Thursday, April 29, 2010

දවාලෙ පායන චන්ද්‍රයා.........

     චන්ඩ හිරු රැස්
රෞද්‍රව පොලව සිප ගනිද්දි
පවා
සෞම්‍ය කහ එලිය
විහිදුවමින්
චන්ද්‍රයා
බැබලෙන
        අපූරුව.........


පිස්සුද?
ඔය හඳ නෙවෙයි
      වීදි ලාම්පුවක්........

විකාරද?
ඒ හඳ තමයි
මොන මෝඩයද
දවල්ට පාරෙ
        ලයිට් දාන්නෙ........


(මේ ජායාරූප දෙකම මා ගනු ලැබුවේ අද දහවල්, බම්බලපිටියේ අතුරු වීදී දෙකකදීය)



Tuesday, April 27, 2010

නමක් නැති කවි - 3


දවසක්
මම
ඇස් පියන් ඉඳිද්දි
උඹ
හීනෙන් ඇවිත්
කනට කොඳුරපු
ඒ ලස්සන
වචන තුන
හැබැහිනුත් කියාවි
කියල
බලන් ඉඳල
බලන් ඉඳල
අන්තිමේ
බැරිම තැන
මම
තීරණය කරා
සදහටම
ඇස් පියාගන්න

Sunday, April 25, 2010

මෙවන් විපත් සතුරෙකුටවත් නොවේයා

බ්ලොග් ලියන එකයි කියවන එකයි පටලුනාම වෙලාවකට එකක්වත් කරගන්න වෙන්නෙ නෑ. බ්ලොග් කියවන්න කියල පටන් ගත්තොත් කියවගෙන කියවගෙන යනව මිසක් ලියනන් වෙන්නෙ නෑ. ලියන්න ගත්තොත් ඉතින් කියවන්න වෙන්නෙත් නෑ. චුට්ටක් යන්තම් කියවනවා කියල හිතගෙන ගියත් කට්ටිය ලියල තියෙන දේවල් දැක්කම මගින් දාල යන්න හිතෙන්නෙත් නෑ. කියවන් යද්දි ඒවට හිත ගියාම ලියන්න අලුත් දෙයක්  හිතට එන්නෙත් නෑ. එහෙමයි කියල ඉතින් කියවන්නෙ නැතුව ඉන්නත් බෑ. ලියන්නෙ නැතුව ඉන්නත් බෑ. අදත් විවේක වෙලාවෙ කියව කියව හිටියා මිසක් ලියන්න දෙයක් කල්පනා කලේ නෑ. හදිස්සියට කතාවක් මතක් වෙන්නෙත් නෑ.
                            බැරිම තැන මන් යන යන තැන අරගෙන යන මගේ උසස් පෙල කාලෙ ලියපු ස්පෝකන් ඉන්ග්ලිශ් පොත ගත්තා අතට. ඕක මන් කොයි වෙලෙත් ලඟ තියාගන්නෙ විවේක වෙලාවල් වලට  පොඩ්ඩක් කියවන්න කියල හිතාගෙන. විවේක වෙලාවල්නම් ඕන තරම් ආවා. ඒත් පොතනම් කවදාවත් දිග ඇරුනෙ නෑ. ඒත් ඉඳල හිටලා පොත දිග නොඇරුනාමත් නෙවෙයි. හැබැයි අවාසනාවකට ඒ පොතේ අන්තර්ගතය කියවන්නනම් නෙවෙයි. පොතේ පිටු අතරෙ පරිස්සමට අන්තර්ගත කරල තියෙන එක එක ඒවා ලියපු කොල කෑලි, එක එක තැන් වලින් උස්සන් ආපු පත්තර පිටු කෑලි එහෙම එලියට ගන්න. මොකද මන් ඔය එක එක තැන් වලින් අහුලගෙන ආපු පත්තර පිටු කෑලි, ගෙදර තිබිලා හම්බ වෙන ඉස්සර කාලෙ ලියපු තියන්න වෙන තැනක් නැති කවි තියෙන කොල කෑලි, එක එක සින්දු කෑලි එහෙම ලියපු කොල කෑලි, තව ඔය එක එක වල් පල් ලියපු කොල කෑලි එහෙම පරිස්සමට දාල තියන්න භාවිතා කරන්නෙත් ඔය පොතම තමයි. එහෙම හරි ඒ පොත භාවිතා වෙන එක ලොකු දෙයක් ඉතින්.

Thursday, April 22, 2010

දුක්බර අවුරුදු........

එරබදු මල් පෙති පරවී වැටුනා
කොවුලා දුක් බර ගීයක් ගැයුවා
කඳුලු වලින් මගෙ නුවනඟ තෙමුනා
නුඹ නොමැතිව අවුරුද්දත් ගෙවුනා

පිපුනු මලින් නෑ සුවඳක් හැමුවේ
ගහ කොල නෑ කොල පාටින් දිලුනේ
කොවුල් නදට නෑ හිත වහ වැටුනේ
නුඹ නෑ තනියට මා ලඟ හිටියේ

අවුරුදු සිරියෙන් රටම සැනසුනත්
මගෙ දෙතොලට නෑ සිනහව දැනුනේ
නුඹ නැති පාලුව විඳගන්නට මට
කඳුලු බිඳක් විතරයි ලඟ හිටියේ

Tuesday, April 20, 2010

තෑගිත් අරගෙන මන් ආවා.........

 ඔන්න මන් අයෙත් ආවා. ආවෙනම් ඊයෙ. ඒත් මද අසනීප තත්වයකින් පෙලුන නිසා ඊයේ මොකුත් ලියන්න බැරි උනා. අදත් ඒ තරම්ම ගුණයක් නෑ. වැඩිය නිදි වරන්න අමාරුයි. ඒත් අදනම් මැරෙන්න තරම් අමාරු උනත් ලියනවමයි කියලා හිතා ගත්තා. අනිත් එක පරක්කු නොකර ගෙනාපු තෑගි දීලා හිටින්න එපැයි. මොකද එදා යද්දි දිල් අක්ක මට මරණීය තර්ජන එල්ල කරා තෑගි නැතුව මේ පැත්ත පලාතෙ එන්න එපාය කියලා. මයෙ අම්මෝ...... මන් සෑහෙන්න බය උනා. ඒක නිසා ඔන්න මන් මිල කල නොහැකි වටිනා තෑග්ගක් අරන් ආවා කට්ටියට දෙන්න.

Monday, April 12, 2010

ගාල්ලේ සිට ලියමි......

ඔන්න මන් අද පළවෙනි වතාවට ගාල්ලෙ ඉඳන් බ්ලොග් 1 ලියනවා. මන් කියලා ගියේ අයේ 19 වෙනිදා වෙනකම් මට මේ පැත්තෙ එන්න බැරි වෙයි කියලනේ. මොන. ඉන්න බෑ. ඇඟ වෙව්ලන්න ගත්තා. ඔලුව කකියන්න ගත්තා. බඩ රිදෙන්න ගත්තා. අත පය වරු නැතුව ගියා. කෑමක් කට ලඟට ගන්න බෑ අප්පිරියයි. මන් බැලුවා මේ මොකද මේ මට උනේ කියලා. ගහක් ගලක් වගේ උන්නු මට මේ වෙච්ච විපරියාසෙ මොකද්ද කියලා. අද ඉන්නම බැරි තැන සල්ලි සල්ලි කියලා බැලුවෙ නෑ ආවා කැෆේ 1කට. මෙන්න බොලේ තිබ්බ ලෙඩ රෝග සේරම ඉවරයි. බලද්දි මේකයි මේ ඔක්කොම ලෙඩ තිබිල තියෙන්න්නෙ. අර චැප් කියන්නා වගේ මේකනම් රකින්න පුලුවන් සීලයක් නෙවෙයි. මොනව කරන්නද ඉතින්. 19 වෙනිද වෙනකම් එන්නෙ නෑ කිව්ව මම 19 වෙනකම් ඉවසගන්න බැරුව දනි පිනියේ දුවගෙන ආවා. හැබැයි ඉතින් ආවට මොකද ලියන්න කියල එච්චර වැදගත් දෙයක්නම් මතකෙට ආවෙ නෑ. ඒත් ඉතින් මෙච්චර ආව එකෙ මුකුත් නොලියා යන්නත් හිත දෙන්නෙ නෑ. ඒක නිසා පුංචි කවියක් ලියලා යන්ට යන්නම්. අයෙනම් එන්න වෙන්නෙ ඉතින් 19 තමයි. එහෙනම් මන් ගොහින් එන්නම්. කලිනුත් සුභ පතුවානේ. කමක් නෑ. වැඩිපුර සුභ පැතුව කියලා වැඩි වෙන එකක්යැ. ඔයාල හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.

  බක් මාසේ මල් පිපිච්ච
ගහකොල සනහාගෙන එන
සිහිලැල් පොද වැස්සක් වී 
ඔබ මාගේ හිතට එන්න
කාහල නද අසා පිපුණ 
රතු පාටින් සිත්තම් කල
එරබදු මල් ගහට උඩින් 
හැන්දෑවට අත වනන්න
අතු අග පිපි මල් සොලවන 
කවි ගී තාලෙට පැද්දෙන
ඔංචිල්ලාවේ ඉඳගෙන 
හෙමි හෙමිහිට ඉඟි පාන්න
තෑගි බෝග කදමලු බැඳ 
අවුරුදු කුමරෙකු විලසින්
මම එනවා ඔබත් එක්ක 
වසන්තයේ ගී ගයන්න.

Wednesday, April 7, 2010

අවසරයි සමුගෙන යන්නට...... ( බායි )

ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකයි කියලා අපේ බුදු දහමේ සඳහන් වෙනවා. ඒක කොයි කාලෙටත් කොයි කෙනාටත් පොදු දෙයක්. හමු වීමක් තියෙන තැන වෙන් වීමක් තියෙනවාමයි. දුක උනත් කරන්න දෙයක් නෑ. ඒක තමයි ලෝක ධර්මතාවය. ඒ කුරිරු යථාර්තයට මටත් මුහුණ දෙන්න වෙලා. හිත ගලක්නම් දුක කියන දේ ගානකට නොගෙන ඉන්න තිබ්බ. ඒත් ඇයි දෙයියනේ මගේ හිත මේ තරම් මොලොක්  කලේ. වෙන් වීම අපි කාටත් පොදු දෙයක්, ඒක නිසා දුක් වෙන්න එපා, හිත ශක්තිමත් කර්ගන්න කියලා හැමෝටම බණ කිව්ව මම, අද මේ බ්ලොග් අවකාශය අත්හැරල යන්න වෙන දුකට වැලපෙනවා.
                           ඔව් යාලුවනේ. මට යන්න වෙලා. බ්ලොග් අවකාශය අත ඇරල  යන්න වෙලා. මුහුණෙන් නොදුටුවත් හිත් වලින් ලඟ ඉන්න යලුවො ටික දාල යන්න වෙලා. බ්ලොග් ලියන්න අරගෙන මාස 3ක් තරම් කෙටි කාලයක් උනත්, බ්ලොග් අවකාශය මොන තරම් මගේ ජීවිතේ ආක්‍රමණය කරලද කියලා තෙරෙන්නෙ මේ වෙන් වීම දරාගන්න බැරුව හදවත වැලපෙන හැටි දැක්කම. මොනවා කරන්නද දෛවය ඒකනම් අපිට ඒකට මුහුණ දෙන්න වෙනවා.

Tuesday, April 6, 2010

රජකමේ හඬ - පසු විපරම

රජකමේ හඬ නමින් ඊයේ ලියා පල කරපු ලිපිය සම්බන්දයෙන් නොයෙකුත් මත පල වෙලා තිබ්බා. ප්‍රතිචාර දක්වපු හැමෝටම මන් මගේ ස්තූතිය මේ මොහොතෙදි පිරිනමනවා. ඒ කතාවෙන් මා ලබපු ආදර්ශ වෙන්ම ලිපියකින් ලියන්න ඕන කියලා හිතුනා. මේ ටික එතනම් කමෙන්ට් එකක් විදියට දාන්න කියල තමයි මුලින්ම හැදුවෙ. ඒත් පස්සෙ හිතුනා වෙනම ලිපියක් විදියට ලියන එක හොදයි කියලා.  කතාව කියවපු නැති කෙනෙක් එහෙම ඉන්නවනම් මෙතනට ගිහින් ඒක කියවල එන්න. කම්මැලියි වගේනම් ඕනේ නෑ. දැන් ඔන්න ඔහේ මේක කියවන්නකො.

Monday, April 5, 2010

රජකමේ හඬ......

ඉස්සිල්ල කතාවට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබ්බ නිසා ඔන්න මන් අදත් කතාවක් කියන්න කියලා හිතා ගත්තා. මේකනම් හැබැයි කොලම්බස්ගේ කතාව වගේ ප්‍රහසනයක් ගැබ් වෙච්ච කතාවක් නෙවෙයි. නමුත් මේ කතාවෙන් ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා මට හිතෙනවා. මේ කතාව මට අහන්න ලැබුනේ නායකත්වය පිලිඹඳව පැවැත්වුන වැඩමුලුවකදි. හරි හරි වැඩි කතා ඔනේ නෑ. අපි කෙලින්ම කතාවට බහිමුකො.

Sunday, April 4, 2010

කොලම්බස්ගේ බිත්තරේ.......

ඔන්න මන් අයෙත් පොඩි කතාවක් කියන්න කියල ලක ලෑස්ති වෙන්නෙ. මේකනම් කෑලි වලට කඩන්නෙ නෑ ඔන්න. සත්තයි. ආයෙ කිව්වොත් කිව්වා. ඒක නිසා හරි බැරි ගැහිල බය නැතුව කියවන්න ගන්න. මේක ඇවිල්ල ඔයාලා හැමෝම දන්න කෙනෙක් ගැන පුංචි කතාවක්. කිස්ටෝපර් කොලම්බස්ව දන්නව නේද. කොලඹ හොයාගත්තෙ ඒ උන්නාස්සෙනෙ. සොරි සොරි. ජුන්ඩක් වැරදුනා. කට්ටිය සමාව භාජනේක දාන්න ඕනෙ. කොලඹ නෙවෙයි ඇමරිකාව. ඔන්න වරද නිවැරදි කොලා. කට්ටිය නැත්නම් කියයි මන් ඉතිහාසෙ විකුර්ති කොරලා උගන්වනවාය කියලා. හැබැයි දැන්නම් හිතෙනවා මොන මල මගුලකට ඇමරිකාව හොයාගත්තද කියලා. ඕක නැති වෙලාම තියෙන්න දුන්නනම් එකක්. කව්ද දන්නේ නෑ ඕක නැති කලෙ. කවුරු උනත් මසුරන් වටින මිනිහෙක්. අද කාලෙ ගැන දැනගෙනමද කොහේදෝ ඕක නැති කරන්න ඇත්තෙ. කෙහේද වෙන වැඩක් නැතුවද මන්දා මේ කොලම්බස් ගිහින් අයේ ඒක හොයාගත්තනේ.
                            හරි හරි ඒවයින් වැඩක් නෑ. කියන්න ආව කතාව කියන්නම්කො. නැත්නම් ඒක අමතක වෙනවා. මේක ඇත්තම කතාවක්ද නැත්නම් ගොතපු කතාවක්ද කියන්න මන් දන්නේ නෑ. මොකද ඒ කාලෙ මන් උන්නෙ නෑනෙ. හැබැයි මේ කතාවෙ පොඩි ගත යුත්තක් තියෙනව කියලා මට හිතෙනවා. ඒක නිසා ඇත්තක් උනත් බොරුවක් උනත් කමක් නෑ. ඇත්තක් කියලා හිතාගෙන කියවන්නකො.

නමක් නැති කවි - 2

ආදරේ සුන්දරයි
කිය කියා
කවි ලියන්න
මගේ හිතට
බල කරපු
උඹම
අද
අදරේ කටුකයි
කියලා
කවි ලියන්න
මගේ හිතට
බලකරන
හැටි

Friday, April 2, 2010

නමක් නැති කවි....


උඹ 
ටොකු ඇන ඇන 
උගන්නන්න හදාපු
ආදරේ 
කියන්නේ මොකද්ද කියල 
ඉගෙනගන්න හදද්දි 
උඹ
අතුරුදහන් වෙලා