Showing posts with label අලකලංචි. Show all posts
Showing posts with label අලකලංචි. Show all posts

Wednesday, December 19, 2012

කටට වරම් නැති.....

මගේ මතකයේ හැටියට ඒක පටන්ගත්තෙ මීට අවුරුදු තුනකට විතර උඩදි. යාන්තම් දකුණු  හක්කෙ ආපු කැක්කුමක් විදියට තමයි ඒක පටන් ගත්තෙ. ඥාණ දත් වෙන්න ඇති කියලා ඒ තරම් ගනන් නොගත්තට ඒක සැරෙන් සැරේ අමුතු විදියට වද දෙන්න ගත්තා. දත එන්නම වගේ කාලෙකට රිදෙන්න ගත්තා. අයෙමත් ටික දවසකින් හොඳ උනා. ඒත් අයෙමත් කලින් වගේම රිදෙන්න පටන් ගත්තා ටික දවසකට පස්සෙ. යාලුවො කිව්වෙ මගේ දතක් එනවා යනවා කියලා. ඕක ඔහොම කාලයක්ම තිබ්බත් දත් සම්බන්දව වෙද්දු ගාවට යන්න තිබ්බ බය නිසාම ඔන්න ඔහේ ඕන දෙයක් වෙද්දෙන් කියලා කරබාගෙන හිටියා. 
ගිය අවුරුද්දෙ මැද භාගයේදි තමයි පළවෙනි පාරට ලොකු දරුණු ප්‍රතිපළයක් එලියට පේන්න ගත්තෙ. හිටිගමන්ම මගේ දකුණු කම්මුල ඉදිමෙන්න ගත්තා. සතියක් විතර තිබ්බ රිදීමකින් පස්සෙ තමයි ඒක වෙන්න ගත්තෙ. රිදෙන එක නිසා වෙන්න ඇති කියලා ගනන් නොගෙන ටික දවසක් බලන් උන්නා. ටික දවසක් කියන්නෙ සති 3ක් විතර. ඒත් ඉදිමුම වැඩි උනා මිසක අඩු උනේ නෑ. කට අරින්නත් බැරි තරමටම අමාරුව වැඩි උනා. මේ තියෙන්නෙ ඉදිමිච්ච කම්මුලත් එක්ක මන් උන්නු හැටි.


අන්තිමේදි බලන් ඉන්නම බැරි තැන සහ, ඊටත් වඩා වටේ ඉන්න උන්ගේ කන්දොස්කිරියාවෙන් බේරෙන්න බැරි තැන කලුබෝවිල ඉස්පිරිතාලෙට ගියා. එතන හිටපු තරුණ වයස ඉක්මවන්න ඔන්න මෙන්න හිටපු ලස්සන දොස්තර නෝනා මගේ කටට ඇඟිලි දෙකක් දාලා එහෙම හොඳහැටි පරීක්ශා කරලා බැලුවා. අනේ අර වේදනාවත් කොහෙන් ගියාද නෑ. ඉදිමුම බහින්න බෙහෙත් එහෙමත් දුන්නා. මන් හිතුවා වගේම දත තමයි කේස් එක. මගේ ඥාණ දතට එන්න ඉඩ මදිලු. පස්සෙ දැනගත්ත විදියට පරිණාමයේදි මිනිසාගෙන් අයින් වෙලා යන තව එක දෙයක් තමයිලු ඔයි ඥාණ දත් 4.මට කිව්වා නිතරම කට හොඳට අරින්න උත්සහා කරන්න. නැත්නම් කට අරින්න බැරිම වෙයි කියලා. ඇඟිලි 2ක් කට ඇතුලට දාලා කට හොඳට පළල් කරනන් කිව්වා නිතරම.
"මන් හැමදාම මෙහේ ආවොත් ඩොක්ටට බැරිද අද වගේ මගේ කට පළල් කරන්න" කියලා අහන්න හිතුනත්, ඔවා අහලා අන්තිමේ මොනවා පළල් කරගෙන යන්න වෙයිද කියන්න දන්නෙ නැති නිසා මන් කට පියාගෙන හිටියා.
කෝම හරි අන්තිමේ මන් බයෙන් හිටපු දේ උනා.
"ඔය බෙහෙත් ටිකෙන් ඉදිමුම අඩු වේවි. තව මාසෙකින් එන්න මන් දිනයක් දෙනවා. එදාට අපි ඔය දත ගලවලා අයින් කරමු."
මොනවදෝ තුණ්ඩුවක් ලියලා මගේ අතට දෙන ගමන් ඩොක්ටර් කිව්වා. තව මාසයක්ම තියෙන නිසා මාත් වීරයා වගේ ඒකත් අරගෙන එන්න ආවා. කිව්වා වගේම බෙහෙත් වලට ඉදිමුම බැහැලා ගියා.
"ඉදිමුමත් බැස්ස එකේ ආයෙ මොකටද දත අයින් කරන්නෙ" මගේ හිත ඇතුලෙ ඉන්න වෙදා මට උපදෙස් දුන්නා. ඒ උපදෙස අකුරටම පිළිපැද්ද මම ආතල් එකේ තව කාලයක් සුවෙන් හිටියා.

මේ අවුරුද්දෙ මැයි මාසෙ වගේ තමයි මන් ගත්තු තීරණේ ප්‍රතිපළ මට දැනෙන්න ගත්තෙ. කලින් වතාවෙ වගේම දකුණු කම්මුල ඉදිමුනා. ටික දවසකින් ඉදිමුම බැහැලා ගියා. හැබැයි දකුණු පැත්තෙ කම්මුලට ටිකක් පහලින් බෙල්ල හරියෙ ලොකු ගෙඩියක් ඉතුරු උනා. ගොඩ බෙහෙත් කීපයක්ම කලත් ඒකනම් අඩු උනේම නෑ. පස්සෙ බැරිම තැන ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා. එයාගෙ උපදෙස උනේ,
"හෙට උදේම ගිහින් හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න"
අපේ අම්මට ඉතින් ඒ වචනෙ ඇතිනේ. ඊලග දවසෙ උදේම මාව කරාපිටිය රෝහලේ ඇඳක් උඩට පත බෑව්වා.
ඔන්න නාට්ටියෙ හොඳම හරිය පටන් ගත්තෙ එතන ඉඳන් තමයි. මාව ඇඩ්මිඩ් කරගත්තට මොකද එතන ඩොක්ටර්ස්ලට හිතාගන්න බෑ ඇයි මේ ගෙඩියක් ඇවිත් තියෙන්නෙ කියලා. සැරෙන් සැරේ එක එක්කෙනා ඇවිත් එක එක දේවල් කියලා ගියා. මාත් ඉතින් එයාලා කියන ඒවට ඇටි රිලවා වගේ ඔලුව වන වන හිටියා. ඒ අස්සෙ  මෙඩිකල් ෆැකල්ටියෙ කෙල්ලො. උන් එනවා සැරෙන් සැරේ. බෙල්ල ඔබනවා. කට අරිනවා. ඇඟිලි දානවා. අර බෙල්ලෙ නෙරුම තදකරනවා. අනිනවා. එක ජංජාලයයි. මොනා උනත් පවුනෙ. කෙල්ලොනේ කියලා මාත් ඔහේ හිටියා ඕනෙ දෙයක් මිරිකගනින් කියලා. ඒත් අන්තිමේ ඒකෙන් උනේ අල්ලද්දි විතරක් ටිකක් රිදි රිදි තිබ්බ ඒ බෙල්ලෙ නෙරුම නිකනුත් අම්බානෙක රිදෙන්න ගත්ත එක.
එදා මහ රෑ කෝම හරි මාව එක්කන් ගිහින් එක්ස් රේ එහෙමත් ගත්තා. උදේ ඒවා බලමු ඩෙන්ටල් එකේ ඩොක්ටර නිගමනය කලා දතේ කේස් එක නිසා තමයි මේක වෙලා තියෙන්නෙ කියලා. ඒක නිසා පහුවදා මාව ඩෙන්ටල් එකට මාරු කලා.
එතනට ගිය ගමන් ඩබලක් සෙට් උනා. එක්කෙනෙක් විදුරු මහේ ඔපරේශන් එකක් කරගන්න ආපු කෙනෙක්. අනිත් කෙනා වලියකට ගිහින් හොම්බ රිවට් වෙන්න පාරක් කාපු කෙනෙක්. කෝම හරි 3 දෙනත් එක්ක එක එක විකාර කියෝ කියෝ වාට්ටුව දෙවනත් වෙන්න හිනා වෙවී හිටියා. ඇයි දෙයියනේ හිනා යන දේවල් වෙද්දි කට අමාරුයි කියලා හිනාව තද කරන් ඉන්නයැ. වාට්ටුවෙ හිටපු නර්ස් නෝනා කෙනෙකුත් අපි දිහා බලලා මහා පාච්චල් හිනාවක් දැම්මා. ඒ ඇයි කියලා අපිට තේරුනේ ඉතින් පස්සෙ.
උදේ 11.30ට වගේ මාව එක්කන් ගියා ඩෙන්ටල් ක්ලීනික් එකට. මන් හිතුවෙ පොඩ්ඩක් පරීක්ශා කොරන්ට එක්ක යනවා කියලා. ඒක නිසා මාත් ඒච්චර ගානකට ගන්නෙ නැතුව ගියා. ඒක මගේ ජීවිතේ තවත් එක බිහිසුණු අත්දැකීමක් වෙයි කියලා මට ඒ වෙලාවෙ එක මොහොතකටවත් හිතුනෙ නෑ. එහෙම හිතුනනම් මන් ඉස්පිරිතාලෙන් පැනලා ගෙදර එනවා.
දවල් දොලහ වෙනකොට අමුතු අමුතු ආයුධ ආම්පන්න පිරුනු කාමරයක් ඇතුලෙ දොස්තර අයියලා දෙන්නෙකුයි නර්ස් අක්කලා තුන් දෙනෙකුයි එක්ක මම තනි වෙලා. එක නර්ස් අක්කා කෙනෙක් මාව පිටි ඇන්ද හරහට පාත් උනු අමුතු පුටුවක් උඩ වාඩි කෙරෙව්වා. එක දොස්තර අයියා කෙනෙක් එයාගෙ කොල පාට අමුතු ඇඳුම ඇඟට දාගත්තා. ඒ ගමනනම් මට තේරුනා මේ එන්න යන්නෙ හොඳකට නෙවෙයි කියලා. එයා මගේ ලඟට ඇවිත් කලින් දවසෙ ගත්තු එක්ස් රේ දෙකත් ඉස්සරහින් තියාගත්තා. ඊ ලඟ මොහොතේ මග කට ඇරලා ටික වෙලාවක් මොනාදො පරික්ශා කරපු දොස්තර අයියා ගත්තෙ නැතැයි ඉන්ජෙක්සන් කට්ටක් අතට. මගේ කකුල් දෙකත් එක්ක ගැහෙන්න ගත්තා කාමරේ ඇතුලෙ තිබ්බ සීතලට. ඉන්ජෙක්සන් කට්ට විදුරුමහට තද කරද්දි මන් හිතන් හිටියා වගේ ලොකු වේදනාවක් නොදැනුන නිසා සැනසුම් සුසුමක් හෙලන්න හදන කොටම මේන් ඒක ගත්තෙ නැතැයි තව ඉන්ජෙක්සන් එකක්. ඒකනම් අස්පයොන්ට ගහන එකක් වගේ තඩි එකක්. මේ පාරනම් කෑවා තමයි පුතො කියලා හිත හදාගත්තා. මහා ලොකුවට නොවුනත් පොඩි පහේ රිදීමක් ඒකෙනුත් ඇති උනා. දැන් මගේ කට මගේ ඇඟේ නෙවෙයි වගේ. මගේ ඇඟෙන් එලියට පාවෙලා යනවා වගේ. මට පොඩි බයකුත් දැනුනා ඕක පාවෙලා ගිහින් අර නර්ස් අක්කා කෙනෙක්ගෙ නරක තැනක වැදුනොත් එහෙම කියලා.
ඔන්න ඉතින් අර දොස්තර අයියා එයාගෙ අම්පන්න එහෙම සූදානම් කරගෙන වැඩේට ලේස්ති වෙන අතරෙදි අනිත් දොස්තර අයියා එතනට ආවා.
"ආහ්! ඔයා මුලින් දත ගලවන්නද යන්නෙ"
"ඔව්"
"නෑනෙ. මුලින් දත නෙවෙයි. අපි මේ ගෙඩිය සුද්ද කරලා ඉමු"
"ආහ්! එහෙමද? හරි එහෙනම් එහෙම කරමු"
ඒ වෙලාවෙ තමයි මට පළවෙනි පාරට තේරුනෙ මන් මේ පර්යේශණ මීයෙක් වෙන්නයි මේ යන්නෙ කියලා. ඒත් දැන් මොනා කරන්නද? දොස්තරලා මුන්නෙ. මන් නෙවෙයිනෙ. අර පලවෙනි දොස්තර අයියා (පහසුව තකා එයට 'පොඩි දොස්තර අයියා' කියන්නම්කෝ) ඒ ගමන තව ඉන්ජෙක්සන් එකක් ලේස්ති කරගෙන මගේ බෙල්ලෙන් අල්ලගත්තා. හරියටම අර ගෙඩියටම ඉන්ජෙක්සන් කටුව කීප වතාවක්ම ඇතුලු කලා. මන් ඇස් දෙක තද කරලා පියාගෙන කන් දෙක ඇරගෙන උන්නා. එක සැරයක් ඉන්ජෙක්සන් කට්ට ඇතුල් වෙද්දි ලොකු දොස්තර අයියා කෑ ගැහුවා.
"හා හා.... ඔච්චර ඇතුලට යවන්න එපා. හම උඩින් දෙන්න"
"ආහ්! හරි හරි" පොඩි දොස්තර අර ඇතුලු කරපු කට්ට අයෙමත් එලියට ඇදලා ගත්තා.  කෝම හරි ටික වෙලාවකින් මගේ බෙල්ලත් හිරි වැටෙන්න පටන් ගත්තා.
ඊට පස්සෙ දෙන්නත් එක්ක යුද්ධෙ පටන් ගත්තා. හිරි වැටුනා උනත් මොකද්දො අමුතු විදියකට එයාලා කරන දේවල් මට දැනෙනවා. ඒක මොන විදියෙ රිදීමක්ද කියන්න මට දැනටත් තේරෙන්නෙ නෑ. හැබැයි මට දැනටත් ඒ හැඟීම මතක් වෙද්දි බෙල්ල දිගේ විදුලියක් යනවා වගේ වෙනවා. විනාඩි 20ක් විතර මගේ බෙල්ලත් එක්ක ඔට්ටු  වෙද්දි දොස්තර අයියලා දෙන්න බෙල්ලට ප්ලාස්ටර් එකකුත් දාලා ඒ වැඩේ හමාර කලා.
"දත අයින් කරන්න කලින් අපි අර ලෙඩාට ලේ දෙන වැඩේ බලලා එමු" දොස්තර අයියලා දෙන්නා නර්ස් අක්කලත් එක්ක මාව තනිකරල දාලා පිටත් උනා. බෙල්ල ඔපරේශන් කරලා ප්ලාස්ටර් ගහලා. කටට ඉන්ජෙක්සන් ගහලා හිරි වැටිලා. ඒත් දෙයියනේ කට නොඇර කෝමද? මන් හෙමින් සැරේ නර්ස් අක්කලත් එක්ක කයියක් පටන් ගත්තා. අපරාදෙ කියන්න බෑ ශෝයි අක්කලා තුන් දෙනා. හැබැයි එයාලට තිබුන ලොකුම ප්‍රශ්ණෙ තමයි මන් කොන්ඩෙ වවලා ටින්ට් කරලා හිටපු එක. එයාලට ඕනේ උනේම මාව කොන්ඩෙ කපලා ලස්සන කොලු මහත්තයෙක් කරන්න. ඒකෙත් හැටි.
ටික වෙලාවකට පස්සෙ මන් මෙච්චර වෙලා හිතේ හිරකරන් හිටපු ප්‍රශ්ණෙ එලියට ඇදලා දැම්මා.
"අනේ අක්කේ බැරිද සිහි නැති කරලා දත අයින් කරන්න"
"ආපෝ...... පොඩි ළමයෙක් වගේනෙ... ලැජ්ජ නැද්ද අනේ ඔයාට..... ඔච්චරම බයයිද"
නර්ස් අක්කලා මට කින්ඩියක් දැම්මා.
"හ්ම්ම්. රිදෙනවට වඩා ලැජ්ජ වෙන එක මට සැපයි අක්කේ" මන් අමාරුව පිටින්ම ඇත්තම කියලා දැම්මා.
"බය වෙන්න එපා අනේ.... ඕක රිදෙන්නෙ නෑ.... මොකුත් දැනෙන්නෙවත් නෑ" නර්ස් අක්කලාගෙ ලෙන්ගතු වචන ඒ වෙලාවෙ මට ලොකු සහනයක් උනා.
පැය බාගෙකට විතර පස්සෙ දොස්තර අයියලා දෙන්නා අයෙමත් ආවා.
"තාම හිරි වැටීම තියෙනවද?" පොඩි දොස්තර අයියා මගේ කටට ඇඟිල්ලෙන් අනින ගමන් ඇහුවා.
"ටිකක් තියෙනවා... අනේ ඒකට කමක් නෑ. තව ඉන්ජෙක්සන් 10ක් හරි ගහලා මොකුත්ම දැනෙන්නෙ නැති ගානට ගන්න"
කට්ටියම ඒකට හිනා උනේ හරියට ගල් හිත් තියෙන අය වගේ. පොඩි දොස්තර අයියා හිනා වෙවීම තව ඉන්ජෙක්සන් එකක් දුන්නා.
එතනින් එහාට මට එක එක විදියෙ ආයුධ කට ඇතුලට යනවා පේනවා. කට ඇතුලෙ එකම යුද්ධයයි. සැරෙන් සැරේ දොස්තර අයියා නර්ස් අක්කා කෙනෙක්ට කියනවා 'සක් කරන්න... සක් කරන්න' කියලා. පලවෙනි සැරේ මන් ඔලුව උස්සලා බලන්නත් ගියා මොකද්ද මේ සක් කරන්න යන්නෙ කියලා. බැලින්නම් මගේ කට ඇතුලට එන බ්ලඩ් ටිකයි මේ සක් කරන්න කියලා තියෙන්නෙ.
හැමදේටම වඩා මට බය හිතුනෙ මන් එතන පර්යේෂන මීයෙක් උන එකයි.
"අයියෝ ඔයි මොකද්ද ඔයි දාපු කැපුම. මේකට ඔය කැපුම දාලා හරියන්නෙ නෑනෙ. ඕක වැරදියිනෙ."
"ආහ්. ටිකක් වැඩිපුර කැපිලා නේද එතන"
"දත කර්ව් වෙලා ඇති යටින්. ඒකයි මේ එන්නෙ නැත්තෙ"
"මේකට ....... කැපුම දැම්මනම් හරි. ඒත් ඒක දාන එක ටිකක් අවධානම්"
"කෝ මට දෙන්නකො මන් ටිකක් බලන්න."
"ඔයාට පුලුවන්ද? නැත්නම් මන් ගන්නද?"
දොස්තර අයියලා දෙන්නට පර්යේෂණ මීයෙක් වෙලා කට ඇරගෙන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් මට තිබ්බෙ නෑ. ලීයක හිර උන ඇනයක් ගලවනවා වගේ කකුලෙන් මගේ බෙල්ල පාගගෙන මොකද්දෝ අඬුවකින් මගේ දත හතර පැත්තට වනනවා. වේදනාවක්ම කියන්නත් බෑ. හැබැයි දරුණු විදියට එයාලා කරන දේවල් මට දැනෙනවා. මගේ මුලු හක්කම ගැලවෙන්න යනව වගේ මට දැනුනේ. අමාරුව වැඩි කමට එහා පැත්තෙ හිටපු නර්ස් අක්කා කෙනෙක්ගෙ මහත කකුලක් තද කරලා බදාගන්න මට හිතුනා. ඒත් ඒවා කොරලා දත් සෙට් එකමට බඩට ඇරියොත්. මන් ආයෙමත් හිත සංසුන් කරගන්න උත්සහා කලා.
මගේ ඒ දත තවම එලියට ඇවිත් නැති නිසා මේක ටිකක් අමාරු කේස් එකක්. මුලින් විදුරු මහ පලලා හෙමිහිට තමයි දත අයින් කරන්න ඕනේ. කෝම හරි පැයක විතර හෙන ගේමකින් පස්සෙ මගේ නූපන් දත කටින් ගැලවිලා ලෝහ භාජනේකට වැටුනා. ඒ පැයක කාලය...... ඒක මට වචන වලින් විස්තර කරන්න බෑ. ඒ පැය ඇතුලෙ උන දේවල් ගොඩයි. ඒ ඔක්කොම ලියන්නත් බෑ. හැබැයි මට හිතුනු දේ හොඳ පළපුරුදු දොස්තරලා මේ වගේ තැන් වල ඉන්නවනම් තත්වය වඩා හොඳ වෙයි කියලා. ඒත් ඉතින් එයලා පළපුරුදු වෙන්නත් මන් වගේ පර්යේශණ මීයො හම්බෙන්න එපැයි.
අන්තිමේදි මගේ ලඟට ආව ලොකු දොස්තර අයියා මෙහෙම කිව්වා.
"මේක හරිනම් අපි ඔයාට කලින් කියන්න ඕනේ. මේ ඔපරේශන් එක නිසා ඔයාගෙ ස්නායු වලට හානි වෙන්න ඉඩ තියෙනවා. සමහර විට ඔයාගෙ උඩුතොලයි දිවයි හිරි වැටෙන්න ඉඩ තියෙයි. ඒක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. උනත් වෙන දවසක් කියන්නත් බෑ. සමහර විට ජීව්ත කාලෙම තියෙන්නත් පුලුවනි. කෝම උනත් ඕක අනිවාර්යයෙන් අයින් කරන්නම ඕනේ ඔපරේශන් එකක්."
ඒ වෙලාවේ ඒ කිව්ව දේවල් තේරුම් ගන්න තරම් මන් ප්‍රාණවත්බවක හිටියෙ නෑ. ඒ කිව්වෙ දේ මට හරියටම තේරුනේ ආයෙමත් වෝඩ් එකටත් ගෙනාවට පස්සෙ.
කෝම නමුත් අද වෙනකම්නම් එහෙම කිසි අවුලක් උනේ නෑ. ඒත් හෙට?







Monday, September 24, 2012

මා දුටු පොත් පදර්සනය

මම පහුගිය සෙනසුරාදා එකෙ තිබ්බ පොත් පදර්සනය බැලීමට ගියෙමි. මා එහි යන විට ගොඩක් අය ඇවිත් සිටියමුත් මම අඳුරන කවුරුත් ඇවිත් නොතිබ්බෙමි. එම නිසා මම උදේ නවයේ සිට ගේට්ටුව ගාව බලා සිටියෙමි. අන්තිමේ බැරිම තැන අමම ඇතුලට ගියාය. එහිදි මට අපේ බ්ලොග් ලියන මාමිලා නැන්දිලා කිහිප දෙනෙකු හමු උනාය. සිහින මාමා,  අමිල මාමා හසී නැන්දා සමඟ ඕනයා සීයා හා වෙනි සීයාද සිටියේය. පසුව අක්කාද පැමිණ අපිට එකතු ඌවේය. අපි බොහෝ වෙලාවක් යනතෙක් පොත් නරඹමින් එහේ මෙහේ ඇවිද්දේය. පොත් ගැනීම සඳහා ගොඩක් පිරිසක් පැමිණ සිටියේය. ලස්සන ලස්සන ඇඳුම් ඇඳගත් අක්කලා නන්ගිලා නැන්දිලා බොහොමයක් ඒ අතර සිටියේය. එහෙත් අයියලා මල්ලිලා හා මාමලා වැඩි දෙනෙකු මම නොදුටුවෙමි. පූසා මාමත් පසන් මාමාත් අපිට එකතු ඌයේ ටික වෙලාවකට පසුවය. ඕනයා සීයා අපිව වට කරගෙන ලස්සන කතන්දර කියා දුන්නාය. ඒ කතන්දර මට කවදාවත් අපේ ටීටර් කියාදී නැත. වෙනි සීයා එයාගෙ කැමරාව ගෙන පොටෝ ගත්තාය. එහෙත් ඒ කැමරාවෙන් ගත හැක්කේ අක්කලා නන්ගිලා නැන්දිලාගෙ පමණක් බව මට කියා දුන්නේ හවස පැමිණි වැප් මාමාය. මන් පොටෝ වලට සිටීමට ගොඩක් කැමතිය. ඒ නිසා අනිත් පාර අපිවත් පොටෝ ගන්න පුලුවන් කැමරාවක් අරන් එන ලෙස මම වෙනි සීයාට පැවසුවෙමු. රාජ් මාමා, ප්‍රදීප් මාමා, රන්දිකා නැන්දි. සානිකා නැන්දි, ටිටූ මාමා අතුලු තව ගොඩක් දෙනෙක් මට මුණු ගැසුනේය. ඔවුනේ නම් ලියන්න ගියොත් මට මගේ නමත් අමතක වෙන්නේය. සිහින මාමා කවුදෝ නැන්දි කෙනෙක් සමඟ සිටි නිසා හිටියේ හරිම ආඩම්බරයෙන්ය. ඒ නැන්දිට වෙන යාලුවො නැත්දැයි වැප් මාමා සිහින මාමාගෙන් ඇසුවේ ඇයිදැයි මට තාමත් තේරෙන්නෙ  නැත. මෙයට පොත් පදර්සනයයැයි නම තිබ්බේ ඇයිදැයි මන් නොදනිමි. මොකද මම එහිදි වැඩිය පොත් දැක්කේ නැත. හැබැයි ලස්සන ලස්සන ඇඳුම් ගොඩක් දැක්කේය. ඒවා දැක මගේ පුන්චි හිතද කැළඹෙන්නට පටන් ගත්තෙමි. සිහින මාමා නිතරම වන් අ ක්ලොක්. ටූ අ ක්ලොක් යැයි කියමින් නිතරම වෙලාව කිව්වේය. ඒ කියන සෑම විටම අනිත් සියල්ලෝම බෙල්ල හරව හරවා එකම මොන මොනවදෝ බැලුවාය. ඒත් ඒ බැලුවේ මොනවාද කියා ඒ කවුරුවත් මට කියා දුන්නේ නැත. ඒ නිසා මට ගොඩක් දුක හිතුනෙමි. හවස අපි සහන් රන්වල මාමාගේ සින්දු බැලුවෝය. මමත් ගොඩක් ලස්සනට සින්දු කිව්වෙමි. අමිල මාමා සින්දු කීම පැත්තක දමා එයා ලඟ සිටි කවුදෝ නැන්දි කෙනෙක් සමඟ කතා කර කර හිටියාය. ඒත් ඒ නැන්දිගේ මහත්තයා එතනට පැමිණි නිසා අමිල මාමාට තරු පෙනුන බව වැප් මාමා මට කීවාය. අපි රෑ 9 විතර වෙනතරු එහි සිටියාය. ඉත් පසු අපි සැවොම සතුටින් නිවෙස් බලා පැමිණියෙමු. ලබන පාරත් පොත් පදර්සනය බැලීමට එමට මම ආසාවෙන් සිටිමි.

Monday, February 7, 2011

පොලිතින් උරයෙන් වැසුනු ලැජ්ජාව

හැමෝම දැන් දන්න දෙයක්නෙ මම මඩ වලට බය නැති මිනිහෙක් විත්තිය. ඔන්න ඒක නිසා මටම මඩ වදින පට්ට සීන් එකක් තමයි මන් මේ දැන් කියන්න යන්නෙ. පරන සිදුවීමක් නෙවෙයි. උණු උණු බඩු. හරියටම පහුගිය සිකුරාදා තමයි මේක උනේ. සමහරු මේ සිදුවීම විකෘති කරලා මිනිස්සුන්ව නොමග යවයි කියන බය, මට මුල ඉදන්ම තිබ්බා. ඔන්න ඒක නිසා තමයි ඇත්ත ඇති සැටියෙන්ම, කිසිම හොර බොරුවක් වංචාවක් නැතුව මන් දැන් මේ ඔයාලට කියන්න යන්නෙ. වෙනත් අය කියන බොරු බේගල් වලට අහු වෙන්න එපා. මෙන්න තියෙනවා සම්පූර්ණ සත්‍යය.

Wednesday, January 26, 2011

තරුණයා සහ මගේ නෝන්ඩි ඉතිහාසය

ඔන්න ඉතින් කතන්දර ප්‍රිය කරන අපේ පාඨක පාඨිකාවියන් උදෙසා තමයි මන් අද මේ ලිපිය ලියන්නෙ. විශේෂයෙන්ම කාට හරි සිදු උන නෝන්ඩි සීන් එකක් කියවලා හිනා වෙන්න බලන් ඉන්න අය වෙනුවෙන් තමයි මේ කතාව පිදෙන්නෙ. හැබැයි මන් ඔය අනිත් අය වගේ අනිත් උන්ට මඩ ගහන්නෙ නෑ.....  :D:D:D මන් මේ ක‍රන්න යන්නේ බ්ලොග් ඉතිහාසයේ කවුරුත්ම මෙතෙක් නොකරපු වැඩක්. කොටින්ම කිව්වොත් තමුන් විහින්ම තමුන්ගේ ඇඟේ මඩ ගා ගැනීමක්. ඒත් අපේ බ්ලොග් යාලුවෝ දන්නවා මන් ඔය මඩ වලට බය මිනිහෙක් නෙවෙයි කියලා. මට මඩ ගහලා කෙනෙක් සියුම් වින්දනයක් ලබනවනම් බලෙන්ම ගිහින් ඒ මඩට ඔලුව අල්ලන මිනිහෙක් මන්. අපේ කස්ටියට මන් ඒ ගැන අමුතුවෙන් කියා දෙන්න ඕන නෑනෙ. හරි එහෙනම්. මන් මගේ කතාව කියන්නම්. මඩ ගහන්න කැමති අයට ඕනෑ හැටියකට මඩ ගහන්න පුලුවන්. මගේ ජීවිතය තුලදි මන් වැඩියෙන්ම නෝන්ඩි උන දවස් කීපයෙන් එකක් නොහොත්  "තරුණයා" ගේ ඉතිහාස කතාව මෙලෙස දිගහරින්නම්.

Wednesday, November 3, 2010

වැරදුන දඩයම

ගිය අවුරුද්දේ හරියටම මේ දවස් වල මම කරාපිටියෙ ඉස්පිරිතාලේ ඇඳක් උඩ දපලා ඉන්නවා. ඔක්තෝඹර් 31 වෙනිදා ඉඳන් නොවෙම්බර් 7 වෙනිදා වෙනකම් දවස් 8ක්ම බෙහෙත්, ඉන්ජෙක්ශන්, සේලයින්, නර්ස්ලා, දොස්තරලා අතරේ හිර වෙලා ජීවත් වෙන්න උනා. මාව ඇතුල් කරගත්තේ ඩෙංගු කියලා. පස්සෙ කිව්වා මී උණ කියලා. ඊට පස්සෙ කිව්වා මුත්‍රා මාර්ගෙට විශබීජයක් ගිහින් කියලා. ඊට පස්සෙ තවත් මොකද්දෝ ලෙඩක් කිව්වා. හප්පා ඒක නිකන් මහ භයානක නමක්. නමේ බර වැඩි කමට මට දැන් ඒක මතකත් නෑ. මම එහෙම නමක් තියෙන ලෙඩක් ඇහුවෙ එදාමයි. ඒ වෙලාවෙනම් මන් හිතුවා මන් මැරේවිමයි කියලා. එච්චර භයානක නමක් තිබ්බේ ඒ ලෙඩේට. කොහොම හරි අන්තිමේ ලේ වලට විශබීජයක් ගිහින් කියලා අවසන් නිගමනයකට ඇවිත් මාව ටිකට් කපලා ගෙදර එව්වා. ඇත්තටම තිබ්බ ලෙඩේ මොකද්ද කියනන් දන්නෙ දෙයියෝ තමයි. ඒකෙන් මේකෙන් උනේ මදුරුවන්ටත් හපන් විදියට පැයෙන් පැයට ඉන්ජක්සන් කට්ටක් උස්සන් එන නර්ස් ඇන්ටිලාට ලේ පූජා කරන්නයි, පෙනිසිලීන් විදින කොට තියෙන ෆුල් ආතල් 1 විඳගැනීමයි විතරයි. හප්පා ඒකනම් ෆුල්ම ආතල් එකක් තමයි. පැය 6න් 6ට ඒක විදිනවා. විදින්න පැයකට දෙකකට කලින් ඉඳන්ම හූල්ල හූල්ල ඉන්නවා 'අයියෝ තව ටිකකින් අර මගුල විදියි' කිය කිය. විද්දිදි  තියෙන්නෙ අමුතුම සැපක්. මැනික් කටුව ගාවින් බෙහෙත ඇඟට ඇතුල් වෙද්දි උරහිස ගාවට යනකම්ම ඒ සැප දැනෙනවා. ඊට පස්සෙ ඉතින් ආයෙත් පැයක් විතර යනකම් අතම අත ගගා ඉන්නවා. ඒ අස්සේ වැලමිට හරියේ ඇතුල් පැත්තේ තනිකර හිල් විමානයක් ලේ අරන්ම. මදුරුවො තව හොදයි අප්පා.

Sunday, April 25, 2010

මෙවන් විපත් සතුරෙකුටවත් නොවේයා

බ්ලොග් ලියන එකයි කියවන එකයි පටලුනාම වෙලාවකට එකක්වත් කරගන්න වෙන්නෙ නෑ. බ්ලොග් කියවන්න කියල පටන් ගත්තොත් කියවගෙන කියවගෙන යනව මිසක් ලියනන් වෙන්නෙ නෑ. ලියන්න ගත්තොත් ඉතින් කියවන්න වෙන්නෙත් නෑ. චුට්ටක් යන්තම් කියවනවා කියල හිතගෙන ගියත් කට්ටිය ලියල තියෙන දේවල් දැක්කම මගින් දාල යන්න හිතෙන්නෙත් නෑ. කියවන් යද්දි ඒවට හිත ගියාම ලියන්න අලුත් දෙයක්  හිතට එන්නෙත් නෑ. එහෙමයි කියල ඉතින් කියවන්නෙ නැතුව ඉන්නත් බෑ. ලියන්නෙ නැතුව ඉන්නත් බෑ. අදත් විවේක වෙලාවෙ කියව කියව හිටියා මිසක් ලියන්න දෙයක් කල්පනා කලේ නෑ. හදිස්සියට කතාවක් මතක් වෙන්නෙත් නෑ.
                            බැරිම තැන මන් යන යන තැන අරගෙන යන මගේ උසස් පෙල කාලෙ ලියපු ස්පෝකන් ඉන්ග්ලිශ් පොත ගත්තා අතට. ඕක මන් කොයි වෙලෙත් ලඟ තියාගන්නෙ විවේක වෙලාවල් වලට  පොඩ්ඩක් කියවන්න කියල හිතාගෙන. විවේක වෙලාවල්නම් ඕන තරම් ආවා. ඒත් පොතනම් කවදාවත් දිග ඇරුනෙ නෑ. ඒත් ඉඳල හිටලා පොත දිග නොඇරුනාමත් නෙවෙයි. හැබැයි අවාසනාවකට ඒ පොතේ අන්තර්ගතය කියවන්නනම් නෙවෙයි. පොතේ පිටු අතරෙ පරිස්සමට අන්තර්ගත කරල තියෙන එක එක ඒවා ලියපු කොල කෑලි, එක එක තැන් වලින් උස්සන් ආපු පත්තර පිටු කෑලි එහෙම එලියට ගන්න. මොකද මන් ඔය එක එක තැන් වලින් අහුලගෙන ආපු පත්තර පිටු කෑලි, ගෙදර තිබිලා හම්බ වෙන ඉස්සර කාලෙ ලියපු තියන්න වෙන තැනක් නැති කවි තියෙන කොල කෑලි, එක එක සින්දු කෑලි එහෙම ලියපු කොල කෑලි, තව ඔය එක එක වල් පල් ලියපු කොල කෑලි එහෙම පරිස්සමට දාල තියන්න භාවිතා කරන්නෙත් ඔය පොතම තමයි. එහෙම හරි ඒ පොත භාවිතා වෙන එක ලොකු දෙයක් ඉතින්.