Sunday, June 13, 2010

ඔබේ අවධානය පිණිසයි...........

                             පහුගිය දිනක එක්තරා ඉංග්‍රීසි පුවත්පතක පලවී තිබූ ලිපියකි ඒ ඔබ දුටුවේ. එය කියවූ වහාම මගේ හිස මහත් වූ විමතියකින් පිරී යන්නට විය. මා පාසල් යන අවදියේද ගාල්ල නගරය තුල මෙවැනිම සිදුවීම් සිදුවූ බව මට අසන්නට ලැබී තිබිනි. එයට ප්‍රධාන හේතුව වූයේ ගාලු කොටු පවුර එදා සිටම පෙම්වතුන්ගේ පාරාදීසයක් වී තිබූ බැවිනි. කොටු පවුර වෙත ගිය දිනෙක කුඩවලින් සිය පෞද්ගලිකතවය ආවරණය කරගනිමින් නිදහසේ පෙම්සුව විඳින පෙම් යුවලක් දැකගත නොහැකි වුවහොත් එය පුදුමයට කරුණක් වනු ඇත. කලකට පෙරනම් මෙය ඉතාමත් කතාබහට තුඩු දුන් මාතෘකාවත් වුවමුත් අද වන විට එය ඉතාමත් සාමාන්‍ය දසුනක් වී ඇති බැවින් ඒ ගැන විචාරයන් අල්ප වී තිබේ. නමුත් ඉහත ලිපිය කියවන විට මට වැටහී ගිය දෙයනම් පෙම්වතුන්ට තිබූ එම අවදානම තවමත් පහව ගොස් නොමැති බවයි. කෙසේ වෙතත් එම ලිපිය කියවීමෙන් අනතුරුව මේ පිලිබඳව මට හැඟෙන දේ ගැන යම් සටහනක් කලොත් මනා යැයි හැඟී ගිය බැවින් මේ ලිපිය මෙසේ අකුරු කරන්නෙමි. මා සියයට සියයක් නිවැරදියැයි මා නොපවසමි. මේ මට හැඟෙන හැටිය. වැරැද්දක් ඇතිනම් පෙන්වා දෙන මෙන් මා පලමුවෙන්ම ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. මෙය සංවාදයට විවෘත කරුණක් බව සිහි තබාගන්න.
                                  පෙම්වතුන් හා පොලීසිය අතර සිදුවන මෙම ගට්ටනය අද ඊයේ පටන් ගත්තක් නොව, බොහො කලක පෙර සිට පැවත එන්නකි. මා පලමුව කිවාක් මෙන් මම කුඩා කලද මෙවැනි සිදුවීම් අනේකවාරයක් අසා ඇත්තෙමි. ආදරය කිරීම හා ආදරය ලැබීම යනු මිනිසෙකු සතු අයිතිවාසිකමකි. එය වැලැක්වීම සඳහා කිසිවෙකුටත් අනිසි බලපෑම් කල නොහැක. නමුත් පොලීසිය විසින් කරන්නාවූ මෙවැනි ක්‍රියාවන් එම අනිසි බලපෑම් ගොන්නට වැටෙන බව ඔබටද වැටහෙනු ඇත. "ප්‍රසිද්ධ ස්ථාන වල අනාචාරයේ හැසිරීම". පොලීසිය විසින් ඔවුනට එල්ල කරන චෝදනාව එයයි. ඇත්තෙන්ම ප්‍රසිද්ධ ස්ථානයක එසේ අනාචාරයේ හැසිරුනේනම් එය බලවත් වරදකි. මක් නිසාද යත් අපේ සංස්කෘතිය විසින් එවැනි ක්‍රියාවන් අසම්මතයන් ලෙස වර්ග කොට ඒවැනි ක්‍රියාවන් වලට් වැට බැඳීමට සංස්කෘතික නීති රීති වලින් යුතු රාමුවක් නිර්මාණය කොට ඇති බැවිනි. අප ශ්‍රී ලාංකිකයන් වශයෙන් එම රාමුව තුල සිටිමින් ක්‍රියා කල යුතුය. මන්ද සියල්ලන්ම අප දෙස බලනුයේ එම රාමුව තුලම සිටිමිනි. එම රාමුවට බාහිරින් වන දෙයක් අප විසින් කලහොත් එය අසම්මතයක් බවට පත් වේ. අසම්මතයක් සිදු කරන තැනත්තා විවිධ නම් වලින් වර්ග කරමින් ඔහුට චරිත සහතික ලබා දෙමින් එතැන් සිට සමාජය තුල ඔහුට හිමි තැන තීරණය කිරීමට තරම් කාරුණික සමාජයක් අප වටා සිටින බව ඔබ සැම දන්නා කරුණකි. අපේ සන්ස්කෘතිය තුල අසම්මතයක් ලෙස වර්ග කල ඇති දේවල් වෙනත් සංස්කෘති වලදී සම්මතයක් විය හැක. බොහො බටහිර රටවල සිදුවන ඇතැම් ක්‍රියාකාරකම් දෙස අප සමාජය වපර ඇසින් බලනුයේ එබැවිනි. ඇත්තෙන්ම මෙම වෙනස වටහා ගැනීමට තරම් දැනුමක් හෝ උවමනාවක් අප බහුතරයකට නොමැති වීම අප ලබන මහත් පරාජයක් බව මාගේ පෞද්ගලික හැඟීමයි.
                               නැවතත් ප්‍රධාන කරුණ වෙත යොමු වෙනවානම්, එසේ අසම්මත හැසිරීමක යෙදීම ලාංකිකයෙකු වශයෙන් ලංකාව තුලදී අපේ සංස්කෘතිය අනුව වැරදි දෙයකි. එබැවින් අප සියලු දෙනා එය හැසීරීම් වලින් මිදී සිටිනවානම් එය යහපත් කාරණයකි. නමුත් ගැටලුව වනුයේ පොලීසිය  විසින් මෙම අත් අඩංගුවට ගන්නා සෑම යුවලක්ම එසේ සත්‍ය වශයෙන්ම ප්‍රසිද්ධ ස්ථාන වල අනාචාරයේ හැසිරුනු අයමද යන  වගයි. උක්ත ලිපියෙහි සඳහන් වන අන්දමට නිකම් අත් අල්ලාගෙන සිටීමත් පොලිසියට ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට තරම් බරපතල කාරණයක් වේ. අවට සමාජයටද එම කරුණ පවා තම තමන්ගේ ගෞරවයටද හානි වන, දැකීමටත් ජුගුප්සාජනක මහත් අප්‍රිය දර්ශණයක් වේ. මෙය සාධාරණද අසාධාරණද යන වග වියත් ඔබට වැටහෙනු ඇතැයි මා තදින් විශ්වාස කරමි. නිදහසේ පෙම් සුව විඳීමට අප කවුරුත් කැමතිය. කොහේ හෝ සුන්දර නිස්කලංක පරිසරයක තනි වී තම ආදරය කරන තැනැත්තා සමඟ දොඩමලු වෙමින් කාලය ගෙවීමට අකමැති අයෙක් සිටීයැයි මා නොසිතමි. ඇත්තෙන්ම එය අප මිනිසෙකු වශයෙන් ලබන අයිතිවාසිකමක්ද වේ. එයට අකුල් හෙලන අයෙක් සිටීනම් එම පුද්ගලයාගේ මානසික මට්ටම ගැන වටහාගැනීමට මට මෙන්ම ඔබටද හැකිවනු ඇතැයි මා සිතමි.


                           ගාලු කොටු පවුර, ගෝල් ෆෙස්, විහාර මහා දේවී උද්‍යානය, ගල්කිස්ස මුහුදු වෙරල පෙම්වතුන්ගේ පාරාදීස බවට පත් වූ ප්‍රධන ස්ථාන කිහිපයකි. මේ ඇරුනු කොට එවැනි ස්ථාන කොතෙකුත් ඇතත් ඒ සියල්ලම එකින් එක නම් වශයෙන් සඳහන් කිරීමට මා අදහස් නොකරන්නේ මා මේ ලිපිය ලියනුයේ අතදරුවන් පිරිසකට නොවන බැවිනි. එම බොහෝ ස්තානයන්හීදී කුඩ වලින් ආවරණය කරගනිමින් පෙම් සුව විඳින ආදරවන්තයින් කොතෙකුත් දැක ගත හැක. මිනිසුන් කියනවා තරම් ජුගුප්සාජනක දෑ එම කුඩ යට සිදුවෙතයි මා විශ්වාස නොකරමි. තුරුලු වී සිටීම හෝ හාදුවක් දීම එතරම් ජුගුප්සාජනක ක්‍රියාවක් නොවන බව මාගේ හැඟීමයි.  ඊට එහා ගිය දෑ ඇත්තෙන්ම සිදුවේදැයී කීමට මා දන්නෙ නැත. එසේ සිදුවනවානම් එය වරදකි. එය එසේ වේනම් ඔවුනට යම් අවවාදයක් දීම වරදක් නොවේ. නමුත් එලිමහන් ස්ථානයක තමන් ආදරය කරන තැනැත්තා ලැජ්ජාවට පත්  විය හැකි යමක් කිරීමට තරම් වර්ථමාන තරුණ පරම්පරාව අනුවණ නැතැයි මා විශ්වාස කරමි.  එකෙකු දෙන්නෙකු එසේ හැසිරුනද සියලු ආදරවන්තයින් හට ඇඟිල්ල දික් කිරීම කොයි තරම් සාධාරනද යන්න සිතීමට මා ඔබට බාර කරමි.
                        සැබැවින්ම ආදරවන්තයන් හට නිදහසේ කතා බහ කිරීමට තැනක් තිබිය යුතුය. ඒ සඳහා වැට බැඳීමෙන් සිදුවනුයේ තානායම් කාමර පෙම්වතුන්ගෙන් පිරී යාමය. එය කෙතරම් සංස්කෘතික හිතකර කාරණයක් වනු ඇත්දැයි අප සමාජය වටහාගනු ඇතැයි යන්න මාගේ තදබල විශ්වාසයයි. පෙම්වතුන් කුඩයකින් අපේක්ශා කරනුයේ තම ජුගුප්සාජනක ක්‍රියා සඟවා ගැනීමකට වඩා තම පෞද්ගලිකතවය හා අනන්න්‍යතාවය සඟවා ගැනීමක් විය හැක. මන්ද සෑම පෙම්වතුන් යුවලක්ම දෙමාපිය අනුදැනුම මත ආදරය කරන්නන්නම නොවන බැවිනි. කෙසේ වෙතත් ගැටලුව වන්නේ මෙම කුඩ තුලට එබී බලමින් ඔවුන් සඟවන්නට උත්සහ කරන දෑම බලෙන් සොයා බලන්නට මිනිසුන් උත්සහ කිරීමයි. කුඩයකින් ආවරණය වී සිටින එවැනි පෙම්වතුන් යුවලක් දුටු සැනින් ඔවුන් දෙස වැරදි ඇසකින් බලමින් ඔවුන්ට නිග්‍රහ කරමින් කතා කිරීමට අපේ බොහෝ දෙනා පුරුදු වී සිටිති. එය ඇත්තෙන්ම මහත් ඛෙදජනක තත්වයකි. මට වැටහෙන අන්දමට එතැනින් පිලිබුඹු වන්නේ පෙම්වතුන්ගේ නොව ඔවුන් දෙස වපර ඇසින් බලනා අයගේ පහත් මානසික මට්ටමයි.
                   ලංකාව යනු අන් සියලුම දේ අංග සම්පූර්නව තිබෙන මෙම පෙම්වතුන්ගේ ගැටලුවට පමණක් මුහුණ දී සිටින රටක් නොවේ. එසේ තිබියදීත් මෙය මහත් වූ ගැටලුවක් කරගනිමින් අහිංසක ආදරවන්තයින්ගේ නිදහසට වැට බැඳීම මෙතරම් විශාල අන්දමින් සිදු කරන්නෙ ඇයිද යන වග මටනම් ගැටලුවකි. අපේ සංස්කෘතිය සදාචාරය විනාස කරන අව්ලම් පිරිසක් ලෙස ආදරවන්තයින්ට නිර්දය අන්දමින් බැන වදින අයගෙන් මා එක ඉල්ලිමක්  කරමි. එක් වරක් සමාජ ශාලාවකට ගොස් බලන්න. සම්බාහන ආයතන ලෙස පෙනී සිටිමින් ලිංගික සේවා සපයන ස්ථානයකට ගොස් බලන්න. අපෙ රටේ සංස්කෘතිය සදාචාරය තිබෙන තැන ගැන වැටහීමක් එවිට ඔබටම ලබා ගත හැකි වනු ඇත. මෙම ආදරවන්තයින් නිසා කුඩා දරුවෙක්වත් නිසි ලෙස හදා ගැනීමට නොහැකියැයි සමහරු අවලාද නගති. එසේනම් එය ආදරවන්තයින්ගේ වරදක් නොව දෙමාපියන්ගේ වරදකි. තම දරුවන් දකින හා අසන දේවල් ගැන හොඳ නරක කියා දීමට දෙමපියන්ට හැකිවිය යුතුය. තම දරුවන් හට සමාජය ගැන යහපත් නිවැරදි අවබෝදයක් ලබා දෙමින් ඔවුන්ව හරි මගට ගැනීමට දෙමාපියන්ට හැකි විය යුතුය. දරුවන් යහපත් හදා ගැනීමට නොහැකී වීමේ වරද පෙම්වතුන් වෙත පවරා අත පිහිදා ගැනීමට තරම් බහුතරයක් දෙමාපියන් පුරුදු වී සිටීම කණගටුවට කරුණකි.  එසේනම් පලමුව දරුවාගෙන් ඈත් කල යුත්තේ රූපවාහිනියයි. මක්  නිසාද යත් අද ලමුන්ගේ මනසට තදබල බලපෑමක් ඇති කරන්නේ මාධ්‍ය වන නිසාවෙනි.
                     කෙසේ වෙතත් අවසාන වශයෙන් තවත් දෙයක් කිව යුතුව ඇත. මුහුදු වෙරලේ හෝ උද්‍යානයක හෝ කුඩ යටට වී සිටින පෙම් යුවලවල් හා පුංචි තානායම් කාමර වලට පනිමින් එහි සිටින යුවලවල් අත් අඩංගුවට ගත් සිද්ධි කොතෙකුත් අප අසා ඇති මුත් තරු පහේ හෝටල් කාමරයකට පැන එහි අනාචාරයේ හැසිරෙමින් සිටිනා යුවලක් අත් අඩංගුවට ගත් පුවතක් ඇසුනොත් එය ඉතාමත් කලාතුරකින් බව මා වැවසුවහොත් ඔබ මා සමඟ එකඟ වනු ඇත. මන්ද යත් ලංකාව තුල බොහෝ නීති වලංගු වන්නේ තුන්වන පංතියේ සාමාන්‍ය ජනතාවට පමණක් වන බැවිනි. එක්තරා පැරණි කියමනක් මගෙ සිහියට නැගේ. "ලිඛිත නීතිය යනු මකුණු දැලක් බඳුය. දුබලයා එහි පැටලේ. බලවතා දැල කඩාගෙන පලා යයි." කෙසේ නමුත් හැංගී වරද සිදු වන තුරු බලා සිට දඩ කොලය ලියනා පොලිස් නිලදාරින් සිටින රටක මේවා එතරම් ලොකු දේවල්  නොවන බවද කිව යුතුය. ( මා සඳහන් කලේ මුලු මහත් පොලිස් දෙපාර්තමෙන්තුව ගැනම නොව නීච පහත් ක්‍රියා සිදු කරමින් මුලු මහත් පොලිස් දෙපාර්තමේන්තුවටම නිග්‍රයක් ගෙන දෙන පොලිස් නිලධාරීන් ගැන පමණි. තොප්පිය ගැලපෙන අය දා ගනිත්වා)
                මෙ මා සැම දෙනාටම කරන විවෘත ආරාධනයයි. මදක් සිත බලන්න. පෙම්වතුන් යනු සමාජයට පිලිලයක්ද. සමාජයට කැලලක්ද. සියල්ල තීරණය වන්නේ ඔබේ අදහස මතයි. ඔබ මා සමඟ එකඟනම් මේ අසාධරණ තත්වයට එරෙහිව පෙල ගැසෙන්නට එක් වන්න. අපි හැකි අන්දමින් සටන් කරමු. පොලිස් උවදුරින් පෙම්වතුන් බේරාගනිමු.
              

20 comments:

  1. ඔබ කැමතිනම් ෆේස් බුක් හි මේ සඳහා තැනි ගෲප් එක හා එක් වන්න.

    http://www.facebook.com/group.php?gid=134730023208111&ref=mf

    ReplyDelete
  2. මෙ රටෙ නිති රීති පද්ධතිය මට හිතෙන විදියට නිති පීඨ වලින් එන අයට රස්සා දෙන තැනක් විතරයි, බන්ධනාගාර කියන්නෙ, අපරාධ කරුවන්ගෙ තිඹිරිගෙයක්. එතනට අනුයුක්ත කරන අවංක පොලිස් නිලධාරියෙක් ටික දවසකින් පාතාල සාමජිකයන් ගෙ අතකොලු වන අවස්ථාත් දකින්න පුළුවන්. රටෙ පනවන නිති ත් ප්‍රායොගික වැදගත් කමකින් යුතු එවා නොවෙ.

    අපෙ සංස්කෘතිය... කියා උඩ දාගන්නා අයට වැදගත් දෙයක් මතක් කරලා දෙන්න ඔනා.. මම අහලා දැකලා තියන විදියට ඉස්සර නම් ඔච්චරවත් කාන්තා පක්ෂය ඇඟ වාහගෙන ඉදලා නැහැ. එ කාලෙ ලිංගිකත්වය , ආදරය, සෙනෙහස මෙ දෙවල් ගැන ක්‍රමානුකූල වැටහිමක් මිනිස්සුන්ට තිබුනද නැද්ද කියලා මම දන්නෙ නැහැ. හැබැයි ඔය දැන් සිංහලයින්ට තිබෙන සංස්කෘතිය නෙමෙ ඉස්සර පිරිසිදු සිංහල අයට තිබුනෙ.. සුද්දා තමයි ඇදුම සම්පුර්ණ කරලා මුන්ට ඇන්දුවෙ.. අන්දලා උන් එහෙ ගිහින් අපෙ උන් කරා වගෙ බාගෙට ඇද ගත්තා. උන් බාගෙට ඇදගෙන උන්ගෙ සංස්කෘතිය කරලා, අපිට උන්ගෙ සංස්කෘතිය පෙව්වා. දැන් ඔය අපෙ සංස්කෘතිය කියලා අදහන ඔක්කොම 1500 මෙහා සිංහලයා අවුලගත්ත දෙවල් මිසක්, බෞද්ධ සංස්කෘතිය ඇතුලෙ තිබෙන දෙවල් නෙමෙ.
    සිංහල බෞද්ධ මිනිස්සු මට හිතෙන හැටියට ගොඩාක් මනසින් හික්මුණ අය. එ අයව පාලනය කරන්න නිති රීති අවශ්‍ය නැහැ. රටෙ ඉහලම තැන ඉදන් ප්‍රයොගිකව, සාධාරණව තමුන්ව මෙහෙයවා ගන්න මිනිස්සු ටිකක් බිහි වෙන කාලෙක මෙ ප්‍රශ්න ගැන මිට වඩා පුළුල්ව බලන්න පුළුවන් වෙවි.

    පාලකයො දසරාජ ධර්මයෙන් ඇත් වෙලා, බලයට තන්හාවට වෛරය පතුරවද්දි මිනිස්සුන්ගෙ හිත් තුල එ රටෙ මිනිස්සු මෛත්‍රිය ප්‍රගුණ කරයි කියලා හිතන්න බැහැ. මිනිස්සු යහගුණ ප්‍රගුණ කරයි කියලා හිතන්න බැහැ.

    අනුරාධ පෙම්වතුන්ව විතරක් රකින්න බැහැ. මුලු පද්ධතියම කඩන් වැටෙනවා පෙනවා. බස් එකකට නැගලා බලන්න, දාඩියෙන් පෙඟුන මුහුනවල් තුල තිබෙන්නෙ තරහව, මහන්සිය, කලකිරීම විතරයි, සිනහව, උපෙක්ෂාව තියනවා නම් කලාතුරකින් විතරයි. මොඩ පාලකයින් නිතීරිතී වලින් මනුස්සයින් පාලනය කරන්න ගිහින් වෙන්නෙ දවසක ඉතා කෙටි කලකදි බරපතල ලෙසම සමාජය කඩා වැටිමක් විතරයි.

    ReplyDelete
  3. මානව හිමිකම් සංවිධාන කොහිද..... ආදරය කිරිමත් ලැබීමත් මානව හිමිකමක් නොවේද....

    ReplyDelete
  4. මෙතනදි එක නීතියක් දෙකක් ගැන විතරක් කතා කරලා වැඩක් නෑ.රටේ සම්පූර්ණ පාලන පද්ධතියම වෙනස් විය යුතු බවයි මගේ අදහස.

    ලංකාවේ පවතින දේශපාලනය ඇත්තෙන්ම ජුගුප්සාජනකයි, එසේම ඔවුන්ගේ ක්‍රියාවන් පිටින් සිට බලද්දී සැබැවින්ම හාස්‍යජනකයි. මෙතැනයි වෙනස් විය යුතු, මන්ද රට තුල මුල් බැසගත් අදූරදර්ශී, ආත්මාර්ථකාමී පාලන ක්‍රමයකින් කිසිසේත්ම රටට සෙතක් සිදුකල නොහැකි වන බැවින්. මේ පිළිබඳව අදහසක් ගැනීමට දියුණු යැයි සම්මත රටක පවතින දේශපාලනය පිළිබඳ ඉතා සරල අධ්‍යයනයක් වුවද සෑහේ.
    මේ පිළිබඳව කතා කිරීමත් කාලය අපතේ හැරීමක් විය හැකි වුවත් ඇත්තෙන්ම මෙය සාකච්ඡා කළ යුතු මාතෘකාවක්.

    ReplyDelete
  5. කෝකටත් ප්‍රසිද්ධ වේදිකාවෙ ඔය වාගෙ ‍රැඟුම් පාලනය කලානම් තමයි හොඳ.මමනම් කියන්නෙ ඔය වාගෙ love කරණ එවුන්ව පොලීසියෙන් අරන් යන්නම ඕනෙ.මොකද,මට ඔය වාගෙ love කරන්න බැරි උන නිසා.

    ReplyDelete
  6. @රවා
    ඔබේ100%ක් හරි රවා අයියේ. අද අපේ මිනිස්සු සංස්කෘතියක් අල්ලගෙන මහ ලොකුවට කෑ ගහනවා. අද සංස්කෘතිය පිරිහිලා. එදා ලංකාවේ මීට වඩා හොඳ සංස්කෘතියක් තිබුනා කිය කිය බෙරිහන් දෙනවා. අද පහත් දේවල් විදියට සලකන අයියා මලො දෙන්නා එකම බිරිඳ එක්ක සන්වාසයේ යෙදෙන එකගේ කෑමේ ක්‍රමය වගෙ ජුගුප්සාජනක දේවල් ඉස්සර සමාජයේ තිබ්බ කියලා ඔවුන්ට අමතක වෙලා ගිහිල්ලා. සංස්කෘතියක් කියන්නෙ හොඳ දෙයක් තමයි. නමුත් සංකෘතිය මුවාවේ අහිංසක ජීවිත විනාශ කරන එක මොන තරම් සාධාරනද කියන්න මන් දන්නෙ නෑ. වෙලා තියෙන්නෙ අයියෙ බහුතරයකට ඔය කියන සංස්කෘතිය ගැන නිවැරදි වැටහීමක් නෑ. අනුන් කියන දේම ගිරව් වගේ කිය කිය මතු පිටින් පේන දේ විතරක් බලල කටයුතු කරන පිරිසක් බිහි වෙලා ඉන්න නිසා තමයි මේ කණගාටුදායක තත්වය උදා වෙල තියෙන්නෙ. අපිට කියන්න බෑ අපේ සංක්කෘතිය තමයි උසස්ම වෙනත් සංස්කෘතියන් ඉතාම පහත් ඒවා කියලා. මොකද තම තමන්ගේ සංස්කෘති තම තමන්ගේ රට වලට ආවේණිකයි. කිසිම සංස්කෘතියක් වැරදියි කියලා අපිට කියන්න බෑ. නමුත් වෙලා තියෙන්නෙ අපි වෙනත් සංස්කෘතීන් දිහා බලන්නේ අපේ සංස්කෘතික රාමුව තුල ඉඳගෙනයි. විවෘත මනසකින් ඒ දිහා බලන අය ඉන්නවනම් ඒ ඉතාම අල්පයක් පමණයි. අපේ අය තේරුම් ගන්නෙ නැති තවත් දෙයක් තියෙනවා. සංස්කෘතිය කියන දේ දවසින් දවස වෙනස් වෙනවා. තිබෙන අංග නැති වෙලා යනවා. අලුතින් අංග එකටු වෙනවා. ඒක තමයි ස්වභාවය. අද අසම්මතය හෙට සම්මතයක් වෙනවා. නමුත් මේවා කියන කොටත් සමහරුන්ගේ ලේ කෝප වෙනවා. ඉතින් කොහොමද කරන්නේ.
    ඔයා හරි. මේ ප්‍රශ්ණය විතරක් නෙවෙයි. මුලු පද්ධතියම කඩා වැටෙමින් පවතිනවා. නමුත් එහි වැරද්ද බාර ගන්න කෙනෙකුත් නෑ. ඒ වැරදි නිවැරදි කරන්න කෙනෙකුත් නෑ. මේවා දකිද්දි තමයි හිතෙන්නෙ 2012දි ලෝකෙ විනාස වෙලාම ගියානම් හොඳා කියලා.

    ReplyDelete
  7. @wath
    කාට කියන්නද අක්කෙ ඉතින්. කවුරු හරි බලවතෙකුට මොකක් හරි උනානම් ඒවත් එලියට ඒවි.

    @නිශාචරයා Nishacharaya
    ආ.... හුඟ දවසකින්. ඇත්තමයි ඔය දේසපාලුවො ගැන කතා කරද්දි කුනුහරුප විතරයි ඔලුවට එන්නේ. රටට ඇත්තටම ආදරය කරන මිනිසුන්ට සේවය කරන්න හිතලා දේශපාලනේට එන කෙනෙක් කවදා බිනි වෙයිද මංදා. මේ ප්‍රශ්ණය අපේ සමාජයේ එක්තරා අඳුරු පැතිකඩක් නියෝජනය කිරීමක් විතරයි. මේ වගේ සාමාන්‍ය ජනතාව අසිරුවට පත් වෙන මොන තරම් සිදුවීම් අපි නොදැනුවත්ව සිදු වෙනවා ඇත්ද. මානසික සහනය, නිදහස, යුක්තිය කියන දේවල් සැබෑවටම අත්විඳින්න සාමාන්‍ය ජනතාවට තව සෑහෙන කල් බලාගෙන ඉන්න වේවි.

    @dinesh
    හේ... හේ.... මෙන්න ඉරිසියාකාරයෙක්........ හික්ස්.....

    ReplyDelete
  8. එක ගෙදර එකම ගැහැනියව බෙදාගන්න එක දැන් කාලෙ කෙනෙකුට කියපු හාම එකෙනා චිකෙ.. එ මොනාද එ.. එහෙමත් වෙලා තියනවද ... එහෙම අහන සංස්කෘතික අම්මන්ඩිලාත් ඉන්නවා. එ මිනිස්සුන්ගෙ මම හිතන්නෙ මිට වඩා හික්මිමක්, ඉවසීමක් , අව්‍යාජ බවක් තිබිලා තියනවා. සීමාවෙන් පිට ගිහින් නැහැ නෙද, එහෙම සීමාවෙන් පිට ගිය තැන් තිබුනා නම් අනිවාර්‍යන්ම පොතක පතක ලියවිලා තියෙන්න ඉඩ තියනවා නෙද..

    ඉස්සර මිනිස්සු හොරෙන් , බයෙ වනචරකම් කරලා නැහැ, කාටවත් දුකක් , කරදරයක් වෙන විදියට මහාපරිමාණ කැත වැඩ කරලා නැහැ. බලමු අනුරාධ අපි තවම එලියට බැස්සා විතරයි. ඔනැම සමාජයක ඉතා සුළු පිරිසක් ඉන්නවා නරකට, එවගෙම ඉතා හොද සුළු පිරිසක් ඉන්නවා. වැරැද්ද කියන්නෙ ඉහලට මතුවෙන්නෙ අර නරක පිරිස, හොද පිරිස ඉතා නිහඬව සමාජය මෙහෙම ඇදගෙන යන පිරිසයි. රජයෙ, පුද්ගලික අංශයෙ සමහර තැන් වල ඉන්නෙ මෙවගෙ පිරිසක්, එක නිසයි මෙ රට මෙහෙමවත් ඇදි ඇදි යන්නෙ නෙද..?

    ReplyDelete
  9. ආදරය කියන සුන්දරම හැගීම විදගන්න බැරිඋන කාලකන්නී තමා ඔහොමකරන්නේ .... උන් ඔලුව උඩ තියාගෙන ඉන්න මළ ඉලවු සන්ස්කෘතිය....සන්ස්කෘතිය කියන වචනේ එලියට දාගෙන ඔයවගේ අවලම් වැඩ කරන්නේ මානසික බෙලහිනතා තියන අතලොස්සක්......ඔය කියන විදිහට කුඩයක් ඇතුලේ ගුජුප්සහජනක දේවල් කරන්න පුලුවන්ද?....මම හිතන්නේ නැහැ ලන්කාවේ තරුන පරපුර ඔය තරම්ම මන්ද බුද්දිකයි කියලා....ආදරය කරන්න පිටරටවලනම් වෙනම උද්‍යාන වෙන් කරලා තියන්වා.....එතකොට ඔය කියන පාසල් ලමයින්ට ඒවට රින්ගන්න බැහැනේ....කොහොමත් දේමාපියන් හරි දේ දරුවන්න්ට කියලා දෙනවානම් ..... හරි....මම හිතන්නේ ඔය පොලිසියේ වැඩකරන කාගේ හරි ලමයෙක්...ඔහොම දෙවල් කරන්න ඇති....එකතමා..මුන් ඔය වගේ ඔල මොට්ටල වැඩ කරන්නේ....මිනිස්සු මිනිස්සුන්ට ආදරය කරන්නේ නැත්නම්....මොනවා කරන්නද?.....ආදරය සෙනෙහස විදපු නෑති.....පාගා කාක්කෝ........

    ReplyDelete
  10. ජාල-කාල-කන්නියාJune 14, 2010 at 1:27 PM

    thamange kellage thana athaganna , tholak danna policiyen permit oneda ? aney huke nannane kiwwalu

    ReplyDelete
  11. ඔතන ජුගුප්සාජනක දේවල් වෙනව කියමු ඒ ව දකින්නෙ කවුද ඔය කුඩ දිහා බලාගෙන ඉන්න හාල්පාරුවො නේද >>>??ආපු වැඩක් කරගෙන යන්නෙ නැතිව උන් මොකටද අනුන්ගෙ සීනි කිරන්නෙ...මට මතක්වෙන්නෙ අපේ දහම් පාසලේ භාවනා කලේ නෑ කියල අපිට චෝදනා කරපු ගෑනු ලමයි..උන් භාවනා කරන කාලෙ ඇතුලෙම කරල තියෙන්නෙ අපි දිහා ඇහැගහගෙන හිටපු එක...එයාලත් කරගනිපු භාවනාවක් නෑ....i agree with previos comment

    ReplyDelete
  12. එල කථාව සහතික ඇත්ත. අපි පෙල ගැසෙමු පෙම්වතුන්ගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන්.

    පීඪීත පෙම්වතුන්ට .....
    ජය වේවා....
    අසරණ පෙම්වතුන්ට
    ජයවේවා...
    අපේ ආලේ
    අපිට දෙන්න..
    දෙන්න දෙන්න
    විදින්න දෙන්න..
    මහින්ද මාමේ මේ අහන්න....
    පෙම් කරන්න තැනක් දෙන්න....
    දෙන්න දෙන්න තැනක් දෙන්න...
    පෙම් කරන්න තැනක් දෙන්න....

    ReplyDelete
  13. @රවා
    පටු දැක්මක් තියෙන මිනිස්සුන්ගෙන් ඊට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්නෙ කොහොමද රවා අයියේ. පිටින් පෙන දේ විතරක් බලල මිනිස්සුගන්න සමහර අඥාණ තීරණ දිහෑ බලපුවහම සමාජය ගැන ලොකු කලකිරීමක් ඇති වෙන්නෙ.
    මේ රට එන්න එන්නම අගතියකට යනවා මිසක් සුගතියකට යන වගක්නම් පේන්නෙ නෑ.මට බය තියෙන්නෙ ඉතිරි වෙලා ඉන්න සුළු සංඛ්‍යාවක් වූ හොඳ පිරිසත් තව නොබෝ කලකින්ම නපුරෙ අතකොලු බවට පත්වෙයිද කියලයි. එහෙම උනොත්නම් මේ රටට දෙයියන්ගෙම පිහිටයි.

    @ඉලංදාරියා
    ඇත්තෙන්ම අපේ සමහර පොලිස් උත්තමයො රුපියල් සත වලට ආත්ම ගරුත්වය පාවා දෙන හැටි ගැනනම් කතා කරන්න ගියොත් දවසකුත් මදි වෙයි. අද මිනිස්සු පොලීසිය ගැන මේ තරම් කලකිරීමකින් ඉන්න එක ගැන පුදුම වෙන්න් කිසිම හේතුවක් නෑ.
    ඇත්තෙන්ම සංස්කෘතිය කියන දේ තුල හොඳ දේකුත් තියෙනවා. හික්මීම, සංයමය කියන දේවල් ගොඩක් දුරට පුහුණු කරන්නෙ සංස්කෘතිය මගින්. නමුත් හැම දේකටම සංස්කෘතිය ඉස්සරහට දාගන්න යෑමෙන්නම් ඒ තරම් හොඳක් සිද්ද වෙන්නෙ නෑ. හැම දේයක්ම සීමාවක් ඇතුව පාලනය කරගන්න අපි පුරුදු වෙන්න ඕනෙ. සංස්කෘතිය කියන දේ විටින් විට වෙනස්කම්වලට භාජනය වෙනවා. එකට අපි හුරු වෙන්න ඕනෙ. එහෙම නැති උනොත් තමයි මෙන්න මේ කියන ප්‍රශ්ණ බොහොමයක් උද්ගත වෙන්නේ.
    අපි අද සංස්කෘතියක් ගැන මහා ලොකුවට කතා කරනවා. නමුත් මගේ දැනුමෙ හැටියට සිංහල වංශය ඇති උනායැයි අප විශ්වාස කරන විජය රජතුමා උපත ලබා ඇත්තේද එක කුස උපන් සහොදරයෙකු හා සහෝදරියක අතර සංවාසයක ප්‍රතිඵලයක් විදියටයි. එය සත්‍යයක්නම් සිංහලයාගේ ආරම්භයම අද සංස්කෘතියට අනුව අසම්මතයක්. (මා වැරදිනම් නිවරැදි කරන්න )

    ReplyDelete
  14. @ජාල-කාල-කන්නියා
    මා සඳහන් කරන කරුණ සම්බන්දයෙන් ඔබ එකඟ වීම පිලිඹඳව මා ඉතාමත් සතුටු වෙමි. ඔබෙ අදහස් ප්‍රකාශ කිරීම ගැනද මා ඔබට ස්තූතිවන්ත වෙමි. නමුත් වචන භාවිතයේදි මීට වඩා සැලකිලිමත් වන්නේනම් එය වඩා යෝග්‍ය වෙතැයි මා සිතමි. අසැබි වචන භාවිතා නොකොට ඔබේ අදහස ප්‍රකාශ කිරීමට ඕනෑ තරම් ඉඩ ඉතිබියදීත්, එසේ නොකිරීම ගැන මා ඉතාමත් කණගාටුවට පත් වෙමි. ඉදිරියේදිවත් වචන බාවිතයේදී මීට වඩා සැලකිලිමත් වීමට උත්සහ ගනු මැනවි. නැතිනම් එයින් පෙන්නුම් කරන්නෙ ඔබේ පහත් මානසිකත්වය බවද ඔබ සිහියේ තබා ගන්න. කෙසේ වෙතත් මින් ඉදිරියටද ඔබ මෙසේ හැසිරුනහොත් ඔබේ නමටම ගැලපෙන පරිදි ඔබ ජාල කාලකන්නියෙක්ම වනු ඇත.

    ReplyDelete
  15. @indi
    ඔබ ගෙන හැර දැක්වූ උදාහරණය මගේ සිත දැඩිව ඇඳ බැඳ ගැනීමට සමත් විය. තමන්ගේ කුණු හෝදාගැනීමට උත්සහ දරනවා විනා අනුන්ගේ කුණු හෙවීමට යාම සිංහලයා ජන්මයෙන්ම ගෙන එන පුරුද්දකි. සැබැවින්ම පහත් මානසිකත්වයකින් ලෝකය දෙස බලන අයට පෙම්වතුන්ගේ සාමාන්‍ය හැසිරීම් පවා පහත් ලෙස පෙනීම පුදුමයක් නොවේ.
    සංස්කෘතියට වැඩි පුර හානියක් වන්නේ සංස්කෘතිය හිස මත තබාගෙන ඒ පිලිබඳ උදම් අනන පිරිසගෙන් බව මට වැටහී ගිය කරුණකි.

    @ගීත් (සහෘදයා)
    අඩේ මෙන්න ගීත් ගේමට බැහැලා. එල එල. ඔහොම යන් ඔහොම යන්. ඕක තමයි වෙන්න ඕන. අපි නිහඬව ඉන්නකල් හැමෝම එනවා අපේ ඔලුවලට අත හෝදන්න.
    අත්තටම නිදහසේ පෙම් කරන්න තැනක් ඉල්ලගන්න එකනම් සෑහෙන්න වටිනවා.

    ReplyDelete
  16. අපි අපේ ෙප්‍රම කිරීමේ අයිතිය නීතියානූකූලව තහවුරු කරන ලෙස ඉල්ලලා කොටුව ඉස්සරහා අකන්ඩ සත්‍යග්‍රහයක් පවත්වමු. එහෙමත් බැරි උනොත් ප්රේ ම කිරීම වර්ජනය කරමු. මොකද කට්ටිය කියන්නේ?

    ReplyDelete
  17. @ගීත් (සහෘදයා)
    සත්‍යග්‍රහයනම් අව්ලක් නෑ මචන්. එකටනම් ඕන වෙලාවක රෙඩි. ඒත් පොඩ්ඩක් හිතපන්කො. ඔය උඹ කියන ප්‍රේම වර්ජනය කරන්නෙ කොහොමද කියලා. අපොයි. කියනකොටත් ඇඟ හීතල වෙලා යනවා.

    ReplyDelete
  18. මම මේ කතා කරන්නේ මේ මාතෘකාවට අදාලවම නෙවෙයි මෙතන තිබුන සමහර කමෙන්ට්ස් වලට අදාලව....අතීතයෙ අපේ සමාජය තුල හොඳ හික්මීමක් අනිවාර්යෙන්ම තිබුන.... එක ගෙයි කෑම තුල හික්මීමක් තිබුනේ නැද්ද? සදාචාරයක් තිබුනේ නැද්ද? අයියා මලෝ දෙන්න එකම ගැහැණිය එක්ක සමගියෙන් සමාදානයෙන් ජීවත් වුනේ නැද්ද?

    සංස්කෘතිය සදාචාරය මේවා මවාගත්ත පුහු ආකල්ප... ඔය කිසිම වචනයක් නොතිබ්බ කාලෙ ගෑණු ලමයෙක්ට පාරෙ බැහැල තනියම යන්න පුලුවන් තරම් ලිංගික හැඟීම් වල පාලනයක් ගම් වල තිබුන... මොකද ඒ කාලෙ මිනිස්සු බොහොම නිදහසේ තමන්ගෙ හැඟීම් පිට කරගත්ත නිසා......මේ රටට ගොඩ බැහැපු සුද්දො උන්ගේ අසහනය මෙහෙත් වපුරලයි ගියේ...... ඉස්සර ගෑනු හිටියෙ උඩුකය නිරුවත්ව..... නමුත් ඒ දවස් ගැන ලියවිච්ච කිසිම පොතක.... ඒ කාලෙ ගැන හොඳට දන්න අපේ ආච්චිලා සීයලා කියන කිසිම කතාවක තිබුනේ නෑ ස්ත්‍රී දූශන ගැන....

    දැන් සමාජයෙ ඉන්න එවුන් තමන්ගෙ හැම තුප්පහි හැඟීමක්ම හංගගෙන බොරු සදාචාරයක් ගැන කතා කරනවා... ඔය පොලිස්කාරයොත් කරන්නෙ ඕකමයි.. උන්ගෙ තියෙන අසහනය එලියට දාන්නෙ අහිංසක කෙල්ලෙක් කොල්ලෙක් අතින් අල්ලන් ඉන්න එකත් අසභ්‍යයි කියල..

    හොඳ ලිපියක් සහෝදරයා

    ReplyDelete
  19. ඒක තමයි.. අපේ ප්‍රේම කතා වලට බාධා වැඩියි වගේ.. අනේ මංදා... අපේ පංතියේ ජෝඩුවකුත් පාරේ ඉදලා පොලීසියෙන් අල්ලන් ගිහින්... මෙව්වා කොහෙන් කෙලවෙර වෙයිද මංදා.

    කියෙව්වනේ
    රස්තියාදු ගහන Couple පොලීසියෙන් අල්ලන් යනවලුනේ,,
    http://anythingshan.blogspot.com/2010/06/couple.html

    ReplyDelete
  20. @ශාන්
    ඔව් ඔව්. මම ඒක කියෙව්වා. ඔන්න උඹත් බලාගෙන හොඳද. ඔය අහුමුලු වල එහෙම ඉන්නෙ පරිස්සමින්. ඇවිල්ලා දෙන්නත් එක්කම කුදලගෙන යාවි.

    ReplyDelete