Tuesday, March 4, 2014

හෙට...


දෙගුරුන් සනසවා
තම සෙනෙහෙ සඟවා
සිතක දුක් පුරවා
කුමරි යාවිද
මුදුව පලඳා

Wednesday, February 19, 2014

එක නිමේශයෙන්

කල්පාන්තය එනතුරා
සිටීයැයි ලඟ දිවුරලා
එක නිමේශයෙන් නුඹ
ඇදි ගිහින් දුර
ඈතක සැඟවීලා

මගේ උර මත හිත තබා
නිදා උන් හැටි නෙතුපියා
මතක පමණක් මට තියා
ඔබ කොහේද ඈතක ඉගිලිලා

ඔබේ ලැමැදේ මා හොවා
සුවය දෙන බව මුමුණලා
වචන පමණක් මට තියා
ඔබ මගේ සිහිනෙන් පියඹලා

Wednesday, February 12, 2014

ඔබට ආදරෙන්...

හුරතල් හිනාව ඔබේ
මත මුව තබමින් මගේ
ඉන්න දෙන්න මුලු දිවිය පුරාවට
විඳිමින් ආදර සුවේ

හීන කන්ද හිත් ලොවේ
නෙතු අභියස හැඩ මැවේ
ඔබට තුරුළු වී සෙනෙහස විඳිනට
ආශාවන් ගොඩ ගැහේ

තාලෙට හැඬවෙන හදේ
නාදය සවනේ වැදේ
ඔබටම පුද දුන් පෙම් සිත අරගෙන
තුරුලෙම ඉන්නට සිතේ

Friday, January 3, 2014

ස්ත්‍රී ලිංග

"තාත්තී... වේගෙ වැඩියි නේද?"
පාර දෙපසෙ දැල්වුන වීදි ලාම්පු එලි වේගයෙන් පිටිපස්සට යනවා. අතුරුපාරක් නිසා පාරේ වෙන එක වාහනයක්වත් නෑ. වේගය ගැන හැඟීමක් මට තිබුනේ නෑ. නිදහස් මාවත දිගේ ඔහේ ඇදෙන්න මන් වාහනය දිරිගැන්නුවා විතරයි. මම මුවේ රඳවගත්ත පුංචි හිනාවකුත් එක්ක ඇය දෙසට ඔළුව හැරෙව්වා.

"තාත්ති අපිට හදිස්සියක් නෑ. අපි ගෙදරනෙ යන්නෙ"
හිතේ පොදි ගැහුනු මොනවදෝ ලොකු බරවල් ගොන්නක් දකුණු කකුල හරහා ඇක්සලේටරය මත පැටවිලා.

"දූට බයද? මන් ඇහුවෙ ඇසිය යුතු ප්‍රශ්ණයක්ද යන වගක්වත් මට තිබුනෙ නෑ.

"තාත්ති මෙහෙම වේගෙන් ඩ්‍රයිව් කරනවා මන් කවදාවත් දැකලා නෑ ඒකයි."
"මගේ ජීවිතේ ඇතුලේ වේගය තිබ්බනම් මන් අද ගොඩක් වෙනස් මිනිහෙක්නෙ දූ"
ඇය මොහොතක් ජනෙල් වීදුරුවෙන් එහා පෙනෙන අඳුර මත දෑස් රැඳෙව්වා. ඊ ලඟ මොහොතෙ ඇය නැවත කතා කලා.
"මන් දන්නවා අද දවස තාත්තිගෙ ජීවිතේ ලොකු දවසක් කියලා. තාත්ති අද ගත්තෙ රයිටර් කෙනෙක් විදියට ගන්න පුලුවන් ඉහලම සම්මානෙ"

"ඒත් මේ සම්මානෙ මට ලොකු බරක් දූ"

ටික වෙලාවක් යනකම් වාහනය තුල තිබ්බේ නිහඬතාවය විතරයි. ඒත් ඒ නිහඬතාවය මැද දහසක් වචන අපි දෙන්නගෙ හිත් හරහා එහා මෙහා ගියා.

"තාත්ති මේක නේද අතීතෙට සමු දෙන්න හොඳම වෙලාව." ඇගේ ප්‍රශ්ණයට දිය හැකි පිළිතුරක් හොයමින් මගේ හිත ගැඹුරටම කිමුදුනා. ඒත් අවසානයයේ සුපුරුදු විදියටම සිනාවකින් පමණක් මගේ පිළිතුර අවසන් උනා.
"තාත්තිගෙ මුලු ජීවිතේම මේ පොත ඇතුලෙ තියෙනවා. තවත් ඔයා ඔවා ඔලුව ඇතුලෙ හිර කරන් ඉන්න ඕනෙ නෑ තාත්ති."
පොත් වල ලියන්නට තරම් ලස්සන වචන මගේ හිතේ කොච්චර තිබ්බත් ඇයට උත්තර දෙන්න සුදුසු වචනයක් හොයාගන්න මට අපහසු උනා. මන් නිශ්ෂබ්දවම ඈත පේන වීදි ලාම්පු වල එලිය මත දෑස් හිර කරගත්තා.

"සමහරු කියනවා මේ පොතේ තියෙන්නෙ ඔබේ ජීවිත කතාව කියලා. ඒක ඇත්තක්ද? සම්මාන ප්‍රධානෝත්සවය ආරම්භ කරන්නට පෙර මා වට කරගත් මාධ්‍යවේදීන් අතරින් කෙනෙක් ඇසූ ප්‍රශ්ණය නැවත මගේ හිස තුල දෝංකාර දෙන්න පටන් ගත්තා.
"අපි හැමෝම අතින් ලියවෙන්නෙ අපේ ජීවිත කතා තමයි පුතා. අපි කාටවත් එතනින් පැනලා යන්න බෑ." කෙටි වක්‍ර උත්තරේකින් ඒ ප්‍රශ්ණෙන් ගැලවුනත් අවට සිටි කිසිවෙකුත් ඒ පිළිතුරින් සෑහුන බවක් ඔවුන්ගේ මුහුණු වල පෙනෙන්නට තිබුනේ නෑ. ඔවුන් ඊට වඩා දෙයක් මගෙන් බලාපොරොත්තු උනා. මගෙන් ලැබෙනවාට වඩා වැඩියමක් බලාපොරොත්තු උන අය මගේ අතීතයේත් සිටියා. ඒ නොසිටින්නට මේ පොත නොලියවෙන්නටත් තිබුනා.

"තාත්ති මන් ආසම පොතේ මෙන්න මේ කෑල්ලට" මන් පාරට යොමුවෙලා තිබුනු දෑස් ඇය දෙසට හැරෙව්වා. ඇය පොතේ එක්තරා පිටුවක් පෙරලගෙන ආසවෙන් එය කියවනවා.
"හයියෙන් කියවන්න බලන්න" මගේ ඉල්ලීමෙන් ඇය එම අකුරු වලට ඇගේ ලාලිත්‍ය හඬ මුසු කලා.
"අප ජීවත් වන්නේ ස්ත්‍රී ලිංගික ලෝකයකැයි විටෙක මට සිතේ. එය එසේ නොවිනිනම් පුරුෂාධිපත්‍යය රජයන සමජයක් තුල පවා ස්ත්‍රී බලපෑම මෙතරම් දරුණු නොවනු ඇත. ආදරට අක්ශයක් කොටගෙන ලෝකය භ්‍රමණය වන කල්හී ......."
ඇගේ වදන් සමඟ මගේ හිත ආයෙත් අතීතයට ඉගිල්ලුනා.

"මට වෙලාවකට හිතෙනවා මචන් අපි මේ ජීවත් වෙන්නෙ ස්ත්‍රී ලිංගික ලෝකෙක කියලා" අවුරුදු විසි ගණනකට පමණ පෙර මගේ බෝඩින් කාමරයේ සිටි මගේ මිත්‍රයාට මන් එහෙම කිව්වම ඔහු මන් දිහා පුදුමෙන් වගේ බලන් හිටියා,

"මොකද උඹ එකපාරටම එහෙම කියන්නෙ?"

"නෑ බලපන්. ලොකෙට කියන තවත් නමක් තමයි මිහිකත. ඒකත් ගෑනු නමක ආදෙශයක්. එතකොට බලපන්. කොච්චි ගත්තත් නැවු ගත්තත් ප්ලේන් ගත්තත් කියන්නේ ඇය කියලා. තියෙන්නෙ ගෑනු නම්. ඒ අස්සෙ මෙච්චර මේ නහින්න හදන්නෙත් ගෑනු නිසානෙ බන්. අපි උන් කියන කියන විදියට නටනවා. අන්තිමේ උන් හරිම ලේසියෙන් හැම දෙයක්ම අමතක කරනවා. පිරිමි පිදියට අපි කොච්චර පම්පෝරි ගැහුවත් අන්තිමේ අපි හැමෝම ස්ත්‍රී ලිංගයක් ඉස්සරහා දෙකට නැවෙනවා."

තව කියන්න දේ තිබ්බත් මිතුරාගේ හිනා හඬත් එක්ක මන් ඒ ටික නැවත ගිලගත්තා.
"මට තේරෙනවා සනා උඹ කියන දේ. බූට් කෑවම ඔහොම තමයි. "
ඔහුත් එක්කම නැවත හිනාවෙනවා විනා එදා මට කල හැකි වෙන දෙයක් තිබුනේ නෑ.

"මොකද තාත්ති ඒ පාර තනියම හිනාවෙන්නෙ. " ඇගේ හඬ ඔස්සේ කල්පනා ලෝකය කරා ගිය මගේ හිත ඇගේ හඬ ඔස්සේම නැවත පියවි ලෝකයට පැමිණියා.

"නෑ දුව මට මතක් උනා ඔයා දැන් කියවපු වචන වල ඉතිහාස කතාව."

"තාත්තිට නිකමටවත් අම්මිව මතක් වෙන්නෙ නැද්ද?"
"අමතක වෙන්න මන් මැරිලා ඉපදුනේ නෑනෙ දූ. ඒත් ඔයා අහන ප්‍රශ්ණෙ සැබෑ අරුත අරගෙන උත්තර දුන්නොත්නම් උත්තරේ තමයි... නෑ."
"ඔයානම් රයිටර් කෙනෙක්ම තමයි තාත්ති. මටත් දෙන්නෙ පොත් වල ඩයලොග්"
"අන්න අන්න ඔයා වරද්දගත්ත තැන. ඔයා විතරක් නෙවෙයි දුව, තව කෙනෙකුත් වරද්දගත්ත තැන"
මම අතුරු පාරෙන් වාහනය ප්‍රධාන මාර්ගයට හැරෙව්වා.

"ඔයානම් නියම නළුවෙක්. ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. ඔයාගෙ අඟේම ඇක්ටින් තියෙනවා" මගේ ජීවිත කතාවේ ප්‍රධාන චරිතය. ඒ ඇගේ වචන. මන් කියන දේවල් අවසානයේ ඇගේ ඒ වචන ටික අහන්න ලැබුනේ වරක් දේවරක් නෙවෙයි.
"මන් මොකටද දෙයියනේ ඔයා ඉස්සරහ රඟපාන්නේ. මන් කියන්නේ ඇත්ත."
සමහරවිට මන් කියූ දේවල් නිවැරදි බව ඇයත් දැන ඉන්නට ඇති. මගෙන් වෙන්වීමට ඈ තුල තිබූ පෙලඹවීම මත ඇය එසේ කටයුතු කරන්නට ඇති.
මුදල්, තත්වය, බලය ආදරයකට එරෙහි වද්දි එදා මට වෙන කල හැකි දෙයක් තිබුනේ නෑ.
මන් ඇයත් එක්ක හුඟක් තරහයි. ඒ වගේම තාමත් ඇයට හුඟාක් ආදරෙයි.

"ඒ උනාට මන් කියන්නෙ තාත්තිට තව ටිකක් ඉවසන්න තිබ්බා කියලා. එයා කේන්තියට කතා නොකර හිටියා කියලා ඔයත් එහෙමම හිටපු එක වැරදියි" මගේ සිතිවිලි ගිය දිශාව දුවට තේරිලා.
"වැරදියිද හරිද කියන්න මන් තාම දන්නෙ නෑ දූ. එයාට ඕන උනේ අයින් වෙන්න. ඒකට එයා හේතු හෙව්වා. දුවන්න හේතු හොයන කෙනෙක්ව මන් කොහොමද දූ බැඳලා නවත්තලා තියාගන්නේ. "
ඇගෙන් ඉක්මන් පිළිතුරක් නොලැබුන නිසා මන් ආයෙ කතා කලා.
"කෙල්ලෙක් වෙලා එයා ලේසියෙන් හැමදේම අතඇරලා ආයේ යතා තත්වයට ආවා. ඒත් කොල්ලෙක් වෙලා මන් වින්ද දුක ඔයාට මන් කියලා තියෙනවනෙ දූ. මන් ඒකයි කියන්නෙ කෙල්ලො හරිම ලෙසියෙන් අත අරිනවා. ඒ ස්ත්‍රී ගතිය. එයාට  බැරි උනා නිකමට මන් ඉන්නවද නැද්ද කියලා හොයලා බලන්න. එහෙම වෙලත් මන් ආයෙ ආයෙ එයා ගැන හෙව්වා බැලුවා. එයා ගැන තරහක් හිතේ ඇතිකරගන්නවා ඇරෙන්න වෙන විසඳුමක් මට පෙනුනෙ නෑ."
"හ්ම්ම්." ඇය දිගු සුසුමක් පමණක් වා තලයට මුදා හැරියා.
මොහොතකට පස්සෙ ඇය නැවතත් මගේ පොතේ තවත් පිටුවක් දිග හැරියා.
"මගේ ජීවිතය දෙයාකාරයකින් වෙනස් කල තරුණියන් දෙපලට" ඇය පොතේ පිදුම මට ඇසෙන්න කියෙව්වා.

"මන් කවදාවත් එහෙම ජීවිතයක් ගෙවන්න බලාපොරොත්තු උනේ නෑ දූ. මගේ ජීවිතේ හැම මිලිමීටරයක් ගැනම මන් දුවට කියලා තියෙනවා. ගෑනු අස්සෙ හිරවුනු සල්ලාල ජීවිතයක් තරම් මන් පිලිකුල් කරපු දෙයක් තවත් තිබ්බෙ නෑ. ඒත් අන්තිමේ එයා ගියේ මාව එහෙම ජීවිතේකට කොටු කරලා."
"තත්ති හැමදාම සම්පූර්ණ වරද එයාගෙ පිටට දාලා අයින් වෙනවා නේද? ඇය එවර කතා කරන්නෙ මගේ දෑස් මග හරින්න උත්සහා කරමින්.

"මාත් වැරදි ඇති. ඒත් ආදරය කියලා දෙයක් ලොකේ නෑ කියලා දැනෙද්දි මන් වෙනුවෙන් බලන් ඉන්න කෙනෙක් ලෝකේ නෑ කියලා දැනෙද්දි  එදා මන් හැසිරුන විදිය ගැන මට පුදුමයක් දැනෙන්නෙ නෑ. අන්තිමේ මන් සල්ලි තත්වය බලය ගැන විතරක් හිතලා කසාද බඳින්නේ ඒ වෙද්දි මට ලොකේ වටිනාකමක් දැනුන එකම දේවල් උනේ දේ දේවල් විතරක් නිසා. ඒත් දුව ඉපදුනු දවසෙ දුවගෙ මූණ දකිද්දි ඒ හැම දේම ආයෙත් පාරක් වෙනස් උනා."

කාලෙකට පස්සේ සුපුරුදු ආවේගයම. එකක් පිටිපස්සෙ නොනැවතී වේගයෙන් එලියට එන වචන කන්දරාවක්.

"මේ මාතෘකාවට ආපු ගමන් තාත්ති හරියට ගිරවෙක් වගේ." ඇය සිනාසෙමින් කිව්වෙ විහිලුවක් ඔස්සේ කතාව මදක් සුමට කිරීමට වෙන්න ඇති.

කාලයක්ම මන් කෙනෙක්ට ගිරවෙක් වෙලා හිටියා. ජීවිත කාලයම ඒ කෙනාට ගිරවෙක් වෙන්න මට ඕන කලා. ඒ ගිරාකමට ඇය හුඟක් ආස කලා. ඒත් අන්තිමේ ඒ එලියට ආපු වචන හැම එකක්ම නිකම්ම නිකන් හිස් වචන ගොඩක් බවට පත් උනා. 

"වෙලාවකට මන් කියවනවා වැඩියි නේද?" ඔහේ කියවගෙන කියවගෙන ගිහින් මන් අන්තිමට කියද්දි එයා ඇස් දෙක පුංචි කරලා හිනාවෙනවා. මන් ලොකේ දැකපු ලස්සනම හිනාවෙන්.
"ඔයාට අහන් ඉඳලා එපා වෙනවත් ඇති." ඇගේ ඒ හුරතල් හිනාව දිහා බලාගෙන මන් ඔය වචන ටික දහස් වාරෙකට වඩා කියලා ඇති.
"කවදාවත් නෑ. අහන් ඉන්න ඕන නිසානෙ මන් ගිරවෙක් හොයාගත්තෙ" ඒ හැම වාරෙකම මන් එයාගෙ මුවින් ඇසුවෙ ඒ වචන ටික.

"දුව වචන කියන්නේ හරිම හරිම ප්‍රභල දෙයක්. වචන ප්‍රභල වෙන්නෙ ඒවට හැඟීම් මුසු උනාම. මගේ පොත් වල තියෙන්නෙ හැඟීම් මිශ්‍ර උන වචන කියලා මන් විශ්වාස කරනවා. ඒකයි මිනිස්සු මගේ පොත් වලට මේ තරම් කැමති උනේ. කතෘගේ ජීවිතය කොයි තරම් නරකාදියක් උනත් මිනිස්සු මගේ පොත් වලින් එයාලගෙම ජීවිත කියෙව්වා. අන්තිමේ මන් මගේ ජිවිතේ වචන වලට පෙරළුවා. රයිටර් කෙනෙක් විදියට මට ලැබෙන්න පුලුවන් ඉහලම සම්මානේ මට ලැබුනේ අද නෙවෙයි දුව. පොතේ පලවෙනි පිටපත ඔයා කියෙව්ව දවසෙ."

ඇය මගේ වම් උරය මතින් ඇගේ සුරත තිබ්බා.

"අම්මියි තාත්තියි ඩිවෝස් උන එක ගැන තාමත් මන් සතුටු වෙන්නෙ නෑ. ඒත් තාත්තා එක්ක ඉන්න මන් ගත්තු තීරණය ගැන මන් තාමත් සතුටු වෙනවා තාත්ති."
ඇගේ පුංචි උන ඇස් දිහා මන් ආදරෙන් බැලුවා.
"කළාකාරයෙක් උනාම එක පාරක් ඩිවෝස් වෙන්න ඕනමලුනේ දූ" කලකට පෙර මගේ ජීවිතේ ප්‍රධාන චරිතය මට කිව්ව වචන ඒ විදියටම මන් දුව ඉස්සරහ දිග හැරියා.

පාර අයිනේ වීදි පහන් කණුවක් පාමුල සිටගෙන සිටින තරුණියක් විමසිල්ලෙන් පාර දිහා බලාගෙන. වාහනය වේගයෙන් ඇයව පහු කරන් යද්දි මන් ආයෙත් ටිකක් හැරිලා ඒ දිහා බලුවා. ඇගේ පිටුපසත් කතාවක් ඇති. සාධාරණ හෝ අසාධාරණ කතාවක්. ඒත් ඒ හැම කතාවක්ම කතාවෙ අයිතිකාරයාට අනුව සාධාරණයි. නමුත් ඔයි කතා ඔක්කොම අවසානයේ නතර වෙන එක තැනක් තියෙනවා. ඒ තමයි ලිංග බේදය. ලෝකය ආදරය කියන අක්ශය වටා කැරකැවෙද්දි ලිංගිකත්වය කියන්නෙ හරියට අක්ශාංෂ දේශාංෂ වගේ.  ලෝකයේ වැඩි බලයක් පිරිමින්ට හිමි වෙලා තියෙද්දි ඒ හැම පිරිමියෙක්ම ගැනියෙක් ඉස්සරහා කඩා වැටෙනවා. මේ ලෝකේ ස්ත්‍රී ලිංගික ලෝකයක් වෙන්නෙ ඒකයි.

"ඇයි ඔබතුමා මේ පොතට ස්ත්‍රී ලිංග කියන නම දැම්මේ. ඒක පාඨක ආකර්ශණය වැඩිපුර දිනාගැනීම සඳහා පමනක් කරපු බාල උපක්‍රමයක්ද? තරුණ මාධ්‍යවේදිනිය මයික්‍රෆෝනය මාවෙත දික් කරගෙන අහද්දි වටේ හිටිය හැමෝම ඒකට උත්තරේ බලාපොරොත්තුවෙන් ඔවුන්ගේ ලොකු කරගත් දෑස් මගේ පැත්තට දිගු කරගෙන හිටියා.
"මන් මිස්ගේ ආටිකල් කියවලා තියෙනවා. ඒවට මිනිස්සු හරි කැමතියි නේද. ගොඩක් හොඳයි. හැබැයි ඒ ආකර්ෂණය මිස්ට ලැබුනේ මිස් ස්ත්‍රී ලිංගයක අයිතිකාරයෙක් උන නිසා විතරක්නම් මිස් අහපු ප්‍රශ්ණෙට මගේ උත්තරේ ඔවු."
මගේ උත්තරෙත් එක්ක වටේ හිටිය හැමෝගෙම මුහුණු හැකිලෙද්දි මගේ දුව විතරක් සිනාසෙමින් සිටිනු මන් දැක්කා.

"ඇයි දුව අර වෙලාවෙ දුව හිනා උනේ" ඒ වෙලාවෙ ඉඳන් හිතේ හිරකරගෙන හිටිය ප්‍රශ්ණෙ මන් එලියට අතහැරලා දැම්මා.

"කොයි වෙලාවෙද තාත්ති"

"අර පොතට නම දැම්මේ ඇයි කියන ප්‍රශ්ණෙට මන් උත්තර දෙද්දි"
ඒ වෙලාවෙ ඇගේ මුහුණේ ඇඳුන හිනාව වගේම හිනාවක් දැනුත් ඇගේ මුහුණේ ඇඳිලා. මන් තවත් ඇගේ මුහුණට එබුනා. ඇය සිය උකුල මත තිබු පොත වසා දමුවා.

"මාත් ස්ත්‍රී ලිංගයක අයිතිකාරයෙක් නිසා තාත්ති"

දකුණු කකුළ මත පැටවුනු බර සෙමෙන් අඩුව යද්දි වාහනයේ වේගය ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගත්තා.

Monday, October 21, 2013

නගා අත්තල වඳිමු මත්තල

පහුගිය දිනෙක නිවැසියන්ද සමඟ කතරගම වන්දනා ගමනකට සහභාගි වීමට මට හැකියාව ලැබිනි. කතරගම යන අතරමග දැකබලාගැනීමට යන ස්ථාන අතර තිබූ එක් විශේෂිත ස්ථානයක් පිලිඹදව ලිවීමට බලවත් ආශාවක් මා සිත තුල ජනිත වූයේ මා එම ස්ථානයේ සිටින අතරතුරමය.
මත්තල. තවත් සම්පූර්ණ කොට පැවසුවහොත්, මත්තල ගුවන් තොටුපල.
ඇත්තෙන්ම මා එහි ගිය ගමන මත්තල ගුවන් තොටුපල පිළිඹඳව මගේ සිත තුල එකතු වී කුණු වී ගඳ ගසිමින් තිබූ බොහෝ දුර්මතයන්, හිරු දුටු පිණි මෙන් වීනාශ වී ගිය බව කියනු ලබන්නේ හද පුරා නැගෙන ඉමහත් වූ සතුටකිනි.
එහෙට මෙහෙට නැවෙන දිව හතර අතර සොලවමින් මිනිසුන්ට තමන් රිසි දේ කීමට හැකි බව මම දැන සිටියෙමි. සිය කුහක සිත් වල තිබෙන අසංතෘප්ත හැඟීම් මුව හරහා එලියට මුදාහරින මිනිසුන්ගෙන් පිරී ගිය සමාජයක අපි ජීවත් වන බවද මම දැන සිටියෙමි. එසේ වී තිබියදීත් මෙතෙක් කලක් එවැනි මිනිසුන්ගේ හිස් වදන් හිස මත නංවාගෙන මගේ මනස දූෂිත වන්නට ඉඩ හැර බලා සිටි අන්දම ගැන සිහිපත් වනවිට මට ඇති වන්නේ සියුම් ලැජ්ජවකි. කෙසේ හෝ එම තත්වයෙන් මිදී පමා වී හෝ මෙලෙස සත්‍යය වටහාගෙන නුවණැසින් යුතුව බැලීමට ලැබීම මා ලද ඉමහත් භාග්‍යයකි.  මේ සටහන ලියනු ලබන්නේ අඳුරු වළාවන්ගෙන් වැසී ගොස් තිබෙන දෙනෙත් යම් තරමකින් හෝ පාදාලීමට හැකියාව ලැබේවීයි යන අපේක්ෂාවෙනි.

සැබැවින්ම වෙනත් රටක් වෙත පියාසර කරන කෙනෙකුට විනා වෙනත් කෙනෙකුට කටුණායක ගුවන් තොටුපල තුලට ඇතුළු වීමට හෝ අවසර නැත. ගුවන් තොටුපලක් තුල ඇති අසිරිය විඳගැනීමට භාග්‍යය ලැබෙන්නේ ගුවන් ටිකට් පතක් සිය ඇඟිලි අතර රඳවාගත්තෙකුට පමණි. එබැවින් ගුවන් ගත වීමට අවස්ථාවක් නොලැබෙන සාමාන්‍ය ජනයා දිනපතා පසුවන්නේ ඒ ගැන මහත් වූ කනස්සල්ලකිනි.
අප ගුවන්යානා වලට ප්‍රිය කරන්නේ කුඩා කල සිටමය. මා කුඩා කල ඈතින් ගුවන් යානයක හඬ ඇසෙද්දි නිවසේ බඩු භාහිරාදියද පෙරලාගෙන මිදුලට දිව ගොස් ගුවන් යානය මාගේ දෑස් මානයෙන් මැකී යන තුරුම අහස්කුස මත දෑස රඳවාගෙන සිටි අයුරු මට මතකයට නැගෙයි. අදට පවා ගුවන් යානයක් අහසේ පියාසර කරන අයුරු දැකීමට මම ප්‍රිය කරමි. ඔබ බහුතරයක් දෙනා එම ප්‍රියතාවය හදවතේ රුවාගෙන ජීවත් වන බව මම දනිමි. ගුවන් යානයක් ඉහල අහසේ පියාසර කිරීම වරින් වර හෝ දැකගත හැකි වුවත්, ගුවන් යානයක් පොළව මත තිබෙන අයුරු දැක ගත හැකිවන්නේ සීමිත පිරිසකට පමණි. ගුවන් යානය පොලවේ සිට ඉහල අහස වෙත ඔසවනු ලබන ඒ විශ්මයජනක අවස්ථාව සජීවීව නැරඹීමට භාග්‍යය ලැබෙන්නේ අතලොස්සකට පමණි. අප අතරින් බොහොමයක් දෙනෙක් ඒ භාග්‍යය නොවිඳම සිය ජීවිතය හමාර කරයි. මත්තල ගුවන් තොටුපල ඉදිවන්නේ එවන් අවධියකය.

සැබැවින්ම මත්තල ගුවන් තොටුපල අප වැනී පිපාසිත ජනයා වෙනුවෙන් තැනුනු සිසිල් දිය කඩිත්තක් වැන්න. ජීවිත කාලය පුරාම ගුවන් යානයක් දෑසට සමීපව දැකබලාගත හැකි නොවෙතැයි පසුගාමි වී සිටි අපට, ගුවන් තොටුපලක් තුල ඇති සුන්දරත්වය විඳ ගත හැකි නොවැතැයි විලාප නගමින් සිටි අපට මත්තල ගුවන් තොටුපල කදිම වූ තෝතැන්නකි. සැබැවින්ම එය ඉදිවන්නේ අප වෙනුවෙනි. අපගේ සිත්වල තිබූ පසුගාමී බවට මනා පිළියමක් වශයෙනි.
අප අතර සිටින කුහකයින්ට මෙය ඇසට කටු අනින්නාක් මෙනි. එබැවින් විවිධාකරයේ දූෂිත තොරතුරු පතුරවමින් මත්තල ගුවන් තොටුපල පිළිබඳ වැරදි අදහස් සමාජය තුල ස්ථාපිත කිරීමට වෙර දරයි. නුවණති මිනිසුන් ලෙස අපි ඒවාට අසුවිය යුතුද නැද්ද යන්න අපම තීරණය කල යුතු වේ.

මත්තල ගුවන් තොටුපල ඉදිකිරීමේ අරමුණ ගුවන් ගමනාගමනයට සහාය වීම නොවේ. අප එය පලමුකොට තේරුම් ගත යුතුය. එහි සැබෑ අරමුණ නම් මා ඉහත විස්තර කල දෙයයි. මෙය ගුවන් තොටුපලක ආකෘතියකි. රටට හිතැති මිනිසුන් ලෙස අප කල යුත්තේ කුහකයන් ලෙස ගැරහීම නොවේ. මෙතරම් ධනස්කන්දයක් වැය කොට අප වැනි තුන්වන පන්තියේ මිනිසුන් උදෙසා මෙවැනී උසස් නිර්මාණක් බිහි කිරීම ගැන ප්‍රසංසා කිරීමයි.

සියල්ලන්ට ප්‍රථමයෙන් මේ උසස් නිර්මාණය නැරඹීමට යන මෙන් මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. කිසිඳු මුදලක් අය නොකොට නොමියලයේ ලබා දෙන එම අවස්ථාව නොපමාව ලබාගෙන ඔබගේ සිත් වල හිරවී තිබෙන ආශාවන් සංතර්පණ කරගන්නා ලෙස ඉල්ලමි.
මම ඒ භාග්‍යය වින්දෙමි. බොහො දෙනා එම භාග්‍යය විඳින අයුරු දුටුවෙමි. වයස් භේදයකින් තොරව බාල තරුණ මහළු සෑම අයෙක්ම ගුවන් යානා අංගනය පිටුපස වීදුරුවේ එල්ලි ගුවන් යානා ඉහල නංවන අයුරු විසල් කරගත් දෑසින් යුතුව බලා සිටින අන්දම දැක මගේ දෙනෙතට සතුටු කඳුලු ඉනුවේය. පොෂ් යැයි සම්මත ඇඳුම් විලාසිතා වලින් සැරසුනු තරුණ රූමත් යුවතියන් පවා, තම රෝස කොපුල් වීදුරුවට තද කරගෙන එම සුන්දර දසුනේ අසිරිය සිය දෙනෙත් වල මෙන්ම කැමරා වලද සටහන් කරගන්නා අයුරු දැකගත හැකිවිය. එම දසුන මගේ සිතට මහත් ආඩම්බරයක් ඇති කරන්නට සමත් විය. අපේ රටේ අනාගතය ගැන ඉතාමත් ස්ථාවර බවක් මගේ සිතේ ජනිත විය. අපගේ පාලකයන් ගැන ඉතාමත් ආදරයකින් මගේ සිත පිරී ගියේය. මා හැකි ඉක්මනින් ගුවන් තොටුපලින් පිටතට ආවේ තවත් වෙලා ඇතුලට වී සිටියහොත් එම ආදරය පිරී ඉතිරී ගොස් දරාගත නොහැකිව මා පුපුරා යැතැයි බියක් මා සිත තුල ඇති වූ බැවිනි.

මා පිටතට පැමිණෙන විට වන්දනා බස් රථ 5ක් පමණ රථ ගාලේ නවතා තිබෙනු දැකගත හැකිවිය. නුදුරු අනාගතයේදි මෙම රථ ගාල වන්දනා රථ වලින් පිරී යනු ඇත. එවිට අප රට ආසියාවේ ආශ්චර්යය වීම කිසිවෙකුට වැලැක්විය නොහැකි වනු ඇත.



Monday, October 14, 2013

සඳ සහ කුමරිය

පුංචි කුමරිය සඳේ රුව දැක
ලබාගන්නට සිත් මැවී
තබාගෙන ඇස අහස් කුස මත
වැලපුනා සිත දැවී දැවී

දුරින් දැක සිත පිනවගන්නට
පමණදො උරුමය හිමී
සිත සිතා දින මාස ගෙව්වා
සලා දෙනෙතින් කැට මිණී

දිනක් සඳ සිය දෙනෙත් පොළවට
යොමා බැලු කල ඇය පෙනී
සඳේ පැහැයත් අලුත් වූවා
ආලයක් සිත තුල දැනී

ආදරෙන් සිත පිරී ගිය සඳ
අහසෙ ඉනු බැරි බව දැනී
වලාකුළු පඩිපෙළින් බැස සඳ
පොලෝ තලයට ලන් වුනී

තමා වෙත පිය නඟන සඳ දැක
ප්‍රීතියෙන් මුලු හිත පිරී
දෑත් දිගු කර පුංචි කුමරිය
ගියා සඳ වෙත ගෙන දිරී

ටික දුරක් පා නැගූ කුමරිය
නැවත ආ මග දෙස හැරී
තබන්නට සඳ හෙව්වා ඉඩකඩ
සැඟව යද්දී ගත් දිරී

ලබාගත්තට තබාගන්නට
පොළවෙ ඉඩ මදි බව දැනී
නැවත අහසට යන්න කියමින්
කුමරියගේ සිත නැවතුනී

නැවත අහසට නගිනු නොහැකිව
අසරණව ආලෙන් වෙලී
වැලපෙනා සඳ දෙස බලාගෙන
හිනහුනා නිල් තරු එලී


Thursday, May 2, 2013

බණ්ඩා සහ හාමු

සෑහෙන්න දවසකින් ඇසූ දුටු ආගිය කතාවක් ලියන්න බැරි උනා. ඒකට හේතුව වෙලාව නැතිකමවත් කාර්‍යබහුලකමවත් නෙවෙයි. එහෙම කතා මතක නැති වීම. ඔන්න හදිසියේම ඒ වගේ පොඩි කතාවක් මතක් උනා. ඒක නිසා හිතුවා ඒක පොඩ්ඩක් ලියලා දැම්මොත් හොඳයි කියලා. මේක චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ කතාවක්. මට මේ කතාව කිව්වෙ දැනට ඉන්න ප්‍රවීන ගණයේ කළා අධ්‍යක්ශකවරයෙක්. මේ සිදිධිය වෙලා තිබුනෙ කලකට ඉහත ඔහු විසින් කළා අධ්‍යක්ශණය කල එක්තරා චිතපටයක රූගතකිරීම් වලදි. චිත්‍රපටයෙ නමත් ඔහු සඳහන් කලා. ඒත් මට ඒක මතක නෑ. නමෙන් වැඩක් නෑ. මෙන්න මේකයි කතාව.
                                     මේක ඇවිල්ලා විකට චිත්‍රපටයක්. මේකෙ ප්‍රධන චරිතය නිරූපණය කරලා තිබ්බේ විකට රංගනය සඳහා අදටත් ඉතාම ජනප්‍රියත්වයක් දක්වන එක්තරා රංගන ශිල්පියෙක්. ඔහු මේ චිත්‍රපටියේ නීරූපණය කලේ හාමුගෙ චරිතය. හාමුගේ ගෙදර වැඩකරන සේවකයෙක් ඉන්නවා. ඔහු තමයි බණ්ඩා. ඒ චරිතය රඟපෑවෙත් එක්තරා විකට නලුවෙක්. ඔහු මේ වන විට ජීවතුන් අතර නෑ. පිය උරුමයෙන් ක්ෂේත්‍රයට ආවත් ඔහු පියාතරම් දක්ෂ නැති වගනම් හැම කෙනෙක්ම කියනවා.
ඔන්න ඉතින් එදා රූගත කරන්න තිබ්බ සිදුවිම මේකයි. මැරයො පිරිසක් ඇවිත් හාමුව තමන්ගෙම නිවසෙ කාමරයක් ඇතුලෙ හිරකරලා. කාමරේ ගාවින් බණ්ඩා ඇවිදගෙන යනවා. එතකොට බණ්ඩා දකිනවා හාමුව හිරකරලා තියෙන බව. ඊට පස්සෙ දෙන්නා අතර පොඩි දෙබසක් යනවා. ඔන්න ඕකයි වෙන්න තියෙන්නෙ. සියල්ල සූදානම්. හාමුව කාමරේ ඇතුලට දාල වැහුවා. බණ්ඩත්  තමන්ට නියමිත තැනට ගියා. කැමරා ආම්පන්න, ආලෝක ලාම්පු සියල්ල රෙඩි. කැමරාමන් කැමරාවක් ක්‍රියාත්මක කලා. ඩිරෙක්ටර් විධානය දුන්නා.
"ඇක්ශ.......න්"
පිටපතේ විදියටම බණ්ඩා ගානට නියමෙට ඇවිදගෙන එනවා. බණ්ඩා හමුව දකිනවා.
"ආ හාමු"
එහෙම කියාගෙන බණ්ඩා හාමු ලගට යනවා. ඊ ලඟට බණ්ඩට අහන්න තියෙන්නෙ
'මොකද හාමු, මේ හාමුව හිර කරලා' කියලා. එතන ඉඳන් තමයි ඇක්ට් එක පිටපතෙන් පිට පනින්නෙ.
බණ්ඩා ඒ ලයින් එක කියන්නෙ නැතිව හිකි හිකි ගාලා හිනා වෙනවා. හරියට නාඹර ලමිස්සියෙක් පොරගේ නරක තැනක් කිති කවනවා වගේ. හාමුත් බලන් ඉන්නවා මූ ලයින් එක කියයි කියලා. ම්හු නෑ.
ඩිරෙක්ටර් කෑ ගහනවා.
"කා......ට්"
හැමෝම බණ්ඩා දිහා බලාගෙන.
"අනේ සොරි සොරි. තව ටේක් එකක් ගමු. මට ලයින් එක පොඩ්ඩක් ගියා"
සහාය අධ්‍යක්ශකවරයා ඇවිත් ආයේ ඩයලොග් එක මතක් කරලා යනවා.
ඔන්න ආයේත් සියල්ල සූදානම්.
"ඇක්ශන්"
බණ්ඩා ඇවිදගෙන එනවා. හාමුව දකිනවා. හාමු ලඟට එනවා. ඔක්කොම හරි. ඒත් එතන ඉඳන් බණ්ඩට චූන් එකක් යනවා. මූ කලිසම අස්සට මකුළුවෙක් රිංගලා වගේ ඇඹරෙන්න ගන්නවා. ඇඹරි ඇඹරි හිනා වෙනවා.
සීන් එක ආයෙ ඉවරයි.
"මොනාද බන් පොඩි ලයින් එකක්නෙ තියෙන්නෙ. මොකද්ද බන් එතන හිනා වෙන්නෙ. හරියට ගනින්කො"
ඩිරෙක්ටර්ට පොඩ්ඩක් මල. මොක්ද මේ වගෙ පොඩි සීන් එකකට ටේක් දෙකක් තුනක් යනවා කියන්නෙ තේරුමක් නැති වැඩක්. රීල් එක කැරකෙනවා කියන්නෙ පිච්චෙන්නෙ සල්ලි.
"නෑ නෑ නෑ හරි හරි. මේ පාර ගමු. මට එතනදි ලයින් එක පොඩ්ඩක් යනවා. එකයි. මේ සැරේ අවුලක් වෙන්නෙ නෑ" බණ්ඩට රඟපාන නලුවා ෆුල් මොරාල් එකේ කිව්ව නිසා ඔන්න තුන් වෙනි ටේක් එකටත් යනවා.
ඇක්ශන් විධානයත් එක්ක බණ්ඩා එන්න පටන් ගන්නවා. මේ පාරත් කලින් සැරේ වගේමයි. මුල් ටික ඔක්කොම හරි. ඒත් අර ලයින් එක ගාවදි මේ යකා හිනා වෙන්න ගන්නවා. මූට ලයින් එක එන්නෙම නෑ. නළුවගෙ ස්වාභාවෙ හැටියට පොර හිනා වෙනවා දකින අනිත් උන්ටත් හිනා යන්න නියමිත උනාට මේ වෙලාවෙ පොර හිනා වෙනවා දැක්කම අනිත් උන්ට ආවෙ හිනාව කපලා #කේ ගහලා #ක පොලවෙ ගහන තරම් කේන්තියක්.
දැන්නම් හාමුගේ චරිතය කරන ප්‍රවීන නලුවටත් අම්බානෙක මල පැනලා.
"මොනාද යකෝ හිනා වෙන්නෙ. ලයින් එක හරියට කියපන්කො ඩෝ" එයත් අර නලුවට පොඩි උපදෙස් පාරක් දෙනවා.
ආයෙ සියල්ල සූදානම් කරලා තව ටේක් එකක් ගන්නවා. ඒකත් පෙර ලෙසමයි.
අර ලයින් එක ගාවදි මිනිහට යන හිනාව නවතින්නෙම නෑ.
"අනේ මන්දා අප්පා. ඒ ලයින් එක එන්නෙම නෑනෙ. එතනදි මට හිනා යනවනෙ. හරි හරි මේක විතරක් ගමු. මේක ඔකේ"
මොන ඕකේද. ඒ ටේක් එකත් ඒ වගේමයි. සෙට් එකේ උන්ට මරන් කන්න කේන්තියි. ඒ පාරනම් අර ප්‍රවීන නලුවට මලම පැන්නා. බණ්ඩට කතා කලා.
"මේ උඹ මොකුත් කියන්න ඕනේ නෑ. නිකන් වරෙන්. උඹ මෙතන මගේ ඉස්සරහින් පලයන්. මන් අහන එවට විතරක් උත්තර දියන්." පොර මලෙන්ම කියලා දැම්මා. ඩිරෙක්ටර් එක්කත් පොඩ්ඩක් කතාබහ කරපු ප්‍රවීන නලුවා ආයෙ ස්ථානගත උනා.
"ඇක්ශන්"
දර්ශනය ආරම්භ උනා. බණ්ඩා හාමු ඉසරහින් ඇවිදන් යනවා. එතන ඉඳන් සංවාදය මෙහෙමයි.
හාමු : බණ්ඩො
බණ්ඩා : ඇයි හාමු
හාමු : මෙහේට වරෙන්
බණ්ඩා : එනවා හාමු
හාමු : කොහේද උඹ යන්නෙ
බණ්ඩා : මන් මේ නිකන් යනවා හාමු
හාමු : ආ උඹ නිකන් යනවා නේද? එතකොට දැන් උඹට මාව පේනවද?
බණ්ඩා : ඔව් හාමු
හාමු : ඈ බොල ගොන් වස්සො, එතකොට උඹට නිකමටවත් අහන්න හිතෙන්නෙ නැද්ද ඇයි මේ හාමුව හිරකරලා ඉන්නෙ කියලා?

ඒ වතාවෙ ඔන්න බණ්ඩා ගානට ප්‍රශ්ණෙ ඇහුවලු. කොහොම හරි අන්තිමේ චිත්‍රපටියෙ තිබිලා තියෙන්න් ඔන්න ඔයි විදියට සංස්කරණය උන දර්ශණය තමයි.

ප.ලි:
# = පු