Monday, May 23, 2011

ගාමිණී අයියා

ගාමිණී අයියා වෙසක් එකට ලෑස්ති උනේ මාසෙකට කලින් ඉඳන්. හැම සැරේම වෙසක් එකට නුග ගහ හන්දියෙ දෙන බත් දන්සල මේ පාර වෙසක් දවස් දෙකේම දෙන්නයි ගාමිණී අයියගෙ කල්පනාව උනේ.
"මල්ලි අපි යන තැනකට කරගන්න ඕනනෙ"
දන්සැල ගැන අහන හැමෝටම ගාමිණී අයියා දුන්නෙ එහෙම උත්තරයක්. ගමේ කිසිම පින්කමක් ගාමිණී අයියා නැතුව සිද්ද උනේ නෑ. පන්සලේ දායක සභාවෙ මූලිකය උනේ ගාමිණී අයියා. වතාවක් දායක සභාවෙ මූලිකය වෙන්න දඟලපු මැදි වයසෙ උපාසක මහත්තයයෙක් බොහොම අනපෙක්ශිත විදියෙ අනතුරකට මුහුණ පාලා එකතැන් උනායින් පස්සෙ කවුරුවත් ගාමිණී අයියා එක්ක තරඟ කරන්න ගියේ නෑ. දායක සභාවෙ විතරක් නෙවෙයි ගමේ තිබුනු හැම වැඩකදිම මූලිකත්වය ගත්තේ ගාමිණී අයියා. මල ගෙදරක් මගුල් ගෙදරක් දානෙ ගෙදරක් බණක් පිරිතක් විතරක් නෙවෙයි ගෝරියක්, වලියක් පවා සිද්ද උනේ නෑ ගාමිණී අයියා නැතුව. ගමේ හැමෝම ගාමිණී අයියට ගරු කරා. හැබැයි ඒ ඇත්තටම ගරුත්වයක්ද බයක්ද කියලා වෙන් කරගන්නවත් ගමේ කවුරුවත් මනස වෙහෙසුවේ නෑ.
ගාමිණී අයියගෙ ගෝල බාලයෝ දන්සලට සල්ලි එකතු කරන්න ගෙයක් ගෙයක් ගානෙ යන්න පටන් ගත්තේ වෙසක් වලට මාසෙකට කලින් ඉඳන්. දන්සලට රුපියල් 100කින්වත් ආධාර නොකරපු එකම ගෙදරක්වත් ගමේ තිබුනෙ නෑ. ගාමිණී අයියා ඒ ගැන කිව්වෙ කිව්වෙ එක දෙයයි.
"මේකනෙ මල්ලි. මන් විතරක් පින් කරගෙන වැඩක් නෑනෙ. ගමේ හැමෝටම පින් කරගන්න චෑන්ස් එක අරන් දෙන්න ඕන."
කොහොම උනත් ගාමිණී අයියත් සැලකිය යුතු මුදලක් දන්සල වෙනුවෙන් වැය කලා. ඕවා අසාධාරණ සල්ලි, කලු සල්ලි කියලා තැන් තැන් වල පොඩි පොඩි කසු කුසු ගියත් කවුරුවත් ඒ ගැන එලිපිට කතා කරන්න ගියේ නෑ.
මේ වතාවෙත් දන්සැල විවෘත කරන්නෙ එන්නෙ ඇමති තුමාලු නේද? ගමේ උදවිය ගාමිණී අයියා හමු උන වෙලාවල් වලදි ඇහුවා.
"නැතුව නැතුව, ඇමතිතුමා මන් කියන දේකට නෑවිත් ඉන්නවද?" ගාමිණී අයියගෙ මුහුණේ ඒ වෙලාවට තිබ්බෙ ලොකු ආඩම්බරේකින් පිරිච්ච හිනාවක්.
ඇමතිතුමාගෙ ලඟම හිතවතෙක් උනේ ගාමිණී අයියා. හැම ජන්දෙකදිම ඇමති තුමාට බැහැලම වැඩ කරපු ගාමිණී අයියා කොයි දේටත් අමතිතුමාගෙ ලඟින්ම හිටියා. ඇමතිතුමාගේ තරහකාරයෙක් උන ජිනසෝම මුදලාලිගෙ මිනීමැරුම් නඩුවෙදි ගාමිණී අයියා හිරේ නොගිහින් බේරුනේ අනූනවයෙන්. ජිනසෝම මුදලාලිගෙ මරණය අදටත් අභිරහසක් උනත් ගාමිණී අයියව බේරගන්න ඇමතිතුමාගෙ දේශපාලන බලය ලොකු රුකුලක් උන බවනම් කාටවත්ම රහසක් උනේ නෑ.
ගමේ මිනිස්සු ඇමතිතුමාව හම්බවෙන්න යන්න ඕන උනාම මුලින්ම ගියේ ගාමිණී අයියා ගාවට. ගමේ මිනිහෙක්ගෙ ප්‍රශ්ණෙකදි ගාමිණී අයියා හැමවෙලාවෙම කෙලින් හිටියා.
"ගමේ උන්ට නොකරන උදවු වෙන කාට කරන්නද?" ගාමිණී අයියගෙන් උදවු ඉල්ලගෙන ගිය හැමෝටම ගාමිණී අයියා ඒ කතාව කිව්වා.
ඒ පැත්තෙ තිබ්බ කිසිම බස් එකකවත් කිසිම ත්‍රීවීල් එකකවත් ගාමිණී අයියගෙන් සල්ලි ගත්තේ නෑ.
තමුන්ගෙ අතින් පෙට්‍රල් පුච්චගෙන ඕන වැඩකට ගාමිණී අයියා එක්ක ඕන දුරක යන්න හන්දියෙ ත්‍රීවීල් කොල්ලො සෙට් එක සැදී පැහැදී හිටියා. ගාමිණී අයියා එක්ක ෆිට් එකේ ඉන්න හැම කොල්ලෙක්ම කැමති උනා.
"අපේ ගාමිණී අයියා........." කියන වචන 3 විතරයි කියන්න තිබ්බෙ. මැස්සෙක්වත් ඇඟේ වැහුවෙ නෑ කිසිම කොල්ලෙක්ගෙ.
කොහොමත් පිටින් ඇවිත් ගමේ කිසිම එකෙක්ට අත තියන්න ගාමිණී අයියා ඉඩ දුන්නෙ නෑ. ඒ හින්දම පිට ගම් වලින් ගොඩක් තරහාකාරයෝ ගාමිණී අයියට ඇති උනා. ගාමිණී අයියට ලොකුම බලපෑම තිබ්බෙ එහා ගමේ ජයකොඩිගෙන්. ජයකොඩි කලේ කුඩු බිස්නස්. ගාමිණී අයියා කුඩු බිස්නස් වලට තදින්ම විරුද්ධ උනා. කුඩු නිසා තමුන්ගෙ කසිප්පු බිස්නස් එකට බලපෑමක් වෙයි කියලා ගාමිණී අයියගෙ හිතේ ලොකු බයක් තිබ්බා.
ජයකොඩිගෙ ලොකුම හෙන්චයියා උන පොඩි අනුර ආගිය අතක් නැති උනේ ගාමිණී අයියා එක්ක ගොරියක් දාගෙන සතියකට පස්සෙ.
මාලු කොටලා මූණ විකෘති උන ගඟේ පාවුන මිනිය පොඩි අනුරගෙ කියලා සමහරු කිව්වා. කොහොම උනත් ඒ මිනිය ආයෙමත් මෝචරියෙනුත් අතුරුදහන් වෙලා කියලා තමයි පස්සෙ ආරංචි උනේ. ඒක නිසා පොලීස් පරීක්ශනත් අතරමග නැවතුනා.
හැබැයි පොඩි අනුරගෙ ප්‍රශ්ණ්දි ඇමතිතිමා හිතුව තරම් ගාමිණී අයියට උදවු කලේ නෑ කියලයි ගමේ මිනිස්සු කිව්වෙ. ගාමිණී අයියයි ඇමතිතුමායි අතරේ පොඩි පොඩි වචන හුවමාරු ඇති උනා කියලත් කතා පැතිරුනා. ගාමිණී අයියනම් ඒ ගැන මොකුත් උත්තර දෙන්න ගියේ නෑ.
"ඕවා අර ජඩ බල්ලන්ගෙ උප්පරවැට්ටි මල්ලි" ගාමිණී අයියා ඒ ගැන කිව්වෙ එච්චරයි.
කොහොම උනත් ජයකොඩිට කුඩු ගේන්න උදවු කරන්නෙ ඇමතිතුමා කියලත් තැන තැන කසුකුසු ඇති උනා. හැබැයි ඒ ගැනනම් කවුරුවත්ම ගාමිණී අයියගෙන් කෙලින් අහන්න ගියේ නෑ.
කොහොම උනත් මේ පාරත් දන්සල විවෘත කරන එකට ඇමතිතුමාවම ගෙන්නන්න ගාමිණී අයියට ලොකු උනන්දුවක් තිබ්බෙ, දෙන්න අතරේ කිසිම පලහිල්ලව්වක් නෑ කියලා ගම්මුන්ට පෙන්නන්න වෙන්නත් පුලුවන්.
වෙසක් දවසට කලින් ගාමිණී අයියට සෑහෙන වැඩ තිබුනා, ටෙන්ට් ගස්සවන්න. බැනර් ගස්සවන්න, කොඩි වැල් අද්දවන්න, වැඩ කෝටියයි. ඒ විතරක් නෙවෙයි හරකා නිදහස් කරන වැඩේටත් ගාමිණී අයියා ලොකු සපෝට් එකක් දුන්නා. පන්සලේ හාමුදුරුවො හරකා නිදහස් කරන වෙලාවෙ කරපු කතාවෙ වැඩිපුරම කියවුනේ ගාමිණී අයියගෙ නම.
වෙසක් දවසෙ දන්සල පටන් ගන්න කලින් ගාමිණී අයියා පන්සලේ පින්කමට සහභාගී උනා. දන්සල පටන් ගත්තේ 7ට විතර. කියාපු විදියටම ඇමතිතුමා ආවා දන්සල විවෘත කරන්න. දෙන්න හැසිරුන කතා බහා කල විදියෙන්නම් දෙන්නා අතරේ කිසිම අමනාපයක් තියෙන බවක් කාටවත්ම තේරුනෙ නෑ. ඇමතිතුමා වෙනදටත් වඩා කරුණාවන්ත වෙලාවගේ හැමෝටම හැඟුනා. දන්සලට ආපු මිනිස්සු එක්කත් ඇමතිතුමා බොහොම සුහදව කතා කලා. වෙනදා තිබ්බ මාන්නය ඇමතිතුමා ගාව තිබ්බෙම නෑ. ගාමිණී අයියත් හිටියෙ බොහෝම සතුටින්.
දන්සල බොහොම සාර්ථකව ඉවර උනා. රෑ 12 විතර වෙනකම් දන්සලේ මිනිස්සු හිටියා. ආපු මිනිස්සු ඔක්කොම ගාමිණී අයියට පින් දිදී ගියා. ඒ පින් ටිකත් අරගෙන ගාමිණී අයියා ගෙදර යන්න පිටත් වෙද්දි පාන්දර 4 විතර වෙලා. වෙසක් එකට බාර් වහලා තිබ්බත් ගාමිණී අයියට නොඇරෙන දොරවල් ගමේ තිබ්බෙ නෑනෙ. තරමකට සප්පයාම් උන ගාමිණී අයියා ගෙදර යන්න කලින් සෙට් එකට කිව්වෙ එක දෙයයි.
"මල්ලි මේ වගේ හෙටත් වැඩේ දෙමු එලටම"
පහුවදා මුලු උදේ මුලු ගමම කැලඹිලා. නුග ගහ හන්දියට ටිකක් එහායින් තිබ්බ වෙල ගාව පාර අයිනෙ ගමෙන් භාගයක්ම එකතු වෙලා. පැත්තකින් පොලිස් ජිප් එක නවත්තලා. පාර අයිනෙ ඔලුවෙ භාගයක්ම කැඩිලා යන්න වෙඩි වැදුනු මලසිරුරක්. වෙඩි තියලා තිබ්බෙ පිටිපස්සෙන් ඇවිත්. කට භාගෙට ඇරිලා. හැබැයි පොඩි හිනාවක් මූණෙ තිබිලා තියෙනවා වෙඩි වදින වෙලාවෙත්. පාරෙ බයික් එකකින් ගිය මිනිහෙක් එතන නවතිලා මිනිස්සුන්ගෙන් අහුවා මොකද මෙතන වෙලා තියෙන්නෙ කියලා. මිනිස්සු අතරෙ උන්න  කවුදෝ කෙනෙක් ඒකට උත්තර දුන්නා.
"ඊයෙ රෑ ගාමිණී අයියට කවුද වෙඩි තියලා"

21 comments:

  1. හිතේ කුරිරුකම දත් තිස් දෙකම එලියට දාපු හිනාවෙන් වහගන්නෙ ඉතින් දේශපාලනේ තමා.

    ReplyDelete
  2. අනුරාධ...ආයේ මේ කතාව ලියලා තියෙන විදිය ගැනත් කතාවේ අන්තර්ගතය ගැනත්..මං මුකුත්ම කියන්න ඕන නැහැ...හැම දේම ගානට ලුණු ඇඹුල් පදමට..අඩුත් නැහැ වැඩිත් නැහැ...

    ReplyDelete
  3. නියමයි! මාරය අයිය කිව්ව වගේ ලුණු ඇඹුල් ගානට තියෙනව. හොඳ නරක අතරෙ එහෙ මෙහෙ යන ගමන් ලංකාවෙ සාමාන්‍ය මිනිස්සුයි උන්ට උඩින් ඉන්න උනුයි ගැන හොඳ ලිවිල්ලක්! සුපිරි!

    ReplyDelete
  4. නියමයි.. නියමෙටම ලියලා තියන්වා ....

    ReplyDelete
  5. අපොයි.. වෙච්චිදෙයක්.. ඔහොම අයට ඔහොම වෙනව.. ඔයාගෙ කතාවිලාශයනම් මාරයි... ජය..

    ReplyDelete
  6. කියන්න වචන නැහැ.

    ReplyDelete
  7. අද රටේ තත්වේ,
    මිනිස්සුන්ගේ කරපිටින් ගොඩ ගිහින්,පස්සේ රහස් එලිවෙනවට ඒ අයවම නිහඩ කරවනවා.

    ReplyDelete
  8. කැළණියෙ පන්සලේ ප්‍රධාන දායකයටත් වුණේ ඔය වගේ සිද්ධියක්

    ReplyDelete
  9. මේකත් අර මාරයියගෙ මාගල තරම්ම දිග එකක් අනූ...ඒත් ඉතින් නියම කතාව....කොහොමත් ඉතින් වපුරපු දේ ලුනෙ නෙලා ගෙන යන්නේ...නේද අනූ...

    ReplyDelete
  10. ඇත්තටම මේක අයියා ලියලා තියෙන කතා විලාශය නම් මරු... එ වගේම කතාවේ අන්තර්ගතය ගැන නම් මුකුත් කියන්න යන්නේ නැ අයියේ...කියන්න දෙයක් නැ..අද ඕක සාමන්‍ය තත්වයක් රටේ ලොකේ හැටියට..

    ReplyDelete
  11. සක්වල ගලේන් එහා උන්නත්.. මාරයා එන එක නවත්තන්ට බැ.. නේද මාරයියේ ? :D

    ReplyDelete
  12. අපොයි ගාමිණි අයියට මොකො මේ වෙලා තියෙන්නේ.

    ReplyDelete
  13. එල මචන් එලටම ලියලා තියනවා

    ReplyDelete
  14. ගාමිනී අය්යාගේ මරණය නාඳුනන තුවක්කුකරුවාගේ ගිණුමට එකතු වෙන අතරේ,දිට්ඨදම්මවේදනීය කර්මයෙන් කැපිලා ඉතුරු වෙච්ච ටික අරගන ගාමිනී අය්ය යන්න ඇති.

    ReplyDelete
  15. excellent writing style.I appreciate it.And also a nice story with a great lesson to every one.

    ReplyDelete
  16. එළටම ලියලා තියනවා... මේක ඇත්ත කතාවක්ද ?.....

    මට හිතෙන්නේ ජයකොඩි තමයි වෙඩි තියන්න ඇත්තේ....

    ReplyDelete
  17. ඔහොම තමයි ඇමති තුමාලාගේ වැඩ. :D

    ReplyDelete
  18. හැමදෙනාටම ගොඩාක් ස්තූතියි කතාව කියෙව්වට හා අගය කලාට.....

    ReplyDelete
  19. අදයි බැලුවෙ... අරුත් බර කතාවක්.

    ReplyDelete