Monday, May 17, 2010

කවි මඩුවේ මගේ කවි - අංක 5

අම්මපා යකෝ මොකද්ද බොල මේ හෙඩිම
කටත් ඇරන් බැලුවා මම වී පුදුම
අමුඩෙද කලිසමද මම දන්නෑ හොඳම
මමනම් අඳින්නේ තාමත් පට සරම

මගේ පට සරම මට දෙවියෙක් සමානයි
සරම නැතොත් මම හෙලුවෙන් අනාථයි
සරමට මේ අපහසයක් උනාමයි
මට තද උනොත් මාරයා හා සමානයි

සරමට යටින් කලිසම අපි ඇන්දාට
කලිසම අඳිනවද අපි සරමක් උඩට
කලිසම ලොකු උනත් පරගැති උඹලාට
තේරෙයි ශිපර් එක කැඩිලා ගිය දාට

කිව්වම යමක් පෙන්නා හොඳ උපහැරන
ඒ කිව් දෙයෙහි හරයක් සිහියට නොගෙන
මතුපිට පෙනෙන දේ පමණක් සිතට ගෙන
ලොකු කම් කියන මුන් මෝඩයො සේ පෙනෙන

අනුරාධයා කවදත් හොඳ සිංහලයා
වීර පුතුන් අතරන් මේ සිව් හෙලයා
සුද්දට කත් අදින අපගේ වැප් මලයා
වාගෙම ඔබත් පෙන්නයි ඔබේ විශ දලයා

ආයුධ බලය ඉදිරියෙ ගෙරි සුද්දාගේ
අසරණ උන නමුත් රජවරු ඒ වාගේ
රට ජාතියට ලැදි අය මේ මන් වාගේ
හිටියා එදත් සිඳිමින් ඔලු සුද්දාගේ

ඇවිලෙන අතරෙ දලු ලාගෙන කවි ගින්න
සෑහෙන කාලෙකින් ආවා මම ඔන්න
ඩ්‍රයි ක්ලීන් කරන්නට ලොන්ඩරියට දුන්න
යන්නට උනා මගේ අමුඩය ගෙන එන්න

සතුරාගෙන් වුවත් හොඳ දේ ගත යුතුය
මිතුරා වුවත් නරකයි නම් බැහැරටය
ඔලු ගෙඩියක් ඇතුලෙ මොල ගෙඩියක් ඇතිය
ඒ ඇති මොලේ වෙහෙසවීම ඔබ සතුය

මමනම් මොනවා වූවත් හෙලයගෙ පැත්තේ
කිසිදා නැහෙන් නෑ පර සුද්දගේ මත්තේ
එල්ලී කෑ ගහන ගෙරි සුද්දගෙ අත්තේ
දැනගෙන හිටියොතින් නරකද උඹෙ තත්තේ

පෙන්නා උඹත් පර සුද්දගේ ජඩ ගතිය
පහර දෙන්න සැරසෙයි මට හැර බැතිය
අපිනම් කිසිමදා ඔය වගෙ වෙන් නැතිය
ඒකයි අපේ උදාර සිංහල ගතිය

දියුණුයි කියාගන්නා දැන් තාක්සනේ
හින්දා නේද අප හට වෙන්නේම විනේ
සුද්දා පවා දැක්කම බය වෙන්න අනේ
හැදුවේ බිසෝ කොටු ඒ කල කව්ද පනේ

සොබාදහම් මෑණිය හට වින කරලා
කුමටද තාක්ශණයෙන් දියුනුව පතලා
ලැජ්ජයි අනේ කරනා වැඩනම් ඔහෙලා
මමනම් ඉන්නෙ දැන් හොඳටම කල කිරිලා

විදුලොව දියුණුව ටික ටික වැඩි වෙද්දී
සොබා දහම යයි මරු තුරුලට පැද්දී
අරගෙන බලාපන් ඉතිහාසෙන් සිද්දී
වැටහෙයි දිනක ලොව සුනුවිසුණුව යද්දී

උදයට හමුවෙලා පවසා ගුඩ් මෝනින්
රෑට නිදා ගනිද්දි ගුඩ් නයිට් කියමින්
ඉන්නා පරගැතින් බොරු සෝබන මුහුණින්
දනීද දෙන අරුත "ආයිබොවන්" වදනින්

උදයට හමුවෙලා පවසා ආයුබොවන්
හවසට හමු වුවත් පවසමි ආයුබොවන්
දවල්ට උනත් වෙනසක් නෑ ආයුබොවන්
පතමින් ආයු වැඩි වන ලෙස ආයුබොවන්

ඒක ඉතින් උඹලගේ පර ගතියෙ හැටී
මොලයත් තියෙන්නේ පිරිලා වලින් මැටී
සුද්දා සිටින පහත්ම තත්වයට වැටී
අල්ලලා බලාපන් ඇති උඹලාට නැටී

උදයට පවසන්නේ හමු වී ගුඩ් මෝනින්
දවල්ට හෙන ගැහී පලයන් සිතා හිතින්
නිදහස ලැබී බොහො කල් ගත උනත් ඉතින්
තාමත් ඉන්නේ සුද්දගේ ජඩ ගතිය පිටින්

සුද්දා අනිත් අය පහතට නොදැමු බව
මෙපමණ දේ වෙලත් පවසනවානේ තව
යටතට අරන් අන් රටවල් තිබෙන ලොව
පෙන්නුවෙ මහත්මා ගතියද මට කියව

ලියන්න අක්කේ ලියන්න බය වෙන්න එපා
අපිත් ඉන්නවා මඩුවේ තවම දපා
පණ නැති වෙන්න සුද්දට ගැති අයගෙ දෙපා
ලිව්වොත් මමත් සහයට එමි සෙනෙහෙ පපා

පරගැති අයටනම් ඒවා ලොකු දේවල්
නිවනක් නැතුව කියවනවා රෑ දහවල්
සිංහල කමට ඇයිදෝ මේ හැටි කේවල්
නැහැ ඉවසන්නේ මම මේ වගේ වංචාවල්

සිංගප්පූරුවේ ඇති දියුණුවට මෙදා
වැඩි දියුණුවක් ලක්දිව තිබුනා පෙරදා
සුද්දන් හිටියනම් අපෙ මව්බිම හැරදා
අද මෙන් වෙන්නේ නෑ මේ දෙරණට කිසිදා

වැප් සැඟවිලා උගේ කාමරෙ ඇඳ අස්සේ
හරිහැටි නොදැනගෙන ඌ වාදෙට බැස්සේ
සුද්දන් හොඳයි කියමින් මේ හැටි කැස්සේ
පරගැතියන්ට ඕකයි වෙන්නේ පස්සේ

නොපතමි හිපෝ ඔබහට සුබ රාත්‍රියක්
එහෙම කලොත් සිංහල කමටත් කැලලක්
ලබා ගන්න ඔබහට දිගුකල් දිවියක්
පවසා ආයුබෝවන් යැයි දෙමි රුකුලක්

ඕකයි ඔන්න ඔබලට වැරදිච්ච තැන
ඔබලා සැවොම හැමදාමත් ගන්න ඇන
අරගෙන හැමදේම සුද්දා නිකන් දෙන
තිබු හොඳ පුරුදු ගිහිල්ලා ඇතටම පැන

පෙනුමෙන්නම් හැමෝම දැන් නිදි පාටයි
ජය පැරදුමක් හෙම කාටත් නැති පාටයි
සැබෑ දිනුම සිංහලකම රැකි දාටයි
එකා මෙන් හිඳිමු ජය මතු පරපුරටයි

6 comments:

  1. හප්පා බන් මාත් දැන්නේ දැක්කේ සමර එව්වා .........

    ReplyDelete
  2. mewane machan kawi.....ee uba meewa apita hengilada kiuwe? :D

    ReplyDelete
  3. නියමයි නෙදමචො.......
    ආයෙත් සෙට් වෙමු....

    ReplyDelete
  4. ෂහ්.... එල එල, අපි ලිව්ව කවි අපිමද ලිව්ව්වෙ කියල, පසුව කියවද්දි හිතෙනව.

    ReplyDelete
  5. @වැප්
    කොහෙ දකින්නද බන් ඉතින්. කවි කීයකට උත්තර ලියන්න කියලද. ඉතින් කලබලේ වැඩිකමට සෑහෙන්න කවි මිස් වෙනවා.

    @ගීත්
    මේ මේ. මඩ ගහන්න දීපු කාලෙ ඉවරයි හරිද. දැන් මඩ ගහන්න එන්න එපා හැංගිලා ලිව්ව කියලා. මන් මේවා එලිපිට ලිව්වෙ. මන් දැක්ක උඹනම් කෙල්ලොන්ගෙ පිටිපස්සෙ හැංගිලා ඉඳන් කවි කියනවා. හූ....... හූ........

    @ඉලංදාරියා
    අනිවා මචන්. සෙට් වෙමු. සෙට් වෙමු.

    ReplyDelete
  6. @පීවර්
    ඒකනම් ඇත්ත. පස්සෙ කියවද්දි මේව අපි ලිව්ව ඒවද කියල හිතා ගන්න බැරුව යනවා. ඒ කලබලේ අස්සේ මෙහෙම හරි කවියක් ගැටගහගන්න පුලුවන් උන එක ලොකු දෙයක්.

    ReplyDelete