Friday, December 24, 2010

ගෙදර බුදුන් නැන්දා...........!

"ගෙදර බුදුන් අම්මා" කියන කියමන මන් පොඩි කාලෙ ඉඳන්ම අහලා තිබ්බා. ඒත් ඒ කියමනට අමතරව තවත් කියමනක් තියෙන්න ඕන කියලා මන් ඒ කාලෙ හිතන් උන්නා. ඒ තමයි "ගෙදර බුදුන් නැන්දා" කියලා. මොකද මගේ ලමා කාලයෙන් වැඩි කොටසක් ගෙවුනේ මගේ ලොකු නැන්දා ගාව නිසා. ලොකු නැන්දා එහෙමත් නැත්නම් අපේ තාත්තගේ අක්කා, ළමයි 5 දෙනෙක්ගෙන් යුතු පවුලක වැඩිමලා. අපේ තාත්තා පවුලෙ 4 වෙනියා. ලොකු තාත්තා බැඳලා වෙනම පදිංචි වෙලා හිටියේ. අපේ තාත්තලාගෙ මහ ගෙදර ජීවත් උනේ අපේ තාත්තා ඇතුලු පවුලේ ඉතුරු 4 දෙනායි අපේ ලොකු නැන්දා විවාහ වෙලා හිටිය මාමායි විතරයි. කොහොම හරි අපේ තාත්තා අපේ අම්මව විවාහ කර ගත්තයින් පස්සෙ තත්තත් මහ ගෙදරින් වෙන් උනා. ඒ කාලෙ අපේ අම්මලාට එතරම් ආර්ථික අතින් සරු කාලයක් වෙලා නෑ. කුලියට ගත්තු තැනක තමයි අම්මලා ජීවත් උනේ. කොහොමින් කොහොම හරි මාත් ඉපදුනා කියමුකො. මන් ඉපදුනාට පස්සෙ අම්මලා ගෙවල් කීපයක්ම මාරු කරලා තියෙනවා. වැඩි හරියක් ඉඳලා තියෙන්නෙ අම්මගෙ යාලුවන්ගෙ ගෙවල් වල. පස්සෙ වෙනම තැනක් කුලියට අරගෙන ඇවිල්ල තියෙනවා මට අවුරුදු 2 ,3ක් විතර වෙද්දි. ඒවා හෙන දිග ස්ටෝරි. ඒ කාලෙ අම්මලාට හුඟක් දුෂ්කර වෙලා තිබුනට දැන් අපේ තාත්තා එහෙම ඒ කතා කියන්නෙ බොහොම සැහැල්ලුවෙන්. ඒ කාලෙ දිහෑ බලපුවාම එයාලට සියුම් ආඩම්බරයක් දැනෙනවා ඇති අපි නැගිට්ටෙ පල්ලෙහාම තැන ඉඳන් නේද කියලා.

                                        මට හරියට මතක ඇති කාලෙ ඉඳන්ම මන් හැදුනෙ වැඩුනෙ අපේ තාත්තගෙ මහ ගෙදර. ලොකු නැන්දයි මාමයි මට තවත් අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි උනා. ඒ දෙන්නට ළමයි නොහිටපු එක එයාලගෙ ආදරේ මටම සින්නක්කර කරගන්න එකතරා හේතුවක් වෙන්න ඇති. ඉස්කෝලෙ යන වයසට එනකම්නම්  අම්මලා මාව එයාලා හිටපු තැනම තියාගත්තා. නමුත් ඊට පස්සෙ ඉස්කොලෙ ඇරිලා මාව යැව්වෙ නැන්දලා ගාවට. මට මතකයි තාත්තා මාවත් තියාගෙන බයිසිකලේ ඉස්කෝලෙට යනවා. ඊට පස්සෙ ඉස්කෝලෙ ඇරිලා ආයෙත් බයිසිකලේ තියාගෙන නැන්දලහට එක්ක යනවා.  ආයෙත් අම්මයි තාත්තයි ගෙදර එන්නෙ හවස. මට මතක විදියට 5 වසරට යන්නත් කලින් ඉඳන්ම මන් තනියෙන් ඉස්කෝලෙ යන්න පුරුදු උනා. නැන්දලයි ගෙදර ඉඳන් උදේට පයින් ඉස්කෝලට යනවා. මන් හිතන්නෙ කිලෝමීටර් 3ක් විතර දුර. ඊට පස්සෙ ආයෙත් දවල්ට ඒ පාරෙන්ම ලොකු නැන්දලයි ගෙදර එනවා. සමහර දාට අම්මලා ඉන්න තැනටත් ගිහින් ටිකක් වෙලා ඉඳලා එනවා. 5 ශිෂ්‍යත්වෙට ක්ලාස් යද්දි ඉස්කෝලෙ ඇරිලා ක්ලාස් ගිහින් එහෙමම නැන්දලහා යනවා. කොහොම හරි මගේ ලමා කාලෙන් වැඩි හරියක් අම්මා තාත්තා එක්ක වඩා ගෙවුනෙ ලොකු නැන්දා, මාමා එක්ක.
                                            මමා හවසට වැඩ ඇරිලා එනකම් මන් බලන් ඉන්නෙ හැමදාම එනකොට මාමා මොනවා හරි ගේන නිසා. නැන්දත් එක්ක කඩේට ගියාම අරවා  මේවා ඉල්ල ඉල්ල නැන්දට වද කරන හැටි මට තාම මතකයි. හැබැයි දෙතුන් පාරක් ඉල්ලන්න වෙන්නෙ නෑ කවදාවත්. මොකද එක පාරින් දෙපාරින් ඉල්ලපු දේ මගේ අතට ලැබෙන නිසා. අදටත් ඒ කඩවල අය හම්බ උනාම "මතකද ඉස්සර...... ලොකු නැන්දා ටිපි ටිප්.....ලොකු නැන්දා ටිපි ටිප්..... කිය කිය ඉල්ලපු හැටි" කියලා මට විහිලු කරන වාර ගාන අනන්තයි. අවුරුද්දට මන් ඇඳුම් ගන්න යන්නෙ අම්මලත් එක්ක නෙවෙයි.ලොකු නැන්දයි මාමයි එක්ක. ඒ පැත්තෙ සමහරු හිතලා තියෙන්නෙ මන් ඒ දෙන්නගෙ පුතා කියලා. මන් ඒ බව දන්නෙ ඉස්සර සිද්දි ගැන කට්ටිය කතා වෙද්දි. ගොඩක් දවස් වලට ලොකු නැන්දා එක එක කැම ජාති හදනවා. වඩේ, පැටිස්, හැලප, ෆෑන් කේක්, ඔය නොයෙකුත් ජාති. මොකද මන් ඒවා කන්න ආස නිසා.
                                             හැබැයි ඔය සැලකිලි වගේම තමයි නැන්දට තරහා ගියාම. අම්මෝ හෙන හීනි කෙටුවක් තියන් හිටියේ මට ගහන්න. මන් සමහර වෙලාවට හොරෙන් ඒ කෝට්ට කඩලා තියනවා. මොන.... ඒත් ආයෙ කොටුවක් කඩලා තියනවනෙ. නැන්දයි මායි වැඩිපුරම රණ්ඩු වෙන්නෙ ටීවී එක නිසා. මන් ටිවී එක දාලා ඉල්ලන සමහර වෙලාවට නැන්දා දාලා දෙන්නෙ නෑ. එක එක හේතු කියනවා. මන් ඉතින් වත්ත පල්ලෙහාට ගිහින් තනියම අඬනවා. සමහරදාට කාමරේට ගිහින් කොට්ටේ පෙඟෙනකම් අඬනවා. ඒ වෙලාවට නැන්දා ටීවී එක දාලා දෙනවා. ඒත් අඬලා ඉවර වෙලා ආයෙත් සාලෙට යනන් ලැජ්ජ කමට මන් කාමරේ දොර රෙද්ද අස්සෙන් හොරෙන් ටීවී එක බලන් ඉන්නවා. ඒක මාට්ටු උනාම ඉතින් ලැජ්ජාව පිටම සාලෙට ගිහින් පුටුවක වාඩි වෙනවා.
                                     කොහොම හරි 8 වසරෙදි මන් රෑ ක්ලාස් එකකට යන්න පටන් ගත්තා. ඒක නිසා 8 වසරේ ඉඳන් මම හැමදාම නැන්දලහා යන එක සීමා උනා. ඒත් සෙනසුරාදා ඉරිදා ආයෙත් එහේ දුවනවා. එතන ඉඳන් ඒ ලෙවල් කරනකම්ම මන් නිවාඩුවක් ආපු ගමන් දුවන්නෙ එහේ. ඒ ගියාම හැමදාම මොනවා හරි විශේෂ කෑමක් හදලා දෙනවා. නිකමට හරි එක සතියක මට යන්න බැරි උනොත් දිගට හරහට පණිවිඩ එවනවා ඇයි මන් ආවෙ නැත්තේ කියලා. කොච්චර සතුටෙන් විනෝදෙන් ගෙවුන කාලයක්ද ඒක...
                                    සතුට දුකකට පෙරලෙන්න යන්නෙ කොයි තරම් කෙටි කාලයක්ද. එතකොට මන් ඒ ලෙවල් කරන කාලෙ. දවසක් මන් ඉස්කෝලෙ ඇරිලා අවහම මට අහන්න ලැබුනේ මන් කිසිම දවසක අහන්න බලාපොරොත්තු නොවුන ආරංචියක්. " ලොකු නැන්දට කැන්සර් එකක්" අම්මා එහෙම කියද්දි මගේ කකුල් දෙකම සිතල වෙලා යනවා මට දැනුනා.  නැන්දට හැදිලා තිබුනෙ පියයුරු පිලිකාවක්. සෑහෙන ප්‍රතිකර්ම කලා. එක් පියයුරක් අයින් කලා. කරන්ට් එක ඇල්ලුවා. බෙහෙත් විද්දා. කරන්ට් එක අල්ලනවට නැන්දා කැමති උනේම නෑ. මොකද කොන්ඩෙ යන නිසා. මට මතකයි කරන්ට් එක අල්ලලා මුලින්ම කොන්ඩෙ යන්න ගත්ත දවස. එදා රෑ "නුවන් පොඩ්ඩක් බලන්න මගෙ කොන්ඩෙ පැටලිලා" කියලා නැන්දා කියද්දි මන් නැන්දගෙ කොන්ඩෙට අත තිබ්බා. කොන්ඩෙ බුරුතු පිටින් ගැලවි ගැලවි මගේ අතට ආවා. එදා නැන්දාගෙ අස් වලින් ගලපු කඳුලු නවත්වන්න අපි කාගෙවත් වචන වලට පුලුවන් කමක් ලැබුනෙ නෑ. ඒ දවසෙ ඉඳන් නැන්දා මානසිකව වැටෙන්න ගත්තා. ගොඩක් හිතන්න ගත්තා. මන් හැම සෙනසුරාදම එහේ ගියා. ගිහින් නැන්දගෙ හිත හදන්න ගොඩක් උත්සහ කලා. ඒත් මන් තාමත් හිතන්නෙ නෑ මන් 100%ක් සාර්ථක උනා කියලා.
                                                රස්සාවට කොළඹ ආපු මුල් කාලෙ හැම වීක් එන්ඩ් එකේම මන් ගාල්ලෙ ගියා. ඒ ගිය හැම වතාවකම නැන්දව බලන්නත් ගියා. යන හැම වතාවකම දකින්න ලැබුනෙ දවසින් දවස අවාසනාවෙ පත්ලටම ඇද වැටෙන නැන්දව විතරයි. නමුත් අපෙ හිත් වලට ආයෙත් බලාපොරොත්තු එක් කරගෙන නැන්දට සනීප වෙන්න ගත්තා. ක්‍රමක් ක්‍රමයෙන් ගොඩාක් දුරට සනීප උනා. තනියම උයන්න, මිදුල අතුගන්න පවා පුලුවන් කම ලැබුනා. කොටින්ම මන් එනදවස  බලලා ආයෙත් මොනව හරි විශෙෂ කෑමක් හදලා තියන්න නැන්දා පුරුදු උනා. දැන් ආයෙත් හොඳ කාලෙ ආවා කියලා අපි හැමෝම හිතුවා. ඒත් ඒ සිතිවිල්ල බොරු වෙන්න වැඩි කල් ගියේ නෑ. නැන්දා අයෙමත් දුර්වල වෙන්න ගත්තා. කලින්ටත් වඩා අමාරු උනා. අන්තිමේ අපිට දැනගන්න ලැබුනේ පිලිකාව ගර්භාශයට පැතිරිලා කියලා. අපි ආයෙත් කරන්ට් ඇල්ලුවා. කොන්ඩේ සාමන්‍ය වැවීගෙන එද්දි, බෑ බෑ කිය කිය අඬද්දි, අපි එක්ක ගිහින් ඒ බෙහෙත් කලා. මොකද අපිට ඕන උනේ නැන්දව සනීප කරගන්න නිසා. ඒත් ඒ වතාවෙ නැන්දට ගුණයක් ලැබුනෙම  නෑ. එන්න එන්න සෞඛ්‍යය පිරිහුනා. හොඳටම කෙට්ටු උනා. මූන ඇදිලා ගියා. අඳුනගනන් බැරි තරමටම වෙනස් උනා. ගිය අවුරුද්දෙ දෙසැම්බර් මාසයෙ වැඩ් හරියක්ම නැන්දා කරාපිටිය පිලිකා රෝහලේ නවත්වලා හිටියෙ. දෙසැම්බර් 19 වෙනිදා නිවාඩුවට මන් ගෙදර ගියා. ඒ ගිහින් ඉරිදා හවස මන් නැන්දව බලන්න ඉස්පිරිතාලෙට ගියා. සෙලයින් බට වලින් බෙහෙත් ඇතුල් කර කර මලපහ, මුත්‍ර එකතු කරන්න බෑග් හයි කරලා ඉස්පිරිතාලෙ ඇඳක් උඩ වැතිරිලා හිටියේ, මගේ රත්තරන් ලොකු නැන්දා කියලා මගෙ ඇස් එක පාරටම විස්වාස කලේ නෑ. ගිය වීක් එන්ඩ් එකේ හිටියටත් වඩා අන්තිමයි. හරියට කතා කරගන්නත් බෑ. එදා නැන්දාව බලා ගන්න හිටපු ගෑනු කෙනා අපේ අම්මගෙන් මාව පෙන්නලා ඇහුවා " මේ කවුද" කියලා. ඒ වෙලාවෙ අපේ අම්මා උත්තර දෙන්න කලින්, අමාරුවෙන් වචන එකතු කරලා ගොත ගගතා "ලොකු නැන්දා.... ලොකු නැන්දා...." කියලා නැන්දගෙ කටින් පිටවුන වචන 4 අදටත් මගේ කන් දෙක ඇතුලෙ දෝංකාර දෙනවා වගේ. ඒ මන් නැන්දගෙ කටින් අහපු අන්තිම වචන ටික. ඊට පහුවෙනිදා ඒ කියන්නෙ 2009 දෙසැම්බර් 21 වෙනිදා උදේ මගේ ලොකු නැන්දා අපෙන් සදහටම වෙන් වෙලා යන්න ඇස් දෙක පියාගත්තා. මගෙ ජීවිතේ තුලදි කෙනෙක්ගෙ මරණෙකදි මන් මුලින්ම ඇඬුවෙ නැන්දගෙ ශරීරය්ට ගිනි දල්වන්න කලින් වට තුන යද්දි. මන් දනන්වා කෙනෙක් මැරුණම අඬලා වැඩක් නෑ කියලා. මන් හොදටම දන්නවා. ඒත් ආයෙත් මගේ නැන්දා මන් ලඟ නෑ කියලා දැනෙද්දි, මට මේ තරම් ආදරේ කරපු මට මේ තරම් සලකපු මගෙ නැන්දට සලකන්න මට පිනක් නැති උනානෙ කියලා මතක් වෙද්දි, ඇස් වලට උනාපු කඳුලු නතර කරගන්න මට පුලුවන් කමක් ලැබුනෙ නෑ.
                                   පෙරේදා මගේ නැන්දගෙ අවුරුද්දෙ දානෙ. අද ලොකු නැන්දා අපේ ලඟ නෑ. ඒත් මන් දනන්වා  මගේ හිත ඇතුලෙ එයා තාමත් ජීවත් වෙනවා. කවදා හරි මගේ අවසන් හුස්ම පොද වා තලයට මුහු වෙනකම්ම එයා ජීවමානව මගේ හිත ඇතුලේ ඉඳීවී. මගේ රත්තරන් නැන්දේ..... ඇත්තටම මට ඕනෙ ආත්මාර්තකාමි වෙන්න. එන එන හැම ආත්මෙකදිම ඔයා මගේ ජීවිතේට ලන් කරලා දෙන්න කියලා ඉල්ලන්න. නමුත් මන් ඒ ආත්මාර්තකාමී හිත යටපත් කරගෙන ප්‍රාර්තනා කරනවා මගේ නැන්දට නිවන් සුව අත් වෙන්න කියලා......මොකද මට දැන් ඉටු කරන්න පුලුවන් එකම යුතුකම ඒක විතරයි.

9 comments:

  1. මගෙ මල්ලියේ.... ලොකු නෑන්දට නිවන් සුව අත් වෙන්න කියලා මාත් සෙත් පතනවා..

    ඈස් වලට කඳුලු ආවා මල්ලියේ...
    ඔයා එයාට දුන්නු ආදරය ලෙන්ගතුකම සෙනෙහස දයාව මතක් කරගන්න මල්ලි. ඒ නිසා ඔයාට නෑන්දට සලකන්න බෑරි උනා කියල අඩුපාඩුවක් වෙලා තියනවද ඈත්තටම ? නෑ මන් හිතන්නෙ නෑ.....

    ReplyDelete
  2. හරි අනුරාධ ජිවිතෙ මෙහෙම තමයි, හමුවෙනවා යන්න වෙනවා. මෙ වගෙ කතා තොගයක් මගෙ හිතෙත් ඇඳිලා තියනවා. එ අය මැරෙද්දි ' අපි යනවා ' කියලා ගිහින් වගෙ තවමත් උන්ගෙ ජිවිත වල තිබුනු සුවද දැනෙනවා.. එක මනුස්සයෙක් කියන්නෙ සියල්ල.

    ReplyDelete
  3. මාවත් බලාගත්තෙ මගෙ ලොකු නැන්ද තාත්තගෙ අක්ක..මම නිසා එයාට විවාහයක් කර ගන්න බැරි වෙන තරමට කරදර වෙලා තියනවලු...දැන් එයා නැහැ පිලිකාවක් හැදිලා අපෙන් වෙන් උනා..ඒත් මගෙ හිතේ හැම මොහොතකම එයා ඉන්නවා..

    ReplyDelete
  4. ජීවිතේට හුඟාක් සමීප අය හැමදාම අපේ හිතේ ජීවත් වෙනවා යාළු

    ReplyDelete
  5. අනුරාධ අයියේ ඇස් වල කදුලු පිරුනා මේක කියවද්දී..ඔයා වගෙම මමත් ප්‍රාර්ථනා කරන්නේ ඔයාගේ නැන්දාට නිවන් සුවයම අත්වෙන්න කියලා

    ReplyDelete
  6. ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තූතියි. ඔයාලගේ ඔය අවංක ප්‍රාර්ථනාවන් මගේ නැන්දට හුඟාක් වටිනවා. මගේ නැන්දා වෙනුවෙන් වචනයක් කියලා යන්න නැවතුනාට ඔයාලා හැමෝටම ගොඩාරියක් පින්.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. ඇස් වලට කදුලු ආවා...තමයි....මේක කියවපු මට මෙචචර දුක හිතුන නම් ....උම්බෙ හිතෙ කොච්චර දුකක් ඇත්ද..? යාලු....

    ReplyDelete
  9. ලොකු නැන්දට නිවන් සුව අත් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා මම.

    ReplyDelete