Wednesday, April 20, 2011

රියලිටි(ද මංදා)

වලාකුළු මත රැඳුන දිය බිඳු
සිහින් පොද වැස්සක් වෙලා
චණ්ඩ හිරු රැස් කලක සිට වැද
රත්ව ගිය බිම තෙත් කළා
වැටුණ වැහි බිඳු වැදී ඇහැරුණ
පුංචි දුහුවිලි කැට පවා
ඇස් අරින්නට මග බලා සිටි
ගසක දළු සිප සැනසුවා

උඩින් පොළවට බිමින් අහසට
යනෙන එක වෙහෙසක් නිසා
හිරු මතට බැස හිරු නිවන්නට
වලාකුළු කතිකා කළා
එකට එක්වුණු වලාකුළු රැස
හිරුට ටික ටික ළඟා වෙද්දී
රුදුරු ගිනි දැල් වැදී සැණෙකින්
ජීවිතය අහවර කළා

පලා ගොස් සිය දිවිය රකගත්
එකම දිය බිංදුවක් පමණක්
කලක් එහෙ මෙහෙ පාවෙලා ගොස්
පොළෝ තලයට එක් උණා

Sunday, April 10, 2011

100

අද විශේෂ දවසක්. අද අනන්තය එක්තරා සුවිශේෂී සංධිස්තානයකට ඇවිත් ඉන්නෙ. ඒ තමයි අවුරුද්දකට එහා ගිය කාලයක් තිස්සෙ බොහොම අමාරුවෙන් ලිපිය ලිපිය ගැටගහගෙන  ලියලා ලියලා අද මේ සිය වෙනි ලිපිය ලියන්න තමයි සූදානම් වෙන්නෙ. අදම මම මේක දාන්න හිතුවෙත් අද මටම ගැලපෙන විශේෂ දවසක් නිසා. නිකමට ගෙස් කරන්නකො. එක්කො කමක් නෑ මමම කියන්නම්. අද තමයි මේ 2011 අවුරුද්දෙ සිය වෙනි දවස. ඔන්න ඒක නිසා වසරේ සිය වෙනි දවසෙ අනන්තයේ සිය වෙනි ලිපිය ලියන්න මන් මේ විදියට ආරම්භය සනිටුහන් කලා. සිංහයෙක් දිගු ගමනක අවසානයේදී නැවත හැරී තමා ආ මග බලන එකට කියන්නෙ සිංහාවලෝකනය කියලනේ. ඒ වගේ අද අනන්තයත් තමන් ආ මග දෙස පොඩ්ඩක් හැරී බලන්න තමයි යන්නේ. මන් ඒකට කියන්න හිතන් ඉන්නෙ අනන්තාවලෝකනය කියලා. ඕන් එහෙනම් මන් අනන්තාවලෝකනයේ යෙදෙනවා. කොටින්ම කිව්වොත් මගේ පම්පෝරිය තමයි ඉතින්. :D

Friday, April 8, 2011

අනූනවයෙන්........

අද මේ දාන්න යන්නෙ මගේ 99 වෙනි බ්ලොග් පෝස්ට් එක. බොහොම අමාරුවෙන් අකුරෙන් අකුර ගලපලා ලිපි 98ක්ම ලියලා. කවි කතා විහිලු මඩ වගේම දැනුමෙනුත් සන්නද්ද කරලා ලිපි ලිව්වට තාම මන් භයානක ලිපියක් ලියලම නෑ. ඒ නිසා මන් හිතුවා අද ටිකක් භයානක ලිපියක් ලියන්න. 99 වෙනි පෝස්ට් එක විදියාට් මම 99යි දශම 99න් ජීවීතේ බේරගත්ත අවස්තාවක් ගැන තමයි මන් අද මේ කියන්න යන්නේ. හෘද රෝගීන් හා හුඟාක් සංවේදී හිත් ඇති අය දැන්ම මෙතනින් ගියොත් හොඳයි. මොකද මට බෑ ඒවයෙ වගකීමත් ගන්න.

Thursday, April 7, 2011

අත්හදාබැලීමක්!

ස්ටොප් මෝශන් ඇනිමේශන් ගැන සමහරු දන්නවත් ඇති නොදන්නවත් ඇති. නොදන්න අයට දැනගන්න මන් පොඩ්ඩක් ඒ ගැන කියන්නම්. ඔයාලා කාටූන් දන්නවනේ. කාටුන් වලදි වෙන්නෙ එක්තරා චලනයකට අදාල චිත්‍ර රාශියක් එකට එකතු වීමනේ. ඒ වගේම මේ ස්ටොප් මෝශන් ඇනිමේශන් වලදි වෙන්නෙ ඒ ඒ කැරැක්ටර්ස් වල ස්ටිල් ඉමේජස් එක දිගට ප්ලේ කිරීමක්. සරලව පැහැදිලි කරනවනම් මෙන්න මෙහෙම. මුලින්ම අපිට අදාල කැරැක්ටර්ස් හදන්න වෙනවා කුමක් හෝ අමුද්‍රව්‍යකින්. හැබැයි ප්‍රධානම දේ ඒ කැරැක්ටර්ස් වල අංගෝපාංග චලනය කරන්න පුලුවන් වෙන්න ඕන. ඔන්න අපි හිතමුකො අපි ක්ලේ වලින් මිනිහෙක්ව හැදුවා කියලා. අපිට ඕන ඒ මිනිහා ඇවිදින විදියේ ස්ටොප් මෝශන් ඇනිමේශන් එකක් කරන්න. එතකොට කරන්නෙ මෙහෙමයි. ඒ මිනිහ ඇවිදින ඉරියව්වෙන් අත පය පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කර කර ඒ කරන හැම වෙනස්කමක්ම ස්ටිල් ෆොටෝ එකක් ගන්නවා. ඒ කියන්නෙ පොඩ්ඩක් වෙනස් කරනවා ෆොටෝ එකක් ගනන්වා. ආයෙ තව ටිකක් වෙනස් කරනවා තව ෆොටෝ එකක් ගන්නවා. ඔය විදියාට අපිට අවශ්‍ය තරම් ෆොටෝ ගනන්වා. ඊට පස්සෙ අන්තිමට ඒ ෆොටෝස් සේරම ටික වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් එකකින් එකලස් කරගන්නවා. ඉතින් අර ගත්තු ෆොටෝ ටික එක දිගට ප්ලේ වෙද්දි අපිට පේන්නෙ අර මිනිහා ඇවිදිනවා වගේ. ඕක තමයි සරල සිද්ධාන්තය. හැබැයි මේක හිතන තරම් ලේසි නෑ. මොකද තත්පරයක් කියන්නෙ ෆේම් 24ක්. ඒ කියන්නෙ තත්පරයක ඇනිමේශන් එකක් කරන්න අපි ෆොටෝ 24ක් ගහන්න ඕනේ. ඉතින් හිතන්න දිග ඇනිමේශන් එකකට කොයි තරම් ෆොටෝ ගහන්න ඕනද කියලා. අනිත් එක ඇනිමේශන් එක ස්මූත් වෙන්න නම් චලනයේ හූඟාක්ම ලඟ ලඟ වෙනස් කම් තමයි කරන්න ඕන. ඒ වගේම හිතන්න කැරැක්ටර්ස් ගොඩක් ඒක සැරේ කන්ටොර්ල් කරද්දි කොහොමද. ඇත්තටම මේක නහින වැඩක්. ඒක මට තේරුනේ මන් පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරලා බලපු නිසා. මිට මාස 5කට විතර උඩදි තමා මන් ඔය එක්ස්පෙරිමන්ට් එක කලේ. හෙන ගේමකින් පස්සෙ යාන්තම් තත්පර හතරක පුංචි ඇනිමේශන් එකක් කරගන්න පුලුවන් උනා. ඒකට මට ෆොටෝ 96ක් ගහන්න උනා. ඒකනම් එපාම වෙන වැඩක්. ඒත් කරද්දිනම් ආසයි. වැඩේ තියෙන්නෙ තනියෙන් කරන්න ටිකක් අමාරුයි. ඒ ඒ කැරැක්ටර්ස් වල මූව්මන්ට්ස් බලාගන්න වෙන වෙනම අය දාන්න පුලුවන්නම් වැඩේ හොඳට කරගන්න පුලුවන්. ෆිල්ම් වලදිනම් වෙන්නෙ එහෙමයි.
                                   3D එහෙම නොතිබුන කාලේ මේ ක්‍රමය ගොඩක් ෆිල්ම් වලට යොදාගත්තා. හැබැයි හොලිවුඩ් වල තාමත් ස්ටොප් මෝශන් ෆිල්ම්ස් බිහි වෙනවා. ඔයාලා ආසවෙන් නරඹපු Chicken Run චිත්‍රපටියත් සම්පූර්ණයෙන්ම කරලා තියෙනෙන් ස්ටොප් මෝශන් වලින්.
                           මේ තියෙන්නෙ මන් කරපු එක්ස්පෙරිමන්ට් එක. පස්සෙ තව හරියට එකක් කරන්න ඕන. ඒත් ඒකට වෙලාවක් ලැබුනේ නෑ. පැය ගානක් එක දිගට නහින්න බලාගෙන ඕන වැඩේට අත ගහන්න. :D ස්ටිල් කැමර් එකක් තියෙනවනම් ඔයාලත් ට්‍රයි කරලා බලන්න. ෆෝන් එකේ කැමර් එක උනත් වැඩේට ඇති.



තත්පර 4ක් නිසා මොකද්ද වෙන්නෙ කියලවත් හිතාගන්න බැරි වෙයි. දැන් මට බනින්න එපා මේ මොන මගුලක්ද මේ කියලා. මන් කිව්වනෙ ඕක එක්ස්පෙරිමන්ට් එකක්. :D

Tuesday, April 5, 2011

නිව් ඇල්බම්

[කිසියම් හේතුවක් මත මෙහි තිබූ පින්තූරය ඉවත් කිරීමට සිදුවුනි. ]

ඔයා
මූණු පොතට දාපු
අලුත්
ෆොටෝ ඇල්බමේ
මගේ හිතේ
ඇති කරන්නෙ
ආදරයක්ද
ඊර්ශාවක්ද
කියලා
වෙන් කරගන්න
බැරි තරමටම
අසරණ වෙලාද
මන්

Wednesday, March 30, 2011

නමක් නැති කවි 13


පිටකොටුවෙ
ඉදන්
අපි දෙන්නා
අත් අල්ලගෙන
ඇවිදපු
වීදි දිහා බලාගෙන
ගාල්ල-කොළඹ
බස් එකේ
මම
ගාල්ල
හරියටම ආවා
තාමත්
මගේ
එහා පැත්තේ
ශීට් එක
හිස් !

Wednesday, March 16, 2011

WHO (හූ)

කොලඹ ඉඳලා ඉඳලා ගෙදර ගියාම මාර කම්මැලියි. ගෙදර මැශින් එකකුත් නැති නිසා දවසෙම ටීවී එකේ තමයි. ගිය වීක් එන්ඩ් එකේ මම ගෙදර ගියා. වසම කම්මැලියි. ටීවී එකේ බලන්න දේකුත් නෑ. පොඩි ෆොටෝස් වගයක් ගන්න මන් අපේ ඔෆ්ස් එකේ ඉන්න හර්ශ අයියගෙ ස්ටිල් කැමරා එක ගෙදර අරන් ඇවිත් තිබුනේ. ඔන්න මට ආවා අපූරූ අදහසක්. හදන්න ඕන පුංචි පහේ ශෝට් ෆිල්ම් එකක්. ඒත් කෝ කතාවක්. ම්ම්ම්.... එක පාරටම ආවා අයිඩියාර් එකක්. ඔන්න දැන් කතාවක් තියෙනවා. ඒත් කවුද නලුවා. වෙන නලුවො මොකටද මේ මම ඉන්නෙ. ඒකත් හරි. ඒත් මම ඇක්ට් කලොත් කවුද කැමරාකරන්නෙ. අහ්. මේ ඉන්නෙ අපේ නංගි. ඔන්න ඉතින් නංගිවත් අල්ලගෙන හැදුවා ශෝට් ෆිල්ම් එකක්. කැමරාකරනය අපේ නංගියා. රංගනය, කැමරා අධ්‍යක්ශනය, පිටපත, සංස්කරනය, අධ්‍යක්ශනය කියන සේරම ඉතින් මේ මමම තමා. බලන්නකො කොහොමද කියලා. බලලා ඔයාලගෙ අදහස් එහෙමත් කියලා යන්න හොඳේ.