Sunday, January 1, 2012

ABSORB-Short film


 ඔන්න කට්ටියට ටික දවසකට උඩදි මන් පොඩි කුතුහලයක් එකතු කලානේ පුන්චි පොස්ටර් එකක් දාලා. සමහරු බලන්න ඇති මේ මොකද්ද මේ යකා මේ කරන්න හදන්නෙ කියලා. සමහරු නොබලන්නත් ඇති. හෙ හෙ... කමක් නෑ. බලපු නොබලපු හැමෝටම මන් අද පොරොන්දුවක් ඉටු කරන්නයි යන්නේ.
TWO HEARTS ENTERTAINMENTS ගැන දැන් හැමෝම දන්නවනෙ. නොදන්න කෙනෙක් ඉන්නවනම් ඔය නම උඩ ක්ලික් කොරලා ගිහින් දැනගෙන එන්න පුලුවන්. ඔන්න එදා කිව්වා වගේම TWO HEARTS ENTERTAINMENTS වලින් කරපු පලවෙනි නිර්මාණය අද ඔයාලට පිරිනමන්න තමයි මම මේ සුදානම් වෙන්නේ.

ABSORB කියන්නෙ විනාඩි තුනක පමණ ධාවන කාලයකින් යුක්ත කෙටි චිත්‍රපටියක්. ඇත්ත්ටම මේක නිර්මාණය උනේ මගේ FILM AND TV STUDIES Diploma  එකේ ප්‍රොජෙක්ට් එක විදියට බාර දෙන්න. වෙනත් කතා වස්තූන් කීපයක්ම තිබ්බත් ඒ අතරින් මේකම තෝරගන්න උනේ අනෙක්වා නිර්මාණයට ගන්න නොයෙකුත් ප්‍රශ්ණ මතු උන නිසයි. ඒයින් ප්‍රධානම ප්‍රශ්ණයක් තමයි නලු නිලි ප්‍රශ්ණය. ඒක නිසා අවම නලු නිලි සංඛ්‍යාවක් භාවිතා කරලා ඉතාම සරලව කරන්න පුලුවන් දේට තමයි අත ගැහුවෙ. මේක කරද්දිත් යම් යම් ගැටලු ආවෙ නැතුවම නෙවෙයි. ඒත් අන්තිමේදි කොහොම හරි ඒවා සාර්තක ලෙස ජය අරගෙන මේක මේ විදියට නිම කරනන් මට හැකියාව ලැබුනා.

මෙහි රංගන දායකත්වය ලබාදෙන්නෙ දක්ෂිත මලීන් සොයුරා හා තවත් එක විශේෂ නලුවෙක්..... හෙ හෙ... ඒ කවුද කියලා ඔයාලම බලන්නකො. චිත්‍රපටියෙ පිටපත, කැමරාකරණය, සංස්කරණය හා අධ්‍යක්ශනය සිදු කලේ අනුරාධ නානායක්කාර වන මම විසින්. ඒ වගේම මේ කාර්‍යය සාර්ථක කරගන්න මට උදවු උන සියලූම දෙනාට මන් මේ වෙලාවෙ මුලු හදවතින්ම ස්තූති කරනවා.

හරි එහෙනම් වැඩි කතා ඕනේ නෑ. ඔන්න එහෙනම් මම මගේ දෙවෙනි කෙටි චිත්‍රපටිය ප්‍රේක්ෂක ඔබට බාර කරනවා.  එහෙනම් සූදානම් වෙන්න ABSORB වෙන්න.
නරඹන්න. නරඹලා ඔබේ අදහස් ලබාදෙන්න. ඒක තමයි මට වටින ලොකුම දේ.



Friday, December 30, 2011

නුඹට පෙනෙන තුරු......

යන්නට යද්දි ඔබගෙන් වෙන්වී
ඔබමයි යලි යලි වලකන්නේ
ඉන්න තනද්දී ඔබටම ලන්වී
ඔබමයි තව ඈතට යන්නේ

ඔබෙ හදවත මත වැතිරී තෙරපී
සුසුමන් වල උණුසුම විඳිමින්
ඉන්න සදා කල් පුරන පිරුම් මන්
ඔබමයි විටකදි බිඳලන්නේ

ඔබෙ සිත නෙපෙනෙන මානෙක තනිවී
මතකය පමණක් දෝත දරාගෙන
ඔබට සුභ පතා යන්නට හැදුවත්
ඔබමයි යලි මා කැඳවන්නේ

යන්න නොහැක අත වනන නිසාවෙන්
ඉන්න නොහැක නෙතු රවන නිසාවෙන්
මැදි වූ සෙනෙහෙස වගුරන මගෙ හිත
නුඹට පෙනෙන තුරු ඉන්නම් මෙලෙසින්

Friday, December 16, 2011

හෙලිදරව්ව

පහුගිය දෙසැම්බර් හත් වෙනිදා අනන්තය ඔබට ප්‍රශ්නයක් ඉතිරි කරලා ගියා ඔබට මතක ඇති. ඒ ගැන ඔයලා මොන විදියට අනුමාන කලාද කියන්න මම දන්නෙ නෑ. ඔන්න ඒ ප්‍රශ්ණය ඔයාලගෙ හිත් වලින් අයින් කරන්න තමයි මම සූදානම් වෙන්නෙ. ඊට කලින් මෙන්න මේ වීඩියෝව බලලා ඉන්නකො.



එදා ඔබ දැක්ක අර්ධ සම්පූර්ණ වීඩියෝවෙ සම්පූර්ණ වීඩියෝව තමයි ඔය. වීඩියෝව ගැන විස්තර කරන්න කලින් මන් අහන්නම් පොඩි ප්‍රශ්නයක්.
මතකද WHO ?
විනෝදෙට හදපු මගේ පලවෙනි කෙටි චිත්‍රපටිය......
අමතක කෙනෙක් හරි දන්නෙ නැති කෙනෙක් හරි ඉන්නවනම් මේන්න ගිහිල්ලා බලලා එන්න.
WHO-SHORT FILM

ඒක බැලුව අය දන්නවා ඇති ෆිල්ම් එක පටන් ගනිද්දි යන්නේ ANU FILM PRESENTS කියලා බව. ඒක එදා ඒ නිකන් ඔහේ දාන්න දෙයක් නැතුවට දාපු නමක්. පස්සෙ හරි නමකින් වැඩේ පටන් ගන්න ලොකු බලාපොරොත්තුවක් මගේ හිතේ තිබුනා. අන්න ඒ බලාපොරොත්තුවෙ මල්පල ගැන්වීම තමයි  TWO HEARTS ENTERTAINMENTS කියන්නේ.  මෙතැන් පටන් මම කරන සෑම නිර්මාණයක්ම එලියට එන්නේ ඔන්න ඔය නමින්. හරියටම කිව්වොත් ඕක තමයි මෙතැන් සිට මගේ ප්‍රඩක්ශන් කම්පැනි එක.
ඒත් එක්කම කියන්න ඕන මේ ප්‍රඩක්ශන් කම්පැනියේ තවත් එක හවුල් කාරයෙකුත් ඉන්නවා. ඒ කෙනයි මමයි එකතු වෙලා තමයි මේක පටන් ගන්න අඩිතාලම දැම්මේ. කොටින්ම මේ නම පවා සැනින් තහවරු කලේ ඒ කෙනා. නමුත් පොඩි පොඩි අවහිරතා කීපයක් නිසා එයාට දැනට මේකට සෘජුව සම්බන්ද වෙන්න හැකියාවක් නෑ. තවම වක්‍ර ලෙස සම්බන්ද වෙමින් අදහස් යෝජනා වලින් පමණයි ඒ කෙනා මේකට දායක වෙන්නේ. ඒත් මම බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මනින්ම ඒ කෙනාගෙ සෘජු දායකත්වය මේ සඳහා ලැබෙයි කියලා. මගෙන් අහන්නනම් එපා ඒ කෙනා කවුද කියලා. බලමු. ඒ කෙනාගෙ දායකත්වය හරි හැටි ලබාගන්න පුලුවන් උන දවසක මම ඒ කෙනා ගැන හෙලි කරන්නම්. ඒතකම් එහෙම කෙනෙක් ඉන්නවා කියලා විතරක් දැනන් ඉන්නකො. දැනට ඒක රහසක්. :D

එහෙනම් ඔන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඉස්සරහට TWO HEARTS ENTERTAINMENTS වලින් කෙරෙන නොයෙක් නිර්මාණයන් ඔයාලට බලාගන්න පුලුවන් වේවි. 

තවත් ආරංචියක් තියෙනවා. ම්ම්ම්ම්ම්. ඒක වචනයෙන් කියන්න ඕන නෑ. පල්ලෙහා බැලුවම ඔයාලට ඒක තෙරේයි.


එහෙනම් රැඳිලා ඉන්න අනන්තයත් එක්ක. මේ දේවල් අනන්තයෙන්ම විතරයි.

Tuesday, December 13, 2011

හීන

අල්ලාගෙන ඔය සුරතින්
පාර දිගේ එහා මෙහා
ඇවිද යන්න සඳ එලියක
හීන මැව්වා මන්

ලුණු රස සුලඟේ වැදි වැදි
තුරුල් වෙලා එක කුඩයක
ඉර ගිලෙනා හැටි බලන්න
හීන මැව්වා මන්

තරු වියනක අඩ අඳුරක
නුඹේ හිතට තුරුලු වෙලා
ආදරේ ගැන ඉගෙන ගන්න
හීන මැව්වා මන්

මල් උයනක ගස් හෙවනක
ඔබේ මිහිරි බස් අසාන
කම්බුල් පෙති රතු කරන්න
හීන මැව්වා මන්

මටත් හොරෙන් ඔබ ගියාම
මගේ හීන සඟවාගෙන
ඔබේ හීන එලිවෙන්නට
හීන මවන මන්

Saturday, November 26, 2011

මිතුදම නාමෙන්......

 නුඹේ වදන් මත නැවතුනු නෙත අග
පොපියන කඳුලට සමු දීලා
පෑරුනු සිත ගෙන කෙලෙසක යන්නද
විශ්ම්ත ඇසුරින් ඉගිලීලා

ඉරී තැලුණු රුදු කර්කශ කතරක
ගිනියම් අව්වෙහි තනිකරලා
හිතුවේ කෙලෙසද මා යයි කියලා
මේ මිතු දම ඉවතක හෙලලා

යුතුකම් ඇත අපමණ ඉටු කෙරුමට
මිතුදම නාමෙන් ලොව මැවිලා
නුඹේ සිනාවට ජීවය පිඹිමින්
ඉන්නම් නිරතුරු ලඟ රැඳිලා

Thursday, November 24, 2011

කුමරුන් වැඩියද?

මලවිගෙ හී රැඳුනිද හදවත මත
ප්‍රේමයෙ මල් දම් එතුනිද ගෙල වට
ආල හැඟුම් තෙරපෙයිදෝ හිත යට
කුමරුන් වැඩියද සෙලවූ ඔය සිත

ඔබෙ හිත ගස්සා හදවත අල්ලා
පෙම් දිය දහරින් දිවියම නහවා
සුදු අසු පිට නැග ඈතක ඉඳලා
රෝස මලක් ගෙන  වැඩියද කුමරා

මල වට සරනා බඹරුන් වාගේ
කුමරුන් සිටියත් පතමින් ආලේ
හඳුනාගන්නා හදවත් රාවේ
කෙනා වඩින තුරු මග බැලුවානේ

එකට පා තබා එක මග යන්නට
පැතූ කෙනා ලැබුනාදෝ දිවියට
එහෙනම් කුමරියෙ ලඟදිම දවසක
හැඬවෙයි මංගල සීනුව දොරකඩ