Saturday, August 21, 2010

නමක් නැති කවි - 8


හැමදාම
මාලු අල්ලන්න
දියඹට යන
මම
අද තමයි
හරියටම දැක්කේ
මාලුන්ට 
ලස්සන පාට 
තියෙනවා කියලා

Thursday, August 19, 2010

නමක් නැති කවි - 7


යතුර
දෑස් ඉදිරිපිට
පෙනි පෙනී
තියෙද්දිත්
මේ 
ගිනියම්
කරුම කුටියේ
තවම
සිරගත වෙලා
මං

Tuesday, August 17, 2010

නමක් නැති කවි - 6


මගේ
ඉස්සරහ ශීට්
එකෙන්
වාඩි උන
උඹෙන් විහිදුන
කොලෝන් සුවඳ
මගේ
අක්මාවටම
ඇදිලා යද්දි
උඹ
එහා ශීට් එකේ
කොල්ල එක්ක
හිනා උනා

Wednesday, August 11, 2010

අක්කේ මේ ඔබටයි...

එක මව් කුසකින් මෙලොවට නාවත්
සසරේ බන්දන ඇති හින්දා
නන්නාදුනනා අප දෙදෙනා
මේ ලෙස ලන් වූයෙද මන්දා

එක රුහිරෙන් නොව ජීවය ලැබුවේ
එනමුත් ඇයි ඒ වග නොදැනෙන්නේ
නුඹ මගේම වැඩිමල් සොහොයුරියයි
කියා පමණි මා සිතට දනෙන්නේ

සිතේ තිබුනු මහා අඩුව කලක සිට
නුඹ ලැබුමෙන් පිරවුනු හටි පුදුමයි
මගේම අක්කා විලසින් මා හට
දෙන රැකවරණය සෙනෙහස අරුමයි

සහෝදරත්වය නාමෙන් දිවුරමි
සැමදා නුඹගේ ලඟින් සිටින්නම්
යලි උපදින  මතු  භවයක් ගානේ
ඔබේම මල්ලී වී උපදින්නම්

එක බඩ වැල කඩාගෙන මෙලොව එලිය දැකීමට තරම් වාසනාවන්ත නොවූවත්, අහම්බයකින් මගේ ජීවිතයට පැමිණ, මගේ ජීවිතයට අඩුවක්ව තිබූ අක්කා කෙනෙකුගේ ආදරය, රැකවරණය නොඅඩුව ලබා දෙමින්, කුඩා කල පටන්ම මගේ සිතට වද දුන් එම අඩුව පිරවූ ආදරණීය අක්කේ..........
මේ පැදි පෙල ඔබ වෙනුවෙන්මයි.......
ඔබේ ඒ අප්‍රමාණ වූ සහෝදරකම වෙනුවෙනමයි......
ස්තූතියි මගේ ජීවිතයට පැමිණියාට......
ඒ වගෙම මේ මහ මෙරක් තරම් වූ සහෝදරකමට.....

Monday, August 2, 2010

උණ විකාරේ කෙලින පිස්සු.....

ආරෝග්‍ය පරමා ලාබා ..... උදේ පාන්දරම වැපා එහෙම කිව්වා. ඇත්ත . ඒ කතාව සහතික ඇත්ත. ඒක හොඳටම තේරෙන්නෙ ලෙඩ උනාම. පෙරේදා රෑ ඉඳලම පොඩ්ඩ පොඩ්ඩ පෙනේ පුප්ප පුප්ප ඉඳලා අද උදේ දෂ්ට කරලම දැම්මා. ඇඟට පණ නෑ හොඳටම. ඔෆ්ස් ගියෙත් නෑ. දවල් ඒ පාර ගිහින් බෙහෙත් ටිකක් අරගෙන ආවා. ඔලුවත් පුපුරන්න වගේ. එහෙන් මම මේ තට්ට තනියම පට්ට පාලුවේ. එයාවත් හිටියනම්......  මේ උණ වැඩි වෙලා අමාරු වෙලා අසාධ්‍ය වෙලා මම මැරිලා යයිද. ඒක් අතකින් මරණය කියන්නේ සියලුම දුක් වේදනා වල අන්තය නේද? ඒ කියන්නෙ මරණය කියන්නෙ සැපතක්ද? මංදා..... අඩුම ගාන මම මැරිච්ච දවසකවත් එයා මාව බලනන් එයිද? මගේ ලඟින් මගේ තනියට ඉඳියිද... කරුනාරත්න දුවුල්ගනේ මහත්මයගේ සින්දුවක් මගේ හිතට ඇදිලා ආවේ ඒත් එක්කම. මම හෙමින් හෙමින් ඒ සින්දුව මුමුණන්න ගත්තා. මටත් පිස්සු.....
                   සින්දුවේ පද පෙල අයේ මම අමුතුවෙන් දාන්න දෙයක් නෑ. මගේ මිත්‍ර, ආදර කතාව ලියන සහෝදරයා මීට ටික කාලෙකට උඩින් ඔය ගීතයේ පද පෙල ලියලා තිබුනා. මේනන් ඒකෙ සබැඳිය. ඕනනම් සින්දුව අහන්නත් ඒකෙ ලින්ක් එකක් දාලා තියෙනවා.
                                               මම ඔයාලට දෙන්න යන්නේ වෙනම දෙයක්. මතකද අර මරීනා සින්දුව කියපු අර සුවිශේෂි පුද්ගලයා. මන් ඔන්න එයාටම කියලා මේ සින්දුවත් කියවගත්තා. මන් ඔයාලට දෙන්න යන්නේ ඒක. හැබැයි එකක් කියන්නම්. ඒක අහලා ඔරිජිනල් සින්දුවක් එපා විමේ පොඩි ප්‍රවනතාවක් තියෙනවා. සොරි සොරි... වරදුනා.... පොඩි නෙවෙයි... සෑහෙන්න ලොකු ප්‍රවනතාවයක් තියෙනවා. ඒක නිසා බොහොම කල්පනාවෙන් සවන් දෙන්නකො.



උණ විකාරෙ මමත් කරන දේවල්. අනේ අනිච්චං.....

Tuesday, July 27, 2010

ම‍රීනා........ ම‍රීනා........

දෙවැනි ලෝකයේ මහා යුද්දයට බැඳී මැක්සිකෝ රටට ගිය ලංකාවේ තරුණයෙක් එහිදී මරීනා නැමති තරුණියක් සමඟ ආදරයෙන් සිට, යුද්දය අවසානයේදී ඇගෙන් වෙන්වී එන දින වෙරළට ආසනන්ව යාත්‍රා කරන නැවේ සිට මෙම ගීතය ගායනා කරයි. ඈ වෙරළේ සිට මේ ගීතයට සවන් දෙයි.

ම‍රීනා........ ම‍රීනා........
ඔබව අමතක වෙන්නෙ නෑ
ම‍රීනා........ ම‍රීනා........
ආයෙ මම මෙහෙ එන්නෙ නෑ
ඔබ දකින්නට වෙන්නෙ නෑ

ඔබෙ රට මේ මැක්ස්කෝවයි හරිම අලංකාරයි
මගේ රට සිරි ලංකාදීපය මට හරිම ආසයි
බැඳිලා යුද්දෙට  මගේ රට හැර ආවෙ ඔබෙ රටටයි
ඒ සුන්දර මරිනා මගේ ආදරේ ඔබටයි.

දැන් යුද්දෙ අවසාන උනා
මට ඔබ හැර යන්න උනා
ම‍රීනා........ ම‍රීනා........

මුහුදු වෙරලෙදි සවස් කාලෙට
ගලක් උඩට වෙලා
අනාගතෙ ගන කතා කල හැටි
දුකයි මතක් වෙලා
ඔබේ මවුපියො ඔබෙ රට හැර
එන්න බැහැ කියලා
කිව් නිසයි මගෙ ආදරියෙ
මම යන්නෙ ඔබ දාලා

දැන් යුද්දෙ අවසාන උනා
මට ඔබ හැර යන්න උනා
ම‍රීනා........ ම‍රීනා........

ඔබ වගේ මම මගේ මව්පියො
දෙගුරුන් සලකනවා
ඔබ වගේ මම මගේ රටටත්
ජීවිතේ දෙනවා
ඔබ වගේ මම  මමත් ඔබ ගැන
කඳුලු වගුරනවා
ගඟට කැපු ඉනි දිහා බලලා
පසුතැවිලි වෙනවා

දැන් යුද්දෙ අවසාන උනා
මට ඔබ හැර යන්න උනා
ම‍රීනා........ ම‍රීනා........
ම‍රීනා........ ම‍රීනා........

මේක M.S ප්‍රනාන්දු මහත්මයා විසින් ගායනා කරන ලද ගීතයක් කියන දේ විතරයි මේ ගිතය සම්බන්දයෙන් මම කියන්න දන්නේ. කොහොම උනත් මේක මම හුඟක් ආස කරන ගීතයක්.  වචන, අදහස, තනුව වගේම මේ ගීතයේ කියවෙන නම මගේ ජීවිතයට හුඟක්ම සම්බන්ද වීමත් මේ ගීතයට මම හුඟක් ප්‍රිය කරන්න හේතු වෙන්න ඇති. මීට දෙවසරකට කලින් ඒ නම මගේ ජීවිතේ ලොකු පෙරලියක් ඇති කලා. හරියටම වසර දෙකකට පසුව මේ දින වලත් ඒ නම මගේ ජීවිතේ ලොකු පෙරලියක් සිදුකර යමින් පවතිනවා. ඒ නිසාම වෙන්න ඇති මේ සින්දුව අහන්න මම මේ තරම් ආසවක් දක්වන්නේ.
                සින්දුව අහන්න ඕනෙනම් http://www.infolanka.com/miyuru_gee/ කියන සයිට් එකට ගිහිල්ලා M.S ප්‍රනාන්දු කියන නම යටතේ තියෙන කියන Mareena සින්දුව සිලෙක්ට් කරලා ප්ලේ කරන්නකො. හැබැයි මේ සයිට් එකෙන් සින්දු අහන්න නම් Real player 1 කම්පියුටර් එකේ තියෙන්න ඕනේ.සින්දුව බාගන්න තැනක් මන් හෙව්ව හෙව්වා හොයාගන්න බැරි උනා. මගෙ ෆෝන් එකේනම් සින්දුව තියෙනවා. ඒත් ඒකෙ Sound අප්සට්. ඒක නිසා ඒක දාලා වැඩක් නෑ. කොහොම උනත් මෙන්න විශේෂ පුද්ගලයෙක් මේ සින්දුව කියද්දි හොරෙන් පටිගත කරගත් හඬ පටයක් තියෙනවා. හුදී ජන පහන් සන්වේගය උදෙසා මන් ඒක දාන්නම්. අහලා බලන්නකො කියන කෙනා අඳුරගන්න පුලුවන්ද කියලා.

Thursday, July 22, 2010

දුක නැති කිරීමේ මාර්ගය.....

මුලු හදවතම මුලු හිතම දුකෙන් වේදනාවෙන් පිරිලා ගිහිල්ලා. අතීතය අමතක කරලා සාමාන්‍ය විදියට ඉන්න මොන තරම් උත්සහ කරත් ඒක හරි යන පාටක් නෑ. මේ මුලු ශරීරය පුරාම වේගයෙන් පැතිරීගෙන යන වේදනාව, මහා ගිනි කඳක් වගේ දිගින් දිගටම ඇවිලෙන මේ දුක නැති කරගන්න ක්‍රමයක් තියෙනවද? මම මගේ හිතෙන්ම ප්‍රශ්ණ කලා.
ඔව්... ගොඩක් ක්‍රම තියෙනවා....
මගේ හිත උත්තර දුන්නා.
අනේ ඒවා මට කියන්නකො. මම මගේ දුක නැති කරගන්න ඕනා.
මම මගේ හිත ඉස්සරහ දනින් වැටුනා.
හොදයි මම කියන්නම්.
මගෙ හිත බොහොම සන්සුන්ව උත්තර දුන්නා.
උඹේ හිතේ තියෙන සේරම දුක එකතු කරලා ලොකු කලු ගලක බැඳලා මුහුද  මැදට ගෙනිහින් අත ඇරලා දාපන්.
අපෝ බෑ... මහ මුහුද කැලඹේවි.
උඹේ හිතේ තියෙන සේරම දුක වේදනාව ටික පෙට්ටගමක දාලා වහලා ඉබ්බෙක් දාපන්. මතක ඇතුව යතුර විසි කරලා දාපන් ආපහු හොයාගනන් බැරි වෙන්නම.
එච්චර ලොකු පෙට්ටගමක් කොහෙන්ද හොයාගන්නේ.
සේරම දුක වේදනාව හුලඟෙ පා කරලා යවපන්.
එහෙම කලොත් මහා කුණාටුවක් ඇති වේවි.
එහෙනම් හිතේ තියෙන සේරම දුක සරුංගලේක ගැට ගහලා උඩ ඇරපන්. පස්සෙ ඒක උඩ යද්දි නූල අත ඇරපන්.
මගේ දුක ගැට ගැහුවට පස්සෙ ඒ සරුංගලේ උඩ යයිද?
අඩි 25ක් විතර ගැඹුර වලක් කපලා දුක සේරම ඒ වල ඇතුලට දාලා අයෙත් පස් වලින් වහපන්.
මගේ දුක පිරෙව්වට පස්සෙ අයෙත් පස් වලින් පුරවන්න දෙයක් නෑ.
රුහුණු කුමාරි යන වෙලාවක් බලල රේල් පීල්ලට තියපන්.
අපොයි.... කෝච්චිය පීලි පැන්නොත් ජීවිත කීයක්ද?
සේරම දුක එකතු කරන් ගිහින් කොමඩ් එකට දාලා ෆ්ලෂ් කරපන්.
හි... හි...වලත් උතුරල තමයි නතර වෙන්නේ.
එහෙනම් ඔය සේරම දුකවල් අමතක වෙලා යන්න කන පැලෙන්න බීපන්.
ඒ මොන පිස්සු වැඩක්ද... බිලා පුලුවන්ද ප්‍රශ්ණ විසඳන්න.
එහෙනම් ගිහින් දුකට පුන් ගහපන්.
අන්තිමේ මගේ හිතට මල පැනලා කියලා දැම්මා.
දුකට පුන් ගහන්නේ මදුරුවො එලවන්නද?
ඒකටත් උත්තරයක් මන් ගාව තිබුනා.
එහෙනම් ගිහින් මැරියන්. වෙන කරන්න දෙයක් නෑ.
දැන්නම් හිතට මලම පැනලා.
හරි හරි...තරහා ගන්න එපා. මගේ හොන්ඳ හිතනේ. ඔය එකක්වත් හරීයන ක්‍රම නෙවෙයි.
මට කොහොම හරි මේ දුක නැති කරගන්න ඕන. අනේ තරහ නැතුව හරියන ක්‍රමයක් කියන්න.
ම්...ම්...ම් හිත කල්පනා කරනවා....
හරි... තව එක ක්‍රමයක් තියෙනවා...
ටිකක් වෙල කල්පනා කරලා හිත පිලිතුරු දුනා.
ආ... ඒ මොකද්ද. අනේ ඉක්මනට කියන්නකො.
මට ඉවසිල්ලක් නෑ.
ඔය හිතේ තියෙන දුක හිර කරන් ඉන්නෙ නැතිව කාට හරි කියන්න. එතකොට උඹේ හිතේ තියෙන දුක අඩු වේවි.
ශා... අන්න ඒ අදහසනම් මරු. ඒත් කාටද මන් මේ දුක කියන්නේ. කව්ද මගේ දුක අහන්නේ.
ආයෙමත් මට ලොකු ප්‍රශ්ණයක් ඉතිරි උනා.
කට හරි. ඔයාට හිතවත් කාට හරි.
මගේ ප්‍රශ්ණ අහලා ඒ අයටත් හෙන කරදරයක් වෙයි. ඒ අයටත් මව එපා වෙයි. නොදන්න අයට දුක කියන්න යන්නත් බෑනේ.
අද ලොකේ දුකේදි ඉන්න අය හොයාගන්න හරි අමාරුයි.
හ්ම්ම්.. ඒකත් ඇත්ත.... මගේ හිතත් මාත් එක්ක එකඟ උනා.
එහෙනම් මෙහෙම කරන්න. ඔයගේ හිතේ දුක කිසිම මිනිහෙක්ට කියනන් එපා. උඹට හම්බ වෙන මනුශ්‍ය නොවන හැම දේකටම උඹ උඹේ දුක කියපන්.
ඒ කිව්වෙ.....
ඒ කිව්වෙ මෙකයි... ගහකොල, සතා සිව්පාවා, ගල් මුල්, මේස පුටු..... ඔය ඕන දෙකට උඹේ දුක කියපන්. එතකොට කවුරුත් උඹට හිනා වෙන්නෙ නෑනේ.
ඔව් ඒක හරි.. මම එහෙම කරනවා. මම මගෙ හිතට නොසෑහෙන්න ස්තූති කරා.
කල් ඇරියෙ නෑ. මන් එ වෙලාවෙම ක්‍රියත්මක උනා. මම දකිනා හැම දෙකටම මගේ දුක කිව්වා. ගහකොල, සතා සිව්පාවා, ලයිට් කනු, ගල්, බොරලු කැට පවා මගේ දුක අහන්න ඇති. අඩුම ගානේ එක වැලි කැටයක්වත් මම මග ඇරියෙ නෑ. පුංචි කූඹියෙක්වවත් අමතක කලේ නෑ. හැමෝටම මගේ දුක කිව්ව.
අම්මෝ දැනුන නිදහස. ලොකූ බරක් හිතෙන් නිදහස් උන වගේ. ලොකු සැහැල්ලුවක් දනුනා. ඒ ක්‍රමේනම් හොඳයි තමයි. මම මටම කියගත්තා. සැහැල්ලුව වැඩිකමට මට ටිකක් නින්ද ගියා. මම කොච්චර වෙලා නිදාගත්තද කියල මට  මතක නෑ. ඒත් ඇහැරිලා බල්ද්දි ලොකු වෙනසක්. මුලු පරිසරයම වෙනස් වෙලා.
හොයලා බැලුවා මොකද කියලා. බලද්දි මෙන්න ටිකකට කලින් මම දුකකියපු අය හැමෝම කඳුලු පෙර පෙර අඬනවා. හැමෝගෙම ඇස් රතු පාට වෙලා.
ඇයි මේ? මම ඇහුවා.
අනේ... ඔයාගෙ දුක අහලා අපිට දුක හිතුනා. ඒකයි අපි මේ අඬන්නේ. හැමෝම කඳුලු පිහදදා උත්තර දුන්නා.
ම්..ම්..ම්...
මගේ දුක අහලා එයාලත් අඬනවනම්, මම අඬන්නෙ නැතුව ඉන්නෙ කොහොමද?
මමත් එයාලටම එක්කහු උනා.