Saturday, November 26, 2011

මිතුදම නාමෙන්......

 නුඹේ වදන් මත නැවතුනු නෙත අග
පොපියන කඳුලට සමු දීලා
පෑරුනු සිත ගෙන කෙලෙසක යන්නද
විශ්ම්ත ඇසුරින් ඉගිලීලා

ඉරී තැලුණු රුදු කර්කශ කතරක
ගිනියම් අව්වෙහි තනිකරලා
හිතුවේ කෙලෙසද මා යයි කියලා
මේ මිතු දම ඉවතක හෙලලා

යුතුකම් ඇත අපමණ ඉටු කෙරුමට
මිතුදම නාමෙන් ලොව මැවිලා
නුඹේ සිනාවට ජීවය පිඹිමින්
ඉන්නම් නිරතුරු ලඟ රැඳිලා

Thursday, November 24, 2011

කුමරුන් වැඩියද?

මලවිගෙ හී රැඳුනිද හදවත මත
ප්‍රේමයෙ මල් දම් එතුනිද ගෙල වට
ආල හැඟුම් තෙරපෙයිදෝ හිත යට
කුමරුන් වැඩියද සෙලවූ ඔය සිත

ඔබෙ හිත ගස්සා හදවත අල්ලා
පෙම් දිය දහරින් දිවියම නහවා
සුදු අසු පිට නැග ඈතක ඉඳලා
රෝස මලක් ගෙන  වැඩියද කුමරා

මල වට සරනා බඹරුන් වාගේ
කුමරුන් සිටියත් පතමින් ආලේ
හඳුනාගන්නා හදවත් රාවේ
කෙනා වඩින තුරු මග බැලුවානේ

එකට පා තබා එක මග යන්නට
පැතූ කෙනා ලැබුනාදෝ දිවියට
එහෙනම් කුමරියෙ ලඟදිම දවසක
හැඬවෙයි මංගල සීනුව දොරකඩ

Tuesday, November 22, 2011

යන්නට යමි


වැහපන් මහ වරුසා වැහැපන්
ඇගේ කඳුලු සෝදා වැහපන්
වාවනු බැරි නෙතු පුරා නැගී එන
කඳුලු වසා වැහි බිඳු වැටියන්

සිනහා දරා මා සිත අභියස
ඔබ සිටි මුත් දැහැනට සම වී
මා හදවත තුල නොනැගුණු ප්‍රේමය
කෙලෙස ඉම්ද ඔබහට පුද දී

පැතුම් පුරවමින් ඔබ සිත තුල
බැහැ ඉන්නට කරමින් පවු කම්
ඔබෙන් මිදී ඔබහට නිදහස දී
යන්නට යමි තෙත් සිත සඟවන්


Tuesday, November 1, 2011

නමක් නැති කවි 16


ඔයින් ගියා මදැයි
තුන්වෙනි ශික්ෂා පදේ
කැඩුනට
අඩුම ගානේ
දෙවෙනි ශික්ෂා පදේ
කඩන එකෙන්වත්
උඹ
මාව බේරුවනේ