වැටිලා.
ඔයාගෙ මූනත් රතු පාටින් දිලිහෙනවා.
ඉර බැහැගෙන යද්දි ක්ෂිතිජය හුඟක් ලස්සනයි තමයි.
ඒත් මට ඒ දිහා බලන් ඉන්න තරම් වෙලාවක් නෑ.
ආසාවක් නෑ.
මගේ ඇස් දෙක නතර වෙලා තියෙන්නෙ ඔයාගෙ මුහුණ මත.
එක මොහොතකට මගේ ඇස් දෙක වෙන පැත්තකට හරවන්න මට හිත දෙන්නෙ නෑ.
මම ඔයා දිහාම බලන් ඉන්න බව තේරිලාද මන්දා, ඔයා ඔලුව උස්සල මන් දිහ බලනවා.
අපේ ඇස් එකිනෙක හා වෙනවා.
මට ඇහි පිල්ලමක් ගහන්නත් ලෝබයි.
ඒ මොහොතත් අපරාදයක් කියලා හිතෙන්නේ.
ඇයි?
ඔයා අහනවා.
මම හිනාවෙලා ඔලුව දෙපැත්තට වනනවා මුකුත් නෑ කියන අදහසින්.
ඔහොම බලන් ඉන්නෙ?
ඔයා ආයෙමත් අහනවා.
ලස්සනයි.
මම ඔයගෙ කනට කරලා රහසින් වගේ කියනවා.
කව්ද?
ඔයා....
බොරු...
ඔයා ලැජ්ජවෙන් ඇඹරෙනවා.
ඇත්ත.... සත්තයි....
මම හෙමිහිට ලන් වෙලා ඔයාගෙ නලලට හාදුවක් දෙනවා.
ඔයා ඇස් දෙක පියාගෙන හිනාවෙනවා.
ඒ හිනාවට මන් හැමදාම ආසයි.
ඇස් දෙක වහගෙන ඔයා ලාවට හිනාවෙද්දි මගේ හිත ලෝබ කමකින් පිරිලා යනවා.
ඔයා මගේ විතරමයි.
ඔය හිනාව මගේ විතරමයි.
මගේ හිත කෑ ගහනවා.
මන් ඔයාට ආදරෙයි සුදූ.....
ඔයාගේ කම්බුලට මගේ කම්බුල තෙරපෙගෙන මම කියනවා.
මමත් ඔයාට ආදරෙයි....
ඔයාගේ ඒ වචන හුලඟත් එක්ක පාවෙලා ඇවිත් මගේ කන් පෙති සිප ගන්නවා.
දරාගන්න බැරි ආදරේකින් මගේ හිත පිරෙනවා.
මන් එහෙමම මගෙ තොල් පෙති ඔයාගේ තොල් පෙති අතර හිර කරනවා.
ඔයාගේ සුසුම් වල උනුසුම් සුවඳ මගෙ නහයට දැනෙනවා.
ඒ අතරින් ඔයාගේ තොල් පෙති වල හීතල මගේ මුලු ඇඟම කිති කවනවා.
මගේ මුලු ආත්මයම ඔයාගේ ආදරේ පහසින් නැහැවෙනවා.
පුංචි තොල් පෙති රිදුනද මන්දා.
ඉර සම්පූර්ණයෙන්ම මුහුදේ ගිලිලා හාත්පසම අඳුරෙන් වැහෙන්න ගන්නවා.
තව ඉන්න අසයි.
ඒත් කාලය අපිටත් හොරෙන් ගලාගෙන ගිහිල්ලනේ.
අපි යමුද.....
ඔයා අහනවා.
යමු කියලා කියන්න ලෝබයි.
හැමදාම මෙහෙම ඉන්නමයි හිත.
ඒත් තාම ඒකට කාලය නෙවෙයිනෙ.
මම හා කියල ඔලුව වනනවා.
පුංචි තරු කැට එකින් එක නිල් පාට දිලිහෙන්න පටන් ගනිද්දි අපි ගල් පරයෙන් නැගිටිනවා.
අපිට අත වනන්න වගේ රැලි වේගයෙන් ඇවිත් වෙරලේ හැපිලා සුදු පෙන වගුරනවා.
මේ ආදරෙත් මෙහෙමම අරගෙන අපි ආයෙත් එන්නම්.
මුහුදෙන් සමු අරගෙන අපි එන්න එනවා.
රැලි එනවා යනවා ඉවරයක් නෑ.
අදත් එදා වගේම රැලි එනවා.
වෙරලෙ හැපිලා සුදු පාටට පෙන යායක් හදලා ආයෙමත් මුහුදටම ඇදෙනවා
ඒත් ඒ වෙරලේ අද....
ඔයත් නෑ.
මමත් නෑ.
අපේ දෛවය අපිව වෙන කොහේදෝ තැනක අතරමං කරලා.
ඒත් ඒ රැලි තව කාලාන්තරයක් යනකම් අපි වගේම තවත් පෙම්වතුන්ට අත වනාවි.

Monday, July 19, 2010

හිත රැඳුනු ගීයක්....

සාමාන්‍යයෙන් මගේ දවස ගෙවෙන්නෙ සිංදුත් එක්ක. සිංදු නැතුව මගේ දවස ගෙවෙනෙන් නැති තරම්. 5GBටත් වඩා පිරවිලා තියෙන සිංදු ලොට් එකයි අන්තර්ජාලයෙන් හොයාගන්න සිංදුයි තමයි හැමදාමත් හොඳම මිතුරෙක් වගේ මගේ ලඟින් ඉන්නේ. ඒත් පහුගිය 13 වෙනිදා ඉඳන් ඊයෙ මධ්‍යම රාත්‍රිය වෙනකම් මම කිසිම සිංදුවක් ඇහුවෙ නෑ. කොටින්ම සිංදුවක්වත් අහන්න හිත ඉඩ දුන්නෙ නෑ කිව්වොත් නිවැරදියි. ඒත් හදිස්සියෙම ඊයේ රෑ එක්තරා කෙනෙක් මට එක් සිංදුවක් මතක් කලා. ඒ වෙලවෙම මට ඒ සින්දුව ඇහීමේ අසාවක් ආවා. ඒත් මගේ ගීත එකතුවෙ ඒ ගීතය අඩංගු වෙලා තිබ්බෙ නෑ. එහෙමයි කියලා මම සැලෙනවද? පටස් ගාලා ගියා http://www.infolanka.com/miyuru_gee සයිට් එකට. සිංදුව හොයාගත්තා ඇහුවා. එතනින් නැවතුනේ නෑ. ගූගල් අය්යගෙන් පාර අහගෙන ගිහිල්ලා සිංදුව බාගතත් කරගත්තා. දවස් ගානකට පස්සෙ අහපු නිසාද දන්නෙත් නෑ. ඒ සිංදුව මාර විදියට වැදුනා. අද දවස තිස්සෙම මම ඇහුවෙ ඒ සිංදුවමයි. වැඩේ කියන්නෙ කොච්චර ඇහුවත් එපා උනේ නෑනේ. ඒකට කොච්චර හිත ගියාද කිව්වොත් ඔන්න ඒ ගැන පෝස්ට් එකක් දාන තරමටම ඒක දුර දිග ගියා. මේක මහ ලොකු අමුතු සින්දුවක් නෙවෙයි. ඒත් වෙනද ඒ සිංදුව අහද්දි දැනුනෙ නැති පුදුමාකාර අපූර්වත්වයක් මම ඊයේ ඒ සිංදුව තුල දැක්කා. වැඩි බයිලා ඕනෙ නෑ. මෙන්න සිංදුව. මේක ගායනා කරන්නෙ මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා.



ගමනේ ගිම් නිවූ එදා
සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ
හද සෝ සුසුම් හෙලා


ඔබ මං මුලා වෙලා ගියා
පෙම් පහන් නිවා
අහිතක් හිතන්නෙ නෑ ප්‍රියේ
සිහිනෙකින් පවා
අද ඔබගේ ජීවිතේ
කතරකී වාලුකා
හිනහෙන්න යලි දිලෙයි
දෛවයේ තාරුකා

මතකේ තිබේද ඒ යුගේ
මාගේ චේතනා
වැටහෙන්නෙ දැන්ද ආදරේ
ශෝක වේදනා
ඝන අන්ධකාරයේ
පාලුවේ කිමිදුනා
හිනහෙන්න යලි දිලෙයි
දෛවයේ තාරුකා

ඔන්න සින්දුව බාගන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඒකට සබැඳිය. මෙන්න මෙතන ඔබලා ගිහින් ඒක බාගත කරගන්න.
බාගත කරගන්න කම්මැලි කෙනෙක් ඉන්නවනම් ඔන්න ඔන්ලයින්ම අහන්නකො.


Thursday, July 15, 2010

ජය පැරදුම

දෑවසක් තිස්සේ
පැවතුනු සීතල යුද්ධය
බුදුන් එක් පසක
ජේසු අනෙක් පස
අතරමැද හිර වුනු
අපේ ආදරය
අවසානයේ....
යුද්ධය නිමාවිණි
අප සියලු දෙනා
පැරදිනි
කුරිරු සමාජ සම්මතය
පමණක්
ජය ලදිනි

Wednesday, July 14, 2010

නුඹ නොමැති ලෝකයේ පළමු දිනය

හිරු නොමැත පෑයුවේ
මල් නොමැත පිබිදුනේ
අන්ධකාරය පමණි
මා වටා පැතිරුනේ

කාලයත් නැවතිලා
හද ගැස්ම හිර වෙලා
නුඹේ සේයාරූ බලා
දෙනෙත් පොඩි ඉදිමිලා

කල්පයක් ලෙස දැනී
තත්පරය ගත වෙනා
නුඹ නොමැති ලෝකයේ
පළමු දින නිම උනා

Tuesday, July 13, 2010

වසන්තය නිමා විය

වසන්තය නිමා විය
මල් පොකුරු මිලින විය
ඔබ නමින් මැව් හීන
දෑස් අග කඳුලු විය

දෑවසක් මුලුල්ලේ
ඔබගේම තුරුල්ලේ
තිබූ මෘදු
උණුහුමෙන් සැනහී
ගෙවූ කාලය
අදින් පසු නෑ
ආයෙමත් මා
සොයා එන්නේ

හීනි මල් වැස්සේ
එක කුඩය අස්සේ
නුඹේ බඳ වට
සුරත ලාගෙන
ගියපු එදවස්
අදින් පසු නෑ
ආයෙමත් මා
ලඟට එන්නේ

වසන්තය නිමා වූ
ඉරි තැලුන හදවතේ
කිසිත් නොමැතිව
අදින් පසු යලි
කඳුල පමණයි
ඉතිරි වන්නේ

Wednesday, July 7, 2010

නමක් නැති කවි - 5

                                            
මට ඔයාව ලැබුනොත්
අපේ ළමයි
හුඟක් වාසනාවන්ත වේවි
ආගම් දෙකක
රැකවරණය ලබන්න තරම්
ඒත්....
මට ඔයාව නැති උනොත්....
මට හිතාගන්න බැරි
මන් තරහා වෙන්නෙ
ජේසු එක්කද?
බුදු හාමුදුරුවො එක්කද?

Friday, July 2, 2010

නමක් නැති කවි - 4

ආදරය
රෝස මලක්
වගේ 
පෙනුන නිසා
මන්
තද කරලා
අල්ලගත්තා
කව්ද දන්නෙ
නටුවෙ කටු
තියෙනවා කියලා