Tuesday, July 20, 2010

සිතිවිලි අද්දර හිරවී......

ඈත මුහුදේ ඉඳන් එන ලොකු රැලි,  අපේ කකුල් ගාවටම ඇවිත් ආයෙත් හැරිලා යනවා.
ලොකූ රැලි එද්දි ඔයා හෙමිහිට කකුල් උස්සගන්නවා කලිසම තෙමෙයි කියලා බයේ.
සමහර රැලි ඇවිත් ඔයාගේ කකුල් වල වැදිල, සුදු පාට පෙන පිඩු නගාගෙන ආපහු යද්දි මට ටිකක් ඉරිසියයි.
රැලි වලට කොයින්ද මගේ කෙල්ලගේ කකුල් ඉඹින්න තරම් හයියක්.
මගේ හිත එහෙම කියනවා.
ඔයා මගේ උරහිසේ ඔලුව තියගෙන තෙරක් නොපෙනෙන මුහුද දිහා බලාගෙන.
ඈත ක්ෂිතිජය එක්ක ඔයා ලොකු භාවනාවක.
හෙමි හෙමින් මුහුද ඇතුලට ගිලෙන ඉරේ කාන්තිමත් රතු පාට ඔයාගේ මුහුණට වැටිලා.
ඔයාගෙ මූනත් රතු පාටින් දිලිහෙනවා.
ඉර බැහැගෙන යද්දි ක්ෂිතිජය හුඟක් ලස්සනයි තමයි.
ඒත් මට ඒ දිහා බලන් ඉන්න තරම් වෙලාවක් නෑ.
ආසාවක් නෑ.
මගේ ඇස් දෙක නතර වෙලා තියෙන්නෙ ඔයාගෙ මුහුණ මත.
එක මොහොතකට මගේ ඇස් දෙක වෙන පැත්තකට හරවන්න මට හිත දෙන්නෙ නෑ.
මම ඔයා දිහාම බලන් ඉන්න බව තේරිලාද මන්දා, ඔයා ඔලුව උස්සල මන් දිහ බලනවා.
අපේ ඇස් එකිනෙක හා වෙනවා.
මට ඇහි පිල්ලමක් ගහන්නත් ලෝබයි.
ඒ මොහොතත් අපරාදයක් කියලා හිතෙන්නේ.
ඇයි?
ඔයා අහනවා.
මම හිනාවෙලා ඔලුව දෙපැත්තට වනනවා මුකුත් නෑ කියන අදහසින්.
ඔහොම බලන් ඉන්නෙ?
ඔයා ආයෙමත් අහනවා.
ලස්සනයි.
මම ඔයගෙ කනට කරලා රහසින් වගේ කියනවා.
කව්ද?
ඔයා....
බොරු...
ඔයා ලැජ්ජවෙන් ඇඹරෙනවා.
ඇත්ත.... සත්තයි....
මම හෙමිහිට ලන් වෙලා ඔයාගෙ නලලට හාදුවක් දෙනවා.
ඔයා ඇස් දෙක පියාගෙන හිනාවෙනවා.
ඒ හිනාවට මන් හැමදාම ආසයි.
ඇස් දෙක වහගෙන ඔයා ලාවට හිනාවෙද්දි මගේ හිත ලෝබ කමකින් පිරිලා යනවා.
ඔයා මගේ විතරමයි.
ඔය හිනාව මගේ විතරමයි.
මගේ හිත කෑ ගහනවා.
මන් ඔයාට ආදරෙයි සුදූ.....
ඔයාගේ කම්බුලට මගේ කම්බුල තෙරපෙගෙන මම කියනවා.
මමත් ඔයාට ආදරෙයි....
ඔයාගේ ඒ වචන හුලඟත් එක්ක පාවෙලා ඇවිත් මගේ කන් පෙති සිප ගන්නවා.
දරාගන්න බැරි ආදරේකින් මගේ හිත පිරෙනවා.
මන් එහෙමම මගෙ තොල් පෙති ඔයාගේ තොල් පෙති අතර හිර කරනවා.
ඔයාගේ සුසුම් වල උනුසුම් සුවඳ මගෙ නහයට දැනෙනවා.
ඒ අතරින් ඔයාගේ තොල් පෙති වල හීතල මගේ මුලු ඇඟම කිති කවනවා.
මගේ මුලු ආත්මයම ඔයාගේ ආදරේ පහසින් නැහැවෙනවා.
පුංචි තොල් පෙති රිදුනද මන්දා.
ඉර සම්පූර්ණයෙන්ම මුහුදේ ගිලිලා හාත්පසම අඳුරෙන් වැහෙන්න ගන්නවා.
තව ඉන්න අසයි.
ඒත් කාලය අපිටත් හොරෙන් ගලාගෙන ගිහිල්ලනේ.
අපි යමුද.....
ඔයා අහනවා.
යමු කියලා කියන්න ලෝබයි.
හැමදාම මෙහෙම ඉන්නමයි හිත.
ඒත් තාම ඒකට කාලය නෙවෙයිනෙ.
මම හා කියල ඔලුව වනනවා.
පුංචි තරු කැට එකින් එක නිල් පාට දිලිහෙන්න පටන් ගනිද්දි අපි ගල් පරයෙන් නැගිටිනවා.
අපිට අත වනන්න වගේ රැලි වේගයෙන් ඇවිත් වෙරලේ හැපිලා සුදු පෙන වගුරනවා.
මේ ආදරෙත් මෙහෙමම අරගෙන අපි ආයෙත් එන්නම්.
මුහුදෙන් සමු අරගෙන අපි එන්න එනවා.
රැලි එනවා යනවා ඉවරයක් නෑ.
අදත් එදා වගේම රැලි එනවා.
වෙරලෙ හැපිලා සුදු පාටට පෙන යායක් හදලා ආයෙමත් මුහුදටම ඇදෙනවා
ඒත් ඒ වෙරලේ අද....
ඔයත් නෑ.
මමත් නෑ.
අපේ දෛවය අපිව වෙන කොහේදෝ තැනක අතරමං කරලා.
ඒත් ඒ රැලි තව කාලාන්තරයක් යනකම් අපි වගේම තවත් පෙම්වතුන්ට අත වනාවි.

12 comments:

  1. හරිම හැඟුම්බර ලියවිල්ලක්...විඳින ආදරය....විඳවන ආදරය..:(...හිතේ අහුමුළු වල මතකයන් අවුස්සන ලියැවිල්ලක්......

    ReplyDelete
  2. හිතට හුගක් දැනෙන
    හරිම ආදරනීය සිතුවිල්ලක්

    ReplyDelete
  3. අයියෝ... ගොඩාක් දුක හිතුන.. :( හිත රිදුන.. මල්ලො...ගනන් ගන්න එපා කියනව නෙමෙයි. ඒත් අතීතයේ ජීවත් වෙනකොට හිත් වේදනාව දෙගුණ වෙනව මල්ලි...

    ReplyDelete
  4. අතීතයේ එක ලස්සන දවසක...

    ReplyDelete
  5. අමතක කලත් අමතක වෙන්නේ නතී .................

    ReplyDelete
  6. උඹ දන්නවද මලේ.. මම දැන් ටික දවසක ඉඳලා නොබී හිටියේ..
    මොන මොනවා හරි වැඩ ටිකක් පටලාගෙන ඒ වැඩ වලම කිමිදිලා පුළුවන් තරම් කිසිම දෙයක් හිතන්නේ නැතිව හිටියේ හිතන්න ගත්ත ගමන් ඔක්කෝම අත ඇරලා දාලා බොන්න වෙන නිසයි...

    ඒත් අද ඉතින් ඒ ඔක්කෝම ඉවරයි...

    මට හිතෙන විදියට උඹ තාම පටන් ගත්තා විතරයි.

    මම ගැටළුව ගැන ටිකයි දන්නේ..ඒ හින්දා මට එක පාරට මෙහෙම කරපන් කියලා කියන්න බැහැ. ඒත් මල්ලියේ අතඅරින්නේ නැතිව කොහොම හරි වැඩෙ ගොඩ දා ගන්න බලපන්.. බැරිම නං හැකි ඉක්මනින් අමතක කරපං. මම කරගත්ත දේ උඹ කරගන්න එපා.

    අතීතයක් නැති, වර්ථමානයක් නැති..අනාගතයක් ගැන හීනෙන්වත් හිතන්නේ දකින්නේ නැති.. ගන්ධබ්භයෙක් වෙන්න හදන්න එපා.
    මට වගේ නෙවෙයි උඹට අම්මා තාත්තා ගැන හිතන්න තියෙනවා..ඒ අයගේ හිත් රිද්දන්නේ නැතිව කරන දෙයක් කරන්න වෙනවා.

    මීට වඩා මොකුත් ලියන්න මට බැහැ මල්ලී...
    උඹට බණ කියන්න මට බැහැ..
    මට අයිතියකුත් නැහැ...උඹෙ කැමැත්තක්.

    ReplyDelete
  7. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
    හැමදාමත් ආව ගිය රැලි
    මින් පස්සේ
    හැමදාමත් ඇවිත් යයි
    නමුදු
    හිත හදාගනු හැර
    කල හැකි අන් දෙයක්
    නැතිම නම්
    ප එය කලයුතුයි නිසැකවම..
    ඒ බවත් අමතක නොකරන්න..
    දුක හිතන්න එපා කියන්න නම් මටත් බැහැ..ඒත් මම දන්නවා හිත හදාගත හැකි බව.....!!!!

    ReplyDelete
  8. අපූරුවට ලියවිච්ච නිර්මාණයක්..අතීතය අමතක නොවෙන මතක ගොඩක් තමා

    ReplyDelete
  9. @Shadow/හේමලයා
    "විඳින ආදරය....විඳවන ආදරය"
    අපූරු කියමනක්.
    බොහොම ස්තූතියි කොල්ලො...

    @ayesha
    දැනෙන දේනම් තමා ලිව්වෙ අයේශා...
    ස්තූතියි.

    @ජීවිතේමල්
    මෙන්න බොලේ අක්කටත් දුක හිතිලා. අතීතය.... ඒක නිකම්ම නිකම් අකුරු 4ක්ම විත‍රක් නෙවෙයිනෙ අක්කෙ.

    @චේජනා
    ඒත් වර්තමානයේ අද දවස......

    @වැප්
    අමතක ක‍රන්න බැරි......

    ReplyDelete
  10. @මාරයාගේ හෝරාව
    "ඒත් අද ඉතින් ඒ ඔක්කෝම ඉවරයි..."
    ඒ කියන්නෙ අද ආපහු බොන්න ගනන්වද? අපොයි.... මේක කියවලාද ආපහු බොන්න හිතුනේ.
    ඇත්තටම මම අයියගේ අකමැතිම කාරණේ ඔන්න ඕක විතරමයි. අයියට බොන්න එප කියලා බල කරනන් මට පුලුවන් කමක් නෑ. ඒත් මන් කැමති නෑ අයිය වගේ හොඳ කෙනෙක් නිකන් නිස්සාරනේ බීලා නාස්ති වෙනවට.

    අනේ එහෙම එකක් නෑ අයියේ. ඕන දෙයක් කියන්න. මම අවවාද උපදේශ දෙද්දි ඒවට හිනා වෙලා ගරහන කෙනෙක් නෙවෙයි. අනික අයියලා වගේ අත්දැකීම් බහුල, ජීවිතේ ගොඩක් දේවල් අත්දැකපු කෙනෙක් කවදාවත් නරකක් කියන්නෙ නෑනේ. ඔයාලා උපදෙස් දෙන්නෙ නැත්නම් අපි කොහොමද හරි පාර තෝරගන්නේ.

    @nimanthi
    මගේ හිතත් අද කුණාටු පිරුන සාගරයක් වගේ. රැලි නැගෙනවා, බහිනවා. ඒ කුණටුවට අහු වෙලා ජීවිතේ කියන නැවත් එහෙට මෙහෙට පැද්දෙනවා. නැව ගිලෙන්නෙ නැතුව තියාගන්න තමයි අක්කේ මමත් පුලුවන් තරම් උත්සහ කරන්නේ. මොකද ඒ නැවේ තියෙන්නෙ මගේ ජීවිතෙම විතරක් නෙවෙයිනේ.

    @දිල්
    අම්මෝ අක්කේ... දැක්ක කල්.... දකින්නත් ආසයි.... අද ස්තූති කරන්නෙ වෙන මොකකටවත් නෙවෙයි. මෙච්චර වැඩ රාජකාරි මැද මගේ මේ පුංචි බ්ලොග් එකටත් පොඩ්ඩක් ගොඩවැදිලා ගියාට. මොකද ඒකටනම් ස්තූති නොකරම බෑ.

    ReplyDelete
  11. මේක නම් ඇත්තටම මාව අතීතෙකට ගෙනිහින් අතරමං කරාපු ලිපියක්.

    ReplyDelete
  12. @Ansh Lucky Sri Jay
    අපි ගොඩ දෙනෙක්ගේ අතීතයේ මේ වගේ මතක සටහන් නැතුවාම නෙවෙයිනේ. ඇවිල්ලා, කියවලා, ප්‍රතිචාරයකුත් තියලා ගියාට ස්තූතියි සහෝදරී.

    ReplyDelete