Tuesday, June 18, 2019

සාරාංශය

සුළඟකට තහනම්ද ආලය
චණ්ඩ වී මග නසන හංදා
සයුරකට තහනම්ද ආලය
වෙරළ මත වැද බිඳෙන හංදා

අමාවක රෑ දිලෙන තරු කැට 
රැයේ කළුවර මකන හංදා
පුරා පුන්සඳ කිරණ අතරේ
උඩුඟු නෙත් සර දේද මංදා

වඩා බැතිසිත ගියත් ඉහළින්
ඉගිල සමනොල අඩවි වන්දා
සමනලුන් ගෙන ඒද කිසිදා
රොන් උරා බිවු මලක් කැන්දා

Thursday, June 6, 2019

ෆැන්ටසි!

පැරණි කවියක බිඳුණු කවිපද
අලුත් ගීයේ එලිසමට විත්
අරුත නොඅසා තනුව හැඩ කර
ගීතයේ රස මරා නික්මෙත්

බැන්ද කවිපද පෙර එදා දින
එලිසමය පමණක් සිතාගෙන
ගීයකට සවි මදි නිසාවෙන්
සිත යටම මිහිදන් කලා මම

අරුත ගැඹුරුව තනුව මිහිරිව
දිවිය රඳවා තැනුව ගිතය
ගැයෙන විට කල් මතුවෙනා දොස්
මකන්නට ආ පැරණි කවිපද

අලුත් ගීයත් පැරණි කවියත්
එක්ව තැනු කවි පෙළ අරුත්බර
එකම තනුවක ගැයෙන මිහිරිය
සිතින් විඳගමි නෙත් පියන් මම