Friday, July 24, 2015

විපර්යාස

හාත්පස පුරා පැතිර තිබුනු ශ්වේත වර්ණය ක්‍රමයෙන් දියවෙමින් ඒ අතරින් ලා හරිත පැහැය මතු වෙන්න පටන් අරන්. ඒත් තවමත් ශරීරය පුරා හිරිගඩු නන්වමින් ඇදී ගිය සීත සුලඟේ ලොකු වෙනසක් නැහැ. පරිසරය හරිත පැහැයෙන් බබලන්නට තව යම් කාලයක් ගත වෙයි. ශීත කාලය වැඩි කාලයක් තිබුනා වගෙයි දැනෙන්නෙ. කාලෙකින් නොදුටුව උණුසුම් හිරු රශ්මියෙන් නැහැවී යන්නට මුළු සිරුරම පොපියනවා. ඒත් සොබාදහම අපි පතන තරම්ම ඉක්මන් නැහැ. හිතේ පොපියන ආශාවන් සොබාදහමේ නීතීන් වලට යටත් වන තැන මේකයි. ලෝකය කුරිරුද නැතිනම් අපේ ආශාවන් කුරිරුයිද කියල වෙන් කරල අඳුනගන්න පුලුවන් කමක් මට තිබුනේ නෑ. ජනේලයෙන් එහා පේන ඈත අනන්තයට මන් ඔහේ දෑස මෙහෙයවෙව්වා.

"තව දර ටිකක් දාන්නද?" පිටිපස්සෙන් ආව පවනිගෙ කටහඬත් එක්ක මන් ඔලුව හරවල බැලුවා.
උඳුනේ ගින්දර නිවෙන්නට ඔන්න මෙන්න.
මන් හා කියන්න ඔලුව වැනුවා.
අනන්තය දිහාට යොමුවෙල තිබ්බ මනස මන් මොහොතකට ඇය දියට යොමු කලා. මේ ටික කාලෙට ඇය වඩා ලස්සන වෙලා. පරිසරයේ වෙනස නිසාද හිතේ සිතිවිලි වල වෙනස නිසාද කියලා මට හරියට අවබෝධයක් තිබ්බෙ නෑ. මට ඇය ගැන ඇති උනේ ලොකු අනුකම්පාවක්. මම ඇයට සලකපු විදිය කොයි තරම් වැරදිද?

"ජීවිතේ කියන්නෙ අතීතයෙ ජඹි ගහන්න ඕනෙ තරම් නරා වලක් වත්, අනාගතය ගැන හීන මව මවා සික් වෙන්න තරම් ෆැන්ටසියක්වත් නෙමෙයි." කාලෙකට ඉස්සර අක්කා මට කිව්ව දෙයක් මගේ ඔලුව හරහා වැටුනා.
"මට තේරෙනවා අක්කෙ. අතීතේ තියෙන්නෙ එකේ ජීවත් වෙන්න නෙවෙයි කියලා. අතීතේ අනගතේට බාධාවක් වෙන්න ඔනේ නෑ කියලත් මන් දන්නවා. ඒත්....."
මට හැමදාම තිබ්බේ 'ඒත්' කියන වචනෙන් ඉවර වෙන උත්තර. ඒක කිසිම ප්‍රශ්ණෙකට උත්තරයක් නොවුනත් සමහර ප්‍රශ්න වලට උත්තර කාලෙට ඉඩ දිය යුතුයි කියලා මන් විශ්වාස කලා.

හැම මනුස්සයෙගෙම දුර්වල ස්ථානයක් තියෙනවා. ගොඩක් මිනිස්සුන්ගේ ඒක තමයි ආදරය. ඒ කුළකයටම මාවත් වැටුන එක ගැන මට දුකක් තිබුනේ නෑ. මට දුක තිබුනේ දෛවය අපිට ලබාදෙන තීරණ ගැන.
ඇය මගේ මුළු ජීවිතයම උනා. ආත්මීය බැඳීම් ගැන පොත පතෙන් විතරක් කියවල තිබ්බ මම ඒ හැඟීම මුලු ආත්මයෙන්ම අත්දැක්කෙ ඇගෙන්. එහෙම බැඳීමක් ඇති උනාම අනාගතේදි විඳින්න වෙන ප්‍රථිපල මේ තරම් දරුණුයි කියලා මන් දැනගෙන හිටියෙ නෑ. දවසින් දවස මන් ඒ ආතීමීය සයුරේ ගැඹුරටම කිමිදුනා. අන්තිමේ ඒ ගැඹුරේ තිබුන පීඩනයෙන්ම මගේ හුස්ම හිර කලා, ආයෙමත් මතුපිටට පීනන්න බැරි වෙන තරමටම.

"එයා ගියේ එයාව මට ඔනෙම වෙලා තිබ්බ වෙලාවෙ" ඇගේ නික්ම යාම ගැන මට තිබ්බේ එහෙම මතයක්. මගේ හිත ඒ තරම්ම බොලඳ උනේ කොහොමද කියලා මටත් තේරුමක් නෑ. හැබැයි ඒ හැඟීමම තමයි, එදා මට නොතිබුන ඒත් ඇය මගෙන් බලාපොරොත්තු උන යම් යම් දේවල් මේ මට්ටමින් ලබාගන්න මාව දිරිමත් කලෙත්. ඒ අතින් බැලුවම ඇය මගෙන් වෙන්වීමම ඇය මට ලන්වීමක් වෙලා.

"ආච්චිගෙ රෙද්ද. තෝ හිතනවා වැඩියි. ගිය රෙද්දවල් ගැන හිත හිත ඉන්නෙ නැතුව ඉසරහට කරන දේවල් ගැන හිතපන්" හැම වෙලේම මගේ ලඟම යාලුවො උපදෙස් දුන්නත් ඒ අතීතය වතුරේ හන්ගපු රබර් බෝලයක් වගේ විටින් විට උඩට ආවා.

මගේ ජීවිතේ වසර ගණනාවක්ව ගෙවිලා ගියේ ඒ අතීතයේ ජීවත් උන මනසත් එක්කමයි.

පවනි....... ඇය මගේ ජීවිතේට එන්නෙ අහම්බෙන්. බාගවිට ඒක අහම්බයක් නොවෙන්නත් පුලුවන්. අතීතය මතින්  හදපු මන්දිරයේ පාදමේ කොනක හිර වෙලා ඉන්න මොහොතකයි ඇය මගේ ජීවිතයට එන්නෙ. ඇය ගැන යාලුවෙක්ට වඩා හැඟීමක් මට ඇති උනේ නෑ. ඒත් අවසානයේ සියල්ල කනපිට හැරුනා.

ඇය මට ආදරය කරනවා.

මම ඇයව විවාහ කරගත්තෙ මම ඇයට ආදරය කල නිසා නෙවෙයි. මම ඇයට අනුකම්පා කලා. ඒ වගේම මගේ අවට පරිසරයෙන් මාව ඒ තත්වයට පත් කලා.
ඒත් ඒ විවාහය ව්‍යසනයක් බවට පත් වෙන්න වැඩි කලක් ගත උනේ නෑ. ඇගෙන් ලැබුන ආදරයට සමාන ගෞරවයක්වත් මගෙන් ඇයට ලැබුනේ නෑ. දවසින් දවස ඇය වැහැරුනා. නමුත් ඇගේ ආදරය.... ඒය නොවෙනස්ව පැවතුනා.

"මචන් උඹ මෙහේ ඉන්නකන් ඔකේ වෙනසක් වෙන්නෙ නෑ. උඹලා දෙන්න පොඩි වෙනසකටත් එක්ක වෙන රටකට පලයන්." ඇති වී තිබූ තත්වය ගැන මටත් කලකිරීමක් ඇතිවෙලා නොතිබුනාම නෙවෙයි. ඒ නිසා ඒ ලැබුනු උපදෙස ගැන උනන්දුවෙන් සිතා බලන්න මම පෙළඹුනා.

අපි දෙන්නා මෙහේට එනකොටත් සීත සමය ආරම්භ වෙලා. අවට පැතුරුණු ශ්වේත වර්ණය වෙලාවකට හිතට සහනයක් වගේම තවත් වෙලාවකට ඉතා හිරිහැරයක් උනා. ඒත් අතීතය ඒ ගල් ගැහුණු හිම අස්සෙ හිර කරන්න මේ පරිසරය මට උදව්වක් උනා. මේ මාස කීපය පුරාවට පවනි ගැන මෙතෙක් ඇති නොවුන හැඟීම් ගොන්නකින් මාව වෙලාගන්න පටන් අරගෙන. ඇගේ ආදරය කැඩපතක් වෙලා මම මාවම දකින්න පටන් අරගෙන.

පවනි උඳුනේ ගින්දර වැඩි කරලා ඒ දිහාවම බලාගෙන ඉන්නවා.

"පවනි"
ඇය ඔලුව හරවල බැලුවෙ මූනේ මද හිනාවකුත් රඳවගන්න ගමන්ම.

'එන්න' මම ඇයට ඇහින් සංඥා කලා.
ඇය බර අඩි තියමින් මගේ දිහාවට ඇවිදන් එන හැටි මන් ආසාවෙන් බලන් හිටියා.
ඇය මගේ අසල තිබ්බ පුටුවෙ වාඩි වෙන්න හදද්දි මන් ඇයව අතින් අල්ලල මගේ ලඟට ගත්තා. ඇය ඇස් ලොකු කරලා මගේ දිහා බලද්දි මන් ඇයව මගේ උකුල මත වාඩි කරගත්තා. ලොකු කරගත්ත ඇස් වලින් මගේ ඇස් දිහා බලන ගමන්ම ඇය මගේ උරහිසට බර උනා. උඳුනෙන් ගින්දර මතින් දැනුන උණුසුමට වඩා උණුසුමක් ඇගේ ස්පර්ශයෙන් මගේ සිරුර තුලට ඇතුලු උනේ නිමේශයකින්.

"මේ හිම ඉක්මනට දිය වෙලා යයි පවනි" මම ඇගේ ඇස් දිහාත් ජනේලයෙන් එපිටත් මාරුවෙන් මාරුවට බලන ගමන් කෙඳුරුවා.
ඇය ඒකට උත්තරයක් දුන්නේ නෑ. ඒ වෙනුවට මගේ උරහිස මත තුබුන ඇගේ හිස තවත් මගේ උරහිසට තද කරගත්තා.

මම ඇයව තවත් තුරුළු කරගන්න ගමන් ඈත ලාවට මතු වෙමින් තිබුන ලා හරිත පැහැය මත දෙනෙත් රඳවගත්තා.

1 comment:

  1. Everything got an end, it's just a matter of when.

    ReplyDelete