Wednesday, August 15, 2012

හීන තොටුපල

දවසක්දා රෑ මැදියම් හීන තොටුපලේ
ඔබ උන්නා සැඟවී සුදු චන්ද්‍ර මණ්ඩලේ
ගුලි වෙන්නට බැරි තැන ඒ සුසුම් උණුසුමේ
තරු හැඬුවා වලා කැටිති වෙලා තනිකමේ

කඩුපුල් මල් සුවඳ දසත ඉඟී කරන පැයේ
මංමුලාව මසිත තවම වෙලී සිහිනයේ
උස උනාට හීනය සුව නොමැති ලෝකයේ
කඩුපුල් පෙති සැඟවෙයි සඳ එලිය ඉදිරියේ

දිව යන සිත මතකය අතරට වරින් වරේ
වෙර සාදයි දෙකකුල් අදිමින් නිරන්තරේ
දුව ආවත් ඔබ වෙත ගෙන හුස්ම ප්‍රෙමයේ
ඔබේ වමත සිරවී රන් මුදුවෙ දිස්නයේ

Wednesday, August 8, 2012

ඇයට කියූ 3

එදා ඔබ මා
කණට මිමිණූ
ගීත සිහිවන
රෑ පුරා
නින්ද නොනැගේ
සුසුම් වැගිරේ
දෙනෙත් පිය
තෙත්වන තුරා

හදේ ඈතම
කෙළවරක නුඹ
අගුළුලන්නට
වන නිසා
ගලක් තරමට
තද කලෙමි සිත
උණුව වැගිරේ
යැයි සිතා

යලි යලිත් සිත
මතුපිටට විත්
තෙරපෙනා
සිතුවිලි දරා
බොළඳ වන සිත
ඔබේ ගී ලඟ
හැකිද නවතනු
සවිදරා

Monday, July 16, 2012

අඳුරුම රැය

අවසානයේ ඇය විවාපත් උනා. ප්‍රථම ආදරයේ නෂ්ඨාවශේෂ මතින් ඉවතට පා තබලා ඇය ඔහු හා අතිනත ගත්තා. අන්තිම මොහොත වෙනකම්ම මගේ හිතේ පොඩි හරි බලාපොරොත්තුවක සලකුණක් තිබ්බෙ නෑ කියලා මට මගේ හිතට බොරු කරගන්න බෑ.  ප්‍රාතිහාර්‍ය ගැන මන් අහලා තියෙනවා. ඒත් මගේ ජිවිතේ ප්‍රාතිහාර්‍ය වලට ඉඩක් නෑ කියලා මන් අද ප්‍රත්‍යක්ශයෙන්ම දැන ගත්තා.
කෙනෙක් හිතයි අනුරාධයා එහෙමත් නැත්නම් සමහරු කියන විදියට පණුවා අද මෙන්න අඳෝනා ගහනවා කියලා. බාගවිට අඳෝනාවක් වෙන්න ඇති. ඒත් අවුරුදු දෙකකට කලින් මේ වගේම 'අඳෝනා' නිසා ටිකක් හරි මන් සැහැල්ලු උනා. හරියටම අවුරුදු දෙකකට පස්සෙ එදා දැනුනු හැඟීම ආයෙත් පාරක් මගේ ජීවිතේට ලන් උන නිසා අදත් මන් ලියනවා.
මංගල සාරියෙන් සැරසුන ඇයව වම් පැත්තෙන් තියාගෙන පෝරුවට නගින්න මන් හීන මැව්වා. ඇයගෙත් මගෙන් දෑඟිලි ගැට ගැහෙන හැටි මන් හිතින් මවාගත්තා. ඇයගෙත් මගෙත් මංගල රාත්‍රිය දා ඇගේ මුහුණ ලැජ්ජාවෙන් රතු වෙන හැටි මට මැවිලා පෙනුනා. ඒ හීන, හීන වලටම එකතු උනේ අද ඊයෙ නෙවෙයි. හරියටම අවුරුදු 2ක්. ඒත් ඒ අවුරුදු 2 පුරාම මගේ හීන නෙත් ඇතුලෙ පෙඟිලා යන්න මන් ඉඩ දුන්නෙ නෑ. ඒත් අද.... අද ඒ හීන සදහටම පෙඟිලා ගියා. අද ගොඩක් කලුවර රැයක්. ඒ කලුවර ඇතුලෙ මගේ හීන ඔක්කොම සැඟවිලා ගියා.
අඩුම ගානෙ ඇගේ ඒ සුවිශේෂි දවසෙදි ඇයට සුභ පතන්නවත් මට ඉඩක් ලැබුනේ නෑ. හෙට ඇගේ උපන්දිනය. ඒ වගේම ඇගේ දෙවෙනි ගමන. ඇය ඇගේ අතිනත ගත් ආදරණීය ස්වාමිපුරුෂයාගෙ නිවසට පැමිණෙන දිනය. ඇගේ ජීවිතයේ වැදගත්ම අවස්තා දෙකක් එකම දිනයේදි. ඇගේ ජීවිතේ සුවිශේෂීම උපන්දිනය. ඇයට කරන්න තරම් සුභ පැතුමක් මට වචන වලට ගොණු කරගන්න බෑ. ඒත් හැමදාමත් මම ඇගේ ජීවිතයට සුභ ප්‍රාර්තනා කලා. ඇගේ 'කිතුනු' ස්වාමිපුරුශයාගෙන් ඒ සුභ නිමිති ඇගේ ජීවිතය එකතු වේවි කියලා මන් විශ්වාස කරනවා. ඒ වගේම මන් ඒය එසේම වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්තනා කරනවා.
මීට කලකට ඉහතදි මගේ අතින් ලියවුනු පැදි පෙලක අවසන් පද කිහිපය මට මේ වෙලාවෙ සිහියට එනවා.

සතුට ලැබෙයි නම් ඔහුගේ සෙවනේ
ඔබේ සතුට තාමත් සතුටයි මට
දෙන්නම් නැලවිලි ගීය ලියා මම
මතු උපදින පොඩි පුතු නලවන්නට

Friday, July 13, 2012

නාරිලතා


නාරිලතා මල දැහැන් බිඳිද්දී
සිත එක්තැන් කල තවුසන්ගේ
නාරිලතා ලඟ අරුමයක්ද සිත
මේ හැටි චංචල වීම මගේ

සිරුරෙහි වෑහෙන කෝමළ රේඛා
අතරින් සිත දිව යන රඟේ
වැලඳ සිඹ මුදු පහස විඳිමින්
මෝදුවන කොලු කම මගේ

රස මීවිත පිරි නුරා දෙතොල් ලඟ
සිල්පද රැකගෙන ඉඳිනු කෙසේ
නුඹේ ලඟ සිල්පද රකින්නට
රහත් වී නැත සිත මගේ

Thursday, April 26, 2012

වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි! - අංක 2

පහු ගිය 22 වෙනිදා සයිබර් සිහින උළෙලට සහභාගි උන වෙලාවෙ මම මටම සපථ කර ගත්තු දෙයක් තමයි ආයෙමත් ලියන්න ගන්නවා කියන එක. විශේෂයෙන්ම ලාස්ට් රෝ බ්ලොග් එකටනම් ලියන්නම හිතුනා. හේතුව නම් දන්නෝ දනිති. හෙ හෙ. :D  ඔන්න ඉතින් ඒවට ලිවීම කෙසේ වෙතත් මගේ මේ අටමගලෙවත් දූවිලි පිහදාලා ගන්න ඕන නිසා පොඩි පහේ කතා ටිකකුත් මතක් කරගෙන මන් ආවා. මීට කලින් මේ වගේම හෙඩිමක් එක්ක කතා ටිකක් දුන්නා කට්ටියට මතකද මන්දා. අමතකනම් ඔන්න මෙතන ඔබලා ගිහින් බලන්නත් පුලුවන්. හැබැයි එදා කතානම් ඒ තරම්ම වැඩිහිටියන්ටම වෙන් කල ඒවා නෙවෙයි.  ඒ උනාට අද කතානම් ඕන්න පොඩි එවුන් හෙම බලනවා නෙවෙයි. ඔය සුදු සිල් රෙදි පොරවගත්තු අයට උනත් දැන්ම මේ ටැබ් එක ක්ලෝස් කරලා දාන්ට පුලුවන්. පස්සෙ ඕන් කියන්න එපා මන් බලෙන් මෙව්වා පෙන්නුවා කියලා. :p

Thursday, March 15, 2012

හදිසි රිය අනතුරක්!

 මෙම බ්ලොග් අඩවියේ ලිපි ලියමින් මෙය පවත්වාගෙන යන අනුරාධ නම් වන මම, පහුගියදා දරුණු රිය අනතුරකට මුහුණ පෑවෙමි. මා පසුපස හඹා ආ පැපරාසි ජායාරූප ශිල්පියෙකුට එම අවස්තාව රූපගත ගර ගැනීමට හැකියාව ලැබී තිබේ. පහතින් ඇත්තෙ එම භයානක රිය අනතුර ඔහුගේ කැමරා ෆෝන් කාචය මත පෙල ගැසුනු ආකාරයයි.


අවවාදයයි!!!
හදවත් රෝගීන් හා සංවේදී හිත් ඇත්තන් මෙය නැරඹීමෙන් වලකින්න.

Monday, February 13, 2012

අහෝ........!!!

ප්‍රේම මන්දිරේ
රෝස සයන මත
කඳුලු ගලන හඬ
මට ඇසුනා

ගැලවුනු මල් පෙති
දෝත දරාගෙන
කුමරිය වැලපෙනු
මට පෙනුනා

කිරුළෙ හෙවූ
නිල් මැණික පළුදු වී
රතු රුහිරෙන්
දිවියම තෙමුනා

ගැලූ රුහිරයට
ඔච්චම් කරමින්
දහදිය බිඳු
නළලත රැඳුනා

ආදරයේ රස සෙවූ
දෙතොල් මත
ලුණු රසකින්
කැටයම් මැවුනා

සායම් සේදුන
සමනල තටු ලඟ
කුමරුන් හිනහෙනු
මට ඇසුනා