Monday, October 21, 2013

නගා අත්තල වඳිමු මත්තල

පහුගිය දිනෙක නිවැසියන්ද සමඟ කතරගම වන්දනා ගමනකට සහභාගි වීමට මට හැකියාව ලැබිනි. කතරගම යන අතරමග දැකබලාගැනීමට යන ස්ථාන අතර තිබූ එක් විශේෂිත ස්ථානයක් පිලිඹදව ලිවීමට බලවත් ආශාවක් මා සිත තුල ජනිත වූයේ මා එම ස්ථානයේ සිටින අතරතුරමය.
මත්තල. තවත් සම්පූර්ණ කොට පැවසුවහොත්, මත්තල ගුවන් තොටුපල.
ඇත්තෙන්ම මා එහි ගිය ගමන මත්තල ගුවන් තොටුපල පිළිඹඳව මගේ සිත තුල එකතු වී කුණු වී ගඳ ගසිමින් තිබූ බොහෝ දුර්මතයන්, හිරු දුටු පිණි මෙන් වීනාශ වී ගිය බව කියනු ලබන්නේ හද පුරා නැගෙන ඉමහත් වූ සතුටකිනි.
එහෙට මෙහෙට නැවෙන දිව හතර අතර සොලවමින් මිනිසුන්ට තමන් රිසි දේ කීමට හැකි බව මම දැන සිටියෙමි. සිය කුහක සිත් වල තිබෙන අසංතෘප්ත හැඟීම් මුව හරහා එලියට මුදාහරින මිනිසුන්ගෙන් පිරී ගිය සමාජයක අපි ජීවත් වන බවද මම දැන සිටියෙමි. එසේ වී තිබියදීත් මෙතෙක් කලක් එවැනි මිනිසුන්ගේ හිස් වදන් හිස මත නංවාගෙන මගේ මනස දූෂිත වන්නට ඉඩ හැර බලා සිටි අන්දම ගැන සිහිපත් වනවිට මට ඇති වන්නේ සියුම් ලැජ්ජවකි. කෙසේ හෝ එම තත්වයෙන් මිදී පමා වී හෝ මෙලෙස සත්‍යය වටහාගෙන නුවණැසින් යුතුව බැලීමට ලැබීම මා ලද ඉමහත් භාග්‍යයකි.  මේ සටහන ලියනු ලබන්නේ අඳුරු වළාවන්ගෙන් වැසී ගොස් තිබෙන දෙනෙත් යම් තරමකින් හෝ පාදාලීමට හැකියාව ලැබේවීයි යන අපේක්ෂාවෙනි.

සැබැවින්ම වෙනත් රටක් වෙත පියාසර කරන කෙනෙකුට විනා වෙනත් කෙනෙකුට කටුණායක ගුවන් තොටුපල තුලට ඇතුළු වීමට හෝ අවසර නැත. ගුවන් තොටුපලක් තුල ඇති අසිරිය විඳගැනීමට භාග්‍යය ලැබෙන්නේ ගුවන් ටිකට් පතක් සිය ඇඟිලි අතර රඳවාගත්තෙකුට පමණි. එබැවින් ගුවන් ගත වීමට අවස්ථාවක් නොලැබෙන සාමාන්‍ය ජනයා දිනපතා පසුවන්නේ ඒ ගැන මහත් වූ කනස්සල්ලකිනි.
අප ගුවන්යානා වලට ප්‍රිය කරන්නේ කුඩා කල සිටමය. මා කුඩා කල ඈතින් ගුවන් යානයක හඬ ඇසෙද්දි නිවසේ බඩු භාහිරාදියද පෙරලාගෙන මිදුලට දිව ගොස් ගුවන් යානය මාගේ දෑස් මානයෙන් මැකී යන තුරුම අහස්කුස මත දෑස රඳවාගෙන සිටි අයුරු මට මතකයට නැගෙයි. අදට පවා ගුවන් යානයක් අහසේ පියාසර කරන අයුරු දැකීමට මම ප්‍රිය කරමි. ඔබ බහුතරයක් දෙනා එම ප්‍රියතාවය හදවතේ රුවාගෙන ජීවත් වන බව මම දනිමි. ගුවන් යානයක් ඉහල අහසේ පියාසර කිරීම වරින් වර හෝ දැකගත හැකි වුවත්, ගුවන් යානයක් පොළව මත තිබෙන අයුරු දැක ගත හැකිවන්නේ සීමිත පිරිසකට පමණි. ගුවන් යානය පොලවේ සිට ඉහල අහස වෙත ඔසවනු ලබන ඒ විශ්මයජනක අවස්ථාව සජීවීව නැරඹීමට භාග්‍යය ලැබෙන්නේ අතලොස්සකට පමණි. අප අතරින් බොහොමයක් දෙනෙක් ඒ භාග්‍යය නොවිඳම සිය ජීවිතය හමාර කරයි. මත්තල ගුවන් තොටුපල ඉදිවන්නේ එවන් අවධියකය.

සැබැවින්ම මත්තල ගුවන් තොටුපල අප වැනී පිපාසිත ජනයා වෙනුවෙන් තැනුනු සිසිල් දිය කඩිත්තක් වැන්න. ජීවිත කාලය පුරාම ගුවන් යානයක් දෑසට සමීපව දැකබලාගත හැකි නොවෙතැයි පසුගාමි වී සිටි අපට, ගුවන් තොටුපලක් තුල ඇති සුන්දරත්වය විඳ ගත හැකි නොවැතැයි විලාප නගමින් සිටි අපට මත්තල ගුවන් තොටුපල කදිම වූ තෝතැන්නකි. සැබැවින්ම එය ඉදිවන්නේ අප වෙනුවෙනි. අපගේ සිත්වල තිබූ පසුගාමී බවට මනා පිළියමක් වශයෙනි.
අප අතර සිටින කුහකයින්ට මෙය ඇසට කටු අනින්නාක් මෙනි. එබැවින් විවිධාකරයේ දූෂිත තොරතුරු පතුරවමින් මත්තල ගුවන් තොටුපල පිළිබඳ වැරදි අදහස් සමාජය තුල ස්ථාපිත කිරීමට වෙර දරයි. නුවණති මිනිසුන් ලෙස අපි ඒවාට අසුවිය යුතුද නැද්ද යන්න අපම තීරණය කල යුතු වේ.

මත්තල ගුවන් තොටුපල ඉදිකිරීමේ අරමුණ ගුවන් ගමනාගමනයට සහාය වීම නොවේ. අප එය පලමුකොට තේරුම් ගත යුතුය. එහි සැබෑ අරමුණ නම් මා ඉහත විස්තර කල දෙයයි. මෙය ගුවන් තොටුපලක ආකෘතියකි. රටට හිතැති මිනිසුන් ලෙස අප කල යුත්තේ කුහකයන් ලෙස ගැරහීම නොවේ. මෙතරම් ධනස්කන්දයක් වැය කොට අප වැනි තුන්වන පන්තියේ මිනිසුන් උදෙසා මෙවැනී උසස් නිර්මාණක් බිහි කිරීම ගැන ප්‍රසංසා කිරීමයි.

සියල්ලන්ට ප්‍රථමයෙන් මේ උසස් නිර්මාණය නැරඹීමට යන මෙන් මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. කිසිඳු මුදලක් අය නොකොට නොමියලයේ ලබා දෙන එම අවස්ථාව නොපමාව ලබාගෙන ඔබගේ සිත් වල හිරවී තිබෙන ආශාවන් සංතර්පණ කරගන්නා ලෙස ඉල්ලමි.
මම ඒ භාග්‍යය වින්දෙමි. බොහො දෙනා එම භාග්‍යය විඳින අයුරු දුටුවෙමි. වයස් භේදයකින් තොරව බාල තරුණ මහළු සෑම අයෙක්ම ගුවන් යානා අංගනය පිටුපස වීදුරුවේ එල්ලි ගුවන් යානා ඉහල නංවන අයුරු විසල් කරගත් දෑසින් යුතුව බලා සිටින අන්දම දැක මගේ දෙනෙතට සතුටු කඳුලු ඉනුවේය. පොෂ් යැයි සම්මත ඇඳුම් විලාසිතා වලින් සැරසුනු තරුණ රූමත් යුවතියන් පවා, තම රෝස කොපුල් වීදුරුවට තද කරගෙන එම සුන්දර දසුනේ අසිරිය සිය දෙනෙත් වල මෙන්ම කැමරා වලද සටහන් කරගන්නා අයුරු දැකගත හැකිවිය. එම දසුන මගේ සිතට මහත් ආඩම්බරයක් ඇති කරන්නට සමත් විය. අපේ රටේ අනාගතය ගැන ඉතාමත් ස්ථාවර බවක් මගේ සිතේ ජනිත විය. අපගේ පාලකයන් ගැන ඉතාමත් ආදරයකින් මගේ සිත පිරී ගියේය. මා හැකි ඉක්මනින් ගුවන් තොටුපලින් පිටතට ආවේ තවත් වෙලා ඇතුලට වී සිටියහොත් එම ආදරය පිරී ඉතිරී ගොස් දරාගත නොහැකිව මා පුපුරා යැතැයි බියක් මා සිත තුල ඇති වූ බැවිනි.

මා පිටතට පැමිණෙන විට වන්දනා බස් රථ 5ක් පමණ රථ ගාලේ නවතා තිබෙනු දැකගත හැකිවිය. නුදුරු අනාගතයේදි මෙම රථ ගාල වන්දනා රථ වලින් පිරී යනු ඇත. එවිට අප රට ආසියාවේ ආශ්චර්යය වීම කිසිවෙකුට වැලැක්විය නොහැකි වනු ඇත.



Monday, October 14, 2013

සඳ සහ කුමරිය

පුංචි කුමරිය සඳේ රුව දැක
ලබාගන්නට සිත් මැවී
තබාගෙන ඇස අහස් කුස මත
වැලපුනා සිත දැවී දැවී

දුරින් දැක සිත පිනවගන්නට
පමණදො උරුමය හිමී
සිත සිතා දින මාස ගෙව්වා
සලා දෙනෙතින් කැට මිණී

දිනක් සඳ සිය දෙනෙත් පොළවට
යොමා බැලු කල ඇය පෙනී
සඳේ පැහැයත් අලුත් වූවා
ආලයක් සිත තුල දැනී

ආදරෙන් සිත පිරී ගිය සඳ
අහසෙ ඉනු බැරි බව දැනී
වලාකුළු පඩිපෙළින් බැස සඳ
පොලෝ තලයට ලන් වුනී

තමා වෙත පිය නඟන සඳ දැක
ප්‍රීතියෙන් මුලු හිත පිරී
දෑත් දිගු කර පුංචි කුමරිය
ගියා සඳ වෙත ගෙන දිරී

ටික දුරක් පා නැගූ කුමරිය
නැවත ආ මග දෙස හැරී
තබන්නට සඳ හෙව්වා ඉඩකඩ
සැඟව යද්දී ගත් දිරී

ලබාගත්තට තබාගන්නට
පොළවෙ ඉඩ මදි බව දැනී
නැවත අහසට යන්න කියමින්
කුමරියගේ සිත නැවතුනී

නැවත අහසට නගිනු නොහැකිව
අසරණව ආලෙන් වෙලී
වැලපෙනා සඳ දෙස බලාගෙන
හිනහුනා නිල් තරු එලී