"මොකද බලන් ඉන්නෙ ලමයෝ. ඕක බොන්න" මම සුප් හැන්ද සීරුවෙන් කටට ලන් කරගන්න ගමන් අහනවා. ඇය තාමත් සුප් ටික දිහා බලාගෙන කල්පනාවක.
"තාම රස්ණෙයි අනේ" ඇගේ හුරතල් කටහඬ මට හොදට හුරුපුරුදුයි.
"ටිකක් රස්නෙට තමයි සුප් බොන්න ඕන. හෙමිහිට බොන්න පටන් ගන්න. ටික ටික නිවෙයි" ඇය හෙමින් සැරේ සුප් හැන්ද සුරතින් අල්ලගන්නවා.
"අපෝ මේ කෙල්ලට පොඩි ලමයට වගේ කියන්න ඕන" මම බොරු නෝක්කාඩුවක් මවාගෙන කියනවා.
ඇය ඇස් පුන්චි කරලා හිනාවෙන්නෙ හරියට පුංචි කෙල්ලෙක් වගේම තමයි.
"දැන් කොහොමද ඔයාගෙ වැඩ කටයුතු" ඈ කතා කරන්නෙ වටේ ඉන්න අයට ඇහෙයි කියලා බයේ වගේ බොහෝම හෙමින්.
"වරදක් නෑ කෙල්ලෙ. හොදින් කෙරීගෙන යනවා"
ඇය සුප් හැන්ද මුවට ලන් කරද්දි මම ඇගේ දෙතොල් දිහා බලන් ඉන්නවා. ඇයට හොරෙන් ඈ දිහා බලන්න තාමත් මට බෑ.
"කොහේද බලන් ඉන්නෙ"
"නෑ මට ඉස්සර මතක් උනා" මම ලැජ්ජාවෙන් කියනවා.
"මොනාද මතක් උනේ"
"අපෝ ඒවා මෙතන කියන්න බෑ"
"මොනා හරි වල් දෙයක් වෙන්න ඇති මම නොදන්නවයි මේකා ගැන" මේසය මත තිබෙන මගේ වම් අතේ පිලි අල්ලට ඇය ඇගේ වමතින් පහරක් ගසනවා. ඇගේ අත සීතලයි.
"අම්මෝ ඔයාගේ අතේ සීතල" මම ඇගේ අතල අල්ලාගෙන හෙමිහිට පිරිමදිනවා.
"හොරා මගේ අත අල්ලන්න බොරු කියනවා නේද?" ඇය තරහක් මවාගෙන කිව්වට ඇගේ දෙනෙත් වල තියෙන්නෙ සිනාවක්.
"වැඩේමයි මට. අනිත් එක ඔයා හිතුවද මන් තාම ඉන්නෙ මුල් ස්ටේජස් වල කියලා. ඒ කාලේ පහු කරලා හුඟාක් කල්....." මම හෙමිහිට ඇගේ සුරත මිරිකනවා.
එකිනෙකාට තුරුළු වීගෙන එන තරුණ ජෝඩුවක් අපෙ පසෙකින් තියෙන මේසයකින් ඉඳ ගන්නවා. වාඩි උනත් කොල්ලා කෙල්ලව බදාගෙන. බොහොම සතුටින් ඉන්න ජෝඩුවක් වගේ..... ඒත් පිටින් ඔහොම පෙනුනට ඒ දෙන්නට මොන තරම් ප්රශ්ණ තියෙනවද කියලා කවුද දන්නෙ. නමුත් කොයි තරම් ප්රශ්ණ තිබුනත් ඔහොම හිනාවෙලා සතුටින් ඉන්න එකම ලොකු දෙයක්නේ. මගේ හිත කල්පනා ලොකේක දුරට යනවා.
"හනේ හනේ මොනාද ඒ පාර බලන් ඉන්නේ." ඇගේ දෙනෙතට මගේ ක්රියාව අසුවෙලා.
මම මුකුත් නොකියා හිනාවක් විතරක් මවා ගන්නවා.
විනාඩියක් විතර අපි දෙන්නම නිශ්ෂබ්දයි.
"අපි මේ කරන්නෙ වැරදි වැඩක් නේද" මම සුප් භාජනය දිහා බලාගෙනම අහනවා.
ඇගෙන් උත්තරයක් නෑ.
මම ඔලුව උස්සලා ඇය දිහා බලනවා.
"අපි අද මෙහෙම හම්බ නොවෙන්නයි තිබුනේ" මම ආයෙත් කියනවා ඇගේ දෙනෙත් දිහා බලාගෙනම.
ඇය කිසිත් නොකියලා සුප් එකේ චිකන් කෑලි තෝරනවා. ඇගේ දෙනෙත් බිමට බර වෙලා.
"ඒ උනාට ඒ වැරද්දට මම ආසයි." කතා කරන්නෙ මමම විතරයි. ඇය තාමත් නිශ්ශබ්ධයි.
"අනූ....." ඇය අන්තිමේදි කතා කරනවා.
"හ්ම්ම්ම්....."
"මට ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙනවා. මන් අද ඔයාට හම්බවෙමු කිව්වෙ ඒ දේ කියන්න." ඇය මගේ දෙනෙත් දිහා බලන්න බයයි වගේ.
"කියන්න ඕනම දෙයක් කියන්න. ඕනම දෙයක් අහනන් දැන් මගේ හිත හයියයි" මුවින් එහෙම කිව්වට ඇතුලින් මගේ හිත අඬන බව මන් දන්නවා.
ඇය මගේ දෙනෙත් දිහා බලනවා. අපේ දෙනෙත් එකිනෙකට යාවෙනවා. ඒ දෙනෙත් ලොකූ කතන්දරයක් කියන්න හදන බව මට හැඟෙනවා. පුංචි කඳුලු බින්දුවක් ඒ ඇස් වලින් බිමට හැලෙන්න ලොකූ සටනක් දෙනවා. ඒත් ඇය ආයාසයෙන් එය වලක්වගෙන.
"අනූ.... ලබන දෙසැම්බර් මම මැරි කරනවා. එයාලගෙ ගෙදරින් වෙඩීන් එක ඉක්මනට ගන්න ඕන කියනවා. අනේ මට සමාවෙන්න" ඇය අමාරුවෙන් තද කරගෙන හිටිය කදුලු බින්දුව කදුලු රෑනක් වෙලා ඇගේ දෙනෙතින් කඩාගෙන වැටෙනවා.
"මම ඔයා එක්ක තරහා නෑ රත්තරන්. මේ දේ වෙන බව අපි දැනගෙන ගොඩක් කල්නෙ. ඔයා සතුටින් ඉන්න කෙල්ලෙ" මම මෙතෙක් වෙලා අල්ලගෙන හිතපු ඇගේ අත හෙමිහිට අත අරිනවා.
(මෙහි එන නම් ගම් සියල්ල මනකල්පිත බව කරුණාවෙන් සලකන්න.)